Skip to content

පටුනට යන්න

ධෛර්යය වඩවන ප්‍රේමය

ධෛර්යය වඩවන ප්‍රේමය

ධෛර්යය වඩවන ප්‍රේමය

“දෙවි අපට දුන්නේ බියගුලුකමේ ආත්මයක් නොව, බලයෙත්, ප්‍රේමයෙත්, හොඳ සිහිකල්පනාවෙත් ආත්මයක්ය.”—2 තිමෝති 1:7.

1, 2. (අ) ප්‍රේමය කුමක් කිරීමට කෙනෙකුව පොලඹවන්න පුළුවන්ද? (ආ) යේසුස් පෙන්නූ ධෛර්යය විශේෂිත එකක් වෙන්නේ ඇයි?

අලුත විවාහ වූ යුවළක්, ඔස්ට්‍රේලියාවේ නැඟෙනහිර මුහුදු තීරයේ කිමිදෙමින් සිටියා. ඔවුන් උඩට එනවාත් සමඟම මිනී මෝරෙක් තමාගේ බිරිඳ වෙතට වේගයෙන් එනවා ඔහු දැක්කා. නිර්භීතව ක්‍රියාත්මක වූ ඔහු තම බිරිඳව පැත්තකට තල්ලු කරමින් මෝරාගේ ගොදුර බවට පත් වුණා. තම ආදරණීය ස්වාමිපුරුෂයාගේ අවමංගල්‍ය උත්සවයේදී ඇය මෙහෙම කිව්වා. “ඔහු දිවි පිදුවේ මං නිසයි.”

2 ඇත්තෙන්ම මිනිසුන් තුළ පුදුමාකාර ධෛර්යක් ඇති කරන්න ප්‍රේමයට හැකියි. යේසුස් පවා එහි ඇති සත්‍යය අවධාරණය කළේ “යමෙකු තම මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දෙනවාට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත” කියායි. (යොහන් 15:13) මෙම වදන් ප්‍රකාශ කර පැය විසිහතරක් යන්නත් කලින් යේසුස් තම ජීවිතය පූජා කළා. ඒ එක මිනිසෙකු වෙනුවෙන් පමණක් නම් නොවෙයි. මුළු මහත් මිනිස් සංහතිය වෙනුවෙන්මයි. (මතෙව් 20:28) යේසුස් ඒ දේ කළේ ක්ෂණිකව ඇති වූ නිර්භීත හැඟීමක් නිසා නොවෙයි. තමාට අපහාස කරන බවත් පහත් කොට සලකන බවත් අවසානයේදී අසාධාරණ තීන්දුවක් දී වධකණුවක මරණයට පත් කරන බවත් ඔහු කලින් දැනසිටියා. යේසුස් තම ගෝලයන්ව පවා ඒ සඳහා සූදානම් කළා. ඔහු කිව්වේ “මෙන්න, දැන් අපි යෙරුසලමට නැඟ යන්නෙමු. මනුෂ්‍ය පුත්‍රයාව නායක පූජකයන්ටද ලියන්නන්ටද පාවා දෙනු ලබන්නේය. එවිට ඔවුහු ඔහුව මරණයට නියම කර, අන්‍යජාතිකයන්ට පාවා දෙන්නෝය. ඔවුහු ඔහුට කවටකම් කර, කෙළ ගසා, කසයෙන් තළා, ඔහුව මරණයට පත් කරන්නෝය.”—මාක් 10:33, 34.

3. යේසුස්ගේ ඒ සුවිශේෂී ධෛර්යට හේතු වුණේ කුමක්ද?

3 යේසුස් පෙන්නූ ඒ සුවිශේෂී ධෛර්යට හේතු වුණේ කුමක්ද? ඇදහිල්ල සහ දේවගරුබිය ඊට විශාල වශයෙන් දායක වුණා. (හෙබ්‍රෙව් 5:7; 12:2) නමුත් ඒ සියල්ලට ඉහළින් යේසුස්ගේ ධෛර්යට මුල් වුණේ දෙවි සහ සෙසු ජනයාට තිබූ ප්‍රේමයයි. (1 යොහන් 3:16) ඇදහිල්ලට සහ දේවගරුබියට අමතරව එවැනි ප්‍රේමයක් වර්ධනය කරගත්තොත් අපිටත් හැකියි යේසුස් පෙන්නූ හා සමාන ධෛර්යයක් ක්‍රියාවෙන් පෙන්වන්න. (එෆීස 5:2) එවැනි ප්‍රේමයක් ඇති කරගන්නේ කොහොමද? ඒ සඳහා ප්‍රේමයේ උල්පත හඳුනාගැනීම අවශ්‍යයි.

“ප්‍රේමය දෙවිගෙන්”

4. යෙහෝවා දෙවි ප්‍රේමයේ උල්පත කියා කියන්න පුළුවන් ඇයි?

4 ප්‍රේමයේ උල්පත වන්නෙත් එය පරිපූර්ණවම විදහාපෙන්වන්නෙත් යෙහෝවා දෙවියි. “ප්‍රේමණීය තැනැත්තෙනි,” කියා අමතන යොහන් “අපි එකිනෙකාට දිගටම ප්‍රේම කරමු. මන්ද ප්‍රේමය දෙවිගෙන්ය. ප්‍රේම කරන සෑමදෙනාම දෙවිගෙන් උපත ලබා සිටින අතර දෙවි පිළිබඳ දැනුම ලබාගන්නෝය. ප්‍රේම නොකරන්නා දෙවිව හඳුනාගෙන නැත. මන්ද දෙවි ප්‍රේමයය” කියා පවසනවා. (1 යොහන් 4:7, 8) පුද්ගලයෙකු තුළ දෙවි පෙන්නූ ආකාරයේ ප්‍රේමයක් ඇති වෙන්න නම් ඔහු දෙවිට ළං විය යුතුයි. එසේ ළං විය හැක්කේ නිවැරදි දැනුම ලබාගෙන ඊට මුළු හෘදයෙන්ම කීකරු වීම තුළිනුයි.—ෆිලිප්පි 1:9; යාකොබ් 4:8; 1 යොහන් 5:3.

5, 6. යේසුස් පෙන්වූ ප්‍රේමය හා සමාන ප්‍රේමයක් වර්ධනය කරගැනීමට ඔහුගේ මුල් ගෝලයන්ට උපකාරවත් වුණේ කුමක්ද?

5 තම විශ්වාසවන්ත ගෝලයන් එකොළොස්දෙනා සමඟ කළ අවසන් යාච්ඤාවේදී දෙවි ගැන දැනගැනීම සහ ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්වීම අතර ඇති සම්බන්ධය යේසුස් පෙන්නුවා. “ඔබ මට දැක්වූ ප්‍රේමය ඔවුන් තුළ තිබෙන පිණිසත්, මා ඔවුන් සමඟ එක්සත්ව සිටින පිණිසත් මම ඔබේ නාමය ඔවුන්ට දැන්වීමි, තවත් දන්වන්නෙමි.” (යොහන් 17:26) යේසුස් තවදුරටත් ඔවුන්ට උදව් කළේ තමන් සහ තම පියා අතර තිබෙනවා වගේ ප්‍රේමයක් වර්ධනය කරගන්නටයි. ඔහු එසේ කළේ දෙවිගේ අනර්ඝ ගතිලක්ෂණ මොනවාද සහ ඔහු කවුද කියා යේසුස් තම වචනයෙන් සහ ක්‍රියාවෙන් පෙන්වීමෙනුයි. ඒ නිසා ඔහුට මෙසේ කියන්න හැකි වුණා. “මාව දැක ඇති තැනැත්තා පියාණන්වද දැක තිබේ.”—යොහන් 14:9, 10; 17:8.

6 යේසුස් පෙන්වූ ප්‍රේමය දෙවිගේ බලය ක්‍රියාත්මක වීම නිසා ඇති වන ගුණාංගයක්. (ගලාති 5:22) මුල් ක්‍රිස්තියානීන්ට ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී පොරොන්දු කරන ලද දෙවිගේ බලය ලැබුණු විට යේසුස් ඉගැන්වූ බොහෝ දේ ඔවුන්ට මතක් වුණා පමණක් නෙවෙයි, ශුද්ධ ලියවිලිවල අර්ථයද වඩා හොඳින් වටහාගත්තා. එමගින් දෙවිට තිබුණ ඔවුන්ගේ ප්‍රේමය තවත් වැඩි වුණා. (යොහන් 14:26; 15:26) මෙහි ප්‍රතිඵලය වුණේ ඔවුන්ගේ ජීවිත අනතුරේ තිබියදීත් නිර්භීතව සහ උද්‍යෝගයෙන් යුතුව ශුභාරංචිය දේශනා කිරීමයි.—ක්‍රියා 5:28, 29.

ධෛර්යය සහ ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්වීම

7. පාවුල් සහ බානබස් විවිධ නගරවල සේවය කරද්දී ඔවුන්ට විඳදරාගන්න සිදු වුණේ කුමක්ද?

7 පාවුල් මෙහෙම ලිව්වා. “දෙවි අපට දුන්නේ බියගුලුකමේ ආත්මයක් නොව, බලයෙත්, ප්‍රේමයෙත්, හොඳ සිහිකල්පනාවෙත් ආත්මයක්ය.” (2 තිමෝති 1:7) පාවුල් එසේ කියන්නේ ඔහුගේම අද්දැකීමෙනුයි. පාවුල් සහ බානබස්ගේ අද්දැකීම් සලකා බලන්න. ඔවුන් අන්තියෝකිය, ඉකෝනිය සහ ලිස්ත්‍රාව ඇතුළු නගර බොහොමයක දේශනා කළා. ඒ සෑම නගරයකම සමහරෙක් ඇදහිලිවන්තයන් වූ අතර තවත් අය ඊට තදින් විරුද්ධ වුණා. (ක්‍රියා 13:2, 14, 45, 50; 14:1, 5) ලිස්ත්‍රාවේදී ප්‍රකෝපයට පත් පිරිසක් පාවුල්ට ගල් ගැසූ අතර ඔහු මැරුණායයි සිතා අතහැර ගියා! “නමුත් ගෝලයන් ඇවිත් ඔහු වටා එක් රොක් වූ විට, ඔහු නැඟිට ගොස් නගරයට ඇතුල් විය. පසුවදා ඔහු බානබස් සමඟ දර්බය බලා පිටත්ව ගියේය.”—ක්‍රියා 14:6, 19, 20.

8. පාවුල් සහ බානබස් පෙන්වූ ධෛර්යයෙන් මිනිසුන් සඳහා ඔවුන්ට තිබූ ගැඹුරු ප්‍රේමය පෙනෙන්නේ කොහොමද?

8 පාවුල්ගේ ජීවිතයට එල්ල වූ එම තර්ජනය නිසා පාවුල් සහ බානබස් භය වී තම සේවය අතහරින්න තීරණය කළාද? කොහෙත්ම නැහැ. දර්බයේ “බොහෝදෙනෙකුව ගෝලයන් කර” ඉන්පසු ඒ දෙදෙනා “ලිස්ත්‍රාවටද ඉකෝනියටද අන්තියෝකියටද නැවත” ගියා. ඒ ඇයි? ඇදහිල්ලේ ශක්තිමත්ව සිටීම සඳහා අලුත් ගෝලයන්ව දිරිගැන්වීමටයි. “අප බොහෝ පීඩා මැදින් දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්නට ඕනෑය” කියා පාවුල් සහ බානබස් කිව්වා. ඔවුන්ගේ ධෛර්යය පැමිණුණේ යේසුස්ගේ “කුඩා බැටළුවන්” කෙරෙහි තිබූ ඔවුන්ගේ ගැඹුරු ප්‍රේමය නිසා බව පැහැදිලියි. (ක්‍රියා 14:21-23; යොහන් 21:15-17) අලුත පිහිටෙවූ සභාවන් සඳහා වැඩිමහල්ලන් පත්කිරීමෙන් පසු මේ සහෝදරයන් දෙදෙනා යාච්ඤාවක් කර “අදහාගත් යෙහෝවාට ඔවුන්ව භාර කළෝය.”

9. එෆීසයේ වැඩිමහල්ලන්, පාවුල් පෙන්නූ ප්‍රේමයට ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?

9 මුල් ක්‍රිස්තියානීන්ගෙන් හුඟදෙනෙක් පාවුල්ට මහත් ඇල්මක් දැක්වූයේ ඔහු ප්‍රේමණීය මෙන්ම ධෛර්යවත් පුද්ගලයෙක් වූ නිසය. එෆීසයේ සිට පැමිණි වැඩිමහල්ලන් සමඟ පාවුල් පැවැත්වූ රැස්වීමකදී සිදු වූ දේ මතක් කරගන්න. පාවුල් එෆීසයේදී අවුරුදු තුනක් සේවය කළ අතර එහිදී ඔහු හුඟක් පීඩාවලට මුහුණ දුන්නා. (ක්‍රියා 20:17-31) දෙවිගේ රැළ රැකබලා ගන්න කියා ඔවුන්ව දිරිගැන්වීමෙන් පසු වැඩිමහල්ලන් සමඟ එකට දණින් වැටී දෙවිට යාච්ඤා කළා. ඉන්පසු “ඔවුන් සියල්ලෝ බොහෝ සේ හැඬූ අතර, පාවුල්ගේ බෙල්ල බදාගෙන ඔහුව ආදරයෙන් සිඹගත්තෝය. මන්ද, අනික් හැම දේටම වඩා, මෙතැන් පටන් ඔවුහු ඔහුගේ මුහුණ තවත් නොදකින්නෝයයි ඔහු පැවසූ වදන ගැන ඔවුහු සිත් වේදනාවට පත් වූහ.” ඒ සහෝදරයන් පාවුල්ට කොතරම් ප්‍රේම කළාද! පිටත්ව යෑමට වෙලාව පැමිණි විට පාවුල් සහ සහයකයන් ඒ වැඩිමහල්ලන්ගේ දැඩි අකමැත්ත පිට වුවද “වෙන් වී” ගියා.—ක්‍රියා 20:36–21:1.

10. වර්තමානයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ධෛර්යවන්තව එකිනෙකාට ප්‍රේමය පෙන්වා තිබෙන්නේ කොහොමද?

10 ඒ හා සමානව අද දිනත් සංචාරක අවේක්ෂකයන්, සභා වැඩිමහල්ලන් සහ වෙනත් බොහෝදෙනෙකු යෙහෝවා දෙවිගේ බැටළුවන් වෙනුවෙන් සේවය කිරීමට මහත් ධෛර්යක් ගන්නවා. ඒ නිසා සෙසු නමස්කාරකයන් ඔවුන්ට මහත් සේ ප්‍රේම කරනවා. උදාහරණයකට යුද්ධයෙන් පහර ලැබූ රටවල හෝ දේශනා සේවය තහනම් කර තිබෙන රටවලට ගොස් තම සහෝදරයන්ව දිරිගැන්වීමට සංචාරක අවේක්ෂකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් තම ජීවිත පරදුවේ තබා සේවය කරනවා. එමෙන්ම තවත් බොහෝ සාක්ෂිකරුවන් කෲර පාලකයන්ගෙන් සහ ඔවුන්ගේ නිලධාරීන්ගෙන් දඬුවම් විඳ තිබෙනවා. එයට හේතුව, සෙසු සාක්ෂිකරුවන්ව පාවා නොදීම හෝ වෙනත් කාරණා හෙළිදරව් නොකිරීම නිසයි. තවත් දහස්ගණන් අයට පීඩා කර, වධ හිංසා කර අවසානයේදී මරණයට පවා පත් කර තිබෙන්නේ ඔවුන් ශුභාරංචිය නොකඩවා දේශනා කරන නිසා සහ ක්‍රිස්තියානි රැස්වීම්වලට නොකඩවා සහභාගි වන නිසයි. (ක්‍රියා 5:28, 29; හෙබ්‍රෙව් 10:24, 25) එම ධෛර්යවන්ත සහෝදර සහෝදරියන්ගේ ඇදහිල්ල සහ ප්‍රේමය අපිත් අනුකරණය කරමු.—1 තෙසලෝනික 1:6.

ඔබගේ ප්‍රේමය පිරිහෙන්න ඉඩ දෙන්න එපා

11. දෙවිගේ සේවකයන්ගේ ඇදහිල්ලට විරුද්ධව සාතන් යුද්ධ කරන්නේ කොහොමද? ඊට විරුද්ධ වීමට ඔවුන් කුමක් කළ යුතුද?

11 සාතන්ව මේ පොළොවට හෙලූ අවස්ථාවේ සිට ඔහුගේ අධිෂ්ඨානය වුණේ “දෙවිගේ ආඥා පිළිපදින, යේසුස් ගැන සාක්ෂි දැරීමේ කාර්යය සතු” යෙහෝවා දෙවිගේ සේවකයන්ට විරුද්ධව උදහසින් යුතුව කටයුතු කිරීමයි. (එළිදරව් 12:9, 17) පීඩා ගෙන ඒම සාතන්ගේ එක් උපක්‍රමයක්. නමුත් බොහෝවිට ඔහුගේම උපක්‍රම දෙවිගේ සෙනඟගේ යහපතට හැරී තිබෙනවා. ඔහුගේ උපක්‍රම නිසා ඔවුන් ක්‍රිස්තියානි ප්‍රේමයෙන් ශක්තිමත් වී තිබෙන අතර දෙවිගේ සේවය සඳහා බොහෝදෙනෙකු තුළ මහත් උද්‍යෝගයක්ද ඇති කර තිබෙනවා. අපගේ පව්කාර නැඹුරුවාවන්වලින් වාසි ප්‍රයෝජන ගැනීම සාතන්ගේ තවත් උපක්‍රමයක්. මේවාට එරෙහිව සිටීමේදී ධෛර්යය පෙන්විය යුතු ක්‍රම විවිධයි. අප තුළම ඇති නුසුදුසු ආශාවන්ට එනම් ‘රැවටිලිකාර සහ දුෂ්ට’ සිතට විරුද්ධ වෙද්දී අපි කරන්නේ ඇතුළාන්ත සටනක්.—යෙරෙමියා 17:9, පැරණි අනුවාදය; යාකොබ් 1:14, 15.

12. දෙවි සඳහා අපට ඇති ප්‍රේමය හීන කිරීමට සාතන් මේ ‘ලෝකයේ ආත්මය’ පාවිච්චි කරන්නේ කොහොමද?

12 සාතන්ගේ ගබඩාවේ තවත් භයානක ආයුධයක් තිබෙනවා. එය නම් ‘ලෝකයේ ආත්මය’ හෙවත් ස්වභාවයයි. එහි නැඹුරුවාවන් සහ චේතනාවන් දෙවිගේ බලයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. (1 කොරින්ති 2:12) ලෝකයේ ස්වභාවය දිරිගන්වන්නේ “ඇස්වල ආශාව” වන ගිජුකම සහ සැප සම්පත් පසුපස ලුහුබඳින්න කියායි. (1 යොහන් 2:16; 1 තිමෝති 6:9, 10) සැප සම්පත් තිබීම වරදක් නොවෙයි. නමුත් අපගේ ජීවිතය තුළ දෙවිට ඇති ප්‍රේමය සැප සම්පත්වලට ඇති ප්‍රේමයෙන් යටපත් වී යනවා නම් ඉන් අදහස් කරන්නේ සාතන් ජයගෙන තිබෙන බවයි. ලෝකයේ ස්වභාවයට යම් ‘බලයක්’ තිබෙනවායයි කියන්නේ වැරදි කිරීමට එම බලය අප තුළ පෙලඹීමක් ඇති කරන නිසයි. ඒ වගේම එය ඉතා සූක්ෂ්ම ලෙස හා දැඩි ලෙස අපට බලපාන ආකාරයත්, වායුවක් මෙන් එය හාත්පස පැතිර ඇති ආකාරයත් එයින් අපට කියාපානවා. එමනිසා ඔබේ සිතට බලපෑම් කිරීමට ලෝකයේ ස්වභාවයට ඉඩ දෙන්න එපා.—එෆීස 2:2, 3; හිතෝපදේශ 4:23.

13. අපගේ ධෛර්යය පරීක්ෂාවට ලක්වන වෙනත් අවස්ථා මොනවාද?

13 ලෝකයේ තිබෙන නපුරු ස්වභාවයට විරුද්ධව සිටීමටත් ඉන් කිලිටි නොවී සිටීමටත් අපට ධෛර්යය අවශ්‍යයි. නිදසුනකට සිනමා ශාලාවකදී නුසුදුසු දර්ශන පෙන්වද්දී එතැනින් පිටත්ව යෑමට හෝ පරිගණකයේ නැත්නම් රූපවාහිනියේ එවැනිම දේවල් පෙන්වන විට එය වසා දැමීමටත් අවශ්‍ය වන්නේ ධෛර්යයි. සම වයසේ මිතුරන්ගෙන් පැමිණෙන හානිකර බලපෑම්වලට විරුද්ධ වීමට හෝ නරක ආශ්‍රය නතර කිරීමටත් අවශ්‍ය වන්නේ ධෛර්යයි. ඒ වගේම පාසලේ යහළුවන්ගෙන්, වැඩපළේ අයගෙන්, අසල්වාසීන්ගෙන් සහ නෑදෑයන්ගෙන් එල්ලවන සමච්චල්වලදී නොසැලී දෙවිගේ ධර්මිෂ්ඨ නීති සහ ප්‍රතිපත්ති රැකීමට අවශ්‍ය වන්නෙත් ධෛර්යයි.—1 කොරින්ති 15:33; 1 යොහන් 5:19.

14. අපගේ ජීවිත මේ ලෝකයේ ස්වභාවයට අසුවී තිබෙනවා නම් කළ යුත්තේ කුමක්ද?

14 දෙවි කෙරෙහි සහ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් කෙරෙහි අපට තිබෙන ප්‍රේමය තව තවත් ශක්තිමත් කළ යුත්තේ මේ නිසයි. ඔබගේ ජීවිතයත් යම් හෝ විදිහකින් මෙම ලෝකයේ ස්වභාවයට අසුවී තිබේදැයි පරීක්ෂා කිරීමට කාලය ගැනීම වැදගත්. සුළුවෙන් හෝ එසේ වී ඇති බව ඔබට වැටහුණොත් එය ඉවත් කිරීමට අවශ්‍ය ධෛර්යය ඉල්ලා යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න. එවැනි අවංක ඉල්ලීම් දෙවි කවදාවත් නොසලකා හරින්නේ නැහැ. (ගීතාවලිය 51:17) දෙවිගේ බලය මෙම ලෝකයේ ස්වභාවයට වඩා බොහෝසෙයින් බලවත්.—1 යොහන් 4:4.

පෞද්ගලික ගැටලුවලට ධෛර්යයෙන් මුහුණ දීම

15, 16. යේසුස්ට තිබුණා හා සමාන ප්‍රේමයක් අපිටත් තිබීම පෞද්ගලික ගැටලු සමඟ පොරබැදීමට උපකාරයක් වෙන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න.

15 යෙහෝවා දෙවිගේ සේවකයන්ට තවත් අභියෝග තිබෙනවා. ඒවා අතර දුර්වල වී වයසට යෑම, අසනීප, මානසික පීඩනය ඇතුළු වෙනත් බොහෝ ප්‍රශ්නවලට ඔවුන් මුහුණ දෙනවා. (රෝම 8:22) ඒ වුණත් යේසුස්ට තිබුණා හා සමාන ප්‍රේමයක් ඇතිව සිටීමෙන් ඒවා සමඟ සාර්ථකව කටයුතු කරන්න හැකියි. මේ උදාහරණය සලකා බලන්න. සැම්බියාවේ ජීවත් වන නමන්ගෝල්වා ක්‍රිස්තියානි පවුලක් තුළ හැදී වැඩුණු අයෙක්. අවුරුදු දෙකක් පමණ වූ විට ඇය ආබාධිත වුණා. ඒ ගැන ඇය කියන්නේ මෙහෙමයි. “මං ඉන්න තත්වය නිසා මිනිස්සුන් මා දිහා අමුතු විදියට බලයි කියලා මට හිතුණා. ඒ නිසා මම හිටියේ හරිම ලජ්ජාවෙන්. නමුත් මගේ ඒ ආකල්පය වෙනස් කරගන්න සභාවේ සහෝදරයන් මට උදව් කළා. ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය නිසා මම හිටපු මානසික තත්වයෙන් මං ගොඩ ආවා. ඉන් ටික කළකට පසු මම බව්තීස්ම වුණා.”

16 නමන්ගෝල්වාට එහා මෙහා යන්න රෝද පුටුවක් තිබෙනවා. නමුත් බොහෝවිට වැලි සහිත පාරවල්වල ගමන් කරන්න වෙන්නේ තම දණහිස්වලින් සහ දෑතේ වාරුවෙනුයි. එසේ තිබියදීත් ඇය අඩුම තරමින් සෑම අවුරුද්දකම දෙපාරක්වත් උපකාරික පුරෝගාමි සේවය කරනවා. නමන්ගෝල්වා දේශනා කරද්දී එක් ගේහිමියෙක් අඬන්න පටන්ගත්තා. හේතුව? අපගේ මෙම සහෝදරියගේ ඇදහිල්ල සහ ධෛර්යය ඒ ගේහිමියාගේ හිතට ගොඩාක් කාවැදුණ නිසයි. ඇය යෙහෝවා දෙවිගෙන් බොහෝ ආශීර්වාද ලබා තිබෙනවා. ඇය සමඟ බයිබලය පාඩම් කරපු පස්දෙනෙක් බව්තීස්ම වී තිබෙන අතර මේ අයගෙන් එක්කෙනෙක් සභා වැඩිමහල්ලෙක් හැටියට දැන් සේවය කරනවා. ඇය මෙහෙම කියනවා. “වෙලාවකට මගේ කකුල් දෙක පුදුම විදිහට කකියනවා. නමුත් ඒ හින්දා මම මගේ සේවය නම් නතර කරන්නේ නැහැ.” ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර, ශාරීරිකව බෙලහීන වුණත් දෙවිගේ බලය ඇතිව මහත් දේවල් කිරීමට හැකි වී තිබෙන බොහෝදෙනෙක් සිටිනවා. නමන්ගෝල්වා ඉන් එක්කෙනෙක් පමණයි. ඔවුන් එසේ කරන්නේ දෙවි සහ අසල්වැසියා සඳහා වූ ඔවුන්ගේ ප්‍රේමය නිසයි. ඉතින් මෙවැනි අය යෙහෝවා දෙවි ඉදිරියේ මොන තරම් වටිනවාද!—හග්ගයි 2:7.

17, 18. අසනීප තත්වයන් සහ අනෙකුත් පරීක්ෂාවන් විඳදරාගන්න බොහෝ අයට උපකාර කරන්නේ කුමක්ද? ඔබ දන්නා අද්දැකීම් කිහිපයක් ගැන සඳහන් කරන්න.

17 සුව කළ නොහැකි රෝග නිසාද තවත් සමහරුන් අධෛර්යට සහ මානසික පීඩනයට පත් වෙන්න පුළුවන්. එක් සභා වැඩිමහල්ලෙක් ඔහු යන පොත් පාඩමේ සිටින අය ගැන කියන්නේ “එක සහෝදරියකට දියවැඩියාවයි වකුගඩු අමාරුවයි තියෙනවා. තවත් කෙනෙකුට පිළිකාවක්. තව දෙන්නෙකුට බරපතළ විදිහට හන්දිපත් රුදාව. තවත් කෙනෙක් නිදන්ගත රෝගයකින් හා හන්දිපත් අමාරුවකින් පෙළෙනවා. ඒ දේවල් නිසා වෙලාවකට ඒගොල්ලන් ටිකක් අධෛර්යය වෙනවා. හැබැයි ඒගොල්ලන් රැස්වීම්වලට නෑවිත් ඉන්නේ ගොඩක් අමාරු වුණොත් හරි ඉස්පිරිතාලෙ නතර වෙන්න වුණොත් හරි විතරයි. මේ හැමෝම වරද්දන්නේ නැතිව ක්ෂේත්‍ර සේවයේ යනවා. ඔවුන්ව දකිද්දී මට පාවුල්ගේ මේ වචන මතක් වෙනවා. ‘මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි.’ ඔවුන්ගේ ප්‍රේමය සහ ධෛර්යය මම හුඟක් අගය කරනවා. සමහරවිය ඔවුන් ජීවිතයේ අද්දකින තත්වයන් නිසා වැදගත් දේවල් මොනවාද කියලා තේරුම් අරගෙන ඒවාට මුල් තැන දෙන්න ඔවුන්ට හැකි වී තිබෙනවා.”—2 කොරින්ති 12:10.

18 ඔබටත් යම් දුර්වල සෞඛ්‍ය තත්වයක් හෝ වෙනත් යම් ගැටලුවක් සමඟ පොරබදන්න සිදු වී තිබෙනවා නම් දෙවිගේ උපකාරය ඉල්ලා “නොකඩවා යාච්ඤා කරන්න.” (1 තෙසලෝනික 5:14, 17) එවිට අධෛර්යය කරවන හැඟීම්වලින් යටපත් නොවී සිටීමට ඔබට හැකි වෙයි. වෙලාවකට ඔබ හොඳ මානසික තත්වයක සිටියත් තවත් වෙලාවක මානසිකව වැටෙන්න පුළුවන්. කොහොමනමුත් නිතරම නිසි ආකල්පයක් ඇතුව සිටීමට උත්සාහ කරන්න. ඇදහිල්ල ගොඩනංවන සහ අපගේ රාජ්‍ය බලාපොරොත්තුව ශක්තිමත් කරන දේවල නිතරම යෙදෙන්න. එක් සහෝදරියක් මෙහෙම කිව්වා. “ක්ෂේත්‍ර සේවයේ යෑම තමයි මගේ අසනීපෙට බෙහෙත.” අන් අය සමඟ ශුභාරංචිය බෙදාගැනීම, නිසි ආකල්පයක් ඇතිව සිටීමට ඇයට උපකාර කළා.

වැරදිකරුවන්ට දෙවි වෙතට හැරෙන්න උපකාර කරන ප්‍රේමය

19, 20. (අ) පව් කර ඇති අයට නැවත යෙහෝවා දෙවි වෙතට හැරෙන්න ධෛර්යය ලබා දෙන්නේ කුමක්ද? (ආ) මීළඟ ලිපියෙන් සලකා බලන්නේ කුමක් ගැනද?

19 දෙවිගෙන් ඈත් වූ අයට හෝ පව් කළ අයට නැවත යෙහෝවා දෙවි වෙත හැරී ඒම පහසු දෙයක් නෙවෙයි. නමුත් එවැනි කෙනෙක් අවංකව පසුතැවිලි වෙනවා නම් සහ නැවත දෙවි සමඟ මිත්‍රත්වයක් ගොඩ නඟාගන්නවා නම් ඒ සඳහා අවශ්‍ය ධෛර්යය ලබාගන්න පුළුවන්. එක්සත් ජනපදයේ වෙසෙන මාරියෝගේ * අද්දැකීම සලකා බලන්න. මාරියෝ සභාව අතහැර ගොස් මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා. අවුරුදු 20කට පසු ඔහුට සිරබත් කන්නත් සිදු වුණා. ඒ ගැන මාරියෝ කියන්නේ මෙහෙමයි. “මම අනාගතය ගැන හිතන්නත් බයිබලය නැවත කියවන්නත් පටන්ගත්තා. එහෙම කරද්දී යෙහෝවා දෙවිගේ ගුණාංග, විශේෂයෙන්ම මම හුඟක් වෙලාවට යාච්ඤා කරලා ඉල්ලපු දෙවිගේ කරුණාව කොතරම්ද කියලා අගය කරන්නත් මම පටන්ගත්තා. මම නිදහස් වුණාට පස්සේ නරක ආශ්‍රය අත්හැරියා. රැස්වීම්වලට යන්න පටන්ගත්තා. මාව නැවතත් සභාවේ සාමාජිකයෙක් ලෙස පිළිගත්තා. මම කලින් කරපු දේවල් නිසා ශාරීරිකව දැන් දුක් විඳිනවා. ඒ වුණත් මට දැන් හොඳ බලාපොරොත්තුවක් තියෙනවා. යෙහෝවා දෙවි පෙන්වා තිබෙන කරුණාවට සහ දී තිබෙන සමාවට ස්තුති කරන්න මට වචන නැහැ.”—ගීතාවලිය 103:9-13; 130:3, 4; ගලාති 6:7, 8.

20 මාරියෝට සමාන තත්වයක සිටින අයට නැවත යෙහෝවා දෙවි වෙත හැරී ඒමට දැඩි උත්සාහයක් අවශ්‍යයි. නමුත් බයිබලය අධ්‍යයනය කිරීමෙන්, යාච්ඤාවෙන් සහ මෙනෙහි කිරීමෙන් දෙවි කෙරෙහි තමන්ට කලින් තිබූ ප්‍රේමය නැවත ඇති කරගැනීමට ඔවුන්ට හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ධෛර්යයක් සහ අධිෂ්ඨානයක් ඔවුන්ට ඇති වෙනවා. දේවරාජ්‍යය පිළිබඳ බලාපොරොත්තුවත් මාරියෝට මහත් ශක්තියක් වුණා. ප්‍රේමය, ඇදහිල්ල සහ දේවගරුබිය සමඟ අපට ඇති බලාපොරොත්තුවෙනුත් අපේ ජීවිතයට යහපතක් ගෙන දෙනවා. මීළඟ ලිපියෙන් අපි එම බලාපොරොත්තුව නමැති වටිනා ත්‍යාගය ගැන සලකා බලමු.

[පාදසටහන]

^ 19 ඡේ. සැබෑ නම නෙවෙයි.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• යේසුස් පෙන්වූ සුවිශේෂී ධෛර්යයට ප්‍රේමය දායක වුණේ කොහොමද?

• පාවුල් සහ බානබස්ට සහෝදරයන් වෙනුවෙන් එතරම් ධෛර්යයක් පෙන්වන්න ප්‍රේමය උපකාර වුණේ කොහොමද?

• ක්‍රිස්තියානීන් අතර තිබෙන ප්‍රේමය හීන කරන්න සාතන් භාවිත කරන්නේ කුමක්ද?

• යෙහෝවා දෙවි සඳහා ඇති ප්‍රේමය නිසා අපට ධෛර්යය ලැබෙන්නේ කුමන පීඩා විඳදරාගන්නද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

ජනයා සඳහා පාවුල්ට තිබූ ප්‍රේමය තම සේවය අත් නොහැර සිටීමට ඔහුට ධෛර්යය ගෙන දුන්නා

[24වන පිටුවේ පින්තූරය]

දෙවිගේ ප්‍රතිපත්ති පැවැත්වීමට ධෛර්යය අවශ්‍යයි

[24වන පිටුවේ පින්තූරය]

නමන්ගෝල්වා සුටුටු