Skip to content

පටුනට යන්න

‘ඔබගේ නීතියට මම කොපමණ ප්‍රිය වෙම්ද!’

‘ඔබගේ නීතියට මම කොපමණ ප්‍රිය වෙම්ද!’

‘ඔබගේ නීතියට මම කොපමණ ප්‍රිය වෙම්ද!’

දෙවිගේ වචනය ගැන තමන්ට හැඟුණු ආකාරය ගැන 119වෙනි ගීතිකාව රචනා කළ ගීතිකාකරු කදිමට විස්තර කර තිබෙනවා. ඔහු මෙසේ ගායනා කළා. “ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.” “ඔබගේ පනත්වලට ප්‍රීති වන්නෙමි.” “හැමවිටම ඔබගේ විනිශ්චයන් කෙරෙහි ඇති ආශාවෙන් මාගේ සිත බිඳේ.” “ඔබගේ සාක්ෂිද [එනම් සිහිගැන්වීම්ද] මාගේ ප්‍රීතිය හා මාගේ මන්ත්‍රීහුය.” ‘ඔබගේ ශික්ෂාවලට ආශා වීමි.’ “ඔබගේ ආඥාවන් කෙරෙහි ප්‍රීති වන්නෙමි.” “ඔබගේ පනත් ගැන භාවනා කරන්නෙමි.” “ඔබගේ ව්‍යවස්ථාවට [නීතියට] මම කොපමණ ප්‍රිය වෙම්ද! දවස් මුළුල්ලේ මාගේ භාවනාව ඒකමය.”—ගීතාවලිය 119:11, 16, 20, 24, 40, 47, 48, 97.

දේවවචනය කෙරෙහි ගීතිකාකරුට මොන තරම් අගය කිරීමක් තිබුණාද කියා එම වදන්වලින් පැහැදිලි වෙනවා. දේවවචනය හෙවත් බයිබලය කෙරෙහි ඔබටත් එයාකාර අගය කිරීමක් තිබෙනවාද? එයාකාර අගය කිරීමක් වර්ධනය කරගැනීමට ඔබත් කැමතිද? ඔබත් එලෙස අගයක් වර්ධනය කරගන්න කැමති නම් මුලින්ම ඔබ දිනපතා බයිබලය කියවීම පුරුද්දක් කරගත යුතුයි. බයිබලය නිතිපතා කියවීමේ වැදගත්කම ගැන යේසුස් මෙසේ පැවසුවා. “මිනිසා ජීවත් විය යුත්තේ රොටි පමණකින් නොව, යෙහෝවාගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකිනි.” (මතෙව් 4:4) තවද ඔබ කියවන දේ ගැන මෙනෙහි කළ යුතුයි. දෙවි ගැන, ඔහුගේ ගුණාංග, ඔහුගේ කැමැත්ත හා අරමුණ ගැන මෙනෙහි කරන විට දේවවචනය කෙරෙහි ලොකු අගයක් ඇති වෙනවා. (ගීතාවලිය 143:5) වඩාත් වැදගත් වන්නේ එහි තිබෙන උපදෙස් ඔබේ ජීවිතයට අදාළ කරගැනීමයි.—ලූක් 11:28; යොහන් 13:17.

බයිබලයේ තිබෙන දේ ගැන ඉගෙනගැනීමට ඔබ තුළ ආශාවක් ඇති කරගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? ගීතාවලිය 119:2 එයට පිළිතුරු දෙන්නේ මෙසේයි. ‘දෙවිගේ සිහිගැන්වීම් පවත්වන්නාවූ තැනැත්තෝ ආශීර්වාද ලද්දෝය.’ ඔබ එදිනෙදා ජීවිතයේදී මුහුණ පාන ප්‍රශ්න ගැටලු සමඟ සාර්ථකව ක්‍රියා කිරීමට බයිබලයේ දෙන සිහිගැන්වීම් උපකාරවත් වෙනවා. (ගීතාවලිය 1:1-3) ඔබට ප්‍රඥාව, තීක්ෂ්ණ බුද්ධිය හා අවබෝධය ලබාගැනීමට හැකි වන නිසා ‘සියලු නපුරු මාර්ගවලින් ඔබගේ පාද නවත්වාගන්නත්’ හැකි වෙයි. (ගීතාවලිය 119:98-101) දෙවි ගැනත් පොළොව සඳහා ඔහුගේ අරමුණ ගැනත් දැනගැනීමෙන් ඔබේ ජීවිතය වඩාත් අර්ථාන්විත එකක් වෙයි. ඒ වගේම ඔබට අනාගතය සම්බන්ධයෙන් දීප්තිමත් බලාපොරොත්තුවක් ඇතිව සිටින්න හැකි වෙයි.—යෙසායා 45:18; යොහන් 17:3; එළිදරව් 21:3, 4.

බයිබලය ගැන හොඳ දැනුමක් ලබාගැනීමටත් එහි සඳහන් පණිවිඩය කෙරෙහි ඇල්මක් ඇති කරගැනීමටත් අන් අයට උපකාර කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටින් සිටිනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවෙකුව හමුවීමට කැමති නම් මතු දැක්වෙන ලිපිනයට ලියන්න කියා ඔබට ආරාධනා කරන්න කැමතියි.