පවුලේ කෙනෙක් යෙහෝවා දෙවිව අත හැර ගිය විට
පවුලේ කෙනෙක් යෙහෝවා දෙවිව අත හැර ගිය විට
“අපේ ළමයි නොමඟ ගියාම මට ඇති වුණේ දරාගන්න බැරි දුකක්. මට හැමදාම ඒක මතක් වෙනවා. ඉතින් මං කොහොම ඒ වේදනාව යට කරගෙන ජීවත් වෙන්නද? අනිත් අම්මල තාත්තල එයාලගේ පුතාල ගැන කතා කරද්දී මට කොච්චර වේදනාවක් දැනෙනවාද! ඒ වෙලාවට මම අඬන්නේ නැතුව ඉන්නේ බොහොම අමාරුවෙන්” කියා ලුවීස් පවසනවා. මාක් සහ ලුවීස් යුවළ යෙහෝවාගේ සාක්ෂිකරුවන්. * ක්‍රිස්තියානි දෙමාපියන්ට උනන්දු කර තිබෙන ලෙස ඔවුන් තම දරුවන්ට බයිබලය ගැන ඉගැන්නුවේ ඉතාමත් ප්‍රේමයෙන් හා සැලකිල්ලෙන් යුතුවයි. (හිතෝපදේශ 22:6; 2 තිමෝති 3:15) නමුත් ඔවුන්ගේ දරුවන් ලොකු මහත් වෙද්දී යෙහෝවා දෙවිට සේවය කරන එක අතහැර දැමීම ඔවුන්ට මහත් වේදනාවක් ගෙන දුන්නා.
කෙනෙක් යෙහෝවා දෙවිව සහ ශුද්ධ ලියවිල්ලේ දක්වා ඇති ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීම නතර කරද්දී පවුලේ අනිත් විශ්වාසවන්ත සාමාජිකයන්ට දැනෙන්නේ ලොකු දුකක්. එවැනි අද්දැකීමක් ඇති අයිරින් තම සහෝදරිය ගැන මෙහෙම පවසනවා. “මම මගේ අක්කාට ගොඩක් ආදරෙයි. ඇය යෙහෝවා දෙවිට නැවත සේවය කරනවා දකින්න මම කොච්චර ආසද? ඒ වෙනුවෙන් මං නොකරන දෙයක් නැහැ.” දුරාචාර ජීවිතයක් ගත කිරීමෙන් යෙහෝවා දෙවිට පිටු පෑ තමාගේ මල්ලී ගැන මාරියා කියන්නේ මෙහෙමයි. “මගේ මල්ලී අනිත් හැම අතින්ම හරි හොඳයි. ඒ නිසා මේ වෙච්ච දේ මට ඉවසගන්න බැරිව ගියා. පවුලේ අය එකතු වෙලා විනෝද වෙද්දී එයා එතැන නැති අඩුව මට ගොඩක් දැනෙනවා.”
ඒක එතරම් අමාරු ඇයි?
තම දරුවා හෝ පවුලේ වෙනත් කිට්ටු සාමාජිකයෙක් දෙවිව අත්හැර ගියාම ක්‍රිස්තියානියෙකුට එතරම් වේදනාවක් දැනෙන්නේ ඇයි? ඔවුන් දන්නවා තම පක්ෂපාත සේවකයන්ට සදාකාල ජීවනය දෙන්න යෙහෝවා දෙවි පොරොන්දු කර තිබෙන බව. (ගීතාවලිය 37:29; 2 පේතෘස් 3:13; එළිදරව් 21:3-5) ඒ නිසා ඔවුන් ඉතාමත් ආශාවෙන් බලාගෙන ඉන්නේ තම සහකරු හෝ සහකාරිය, දරු දැරියන්, දෙමාපියන් සහ මුණුබුරු මිණිබිරියන් සමඟ එම ප්‍රීතිමත් කාලය එකට භුක්ති විඳීමටයි. ඉතින් එවැනි කෙනෙකු දෙවිට සේවය කිරීම නතර කළාම ඒ ආශීර්වාද ඔවුන්ට නැති විය හැකි බව දැනෙද්දී ඇති වෙන ශෝකය කොතරම්ද! යෙහෝවා දෙවිගේ නීති සහ ප්‍රතිපත්ති තිබෙන්නේ තමන්ගේම ප්‍රයෝජනයට බව ක්‍රිස්තියානීන් වටහාගෙන සිටිනවා. ඒ නිසා දෙවිව අත්හැර යෑමේ ප්‍රතිඵලයක් හැටියට තමන්ගේ පවුලේ කිට්ටු සාමාජිකයන්ට කනගාටුදායක විපාකයක් අත්වෙන බව දන්න නිසා ක්‍රිස්තියානීන්ගේ සිතට දැනෙන්නේ මහත් වේදනාවක්.—යෙසායා 48:17, 18; ගලාති 6:7, 8.
එවැනි අද්දැකීමක් නැති කෙනෙකුට ඒ අය විඳින වේදනාව කොයි වගේද කියල සමහරවිට තේරුම්ගන්න අපහසු විය හැකියි. ඒ අයගේ ජීවිතයේ හැම පැත්තටම එම අහිමි වීම බලපානවා. ඒ ගැන ලුවීස් කියන දේ බලන්න. “රැස්වීම්වලට ගියාම දෙමාපියන් එයාලගෙ දරුවොත් එක්ක හිනා වෙවි කතා කරන හැටි දකිද්දී මට රැස්වීම්වල ඉන්න එක එන්න එන්නම අමාරු දෙයක් වුණා. අපි සතුටු වන අවස්ථාවලදී වුණත් මගේ ඒ දරුවන් නැති නිසා මට දැනුණේ ලොකු අඩුවක්.” අවුරුදු හතරක් පුරා තම භාර්යාවගේ කලින් විවාහයේ දියණිය ඔවුන්ගෙන් ඈත් වෙලා හිටපු කාලය ගැන එක් වැඩිමහල්ලෙක් මෙහෙම කියනවා. “ප්‍රීතිමත් අවස්ථාවලදී වුණත් බොහෝවිට අද්දැක්කේ දුකයි. මම මගේ බිරිඳට තෑග්ගක් දුන්නත් සති අන්තයේ යම් විනෝදය ගෙන දෙන යමක් කළත් ඇයගේ දුවව මතක් වුණ නිසා ඇය අඬන්න පටන්ගත්තා.”
ඒ අද්දැකීම්වලින් පෙනෙන්නේ ඔවුන් පමණට වඩා දුක් වෙනවා කියන එකද? එහෙමම කියන්න බැහැ. මෙහිදී ඔවුන් තුළ යම් දුරකට දකින්නේ දෙවිගේම ගුණාංගයි. එයට හේතුව මිනිසාව නිර්මාණය කර තිබෙන්නේ යෙහෝවා දෙවිගේ ස්වරූපයෙන් වන නිසයි. (උත්පත්ති 1:26, 27) එය පැහැදිලි කරගැනීමට ඊශ්‍රායෙල්වරු කැරලි ගැසූ විට යෙහෝවා දෙවිට හැඟුණු ආකාරය ගැන අපි සලකා බලමු. ගීතාවලිය 78:38-41 දක්වා පදවල පෙන්වා තිබෙන්නේ දෙවිට දැනුණ දුක සහ වේදනාව ගැනයි. ඒ වුණත් දෙවි ඔවුන්ට අනතුරු අඟවා අවශ්‍ය හික්මවීම් දුන්නා. ඔවුන් පසුතැවිලි වී හැරී ආ හැම වතාවකම දෙවි ඔවුන්ට සමාව දුන්නා. යෙහෝවා දෙවි ‘තමා අතින් කළ වැඩට’ හෙවත් මිනිසුන්ට දැඩි ඇල්මක් තිබෙන නිසා ඔවුන්ව අත්හැර දමන්න ඉක්මන් වෙන්නේ නැති බව පැහැදිලියි. (යෝබ් 14:15; යෝනා 4:10, 11) එවැනිම ඇල්මක් දෙවි මිනිසුන් තුළත් ඇති කළ නිසා, විශේෂයෙන් පවුලේ සාමාජිකයන් අතර තිබෙන්නේ ලෙහෙසියෙන් වෙන් කළ නොහැකි බැඳීමක්. ඒ නිසයි පවුලේ සාමාජිකයෙක් දෙවිව අතහැර යද්දී ඔවුන්ට මහත් වේදනාවක් දැනෙන්නේ.
එය ක්‍රිස්තියානියෙකුගේ ජීවිතයේ මුහුණ පාන්න සිදු වන අමාරුම පරීක්ෂාවලින් එකක්. (ක්‍රියා 14:22) තමාගේ පණිවිඩය පිළිගන්න නිසා සමහර පවුල්වල භේද ඇති වන බව යේසුස් කිව්වා. (මතෙව් 10:34-38) එහෙම වෙන්නේ බයිබලයේ තිබෙන පණිවිඩය නිසා නෙවෙයි. පවුලක් තුළ බෙදීම් ඇති කරන්නේ නොඇදහිලිකාර අයගේ හෝ සත්‍යය අතහැර ගිය අයගේ ක්‍රියායි. ඔවුන් එසේ කරන්නේ ක්‍රිස්තියානි නමස්කාරය ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ ඊට විරුද්ධ වීමෙනුයි. කොහොමනමුත් යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට පරීක්ෂා විඳදරාගන්න දෙවි යම් මාර්ග සපයා තිබීම ගැන අපිට පුළුවන් ඔහුට ස්තුතිවන්ත වෙන්න. ඔබත්, එවැනි පවුලේ සාමාජිකයෙකු නිසා ශෝකයෙන් සිටින කෙනෙක්ද? එහෙමනම් ඔබගේ දුක දරාගන්නත් යම් ප්‍රමාණයකට සහනයක් අද්දකින්නත් උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති කිහිපයක් සලකා බලමු.
ශෝකය සමඟ කටයුතු කිරීම
“ඔබවම ගොඩනඟා ගැනීමෙන්, . . . දෙවිගේ ප්‍රේමයෙහි පවතින්න.” (යූද් 20, 21) ඔබ මුහුණ දෙන තත්වයට අනුව, සමහරවිට දෙවිව අතහැර ගිය සාමාජිකයා වෙනුවෙන් කිරීමට වෙන කිසිවක් ඉතිරිව නැතිව ඇති. නමුත් ඔබට කළ හැකි සහ කළ යුතු දේ නම් ඔබගේත් පවුලේ සිටින අනිත් සාමාජිකයන්ගේත් ඇදහිල්ල ශක්තිමත් කිරීමයි. වෙරෝනිකාගේ පුතුන් තුන්දෙනාගෙන් දෙදෙනෙක්ම සත්‍ය නමස්කාරය අතහැර ගියා. ඇය මෙහෙම කියනවා. “දවසක අපේ පුතාලා දෙන්නා නැවත හැරී එද්දී ඔවුන්ව පිළිගන්න පුළුවන් තත්වයක අපි ඉන්නේ අපගේ ඇදහිල්ල ශක්තිමත්ව තියාගත්තොත් විතරයි කියලා සහෝදරයෝ අපිට කාරුණිකව කිව්වා. යේසුස්ගේ උපමාවේ සඳහන් අකීකරු පුත්‍රයා නැවත එද්දී ඔහුව පිළිගන්න තරම් තත්වයක ඔහුගේ පියා සිටියේ නැත්නම් ඒ පුතාට මොනවා වෙන්න තිබුණාද?”
ඇදහිල්ල ශක්තිමත් කරවන ක්‍රියාවල හැකි තරම් යෙදෙන්න. මෙයට බයිබලය හොඳින් අධ්‍යයනය කිරීම වගේම රැස්වීම්වලට සහභාගි වීම සඳහා හොඳ කාලසටහනකට අනුව වැඩ කිරීමත් වැදගත්. ඔබට පුළුවන් තරමින් සභාවේ අයට උපකාර කිරීමට ඉදිරිපත් වන්න. මුලදී ඒ වගේ කිරීම ලෙහෙසි නොවන බව ඇත්තයි. වෙරෝනිකාත් එය පිළිගනිමින් මෙහෙම කියනවා. “හරියට තුවාලයක් තියෙන සතෙක් වගේ මුලදී මම නිතරම බැලුවේ තනියම ඉන්නයි. නමුත් මගේ මහත්තයා මට හැම වේලේම උනන්දු කළේ ඇදහිල්ල ශක්තිමත් කරන දේවල් කරන්න කියලයි. රැස්වීම් අතපසු කරන්න නම් ඔහු කවදාවත් ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම සමුළුවලදී අනිත් අයට මුහුණ දෙන්න මට ලොකු ධෛර්යයක් අවශ්‍ය වුණා. නමුත් සමුළුවෙන් ඉගෙනගත්ත දේවල් අපිව යෙහෝවා දෙවි වෙතට තවත් ළං කළා. අපේ අනිත් පුතාගේ ඇදහිල්ලත් ඒ සමුළුවේදී ගොඩක් ශක්තිමත් වුණා.”
කලින් සඳහන් කළ මාරියා ඇගේ දුක තුනී කරගැනීමට දේවසේවයේ වැඩියෙන් යෙදෙන අතර දැන් ඇය හතරදෙනෙකු සමඟ බයිබලය පාඩම් කරනවා. ලෝරා කියන සහෝදරිය කියන්නේ “මම තාමත් හැමදාම අඬනවා. අනිත් දෙමාපියන් වගේ මගේ දරුවන්ව හරියට පුහුණු කරන්න බැරි වුණත් අන්තිම කාලයේ ජීවත් වන පවුල්වලට උපකාර සපයන
බයිබලයේ උපදෙස් මම ගොඩක් අගය කරනවා” කියායි. ක්‍රිස්තියානි දෙමාපියන් දෙදෙනෙක් වන කෙන් සහ එලෙනෝර්ගේ වැඩිමහල් දරුවන් සභාව අතහැර ගියා. ඒ නිසා ඔවුන් අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක පූර්ණ කාලීනව සේවය කරන්න ගියා. මේ නිසා දේවල් සමබරව කරන්නත් දුකෙන් යටපත් නොවී ඉන්නත් ඔවුන්ට පුළුවන් වුණා.බලාපොරොත්තු සුන් කරගන්න එපා. බයිබලයේ කියන්නේ ප්‍රේමය “සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටින්නේය” කියායි. (1 කොරින්ති 13:7) කලින් ඡේදයේ සඳහන් කළ කෙන් මෙහෙම කියනවා. “අපේ ළමයි සත්‍යය අතහැර ගියාම මට හිතුණේ ඒක එයාලාගේ අවසානය තමයි කියලා. නමුත් මගේම නංගී මැරුණාට පස්සේ ළමයි ගැන මං හිතපු විදිහ වෙනස් වුණා. මගේ ළමයි ඇත්තටම මැරිලා නැති එක ගැන මම සතුටු වෙනවා. හේතුව යෙහෝවා දෙවි තවමත් ඔවුන් නැවත හැරිලා එනකං බලාගෙන සිටින නිසයි.” ඔව්, හුඟක් අද්දැකීම්වලින් පෙන්වන්නේ කාලයත් සමඟම සත්‍යය අතහැර ගිය අය නැවත හැරී එන බවයි.—ලූක් 15:11-24.
තමන්ටම දොස් පවරාගන්න එපා. හුඟක් දෙමාපියන් අතීතය ගැන හිතමින් දුක් වෙනවා. ඒ තමන්ට යම් දේවල් හරියට කරගන්න බැරි වුණා කියා හිතන නිසයි. නමුත් එසකියෙල් 18:20හි මූලිකවම කාවද්දන්නේ යෙහෝවා දෙවි ප්‍රතිඵල දෙන්නේ වැරදි තීරණයක් ගත් පව්කාරයාට මිස ඔහුගේ දෙමාපියන්ට නොවන බවයි. තම දරුවන්ව හරි මාර්ගයේ පුහුණු කිරීමේ වගකීම ගැන හිතෝපදේශ පොතේ දෙමාපියන්ට බොහෝ උපදෙස් සපයා තිබෙන බව ඇත්තයි. නමුත් ඊට හතර ගුණයකටත් වඩා වැඩියෙන් දරුවන්ට උපදෙස් දී තිබෙන්නේ දෙමාපියන්ට කීකරු වීමටයි. එමනිසා තම දෙමාපියන් වැරදි නොකරන අය නොවුණත් බයිබලය පදනම් කරගෙන දෙන පුහුණුව භාරගැනීම දරුවන්ගේ වගකීමයි. දෙමාපියන් වශයෙන් ඇතැම්විට ඔබේ උපරිමය ඔබ කරන්න ඇති. නමුත් ඔබට තවමත් හැඟෙනවා නම් ඔබ අතින් යම් වැරදි සිදු වී තිබෙනවා කියලා, ඉන් අදහස් කරන්නේ නැහැ දරුවා සත්‍යය අතහැරීමට ප්‍රධාන හේතුව වුණේ ඔබයි කියලා. කොහොමවුණත් “මම එහෙම කළා නම් මෙහෙම වෙන්නේ නැහැනේ” කියා සිතමින් ළත වීමෙන් කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. එමනිසා ඔබේ වැරදිවලින් පාඩමක් ඉගෙනගන්න. ඒවා නැවත නොකරන්න අධිෂ්ඨාන කරගන්න. සමාව ඉල්ලා දෙවිට යාච්ඤා කරන්න. (ගීතාවලිය 103:8-14; යෙසායා 55:7) ඉන්පසු අතීතය ගැන ළත නොවී ඉදිරිය ගැන හිතන්න.
අනිත් අය සමඟ ඉවසීමෙන් කටයුතු කරන්න. සමහරුන්ට එවැනි අද්දැකීමක් නැති නිසා, ඔබව සනසන්නේ හෝ දිරිගන්වන්නේ කොහොමද කියලා හරියටම දන්නේ නැතිව ඇති. එමෙන්ම කෙනෙකුව දිරිගන්වන විදිහත් එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. ඒ නිසා කෙනෙක් ඔබේ හිත රිදෙන යමක් පැවසුවොත් කොලොස්සි 3:13හි පාවුල්ගේ මේ උපදෙස මතක තබාගන්න. “යමෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට හේතුවක් ඇත්නම්, එකිනෙකා ගැන ඉවසමින්, මුළු හදවතින්ම එකිනෙකාට කමා කරන්න. යෙහෝවා මුළු හදවතින්ම ඔබට කමා කළාක් මෙන් ඔබත් එසේ කරන්න.”
යෙහෝවා දෙවි දෙන හික්මවීමට ගරු කරන්න. ඔබගේ පවුලේ කිට්ටු සාමාජිකයෙකුට සභාව තුළින් යම් හික්මවීමක් ලැබී ඇත්නම් එය යෙහෝවා දෙවි දෙන හික්මවීමක් හැටියට සලකන්න. එය මුළු සභාවේම පමණක් නෙවෙයි වැරදි කළ පුද්ගලයාගේ යහපත සඳහා හේතු වන බව මතක තබාගන්න. (හෙබ්‍රෙව් 12:11) ඒ නිසා වැඩිමහල්ලන්ව හෝ දුන් තීරණය විවේචනය කිරීමෙන් වළකින්න. එම හික්මවීමට විරුද්ධ වීමේ ප්‍රතිඵලය වෙන්නේ දුක තවත් වැඩිවීම පමණයි. එමනිසා හොඳම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙන්නේ යෙහෝවා දෙවිගේ ක්‍රමයට දේවල් කිරීමෙන් පමණක් බව මතක තබාගන්න.
ඊජිප්තුවේ වහල්භාවයෙන් ගැලවී ආ ඊශ්‍රායෙල්වරුන්ට මෝසෙස් විනිශ්චයකාරයෙක් හැටියට සේවය කළා. (නික්මයාම 18:13-16) විනිශ්චයකදී නිවැරදි කෙනාට පක්ෂව තීන්දුවක් දීමෙන් අදහස් කරන්නේ අනිත් පුද්ගලයාට විරුද්ධව පියවරක් ගැනීමයි. මෝසෙස් දුන් තීන්දු නිසා සමහර අය කලකිරුණු බව සිතාගන්න පුළුවන්. එම විනිශ්චයන් ගැන වැරදි සෙවීම නිසා සමහර අය ඔහුගේ නායකත්වයට විරුද්ධව පවා කැරලිගැසුවා. නමුත් තම සෙනඟට මඟ පෙන්වන්න මෝසෙස්ව පත් කළේ යෙහෝවා දෙවියි. ඒ වගේම දෙවි දඬුවම් කළේ මෝසෙස්ට නෙවෙයි නමුත් කැරලි ගැසූ අයට සහ ඔවුන්ට සහයෝගය දැක්වූ ඔවුන්ගේ පවුල්වල අයටයි. (ගණන් කතාව 16:31-35) ඉන් අපට වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්. එනම් අද දිනත් දෙවිගේ සැලැස්මට අනුව ගන්නා තීරණවලට කීකරුකම සහ සහයෝගය දැක්විය යුතු බවයි.
ඩිලෝරස්ගේ දියණියට සභාවෙන් හික්මවීමක් ලැබුණ විට ඒ ගැන නිසි විදියට සිතීම තමන්ට කොයි තරම් අමාරු වුණාද කියා ඇය සිහිපත් කරනවා. “ඒ සඳහා මට උපකාර කළේ යෙහෝවා දෙවිගේ සැලසුම්වල ඇති සාධාරණකම ගැන පළ වූ ලිපි නැවත නැවත කියවීමයි. කතාවල සහ ලිපිවල තිබූ ප්‍රයෝජනවත් කරුණු මං පොතක සටහන් කරගත්තා. ඒක මට විඳදරාගෙන සේවය කරන්න උපකාර කළා.”
ඔබට හැඟෙන දේ කියන්න. ඔබට විශ්වාසවන්ත ඔබව තේරුම්ගන්න යහළුවන්ගෙන් කෙනෙකුට හෝ දෙදෙනෙකුට ඔබේ හැඟීම් කියන්න. එසේ කිරීමේදී, ඔබව ගොඩනංවන යහළුවන්ව තෝරාගන්න. යාච්ඤාවෙන් යෙහෝවා දෙවිට ‘ඔබේ සිත වැගිරවීමෙන්’ මහත් සහනයක් ලබන්න පුළුවන්. * (ගීතාවලිය 62:7, 8) එයට හේතුව නම් ඔබගේ හැඟීම් එකක් නෑර තේරුම්ගන්න දෙවිට පුළුවන් නිසයි. උදාහරණයකට ඔබට හිතෙන්න පුළුවන් ‘මම යෙහෝවා දෙවිව අත්හැරියෙත් නැහැ. ඒත් ඒ වගේ ලොකු මානසික පීඩනයක් මට අද්දකින්න වෙන එක සාධාරණ නැහැ නේද?’ කියලා. ඒ නිසා ඔබේ හැඟීම් යෙහෝවා දෙවිට කියා ඔබේ වේදනාව තුනී කරගන්න දෙවිගෙන් උපකාර අයැදින්න.—ගීතාවලිය 37:5.
කාලය ගෙවෙද්දී, ඔබේ දුක සමඟ කටයුතු කිරීමට ඔබට පුළුවන් වේවි. ඒ අතරතුර ඔබගේ ස්වර්ගික පියාව සතුටු කරවන දේවල්වල දිගටම නියැලෙන්න. ඒවායින් පලක් නැහැ කියා කවදාවත් නොසිතන්න. (ගලාති 6:9) අපි යෙහෝවා දෙවිව අතහැර ගියොත් අපට ගැටලු ප්‍රශ්න ඇති වෙන බව මතක තබාගන්න. නමුත් දෙවිට පක්ෂව සිටීමෙන් පරීක්ෂාවලට මුහුණපාන්න අවශ්‍ය උපකාර අපිට ලැබෙනවා. යෙහෝවා දෙවි ඔබගේ තත්වය මුළුමනින්ම තේරුම්ගන්න බවත් ඒ සඳහා අවශ්‍ය ශක්තිය නියමිත වේලාවට ලබා දෙන බවටත් ස්ථිර වන්න.—2 කොරින්ති 4:7; ෆිලිප්පි 4:13; හෙබ්‍රෙව් 4:16.
[පාදසටහන්වල]
^ 2 ඡේ. සැබෑ නම් නොවෙයි.
^ 19 ඡේ. සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ අය වෙනුවෙන් යාච්ඤා කිරීම ගැන 2001 දෙසැම්බර් 1 මුරටැඹ කලාපයේ 30-1 දක්වා පිටු බලන්න.
[19වන පිටුවේ කොටුව]
විඳදරාගැනීමට නම් . . .
◆ “ඔබවම ගොඩනඟා ගැනීමෙන් . . . දෙවිගේ ප්‍රේමයෙහි පවතින්න.—යූද් 20, 21.
◆ බලාපොරොත්තු සුන් කරගන්න එපා.—1 කොරින්ති 13:7.
◆ තමන්ටම දොස් පවරාගන්න එපා.—එසකියෙල් 18:20.
◆ අනිත් අය සමඟ ඉවසීමෙන් කටයුතු කරන්න.—කොලොස්සි 3:13.
◆ යෙහෝවා දෙවි දෙන හික්මවීමට ගරු කරන්න.—හෙබ්‍රෙව් 12:11.
◆ ඔබට හැඟෙන දේ කියන්න.—ගීතාවලිය 62:7, 8.
[21වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ඔබ යෙහෝවා දෙවිව අතහැර ගිය අයෙක්ද?
ඔබ දෙවිව අතහැර ගිය හේතුව කුමක් වුණත් යෙහෝවා දෙවි සමඟ ඔබගේ මිත්‍රත්වය සහ ඔබේ සදාකාල ජීවනය තිබෙන්නේ අනතුරකයි. සමහරවිට නැවත යෙහෝවා දෙවි වෙත හැරෙන්න ඔබ බලාපොරොත්තුවෙන් ඉන්නවා ඇති. ඒ සඳහා ඔබ ඉතා උනන්දුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටිනවාද? නැතිනම් එය කල්දමමින් ඔබගේ “වෙලාව එනකං” ඉන්නවාද? දෙවි මෙම දුෂ්ට සමාජය පිට ගෙනෙන විනාශය ඉතා වේගයෙන් ළඟාවෙමින් තිබෙන බව මතක තබාගන්න. ඒ විතරක් නෙවෙයි අපගේ ජීවිතය කෙටියි, හරිම අස්ථිරයි. ඔබ හෙට ජීවත් වෙයිද කියලා ඔබවත් දන්නේ නැහැ. (ගීතාවලිය 102:3; යාකොබ් 4:13,14) තමාට මාරාන්තික රෝගයක් ඇති බව දැනගත් කෙනෙක් මෙහෙම කිව්වා. “මේ ලෙඩේ මට හැදුණේ මම පූර්ණ කාලීන සේවය කරද්දීයි. ඒ නිසා මට පසුතැවෙන්න දෙයක් නැහැ. ඉතින් ඒකම මට ලොකු සහනයක්.” නමුත් හිතන්න “මම දෙවිට පස්සේ සේවය කරන්නම්” කියා ඔහු සිතමින් සිටිද්දී ඒ ලෙඩේ හැදුණා නම් ඔහුට කොහොම හිතෙයිද කියා. ඔබ යෙහෝවා දෙවිව අතහැර ගිය කෙනෙක් නම්, මේ දැන්ම දෙවි වෙත නැවත හැරෙන්න!
[18වන පිටුවේ පින්තූර]
ඇදහිල්ල ශක්තිමත් කරන ක්‍රියාවල දිගටම යෙදීම නිසි ආකල්පයක් තබාගැනීමට උපකාරයක්