Skip to content

පටුනට යන්න

“ඔබ යොවුන් වියේදී විවාහ කරගත් බිරිඳ සමඟ ප්‍රීති වන්න”

“ඔබ යොවුන් වියේදී විවාහ කරගත් බිරිඳ සමඟ ප්‍රීති වන්න”

“ඔබ යොවුන් වියේදී විවාහ කරගත් බිරිඳ සමඟ ප්‍රීති වන්න”

“ඔබ යොවුන් වියේදී විවාහ කරගත් බිරිඳ සමඟ ප්‍රීති වන්න. මාගේ පුත්‍රය, අන්‍ය ස්ත්‍රියකගෙන් ඔබේ ආශාවන් පිනවාගන්නේ මන්ද?”—හිතෝපදේශ 5:18, 20, නව ලොව පරිවර්තනය, NW.

1, 2. විවාහක යුවළක් අද්දකින තෘප්තිය ආශීර්වාදයක් කියා පවසන්නේ ඇයි?

බයිබලයේ ලිංගික කාරණා ගැන විවෘතව කතා කර තිබෙනවා. හිතෝපදේශ 5:18, 19හි පවසා තිබෙන්නේ මෙසේයි. “ඔබේ දිය උල්පතට ආශීර්වාද ලැබේවා. ඔබ යොවුන් වියේදී විවාහ කරගත් බිරිඳ සමඟ ප්‍රීති වන්න. ඈ ආදරණීය මුවදෙනකු මෙනි. ප්‍රියකරු වැලි මුවදෙනකු මෙනි. ඇගේ පියයුරුවලින් සැමදා තෘප්තිමත් වන්න. ඇගේ ප්‍රේමයෙන් ප්‍රීති ප්‍රමෝදවත් වන්න.”—NW.

2 මෙහිදී “දිය උල්පත” යන්නෙන් අදහස් කරන්නේ ලිංගික සම්බන්ධකම් තුළින් අද්දකින තෘප්තියටයි. විවාහක යුවළක් එකිනෙකාට පෙන්වන ප්‍රේමය හා ඔවුන් අද්දකින තෘප්තිය ඇත්තෙන්ම ආශීර්වාදයක්. අපි එසේ පවසන්නේ එය දෙවිගෙන් ලැබී තිබෙන දීමනාවක් නිසයි. මෙම කිට්ටු සම්බන්ධතාව තිබිය යුත්තේ විවාහ වූ දෙදෙනෙකු අතර පමණයි. මේ නිසා හිතෝපදේශය ලියූ පුරාණ ඊශ්‍රායෙලයේ විසූ සලමොන් රජ මෙසේ ඇසුවා. “මාගේ පුත්‍රය, අන්‍ය ස්ත්‍රියකගෙන් ඔබේ ආශාවන් පිනවාගන්නේ මන්ද? දුරාචාරයේ යෙදෙන ස්ත්‍රියකගේ ළය වැලඳගන්නේ මන්ද?”—හිතෝපදේශ 5:20, NW.

3. (අ) බොහෝ විවාහක යුවළයන් අද්දකින දුක්ඛිත තත්වය කුමක්ද? (ආ) දෙවි පරදාර සේවනය සලකන්නේ කෙසේද?

3 විවාහ වන දිනයේදී පුරුෂයෙක් හා ස්ත්‍රියක් දිගටම එකිනෙකාට ප්‍රේම කිරීමටත් විශ්වාසවන්තව සිටීමටත් පොරොන්දු වෙනවා. මෙය ඉතා බැරෑරුම් දෙයක් ලෙස සැලකිය යුතුයි. කෙසේවෙතත් බොහෝදෙනෙකුගේ විවාහය අනාචාරය නිසා දෙකඩ වී තිබෙනවා. විවාහක යුවළයන් විසිපස්දෙනෙකු ගැන කළ සමීක්ෂණයකින් පසු එක් පර්යේෂකයෙක් මෙසේ වාර්තා කළා. “භාර්යාවන් සියයට 25ක් හා පුරුෂයන් සියයට 44ක් විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම් පවත්වා තිබෙනවා.” මෙවැනි සම්බන්ධකම් ගැන පාවුල් මෙසේ අනතුරු ඇඟෙව්වා. “මුළා නොවන්න. වේශ්‍යාකම් කරන්නන්ටවත්, රූප වඳින්නන්ටවත්, පරදාර සේවනයේ [අනාචාරයේ] යෙදෙන්නන්ටවත්, අස්වාභාවික කාම සේවනය සඳහා යොදාගන්නා ලද පිරිමින්ටවත්, සමලිංගික සේවනයේ යෙදෙන පිරිමින්ටවත් . . . දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.” (1 කොරින්ති 6:9, 10) පරදාර සේවනය දෙවි සලකන්නේ බරපතළ පාපයක් ලෙසයි. ඒ නිසා ඔහුගේ සේවකයන් විවාහය තුළ විශ්වාසවන්තකම රැකගැනීමට සෑම පියවරක්ම ගත යුතුයි. ‘විවාහය ගෞරවනීයව හා විවාහ යහන දූෂ්‍ය වීමකින් තොරව’ තබාගැනීම සඳහා අප කුමක් කළ යුතුද?—හෙබ්‍රෙව් 13:4.

සිත රැවටිලිකාරයි

4. බොහෝ විවාහක ක්‍රිස්තියානීන් ඔවුන්ගේ සිතටත් හොරා ප්‍රේම සම්බන්ධකම් ඇති කරගැනීමේ උගුලට හසු වී තිබෙන්නේ කෙසේද?

4 අද අපි ජීවත් වන්නේ දූෂිත සිතුවිලිවලින් පිරි මිනිසුන් ජීවත් වන සමාජයකයි. මෙම මිනිසුන්ගේ ‘ඇස් පරදාර සේවනයෙන් පිරී තිබෙන නිසා ඔවුන්ට පාපයෙන් වළකින්න නොහැකි’ වී තිබෙනවා. (2 පේතෘස් 2:14) මොවුන් හිතාමතාම අනියම් සම්බන්ධකම් ඇති කරගන්නවා. අද බොහෝ කාන්තාවන් රැකියාවල නිරත වෙනවා. රැකියා ස්ථානවල පුරුෂයන් හා ස්ත්‍රීන් එකට වැඩ කිරීම නිසා ඔවුන් අතර ප්‍රේම සම්බන්ධකම් ඇතිවීමට ඒ ස්ථාන තෝතැන්නක් බවට පත් වෙලා. ඒ වගේම බොහෝ ලජ්ජාශීලී අයට පවා අන්තර්ජාලයේ තිබෙන කතාබහ කුටි මාර්ගයෙන් ප්‍රේම සම්බන්ධකම් පටන්ගැනීමට පහසු වී තිබෙනවා. බොහෝ විවාහකයන් ඔවුන්ගේ සිතටත් හොරා එවැනි උගුල්වලට හසු වෙනවා.

5, 6. ක්‍රිස්තියානි කාන්තාවක් ඉතා භයානක තත්වයකට ඇද වැටීමට හේතු වූයේ කුමක්ද? අපට මින් කුමක් ඉගෙනගත හැකිද?

5 වෙනත් පුරුෂයෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමේ උගුලට වැටෙන්න ආසන්න තත්වයක සිටි මේරි * නම් විවාහක ක්‍රිස්තියානි සහෝදරියගේ අද්දැකීම සලකා බලමු. ඇගේ ස්වාමිපුරුෂයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නෙවෙයි. ඔහු පවුල කෙරෙහි එතරම් සෙනෙහසක් දැක්වූයේ නැහැ. ඇගේ ස්වාමිපුරුෂයා සමඟ එකට වැඩ කළ කෙනෙක්ව මීට වසර කිහිපයකට පෙර මේරිට මුණගැසුණා. ඔහු කරුණාවන්ත කෙනෙක්. පසු කාලයකදී ඔහු මේරිගේ ආගම ගැනද උනන්දුවක් දැක්වුවා. “එයා මගේ මහත්තයාට වඩා ගොඩාක් වෙනස්. එයා හරිම හොඳයි” කියා ඇය පැවසුවා. මේ තැනැත්තා හා ඇය අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවීමට වැඩි කලක් ගත වුණේ නැහැ. ඇය මෙසේ පැවසුවා. “මම එයාත් එක්ක දුරාචාරයේ යෙදුණේ නැහැ. එයා බයිබලයේ තිබෙන දේවල් දැනගන්න ආසාවක් දැක්වුවා. ඉතින් එයාට උපකාර කරන්න මට පුළුවන් වෙයි කියලා මම හිතුවා.”

6 මේරිගේ මේ ප්‍රේම සම්බන්ධය දුරචාරය දක්වා දුර දිග යන්න කලින් ඇය පියවි සිහියට පැමිණියා. (ගලාති 5:19-21; එෆීස 4:19) තමන් කරන්නේ වරදක් කියා ඇගේ සිතට දැනුණු පසු ඇය කාරණා නිවැරදි කරගන්න පියවර ගත්තා. මේරිට සිදු වූ දෙයින් පෙනී යන්නේ “සිත සැම දේටම වඩා වංචාසහිතය [එනම් රැවටිලිකාරය]; ඉතා රෝගාතුරය” යන වදන්වල සත්‍යතාවයි. (යෙරෙමියා 17:9) බයිබලය මේ සම්බන්ධයෙන් දෙන අවවාදය මෙයයි. ‘ජීවනය නික්මෙන්නේ සිතෙන්ය. එබැවින් මුළු වීර්යයෙන් ඒක රක්ෂා කරගන්න.’ (හිතෝපදේශ 4:23) අපට අපේ සිත ආරක්ෂා කරගන්න පුළුවන් කොහොමද?

බුද්ධිමත් අය නපුර දැක සැඟවෙයි”

7. විවාහ ජීවිතයේ යම් ගැටලු තිබෙන කෙනෙකුට උපකාර කිරීමේදී ආරක්ෂාවක් වන්නේ බයිබලයේ දෙන කුමන උපදෙස් පිළිපැදීමද?

7 “තමා ස්ථිරව සිටින්නේයයි සිතන තැනැත්තා නොවැටෙන ලෙස පරෙස්සම් වේවා” කියා පාවුල් පැවසුවා. (1 කොරින්ති 10:12) එමෙන්ම හිතෝපදේශ 22:3හි මෙසේ පවසනවා. “බුද්ධිමත් අය නපුර දැක සැඟවෙයි.” මේ නිසා ‘මට මුකුත් වෙන්නේ නැහැ’ කියා සිතමින් තමන් ගැන වුවමනාවට වඩා විශ්වාස නොකර, ඇතැම් තත්වයන්වලදී අපට මුහුණ පෑමට සිදු විය හැකි ගැටලු ගැන හොඳින් සිතා බලන්න. උදාහරණයක් හැටියට විවාහ ජීවිතයේ ගැටලුවලට මුහුණ දෙන විරුද්ධ ලිංගයේ කෙනෙක් සෑම ප්‍රශ්නයක්ම නොවළහා ඔබ සමඟ කතා කරනවා නම් ඊට සවන් දීමෙන් වළකින්න. (හිතෝපදේශ 11:14) විවාහ ජීවිතයේ ගැටලු සාකච්ඡා කළ යුතු හොඳම තැනැත්තා වන්නේ තමන්ගේ සහකාරයා හෝ සහකාරිය හෝ එසේත් නැත්නම් විවාහ ජීවිතය සාර්ථක වෙනවා දැකීමට කැමති බයිබල් ප්‍රතිපත්ති ගැන හොඳ අවබෝධයක් තිබෙන කෙනෙක් බව ඒ කෙනාට පවසන්න. සහෝදරයෙක් තම විවාහ ජීවිතයේ ගැටලු සාකච්ඡා කළ යුත්තේ තවත් සහෝදරයෙක් සමඟයි. සහෝදරියක් නම් ඇය ඒ ගැන සාකච්ඡා කළ යුත්තේ තවත් සහෝදරියක් සමඟයි. එසේත් නැත්නම් වැඩිමහල්ලන්ට පවසන්න කියා ඒ තැනැත්තාව උනන්දු කරන්න. (තීතස් 2:3, 4) මේ සම්බන්ධයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලන් කදිම ආදර්ශයක් සපයනවා. වැඩිමහල්ලෙකුට සහෝදරියක් සමඟ යම් කාරණයක් ගැන කතා කිරීමට අවශ්‍ය නම් ඔහු එසේ කළ යුත්තේ රාජ්‍ය ශාලාව වැනි අන් අය ගැවසෙන ස්ථානයකදීයි.

8. ඔබට රැකියා ස්ථානයේදී පරෙස්සම් විය හැක්කේ කෙසේද?

8 රැකියා ස්ථානයේදී හෝ වෙනත් ස්ථානයකදී ප්‍රේම සම්බන්ධයක් ඇති විය හැකි තත්වයන් ගැන කල්පනාකාරි වන්න. උදාහරණයක් ලෙස විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ වැඩිපුර වේලාවක් වැඩ කිරීමට සිදු වන්න පුළුවන්. මෙවැනි අවස්ථාවලදී පරීක්ෂාවන් ඇති විය හැකියි. විවාහ වූ කෙනෙක් හැටියට ඔබ සෑමවිටම ඔබේ කතාබහෙන් හා හැසිරීමෙන් ඔබ විවාහයෙන් පිට කිසිම කෙනෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගැනීමට කැමති නැති බව පැහැදිලිවම ඇඟවිය යුතුයි. දේවභක්තික ජීවිතයක් ලුහුබඳින කෙනෙක් හැටියට ඔබ අන්‍යයන් තුළ හැඟීම් ඇති වන ආකාරයට හැසිරීමෙන් හා අවිනීත ආකාරයෙන් ඇඳ පැළඳ සිටීමෙන්ද වැළකී සිටිය යුතුයි. (1 තිමෝති 4:8; 6:11; 1 පේතෘස් 3:3, 4) ඔබ වැඩ කරන තැන ඔබේ ස්වාමිපුරුෂයාගේ හෝ භාර්යාවගේ හා දරුවන්ගේ ඡායාරූප තබාගැනීමෙන් ඔබේ ජීවිතයේ මුල් තැන ගන්නේ මේ අය බව ඔබට මෙන්ම අන් අයටද සිහිපත් කර දෙනවා. ඔබ ප්‍රේම සම්බන්ධයකට කිසිම ආකාරයකින් තුඩු දෙන දේවල් නොකරන්නත් ඒ වගේම ඔබව එවැනි දෙයකට පොලඹවාගන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් එයට ඉඩ නොදෙන්නත් අධිෂ්ඨාන කරගන්න.—යෝබ් 31:1.

‘ඔබ ප්‍රිය කරන භාර්යාව සමඟ ප්‍රීතියෙන් කල් ගෙවන්න’

9. විවාහයෙන් පිට ප්‍රේම සම්බන්ධයක් ඇතිවීමට තුඩු දෙන සිදුවීම් මොනවාද?

9 ඔබේ සිත ආරක්ෂා කරගැනීම සඳහා භයානක තත්වයන්ගෙන් ඉවත් වී සිටීමට වඩා වැඩි දෙයක් කළ යුතුයි. විවාහ වූ කෙනෙක් වෙනත් කෙනෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වන්නේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව තමන්ගෙන් විය යුතු යුතුකම් හරියාකාරව ඉටු නොකරන නිසා විය හැකියි. සමහරවිට ස්වාමිපුරුෂයා භාර්යාවව දිගටම නොසලකාහරිනවා නම් හෝ භාර්යාව ස්වාමිපුරුෂයාට නිතරම දොස් පවරනවා නම් වෙනත් කෙනෙකු සමඟ සම්බන්ධයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව තුළ දකින්න නැති හොඳ ගුණාංග තිබෙන කෙනෙක් රැකියා ස්ථානයේදී හෝ සභාවේදී පවා හමු වෙන්න පුළුවන්. වැඩි කලක් යන්න කලින් ඒ තැනැත්තා හෝ තැනැත්තිය සමඟ සම්බන්ධයක් ඇති වී එය නැවැත්විය නොහැකි තරම් දුර දිග යා හැකියි. මෙලෙස ටිකෙන් ටික ඇති වන සම්බන්ධකමක ප්‍රතිඵලය ගැන බයිබලයේ පවසා තිබෙන මේ වදන් මොන තරම් සත්‍යයක්ද! “එකිනෙකා තම තමාගේ ආශාවෙන් අදිනු ලැබ නොමඟට පොලඹවනු ලබන කල පරීක්ෂා කරනු ලබන්නේය.”—යාකොබ් 1:14.

10. ස්වාමිපුරුෂයාට හා භාර්යාවට තමන්ගේ බැඳීම ශක්තිමත් කරගත හැක්කේ කෙසේද?

10 යම් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන විට සෙනෙහස, මිත්‍රත්වය හෝ උපකාරය අවශ්‍ය වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවලදී එම අවශ්‍යතාවන් විවාහයෙන් පිට කෙනෙක් සමඟ ඇති කරගන්න සම්බන්ධකයක් තුළින් සපුරාගන්නේ නැතිව තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව සමඟ තිබෙන ප්‍රේමණීය බැඳීම ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි. මෙහිදී එකට කාලය ගත කිරීමත් එකිනෙකාට තව තවත් ළංවීමත් ඉතා වැදගත් වෙනවා. ඔබ විවාහ වීමට කලින් ඔබේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව කෙරෙහි ආදරයක් ඇතිවීමට හේතු වූ දේවල් සිහිපත් කරන්න. ඔබේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව කෙරෙහි ඔබට මුලදී ඇති වූ සෙනෙහස නැවත අලුත් කරගන්න. ඔබ දෙදෙනා ප්‍රීතියෙන් එකට කල් ගෙවූ අවස්ථාවන් සිහිපත් කරන්න. මතු වී තිබෙන ගැටලුව ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න. ගීතිකාකාර දාවිත් යෙහෝවාට මෙසේ ආයාචනා කළා. “දෙවි, මා තුළ පවිත්‍ර සිතක් මැවුව මැනව; මා තුළ ස්ථිර ආත්මයක් නැවත තැබුව මැනව.” (ගීතාවලිය 51:10) ‘දෙවි ඉර යට ඔබට දී තිබෙන සැම දවස්වල ඔබ ප්‍රිය කරන භාර්යාව සමඟ ප්‍රීතියෙන් කල් ගෙවන්න’ අධිෂ්ඨාන කරගන්න.—දේශනාකාරයා 9:9.

11. විවාහ බන්ධනය ශක්තිමත්ව තබාගැනීමට නම් දැනුම, ප්‍රඥාව හා අවබෝධය අවශ්‍ය වන්නේ ඇයි?

11 විවාහ බන්ධනය ශක්තිමත්ව තබාගැනීමට නම් දැනුම, ප්‍රඥාව, අවබෝධය අවශ්‍යයි. මේ ගැන හිතෝපදේශ 24:3, 4හි මෙසේ පවසා තිබෙනවා. “ප්‍රඥාවෙන් ගෙයක් ගොඩනඟනු ලැබේ; තේරුම් ඇතිකමින් [එනම් අවබෝධයෙන්] ඒක ස්ථිර වේ. දැනගැන්ම කරණකොටගෙන එහි කාමර සියලු අනර්ඝ ප්‍රසන්න වස්තුවලින් පිරෙයි.” ප්‍රීතිමත් නිවසක තිබෙන අනර්ඝ වස්තු වන්නේ ප්‍රේමය, විශ්වාසවන්තකම, දේවබිය හා ඇදහිල්ලයි. මෙවැනි දේවල් අත් කරගැනීමට නම් දෙවි ගැන දැනුම ලබාගැනීම අවශ්‍යයි. මේ නිසා විවාහක යුවළක් දෙවිගේ වචනය ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. දැනුම හා ප්‍රඥාව තිබීම ඉතා වැදගත්. එදිනෙදා ඇති වන ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාව කියන්නේ අපි බයිබලයෙන් ලබාගන්න දැනුම ප්‍රායෝගිකව අදාළ කරගැනීමට ඇති හැකියාවයි. අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙකුට තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව සිතන ආකාරය මෙන්ම ඔහුගේ හෝ ඇගේ හැඟීම් වටහාගත හැකියි. (හිතෝපදේශ 20:5) යෙහෝවා දෙවි සලමොන් රජ මාර්ගයෙන් මෙසේ පැවසුවා. “මාගේ පුත්‍රය, . . . මාගේ ප්‍රඥාව සලකා මාගේ තේරුමට කන් යොමු කරන්න.”—හිතෝපදේශ 5:1, 2.

“දුක්” කරදර අද්දකින විට

12. පවුල් ජීවිතයේ ප්‍රශ්න ගැටලු අද්දැකීම සාමාන්‍ය දෙයක් කියා පවසන්නේ ඇයි?

12 දුක් කරදර, ගැටලු ප්‍රශ්නවලින් තොර විවාහ ජීවිතයක් නැහැ. ස්වාමිපුරුෂයන්ට හා භාර්යාවන්ට “මාංසයෙහි දුක් ඇති වන්නේය” කියා බයිබලයේ පවසා තිබෙනවා. (1 කොරින්ති 7:28) සිත්තැවුල්, අසනීප, පීඩා හා වෙනත් හේතු නිසා විවාහ ජීවිතයට ලොකු පීඩනයක් එල්ල වෙනවා. කෙසේවෙතත් ප්‍රශ්න ගැටලු පැනනැඟුණු විට එකිනෙකාට විශ්වාසවන්තව සිටිමින් යෙහෝවා දෙවිව සතුටු වන ආකාරයට විසඳුම් සෙවීමට දෙදෙනාම එක්ව ක්‍රියා කළ යුතුයි.

13. ස්වාමිපුරුෂයා හා භාර්යාව තමන් ගැනම සෝදිසි කර බැලිය යුත්තේ කුමක් සම්බන්ධයෙන්ද?

13 ස්වාමිපුරුෂයා හා භාර්යාව එකිනෙකාට සලකන ආකාරය නිසා යම් පීඩාකාරී තත්වයක් ඇති වී තිබෙනවා නම් කළ යුත්තේ කුමක්ද? විසඳුම් සොයාගැනීම සඳහා වෑයම් කළ යුතුයි. උදාහරණයක් හැටියට එකිනෙකාට අකාරුණික ලෙස කතා කිරීමේ පුරුද්ද ටිකෙන් ටික පවුල තුළට ඇතුල් වී, දැන් එය සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා විය හැකියි. (හිතෝපදේශ 12:18) අපි කලින් ලිපියේ සාකච්ඡා කළ ආකාරයට එලෙස ක්‍රියා කිරීමෙන් හානිකර ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වෙයි. බයිබලයේ එක් හිතෝපදේශයක මෙසේ පවසනවා. “ඩබරකාර වූ කොඳුරන ස්ත්‍රියක් සමඟ විසීමට වඩා කාන්තාරයක සිටීම යහපත.” (හිතෝපදේශ 21:19) ඔබේ විවාහ ජීවිතයේත් මෙවැනි තත්වයක් තිබෙනවා නම් භාර්යාවක් හැටියට මෙම ප්‍රශ්නය ගැන හොඳින් සිතා බලන්න. ‘මම ක්‍රියා කරන ආකාරය නිසා මගේ ස්වාමිපුරුෂයාට මාත් එක්ක කාලය ගත කරන එක අමාරු දෙයක් වෙලා තියෙනවාද?’ ස්වාමිපුරුෂයන්ට බයිබලයේ මෙසේ පවසා තිබෙනවා. “ඔබේ භාර්යාවන් කෙරෙහි අධික ලෙස කෝප නොවී ඔවුන්ට දිගටම ප්‍රේම කරන්න.” (කොලොස්සි 3:19) ඔබ ස්වාමිපුරුෂයෙක් නම් මේ ප්‍රශ්නය ගැන සිතා බලන්න. ‘මගේ භාර්යාව වෙනත් කෙනෙකුගෙන් සැනසිල්ලක් බලාපොරොත්තු වෙන්නේ මම එයා ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැති නිසාද?’ ගැටලුව කුමක් වුණත් අනියම් සම්බන්ධයක් ඇති කරගැනීමට එය නිදහසට කරුණක් නොවෙයි. කෙසේවෙතත් එවැනි සම්බන්ධයක් ඇති වුණොත් එය වේදනාත්මක දෙයක් නිසා ගැටලු ඇති වන විට ඒවා ගැන අවංකව කතා කිරීම ඉතා වැදගත්.

14, 15. විවාහ ජීවිතයේ ප්‍රශ්න ගැටලු ඇති වන විට වෙනත් කෙනෙක් සමඟ සම්බන්ධයක් ඇති කරගැනීම එයට විසඳුමක් නොවන්නේ ඇයි?

14 විවාහ ජීවිතයේ ප්‍රශ්න ගැටලු ඇති වන විට සැනසිල්ලක් බලාපොරොත්තුවෙන් වෙනත් කෙනෙක් සමඟ සම්බන්ධයක් ඇති කරගැනීම එයට විසඳුම නොවෙයි. එවැනි අනියම් සම්බන්ධයක ප්‍රතිඵලය කුමක් විය හැකිද? ඒ අලුත් සම්බන්ධය සාර්ථක විවාහ ජීවිතයකට මඟපාදයිද? සමහර අය අලුත් විවාහය සාර්ථක වෙයි කියා සිතන්න පුළුවන්. ඔවුන් මෙසේ කරුණු ගෙනහැර දැක්විය හැකියි. ‘මම බලාපොරොත්තු වන හැම ගුණාංගයක්ම මෙයාට තියෙනවා.’ එහෙත් මෙහි කිසිම සත්‍යයක් නැහැ. මන්ද තමන්ගේ භාර්යාවව හෝ ස්වාමිපුරුෂයාව අත්හරින කෙනෙක් හෝ එසේ කිරීමට ඔබව උනන්දු කරන කෙනෙක් විවාහය දෙවි ඇති කළ ගෞරවනීය සැලැස්මක් බව සලකන්නේ නැහැ. වෙනත් කෙනෙකු සමඟ ඇති කරගන්න සම්බන්ධයක් තුළින් වඩාත් හොඳ විවාහ ජීවිතයක් භුක්ති විඳිය හැකියි කියා සිතීම මෝඩකමක්.

15 කලින් අප සඳහන් කළ මේරි තමන් කරමින් සිටි දෙයින් ඇති විය හැකි දරුණු ප්‍රතිවිපාක ගැන හොඳින් සිතා බැලුවා. මේ දේ නිසා තමන්ට වගේම තවත් කෙනෙක්ට දෙවිගේ අනුමැතිය අහිමි වන බව ඇය තේරුම්ගත්තා. (ගලාති 6:7) ඇය මෙසේ පැවසුවා. “මාගේ ස්වාමිපුරුෂයාත් එක්ක වැඩ කරන මිත්‍රයා ගැන මට ඇති වුණ හැඟීම් මම හොඳින් සිතා බලන්න පටන්ගත්තා. මේ තැනැත්තා කවදා හරි දවසක සත්‍යයට එන්න තිබෙන ඉඩ කඩ මම නැති කරනවා කියා මම තේරුම්ගත්තා. වැරැද්දක් කළොත් ඊට සම්බන්ධ හැම කෙනෙක්ම එයින් පීඩා විඳිනවා. ඒ වගේම අනිත් අයත් බාධාවට පත් වෙනවා.”—2 කොරින්ති 6:3.

ද්‍රෝහි නොවීමට ප්‍රබලතම හේතුව

16. අනියම් සම්බන්ධයක් ඇති කරගැනීම නිසා මුහුණ දීමට සිදු විය හැකි ප්‍රතිවිපාක මොනවාද?

16 බයිබලයේ මෙසේ අනතුරු අඟවා තිබෙනවා. “අන් ස්ත්‍රියකගේ තොල්වලින් මීපැණි වෑස්සෙයි; ඇගේ කටද තෙලට වඩා සිනිඳුය; එහෙත් ඇගේ කෙළවර කොසඹ මෙන් තික්තය; දෙමුවහත් කඩුවක් මෙන් තියුණුය.” (හිතෝපදේශ 5:3, 4) අනියම් සම්බන්ධයක් ඇති කරගැනීම නිසා වේදනාකාරී මෙන්ම මාරාන්තික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වෙනවා. එවැනි කෙනෙකුගේ හෘදය සාක්ෂිය ඔහුට හෝ ඇයට වධ දිය හැකියි. ලිංගිකව බෝ වන රෝගද වැලඳෙන්න පුළුවන්. සහකරුවා හෝ සහකාරිය ද්‍රෝහිවීම නිසා නිර්දෝෂ තැනැත්තා දැඩි මානසික බිඳ වැටීමකට ලක් විය හැකියි. මේ හේතු සලකා බලන විට පෙනී යන්නේ විවාහයෙන් පිට සම්බන්ධයක් ඇති කරගැනීම අඥාන දෙයක් බවයි.

17. ස්වාමිපුරුෂයා හා භාර්යාව එකිනෙකාට විශ්වාසවන්තව සිටීමට තිබෙන ප්‍රබලතම හේතුව කුමක්ද?

17 තම සහකාරියට හෝ සහකරුට ද්‍රෝහි නොවී සිටීමට තිබෙන ප්‍රබලතම හේතුව වන්නේ විවාහ සැලැස්ම ඇති කළ තැනැත්තා මෙන්ම ලිංගික සම්බන්ධකම් පැවැත්වීමේ හැකියාව ලබා දුන් තැනැත්තාද වන යෙහෝවා දෙවි එලෙස ද්‍රෝහිවීම දැඩි සේ හෙළා දැකීමයි. අනාගතවක්තෘ මලාකි මාර්ගයෙන් යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. “මම විනිශ්චය පිණිස ඔබ ළඟට ඇවිත්, . . . කාමමිථ්‍යාචාරිකයන්ට . . . විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමි.” (මලාකි 3:5) යෙහෝවා දෙවි සෑම දෙයක්ම දකින බව හිතෝපදේශ 5:21හි සඳහන් මේ වදන්වලින් පෙනී යනවා. “මනුෂ්‍යයාගේ මාර්ග යෙහෝවාගේ ඇස් ඉදිරිපිටය; ඔහු ඔහුගේ සියලු මාවත් සමතලා කරන්නේය.” බයිබලයේ මෙසේද පවසා තිබෙනවා. “අප විසින් ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.” (හෙබ්‍රෙව් 4:13) අනියම් සම්බන්ධයක් කොතරම් රහසිගතව පවත්වාගෙන ගියත් ශාරීරිකව අත් විඳින්න සිදු වන විපාක හා සමාජයෙන් එල්ල විය හැකි නින්දාව සුළු බව පෙනුණත් ඕනෑම ආකාරයක ලිංගික අපවිත්‍රකමක් සිදු කළොත් යෙහෝවා දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වය පලුදු වෙයි. මේ නිසා ස්වාමිපුරුෂයා හා භාර්යාව එකිනෙකාට විශ්වාසවන්තව සිටීමට තිබෙන ප්‍රබලතම හේතුව එයයි.

18, 19. යෝසෙප්ගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගත හැක්කේ කුමක්ද?

18 යාකොබ්ගේ පුත්‍රයෙක් වූ යෝසෙප්ගේ ආදර්ශයෙන් පෙනී යන්නේ යෙහෝවා දෙවි සමඟ දිගටම හොඳ මිත්‍රත්වයක් පවත්වාගැනීම සඳහා ඔහු තුළ ඉමහත් ආශාවක් තිබූ බවයි. පාරාවෝගේ රජ මාලිගාවේ නිලධාරියෙක් වූ පොතිඵර්ගේ ප්‍රසාදයට ලක් වූ යෝසෙප්ට ඔහුගේ නිවසේ වැඩ රාජකාරී විශ්වාසවන්තව භාර දී තිබුණා. ඒ වගේම යෝසෙප් “ශෝභමාන රූප සම්පන්න කෙනෙක්” වූ නිසා පොතිඵර්ගේ භාර්යාව නිතර ඔහු කෙරෙහි ඇස් හෙළුවා. ඇය සෑම දවසකම ඔහුව වරදට පොලඹවාගැනීමට උත්සාහ කළ නමුත් ඉන් පලක් වුණේ නැහැ. ඇගේ සියලුම උපක්‍රමවලට හසු නොවී සිටීමට යෝසෙප්ට හැකි වූයේ කුමක් නිසාද? මේ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “ඔහු අකමැතිව තමන් ස්වාමියාගේ භාර්යාවට කතා කොට: මාගේ ස්වාමියා . . . තමන් සන්තක සියල්ලම මා අතට භාර දුන්නේය; . . . ඔබ ඔහුගේ භාර්යාව බැවින් ඔබ හැර වෙන කිසිවක් මට නොවැළැක්වූවේය; එහෙයින් මේ මහත් දුෂ්ටකම කොට දෙවිට විරුද්ධව කෙසේ පව් කරන්නෙම්දැයි කීය.”—උත්පත්ති 39:1-12.

19 තනිකඩව සිටි යෝසෙප් තවත් පුරුෂයෙකුගේ භාර්යාවක් සමඟ සම්බන්ධකමක් ඇති කරගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔහුගේ නිර්මලකම රැකගත්තා. “ඔබේම ජලාශයෙන් වතුරද ඔබේම ළිඳෙන් ගලන වතුරද බොන්න” කියා හිතෝපදේශ 5:15හි විවාහක පුරුෂයන්ට පවසා තිබෙනවා. තමන්ගේ සිතටත් හොරා වෙනත් කෙනෙක් සමඟ සම්බන්ධයක් ඇති කරගැනීමේ උගුලට වැටීමෙන් ආරක්ෂා වීමට සෑම පියවරක්ම ගන්න. ඔබේ විවාහ ජීවිතයේ ප්‍රේමය නමැති බැඳීම ශක්තිමත්ව තබාගැනීමට හැකි සෑම වෑයමක්ම දරන්න. විවාහ ජීවිතයේ ඔබට මුහුණ පෑමට සිදු වන ඕනෑම ගැටලුවක් විසඳාගැනීමට උත්සාහ කරන්න. සැමවිටම “ඔබ යොවුන් වියේදී විවාහ කරගත් බිරිඳ සමඟ ප්‍රීති වන්න.”—හිතෝපදේශ 5:18.

[පාදසටහන]

^ 5 ඡේ. සැබෑ නම නෙවෙයි.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• ක්‍රිස්තියානියෙකු තමන්ගේ සිතටත් හොරා අනියම් සම්බන්ධයක් ඇති කරගත හැක්කේ කෙසේද?

• අනියම් සම්බන්ධයක් ඇති කරගැනීමෙන් වැළකී සිටීමට ගත හැකි පියවර මොනවාද?

• ගැටලු ඇති වන විට විවාහක යුවළක් කළ යුත්තේ කුමක්ද?

• ස්වාමිපුරුෂයා හා භාර්යාව එකිනෙකාට විශ්වාසවන්තව සිටීමට තිබෙන ප්‍රබලතම හේතුව කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

ප්‍රේම සම්බන්ධකම් ඇතිවීමට රැකියා ස්ථාන තෝතැන්නක් වී තිබෙනවා

[28වන පිටුවේ පින්තූරය]

‘දැනගැන්ම කරණකොටගෙන එහි කාමර සියලු අනර්ඝ වස්තුවලින් පිරී තිබෙයි’