Skip to content

පටුනට යන්න

ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්න යෙහෝවා දෙවි මට උපකාර කළා

ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්න යෙහෝවා දෙවි මට උපකාර කළා

ජීවිත කතාව

ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්න යෙහෝවා දෙවි මට උපකාර කළා

ඩේල් අර්වින්

“හතර අට වෙලා! සිව් දරු උපතින් පසු පවුලේ බර දෙගුණ වෙලා!” ඒ එක්තරා පුවත්පතක අපේ පවුලට එකතු වූ අලුත් සාමාජිකයන් ගැන පළ වූ ශීර්ෂ පාඨයයි. ඒ වෙද්දී අපි දුවලාම හතරදෙනෙකුගේ දෙමාපියන්. කසාද බැඳලා දරු මල්ලෝ ඇති කරගන්නවා කියන එක නම් මං හීනෙකින්වත් හිතපු නැති දෙයක්. නමුත් දැන් මම දරුවන් අටදෙනෙකුගේ තාත්තා කෙනෙක්!

මම ඉපදුණේ 1934දී ඔස්ට්‍රේලියාවේ මරීබා කියන නගරයේයි. අපේ පවුලේ මට වැඩිමල් තව දෙන්නෙක් ඉන්නවා. ටිකක් කල් ගියාට පස්සේ අපි බ්‍රිස්බන් නගරයේ පදිංචියට ගියා. මගේ අම්මා එහේ මෙතෝදිස්ත පල්ලියේ ඉරිදා ඉස්කෝලේ ඉගැන්නුවා.

වර්ෂ 1938 මුල හරියේ එක පත්තරේක වාර්තා කළා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයෙන් පැමිණෙන ජෝසෆ් එෆ්. රදර්ෆර්ඩ්ට ඔස්ට්‍රේලියාවට ඇතුල්වෙන්න ඉඩ දෙන එකක් නැහැ කියලා. “ඇයි ඒගොල්ලෝ එහෙම කරන්නේ?” කියලා අපේ ගෙදරට ආපු සාක්ෂිකරුවන්ගෙන් අම්මා ඇහුව්වා. ඒ අය මෙහෙම කිව්වා. “යේසුස් කිව්වානේ ඔහුගේ අනුගාමිකයන්ට කොහොමත් පීඩා කරනවා කියලා.” ඊට පස්සේ අම්මා ඔවුන්ගෙන් කියෝ කියන පොඩි පොත අරගෙන කියවන්න කැමති වුණා. * ඒ පොතේ පෙන්වලා තිබුණා සැබෑ ආගම සහ බොරු ආගම අතර ඇති වෙනස්කම් ගැන. ඉතින් අම්මා ඒ පොතට කොච්චර කැමති වුණාද කියනවා නම් ඊළඟ ඉරිදා අපිවත් අරගෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමට ගියා. මුලදී මගේ තාත්තා නම් මේකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. හැබැයි විටින් විට තාත්තා බයිබලය ගැන ප්‍රශ්න ලියලා අම්මා අතේ ඒ සභාවේ සහෝදරයෙකුට යැව්වා. ඒ සහෝදරයාත් බයිබලයෙන්ම උත්තර ලියලා අම්මා අතේ තාත්තාට එව්වා.

එක ඉරිදාවක තාත්තා අපිත් එක්ක රැස්වීමට ගියේ සාක්ෂිකරුවන්ට ටිකක් තදින් කතා කරන්න හිතාගෙනයි. නමුත් සිදු වුණේ වෙන දෙයක්. ඒ සතියේ සභාව බැහැදකින්න ආව සංචාරක අවේක්ෂකයා එක්ක තාත්තා ටිකක් කතා කළාට පස්සේ ඔහු හිතපු විදිහ වෙනස් කරගත්තා. ඒ විතරක් නෙවෙයි තාත්තා අපේ ගෙවල් පැත්තේ හිටිය, බයිබලය සාකච්ඡා කරන්න කැමති අයට අපේ ගෙදරම සතිපතා රැස්වීමටත් ඉඩකඩ සලසලා දුන්නා.

මගේ දෙමාපියෝ 1938 සැප්තැම්බර් මාසයේදී බව්තීස්ම වුණා. අක්කයි, අයියයි, මමයි බව්තීස්ම වුණේ 1941 දෙසැම්බර් මාසයේදී නිව් සවුත් වේල්ස්, සිඩ්නි නගරයේ තිබෙන හාග්‍රීව් පාර්ක්හි පැවති ජාත්‍යන්තර සමුළුවේදීයි. එතකොට මට අවුරුදු හතයි. එදා ඉඳලා මම මගේ දෙමාපියන් එක්ක දිගටම දේශනා සේවයේ ගියා. ඒ කාලයේදී සාක්ෂිකරුවන් තැනින් තැන ගෙන යා හැකි ශබ්ද විකාශන යන්ත්‍ර ගෙයින් ගෙට ගෙනියලා, පටිගත කරපු බයිබල් දේශනයක් ඔවුන්ට අහන්න සැලැස්සුවා.

සහෝදර බර්ට් හෝර්ටන්ව මට නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔහුට තිබුණු කාර් එකේ ශබ්ද විකාශන යන්ත්‍රයක් සවි කර තිබුණා. ඒ කාලයේ කොලු ගැටයෙක් වුණ මම සහෝදර බර්ට් එක්ක වැඩ කළේ හරි ආශාවෙන්. කාර් එක කන්දක් උඩ නතර කරලා බයිබල් කතාවක් විකාශනය කරද්දී පොලිස් කාර් අපි ඉන්න පැත්තට එනවා අපි හුඟක් වෙලාවට දකිනවා. එතකොට සහෝදර බර්ට් ඉක්මනින්ම එම කතාව නවත්වලා කිලෝමීටර් ගානක් ඈතින් තියෙන වෙන කන්දකට ගිහිල්ලා එතැන වෙන කතාවක් විකාශනය කරනවා. යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාස කිරීමටත් නිර්භීතව කටයුතු කිරීමටත් මම සහෝදර බර්ට්ගෙන් සහ අනෙකුත් ධෛර්යවන්ත සහෝදරයන්ගෙන් හුඟක් දේවල් ඉගෙනගත්තා.—මතෙව් 10:16.

මට අවුරුදු 12ක් විතර වෙද්දී ඉස්කෝලේ ඇරිලා ආවාට පස්සේ මම තනියම දේශනා සේවයේ යන්න පටන්ගත්තා. එක දවසක් මට ඇඩ්ස්හෙඩ් කියලා පවුලක් හමු වුණා. කාලය ගත වෙද්දී ඒ පවුලේ අම්මයි, තාත්තයි, ළමයි අටදෙනයි, මුණුබුරු මිණිබිරියන් කිහිපදෙනෙකුයි සත්‍යය ඉගෙනගත්තා. ඒ පවුලට බයිබල් සත්‍යය කියලා දෙන්න මං වගේ පොඩි කොල්ලෙකුට හැකිකම ලබාදීම ගැන මම යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙනවා.—මතෙව් 21:16.

යෞවන කාලයේදී ලැබුණු වරප්‍රසාද

පූර්ණ කාලීන දේවසේවකයෙක් හැටියට නිව් සවුත් වේල්ස්හි පිහිටි මේට්ලන්ඩ්වලට පැවරුමක් මට ලැබුණේ අවුරුදු 18දීයි. ඉන්පසුව සිඩ්නිවල පිහිටි ශාඛා කාර්යාලයේ සේවය කරන්න 1956දී ආරාධනයක් ලැබුණා. එහි සේවය කළ 20දෙනාගෙන් තුන් එකක්ම අභිෂේක ලත් අයයි. එනම් යේසුස් සමඟ ස්වර්ගයේ පාලනය කිරීමේ බලාපොරොත්තුව ඇති අයයි. ඔවුන් සමඟ එකට වැඩ කිරීමට ලැබුණු එක මොන තරම් දෙයක්ද!—ලූක් 12:32; එළිදරව් 1:6; 5:10.

මගේ අධිෂ්ඨානය වුණේ දිගටම තනිකඩයෙක්ව ඉන්නයි. නමුත් ජූඩි හෙල්බර්ග් නම් ඒ තරුණ සහෝදරියව දැක්කගමන්ම, ඒ අධිෂ්ඨානයට මොනවා වුණාද කියලා මමවත් දන්නේ නැහැ. ඇය ප්‍රියකරු පුරෝගාමි සහෝදරියක්. ඇයට ශාඛා කාර්යාලයෙන් තාවකාලිකව ආරාධනා කර තිබුණේ මගේ පැවරුමට උපකාර කිරීමටයි. ජූඩියි මමයි ආදරේ කරන්න පටන්ගත්තේ මේ කාලයේදීයි. ඊට අවුරුදු දෙකකට පසු අපි විවාහ වුණා. ඉන්පසු අපි චාරිකා සේවය පටන්ගත්තා. ඒ කියන්නේ සෑම සතියකම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවක් බැහැදැක ඔවුන්ව දිරිගැන්වීමයි.

අපගේ වැඩිමල් දියණිය වන කිම් ඉපදුණේ 1960දීයි. අද වගේ නම් දරුවෙක් ලැබුණාම චාරිකා සේවය නතර කරලා පවුලේ අයට අවධානය දෙන්න සිදු වෙනවා. නමුත් එදා වුණේ ඊට වඩා වෙනස් දෙයක්. දිගටම සභාවන් බැහැදකින්න කියලා ශාඛාවෙන් කිව්වාම අපි පුදුම වුණා. අපි මේ ගැන දෙවිට ගොඩක් යාච්ඤා කර, පසුව ඊට එකඟ වුණා. ක්වීන්ස්ලන්ඩ් සහ උතුරු ප්‍රදේශයේ ඈත එපිට පිහිටි සභාවලට, මාස හතක් පුරා කිම් අපිත් එක්ක බස් එකේ, ගුවන් යානයෙන් සහ කෝච්චියෙන් කිලෝමීටර් 13,000ක් පමණ ගමන් කළා. එතකොට අපිට කාර් එකක් තිබුණේ නැහැ.

අපි හැමවිටම නතර වුණේ සහෝදරයන්ගේ ගෙවල්වලයි. උණුසුම් කාලගුණයක් නිසා ඒ කාලයේ තිබුණු ගෙවල්වල දොරවල් වෙනුවට තිබුණේ තිර රෙදි විතරයි. ඉතින් කිම් රෑට අඬනකොට අපි හරි අපහසුතාවකට පත් වුණා. දරුවාවත් බලාගෙන අපේ පැවරුම කිරීම එන්න එන්නම අමාරු වුණා. ඒ නිසා අපි බ්‍රිස්බන් නගරයේ පදිංචි වෙලා මම රැකියාවක් හැටියට සංඥා පුවරු අඳින්න පටන්ගත්තා. අපේ දෙවෙනි දුව පෙටීනා ඉපදුණේ කිම්ට අවුරුදු දෙකකට පස්සෙයි.

දුක දරා ගැනීම

අපේ දුවලා අවුරුදු 12 සහ 10 වෙද්දී හොජ්කින්ස් කියන රෝගය (වසා ගැටිති ඉඳීමිම) නිසා ජූඩි නැති වුණා. ඒ 1972දීයි. මෙය අපේ පවුලට නම් දරාගන්නට බැරි දුකක් වුණා. කොහොමවුණත් ජූඩි අසනීපයෙන් ඉන්න කාලයේ සහ එයාගේ මරණයෙන් පස්සෙත් යෙහෝවා දෙවි අපිට ඔහුගේ වචනයෙනුත් ඔහුගේ බලයෙනුත් සහෝදර සංගමයෙනුත් සැනසීම ලබා දුන්නා. ජූඩිගේ මරණින් පස්සේ ඒ ළඟම ආපු මුරටැඹ සඟරාවෙනුත් අපිට ලොකු දිරිගැන්වීමක් ලැබුණා. ඒ සඟරාවේ ලිපියක සඳහන් වුණේ, කෙනෙකුගේ මරණය වැනි පීඩා එද්දී අපි පෞද්ගලිකව ඒවා දරාගන්නේ කොහොමද කියලයි. ඒ වගේම විඳදරාගැනීම, ඇදහිල්ල සහ දෙවිට දිගමට විශ්වාසව සිටීම වැනි ගුණාංග වර්ධනය කරගන්නත් පීඩා උපකාර වන බවත් එහි සඳහන් වුණා. *යාකොබ් 1:2-4.

මගේ බිරිඳ ජූඩි මැරුණාට පස්සේ මගේ දුවලා දෙන්නා මට හුඟක් කිට්ටු වුණා. නමුත් අම්මගෙයි තාත්තගෙයි දෙන්නාගෙම අඩුව පුරවන එක මට ලෙහෙසි දෙයක් වුණේ නැහැ. කොහොමවුණත් මගේ ආදරණීය දුවල දෙන්නාගෙන් මට ලැබුණේ ලොකු සහයෝගයක්.

නැවත විවාහ වීම සහ අලුත් වගකීම්

පසුව මම ආයෙ විවාහ වුණා. මගේ අලුත් බිරිඳ මේරිටත් තිබුණේ මට වගේම අද්දැකීමක්. ඇගේ මහත්තයාත් නැති වුණේ ජූඩිට තිබුණු රෝගය නිසාමයි. ඇයටත් දුවලා දෙන්නෙක් හිටියා, කොලීන් සහ ජෙනිෆ කියලා. කොලීන්, පෙටීනාට වඩා අවුරුදු තුනක් විතර බාලයි. දැන් අපේ පවුලට දුවලාම හතරදෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ වයස පිළිවෙලින් අවුරුදු 14, 12, 9, සහ 7යි.

දරුවන්ට උපදෙස් දීම සහ නිවැරදි කිරීම ගැන අපි දෙන්නා මුලින්ම යමක් තීරණය කරගත්තා. ඒ තමයි මගේ දුවලා දෙන්නව මම හික්මවන්නත් මේරිගේ දුවල දෙන්නව එයා හික්මවන්නත්. ළමයි හතරදෙනාම අපි දෙන්න එක්ක හොඳට හුරු වෙනකං අපි එහෙම කළා. ඒ විතරක් නෙවෙයි අපි දෙන්නත් වැදගත් නීති දෙකකට අනුව වැඩ කළා. එක, අපි දෙන්නාගේ අඩු පාඩුකම් ගැන ළමයි ඉස්සරහ වාද කරන්නේ නැහැයි කියන එක. අනිත් එක තමයි බයිබලයේ එෆීස 4:26හි ඇති ප්‍රතිපත්තිය. කොච්චර වෙලා ගියත් යම් ප්‍රශ්නයක් මතු වුණාම අපි ඒක කතා කරලාම විසඳගන්නවා කියන එක.

හැමෝම අපේ අලුත් පවුලට හැඩගැසුණා. ඒ වුණත් අපිට දැනුණ දුක නම් එක රැයකින් තුනී වෙලා ගියේ නැහැ. හැම සඳුදා රෑකම වගේ මේරි ඇඬුවා. අපේ පවුලේ පාඩම කරලා ළමයි නින්දට ගියාට පස්සේ, ඇය හෝගාලා අඬන්න පටන්ගන්නේ දුක දරාගන්න බැරි නිසයි.

මේරිට අපේම කියලා දරුවෙක් ඕන වුණා. කනගාටුයි කියන්න, අපිට හම්බ වෙන්න හිටිය පළමු දරුවා කුසේදීම නැති වුණා. මේරිට නැවතත් සුබ ආරංචියක්! ස්කෑන් පරීක්ෂණයෙන් පස්සේ අපි හැමෝම පුදුමයෙන් පුදුමයට පත් වුණා. මේරිගේ කුසේ දරුවෝ හතරදෙනෙක්! ඒක දැනගත්තාම මාව ගල් ගැහිලා ගියා! අවුරුදු 47ක් වන මම එකපාරටම දරුවන් අටදෙනෙකුගේ පියෙක් වෙන්න යනවා! සිසේරියන් සැත්කමකින් පසුව 1982 පෙබරවාරි 14වන දා මාස අටක් වයසැති සිව් දරු උපත සිදු වුණා. ඔවුන් ඉපදුණේ මේ පිළිවෙළටයි. ක්ලින්ට් කිලෝග්‍රෑම් 1.6යි, සින්ඩි 1.9යි, ජෙරමි 1.4යි සහ ඩැනෙට් 1.7යි. හතරදෙනාම එකිනෙකාට වෙනස්.

ඔවුන් ඉපදිලා ටික වෙලාකට පස්සේ මේරිගේ දොස්තර ඇවිල්ලා මං ළඟින් ඉඳගත්තා.

“දරුවන් බලාගන්නේ කොහොමද කියලාද ඔයා කල්පනා කරන්නේ?” කියලා දොස්තර මගෙන් ඇහුව්වා.

“ඇත්තටම මේ වගේ දෙයක් නම් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ” කියලා මං කිව්වා.

ඔහු ඊළඟට කියපු දෙයින් මං පුදුම වුණා වගේම මට ලොකු ශක්තියකුත් ලැබුණා.

“ඔයාගේ සභාවේ අය ඉන්න කං ඔයාට භය වෙන්න දෙයක් නැහැ. ඔයාට නිකං කියන්න විතරයි තියෙන්නේ, එතකොට උදව් කරන අය ඕන තරම් ඉඳිවි!”

ඒ ප්‍රසව වෛද්‍යවරයාටත් ඔහුගේ කණ්ඩායමටත් හුඟක් ස්තුතිවන්ත වෙන්න, මාස දෙකක් වැනි කෙටි කාලකින් අපි ඔවුන්ව ගෙදර අරන් ගියේ නිරෝගී දරුවන් හැටියටයි.

ලොකු මහත් කිරීමේ අභියෝගය

හැම දෙයක්ම පිළිවෙළකට කරන්න ඕන නිසා මේරියි මායි එකතු වෙලා පැය 24ටම හරියන කාලසටහනක් හැදුවා. අපේ වැඩිමල් දුවලා හතරදෙනාත් අපිට හොඳ සහයෝගයක් දුන්නා. දොස්තර කියපු කතාව නම් ඇත්තයි. උදව්වක් ඕන වුණාම “නිකං කියන්න විතරයි තිබුණේ” මුළු සභාවම වගේ අපිට උපකාර කරන්න ඉදිරිපත් වුණා. ජෝන් මැක්ආතර් මගේ පරණ යාළුවෙක්. එයා අපේ ගේ ටිකක් ලොකු කරන්න, වැඩ දන්න සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුව යෙදෙව්වා. බබාලාව බලාගන්න සභාවේ සහෝදරියනුත් ගොඩක් උදව් කළා. ඔවුන් පෙන්නූ සැලකිල්ල ඇත්තෙන්ම ක්‍රිස්තියානි ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්වීමක්.—1 යොහන් 3:18.

මේ නිසා අපේ දරුවෝ “සභාවේ පැට්ටෝ” වුණා. අදටත් අපේ පොඩි අය සභාවේ හැමෝවම සලකන්නේ අපේ පවුලේම අය හැටියටයි. මේරි ගැන කිව්වොත්, ඇය හොඳ බිරිඳක් වගේම දුක් මහන්සි නොබලා දරුවන් වෙනුවෙන් වැඩ කළ මවක්. ඇය බයිබලයෙන් සහ දෙවිගේ සංවිධානයෙන් ඉගෙනගත්ත දේවල් හොඳින් අදාළ කරගත්තා. ඊට වඩා හොඳ උපදෙස් වෙන කොහේවත් නැහැ!—ගීතාවලිය 1:2, 3; මතෙව් 24:45.

බබාලා හතරදෙනෙක් එක්ක රැස්වීම් සහ දේවසේවයේ යන එක ලෙහෙසි පහසු දෙයක් වුණේ නැතත් අපි ඒවාට සතිපතාම සහභාගි වුණා. නමුත් ඒ දවස්වල අපිට එක සහනයක් තිබුණා. ඒ අපි පාඩම් කළ විවාහක යුවළ් දෙකක් අපේ ගෙදරටම ඇවිල්ලා පාඩම් කරපු එක. ඒත්, සමහර වෙලාවට මේරිට කොච්චර මහන්සිද කිව්වොත් පාඩම වෙලාවේ දරුවාත් අතේ ඉද්දීම ඇගේ ඇස් දෙක පියවෙනවා. කොහොමහරි ටික කාලෙකට පස්සේ ඒ අයත් යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වුණා.

ළදරු කාලයේ පටන් පුහුණු කිරීම

බබාලා හතරදෙනා ඇවිදින්න පටන්ගන්නත් ඉස්සෙල්ලා මේරියි, අපේ අනිත් වැඩිමල් දුවලයි, මමයි ඒගොල්ලන්ව ක්ෂේත්‍ර සේවයේ අරගෙන ගියා. ඔවුන් යාන්තම් ඇවිදින්න පටන්ගන්න කොට මේරියි මමයි දෙන්නා ගානේ අරගෙන සේවයේ ගියා. ඒගොල්ලෝ අපිට ඒ තරම් කරදර කෙරුවේ නැහැ. හුඟක් වෙලාවට නිවැසියන් එක්ක අපේ සාකච්ඡාව ආරම්භ වුණේ මේ අයගෙනුයි. එක දවසක් සේවයේ යද්දී හම්බ වුණ ජෝතිඃවේදියෙක් මට කිව්වා ඔයා ඉපදෙන දවසේ තියෙන ලග්නයට අනුවයි ඔයාගේ පෞද්ගලිකත්වය සහ දෛවය තීරණය වෙන්නේ කියලා. මම ඒ වෙලාවේ එයාත් එක්ක තර්ක කරන්න ගියේ නැහැ, හැබැයි මම ඇහුව්වා තව ටිකකින් එන්නද කියලා. එයා කැමති වුණ නිසා මම බබාලා හතරදෙනාවම අරගෙන ආපහු ගියා. බබාලා දිහා එයා පුදුමයෙන් වගේ බලාඉද්දී මම ඒගොල්ලන්ව ඉපදිච්ච පිළිවෙළට ඉන්ඳෙව්වා. ඊට පස්සේ අපි දෙන්නා, එකම දවසේ ඉපදුණ මේ බබාලාගේ පෙනුමේ තියෙන වෙනස්කම් ගැන විතරක් නෙවෙයි පෞද්ගලිකත්වයනුත් කොතරම් වෙනස්ද කියලා කතා කළා. ඒකෙන් පස්සේ එයාගේ තර්කයට එයාටම පිළිතුරු ලැබුණා. එයා මෙහෙම කිව්වා. “ඉඳලා ඉඳලා මං ඔයාටමනේ මේ ගැන කිව්වේ. මම තව ටිකක් මේ ගැන හොයලා බලන්න ඕනේ කියලා මට දැන් හිතෙනවා.”

පොඩි අය දඟ කළාම ඒගොල්ලෝ හතරදෙනාටම එකට දඬුවම් කරනවාට එයාලා කැමති වුණේ නැහැ. ඒ නිසා අපි එයාලාට දඬුවම් කළේ වෙන වෙනමයි. කොහොමවුණත් ඒගොල්ලෝ ඉගෙනගත්තා හැම නීතියක්ම හතරදෙනාටම එක වගේ බලපාන බව. ඉස්කෝලෙදී හරි වැරැද්ද ගැන යම් තීරණගන්න වෙද්දී ඔවුන් බයිබලයේ ප්‍රතිපත්තිවලට ඇලී සිටියා වගේම එක් එක්කෙනාට උපකාර කළා. හතරදෙනාම වෙනුවෙන් කතා කළේ සින්ඩි. හතරදෙනෙක්ව පරද්දන එක ලෙහෙසි වැඩක් නෙවෙයි කියලා මිනිස්සු ඉක්මනින්ම වටහාගත්තා!

යෞවන වයසේදී දිගටම යෙහෝවා දෙවිට පක්ෂපාතව ඉන්න දරුවන්ට උපකාර කිරීමේ අභියෝගයට අනිත් දෙමාපියන් වගේම අපිත් මුහුණ දුන්නා. අපේ ප්‍රේමණීය සහෝදර සහෝදරියන් වගේම දෙවිගේ සංවිධානයෙන් අපිට කලට වේලාවට ලැබෙන බොහොමයක් මඟ පෙන්වීම් තිබුණේ නැත්නම් ඒ කාර්යය අපිට තවත් අමාරු වෙන්න තිබුණා. හැම වෙලාවේදීම පහසු නොවුණත් නිතිපතාම පවුලේ බයිබල් පාඩම කිරීමත් එකිනෙකා සමඟ ඕනෑම වේලාවක කතාබහ කිරීමට ලැහැස්තිව සිටීමත් අපි අතපසු කළේ නැහැ. ඒ නිසා අපේ ළමයි අටදෙනාම යෙහෝවා දෙවිට සේවය කරන්න තෝරගත්තා. ඒ කියන්නේ අපේ උත්සාහය වතුරේ ගියේ නැහැ කියන එකයි.

වයසට යද්දී

ගත වුණු අවුරුදු ගණනාව පුරා මම හුඟක් ආශීර්වාද අද්දැක්කා. සභා වැඩිමහල්ලෙක් සහ සහයක සංචාරක අවේක්ෂකයෙක් හැටියට වගේම මම රෝහල් සබඳතා කමිටුවේ සාමාජිකයෙක් හැටියටත් සේවය කරලා තියෙනවා. සාක්ෂිකරුවන් ලේ ශරීරගත කිරීම ප්‍රතික්ෂේප කරද්දී වෛද්‍යවරුන්ට ඒ ගැන කතා කිරීම ඒ වගකීමට ඇතුළත් වෙනවා. අවුරුදු 34ක් පුරා සාක්ෂිකරුවන්ගේ විවාහ ලියාපදිංචි කිරීම සහ විවාහ 350ක පමණ විවාහ මංගල්‍ය කතාත් ඉදිරිපත් කර තිබෙනවා. ඒවාට මගේ දුවලා හයදෙනාගේ විවාහයනුත් ඇතුළත්.

පසුගිය වසර ගණනාව පුරා මට මුලින්ම මගේ පළමු බිරිඳ වූ ජූඩිගෙනුත් දැන් දෙවෙනි බිරිඳ වන මේරිගෙනුත් ලැබී තිබෙන අගනා සහයෝගයට මම යෙහෝවා දෙවිට හුඟාක් ස්තූති කරනවා. (හිතෝපදේශ 31:10, 30) වැඩිමහල්ලෙක් ලෙස සභාවේ කරන සේවයට මට උපකාර කළා විතරක් නෙවෙයි දේවසේවයේදීත් ඔවුන් කදිම ආදර්ශයක්. ඒ විතරක් නෙවෙයි අපගේ දරුවන්ට බයිබල් සත්‍යයන් පැළපදියම් කරන්නත් ඔවුන් මහත් වෙහෙසක් ගත්තා.

මට මොළයේ ස්නායු දුර්වලතාවක් ඇති බව 1996දී දැනගත්තා. ඒ රෝගය නිසා මගේ අත් වෙවුලන්න ගත්තා වගේම ශරීරයේ සමබරතාවටද එය බලපෑවා. මගේ පුරුදු රස්සාවත් මට තවදුරටත් කරන්න බැරි වුණා. ඉස්සර තරම්ම දේවල් කරන්න දැන් මට බැරි වුණත් යෙහෝවා දෙවිට කරන සේවයේ සතුට නම් අඩුවෙලා නැහැ. නමුත් යහපතකුත් තියෙනවා. ඒ මට දැන් අනිත් වයසක අයගේ තත්වය හොඳින් තේරුම්ගන්න පුළුවන්.

ජීවිතය දෙස ආපසු හැරී බලද්දී මමත් මගේ පවුලේ අයත් අද්දැක්ක අභියෝගවලට සතුටින් මුහුණ දෙන්න උපකාර කිරීම ගැන යෙහෝවා දෙවිට මම හුඟාක් ස්තූතිවන්ත වෙනවා. (යෙසායා 41:10) ඒ වගේම සභාවේ අයගේ ප්‍රේමණීය උපකාරවලටද මේරිත් මමත් අපේ ළමයි අටදෙනාත් මුළු හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. හැමෝම අපිට පෙන්වූ ඒ ප්‍රේමය වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.—යොහන් 13:34, 35.

[පාදසටහන්වල]

^ 6 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. දැන් මුද්‍රණය නොකෙරේ.

^ 17 ඡේ. වර්ෂ 1972 මාර්තු 15 මුරටැඹ කලාපයේ 174-180 දක්වා පිටුවල ඇති ලිපිය බලන්න.—සිංහලෙන් නැත.

[12වන පිටුවේ පින්තූරය]

අම්මා, ගාත් අයියා, ඩෝන් අක්කා සහ මම 1941දී සිඩ්නි නගරයේ පැවති සමුළුවට යාමට සූදානම්ව

[13වන පිටුවේ පින්තූරය]

ජූඩි සහ කිම් සමඟ ක්වීන්ස්ලන්ඩ්වල චාරිකා සේවයේදී

[15වන පිටුවේ පින්තූරය]

බබාලා හතරදෙනා ඉපදුණාට පස්සේ අනිත් දුවලා හතරදෙනයි සභාවේ අයයි අපට උපකාර කරන්න ඉදිරිපත් වුණා