Skip to content

පටුනට යන්න

“ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න”

“ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න”

“ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න”

“කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න.”—ෆිලිප්පි 4:6.

1. අපිට කතා කිරීමේ විශේෂ වරප්‍රසාදයක් තිබෙන්නේ කා සමඟද? එය එතරම් සුවිශේෂී දෙයක් වෙන්නේ ඇයි?

ඔබේ රටේ පාලකයා වන ජනාධිපතිව හමු වෙන්න ඔබට අවශ්‍ය වුණායයි සිතන්න. ඊට මොන වගේ පිළිතුරක් ඔබට ලැබේවිද? සමහරවිට ජනාධිපති කාර්යාලයෙන් ඔබට කාරුණික පිළිතුරක් ලැබේවි. ඒ වුණත් ඔහු සමඟ පෞද්ගලිකව කතා කරන්න අවස්ථාවක් ලැබෙයි කියා නම් සිතන්න හුඟක් අමාරුයි. නමුත් මුළු විශ්වයේම අධිපති සහ ශ්‍රේෂ්ඨතම පාලකයා වන යෙහෝවා දෙවි ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. අපිට ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක දෙවිට කතා කරන්න පුළුවන්. දෙවිට පිළිගත හැකි යාච්ඤාවලට ඔහු සවන් දෙනවා. (හිතෝපදේශ 15:29) එය දැනසිටීම මහත් සතුටක් ගෙන දෙන්නේ නැද්ද! එම වරප්‍රසාදය අගය කරමින්, ‘යාච්ඤා අසන තැනැත්තා’ හැටියට යෙහෝවා දෙවිට නිතරම කතා කිරීමට එය අපව පොලඹවන්නේ නැද්ද!—ගීතාවලිය 65:2.

2. දෙවි විසින් අපගේ යාච්ඤා පිළිගැනීමට නම් අවශ්‍ය මොනවාද?

2 කොහොමනමුත් සමහරෙක් අසන්න පුළුවන් ‘දෙවි ඇහුම්කන් දෙන්නේ මොන වගේ යාච්ඤාවලටද’ කියලා. ඒ සඳහා අවශ්‍ය එක දෙයක් ගැන බයිබලයේ පැහැදිලි කරන්නේ මෙහෙමයි. “ඇදහිල්ල නැතිව කිසිසේත් ඔහුව සතුටු කළ නොහැක. මන්ද, දෙවි වෙත ළඟාවන්නා විසින් ඔහු ජීවමාන බවත් ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතුය.” (හෙබ්‍රෙව් 11:6) දෙවිට යාච්ඤා කරන අයට ඔහු ඇහුම්කන් දෙන බව අපි කලින් ලිපියේ සලකා බැලුවා. ඒ සඳහා ඇදහිල්ල අත්‍යවශ්‍යයි. එමෙන්ම අවංකකමින් සහ හරි ආකල්පයකින් කරන යහපත් ක්‍රියාද අවශ්‍යයි.

3. (අ) පුරාණයේ සිටි ඇදහිලිවන්තයන් කළාක් මෙන් අපගේ යාච්ඤාවලදීත් සඳහන් කළ හැකි දේවල් මොනවාද? (ආ) අපගේ යාච්ඤා දෙවිට ඉදිරිපත් කළ හැකි ආකාර මොනවාද?

3 තමන්ගේ ජීවිතයේ විවිධ කාරණා ගැන දෙවිට යාච්ඤා කළ හුඟක් අයගේ ආදර්ශ බයිබලයේ තිබෙනවා. එවැනි අය අතර හන්නා, එලියා, හෙසකියා සහ දානියෙල් සිටියි. (1 සාමුවෙල් 2:1-10; 1 රාජාවලිය 18:36, 37; 2 රාජාවලිය 19:15-19; දානියෙල් 9:3-21) අප ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කළ යුතුයි. පාවුල් එදා සිටි ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ “කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න” කියායි. (ෆිලිප්පි 4:6, 7) අපගේ යාච්ඤාවට විවිධ පැති ඇතුළත් බව පාවුල්ගේ එම වචනවලින් ඔබ දැක්කාද? ස්තුති දීම ගැන ඔහු සඳහන් කරද්දී, ඉන් අදහස් කළේ අප වෙනුවෙන් දෙවි කර තිබෙන දේවල් සඳහා අගය පළ කිරීමයි. මෙය ප්‍රශංසා කිරීමෙන්ද කළ හැකියි. කන්නලව් කිරීම යනුවෙන් අදහස් කළේ යටහත් පහත්ව, බැගෑපත්ව දෙවිට යාච්ඤා කිරීමයි. එමෙන්ම අපිට යම් විශේෂිත දේවල් ගැන දෙවිගෙන් ඉල්ලීම් කරන්නද පුළුවන්. (ලූක් 11:2, 3) ඒ ඕනෑම ආකාරයකින් කරන යාච්ඤාවකට අපගේ ස්වර්ගික පියාණන් ප්‍රසන්නයි.

4. යෙහෝවා දෙවි අපේ අවශ්‍යතා දන්නවා වුණත් අපි ඒවා දෙවිගෙන් ඉල්ලිය යුත්තේ ඇයි?

4 තවත් සමහරු මෙහෙම අහන්න පුළුවන්. ‘අපි කියන්නත් ඉස්සර දෙවි අපට අවශ්‍ය සියලු දේ ගැන දන්නවා නේද?’ ඔව්. (මතෙව් 6:8, 32) ‘එහෙමනම්, අපගේ ඉල්ලීම් ගැන දෙවිට දන්වන්න ඕනේ ඇයි?’ ඒක අපි මෙහෙම තේරුම්ගනිමු. සාප්පු හිමියෙක් තම පාරිභෝගිකයන්ගෙන් සමහරෙකුට දීමට තෑගි සූදානම් කර තිබෙනවා. ඒවා ලබාගැනීමට නම් පාරිභෝගිකයන් ඔහු වෙතට යා යුතුයි. නමුත් එසේ යෑමට අකමැති අය ඉන් පෙන්වන්නේ ඒ තෑග්ග ඔවුන් අගය නොකරන බවයි. ඒ හා සමානව යාච්ඤාවෙන් අපේ ඉල්ලීම් යෙහෝවා දෙවිට දන්වන්න අකමැති නම් ඉන් පෙන්වන්නේ දෙවි සපයන දේවල්වලට අපිට තිබෙන්නේ අඩු අගයක් බවයි. යේසුස් මෙහෙම කිව්වා. “ඉල්ලන්න. එවිට ඔබට ලැබෙන්නේය.” (යොහන් 16:24) එසේ කිරීමෙන් පෙන්වන්නේ අපි දෙවි මත රඳා සිටින බවයි.

දෙවි වෙතට ළඟා විය යුත්තේ කෙසේද?

5. අපි යේසුස්ගේ නාමයෙන් යාච්ඤා කළ යුත්තේ ඇයි?

5 යාච්ඤා කරන ආකාරය ගැන යෙහෝවා දෙවි දැඩි නීති දමා නැහැ. නමුත් යාච්ඤා කළ යුතු සුදුසු ආකාරය ගැන අපි බයිබලයෙන් ඉගෙනගත යුතුයි. යේසුස් තම අනුගාමිකයන්ට ඒ ගැන කිව්වේ මෙහෙමයි. “ඔබ පියාණන්ගෙන් ඉල්ලන ඕනෑම දෙයක් ඔහු මාගේ නාමයෙන් ඔබට දෙන්නේය.” (යොහන් 16:23) එමනිසා අපි යේසුස්ගේ නාමයෙන් යාච්ඤා කිරීම අත්‍යවශ්‍යයි. ඉන් අපි පෙන්වන්නේ සියලු මිනිසුන්ට දෙවිගේ ආශීර්වාද ලැබෙන්නේ යේසුස් මාර්ගයෙන් පමණක් බවයි.

6. අපි යාච්ඤා කිරීමේදී සිටිය යුත්තේ කුමන ඉරියව්වෙන්ද?

6 අපි යාච්ඤා කිරීමේදී සිටිය යුත්තේ කුමන ඉරියව්වකින්ද? බයිබලයේ ඒ සම්බන්ධයෙන් නිශ්චිත ඉරියව්වක් සඳහන් කර නැහැ. (1 රාජාවලිය 8:22; නෙහෙමියා 8:6; මාක් 11:25; ලූක් 22:41) නමුත් වැදගත් වෙන්නේ දෙවිට අවංකව සහ හරි ආකල්පයක් ඇතිව යාච්ඤා කිරීමයි.—යෝවෙල් 2:12, 13.

7. (අ) “ආමෙන්” යන වචනයේ තේරුම කුමක්ද? (ආ) යාච්ඤාවේදී භාවිත කරන්නේ කෙසේද?

7 යාච්ඤාව අවසානයේ “ආමෙන්” කියන වචනය භාවිත කරන්නේ ඇයි? ශුද්ධ ලියවිල්ලේ පෙන්වන්නේ විශේෂයෙන්ම කණ්ඩායමක් නියෝජනය කරමින් යාච්ඤා කරද්දී මෙය යාච්ඤාවට සුදුසු අවසානයක් ගෙන දෙන බවයි. (ගීතාවලිය 72:19; 89:52) ආමෙන් කියන හෙබ්‍රෙව් වචනයේ මූලික අදහස නම් “එසේම වේවා” යන්නයි. එක විශ්වකෝෂයක “ආමෙන්” කියන වචනයේ වැදගත්කම ගැන කියන්නේ යාච්ඤාවකදී ආමෙන් කියා පවසන්නේ “සඳහන් කළ වචන ස්ථිර කරන්නත් ඒවා ඉටු වෙන්න කියා ප්‍රාර්ථනා කරන්නත්” කියායි. (McClintock and Strong’s Cyclopedia) ඒ වගේම යාච්ඤා කරන තැනැත්තාද, එය “ආමෙන්” කියා අවසාන කරනවා. ඉන් ඔහුද පිළිගන්නේ තමන් කියූ දේවල් අවංක බවයි. සභාවකදී යාච්ඤා කරන කෙනා “ආමෙන්” කියා අවසන් කරද්දී ඊට සවන් දෙන අයටද “ආමෙන්” කියා නිහඬව හෝ ශබ්ද නඟා පැවසිය හැකියි. ඉන් අදහස් කරන්නේ යාච්ඤාවෙන් කියූ දේවල් තමන් මුළු හෘදයෙන්ම අනුමත කරන බවයි.—1 කොරින්ති 14:16.

8. අපිට යාකොබ් සහ ආබ්‍රහම් වගේ යාච්ඤා කරන්න පුළුවන් කොහොමද? අප එයින් පෙන්වන්නේ කුමක්ද?

8 අපගේ ජීවිතයේ කාරණා ගැන කොතරම් ඕනෑකමින් යාච්ඤා කරනවාද කියා බලන්න සමහරවිට යෙහෝවා දෙවි අපිට ඉඩහරිනවා විය හැකියි. ආශීර්වාදයක් ලබාගන්න දේවදූතයෙක් සමඟ මුළු රැයක් පොරබැදූ යාකොබ් වගේ අපිටත් දැඩි උත්සාහයක් දරන්න සිදු වෙයි. (උත්පත්ති 32:24-26) තවත් අවස්ථාවලදී අපිට ආබ්‍රහම් වගේ කිහිප වතාවක්ම දෙවිගෙන් ඉල්ලීම් කරන්න සිදු වෙන්න පුළුවන්. ඔහු සොදොම් නුවරේ සිටි ලොත් සහ තවත් ධර්මිෂ්ඨයන් සිටිනවා නම් ඔවුන්වද ගලවන්න කියා නොකඩවා ඉල්ලුවා. (උත්පත්ති 18:22-33) ඒ වගේ අපිටත් පුළුවන් අපිට වැදගත් දේවල් ගැන, යෙහෝවා දෙවිගේ යුක්තිය, ප්‍රේමණීය කරුණාව සහ දයාව යනාදියට එකඟව ලබා දෙන මෙන් නොකඩවා ඉල්ලන්න.

අප ඉල්ලිය යුත්තේ මොනවාද?

9. යාච්ඤා කරන විට අපි මූලික තැන දිය යුත්තේ කුමකටද?

9 “සියල්ලෙහිදී . . . ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න” කියා පාවුල් කියූ බව ඔබට මතකද? (ෆිලිප්පි 4:6) අපගේ පෞද්ගලික යාච්ඤාවේදී, ජීවිතයේ ඕනෑම කාරණයක් ගැන දෙවිට කියන්න පුළුවන්. ඒ වුණත් මූලික තැන දිය යුත්තේ යෙහෝවා දෙවිටයි. දානියෙල් ඊට හොඳ ආදර්ශයක්. ඊශ්‍රායෙල්වරු ඔවුන්ගේ පව් නිසා දඬුවම් ලබද්දී, දයාව දක්වන මෙන් ඔහු යෙහෝවා දෙවිගෙන් බැගෑපත්ව ඉල්ලුවා. ඔහු කිව්වේ “ඔබගේ නම තබා තිබෙන හෙයින් ඔබ නිසාම ප්‍රමාද නුවූව මැනව” කියායි. (දානියෙල් 9:15-19) දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළල ඉවත් කිරීම සහ ඔහුගේ අරමුණ ඉටුවීම ගැන අපගේ යාච්ඤාවලදීත් අපි මූලිකව සඳහන් කරනවාද?

10. අපගේ යාච්ඤාවට පෞද්ගලික කාරණා ඇතුල් කළ හැකි බව අප දන්නේ කොහොමද?

10 මීට අමතරව අපගේ පෞද්ගලික කාරණා ගැනත් ඉල්ලීම් කරන්න පුළුවන්. උදාහරණයකට ගීතිකාකරු වගේ බයිබලයේ තිබෙන ගැඹුරු කාරණා තේරුම්ගැනීමට උපකාර ඉල්ලාත් යාච්ඤා කළ හැකියි. ඔහු යාච්ඤා කළේ මෙහෙමයි. “මට තේරුම් දුන මැනව. ඔබගේ ව්‍යවස්ථාව රක්ෂා කරන්නෙමි. එසේය, මාගේ මුළු සිතින් එය පවත්වන්නෙමි.” (ගීතාවලිය 119:33, 34; කොලොස්සි 1:9, 10) යේසුස් පවා “තමන්ව මරණයෙන් ගලවාගැනීමට හැකි වූ තැනැත්තාට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්තව කන්නලව් සහ ඉල්ලීම් ඔප්පු” කළා. (හෙබ්‍රෙව් 5:7) එසේ කිරීමෙන් ඔහු පෙන්නුවේ, කෙනෙක් යම් අනතුරකට හෝ පීඩාවකට මුහුණ දෙද්දී ශක්තිය ඉල්ලා දෙවිට යාච්ඤා කළ හැකි බවයි. යේසුස් තම ගෝලයන්ට ආදර්ශ යාච්ඤාව උගන්වද්දී, අනුන්ට සමාව දීම ගැන සහ දිනපතා අවශ්‍ය ආහාර ලබාගැනීම වැනි පෞද්ගලික කාරණා ගැනත් එයට ඇතුළත් කළා.

11. වරදට නොපෙලඹීමට යාච්ඤාව අපිට උපකාර කරන්නේ කොහොමද?

11 එම ආදර්ශ යාච්ඤාවට යේසුස් මෙම ඉල්ලීමත් ඇතුල් කළා. “අපව වරදට පෙලඹීමට ඉඩ නොදී දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න.” (මතෙව් 6:9-13) පසු අවස්ථාවකදී ඔහු කිව්වේ “ඔබ වරදට නොපෙලඹෙන පිණිස සෝදිසියෙන් සිට නොකඩවා යාච්ඤා කරන්න” කියායි. (මතෙව් 26:41) අපි වරදට පෙලඹෙන විට යාච්ඤාව අනිවාර්යය දෙයක්. පාසලේදී හෝ රැකියා ස්ථානයේදී දෙවිගේ ප්‍රතිපත්තිවලට පටහැනි යමක් කරන්න අපි පෙලඹෙන්න පුළුවන්. එසේ නැතිනම් ක්‍රිස්තියානීන්ට නුසුදුසු යමක් කරන්න කෙනෙක් අපි පොලඹවනවා විය හැකියි. එවැනි පරීක්ෂාවලට මුහුණ දීමට පෙර සහ මුහුණ දෙන විට, ඒවාට නොවැටී සිටීමට උපකාර ඉල්ලා යේසුස් කියූ ලෙස දෙවිට යාච්ඤා කරමු.

12. අපිට යාච්ඤා කරන්න පුළුවන් කුමනාකාර ප්‍රශ්න ගැටලු ගැනද? අපිට යෙහෝවා දෙවිගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කුමක්ද?

12 අද සිටින දෙවිගේ සේවකයන් විවිධාකාර ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙනවා. අසනීප සහ මානසික පීඩනයන් බොහෝදෙනෙකුගේ කනස්සල්ලට හේතු වී තිබෙනවා. සිදු වන අපරාධ නිසා හුඟදෙනෙක් සිටින්නේ භයෙන්. ජීවන වියදම වැඩිවීම නිසා අත්‍යවශ්‍ය දේවල්වත් ලබාගැනීම සමහර අයට දුෂ්කරයි. දෙවිගේ සේවකයන් එවැනි කාරණා ගැනත් යාච්ඤා කරද්දී දෙවි ඒවාට ඇහුම්කන් දෙන බව දැනසිටීම අපට කොතරම් සහනයක්ද! යෙහෝවා දෙවි ගැන ගීතාවලිය 102:17හි සඳහන් වෙන්නේ මෙහෙමයි. “ඔහු අසරණයන්ගේ යාච්ඤාව හෙළා නොදැක සැලකුවේය.”

13. (අ) යාච්ඤා කිරීමට සුදුසු වෙන්නේ මොන වගේ පෞද්ගලික කාරණා ගැනද? (ආ) එවැනි යාච්ඤාවක් කළ කෙනෙක් ගැන උදාහරණයක් දෙන්න.

13 අපි දෙවිට කරන සේවය හෝ දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වයට බලපාන ඕනෑම දෙයක් ගැන යාච්ඤා කරන්න පුළුවන්. (1 යොහන් 5:14) විවාහය ගැන හෝ තෝරගන්න රැකියාව ගැන හෝ වැඩිපුර සේවය කිරීම ගැන යම් තීරණගැනීමට සිදු වන විට එයට මඟ පෙන්වීම ඉල්ලා දෙවිට යාච්ඤා කරන්න. පිලිපීනයේ එක යෞවන සහෝදරියකට පූර්ණ කාලීන දේවසේවයේ යෙදීමට අවශ්‍ය වුණා. නමුත් ඒ සඳහා ඇයගේ අවශ්‍යතා පිරිමසාගැනීමට රැකියාවක් තිබුණේ නැහැ. ඒ ගැන ඇය මෙහෙම කියනවා. “එක සෙනසුරාදා දවසක පුරෝගාමි සේවය ගැනම මම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. එදාම හවස මම දේවසේවයේ යන කොට එක යෞවනියකට මම පොතක් ඉදිරිපත් කළා. මම බලාපොරොත්තු නොවූ විදියට ඇය මෙහෙම කිව්වා. ‘සඳුදා උදෙන්ම ඔයා අපේ ඉස්කෝලෙට එන්න.’ මම ඇහුව්වා ‘ඇයි’ කියලා. එතකොට ඇය කිව්වා එයාගේ පාසලේ තිබෙන රැකියාවකට වහාම කෙනෙක්ව හොයනවා කියලා. ඉතින් මං ඒකට ගියා. මට ඒ රැකියාව හම්බ වුණා. හැම දේම සිදු වුණේ හරිම ඉක්මනටයි.” ලොව වටා සිටින සාක්ෂිකරුවන්ට එවැනිම අද්දැකීම් තිබෙනවා. ඒ නිසා ඔබේ මුළු හෘදයෙන්ම කරන ඉල්ලීම් ගැන දෙවිට කියන්න පසුබට වෙන්න එපා.

පාපයක් කර තිබෙන විට තත්වය කුමක්ද?

14, 15. (අ) යමෙක් පව් කළත් යාච්ඤා කිරීම නතර නොකළ යුත්තේ ඇයි? (ආ) පෞද්ගලිකව යාච්ඤා කරනවාට අමතරව තමා කළ පාපයෙන් ගොඩ ඒමට කෙනෙකුට උපකාර කරන්නේ කුමක්ද?

14 කෙනෙක් පාපයක් කර තිබෙනවා නම් යාච්ඤාව ඔහුට උපකාර කරන්නේ කොහොමද? පව් කිරීමෙන් ඇති වූ ලජ්ජාව නිසා සමහරෙක් යාච්ඤා කිරීම අතහැර දමා තිබෙනවා. නමුත් එසේ කිරීම සුදුසු නැහැ. අපි ඒ ගැන නිදර්ශනයකින් සලකා බලමු. ගුවන් නියමුවන් දන්නවා ඔවුන් ගුවනේදී අතරමං වුණොත් ප්‍රධාන පාලක මැදිරියට කතා කර උපකාර ගන්න පුළුවන් කියලා. නමුත් යම් ගුවන් නියමුවෙක් අතරමං වීමෙන් ඇති වූ ලජ්ජාව නිසා ඔවුන්ව අමතන්න අදිමදි කළොත් තත්වය කුමක් වේවිද? ඉන් මහත් විනාශයක් සිදු විය හැකියි! ඒ වගේ පව් කළ පුද්ගලයෙක් ලජ්ජාව නිසා දෙවිට යාච්ඤා නොකළොත් ඊටත් වඩා ලොකු හානියක් සිදු කරගන්නවා. දෙවිට යාච්ඤා කිරීම සඳහා පව් කිරීමෙන් ඇති වූ ලජ්ජාව බාධාවක් කරගන්න එපා. ඇත්තෙන්ම බරපතළ පව් කර ඇති අයට පවා දෙවි කියන්නේ තමාට යාච්ඤා කරන්න කියායි. යෙසායාගේ කාලයේ සිටිය පව් කළ අයට ඔහු කිව්වේ යෙහෝවා දෙවිට කන්නලව් කරන්න, “මක්නිසාද ඔහු බොහෝසේ ක්ෂමා කරන්නේය” කියායි. (යෙසායා 55: 6, 7) මුලින්ම පව් කළ තැනැත්තා පව්කාර මාර්ගයෙන් හැරී, අවංකව පසුතැවිලි වී යටහත් පහත් විය යුතුයි. එමගින් ‘දෙවිගේ කරුණාව’ ඉල්ලන්න ඒ තැනැත්තාට හැකියි.—ගීතාවලිය 119:58; දානියෙල් 9:13.

15 පාපයක් කර ඇති විට යාච්ඤා කළ යුත්තේ තවත් වැදගත් හේතුවක් නිසයි. දෙවි සමඟ පලුදු වූ මිත්‍රත්වය නැවත ශක්තිමත් කරගන්න කෙනෙකුට අවශ්‍ය නම් කළ යුතු දේ ගැන යාකොබ් මෙහෙම ලියනවා. “ඔහු සභාවේ වැඩිමහල්ලන්ව කැඳවාගනීවා! ඔවුහු . . . ඔහු උදෙසා යාච්ඤා කරත්වා! . . . යෙහෝවා ඔහුව නැඟිටුවන්නේය.” (යාකොබ් 5:14, 15) පව් කළ තැනැත්තා පෞද්ගලිකව යෙහෝවා දෙවිට යාච්ඤාවෙන් තමන් කළ වරද ගැන කිව යුතුයි. ඒ වගේම තමා වෙනුවෙන් යාච්ඤා කරන්න කියා සභාවේ වැඩිමහල්ලන්ගෙන්ද ඉල්ලන්න පුළුවන්. එය, දෙවි සමඟ තිබූ මිත්‍රත්වය නැවතත් ශක්තිමත් කරගන්න ඔහුට උපකාර කරයි.

යාච්ඤාවලට පිළිතුරු

16, 17. (අ) යෙහෝවා දෙවි යාච්ඤාවලට පිළිතුරු දෙන්නේ කොහොමද? (ආ) යාච්ඤාව සහ දේශනා සේවය අතර කිට්ටු සම්බන්ධයක් තිබෙන බව පෙන්වන්නේ කුමන උදාහරණවලින්ද?

16 යාච්ඤාවට පිළිතුරු ලැබෙන්නේ කොහොමද? සමහර යාච්ඤාවලට ඉක්මනින්ම සහ ඇස් පනාපිටම පිළිතුරු ලැබෙනවා. (2 රාජාවලිය 20:1-6) නමුත් සමහර යාච්ඤාවලට පිළිතුරු ලැබීමට යම් කාලයක් ගත වන අතරම පිළිතුරු ලැබුණාද කියා වටහාගැනීමත් අපහසු විය හැකියි. විනිශ්චයකරුවෙක් වෙතට නිතර නිතර ගිය වැන්දඹුවක් ගැන නිදර්ශනයක් යේසුස් කිව්වා. ඒ වගේ අපිත් යම් කාරණයක් ගැන නොකඩවාම යෙහෝවා දෙවිට කීම අවශ්‍ය විය හැකියි. (ලූක් 18:1-8) නමුත් අපි දෙවිගේ කැමැත්ත ලෙස යාච්ඤා කළොත් “මට කරදර කරන්න එපා” කියා දෙවි කවදාවත් නොකියන බවට අපට සහතික වෙන්න පුළුවන්.—ලූක් 11:5-9.

17 දෙවිගේ සේවකයන්ගෙන් බොහෝදෙනෙකුගේ අද්දැකීම වී තිබෙන්නේ තම යාච්ඤාවලට පිළිතුරු ලැබී ඇති බවයි. මෙය අපගේ දේශනා සේවයේදීත් දකින්න ලැබෙනවා. පිලිපීනයේ පිටිසර පළාතක සහෝදරියන් දෙදෙනෙක් අපගේ ප්‍රකාශන බෙදාහරිමින් සිටියා. එක කාන්තාවකට ඔවුන් පත්‍රිකාවක් දුන් විට ඇගේ ඇස්වලට කඳුළු ආවා. ඇය මෙහෙම කිව්වා. “මම ඊයේ රෑ දෙවියන්ට යාච්ඤා කළා මට බයිබලය ගැන උගන්වන්න කාව හරි එවන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ පැමිණීම ගැන මං හිතන්නේ ඒ යාච්ඤාවට ලැබුණු පිළිතුරක් කියලයි.” වැඩි කලක් යන්න ඉස්සෙල්ලා ඒ කාන්තාව රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට එන්න පටන්ගත්තා. ආසියාවේ පිහිටි තවත් රටක සහෝදරයෙක් අධිආරක්ෂිත නිවාස සංකීර්ණයක දේශනා සේවයේ යන්න ටිකක් භය වුණා. නමුත් ඔහු යෙහෝවා දෙවිට යාච්ඤා කර ධෛර්යය අරගෙන දේශනා කරන්න පටන්ගත්තා. ඔහු එක නිවසකට තට්ටු කළ විට යෞවන ස්ත්‍රියක් දොර ඇරියා. සහෝදරයා තමා පැමිණි කාරණය ගැන කියූ විට ඇය අඬන්න පටන්ගත්තා. ඇය කිව්වා තමා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව සොයමින් සිටි අතර ඒ සඳහා යාච්ඤා කළා කියලා. මේ සහෝදරයා ඉතා සතුටින් සභාවේ කෙනෙකුට ඒ ස්ත්‍රියව මුණගැසෙන්න සැලසුම් යෙදුවා.

18. (අ) අපගේ යාච්ඤාවලට පිළිතුරු ලැබෙන විට අපි කළ යුත්තේ කුමක්ද? (ආ) අපි සෑමවිටකම යාච්ඤා කරනවා නම් අපිට නිසැක වෙන්න පුළුවන් කුමක් ගැනද?

18 යාච්ඤාව කියන්නේ පුදුමාකාර දීමනාවක්. යෙහෝවා දෙවි ඊට ඇහුම්කන් දීමටත් පිළිතුරු දීමටත් ඉතා ඕනෑකමින් සිටිනවා. (යෙසායා 30:18, 19) ඒ වගේම දෙවි අපේ යාච්ඤාවලට පිළිතුරු දෙන්නේ කොහොමද කියලත් අපි සැලකිල්ලෙන් ඉන්න අවශ්‍යයි. නමුත් සෑමවිටකම අපි බලාපොරොත්තු වූ ලෙසම එය සිදු නොවෙන්න පුළුවන්. එමෙන්ම දෙවිගේ උපකාර අපි අද්දකිද්දී ඒ සඳහා ස්තුතිවන්ත වෙන්නත් දෙවිට ප්‍රශංසා කරන්නත් අමතක නොකරමු. (1 තෙසලෝනික 5:18) පාවුල්ගේ මෙම උපදෙසද හැමවිටම මතක තබාගන්න. “කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න.” මේ නිසා ඔබට ලැබෙන සෑම අවස්ථාවකදීම දෙවිට යාච්ඤාවෙන් කතා කරන්න. එසේ කිරීමෙන් පාවුල් කියූ මෙම වචන කොතරම් සත්‍යයද කියා ඔබටම වැටහේවි. තම යාච්ඤාවලට පිළිතුරු ලැබූ අය ගැන ඔහු කිව්වේ “සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත” කියායි.—ෆිලිප්පි 4:6, 7.

පිළිතුරු දෙන්න ඔබට පුළුවන්ද?

• අපගේ යාච්ඤාවන් කොයි ආකාර විය හැකිද?

• අපි යාච්ඤා කළ යුත්තේ කොහොමද?

• යාච්ඤාවට ඇතුළත් කළ හැක්කේ කුමන දේවල්ද?

• යමෙක් පව් කර ඇති විට යාච්ඤා කළ යුත්තේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[29වන පිටුවේ පින්තූර]

වරදට නොපෙලඹීමට අප මුළු හදින් කරන යාච්ඤා උදව් වෙනවා

[31වන පිටුවේ පින්තූර]

යාච්ඤාව තුළින් අපි අපගේ ස්තුතිය, අපගේ අවශ්‍යතාවන් සහ ඉල්ලීම් දෙවිට දන්වනවා