Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ධෛර්යවත් වෙන්න

යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ධෛර්යවත් වෙන්න

යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ධෛර්යවත් වෙන්න

“යෙහෝවා කෙරෙහි බලා සිටින්න. සවි වෙන්න. ඔබේ සිත ධෛර්යවත් වේවා. එසේය, යෙහෝවා කෙරෙහි බලා සිටින්න.”—ගීතාවලිය 27:14.

1. බලාපොරොත්තුව, කොතරම් වැදගත්ද? ශුද්ධ ලියවිල්ලේ එය භාවිත කර තිබෙන්නේ කොහොමද?

සැබෑ බලාපොරොත්තුවක් දීප්තිමත් ආලෝකයක් වගෙයි. එය අප වර්තමානයේ අද්දකින පීඩාවලින් ඔබ්බට බැලීමටත් අනාගතයට ධෛර්යයෙන් හා ප්‍රීතියෙන් යුතුව මුහුණ දීමටත් උපකාර කරයි. අපට සැබෑ බලාපොරොත්තුවක් දිය හැක්කේ යෙහෝවා දෙවිට පමණයි. ඔහු එය තම වචනය තුළින් දී තිබෙනවා. (2 තිමෝති 3:16) “බලාපොරොත්තුව,” “බලාපොරොත්තු වුණා,” “බලාපොරොත්තුවෙන් සිටීම” වැනි වචන බයිබලයේ වාර 160කට වඩා සඳහන් වෙනවා. ඒවායින් යොමු දක්වන්නේ යහපත් යමක් සඳහා දැඩි උනන්දුවෙන් සහ ස්ථිර අපේක්ෂාවෙන් සිටීමයි. * එවැනි බලාපොරොත්තුවක් කිසිම පදනමක් නැති, ඉටුවෙයි කියා සිතන්න අමාරු නිකම්ම කරන ප්‍රාර්ථනයක් නෙවෙයි. ඊට වෙනස්ව පොරොන්දු කර තිබෙන දේවල් එකක් නෑර ඉටු වෙන බවට ස්ථිර පදනමක් එම බලාපොරොත්තුවට තිබෙනවා.

2. බලාපොරොත්තුව යේසුස්ගේ ජීවිතයට බලපෑවේ කෙසේද?

2 පරීක්ෂාවලට සහ දුෂ්කර තත්වයන්ට මුහුණ දුන් විට යේසුස් ඒ දේවල් ගැන කනස්සලු වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු වුණා. බයිබලයේ ඒ ගැන කියන්නේ “ඔහු ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොතකා වධකණුව විඳදරාගෙන, ඔහු දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තේ” ඉඳගත්තා කියායි. (හෙබ්‍රෙව් 12:2) එසේ කිරීමට හැකි වුණේ යෙහෝවා දෙවිට මුළු විශ්වයම පාලනය කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම සහ ඔහුගේ නාමයට ඇති වී තිබෙන කැළල ඉවත් කිරීම ඔහුගේ ප්‍රධාන අරමුණ වී තිබූ නිසයි. ඒ සඳහා මොන වගේ පාඩුවක් විඳින්න සිදු වුණත් ඔහු සැමවිටම දෙවිට කීකරුව සිටියා.

3. බලාපොරොත්තුව දෙවිගේ සේවකයන්ගේ ජීවිතයට බලපාන්නේ කෙසේද?

3 දාවිත් රජද බලාපොරොත්තුව සහ ධෛර්යය අතර ඇති සම්බන්ධය ගැන සඳහන් කළේ මෙසේ කියමින්. “යෙහෝවා කෙරෙහි බලා සිටින්න. සවි වෙන්න. ඔබේ සිත ධෛර්යවත් වේවා. එසේය, යෙහෝවා කෙරෙහි බලා සිටින්න.” (ගීතාවලිය 27:14) අපේ සිත ධෛර්යවත් වීමට නම් කවදාවත් අපේ බලාපොරොත්තුව අඳුරු වීමට ඉඩ නොදී එය වස්තුවක් මෙන් රැකගමු. එසේ කරද්දී යේසුස් මෙන් ධෛර්යකින් සහ උද්‍යෝගයකින් ඔහු තම ගෝලයන්ට අණ කළ කාර්යය කිරීමට අපටත් හැකියි. (මතෙව් 24:14; 28: 19, 20) ඇත්තෙන්ම බයිබලයේ ඇදහිල්ල සහ ප්‍රේමය සමඟ සඳහන් කර ඇති බලාපොරොත්තුවත් දෙවිගේ සේවකයන්ගේ කැපීපෙනෙන දෙයක්.—1 කොරින්ති 13:13.

ඔබේ ‘බලාපොරොත්තුව වැඩි වී’ තිබෙනවාද?

4. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සහ “වෙනත් බැටළුවන්” උනන්දුවෙන් බලා සිටින්නේ කුමක් දෙසද?

4 දෙවිගේ සෙනඟට තිබෙන්නේ මවිතාකාර අනාගතයක්. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ඉතාමත් උනන්දුවෙන් බලා සිටින්නේ ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ සේවය කිරීමටයි. ඒ අතරම “වෙනත් බැටළුවන්” බලාපොරොත්තුවෙන් සිටින්නේ “දිරාපත් වීමේ වහල්කමින් නිදහස් වී දෙවිගේ [භූමික] දරුවන්ට හිමි තේජවත් නිදහස ලබන” පිණිසයි. (යොහන් 10:16; රෝම 8:19-21; ෆිලිප්පි 3:20) එම ‘තේජවත් නිදහසට’ ඇතුළත් වෙන්නේ පාපයෙන් සහ එහි අප්‍රසන්න ඵලවිපාකවලින් ගැලවීමයි. ඒ කාලයේදී ‘සෑම යහපත් දීමනාවක්ම හා සෑම සම්පූර්ණ ත්‍යාගයකම’ උල්පත වන යෙහෝවා දෙවි තම පක්ෂපාත සේවකයන්ට කිසි අඩුවක් නැතිව සපයයි.—යාකොබ් 1:17; යෙසායා 25:8.

5. අපගේ ‘බලාපොරොත්තුව වැඩි කරගන්නේ’ කොහොමද?

5 අපගේ ජීවිතය තුළ මෙම බලාපොරොත්තුවට තිබිය යුත්තේ කොයි වගේ තැනක්ද? රෝම 15:13හි මෙසේ සඳහන් වෙනවා. “ශුද්ධාත්මයේ බලයෙන් ඔබේ බලාපොරොත්තුව වැඩි වන පිණිස, බලාපොරොත්තුව දෙන දෙවි, ඔබේ ඇදහීම මාර්ගයෙන් ඔබව සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද පූර්ණ කරාවා!” කෙනෙකුගේ ජීවිතය සමාදානයෙන්, සතුටින්, අරමුණින් සහ ධෛර්යයෙන් පුරවන බලාපොරොත්තුව සමාන කර තිබෙන්නේ අඳුරේ යන්තම් දිස්වන කණාමැදිරි එළියකට නෙවෙයි නමුත් උදෑසන නැඟෙන හිරුගෙන් දිස්වන දීප්තිමත් ආලෝකයටයි. දේවවචනයේ සඳහන් දේ විශ්වාස කිරීමෙන් සහ දෙවිගේ බලය ලැබීමෙන් අපගේ ‘බලාපොරොත්තුව වැඩි වෙන’ බව මතක තබාගන්න. රෝම 15:4 කියන්නේ “අපේ විඳදරාගැනීම මාර්ගයෙන්ද, ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන සැනසිල්ල මාර්ගයෙන්ද අප බලාපොරොත්තුව ඇතිව සිටින පිණිස කලින් ලියන ලද සියල්ල අපේ ඉගෙනීම සඳහා ලියා ඇත” කියායි. ඒ නිසා අපෙන්ම මෙසේ අසාගනිමු. ‘මම දිනපතා බයිබලය කියවන මගේ බලාපොරොත්තුව දීප්තිමත්ව තබාගන්නා බයිබල් ශිෂ්‍යයෙක්ද? දෙවිගේ බලය ඉල්ලා මම නිතරම යාච්ඤා කරනවාද?’—ලූක් 11:13.

6. අපගේ බලාපොරොත්තුව දීප්තිමත්ව තබාගැනීමට නම් අපි ආරක්ෂා විය යුත්තේ කුමකින්ද?

6 අපගේ ආදර්ශකයා වන යේසුස් පවා දේවවචනයෙන් ලැබුවේ මහත් ශක්තියක්. ඔහුව කිට්ටුවෙන් අනුකරණය කිරීමෙන් ‘වෙහෙසට පත් නොවී සිතින් ක්ලාන්ත නොවී සිටීමට’ අපිට හැකියි. (හෙබ්‍රෙව් 12:3) ධන සම්පත් සෙවීම හෝ වෙනත් ඉලක්ක අත්කරගැනීමට ගියොත් අපේ අරමුණ වෙනතකට යොමු විය හැකියි. එයින් දේවප්‍රතිපත්ති පවත්වන්න අපට තිබෙන ධෛර්යය සහ ශක්තිය දුර්වල වෙන්න පුළුවන්. මේ දේවල් නිසා දෙවි අපිට දී තිබෙන බලාපොරොත්තුව අඳුරු වන බව නොකිවමනායි. මේ තත්වය දිගින් දිගටම පැවතුණොත් “[අපේ] ඇදහිල්ල නමැති නැව මුහුදුබත්” විය හැකියි. (1 තිමෝති 1:19) නමුත් සැබෑ බලාපොරොත්තුවකින් අපේ ඇදහිල්ල තවත් ශක්තිමත් වෙනවා.

ඇදහිල්ලට නැතුවම බැරි බලාපොරොත්තුව

7. ඇදහිල්ලට බලාපොරොත්තුව නැතුවම බැරි ඇයි?

7 බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඇදහිල්ල යනු බලාපොරොත්තු වන දේවල් පිළිබඳ සහතික වූ අපේක්ෂාවය. නොපෙනෙන නමුත් සැබෑ දේවල් පිළිබඳ පැහැදිලි සාක්ෂියය.” (හෙබ්‍රෙව් 11:1) ඉන් පැහැදිලි වෙන්නේ බලාපොරොත්තුව කියන්නේ ඇදහිල්ලට සම්බන්ධ නිකම්ම යමක් නෙවෙයි. එය ඇදහිල්ලෙම කොටසක්. ආබ්‍රහම් ගැන සලකා බලන්න. යෙහෝවා දෙවි ආබ්‍රහම් සහ සාරාට ඔවුන්ගෙන් දරුවෙක් බිහි වෙන බව පොරොන්දු වෙද්දී ඔවුන් සිටියේ දරුවන් බිහි කරන වයස පසු කරලයි. (උත්පත්ති 17:15-17) ආබ්‍රහම්ගේ ප්‍රතිචාරය කුමක්ද? “ඔහු බලාපොරොත්තු රහිතව සිටියත්, . . . තමා බොහෝ ජාතීන්ගේ පියා වන්නේයයි ඔහු බලාපොරොත්තු ඇති කරගෙන, ඒ මත පදනම් වූ ඇදහිල්ල ඇතිව” සිටියා. (රෝම 4:18) ආබ්‍රහම්ට දෙවි දුන් බලාපොරොත්තුව මත ඔහු ඇදහිල්ල තැබුවා. ඒ නිසා තමාගෙන් දරුවන් බිහිවෙන බව විශ්වාස කිරීමට එය ඔහුට හොඳ පදනමක් වුණා. ඒ ඇදහිල්ල, ඔහුගේ බලාපොරොත්තුව ස්ථිරව සහ දීප්තිමත්ව තබාගන්න උපකාර වුණා. ආබ්‍රහම් සහ සාරාට තම ගේදොර වතුපිටි සහ නෑදෑ හිතවතුන් අතහැර තමන්ගේ ජීවිතයේ ඉතිරි කාලය නුපුරුදු රටකට ගොස් කූඩාරම්වල වාසය කිරීමට තරම් ධෛර්යයක් ලැබුණෙත් ඒ නිසයි.

8. ඇදහිලිවන්තව විඳදරාගැනීම අපගේ බලාපොරොත්තුව ස්ථිර කරන්නේ කොහොමද?

8 ආබ්‍රහම් දුෂ්කර තත්වයන්වලදී පවා මුළුමනින්ම යෙහෝවා දෙවිට කීකරු වීමෙන් තම බලාපොරොත්තුව ස්ථිරව තබාගත්තා. (උත්පත්ති 22:2, 12) ඒ වගේ අපිත් යෙහෝවා දෙවිට කරන සේවයේදී කීකරුවීමෙන් සහ විඳදරාගැනීමෙන් අපගේ බලාපොරොත්තුවත් ස්ථිරව තබාගන්න පුළුවන්. පාවුල් ලිව්වේ “විඳදරාගැනීමෙන් අනුමැතිය ලැබෙන්නේය” කියායි. එයින් බලාපොරොත්තුවක් ඇති වන අතර, එම “බලාපොරොත්තුව කලකිරීමකට මඟ පාදන්නේ” නැහැ. (රෝම 5:4, 5) පාවුල් තවදුරටත් මෙහෙම ලිව්වා. “ඔබෙන් එකිනෙකා අවසානය දක්වා බලාපොරොත්තුව පිළිබඳව සම්පූර්ණ නිසැකකම ඇතිව සිටින පිණිස, එම උනන්දුවම පෙන්වනවාට අපි ආශා වන්නෙමු.” (හෙබ්‍රෙව් 6:11) යෙහෝවා දෙවි සමඟ තිබෙන කිට්ටු මිත්‍රත්වය මත පදනම් වූ එවැනි නිසි ආකල්පයක් ඕනෑම පීඩාවකට ධෛර්යයෙන් සහ ප්‍රීතියෙන් මුහුණ දීමට අපිට උපකාර කරයි.

“බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න”

9. “බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න” නම් අපි නිතිපතා කුමක් කිරීම අවශ්‍යද?

9 දෙවි අපිට දී තිබෙන බලාපොරොත්තුව මේ ලෝකය ඉදිරිපත් කරන ඕනෑම දෙයකට වඩා අනර්ඝයි. ගීතාවලිය 37:34හි පවසන්නේ “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ ගමන් කරන්න. ඔහු ඔබව උසස් කර ඔබට පොළොව හිමි කර දෙන්නේය. දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නේය” කියායි. “බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න” අපට ඕනෑ තරම් හේතු තියෙනවා. (රෝම 12:12) එසේ ප්‍රීතිවීමට නම් අපේ බලාපොරොත්තුව ගැන නිතරම කල්පනා කරන්න අවශ්‍යයි. ඔබට තිබෙන බලාපොරොත්තුව කොයි වගේද කියා ඔබ ජීවත්වන ආකාරයෙන් පෙන්වනවාද? ඔබ පාරාදීස පොළොවේ නිරෝගී සෞඛ්‍යයක් ඇතුව, හිතේ කිසිම දුකක් නැතිව, ඔබගේ පවුලේ අය සහ හිතමිතුරන් සමඟ සතුටින් වැඩ කරන විදිහ ඔබට සිතින් දකින්න පුළුවන්ද? අපගේ ප්‍රකාශනවල ඇති පාරාදීසයේ චිත්‍ර දෙස බලා ඒවා ගැන ටිකක් හිතන්න ඔබ කාලය ගන්නවාද? එවැනි දෙයක් කිරීම හරියට වීදුරු ජනේලයක් හරහා එළියේ තිබෙන අලංකාර දර්ශනයක් බලනවා වගෙයි. නමුත් ඒ වීදුරුව පිරිසිදු නොකර කුණු දූවිලි බැඳෙන්න ඉඩහැරියොත් නම් ඒ අලංකාර දර්ශනය අපිට පැහැදිලිව පෙනෙන්නේ නැහැ. ඒ හා සමානව වෙනත් දේවලට අපගේ අවධානය යොමු වුණොත් අපේ බලාපොරොත්තුව බොඳ විය හැකියි. එසේ වීමට අපි කිසිදාක ඉඩ නොදෙමු!

10. විපාකය දෙස බලාසිටීම මගින් යෙහෝවා දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වය තවත් ශක්තිමත් කරන්නේ ඇයි?

10 අපි යෙහෝවා දෙවිට සේවය කරන මූලිකම හේතුව නම් දෙවිට ඇති ප්‍රේමය මිස වෙන කිසිවක් නෙවෙයි. (මාක් 12:30) කොහොමවුණත් එම විපාකය නැත්නම් ත්‍යාගය දෙස උනන්දුවෙන් බලා සිටිය යුතුයි. ඇත්තෙන්ම යෙහෝවා දෙවි එසේ කරන්න කියා අපෙන් ඉල්ලා සිටිනවා! හෙබ්‍රෙව් 11:6හි සඳහන් කර තිබෙන්නේ මෙහෙමයි. “ඇදහිල්ල නැතිව කිසිසේත් ඔහුව සතුටු කළ නොහැක. මන්ද, දෙවි වෙත ළඟාවන්නා විසින් ඔහු ජීවමාන බවත් ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතුයි.” යෙහෝවා දෙවිව විපාක දෙන තැනැත්තා හැටියට සැලකීම ඔහු අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඇයි? අපේ ස්වර්ගික පියාණන්ව අපි හොඳින් හඳුනන අතර ඔහු ත්‍යාගශීලී කෙනෙක් වගේම තම දරුවන්ට ආදරේ ඇති පියෙක් බව අපි හොඳින් දන්නා නිසයි. අපිට ‘මතු කාලය ගැන බලාපොරොත්තුවක්’ නොතිබුණා නම් අපි කොතරම් පහසුවෙන් අධෛර්යට සහ දුකට පත්වේවිදැයි කියා සිතා බලන්න.—යෙරෙමියා 29:11, පැරණි අනුවාදය.

11. දෙවි මොසෙස්ට දුන් බලාපොරොත්තුව ඥානවන්ත තීරණ ගන්න ඔහුට උපකාර කළේ කොහොමද?

11 මොසෙස් දෙවි දුන් බලාපොරොත්තුව කෙරෙහි තම අපේක්ෂාවන් තබා සිටි කදිම ආදර්ශයක්. “පාරාවෝගේ දුවගේ පුත්‍රයා” ලෙස මොසෙස්ට බලය, කීර්තිය මෙන්ම ඊජීප්තුවේ තිබෙන ඕනෑම වස්තුවක් තමන්ට ලබාගැනීමේ හැකියාව ඔහුට තිබුණා. ඔහු ඒ දේවල් පසුපස ගියාද නැත්නම් යෙහෝවා දෙවිට සේවය කළාද? මොසෙස් ධෛර්යවන්තව තෝරාගත්තේ දෙවිට සේවය කරන්නයි. ඒ ඇයි? ඔහු “ලැබීමට තිබෙන විපාකය දෙස ඕනෑකමින් බලා සිටි” නිසයි. (හෙබ්‍රෙව් 11:24-26) ඇත්තෙන්ම මොසෙස්, යෙහෝවා දෙවි තමා ඉදිරියේ තබා තිබූ බලාපොරොත්තුව කෙරෙහි දැක්වූයේ මහත් උනන්දුවක්.

12. අපට ඇති බලාපොරොත්තුව හිස්වැස්මකට සමාන ඇයි?

12 පාවුල් එම බලාපොරොත්තුව ආරක්ෂක හිස්වැස්මකට සමාන කළා. ඊට හේතුව සංකේතාත්මක හිස්වැස්මෙන් අපේ සිතීමේ හැකියාව ආරක්ෂා කරන අතර ඥානවන්ත තීරණ ගැනීමට හැකියාවද ලබාදෙන නිසයි. ඒ වගේම වැදගත් දේවල් සඳහා මුල් තැන දීමටත් දිගටම ස්ථිරව සිටීමටත් ඉන් අපට හැකි කරවනවා. (1 තෙසලෝනික 5:8) ඔබත් නිතරම ඒ සංකේතාත්මක හිස්වැස්ම පැළඳගෙන සිටිනවාද? එසේනම් ඔබත් මොසෙස් සහ පාවුල් මෙන් ඔබගේ බලාපොරොත්තුවත් තබා තිබෙන්නේ “අස්ථිර ධනය කෙරෙහි නොව, භුක්ති විඳීම සඳහා අපට බහුල ලෙස සියල්ල ලබා දෙන දෙවි කෙරෙහියි.” ලෝකයේ පවතින ජනප්‍රිය රැල්ල ප්‍රතික්ෂේප කිරීම හෝ ධන සම්පත් ලබාගැනීමට තිබෙන ආශාව අතහැරීම සඳහා ධෛර්යය අවශ්‍ය බව සත්‍යයක්. කොහොමනමුත් ඒ සඳහා දරන වෑයම ඉතා වටිනවා! ඔව් යෙහෝවා දෙවිට ප්‍රේම කරන ඔහු කෙරෙහි බලාපොරොත්තු තබන අයට ලැබෙන “සැබෑ ජීවිතය” සඳහා ඕනෑම දෙයක් කිරීම වටින්නේ නැද්ද?—1 තිමෝති 6:17, 19.

“මම කිසිසේත් ඔබෙන් අහක්ව නොයමි”

13. යෙහෝවා දෙවිගේ පක්ෂපාත සේවකයන්ට ඔහු දෙන සහතිකය කුමක්ද?

13 අද ලෝකයේ දිනෙන් දින සිදු වන “විපත්ති නිසා ඇති වන වේදනා” එන්න එන්නම වැඩි වෙනවා. ඒ නිසා මේ ලෝකය මත තම බලාපොරොත්තු තබන අය නුදුරු අනාගතයේදී තමන්ට මුහුණ පෑමට සිදුවීමට නියමිත කනගාටුදායක දේවල් ගැන ඔවුන් බැරෑරුම්ව සිතිය යුතුයි. (මතෙව් 24:8) නමුත් දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අයට එවැනි භයක් නැහැ. ඔවුන් දිගටම “සුරක්ෂිතව නපුරට භය නොවී නිශ්චලව සිටින්නේය.” (හිතෝපදේශ 1:33) ඒ වගේම ඔවුන් බලාපොරොත්තු තබන්නේ මේ ලෝකයේ දේවල් මත නෙවෙයි. පාවුල්ගේ මේ උපදෙසට ඔවුන් කැමැත්තෙන්ම කීකරු වෙනවා. “මුදලට ප්‍රේම නොකරමින් ජීවත් වන්න. ඔබට ඇති දෙයින් සතුටු වන්න. මන්ද, ‘මම කිසිසේත් ඔබෙන් අහක්ව නොයමි. කිසිසේත් ඔබව අත් නොහරිමි’ යි ඔහු කියා ඇත.”—හෙබ්‍රෙව් 13:5.

14. ක්‍රිස්තියානීන් තම එදිනෙදා අවශ්‍යතාවන් ගැන වුවමනාවට වඩා කනස්සලු නොවිය යුත්තේ ඇයි?

14 “කිසිසේත්” යන මෙම අවධාරණාත්මක වචනයෙන් පැහැදිලි වෙන්නේ දෙවි අපි ගැන සලකන බවට අබ මල් රේණුවක තරම්වත් සැකයක් නැති බවයි. අපට ඇති දෙවිගේ ප්‍රේමණීය සැලකිල්ල ගැන යේසුස් පවා සහතික කළේ මෙහෙමයි. “පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් [ජීවිතයේ අවශ්‍යතාවන්] ඔබට දෙනු ලැබේ. එහෙයින් හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසේද කරදර තිබෙනු ඇත. එක දවසක තිබෙන කරදර ඒ දවසට සෑහෙයි.” (මතෙව් 6:33, 34) අපගේ එදිනෙදා අවශ්‍යතාවන් පිරිමසාගන්න වීර්යය කරන අතරම දේවරාජ්‍යයේ වැඩ කටයුතුවලත් උද්‍යෝගයෙන් හවුල්වීම පහසු දෙයක් නොවන බව යෙහෝවා දෙවි දන්නවා. එමනිසා අපගේ අවශ්‍යතාවන් සපුරාලන්න දෙවිට හැකි බවටත් ඒ සඳහා ඔහු ආශාවෙන් සිටින බවටත් පූර්ණ නිසැකකමක් අපි තබාගනිමු.—මතෙව් 6:25-32; 11:28-30.

15. ක්‍රිස්තියානීන් ‘සරල ඇසක්’ තබාගන්නේ කොහොමද?

15 අපි, ‘සරල ඇසක්’ ඇතිව සිටීමෙන් පෙන්වන්නේ යෙහෝවා දෙවි මත රඳා සිටින බවයි. (මතෙව් 6:22, 23) සරල ඇසකින් අදහස් කරන්නේ අවංක වීම, පිරිසිදු ආකල්ප ඇතිව සිටීම වගේම ගිජුකමෙන් සහ තණ්හාවෙන් තොර වීමයි. නමුත් අන්ත දූගී ලෙස ජීවත් වීම හෝ අපගේ ශරීරය ගැන නොසැලකිලිමත් වීම ඉන් අදහස් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඉන් අදහස් කරන්නේ ‘හොඳ සිහිකල්පනාවෙන්’ සිට යෙහෝවා දෙවිට කරන සේවය මුල් තැන තබා ක්‍රියා කිරීමයි.—2 තිමෝති 1:7.

16. සරල ඇසක් තබාගැනීමට ඇදහිල්ල සහ ධෛර්යය අවශ්‍ය වන්නේ ඇයි?

16 සරල ඇසක් ඇතිව සිටීමටද ඇදහිල්ල සහ ධෛර්යය අවශ්‍යයි. නිදසුනකට ඔබ රැස්වීම්වලට වෙන් කර ඇති වෙලාවෙත් වැඩ කරන්න කියා ඔබේ ස්වාමියා නිතර නිතර පැවසුවොත් රැස්වීම් සඳහා මුල් තැන දීමට ඔබ ධෛර්යවත් ලෙස පියවර ගන්නවාද? යෙහෝවා දෙවි තම සේවකයන්ගේ අවශ්‍යතාවන් සපුරන බවට දී ඇති දෙවිගේ පොරොන්දුව ගැන කෙනෙකුට යම් සැකයක් තිබෙනවා නම් සාතන් ඒ සැකයෙන් හොඳින් ප්‍රයෝජන ගනියි. එවිට ඒ තැනැත්තා ක්‍රමානුකූලව රැස්වීම්වලට යෑම සම්පූර්ණයෙන්ම නතර කර දමාවි. අපගේ ඇදහිල්ලෙත් එවැනිම අඩුවක් තිබේ නම් අපිට සිදු වන්නෙත් එවැනිම දෙයක්. එසේ වුණොත් අපගේ ජීවිතයේ මුල් තැනට තැබිය යුතු දේ ගැන තීරණය කරන්නේ සාතන් මිස යෙහෝවා දෙවි නොවන බව පැහැදිලියි. එය මොන තරම් කනගාටුදායකද!—2 කොරින්ති 13:5.

‘යෙහෝවා කෙරෙහි බලා සිටින්න

17. යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන අයට දැන් පවා ආශීර්වාද ලැබෙන්නේ කොහොමද?

17 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු වන සහ විශ්වාසය තබන අය කවදාවත් අසාර්ථක වෙන්නේ නැති බව ශුද්ධ ලියවිල්ලේ නැවත නැවත පවසනවා. (හිතෝපදේශ 3:5, 6; යෙරෙමියා 17:7) සමහර අවස්ථාවලදී තමන්ට ඇති ස්වල්ප දෙයින් පිරිමසාගන්න ඔවුන්ට සිදු වෙන්න පුළුවන්. නමුත් ඔවුන් වෙනුවෙන් දෙවි තබා තිබෙන මහත් ආශීර්වාද කන්දරාව දෙස බලද්දී ඔවුන් එය සලකන්නේ ඉතාමත් සුළු පරිත්‍යාගයක් ලෙසයි. ඔවුන් ‘යෙහෝවා කෙරෙහි බලා සිටින’ බවත් අනාගතයේදී දෙවි තමන්ට පක්ෂපාත සියල්ලන්ගේ සුදුසු ආශාවන් ඉෂ්ට කරන බවට ඇති නිසැකකමත් ඔවුන් පෙන්වනවා. (ගීතාවලිය 37:4, 34) ඔවුන් දැන් පවා ප්‍රීතියෙන් සිටින්නේ මේ නිසයි. “ධර්මිෂ්ඨයාගේ බලාපොරොත්තුව ප්‍රීතිය වන්නේය. එහෙත් දුෂ්ටයාගේ බලා සිටීම විනාශ වන්නේය.”—හිතෝපදේශ 10:28.

18, 19. (අ) යෙහෝවා දෙවි අපට දෙන්නේ කුමන ප්‍රේමණීය සහතිකයද? (ආ) යෙහෝවා දෙවිව අපගේ ‘දකුණු පැත්තේ’ තබාගන්නේ කොහොමද?

18 කුඩා දරුවෙක් තම පියාගේ අත අල්ලාගෙන යද්දී ඔහුට කිසිම බියක් දැනෙන්නේ නැහැ. අපගේ ස්වර්ගික පියාණන් සමඟ ගමන් කරද්දී අපිත් අද්දකින්නේ එවැනිම දෙයක්. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට කිව්වේ “භය නොවන්න; මක්නිසාද ඔබ සමඟ සිටිමි. . . . ඔබ ශක්තිමත් කරන්නෙමි. . . . මක්නිසාද ඔබේ දෙවි වූ යෙහෝවා වූ මම කතා කොට: ‘භය නොවන්න. ඔබට පිහිටවන්නෙමි’යි කියමින් ඔබේ දකුණත අල්ලන්නෙමි” කියායි.—යෙසායා 41:10, 13.

19 යෙහෝවා දෙවි, කෙනෙකුගේ අත අල්ලාගෙන සිටිනවා. එම පින්තූරයෙන් ඇති වෙන්නේ මොන තරම් ප්‍රේමණීය හැඟීමක්ද! “යෙහෝවා නිතර මා ඉදිරියෙහි තබාගතිමි. ඔහු මාගේ දකුණු පැත්තෙහි සිටින බැවින් මම නොසෙල්වන්නෙමි” කියා දාවිත් ලිව්වා. (ගීතාවලිය 16:8) අපි යෙහෝවා දෙවිව අපගේ ‘දකුණු පැත්තේ’ තබාගන්නේ කොහොමද? ක්‍රම දෙකකින් එසේ කළ හැකියි. පළමු එක නම් අපගේ ජීවිතයේ සෑම කාරණයකදීම දේවවචනයෙන් මඟ පෙන්වීම් ලබාගැනීමයි. දෙවැනි එක නම් යෙහෝවා දෙවි අප ඉදිරියේ තබා ඇති පුදුමාකාර ත්‍යාගය දෙස උනන්දුවෙන් බලාසිටීමයි. ගීතිකාකරු ආසාප් කිව්වේ “මම නිතරම ඔබ සමඟය. ඔබ මාගේ දකුණත ඇල්ලුවේය. ඔබගේ මන්ත්‍රණයෙන් මට මඟ පෙන්වන්නේය. පසුව තේජසට මා පිළිගන්නේය.” (ගීතාවලිය 73:23, 24) එවැනි සහතිකයක් නිසා අනාගතයට නිසැකකමින් යුතුව මුහුණ දීමට අපට හැකියි.

“ඔබේ ගැලවීම ළඟය”

20, 21. යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින සියල්ලන්ට තිබෙන අනාගතය කොයි වගේද?

20 ගත වන හැම මොහොතක් පාසාම යෙහෝවා දෙවිව අපගේ දකුණු පැත්තේ තබාගැනීම අත්‍යවශ්‍යයි. ඉතා ඉක්මනින් සිදු වන බොරු ආගමේ විනාශයත් සමඟම සාතන්ගේ දුෂ්ට ලෝකය පෙර කෙදිනකවත් අද්නොදැක්ක ආකාරයේ පීඩාවක් අද්දකිවී. (මතෙව් 24:21) එවිට දෙවි කෙරෙහි ඇදහිල්ලක් නැති සියලුම මිනිසුන් භීතියෙන් වෙළී යයි. නමුත් එම වියවුල්සහගත කාලයේදී පවා යෙහෝවා දෙවිගේ ධෛර්යවත් සේවකයන් ඔවුන්ට තිබෙන මහත් බලාපොරොත්තුව තුළ ප්‍රීති වෙයි! ඒ ගැන යේසුස් කිව්වේ “මේ දේ සිදු වන්න පටන්ගත් කල, නැඟී සිට ඔබේ හිස් ඔසවන්න. මන්ද ඔබේ ගැලවීම ළඟය” කියායි.—ලූක් 21:28.

21 එමනිසා දෙවි දී තිබෙන බලාපොරොත්තුව කෙරෙහි ප්‍රීති වන අතර අපිව නොමඟ යවන සාතන්ගේ ඉතා සූක්ෂ්ම උපායන් මඟ හරිමු. ඒ වගේම ඇදහිල්ල, ප්‍රේමය සහ දේවගරුබිය තව තවත් වර්ධනය කරගන්න දැඩි වෑයමක් දරමු. එසේ කිරීමෙන් සාතන්ට විරුද්ධව සිටීමටත් ඕනෑම තත්වයක් යටතේ දෙවිට කීකරුව සිටීමටත් අපට ධෛර්යය තිබේවි. (යාකොබ් 4:7, 8) ඒ නිසා සියලුදෙනාටම කරන ආරාධනය නම් “යෙහෝවා කෙරෙහි බලා සිටින සියල්ලෙනි, ශක්තිමත් වෙන්න. ඔබේ සිත ධෛර්යවත් වේවා.”—ගීතාවලිය 31:24.

[පාදසටහන]

^ 1 ඡේ. ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිලිවල “බලාපොරොත්තුව” යන වචනය බොහෝවිට සම්බන්ධ කර තිබෙන්නේ ස්වර්ගයේ ජීවිතයක් ලබන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටයි. නමුත් මෙම ලිපිය තුළ එම වචනය පොදු අර්ථයකින් භාවිත කර තිබෙනවා.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• යේසුස්ට තිබූ බලාපොරොත්තුව ඔහුට ධෛර්යක් ගෙන දුන්නේ කොහොමද?

• ඇදහිල්ල සහ බලාපොරොත්තුව අතර ඇති සම්බන්ධය කුමක්ද?

• ජීවිතයේ මුල් තැන දිය යුතු දේවල් ගැන තීරණගැනීමේදී ඇදහිල්ල සහ බලාපොරොත්තුව ක්‍රිස්තියානියෙකුට ධෛර්යය ගෙන දෙන්නේ කොහොමද?

• “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු” වන අයට අනාගතයට නිසැකකමින් යුතුව මුහුණ දෙන්න පුළුවන් ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[28වන පිටුවේ පින්තූරය]

ඔබ බාල වුණත් මහලු වුණත් පාරාදීස පොළොවේ සිටින ආකාරය ගැන සිතින් දකින්න ඔබට පුළුවන්ද?