Skip to content

පටුනට යන්න

බයිබලය සීමා තහංචිවලින් පිරි පොතක්ද?

බයිබලය සීමා තහංචිවලින් පිරි පොතක්ද?

බයිබලය සීමා තහංචිවලින් පිරි පොතක්ද?

“මං පොඩි කාලේ මට කවදාවත් බයිබලය ගැන උගන්වලා නැහැ. ඒ විතරක් නෙවෙයි දෙවියන් කියන්නේ කවුද කියලාවත් මං දැනගෙන හිටියේ නැහැ” කියා ෆින්ලන්තයේ වෙසෙන යෞවනයෙක් කියනවා. අද දින ඒ වගේ පසුබිමක් යටතේ හැදෙන වැඩෙන අයව සොයාගැනීම එතරම් අපහසු නැහැ. අද ඉන්න හුඟදෙනෙක්, විශේෂයෙන්ම යෞවන අය බයිබලය සලකන්නේ බොහෝ කලකට පෙර යල්පැන ගිය සීමා තහංචිවලින් පිරි පොතක් හැටියටයි. ඒ වගේම බයිබලයේ ඇති ප්‍රතිපත්ති පවත්වන අයව අනිත් අය සලකන්නේ සීමා තහංචිවලින් සහ අණ පනත්වලින් කොටු වූ දුෂ්කර ජීවිතයක් ගත කරන අය හැටියටයි. ඒ නිසා හුඟදෙනෙක් හිතන්නේ බයිබලය පැත්තකින් තියලා වෙන කොහෙන් හරි මඟ පෙන්වීම ලබාගැනීම නුවණට හුරුයි කියලයි.

ක්‍රිස්තියානියයි කියා ගන්නාවූ පල්ලි දිගු කාලයක් පුරා අන් අයව පාලනය කර ඇති ආකාරය නිසා බයිබලය ගැන ඔවුන් එසේ සිතීම පුදුමයට කරුණක් නෙවෙයි. එම කාලය සමහර ඉතිහාසඥයන් හඳුන්වන්නේ අඳුරු යුගය කියායි. උදාහරණයකට යුරෝපයේ කතෝලික පල්ලිය සෙසු ජනයාගේ ජීවිතයේ සෑම පැත්තකටම වගේ තමන්ගේ බලය පා තිබෙනවා. කෙනෙක් ඊට විරුද්ධ වුණොත් ඔහුට අත් වුණේ වධ විඳීම හෝ මරණයයි. පසු කාලයේදී බිහි වූ රෙපරමාදු පල්ලිවලිනුත් ජනයාගේ නිදහස සීමා කළා. අද දින ‘රෙපරමාදු ආගම්’ කියූ පමණින් සමහර අයට මතක් වෙන්නේ ඒ ආගමේ හිටපු අනුගාමිකයන් ගැන විතරක් නෙවෙයි. නමුත් ඔවුන් ජනයාට සැලකූ කුරිරු ආකාරයත් සිහියට නැගෙනවා. පල්ලිවලින් සිදු කළ එවැනි දේ නිසා බයිබලය සීමා තහංචිවලින් පිරුණු පොතක් විය යුතුයි කියා ජනයා වැරදි ලෙස නිගමනය කළා.

මෑතක සිට සමහර රටවල, පල්ලි මගින් මිනිසුන්ගේ ජීවිත පාලනය කිරීම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා. පල්ලියේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළ ජනයා, පසුව හරි වැරැද්ද කුමක්ද කියා තමන්ම තීරණය කළා. එහි ප්‍රතිඵලය වුණේ කුමක්ද? අපරාධ විද්‍යාව සහ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආටි ලයිටිනන් පවසන්නේ මෙහෙමයි. “අධිකාරියට ගෞරව කිරීම අඩු වී තිබෙනවා. යහපත සහ අයහපත කුමක්ද කියා පැහැදිලිව තීරණය කරගැනීම මිනිසුන්ට එන්න එන්නම අපහසු වී තිබෙනවා.” පුදුමයට හේතුවක් නම් ආගමික නායකයන් පවා මෙසේ සිතන්න පෙලඹී තිබීමයි. ලූතරන් පල්ලියේ බිෂොප්වරයෙක් කියූ දේ බලන්න. “සදාචාරය හා සම්බන්ධ ගැටලු විසඳීමේදී ඊට පිළිතුරු සෙවීම සඳහා බයිබලයේ ප්‍රතිපත්ති හෝ ආගමික නායකයන්ගෙන් විමසීම අවශ්‍ය නැහැයි කියා මම හිතනවා.”

අසීමිත නිදහසක් හොඳයිද?

අසීමිත නිදහසක්! මෙය විශේෂයෙන්ම යෞවනයන්ගේ සිත් ගන්නවා. කෙනෙකුගෙන් අවවාදයක් නැත්නම් මඟ පෙන්වීමක් ලබාගෙන ජීවත් වීමට හෝ නීති රීතිවලට අනුව ජීවත් වීමට හුඟදෙනෙක් කැමති නැහැ. කොහොමවුණත් සෑම කෙනෙකුටම තමන් කැමති ඕනෑම දෙයක් කිරීමට නිදහස තිබිය යුතුද? ඒ සඳහා අපි උදාහරණයක් බලමු. මහමාර්ග නීති කිසිවක් නැති නගරයක් ගැන කල්පනා කර බලන්න. රියදුරු බලපත්‍රයක්වත් ඒ සඳහා පරීක්ෂණයක්වත් අවශ්‍ය නැහැ. මිනිසුන්ට තමන් කැමති විදියට වාහන පදවන්න පුළුවන්. බීමත්ව රිය පැදෙව්වත් කිසි ප්‍රශ්නයක් නැහැ. වේග සීමා, වාහන නැවැත්වීමේ පුවරු, ආලෝක සංඥා හෝ කහ ඉරි කිසිවක් නැහැ. එවැනි “නිදහසකට” ඔබ කැමතිද? කොහෙත්ම නැහැ. හේතුව, ඉන් ඇති වෙන්නේ අවුල්සහගත සහ අනතුරුදායක තත්වයක් විතරයි. මහමාර්ග නීති තුළින් මහජනයාගේ නිදහස යම් දුරකට සීමා කළත් එයින් රියදුරන්ට සහ පයින් ගමන් කරන්නන්ට ලැබෙන්නේ මහත් ආරක්ෂාවක්.

යෙහෝවා දෙවි, ජීවත් වීම සඳහා අපිට දෙන මඟ පෙන්වීම්ද ඒ හා සමානයි. ඒවායින් අපි ප්‍රයෝජන ලබනවා. එවැනි හරි මඟ පෙන්වීම් නොතිබුණා නම් අපිට දේවල් කරන හොඳම විදිය ඉගෙනගන්න සිදු වන්නේ කිහිප වතාවක් අත්හදා බැලීමෙනුයි. සමහරවිට එසේ කිරීමට ගොස් වරදින විට ඉන් අපිටත් අන් අයටත් හානි සිදු විය හැකියි. ඒ නිසා ඇති වන වියවුල්සහගත තත්වය හරියට මාර්ග නීති කිසිවක් නැති අනතුරුදායක නගරයක ගමන් කරනවා වගෙයි. මේ අනුව හුඟදෙනෙක් පිළිගන්නේ අපිට යම් ආකාරයක නීති රීති අවශ්‍ය බවයි.

‘මගේ බර සැහැල්ලුයි’

මහමාර්ග නීතිවලට සවිස්තරාත්මක නීති රීති බොහොමයක් ඇතුළත්. සමහර ස්ථානවල රථවාහන ගාල් කිරීම සම්බන්ධයෙන් කෙළවරක් නැති නීති රීති දමා තිබෙනවා. මීට හාත්පසින් වෙනස්ව බයිබලය කියන්නේ එවැනි නීති ගණනාවක එකතුවක් නෙවෙයි. ඒ වෙනුවට එහි මූලික ප්‍රතිපත්ති සඳහන්ව තිබෙන අතර ඒවා පිළිපැදීම බරක්වත් පීඩාකාරී දෙයක්වත් නෙවෙයි. යේසුස් තමාගේ කාලයේ සිටි අයට මෙම සිත්ගන්නා ආරාධනය කළා. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. මම ඔබව ප්‍රාණවත් කරමි. මන්ද මාගේ වියගහ පහසුය, බරද සැහැල්ලුය.” (මතෙව් 11:28, 30) කොරින්ති නගරයේ තිබූ ක්‍රිස්තියානි සභාවට ලියූ බයිබල් ලේඛකයෙක් වන පාවුල් සඳහන් කළේ “යෙහෝවා ආත්මයය. යෙහෝවාගේ ආත්මය ඇති තැන නිදහස ඇත” කියායි.—2 කොරින්ති 3:17.

කොහොමනමුත් එම නිදහස සීමා රහිත එකක් නෙවෙයි. දෙවි අපෙන් බලාපොරොත්තු වන දේවල්වලට යම් අණ පනත් ඇතුළත් වන බව යේසුස් පැහැදිලිව පැවසුවා. නමුත් ඒවා පැවැත්වීම පීඩාකාරී දෙයක් නෙවෙයි. ඔහු වරක් තම ගෝලයන්ට මෙහෙම කිව්වා. “මාගේ ආඥාව මෙයයි. එනම්, මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම, ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.” (යොහන් 15:12) සියලුම මිනිසුන් එම අණ පිළිපැද්දා නම් මේ පොළොව කොයි වගේ තැනක් වෙයිද කියා හිතන්න! අද සිටින සැබෑ ක්‍රිස්තියානීන් අතර ඇති නිදහසටත් යම් සීමාවන් තිබෙනවා. බයිබල් ලේඛක පේතෘස් ඒ ගැන ලිව්වේ “නිදහස් අය මෙන් ජීවත් වන්න. නමුත් ඒ නිදහස අයහපත වසාගැනීමට මඟක් කර නොගෙන, දෙවිගේ දාසයන් මෙන් එහි පවතින්න” කියායි.—1 පේතෘස් 2:16.

ක්‍රිස්තියානීන් නීති මාලාවකින් කොටු වී නොසිටියත් හරි වැරැද්ද කුමක්ද කියා තීරණය කරන්නේ තමන්ටම හිතෙන විදිහට නෙවෙයි. මිනිසුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් දීමට හැක්කේ දෙවිට පමණයි. බයිබලය ඉතාමත් සරලව ඒ ගැන කියන්නේ මෙහෙමයි. “යෙහෝවා, මනුෂ්‍යයාගේ මාර්ගය ඔහු තුළෙහිම නැති බව දනිමි. තමාගේ පාද යොමු කිරීම ගමන් යන මනුෂ්‍යයාට අයිති නැත.” (යෙරෙමියා 10:23) දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වීම අපිට ඉමහත් ප්‍රයෝජන ගෙන දෙයි.—ගීතාවලිය 19:11.

ලැබෙන ප්‍රයෝජන අතරින් එකක් නම් සන්තෝෂයයි. උදාහරණයකට, මෙම ලිපියේ කලින් සඳහන් කළ යෞවනයා මුලින් සොරකම් කිරීමට සහ බොරු කීමට පුරුදු වී සිටි අතර ඔහු ගත කරමින් සිටියේ ඉතාමත් දුරාචාර ජීවිතයක්. පසුව බයිබලයේ උසස් ප්‍රමිති ඉගෙනගෙන ඒ අනුව තම ජීවිත රටාව වෙනස් කරගත්තා. “බයිබලයේ ප්‍රතිපත්ති ඔක්කොම එකපාරටම අදාළ කරගන්න මට බැරි වුණත් මම තේරුම්ගත්තා ඒවා කොච්චර වටිනවාද කියලා. මම දැන් ලබන ප්‍රීතිය ඒ කාලෙදී නම් අද්දැක්කෙ නැහැ. බයිබලයේ ඇති ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙද්දී දැනෙන්නේ පුදුම සැහැල්ලුවක්. හරි දේ සහ වැරදි දේ කියන්නේ මොකක්ද කියලත් ජීවිතයේ අරමුණ මොකද්ද කියලත් මං දැන් දන්නවා.”

ඒ වගේ අද්දැකීම් දහස් ගණන් දෙනෙකුට තියෙනවා. එකිනෙකා සමඟ පෑහි කටයුතු කරන්නත්, වැඩ කිරීම ගැන නිසි ආකල්පයක් තබාගන්නත්, ශරීරයට හානිකර පුරුදුවලින් වැළකී සිටීමටත් සන්තෝෂයෙන් පිරි ජීවිතයක් ගත කිරීමටත් අවශ්‍ය මඟ පෙන්වීම් බයිබලයෙන් සොයාගන්න පුළුවන්. කලක් බයිබලයේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් නොවූ සහ දැන් එසේ ජීවත් වන මාකස් * තමන්ගේම අද්දැකීම ගැන කියන්නේ මෙහෙමයි. “බයිබලයේ කියන විදිහට ජීවත් වෙන නිසා මට හොඳ ආත්ම ගෞරවයක් ගොඩනඟාගන්න පුළුවන් වෙලා තියෙනවා.” *

ඔබේ තේරීම කුමක්ද?

මේ අනුව බලද්දී බයිබලය සීමා තහංචි තිබෙන පොතක්ද? ඔව්. ඒ අප සියලුදෙනාගේම ප්‍රයෝජනය සඳහායි. නමුත් එය සීමා තහංචිවලින් පිරි පොතක්ද? නැහැ. අසීමිත නිදහස මඟ පාදන්නේ කෙළවරක් නැති ගැටලුවලට පමණයි. බයිබලයේ ඇති ප්‍රතිපත්ති හරි සමබරයි. එමෙන්ම ඒවායින් අපගේ ජීවිතය වඩා යහපත් කර අපට ප්‍රීතිය ගෙන දෙයි. මාකස් මෙහෙමත් කියනවා. “කාලයත් සමඟම මං තේරුම්ගත්තා බයිබලයේ තොරතුරු ජීවිතයට අදාළ කරගැනීම කොයි තරම් වටිනවාද කියලා. ඇත්තයි, හුඟක් පැතිවලින් මගේ ජීවිතය අනිත් අයට වඩා වෙනස්. හැබැයි මගේ ජීවිතයේ අඩුවක් තියෙනවා කියලා මට නම් පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ.”

බයිබලයේ ඇති ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමෙන් ඔබ ප්‍රයෝජන ලබද්දී දෙවිගේ වචනය වන බයිබලයට ඇති ඔබගේ අගය වැඩි වෙනවා වගේම ප්‍රයෝජනත් ඔබ අද්දකීවි. එනම් බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නත් ඔබ පටන් ගනිවී. “දෙවිට ප්‍රේම කිරීම යනු, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බරක් නොවේ.”—1 යොහන් 5:3.

යෙහෝවා දෙවි කියන්නේ අපිව නිර්මාණය කළ අපගේ ස්වර්ගික පියායි. අප සඳහා හොඳම දේ මොකද්ද කියලා දන්නේ ඔහුයි. අපට තහංචි දමනවා වෙනුවට දෙවි අපට ප්‍රේමණීයව මඟ පෙන්වීම් දෙනවා. එමනිසා යෙහෝවා දෙවි අපට උනන්දු කරන්නේ මෙසේ කිරීමටයි. “අහෝ, ඔබ මාගේ ආඥාවලට කන්දුන්නෙහි නම් යහපත! එවිට ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.”—යෙසායා 48:18.

[පාදසටහන්වල]

^ 13 ඡේ. සැබෑ නම නොවෙයි.

^ 13 ඡේ. ජීවිතය ගත කළ යුතු ආකාරය ගැන බයිබලයේ සඳහන් තවත් තොරතුරු දැනගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නම් පොතේ 12වන පරිච්ඡේදය බලන්න.

[9වන පිටුවේ පින්තූරය]

දෙවි අපෙන් බලාපොරොත්තු වන දේවල් කිරීමෙන් අපි නැවුම් බවක් අද්දකින බව යේසුස් කිව්වා

[10වන පිටුවේ පින්තූරය]

දෙවිගේ මඟ පෙන්වීමට කීකරු වීමෙන් අපි ප්‍රීතියක් ලබනවා වගේම අපේ ආත්ම ගෞරවය වැඩි වෙනවා