Skip to content

පටුනට යන්න

‘යාච්ඤා අසන තැනැත්තා’ වෙතට ළඟා වෙන්නේ කොහොමද?

‘යාච්ඤා අසන තැනැත්තා’ වෙතට ළඟා වෙන්නේ කොහොමද?

‘යාච්ඤා අසන තැනැත්තා’ වෙතට ළඟා වෙන්නේ කොහොමද?

“යාච්ඤා අසන්නාණෙනි, මාංසය වූ සියල්ලෝ ඔබ වෙතට පැමිණෙන්නෝය.”—ගීතාවලිය 65:2.

1. අනෙකුත් සියලුම ජීවීන්ට වඩා මනුෂ්‍යයා වෙනස් වෙන්නේ කෙසේද? මෙයින් ඔවුන්ට උදා වෙන ප්‍රස්තාව කුමක්ද?

පොළොව මත සිටින දස දහස් ගණනක් වූ ජීවීන් අතරින්, තම මැවුම්කරුට නමස්කාර කිරීමේ හැකියාව ඇත්තේ මනුෂ්‍යයාට පමණයි. ඒ ගැන සැලකිලිමත් වෙන්නෙත් ඉන් සතුටක් ලබන්නෙත් මනුෂ්‍යයන් පමණයි. මේ තුළින් තම ස්වර්ගික පියාණන් සමඟ ඉතා කිට්ටු බැඳීමක් ඇති කරගැනීමේ හැකියාව මනුෂ්‍යයන්ට ලැබෙනවා.

2. පව් කිරීම, මිනිසාට තම මැවුම්කරු සමඟ තිබූ මිත්‍රත්වයට බලපෑවේ කොහොමද?

2 දෙවි මිනිසාව මැව්වේ ඔහු වෙතට ළඟාවීමේ හැකියාව හෙවත් ඔහුට කතා කිරීමේ හැකියාව ඇතිවයි. ඔවුන්ව මැව්වේ කිසිම අඩු පාඩුවක්ද නැතුවයි. දරුවෙක් තම පියාට නිදහසේ කතා කරනවා වගේ ඔවුන්ද දෙවිට නිදහසේ කතා කළා. නමුත් මෙම අනර්ඝ වරප්‍රසාදය ඔවුන්ට අහිමි වුණේ ඔවුන් පව් කළ නිසයි. ඔවුන්ගේ අකීකරුකම නිසා දෙවි සමඟ තිබූ කිට්ටු මිත්‍රත්වයත් ඔවුන්ට අහිමි වුණා. (උත්පත්ති 3:8-13, 17-24) මින් අදහස් කරන්නේ ආදම්ගෙන් පැවත එන්නන්ට කිසිදාක දෙවි සමඟ කතා කිරීමට බැරි බවද? නැහැ. දෙවි වෙත ළඟාවෙන්න ඔවුන්ට තවමත් හැකියාව තිබෙනවා. නමුත් ඒ සඳහා දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වන යම් දේවල් කිහිපයක් තිබෙනවා. ඒ මොනවාද?

බලාපොරොත්තු වන දේ

3. පව්කාර මිනිසුන් දෙවි වෙත ළඟා විය යුත්තේ කොහොමද? මෙය පෙන්වන්නේ කුමන ආදර්ශයෙන්ද?

3 මිනිසුන්ට දෙවි වෙත ළඟා විය හැකි ආකාරය, ආදම්ගේ පුතුන් දෙදෙනෙකුගේ ආදර්ශයෙන් සලකා බලමු. පව්කාර මිනිසුන්ගෙන් දෙවි බලාපොරොත්තු වන දේ අපිට ඉන් ඉගෙනගන්න පුළුවන්. කායින් සහ ආබෙල් දෙදෙනාම දෙවිට පූජා ඔප්පු කිරීමෙන් ඔහු වෙත ළඟාවීමට උත්සාහ කළා. ආබෙල්ගේ පූජාව දෙවි පිළිගත් නමුත් කායින්ගේ පූජාව ඔහු ප්‍රතික්ෂේප කළා. (උත්පත්ති 4:3-5) එහෙම වුණේ ඇයි? හෙබ්‍රෙව් 11:4හි ඒ ගැන කියන්නේ මෙහෙමයි. “ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා වටිනා පූජාවක් දෙවිට ඔප්පු කළේය. ඒ ඇදහිල්ල නිසා . . . ඔහු ධර්මිෂ්ඨයෙකු බවට ඔහුට සාක්ෂියක් ලැබිණ.” ඉන් පැහැදිලි වෙන්නේ දෙවි වෙත පිවිසීමට ඇදහිල්ල අවශ්‍ය බවයි. තවත් අවශ්‍යතාවක් ගැන යෙහෝවා දෙවි කායින්ට කියූ වචනවලින් දැකගන්න පුළුවන්. “ඔබ යහපත කළෙහි නම් පිළිගනු නොලබන්නෙහිද?” කායින් යහපත් දේවල් කළා නම් ඒවා දෙවිට පිළිගත හැකි තත්වයක තිබුණා. නමුත් කායින් දෙවිගේ උපදෙස් ප්‍රතික්ෂේප කළා විතරක් නෙවෙයි ආබෙල්වත් මැරුවා. අවසානයේදී ඔහුව පිටුවහල් කරනු ලැබුවා. (උත්පත්ති 4:7-12) මිනිස් ඉතිහාසයේ ඒ මුල් සිද්ධියෙන් පෙන්වන්නේ දෙවි වෙත ළඟාවීමට නම් ඇදහිල්ල සමඟ යහපත් ක්‍රියා කිරීම ඉතා වැදගත් බවයි.

4. දෙවි වෙත ළඟාවීමේදී අපි පිළිගත යුත්තේ කුමක්ද?

4 දෙවි වෙත ළඟාවීමේදී අපි පව්කාරයන් බව පිළිගැනීම අත්‍යවශ්‍යයි. සියලු මිනිසුන් පව්කාරයන් නිසා එය දෙවි වෙතට ළඟාවීමට බාධාවක්. අනාගතවක්තෘ යෙරෙමියා ඊශ්‍රායෙල්වරුන් ගැන ලිව්වේ මෙහෙමයි. “අපි දෙවිගේ නීතිය කඩ කළෙමු. . . . අපේ යාච්ඤා ඔබට නොඇසෙන සේ වලාකුළකින් ඔබ ඔබවම වසාගෙන සිටින්නේය.” (විලාප ගී 3:42, 44) ඒ වුණත් ඇදහිල්ල හා හරි ආකල්පයකින් යුතුව ඔහුගේ ප්‍රතිපත්ති පවත්වන මිනිසුන්ගේ යාච්ඤා දෙවි අසන බව ඉතිහාසය පුරාම දෙවි පෙන්වා තිබෙනවා. (ගීතාවලිය 119:145) එලෙස යාච්ඤා කළ සමහර අය කවුද? ඔවුන්ගේ යාච්ඤාවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5, 6. දෙවිට යාච්ඤා කිරීමේදී අපිට ආබ්‍රහම්ගෙන් ඉගෙනගන්න පුළුවන් කුමක්ද?

5 ආබ්‍රහම් එවැනි පුද්ගලයෙක්. දෙවි ඔහුගේ යාච්ඤා පිළිගත් අතර “මාගේ මිත්‍ර” ආබ්‍රහම් කියා ඔහුව හැඳින්වූවා. (යෙසායා 41:8) මෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් කුමක්ද? ඇදහිලිවන්ත ආබ්‍රහම් තමාට උරුමක්කාරයෙක් ලබා දෙන්න කියා යෙහෝවා දෙවිගෙන් ඉල්ලුවා. “මට දරුවෙක් නැත. එහෙයින් ඔබ මට කුමක් දෙන්නෙහිද?” (උත්පත්ති 15:2, 3; 17:18) තවත් අවස්ථාවක සොදොම් සහ ගොමොරා නගර යෙහෝවා දෙවි විනාශ කරන්න තීරණය කළ විට ඉන් ගැලවෙන්නේ කවුද කියා ඔහු දෙවිගෙන් විමසුවා. (උත්පත්ති 18:23-33) එමෙන්ම ඔහු අන් අය වෙනුවෙනුත් දෙවිට කන්නලව් කළා. (උත්පත්ති 20:7, 17) ආබෙල් මෙන් ආබ්‍රහම්ද සමහර අවස්ථාවලදී දෙවි වෙතට යාච්ඤාවෙන් ළඟා වෙද්දී පූජාවක් ඔප්පු කළා.—උත්පත්ති 22:9-14.

6 එම සියලුම අවස්ථාවලදී ආබ්‍රහම් දෙවිට නිදහසේ කතා කළා. කොහොමවුණත් ආබ්‍රහම් දෙවිට එසේ කතා කරද්දී මැවුම්කරු ඉදිරියේ තමා කොයි වගේ පුද්ගලයෙක්ද කියන එක ඔහු යටහත් පහත්ව පිළිගත්තා. උත්පත්ති 18:27හි ඇති ඔහුගේ වචනවලින් ඒ බව පැහැදිලියි. “දැන් බැලුව මැනව, ධූලි හා අළු වූ මම යෙහෝවාට කතා කරන්ට භාරගතිමි.” අපිටත් තිබිය යුත්තේ එවැනිම කදිම ආකල්පයක් නොවෙයිද!

7. පුරාණ ඇදහිලිවන්තයන් යෙහෝවා දෙවිට යාච්ඤා කළේ කුමන කාරණා ගැනද?

7 තවත් ඇදහිලිවන්තයන්ද විවිධ දේවල් ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කළ අතර දෙවි ඒවාට ඇහුම්කන් දුන්නා. යාකොබ් තම යාච්ඤාව ඉදිරිපත් කළේ පොරොන්දුවක් හැටියටයි. දෙවිගෙන් උපකාර ඉල්ලීමෙන් පසුව ඔහු අවංකව පොරොන්දු වුණේ “ඔබ මට දෙන සියල්ලෙන්ම දසයෙන් කොටසක් ඔබට ඒකාන්තයෙන්ම දෙන්නෙමි” කියායි. (උත්පත්ති 28:20-22) පසු අවස්ථාවක ඔහු තම සහෝදරයාව මුණගැසෙන්න යන විට යාකොබ් දෙවිගෙන් බැගෑපත්ව ආරක්ෂාව අයැදමින් මෙහෙම කිව්වා. ‘මාගේ සහෝදරයා අතින් එනම් ඒසව් අතින් මා ගැලෙව්ව මැනවයි යාච්ඤා කරමි. මක්නිසාද මම ඔහුට භය වෙමි.’ (උත්පත්ති 32:9-12) තමාගේ පවුලේ අය වෙනුවෙන් පූජා ඔප්පු කරමින් දෙවිට යාච්ඤාවෙන් ළඟා වූ තවත් කෙනෙක් වෙන්නේ ඇදහිලිවන්තයෙක් වූ යෝබ්. ඔහුගේ මිත්‍රයන් තුන්දෙනා කියූ දේවලින් පව් කළ විට යෝබ් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළා. ප්‍රතිඵලය? “යෙහෝවා යෝබ් පිළිගත්තේය.” (යෝබ් 1:5; 42:7-9) අපේ යාච්ඤාවලදී යෙහෝවා දෙවිට කිව යුතු දේවල් මොනවාද කියා දැනගැනීමට එම වාර්තා අපිට උපකාර කරනවා. නිසි ආකාරයට දෙවි වෙතට ළඟා වෙන අයගේ යාච්ඤාවලට දෙවි ඇහුම්කන් දෙන බවත් ඉන් අපට වටහාගන්න පුළුවන්.

මෝසෙස්ගේ නීතිය යටතේ

8. මෝසෙස්ගේ නීතිය යටතේ ජනයා වෙනුවෙන් යම් ඉල්ලීම් යෙහෝවා දෙවි වෙතට ගෙන ගියේ කොහොමද?

8 ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවේ වහල්භාවයෙන් ගලවාගත් පසු දෙවි ඔවුන්ට මෝසෙස් මාර්ගයෙන් නීතිය දුන්නා. දෙවි වෙතට ළඟා විය යුත්තේ, පත් කරන ලද පූජක පංතියක් මාර්ගයෙන් බව එහි සඳහන්ව තිබුණා. සමහර ලෙවීවරුන්ව ජනයා වෙනුවෙන් පෙනී සිටින පූජකයන් ලෙස පත් කළා. ජාතියක් හැටියට ඔවුන් යම් ඉල්ලීමක් කරද්දී ඔවුන්ව නියෝජනය කරමින් රජෙක් හෝ අනාගතවක්තෘවරයෙක් දෙවිට යාච්ඤාවකින් එය ඉදිරිපත් කළා. (1 සාමුවෙල් 8:21, 22; 14:36-41; යෙරෙමියා 42:1-3) සලමොන් රජ දේවමාලිගාව කැප කිරීමේදී මුළු හදවතින්ම දෙවිට කළ යාච්ඤාව මීට කදිම උදාහරණයක්. එම ඉල්ලීමට පිළිතුරු වශයෙන් දේවමාලිගාව දෙවිගේ මහිමයෙන් පිරී ගිය අතර දෙවිම කතා කරමින් මෙහෙම කිව්වා. “මේ ස්ථානයේදී කරන යාච්ඤාවට මාගේ . . . කන් යොමු කරන්නෙමි.”—2 ලේකම් 6:12–7:3, 15.

9. දෙවිට නමස්කාර කිරීම සඳහා ඉදි කළ මණ්ඩපයේ දෙවි වෙතට ළඟ වෙන්න අවශ්‍ය වුණේ කුමක්ද?

9 දෙවිට නමස්කාර කිරීම සඳහා ඉදි කළ මණ්ඩපයේ ඔහු වෙතට ළඟා වෙන්න කළ යුතු දේ දෙවි ඊශ්‍රායෙල්ට දුන් නීතියේ සඳහන් කර තිබුණා. ඒ කුමක්ද? සෑම උදයකම සහ සවසකම සත්ව පූජා ඔප්පු කිරීමට අමතරව, දෙවිට මිහිරි සුගන්ධ ද්‍රව්‍ය දවන්න කියාත් උත්තම පූජකයාට අණ කළා. පසු කාලයේ සමඟි කිරීමේ දවසේදී හැර අනෙක් සෑම දවසකම පූජකයන් විසින් එය කළ යුතු වුණා. නමුත් පූජකයන් ගෞරවයෙන් යුතුව එය කළේ නැත්නම් දෙවි ඔවුන්ගේ සේවය පිළිගත්තේ නැහැ.—නික්මයාම 30:7, 8; 2 ලේකම් 13:11.

10, 11. මිනිසුන් පෞද්ගලිකව කරන යාච්ඤාවලට දෙවි සවන් දෙන බවට තිබෙන සාක්ෂි මොනවාද?

10 දෙවිට යාච්ඤා කිරීමට, ඊශ්‍රායෙල්වරුන්ට හැමවිටම පත් කරන ලද නියෝජිතයෙක් අවශ්‍ය වුණාද? නැහැ. පෞද්ගලිකව කරන යාච්ඤා ඇසීමටත් යෙහෝවා දෙවි කැමති බව ශුද්ධ ලියවිල්ලේ පෙන්වනවා. දේවමාලිගාව කැප කිරීමේදී කළ යාච්ඤාවෙන් සලමොන් බැගෑපත්ව ඉල්ලුවේ “මේ ගෘහය දෙසට තමාගේ අත් දිගු කරන්නාවූ යම් කිසිවෙකු විසින් හෝ ඔබගේ මුළු සෙනඟ වූ ඊශ්‍රායෙල් විසින් හෝ කරන යම් යාච්ඤාවක්වත් කන්නලව්වක්වත් වන්නේද . . . ඔබගේ වාසස්ථානය වූ ස්වර්ගයෙහි සිට අසා කමා කළ මැනව.” (2 ලේකම් 6:29, 30) යොහන් බව්තීස්තගේ පියා වූ සෙකරියා ශුද්ධ ස්ථානයේ සුවඳ දුම් ඔප්පු කරන අතරතුරේදී පූජකයන් නොවූ බොහෝ නමස්කාරකයන් “යාච්ඤා කරමින් පිටත සිටි” බව ලූක් පොතේ සඳහන් වෙනවා. ශුද්ධ ස්ථානයේ පිහිටි රන් පූජාසනය මත යෙහෝවා දෙවිට සුවඳ දුම් ඔප්පු කරද්දී ජනයා ඉන් පිටත රැස් වී යාච්ඤා කිරීම පුරුද්දක් වුණ බව පෙනෙන්න තිබෙනවා.—ලූක් 1:8-10.

11 ජාතියේ නියෝජිතයා හැටියට හෝ පෞද්ගලිකව යෙහෝවා දෙවිට යාච්ඤා කරද්දී එසේ කළ යුතු වුණේ ඔහු ඉල්ලා සිටි ආකාරයටයි. එවිට දෙවි ඔවුන්ගේ යාච්ඤා ඇසීමට සතුටු වුණා. නමුත් අද අපි සිටින්නේ මෝසෙස්ගේ නීතිය යටතේ නොවෙයි. එසේ වුණත් දෙවිට යාච්ඤා කළ යුතු ආකාරය ගැන ඊශ්‍රායෙල්වරුන්ගෙන් වටිනා පාඩම් ඉගෙනගන්න අද දින සිටින අපිට පුළුවන්.

අද දින දෙවිට කරන නමස්කාරය යටතේ

12. අද සිටින ක්‍රිස්තියානීන් දෙවි වෙත ළඟා වෙන්නේ කොහොමද?

12 අද අප සිටින්නේ ක්‍රිස්තියානි සභාවේ සැලැස්ම යටතේයි. එදා තිබූ දේවමාලිගාවවත්, දෙවිගේ සෙනඟ වෙනුවෙන් යාච්ඤා කළ පූජකයන්වත් අද දින නැහැ. ඒ වුණත් අපට යෙහෝවා දෙවි වෙත යාච්ඤාවෙන් ළඟා වීමට මාර්ගයක් ඔහු විවෘත කර තිබෙනවා. ඒ කුමක්ද? ක්‍රිස්තු වර්ෂ 29දී යේසුස්ව අභිෂේක කර උත්තම පූජක ලෙස පත් කළ විට යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා වඩාත් ශ්‍රේෂ්ඨ සැලැස්මක් ආරම්භ වුණා. * ප්‍රතිඵලයක් ලෙස යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව තුළින් අපිට හැකියි යෙහෝවා දෙවිට නමස්කාර කරන්න.—හෙබ්‍රෙව් 9:11, 12.

13. යාච්ඤාව සම්බන්ධයෙන්, එදා යෙරුසලමේ කළ නමස්කාරය සහ අද ක්‍රිස්තියානීන් කරන නමස්කාරය අතර තිබෙන එක් සමානකමක් කුමක්ද?

13 යෙරුසලමේ දේවමාලිගාවේ තිබූ නොයෙකුත් අංගවලින් අද දින යෙහෝවා දෙවිට කරන නමස්කාරයේ විවිධ පැති තේරුම්ගන්න පුළුවන්. මීට යාච්ඤාවත් ඇතුළත් වෙනවා. (හෙබ්‍රෙව් 9:1-10) උදාහරණයකට, ශුද්ධස්ථානයේ පිහිටි සුවඳ දුම් ඔප්පූ කරන පූජාසනය මත උදේ හවස ඔප්පු කළ සුවඳ දුම් මගින් නියෝජනය කළේ කුමක්ද? එළිදරව් පොතට අනුව “ඒ සුවඳ ද්‍රව්‍යයෙන් නියෝජනය වන්නේ ශුද්ධ තැනැත්තන්ගේ යාච්ඤාය.” (එළිදරව් 5:8; 8:3, 4) දාවිත් රජ දෙවිගේ බලයෙන් ලිව්වේ “මාගේ යාච්ඤාව ඔබ ඉදිරියේ සුවඳ දුම් මෙන් . . . වේවා” කියායි. (ගීතාවලිය 141:2) මේ අනුව, සුවඳ දුම්වලින් නියෝජනය කළේ ක්‍රිස්තියානීන් දෙවිට පිළිගත හැකි ආකාරයෙන් පිරිනමන ප්‍රශංසා සහ යාච්ඤායි.—1 තෙසලෝනික 3:10.

14, 15. (අ) අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හා (ආ) වෙනත් බැටළුවන් යෙහෝවා දෙවිට කරන යාච්ඤා ගැන කියන්න පුළුවන් මොනවාද?

14 අද දින දෙවිට කරන නමස්කාරයේදී ඔහු වෙත ළඟා වෙන්න පුළුවන් කාටද? එදා දේවමාලිගාවේ ඇතුල් මළුවේ සේවය කරන්න පූජකයන්ට සහ ලෙවීවරුන්ට ප්‍රස්තාවක් තිබුණා. නමුත් ශුද්ධස්ථානයට ඇතුල් වුණේ පූජකයන් පමණයි. එය ඔවුන්ට මහඟු වරප්‍රසාදයක් වුණා. ඊට සමානව දේවමාලිගාවේ ඇතුල් මළුවෙන් සහ ශුද්ධස්ථානයෙන් නියෝජනය කළේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට, දෙවි සමඟ තිබෙන අතිවිශේෂ වූ බැඳීමයි. එමගින් දෙවිට යාච්ඤා කරන්න සහ ප්‍රශංසා කරන්න ඔවුන්ට විශේෂ අවස්ථාවක් ලබා දෙනවා.

15 පොළොවේ ජීවත් වීමේ බලාපොරොත්තුව ඇති “වෙනත් බැටළුවන්” ගැන කුමක්ද කියන්න පුළුවන්? (යොහන් 10:16) යෙසායා පැවසුවේ බොහෝ ජාතීන්ට අයත් ජනයා “මතු පැමිණෙන දවස්වලදී” යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පැමිණෙන බවයි. (යෙසායා 2:2, 3) එමෙන්ම “ආගන්තුකයන්ද” යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට එකතු වන බවත් ඔහු ලිව්වා. ඔවුන්ගේ යාච්ඤාවලට ඇහුම්කන් දීමට තමන් කැමති බව පෙන්වමින් දෙවි පැවසුවේ “මාගේ යාච්ඤා ගෘහයේදී ඔවුන්ට ප්‍රීති වන්ට සලස්වන්නෙමි” කියායි. (යෙසායා 56:6, 7) මේ ගැන එළිදරව් 7:9-15 තවදුරටත් කියන්නේ “සියලු ජාතීන්ගෙන්” යුත් “මහත් සමූහයක්” “දිවා රෑ” දෙවිට නමස්කාර කිරීමට සහ යාච්ඤා කිරීමට රැස්වන බවයි. ඔවුන් සමාන වෙන්නේ එදා දේවමාලිගාවේ පිටත මළුවේ සිට දෙවිට නමස්කාර කළ ජනයාටයි. දෙවිගේ සියලුම නමස්කාරකයන්ට නිදහසේ ඔහු වෙත යාච්ඤාවෙන් ළඟාවීමට හැකි බවත් දෙවි ඒවාට නිසැකවම සවන් දෙන බවත් දැනසිටීමම මොන තරම් සහනයක්ද!

දෙවි අසන යාච්ඤා

16. මුල් ක්‍රිස්තියානීන්ගෙන් අපට යාච්ඤා ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

16 මුල් ක්‍රිස්තියානීන් නිතරම යාච්ඤා කළා. කුමක් ගැනද? ක්‍රිස්තියානි වැඩිමහල්ලන්, සභා වගකීම් දැරීමට පුරුෂයන්ව තේරීමේදී දෙවිගේ මඟ පෙන්වීම ඉල්ලා යාච්ඤා කළා. (ක්‍රියා 1:24, 25; 6:5, 6) එපෆ්‍රස් යාච්ඤා කළේ සෙසු ඇදහිලිවන්තයන් වෙනුවෙනුයි. (කොලොස්සි 4:12) පේතෘස් සිරගෙදර සිටියදී යෙරුසලමේ තිබූ සභාව ඔහු වෙනුවෙන් යාච්ඤා කළා. (ක්‍රියා 12:5) විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න අවශ්‍ය නිර්භීතකම ඉල්ලමින් මුල් ක්‍රිස්තියානීන් යාච්ඤා කළේ “යෙහෝවා, ඔවුන්ගේ තර්ජන දෙස බලා සම්පූර්ණ නිර්භීතකමින් ඔබේ වචනය දිගටම කතා කරන්න ඔබේ දාසයන්ට අවසර දෙන්න” කියායි. (ක්‍රියා 4:23-30) පීඩා හමුවෙහි ප්‍රඥාව ඉල්ලා දෙවිට යාච්ඤා කරන්න කියා යාකොබ් ක්‍රිස්තියානීන්ට උනන්දු කළා. (යාකොබ් 1:5) ඉතින් ඔබ යාච්ඤා කරද්දීත් එවැනි දේවල් ඔබේ යාච්ඤාවට ඇතුළත් කරනවාද?

17. යෙහෝවා දෙවි ඇහුම්කන් දෙන්නේ කාගේ යාච්ඤාවලටද?

17 දෙවි සියලුම අයගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්නේ නැහැ. එහෙමනම් අපි කරන යාච්ඤා දෙවි අසයි කියා සහතික වෙන්න පුළුවන් කොහොමද? මුල් කාලවලදී දෙවි ඇහුම්කන් දුන්නේ ඔහුට අවංකකමින් සහ හරි ආකල්පයකින් යාච්ඤා කළ ඇදහිලිවන්තයන්ටයි. ඔවුන් ඇදහිල්ල පෙන්වූ අතර යහපත් ක්‍රියාවලිනුත් ඊට සාක්ෂි සැපයුවා. අපත් එසේ කරනවා නම් යෙහෝවා දෙවිට කරන යාච්ඤාවලට ඔහු ඇහුම්කන් දෙන බවට අපිට සහතික වෙන්න පුළුවන්.

18. අද සිටින ක්‍රිස්තියානීන්ගේ යාච්ඤාවලට දෙවි ඇහුම්කන් දීමට නම් ඔවුන් කුමක් කළ යුතුද?

18 දෙවි තවත් දෙයක් බලාපොරොත්තු වෙනවා. මේ ගැන පාවුල් විස්තර කරමින් කිව්වේ ‘ඔහු තුළින් අපට එක ආත්මයක් මාර්ගයෙන් පියාණන් වෙත ළඟාවීමේ හැකියාව තිබේ’ කියායි. ‘ඔහු මාර්ගයෙන්’ කියා ලියද්දී පාවුල් කතා කළේ කා ගැනද? යේසුස් ක්‍රිස්තුස් ගැනයි. (එෆීස 2:13, 18) යේසුස් තමයි අපිට පියාණන් වෙතට නිදහසේ ළඟා විය හැකි එකම මාර්ගය.—යොහන් 14:6; 15:16; 16:23, 24.

19. (අ) ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිට ඔප්පු කළ සුවඳ දුම් දෙවි පිළිකුල් කළේ ඇයි? (ආ) අපේ යාච්ඤා, යෙහෝවා දෙවි මිහිරි සුවඳක් ලෙස පිළිගන්න බවට අපිට ස්ථිර වෙන්න පුළුවන් කොහොමද?

19 ඉහත සඳහන් කළා වගේ ඊශ්‍රායෙල්හි පූජකයන් ඔප්පු කළ සුවඳ දුම්වලින් නියෝජනය කරන්නේ දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන්ගේ යාච්ඤායි. කොහොමනමුත් සමහර අවස්ථාවලදී ඊශ්‍රායෙලිතයන් ඔප්පු කළ සුවඳ දුම් යෙහෝවා දෙවිට පිළිකුලක් වුණා. ඔවුන් දේවමාලිගාවේ සුවඳ දුම් ඔප්පු කරන අතරම රූපවලට නමස්කාර කළ විට දෙවි එය පිළිගත්තේ නැහැ. (එසකියෙල් 8:10, 11) ඒ හා සමනව අද දිනත් යෙහෝවා දෙවිට සේවය කරනවා කියන නමුත් ඔහුගේ නීතිවලට විරුද්ධව ක්‍රියා කරන අයගේ යාච්ඤා දෙවිට පිළිකුලක්. (හිතෝපදේශ 15:8) අපගේ යාච්ඤා දෙවිට මිහිරි සුවඳක් ලෙස ඔප්පු කිරීම සඳහා අපගේ ජීවිතයේ සෑම පැත්තකදීම පිරිසිදුව සිටීමට දිගටම වෑයම් කරමු. යෙහෝවා දෙවි කැමති වන්නෙත් ධර්මිෂ්ඨ ලෙස කටයුතු කරන අයගේ යාච්ඤාවලට ඇහුම්කන් දීමටයි. (යොහන් 9:31) නමුත් අපි යාච්ඤා කළ යුත්තේ කොහොමද? කුමක් ගැනද? අපගේ යාච්ඤාවලට දෙවි පිළිතුරු දෙන්නේ කොහොමද? එම ප්‍රශ්නවලට සහ ඒ හා සම්බන්ධ වෙනත් ප්‍රශ්නවලටත් පිළිතුරු අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන]

^ 12 ඡේ. වර්ෂ 2001 මැයි 15 මුරටැඹ කලාපයේ 27වන පිටුව බලන්න.

ඔබට පැහැදිලි කළ හැකිද?

• පව්කාර මිනිසුන්ට දෙවි වෙතට ළඟා වෙන්න පුළුවන් කොහොමද?

• අප යාච්ඤා කරද්දී ඇදහිලිවන්තයන්ගේ ආදර්ශවලින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

• මුල් ක්‍රිස්තියානීන්ගේ යාච්ඤාවලින් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

• අපගේ යාච්ඤා යෙහෝවා දෙවිට මිහිරි සුවඳක් වෙන්නේ කොයි අවස්ථාවලදීද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

දෙවි ආබෙල්ගේ පූජාව පිළිගත් නමුත් කායින්ගේ පූජාව පිළිනොගත්තේ ඇයි?

[24වන පිටුවේ පින්තූරය]

“ධූලි හා අළු වූ මම”

[25වන පිටුවේ පින්තූරය]

“ඔබ මට දෙන සියල්ලෙන්ම දසයෙන් කොටසක් ඔබට ඒකාන්තයෙන්ම දෙන්නෙමි”

[26වන පිටුවේ පින්තූරය]

ඔබගේ යාච්ඤා යෙහෝවා දෙවිට මිහිරි සුවඳ දුමක් වගේද?