Skip to content

පටුනට යන්න

මහ සයුරේ මං සොයමින්

මහ සයුරේ මං සොයමින්

මහ සයුරේ මං සොයමින්

මාර්ෂල් දූපත්. මෙයට දූපත් 1,200ක් අයත් වන අතර, ඒවා පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට වැඩි උසකින් නොවෙයි. ඒ නිසා එම දූපත්වල සිට මුහුද දෙසට ගමන් කරන ඕනෑම කෙනෙකුට, ටික දුරක් ගමන් කරද්දී ඒවා නොපෙනී යයි. මෙම දූපත් පැසිෆික් සාගරයේ වර්ග කිලෝමීටර 6,50,000ක් පුරා පැතිර තිබෙනවා. නමුත් අතීතයේදී කුඩා ඔරුවලින් මුහුදු ගිය මාර්ෂල්වරුන්ට එක දිවයිනක සිට අනෙක් දිවයිනට යන මුහුදු මාර්ගය සොයාගැනීම එතරම් අපහසු දෙයක් වුණේ නැහැ. ඔවුන් ඒවා සොයාගත්තේ කොහොමද? ඒ සඳහා ඔවුන් ඉතාමත් සරල, නමුත් ප්‍රයෝජනවත් කාර්යයක් ඉටු කළ “සිතියමක්” භාවිත කළා. ඔවුන් එය හැඳින්වූයේ ඉරටු වගුව ලෙසයි.

මුහුදු රැළි නඟන රටාවන් නිරීක්ෂණය කිරීමෙන් දූපතක් ඇති තැන සොයාගත හැකි බව මාර්ෂල්වරුන් තේරුම්ගත්තා. කිලෝමීටර් 30ක් තරම් ඈතින් තිබෙන දූපතක් වුණත් ඔවුන්ට දුර තියා කියන්න පුළුවන්. මුහුදු රැළි නඟන රටා බොහොමයක් තිබෙනවා. ඒවා මතක තබාගන්න ඔවුන් ඉරටු වගු භාවිත කරනවා. මෙම ඉරටු වගු කොයි වගේද? පින්තූරයේ පෙන්වා තිබෙන ලෙස ඒවා සාදා තිබෙන්නේ වැටකෙයියා වැනි ගසක ඇති මුල්වල පතුරුවලින් හෝ ඉරටුවලිනුයි. මේවා එකට බැඳ රැළි නඟන රටාව අනුව වියා ගන්නවා. දූපතක් පිහිටා තිබෙන තැන ලකුණු කරගන්න ඔවුන් කුඩා සිප්පි කටුවක් එයට අමුණනවා.

මොවුන්, එම ඉරටු වගු භාවිතය ගැන ඉගැන්නුවේ යම් තෝරාගත් පිරිසකට නිසා එය වසර ගණනාවක් පුරා රහසක්ව පැවතුණා. ඔවුන් අතර සිටි තරුණයන් මෙය භාවිත කරන්න ඉගෙනගත්තේ කොහොමද? අද්දැකීම් ලත් කෙනෙකු දුන් පුහුණුවෙන් සහ එය නිතර නිතර භාවිත කිරීමෙනුයි. මෙම නවක මුහුදු යන්නන් මුහුදු රැළි නඟන විවිධ රටාවන් හඳුනාගත් විට ඉරටු වගු භාවිතය ගැන ඔහුට හොඳ නිසැකකමක් ඇති වෙනවා. අන්තිමේදී තනිවම මුහුදු ගමන් මාර්ග සොයාගන්න ඔහුට හැකි වෙනවා.

ඒ හා සමානව, දේවවචනය වන බයිබලය අපේ ජීවිත ගමනට මඟ පෙන්වන සිතියමක් වගෙයි. මුලින්ම, බයිබලයේ තිබෙන මූලික ඉගැන්වීම් තේරුම්ගන්න තවත් කෙනෙකුගේ උපකාර අවශ්‍ය විය හැකියි. ඉන්පසු අපිම දේවවචනය පෞද්ගලිකව අධ්‍යයනය කිරීමෙන් සහ එහි ඉගැන්වීම් පිළිපැදීමෙන් බයිබලය ගැන අපට නිසැකකමක් ඇති වෙනවා. පුරාණ ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්වූ යෝෂුවාට අණ කර තිබුණේ දෙවිගේ වචනය නොකඩවා කියවන්න කියායි. ඒ ‘එහි ලියා තිබෙන සියල්ල කරන්න’ ඔහුට පුළුවන් වන පිණිසයි. දෙවි යෝෂුවාට කිව්වේ “එවිට ඔබේ මාර්ගය සඵල වන්නේය. ඔබට ශුභසිද්ධ වන්නේය” කියායි. (යෝෂුවා 1:8) ඔව්, අපේ ජීවිත ගමන සාර්ථක කරගන්න උපකාරී වන හරි මඟ පෙන්වා දෙන්නේ බයිබලයයි.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Greg Vaughn