Skip to content

පටුනට යන්න

ගීතාවලිය පොතෙන් විශේෂාංග (පස්වන කාණ්ඩය)

ගීතාවලිය පොතෙන් විශේෂාංග (පස්වන කාණ්ඩය)

යෙහෝවාගේ වචනය ජීවමානයි

ගීතාවලිය පොතෙන් විශේෂාංග (පස්වන කාණ්ඩය)

පොහොසත් අය මෙහෙම කියයි. “යම් කලෙක අපේ පුත්‍රයෝ තරුණ වයසේදී වැඩුණු පැළ මෙනුත් අපේ දූවරු මාලිගාවක කැටයම් කළ කොනේ ගල් මෙනුත් වෙද්ද අපේ ගබඩාවල් සියලු ආකාර ධන ධාන්‍යයෙන් පිරී තිබෙද්ද අපේ කෙත්වලදී බැටළුවෝ දහස් ගණන් දස දහස් ගණන් වදද්ද . . . මෙසේ කල් යවන සෙනඟ වාසනාවන්තයෝය. [සන්තෝෂවත්ය, නව ලොව පරිවර්තනය, NW]” නමුත් ඊට වෙනස් ධනවත්කමක් ගැන ගීතිකාකරු පවසන්නේ මෙහෙමයි. “යෙහෝවා තමන් දෙවි කොට ඇති සෙනඟ වාසනාවන්තයෝය [සන්තෝෂවත්ය, NW].” (ගීතාවලිය 144:12-15) ඉන් අදහස් කරන්නේ යෙහෝවා සන්තෝෂවත් දෙවි වන නිසා ඔහුට නමස්කාර කරන අයත් එම සන්තෝෂයම අද්දකිනවා යන්නයි. (1 තිමෝති 1: 11) ගීතාවලිය 107 සිට 150 දක්වා දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු මෙම අවසාන ගීතිකා තුළින් එය සත්‍යයක් බවට සාක්ෂි සොයාගත හැකියි.

ගීතාවලිය පොතේ පස්වන කාණ්ඩයේ කැපීපෙනෙන්නට සලස්වන්නේ යෙහෝවා දෙවිගේ අනර්ඝ ගුණාංග වන ප්‍රේමණීය කරුණාව, සැබෑකම සහ යහපත්කමයි. යෙහෝවා දෙවිව කිට්ටුවෙන් දැන හඳුනා ගන්න තරමටම අපි ඔහුට ප්‍රේම කරන්නත් ඔහුට ගරුබිය දක්වන්නත් පෙලඹෙනවා. මේ සියල්ලක අවසන් ප්‍රතිඵලය හැටියට අපිට අත් වෙන්නේ සන්තෝෂයයි. මොන තරම් වටිනා පාඩමක් ගීතාවලිය පස්වන කාණ්ඩයේ ඇතුළත් වී තිබෙනවාද!—හෙබ්‍රෙව් 4:12.

යෙහෝවා දෙවිගේ ප්‍රේමණීය කරුණාව නිසා ලැබෙන සන්තෝෂය

(ගීතාවලිය 107:1–119:176)

බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වූ යුදෙව්වන් මෙහෙම ගායනා කළා. “යෙහෝවා දෙවිගේ ප්‍රේමණීය කරුණාව නිසාද ඔහු මනුෂ්‍යයන් වෙනුවෙන් කර ඇති පුදුමාකාර දේවල් නිසාද ජනයා ඔහුට ස්තුති කරත්වා.” (ගීතාවලිය 107:8, 15, 21, 31, NW) ඒ වගේම දාවිත් දෙවිට ප්‍රශංසා කළේ මෙහෙමයි. “ඔබගේ සත්‍යතාව අහස දක්වාද පවත්නේය.” (ගීතාවලිය 108:4) ඊළඟ ගීතිකාවෙන් ඔහු අයැදින්නේ “අනේ යෙහෝවා, මාගේ දෙවියනි, මට උපකාර කරන්න. ඔබේ ප්‍රේමණීය කරුණාව පෙන්වා මාව බේරාගන්න” කියායි. (ගීතාවලිය 109:18, 19, 26, NW) එකසිය දහවන ගීතිකාව දේවරාජ්‍යයේ පාලනය පිළිබඳව පුරෝකථනයක් කර තිබෙනවා. “යෙහෝවාට භයවීම ඥානයේ පටන්ගැන්මය” කියා ගීතාවලිය 111:10හි සඳහන්ව තිබෙන අතර ඊළඟ ගීතිකාවෙන් කියවෙන්නේ “යෙහෝවාට භය වන්නාවූ . . . මනුෂ්‍යයා ආශීර්වාද ලද්දෙක්ය” කියායි.—ගීතාවලිය 112:1.

ගීතාවලිය 113 සිට 118 හඳුන්වන්නේ ප්‍රශංසා ගීතිකා ලෙසයි. ඒවා එසේනම් කර තිබෙන්නේ ‘යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න’ කියා නැවත නැවතත් එහි සඳහන් වන නිසයි. තුන්වන සියවසට කලින් පැවති වාචික සම්ප්‍රදායන් වාර්තා කළ මිෂ්නා නම් ලියවිල්ලට අනුව යුදෙව්වන් පැවැත්වූ වාර්ෂික උත්සව තුනේදී සහ පාස්කුවේදී එම ගීතිකා ගායනා කළා. බයිබලයේ සඳහන් දිගම පරිච්ඡේදය සහ දිගම ගීතිකාව වන 119වන ගීතිකාව දෙවිගේ වචනය හෙවත් දෙවි හෙළිදරව් කර ඇති දේ වර්ණනා කරනවා.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර

109:23—“බැස යන සෙවණැල්ලක් මෙන් පහව යමි” කියා දාවිත් සඳහන් කළ විට ඔහු ඉන් අදහස් කළේ කුමක්ද? මෙහිදී දාවිත් කාව්‍යමය ආකාරයකින් පැවසුවේ තමාගේ මරණය ඉතා ළඟ බවයි.—ගීතාවලිය 102:11.

110:1, 2—“[දාවිත්ගේ] ස්වාමීන්” වන යේසුස් ක්‍රිස්තුස් දෙවිගේ දකුණු පැත්තේ ඉඳගත් පසු කළේ කුමක්ද? යේසුස් නැවත නැඟිටුණායින් පසු ස්වර්ගයට ගොස් 1914 වන තෙක් දෙවිගේ දකුණු පැත්තේ ඉඳගෙන සිටියේ රජ ලෙස පාලනය ආරම්භ කරන තුරුයි. ඒ කාලය අතරතුර යේසුස් තම අභිෂේක ලත් අනුගාමිකයන්ව පාලනය කළා. දේශනා සේවය සහ මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යය කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙමින් තමා සමඟ දේවරාජ්‍යයේ පාලනය කිරීමටත් ඔවුන්ව සූදානම් කළා.—මතෙව් 24:14; 28:18-20; ලූක් 22:28-30.

110:4—යෙහෝවා දෙවි “ඒ කීම වෙනස් නොකරන්නේය” යයි කියා තිබෙන්නේ කුමක් ගැනද? යෙහෝවා දෙවි යේසුස්ව රජ සහ උත්තම පූජකයා ලෙස පත් කරන බවට කළ ගිවිසුමටයි.ලූක් 22:29.

113:3—“නැඟෙනහිර පටන් බස්නාහිර දක්වා” යෙහෝවා දෙවිගේ නම ප්‍රශංසාවට ලක්වන්නේ කොහොමද? යම් පිරිසක් දිනපතාම දෙවිට කරන නමස්කාරයට වඩා වැඩි දෙයක් මෙයට ඇතුළත්. නැඟෙනහිරින් ඉර මුදුන් වීමේ සිට බස්නාහිරින් ඉර බැස යන තෙක් මුළු පොළොවම ආලෝකයෙන් බැබළෙනවා හා සමානව යෙහෝවා දෙවිව පොළොව පුරාම ප්‍රශංසාවට ලක් වෙනවා. මෙය හරි හැටි සංවිධාන වීමකින් තොරව කළ නොහැකියි. ඒ නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස දෙවිට ප්‍රශංසා කිරීමට සහ උද්‍යෝගයෙන් යුතුව දේවරාජ්‍යය ගැන ප්‍රකාශ කිරීමට අපිට තිබෙන මෙම වටිනා වරප්‍රසාදය අගය කරමු.

116:15—“යෙහෝවාගේ ශුද්ධවන්තයන්ගේ මරණය ඔහු ඉදිරියෙහි” කොතරම් අනර්ඝද? යෙහෝවා දෙවිගේ නමස්කාරකයන් ඔහුට කොතරම් අනර්ඝද කියනවා නම් කණ්ඩායමක් හැටියට ඔවුන්ව විනාශ වීමට යෙහෝවා දෙවි ඉඩ දෙන්නේ නැහැ. එසේ සිදු වුණොත් ඉන් ඔප්පු වෙන්නේ දෙවිගේ සතුරන් ඔහුට වඩා බලවත් බවයි. ඒ වගේම පාරාදීස පොළොවේ ජීවත් වීමට කවුරුත් ඉතිරි වෙන්නේද නැහැ.

119:71—දුක් විඳීමෙන් ඇති වන යහපත කුමක්ද? යෙහෝවා දෙවි කෙරෙහි මුළුමනින්ම රඳා සිටීමටත් ඔහුට වඩාත් ඕනෑකමින් යාච්ඤා කිරීමටත් බයිබලය වඩාත් හොඳින් අධ්‍යයනය කර ඒවා අදාළ කරගැනීමට වඩා වැඩි උත්සාහයක් දැරීමටත් එමගින් අපට අවස්ථාවක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අපි ඒවාට මුහුණ දෙන විට ඉස්මතු වන අපගේම දුර්වලකම් හදාගන්නත් අපට පුළුවන්. දුක් විඳිද්දී අපගේ ගුණාංග වර්ධනය කරගන්න අපි උත්සාහ කරනවා නම් එය අපිට නිරස දෙයක් වෙන්නේ නැහැ.

119:96“සියලු සම්පූර්ණකමෙහි කෙළවර” කීමෙන් අදහස් කළේ කුමක්ද? ගීතිකාකරු මෙහි සඳහන් කරන්නේ මිනිසා බලන ආකාරයේ සම්පූර්ණකමක් ගැනයි. ඔහුගේ මනසේ තිබුණේ මිනිසාගේ සම්පූර්ණකමට සීමා තිබෙන බවයි. නමුත් ඊට වෙනස්ව දෙවිගේ ආඥා සර්ව සම්පූර්ණයි. ඒවා තුළ කිසි අඩුවක් නැහැ. ඒවා ජීවිතයේ සෑම පැත්තකටම එක සේ අදාළයි. නව අනුවාදය නම් බයිබලයේ එය සඳහන් වෙන්නේ මෙසේයි. “හැම යහපතකටම සීමාවක් ඇති බව මා දැක ඇත. එහෙත්, ඔබේ ආඥාවටම නම් සීමාවක් නැත.”

119:164—“දවසට සත් වරක්” දෙවිට ප්‍රශංසා කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අංක හතෙන් නියෝජනය වන්නේ පූර්ණකමයි. එමනිසා ගීතිකාකරු පවසන්නේ සියලුම ප්‍රශංසා ලබන්නට වටින තැනැත්තා යෙහෝවා දෙවි බවයි.

අපට ගත හැකි පාඩම්:

107:27-31. මෙම දුෂ්ට සමාජය විනාශ වෙද්දී මේ ලෝකයේ ප්‍රඥාව “නැති වී යයි.” (එළිදරව් 16:14, 16) විනාශයේදී කිසිවෙකුව බේරාගන්නත් ඒ ප්‍රඥාවට බැහැ. නමුත් බේරී ජීවත් වෙන්න යන්නේ යෙහෝවා දෙවිගේ ‘යහපත්කමට [ප්‍රේමණීය කරුණාවට, NW] ස්තුතිවන්ත’ වන අය පමණයි.

109:30, 31; 110:5. සොල්දාදුවෙක් සටන් කරද්දී තම දකුණතේ කඩුවත් වමතේ පලිහත් දරනවා. ඒ නිසා දකුණතට පලිහෙන් ලැබෙන්නේ අඩු ආරක්ෂාවක්. සංකේතවත් ආකාරයකින් යෙහෝවා දෙවි සිටින්නේ තම සේවකයන්ගේ “දකුණු පැත්තේයි.” ඒ නිසා දෙවි ඔවුන් වෙනුවෙන් සටන් කරමින් ආරක්ෂාව සහ උපකාරය ලබා දෙනවා. එය ‘යෙහෝවා දෙවිට බොහෝ සෙයින් ස්තුති කිරීමට’ තවත් කදිම හේතුවක් සපයනවා.

113:4-9. යෙහෝවා දෙවි කොතරම් උසස් වුණත් “ස්වර්ගයේ දේ බලන්ට” පහත් වෙනවා. ඒ වගේම ඔහු අසරණයාට, දුප්පතාට සහ වඳ ස්ත්‍රියට අනුකම්පා කරනවා. මුළු විශ්වයේම අධිපති වන යෙහෝවා දෙවි යටහත් පහත් නිසා ඔහු කැමති අපිත් ඔහු වගේ අන්‍යයන්ට සලකනවාටයි.—යාකොබ් 4:6.

114:3-7. රතු මුහුද සහ යොර්දාන් ගඟ අසලදී මෙන්ම සීනයි කන්ද පාමුලදීද තම සෙනඟ වෙනුවෙන් යෙහෝවා දෙවි කළ පුදුමාකාර ක්‍රියාවන් ගැන මෙනෙහි කරද්දී ඒවා අපි තුළ මහත් දේවගරුබියක් ඇති කරයි. “පොළොව” කීමෙන් අදහස් කරන මනුෂ්‍යවර්ගයා දෙවි ඉදිරියේ “වෙවුලන්න” අවශ්‍යයි. නැතිනම් පුදුමයෙන් පුදුමයට පත් විය යුතුයි.

119:97-101. දේවවචනයෙන් ලබන ප්‍රඥාව, තීක්ෂ්ණ බුද්ධිය සහ තේරුම්ගැනීමේ හැකියාව අපගේ ඇදහිල්ල දුර්වල වෙන්න නොදී අපව ආරක්ෂා කරනවා.

119:105. දෙවිගේ වචනය අපගේ පාදවලට පහනක්. ඉන් අදහස් කරන්නේ අපි මුහුණපාන ගැටලු සමඟ සාර්ථකව කටයුතු කරන්න එය උපකාර කරන බවයි. දෙවි අනාගතයේදී කරන්න යන දේ අපට කලින් කියාදී තිබෙන නිසාත් අපගේ ජීවන මඟ ඉන් ආලෝකවත් කරනවා.

විපත්තිවලදී වුණත් ප්‍රීතියෙන්

(ගීතාවලිය 120:1–145:21)

පරීක්ෂාකාරී තත්වයන්ට මුහුණ දීමට සහ විපත්තිවලින් බේරීමට අපට හැක්කේ කොහොමද? ඒ ප්‍රශ්නයට 120 සිට 134 දක්වා ගීතිකාවලින් පැහැදිලි උත්තරයක් ලබාගන්න පුළුවන්. අපි යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලනවා නම් අපගේ ප්‍රීතිය පවත්වාගන්න පුළුවන්. ඊශ්‍රායෙල්වරුන් තම වාර්ෂික උත්සව සඳහා යෙරුසලමට ගමන් කරමින් සිටිද්දී ඔවුන් විසින් මේවා ගායනා කළා විය හැකියි.

යෙහෝවා දෙවි තමාට කැමති ඕනෑම දෙයක් කරන්න හැකි දෙවි කෙනෙක් බව 135 සහ 136වන ගීතිකාවල පෙන්වයි. යෙහෝවා දෙවි නිෂ්ඵල රූපවලට වඩා කොතරම් වෙනස්ද! ගීතාවලිය 136හි හැම පදයකම අවසන් පේළිය රචනා කර තිබෙන්නේ පළමුවන පේළියට පිළිතුරු ලෙසයි. යුදෙව්වන් බැබිලෝනියේ වහලුන්ව සිටි නිසා ඔවුන්ට සියොන් කන්දට ගොස් යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට නොහැකි වුණා. ඊළඟ ගීතිකාවෙන් කියවෙන්නේ ඒ නිසා ඔවුන්ට ඇති වූ දුක ගැනයි. ඊළඟට 138 සිට 145 දක්වා තිබෙන්නේ දාවිත්ගේ ගීතිකායි. ‘මුළු සිතින් යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමට’ දාවිත්ට වුවමනා වුණා. ඒ ඇයි? “මක්නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලද්දෙමි” කියා දාවිත් කිව්වා. (ගීතාවලිය 138:1; 139:14) ඉන්පසුව තිබෙන ගීතිකා පහෙන් දාවිත් අයදින්නේ නපුරු මිනිසුන්ගෙන් ආරක්ෂාවත්, ධර්මිෂ්ඨයාගෙන් හික්මවීම ලැබීමත්, පීඩා කරන්නන්ගෙන් ගැලවීම වගේම තමාට දෙවිගේ මඟ පෙන්වීමත් ලබා දෙන්න කියායි. දෙවිගේ සෙනඟ අද්දකින ප්‍රීතිය ගැනත් ඔහු පෙන්වා දෙනවා. (ගීතාවලිය 144:15) දෙවිගේ උතුම්කම සහ යහපත්කම ගැන කතා කිරීමෙන් පසු දාවිත් මෙහෙම කියනවා. “මාගේ මුඛය යෙහෝවාගේ ප්‍රශංසාව ගැන කතා කරන්නේය. මාංසය වූ සියල්ලෝ සදාකාලේටම ඔහුගේ ශුද්ධ නාමයට ආශීර්වාද කෙරෙත්වා.”—ගීතාවලිය 145:21.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර

122:3—යෙරුසලෙම “මනා කොට සෑදූ නුවරක්” වෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් පුරාණ කාලයේ තිබූ නගරවල මෙන් යෙරුසලමේද නිවාස ගොඩනඟා තිබුණේ එකිනෙකට යාබදවයි. එයින් ඔවුන්ට ලොකු ආරක්ෂාවක් තිබුණා. මීටත් වඩා, නිවාස එක ළඟ තිබුණු නිසා නගරවාසීන්ට උපකාර සඳහා සහ ආරක්ෂාව සඳහා එකිනෙකා මත රඳා සිටින්න පුළුවන් වුණා. ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 නමස්කාරය සඳහා එකතු වූ විට ඔවුන් තුළ තිබූ එකමුතුකම ඉන් නියෝජනය කරනවා.

123:2—මෙහෙකරුවන්ගේ ඇස් සම්බන්ධ නිදර්ශනයේ තේරුම කුමක්ද? මෙහෙකරුවන් සහ මෙහෙකාරියන් තමන්ගේ ස්වාමියාගේ හෝ ස්වාමි දුවගේ අත් දෙස බලන්නේ හේතු දෙකක් නිසයි. එකක් නම් ඔවුන්ගේ කැමැත්ත කුමක්ද කියා දැනගන්නයි. අනෙක නම් ආරක්ෂාව සහ එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේ ලබාගැනීම සඳහායි. ඒ හා සමානව අපිත් යෙහෝවා දෙවිගේ කැමැත්ත කුමක්ද කියා අවබෝධ කරගැනීමටත් ඔහුගේ අනුමැතිය ලබාගැනීමටත් නිතරම දෙවි දෙස බැලිය යුතුයි.

131:1-3—දාවිත් ‘කිරි වැරූ ළදරුවෙක් වගේ ඔහුගේ ආත්මය සනසා නිශ්චල කරගත්තේ’ කොහොමද? කිරි වැරූ දරුවෙක් තම මවගේ තුරුළේ සතුට සහ සැනසුම ලබනවා. “කිරි වැරූ ළදරුවෙක් මව් සමඟ යම් සේද” ඒ වගේ දාවිත්ද තමාවම සනසගන්න සහ නිශ්චල කරගන්න ඉගෙනගත්තා. ඒ කොහොමද? සිතින් උඩඟු නොවී අහංකාර ලෙස නොබලා තමාට අත් කරගැනීමට බැරි දේවල් පසුපස නොයන්න ඔහු ඉගෙනගත්තා. උසස් තනතුරු සොයනවා වෙනුවට තමාගේ සීමාවන් තේරුම්ගත් අතර යටහත් පහත්කමත් විදහා පෙන්නුවා. ඔහුගේ ආකල්පය අනුගමනය කිරීම ඉතාම ඥානවන්තයි. විශේෂයෙන්ම සභාවේ වරප්‍රසාද අත් කරගැනීමේදී එය අදාළ කරගනිමු.

අපට ගත හැකි පාඩම්

120:1, 2, 6, 7. අපහාස කරන සහ සිත රිදවන වචන කියන අයගෙන් අන්‍යයන්ට ඇති වෙන්නේ දරාගත නොහැකි වේදනාවක්. පරෙස්සමින් කතා කිරීමෙන් අපි ‘සමාදානයට කැමතියි’ කියා පෙන්වමු.

120:3,4. “වංචා බස් කියන දිව” ඇති කෙනෙක් සමඟ කටයුතු කරන්න සිදු වෙනවා නම් තත්වය කුමක්ද? යෙහෝවා දෙවි තම නියමිත කාලයේදී කාරණා සම්පූර්ණයෙන්ම විසඳන බව දැනසිටීම අපිට සහනයක්. අපහාසකරන්නන් “බලවන්තයාගේ” අතින් විනාශය අද්දකියි. “රෝතෙම් අඟුරු” මගින් සංකේතවත් කළේ එවැනි අය මත ගෙනෙන යෙහෝවා දෙවිගේ ගිනිමය විනිශ්චයයි.

127:1, 2. අපි කරන්න සැලසුම් කරන සියලුම දේවලදී මඟ පෙන්වීම සඳහා යෙහෝවා දෙවි දෙස බලමු.

133:1-3. යෙහෝවා දෙවිගේ සෙනඟ අතර තිබෙන එක්සත්කම නිශ්චලකමක්, දිරිගැන්වීමක් සහ නැවුම්බවක් ගෙන දෙනවා. වැරදි සෙවීමෙන්, ගැටුම් ඇති කරගැනීමෙන් සහ චෝදනා කිරීමෙන් අපි එම සාමයට බාධා නොකළ යුතුයි.

137:1, 5, 6. පිටුවහල් කළ දෙවිගේ නමස්කාරකයන්ට එදා දෙවිගේ භූමික සංවිධානය වූ සියොන් කෙරෙහි මහත් ඇල්මක් තිබුණා. අපිත් එහෙමද? අද දින තිබෙන යෙහෝවා දෙවිගේ භූමික සංවිධානයට අපිත් ඒ හා සමාන ළැදිකමක් දක්වනවාද?

138:2. යෙහෝවා දෙවි ‘තමාගේ නාමයට වඩා තමාගේ වචනය උතුම්’ කරන්නේ කුමන අර්ථයෙන්ද? ඉන් අදහස් වෙන්නේ තම නාමයෙන් ඔහු පොරොන්දු වී ඇති සියලු දේ අපට අදහාගන්නවත් බැරි තරම් උතුම් ආකාරයකින් ඉටු කරන බවයි. ඇත්තෙන්ම අප ඉදිරියේ ඇත්තේ මොන තරම් මවිතාකාර බලාපොරොත්තුවක්ද!

139:1-6, 15, 16. අපි ඕනෑම දෙයක් කරන්න, හිතන්න සහ කියන්න පෙර යෙහෝවා දෙවි ඒ ගැන දන්නවා. එයට හේතුව මව් කුස තුළ අපගේ කලලය සෑදුණු අවස්ථාවේදී එනම් අපගේ ශරීර අංග සෑදෙන්නටත් පළමුවෙන් දෙවි අප ගැන දන්න නිසයි. පුද්ගලයන් හැටියට අප ගැන දෙවිට ඇති දැනුම තේරුම්ගැනීමට බැරි තරමටම “පුදුමාකාර” දෙයක්. අපි මුහුණපාන පීඩාවන් යෙහෝවා දෙවිට හොඳින් පෙනෙනවා විතරක් නෙවෙයි නමුත් අපිට ඉන් ඇති වන බලපෑම කොයි වගේද කියාත් දෙවි දන්නවා. එය අපිට මොන තරම් සැනසීමක්ද!

139:7-12. අපි කොතැනක සිටියත් අපව ශක්තිමත් කරන්න දෙවිට පුළුවන්.

139:17, 18. යෙහෝවා දෙවි ගැන ඉගෙනගැනීමෙන් අපි සතුටක් ලබනවාද? (හිතෝපදේශ 2:10) අපි එසේ කරනවා නම් එය අපගේ වෙහෙස නිවන දොළ පාරක් වගෙ වෙනවා. යෙහෝවා දෙවිගේ අදහස් ‘වැලිවලටත් වඩා වැඩියි.’ එමනිසා දෙවි ගැන ඉගෙනගැනීමට අපිට තව මොන තරම් දේවල් තිබෙනවාද!

139:23, 24. අපගේ අභ්‍යන්තර සිතුවිලි පරීක්ෂා කර නුසුදුසු කල්පනාවන්, ආශාවන් සහ පෙලඹීම් නමැති “දුෂ්ට මාර්ග” මුලින්ම උදුරා දමන්න කියා අපි යෙහෝවා දෙවිට කිව යුතුයි.

143:4-7. අපි දරුණු පීඩාවන් විඳදරාගන්නේ කොහොමද? ගීතිකාකරු එයට පිළිතුරු දෙයි. යෙහෝවා දෙවිගේ බලවත් ක්‍රියා ගැන මෙනෙහි කරන්න. දෙවි දැන් කරමින් සිටින දේවල් ගැන අවදියෙන් ඉන්න. ඒ වගේම උපකාර ඉල්ලා දෙවිට යාච්ඤා කරන්න.

“යෙහෝවාට ප්‍රශංසා කරන්න”

ගීතාවලිය පොතේ මීට කලින් සලකා බැලූ කාණ්ඩ හතරම අවසන් වෙන්නේ යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමකිනුයි. (ගීතාවලිය 41:13; 72:19, 20; 89:52; 106:48) අවසන් කාණ්ඩයේද එවැනිම දෙයක් දැකිය හැකියි. ගීතාවලිය 150:6 කියන්නේ “හුස්ම ඇති සියල්ලම යෙහෝවාට ප්‍රශංසා කෙරෙත්වා. යෙහෝවාට ප්‍රශංසා කරන්න” කියායි. පාරාදීස පොළොවේදී එහි පූර්ණ ඉටුවීම අපට දැකගත හැකියි.

ඒ ප්‍රීතිමත් කාලය දෙස අපි බලා සිටින අතරතුර සැබෑ දෙවිව මහිමවත් කරන්නත් දෙවිගේ නාමයට ප්‍රශංසා කරන්නත් අපිට ඕනෑ තරම් හේතු තිබෙනවා. යෙහෝවා දෙවි ගැන ලබා තිබෙන දැනුම සහ දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය නිසා අපි අද්දකින්නේ කියා නිම කළ නොහැකි සතුටක්. ඉතින් මෙවැනි දෙවි කෙනෙකුට මුළු හද පත්ලෙන්ම ප්‍රශංසා කරන්න අප පෙලඹෙන්නේ නැද්ද?

[15වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවිගේ පුදුමාකාර දේවල් ගරුබිය උපදවයි

[16වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවිගේ අදහස් ‘වැලිවලටත් වඩා වැඩියි’