Skip to content

පටුනට යන්න

ඔබට පුළුවන් සදහටම ජීවත් වෙන්න

ඔබට පුළුවන් සදහටම ජීවත් වෙන්න

ඔබට පුළුවන් සදහටම ජීවත් වෙන්න

ලෝකය පුරාම තිබෙන ආගම්වල සිටින හුඟදෙනෙක් සැමදාටම ජීවත් වෙන්න ආශාවෙන් සිටිනවා. ඔවුන්ගේ ආගම හෝ ඔවුන් ඒ ගැන ඉගෙනගෙන තිබෙන විදිහ එකිනෙකට වෙනස් වුණත් සියලුදෙනාගේම බලාපොරොත්තුව නම් එකයි. එනම් ඉතාමත් සුන්දර වටපිටාවක මරණයෙන් තොරව සතුටින් ජීවත් වීමයි. ඔබගේ ආශාවත් එය නොවේද? බොහෝ ආගම්වලට මෙම විශ්වාසය පොදු එකක් වුණේ කොහොමද? කවදා හෝ සදාකල් ජීවත් වෙන්න පුළුවන් වෙයිද?

ශුද්ධ බයිබලයේ පෙන්වන්නේ මිනිසාගේ මැවුම්කරු පළමු යුවළ මැවූ අවස්ථාවේදීම ඔවුන් තුළට මෙම ආශාව කිඳා බැස්සුව බවයි. “[දෙවි] සදාකාලය ඔවුන්ගේ සිත්වල පිහිටෙව්වේය.”—දේශනාකාරයා 3:11.

සදාකල් ජීවිතයක් භුක්ති විඳීමට වූ ඔවුන්ගේ ආශාව ඉෂ්ට කරගැනීමට නම් හරි වැරැද්ද ගැන තීරණය කිරීමට දෙවිට ඇති අයිතිය ඔවුන් පිළිගත යුතුයි. ආදම් සහ ඒව එසේ කළා නම් දෙවි ඔවුන්ට සූදානම් කර තිබූ ඒදන් නමැති ඒ ලස්සන උයනේ “සදාකාලේටම ජීවත්” වෙන්න අවස්ථාව තිබුණා.—උත්පත්ති 2:8; 3:22.

අහිමි වූ සදාකාල ජීවනය

බයිබලය තවදුරටත් පෙන්වන්නේ දෙවි එම උයනේ ‘යහපත හා නපුර දැනගැනීමේ වෘක්ෂයක්’ සිටවූ බවයි. මරණය ගෙන දෙන්නාවූ එම වෘක්ෂයෙන් නොකන ලෙසත් දෙවි ආදම් සහ ඒවට පැවසුවා. (උත්පත්ති 2:9, 17) ඒ ගසෙන් නොකා සිටීමෙන් ඔවුන් පෙන්වන්නේ දෙවිගේ පාලනය ඔවුන් පිළිගන්නා බවයි. නමුත් එයින් කෑවා නම් ඉන් පෙන්වන්නේ දෙවිගේ පාලනය ඔවුන් පිළි නොගන්නා බවයි. නමුත් ආදම් සහ ඒව යෙහෝවා දෙවිට අකීකරුව දෙවිට කැරළි ගැසූ දේවදූතයෙක් වන සාතන්ගේ පැත්ත ගත්තා. ඒ නිසා ඔවුන් සදාකල් ජීවත් වීමට නුසුදුසු බව දෙවි තීරණය කළා.—උත්පත්ති 3:1-6.

දෙවි ඔවුන් ඉදිරියේ තැබුවේ ජීවිතය හෝ මරණයයි. අකීකරු වීමේ ප්‍රතිඵලය නම් මරණයයි. එතැන් සිට ආදම් සහ ඒවටත්, ඔවුන්ගෙන් පැවත එන්නන්ටත් සදාකාල ජීවනය අහිමි වුණා. මරණයෙන් පසු ඔවුන්ගේ ශරීරයෙන් පිට වී වෙනත් ස්ථානයක නොනැසී පවතින කිසිවක්ද නැහැ. *

ආදම් කැරලි ගැසූ නිසා ඔහුගෙන් පැවත එන සියලුදෙනාම දුක් විඳිනවා. බයිබල් ලේඛක පාවුල් ඒ ගැන සඳහන් කරන්නේ මෙහෙමයි. “එක් මිනිසෙකුගෙන් ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය.”—රෝම 5:12.

නැවතත් සදාකාල ජීවනය

ආදම්ගෙන් පැවත එන්නන්ගේ තත්වය පාවුල් සමාන කළේ පළමු සියවසේ සිටි වහල් සේවකයෙකුගේ තත්වයටයි. ආදම් සහ ඒවගේ දරුවන් ඉපදුණේ “පාපයේ දාසයන්” හැටියටයි. එම නිසා ඔවුන්ට මරණය උරුම වුණා. ඉන් ගොඩ ඒම ඔවුන්ගේම උත්සාහයෙන් කළ නොහැක්කක් වුණා. (රෝම 5:12; 6:16, 17) යෙහෝවා දෙවි එම පාපයේ දාසයන්ව මිල දී ගන්න යම් යෝග්‍ය පියවරක් ගත්තේ ඒ නිසයි. පාවුල් ඒ ගැන විස්තර කළේ “එක වරදක් [ආදම්ගේ] නිසා සියලු ආකාර මිනිසුන් ලැබූ විපාකය නම් දඬුවම් ලැබීමය. එලෙසින්ම, එක ධර්මිෂ්ඨ ක්‍රියාවක් නිසා සියලු ආකාර මිනිසුන් ලැබූ විපාකය නම්, ජීවනය සඳහා තමන්ව ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කරනු ලැබීමය” කියායි. ඒ “එක ධර්මිෂ්ඨ ක්‍රියාව” වන්නේ යේසුස්ගේ පරිපූර්ණ ජීවිතය පූජා කිරීමයි. ඉන් ‘බොහෝදෙනෙක් ධර්මිෂ්ඨ කරනු ලබනවා.’ යෙහෝවා දෙවි, පව්කාර තත්වයේ සිටින මිනිසුන්ව ‘විනිශ්චයේ’ ‘දඬුවමින්’ නිදහස් කරන්නේ යේසුස්ගේ ජීවිත පූජාවේ ඇති නීත්‍යනුකූල වටිනාකම නිසයි.—රෝම 5:16, 18, 19; 1 තිමෝති 2:5, 6.

මිනිසුන්ගේ ජාන පරීක්ෂා කර සදාකාල ජීවනය ලබා දීමට විද්‍යාඥයන්ට කෙදිනකවත් නොහැකි වන්නේ ඒ නිසයි. බයිබලයේ පැහැදිලිවම පෙන්වන්නේ මිනිසාගේ මරණයට හේතුව ඔවුන්ගේ ජානමය සැකැස්මේ වරදක් නිසා නොව නමුත් ඔවුන් කළ වරදට දෙවි යුක්තිසහගත ලෙස දඬුවම් කළ නිසයි. මේ අනුව සදාකාල ජීවිතය නැවත ලැබෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාවෙන් පමණයි. එයත් දෙවිගේ යුක්තිය ඉටුවීමක් වගේම දෙවිගේ ධර්මිෂ්ඨකම සහ ප්‍රේමණීය කරුණාව විදහා පෙන්වීමක්. එසේනම් යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගෙන සදාකාල ජීවනය ලබන්නේ කවුද?

අමරණීයභාවය නමැති තෑග්ග

යෙහෝවා දෙවි “සදාකාලයෙන් සදාකාලයටම” පැවතෙනවා. දෙවි අමරණීයයි. (ගීතාවලිය 90:2) ඔහු අමරණීයභාවය නමැති තෑග්ග දුන් පළමුවෙනි තැනැත්තා වුණේ යේසුස් ක්‍රිස්තුස්. ඔහු ගැන විස්තර කරමින් පාවුල් පැවසුවේ “මළවුන්ගෙන් නැඟිටුවනු ලැබූ ක්‍රිස්තුස් තවත් මිය යන්නේ නැති බව අපි දනිමු. මරණය ඔහු කෙරෙහි තවත් බලපවත්වන්නේද නැත” කියායි. (රෝම 6:9) අද දින සිටින පාලකයන් සහ නැවත නැඟිටුන යේසුස් අතර වෙනස දක්වමින් පාවුල් යේසුස්ව විස්තර කරන්නේ ඔහු අමරණීයභාවය සතු එකම තැනැත්තා හැටියටයි. යේසුස් “සදහටම ජීවත්ව සිටිනවා.” ඔහුගේ ජීවිතයද කිසිදාක “විනාශ කළ නොහැකියි.”—හෙබ්‍රෙව් 7:15-17, 23-25; 1 තිමෝති 6:15, 16.

එම තෑග්ග ලැබෙන්නේ යේසුස්ට පමණක් නොවෙයි. ස්වර්ගයේ සිට පොළොව පාලනය කරන්න තෝරාගත් ක්‍රිස්තියානීන්වද යේසුස් හා සමානව නැවත නැඟිටුවන්න යනවා. (රෝම 6:5) බයිබල් ලේඛකයෙක් වූ යොහන් ඒ ගැන සඳහන් කරන්නේ අමරණීයභාවය නමැති එම තෑග්ග පුද්ගලයන් 1,44,000කුට ලැබෙන බවයි. (එළිදරව් 14:1) ඔවුන්ගේ නැවත නැඟිටුවීම ගැන පාවුල් කියන්නේ මෙහෙමයි. “මාංසයටත් රුධිරයටත් දෙවිගේ රාජ්‍යය උරුම කරගන්න බැරිය. . . . හොරණෑවෙන් හඬ නිකුත් වන විට මිය ගිය අයව නොදිරනසුලුභාවයෙන් යුක්තව නැඟිටුවනු ලබන්නේය. එකල අපි වෙනස් කරනු ලබන්නෙමු. මන්ද, දිරනසුලු වූ මෙය, නොදිරනසුලුභාවය පැළඳගත යුතුය. මැරෙනසුලු වූ මෙය, අමරණීයභාවය පැළඳගත යුතුය.” එවැනි නැවත නැඟිටීමක් ලබන අය කිසිදාක මිය යන්නේ නැහැ.—1 කොරින්ති 15:50-53; එළිදරව් 20:6.

දෙවි කළ එම එළිදරව් කිරීම ඇත්තෙන්ම විශේෂ දෙයක්. අදෘශ්‍යමාන දේවදූතයන්ටවත් අමරණීයභාවය ලබා දී නැහැ. කැරලි ගැසූ සාතන්ට එකතු වූ දේවදූතයන්ට ලැබීමට නියමිත මරණීය දණ්ඩනයෙන් ඒ බව පැහැදිලියි. (මතෙව් 25:41) නමුත් ඊට වෙනස්ව යේසුස් සමඟ ස්වර්ගයේ හවුලේ පාලනය කරන අයට අමරණීයභාවය නමැති දීමනාව ලැබෙනවා. ඉන් පෙන්වන්නේ යෙහෝවා දෙවිට ඔවුන්ගේ ඇදහිල්ල නිසා ඇති වී තිබෙන දැඩි විශ්වාසයයි.

ජීවත්ව සිට ඇති බිලියන සංඛ්‍යාවක් වූ ජනයා දෙස බලද්දී 1,44,000ක් වන මේ සුළු සංඛ්‍යාව පමණද සදාකල් ජීවත් වීමට යන්නේ? නැහැ. අපි බලමු.

පාරාදීස පොළොවක් මත සදහටම ජීවත් වීම

පාරාදීස පොළොවක සදාකල් ජීවනය ලබන ගණන් කළ නොහැකි සමූහයක් ගැන බයිබලයේ පොතක් වන එළිදරව් පොතේ විචිත්‍රවත් ලෙස පෙන්වා තිබෙනවා. එහි සිටින ජනයා අතර මිය ගිය නමුත් නැවත නැඟිටුවන අයද සිටිනවා. මේ සියලුදෙනාම නිරෝගී ජීවිතයක් ලබනවා. (එළිදරව් 7:9; 20:12, 13; 21:3, 4) ඔවුන්ව “පළිඟු මෙන් පැහැදිලි වූ, ජීවන වතුර ඇති ගංගාවක්” වෙතට ගෙන යනවා. එය “දෙවිගේ . . . සිංහාසනය වෙතින් ගලා” එනවා. ඒ ගංඉවුරුවල “ජීවන වෘක්ෂ තිබිණ. ඒ වෘක්ෂවල කොළ, ජාතීන්ගේ සුවය සඳහාය.” යෙහෝවා දෙවිගේ කාරුණික ආරාධනය නම් මෙයයි. “පිපාසය ඇති තැනැත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන වතුර නොමිලේ ගනීවා.”—එළිදරව් 22:1, 2, 17.

මෙය යම් ස්ථානයක තිබෙන විශේෂිත බලයක් ඇති ගස් හෝ ගංගාවක් නොවෙයි. ඒවායින් නියෝජනය කරන්නේ මුලින් තිබූ පරිපූර්ණ තත්වයට මිනිසාව නැවත ගෙන ඒමට යේසුස් තුළින් දෙවි දෙන සැපයුම්වලටයි.

කීකරු මිනිසුන්ට පොළොව මත සදාකල් ජීවිතයක් දීමට වූ දෙවිගේ අරමුණ වෙනස් වෙලා නැහැ. දෙවි විශ්වාසවන්ත නිසා ඒ අරමුණ ඉටු වේවි. ගීතාවලිය 37:29හි ඒ ගැන සඳහන් වෙන්නේ මෙහෙමයි. “ධර්මිෂ්ඨයෝ දේශය උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් වාසය කරන්නෝය.” එම පොරොන්දුව නිසා අපිත් ස්වර්ගයේ අමරණීයභාවය ලබන අයත් එකතු වී මෙසේ කියමු. “සර්වපරාක්‍රම තැනැත්තා වන යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා මහත්ය, විස්මයජනකය. සදාකාල රජුනි, ඔබේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය. යෙහෝවා, ඔබ පමණක් පක්ෂපාතී තැනැත්තා වන හෙයින් සැබවින්ම ඔබ කෙරෙහි භය ඇතිව නොසිටින්නෙත්, ඔබේ නාමය මහිමයට පත් නොකරන්නෙත් කවුද?”—එළිදරව් 15:3, 4

සදාකාල ජීවනය නමැති වටිනා තෑග්ග ලබන්න ඔබ ආශාවෙන් සිටිනවාද? එසේනම් “සදාකාල රජු” වන යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සහ කීකරුව සිටිය යුතුයි. ඒ සඳහා සදාකල් ජීවනය ලබා දෙන යෙහෝවා දෙවි ගැනත් එය අපිට ලබාදීමට මාර්ගය කරගත් යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඉගෙනගැනීම අවශ්‍යයි. එමෙන්ම හරි වැරැද්ද තීරණය කිරීමට දෙවිට ඇති අයිතිය පිළිගන්නා සෑම කෙනෙකුටම ලැබෙන තෑග්ග නම් ‘සදාකාල ජීවනයයි.’—යොහන් 17:3.

[පාදසටහන]

^ 7 ඡේ. මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ හයවන පරිච්ඡේදය බලන්න.

[5වන පිටුවේ කොටුව⁄පින්තූරය]

නොසංසිඳුනු මහත් ආශාවක්

ක්‍රිස්තු පූර්ව 2000දී පමණ මෙසපොතේමියාවේ සිටි ගිල්ගාමේෂ් නමැති වීරයෙකු ගැන සඳහන් වෙනවා. සැමදා තරුණභාවයේ සිටීමට ඔහු දැරූ උත්සාහය විශේෂයෙන් කැපීපෙනෙනවා. එයින් පෙනී යන්නේ එතරම් ඈත කාලයකදී පවා නොමැරී සිටීමට මිනිසා උත්සාහ දරා ඇති බවයි. අතීතයේ සිටි ඊජිප්තුවරුන්ද විශ්වාස කළේ කෙනෙක් මිය ගිය විට ඔවුන්ගෙන් අමරණීය ආත්මයක් වෙන් වී යන බවත් එම ආත්මය මතු යම් දිනක මිය ගිය පුද්ගලයාගේ දේහයට ඇතුල් වී නැවතත් ඔහු ජීවත් වේවි කියාත්. එම මළ සිරුරු දිරාපත් වීමට ඉඩ නොදී දිගු කලක් පවත්වාගන්න ඔවුන් උත්සාහ කළේ ඒ නිසයි. ඒ බලාපොරොත්තුව නිසා කෙනෙකුව සොහොන් ගෙයක තැන්පත් කරද්දී ඔහුගේ පසු ජීවිතයට අවශ්‍ය වේවියයි සිතූ සියල්ලද එයට දැම්මා.

ක්‍රිස්තු පූර්ව අටවන ශතවර්ෂයේ චීනයේ විසූ රසායන ශාස්ත්‍රඥයන්ද මිනිසාට අමරණීයභාවය ඇති බව විශ්වාස කළා. ඒ වගේම ක්‍රි.පූ. හතරවන සියවස දක්වා ඔවුන් විශ්වාස කළේ යම් මැජික් පානයකින් එය අත්කරගත හැකි බවයි. යුරෝපියානු සහ අරාබීය රසායන ශාස්ත්‍රඥයන්ටත් එවැනිම විශ්වාසයක් තිබූ බව සොයාගෙන තිබෙනවා. අමරණීයභාවයේ රහස දැනගැනීමට ඔවුන් මහත් වෙහෙසක් ගත්තා. ඒ සඳහා ඔවුන් නොයෙක් වට්ටෝරුවලට අනුව බීම වර්ගද සෑදුවා. එම වට්ටෝරුවලට ආසනික්, රසදිය සහ සල්ෆර් වැනි විස ද්‍රව්‍යද ඇතුළත් වුණා. ඒවා අත්හදා බැලීමේදී කීයෙන් කීදෙනෙක් මැරෙන්න ඇද්ද!

තවත් කාලයකදී තරුණකම රැක දීමට බලයක් ඇති දිය ඇල්ලක් ගැනද ජනප්‍රවාදවල පැතිර තිබුණා. ඉන් පානය කරන්නන්ට නැවතත් යෞවන ජවය ලබාගැනීමට හැකි බව පැවසෙනවා.

[7වන පිටුවේ කොටුව⁄පින්තූර]

සදහටම ජීවත් වීම නිරස වෙයිද?

සමහරු කියනවා සදහටම ජීවත් වීම නිරස දෙයක් වේවි කියලා. ඒ වගේම “කාලය ගෙවා දැමීමට නිෂ්ඵල විනෝදාංශවල” දිගින් දිගටම නියැලෙන්න සිදු වේවි කියාත් ඔවුන් කියනවා. සමහරවිට ඔවුන් දැන් ගත කරන ජීවන රටාව නිරස දෙයක් වී තිබෙනවා ඇති. එමනිසා, ඔවුන් හිතන්නේ එවැනි ජීවිත රටාවක් සදාකාලයටම ගත කිරීම නිෂ්ඵල දෙයක් වේවි කියලයි. නමුත් දෙවි නැවත පිහිටුවන පාරාදීසයේදී මිනිසා “මහත් සමාදානයෙන් ප්‍රීති වන්නෝය” කියා ඔහු පොරොන්දු වෙනවා. (ගීතාවලිය 37:11) ඒ කාලයේදී යෙහෝවා දෙවිගේ සියලු මැවිලි ගැන දැනුම ලබන්න අවස්ථාවක් අපට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් සිහිනයකට පමණක් සීමා වූ නොයෙකුත් කුසලතාවන් වැඩි දියුණු කරගන්න, අලුත් දේවල් ඉගෙනගන්න, ප්‍රීතිය ගෙන දෙන වැඩ කරන්න අපිට ඒ කාලයේදී හැකි වේවි.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මිනිස් ආයු කාලය වැඩි කිරීම ගැන පර්යේෂණවල යෙදෙන වෛද්‍ය ඕබ්‍රි ඩී ග්‍රේ පවසන්නේ “හොඳ අධ්‍යාපනයක් ලබා ඇති මිනිසුන් කාලයෙන් ප්‍රයෝජන ගන්න නිසා ඔවුන්ට නිරසභාවයක් හැඟෙන්නේ නැහැ. එවැනි අයට කිරීමට අලුත් දේවල් බොහොමයක් තිබෙනවා.” දේවවචනයේ පවසන්නේ ‘දෙවි පටන්ගැන්මේ සිට කෙළවර දක්වාම කළ වැඩ මනුෂ්‍යයාට දැනගන්ට බැරිය’ කියායි.—දේශනාකාරයා 3:11.