Skip to content

පටුනට යන්න

නොනිමි ජීවිතයක් සොයන මිනිසා

නොනිමි ජීවිතයක් සොයන මිනිසා

නොනිමි ජීවිතයක් සොයන මිනිසා

නිමක් නැති ජීවිතයක්! ඒ සඳහා මිනිසා සිහින මැව්වේ අද ඊයේ පටන් නොවෙයි. ඒත් එය තවමත් සිහිනයක්ව පවතින්නේ මරණය පරාජය කරන්න මිනිසුන්ට බැරි වී තිබෙන නිසයි. කොහොමනමුත් ඒ සිහිනය, බලාපොරොත්තුවක් බවට පත් වුණේ මිනිසාගේ ආයු කාලය මීට වඩා බොහෝසෙයින් වැඩි කළ හැකි බව විද්‍යාඥයන් සොයාගත් විටයි. ඔවුන් ඒ සඳහා කර ඇති විවිධ අත්හදා බැලීම් ගැන සලකා බලන්න.

අපගේ ශරීරයේ මැරුණු සෛල ඉවත් වෙමින් ඒ වෙනුවට අලුත් සෛල නොකඩවා නිපදවෙන බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. මෙයාකාරයට පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ ඔහුගේ ශරීරය කිහිප වතාවක්ම අලුත්වැඩියා වෙනවා. නමුත් යම් නොදන්නා හේතුවක් නිසා කල් යද්දී මෙම සෛල අලුත්වැඩියා වීමේ ක්‍රියාවලිය කෙමෙන් කෙමෙන් අඩාළ වී අවසානයේදී සම්පූර්ණයෙන්ම ඇණ හිටිනවා. ඒ නිසා ශරීරයේ සෛල අලුත්වැඩියා වීමේ ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යෑමට හැකි යම් ක්‍රම ගැන විද්‍යාඥයන් සොයමින් සිටිනවා. මෑතක සිට ඔවුන් ටෙලොමරාස් කියන එන්සයිමය ගැන වැඩි උනන්දුවක් දක්වන්න පටන්ගත්තා. එම එන්සයිමයේ ක්‍රියාකාරිත්වය අවබෝධ කරගැනීමෙන් “ශරීරය තුළ සිදු වන අලුත්වැඩියා වීමේ ක්‍රියාවලිය දීර්ඝ කාලීනව නැතහොත් සැමදාටම පවත්වාගත හැකියි” කියා ඔවුන් අනුමාන කරනවා.

මත භේදයට තුඩු දී ඇති තවත් ක්ෂේත්‍රයක් වන්නේ ක්ලෝන චිකිත්සාවයි. ඒ මගින් රෝගියාගේ අවයවයට හරියටම ගැළපෙන අලුත්ම අක්මාවක්, වකුගඩු හෝ හෘදයක් බද්ධ කරන්න පුළුවන්. එම අවශ්‍ය අවයවය ලබාගන්නේ රෝගියාගේම ප්‍රාථමික සෛල [Stem Cells] පාවිච්චි කිරීමෙනුයි.

පර්යේෂකයන් නැනෝ නම් තාක්ෂණය උපයෝගී කරගනිමින්, පරිගණකයකින් පාලනය කළ හැකි සෛලයක් තරම් කුඩා යන්ත්‍රයක් නිපදවා එය ලේ නහර තුළට ඇතුල් කරනවා. එයින් රුධිරයේ ඇති පිළිකා සෛල හෝ හානිකර බැක්ටීරියා හඳුනාගෙන ඒවා විනාශ කරනවා. ඔවුන් බලාපොරොත්තු වෙනවා එම ප්‍රතිකාර ක්‍රමය අනාගතයේදී භාවිත කරයි කියලා. නැනෝ තාක්ෂණයත් ජාන චිකිත්සාවත් නිසා මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය ඉදිරියේදී සදහටම පවත්වාගත හැකි බව සමහරු විශ්වාස කරනවා.

තවත් සමහරු ක්‍රයෝනික්ස් හෙවත් මළ සිරුරු අධි ශිතකරණයක කල් තබාගැනීමේ ක්‍රමයට එකඟ වෙනවා. ඔවුන් එසේ කරන්නේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ රෝග සුව කිරීම, වයසට යෑම නතර කිරීම වගේම මිය ගිය අයට නැවත සෞඛ්‍යසම්පන්න ජීවිතයක් දීමට හැකි වෙයි යන විශ්වාසය නිසයි. මෙම ක්‍රමය “ඉපැරණි ඊජිප්තුවේ මළ සිරුරු කල් තබාගත් ක්‍රමයේ නූතන ක්‍රමය බව” එක පොතක හඳුන්වා තිබෙනවා.—American Journal of Geriatric Psychiatry.

නොමැරී සිටීමට මිනිසා දරා තිබෙන්නේ දැඩි උත්සාහයක්. ඉන් තහවුරු වෙන්නේ මරණයෙන් තම ජීවිතය අවසන් කිරීමට ඔහුට ඇති දැඩි අකමැත්තයි. නමුත් ඇත්තටම මිනිසාට සදාකල් ජීවත් වෙන්න පුළුවන්ද? මේ ගැන බයිබලයේ පැහැදිලි කරන්නේ මොනවාද? ඊට පිළිතුරු සඳහා මීළඟ ලිපිය බලන්න.