Skip to content

පටුනට යන්න

ඔබේ ඇදහිල්ල ක්‍රියාවලින් පෙන්වන්න

ඔබේ ඇදහිල්ල ක්‍රියාවලින් පෙන්වන්න

ඔබේ ඇදහිල්ල ක්‍රියාවලින් පෙන්වන්න

“ඇදහිල්ල ක්‍රියා නැතිව තිබේ නම් එය මැරිලාය.”—යාකොබ් 2:17.

1. මුල් ක්‍රිස්තියානීන් ඇදහිල්ල ගැන මෙන්ම ක්‍රියා ගැනද සැලකිලිමත් වූයේ මන්ද?

මුල් ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකුගේ ඇදහිල්ල ඔවුන් ජීවත් වූ ආකාරයෙන් දකින්න තිබුණා. යේසුස්ගේ ගෝලයෙක් වූ යාකොබ් සියලුම ක්‍රිස්තියානීන්ගෙන් මෙසේ ඉල්ලා සිටියා. “හුස්ම නැති ශරීරය මැරී තිබෙන්නාක් මෙන්ම, ක්‍රියා නැති ඇදහිල්ලද මැරී තිබේ.” (යාකොබ් 1:22; 2:26) ඔහු එම වචන ලියා අවුරුදු 35ක් පමණ ගතවීමෙන් පසුවත් ඔවුන්ගේ ඇදහිල්ල ක්‍රියාවලින් දිගටම දකින්න තිබුණා. ඒත් කනගාටුවට කරුණක් නම් ඇතැමුන් එසේ නොකිරීමයි. යේසුස් ස්මර්ණා සභාවට ප්‍රශංසා කළා. ඒත් සර්දිස් සභාවේ බොහෝදෙනෙකු ගැන මෙසේ පැවසුවා. “මම ඔබේ ක්‍රියා දනිමි. නමට ඔබ ජීවමානව සිටියත් ඔබ මළ බවද මම දනිමි.”—එළිදරව් 2:8-11; 3:1.

2. ක්‍රිස්තියානීන් තමන්ගේ ඇදහිල්ල සම්බන්ධයෙන් සිතා බැලිය යුතු ප්‍රශ්න මොනවාද?

2 යේසුස් සර්දිස්හි සිටි ක්‍රිස්තියානීන්ට පමණක් නොව පසු කාලයකදී ඔහුගේ වදන් කියවන සියලුදෙනාටම සත්‍යය සඳහා මුලින් තිබූ ප්‍රේමය සැමදා පෙන්වීමටත් දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක් පවත්වා ගැනීමටත් දිරිගැන්වුවා. (එළිදරව් 3:2, 3) අප එක් එක්කෙනා මේ ප්‍රශ්න ගැන හොඳින් සිතා බැලිය යුතුයි. ‘මම ක්‍රියා කරන ආකාරය ගැන මට සතුටු වෙන්න පුළුවන්ද? මගේ ඇදහිල්ල මගේ ක්‍රියාවලින් පැහැදිලිව දකින්න තිබෙනවාද? එමෙන්ම ශුභාරංචිය දේශනා කිරීම හා සභා රැස්වීම් හැරුණු කොට මම කරන සෑම දෙයකදීම මගේ ඇදහිල්ල ක්‍රියාවලින් පෙන්වීමට මම මගේ උපරිමය කරනවාද?’ (ලූක් 16:10) අපේ ඇදහිල්ල පෙන්විය හැකි පැති බොහෝමයක් තිබෙනවා. ඒත් අපි මේ ලිපියේදී සලකා බලන්නේ එක් පැත්තක් ගැන පමණයි. එනම් ක්‍රිස්තියානීන් තම විවාහයෙන් පසු පවත්වන ප්‍රිය සාදයන් ගැනයි.

කුඩා ප්‍රිය සාදයන්

3. ප්‍රිය සාදවලට සහභාගි වීම බයිබලය සලකන්නේ කෙසේද?

3 ක්‍රිස්තියානීන් සමඟ ප්‍රීතිමත් ඇසුරක් භුක්ති විඳින්න අපටත් ආරාධනා කරනවාට අපි කැමතියි. ‘සන්තෝෂවත් දෙවි’ යෙහෝවා කැමති ඔහුගේ සේවකයන්ද සන්තෝෂයෙන් සිටිනවා දකින්නයි. (1 තිමෝති 1:11) මෙම යථාර්ථය බයිබලයේ වාර්තා කිරීමට දෙවි සලමොන්ට මඟ පෙන්නුවා. “මම ප්‍රීතිය යහපතැයි කීමි. මක්නිසාද කා බී ප්‍රීති වීමට වඩා ඉර යට මනුෂ්‍යයාට හොඳ දෙයක් නැත. දෙවි ඉර යට ඔහුට දෙන ඔහුගේ ජීවිතයේ දවස්වලදී ඔහුගේ වැඩෙන් ඔහුට දෙන ලද එය පවතින්නේය.” (දේශනාකාරයා 3:1, 4, 13; 8:15) පවුලේ අය එකට එකතු වී ආහාර වේලක් ගන්න අවස්ථාවේදී හෝ සැබෑ නමස්කාරකයන් එකට එකතු වී පවත්වන කුඩා ප්‍රිය සාදයකදී එවැනි ප්‍රීතිමත් අවස්ථාවක් භුක්ති විඳිය හැකියි.—යෝබ් 1: 4, 5, 18; ලූක් 10:38-42; 14:12-14.

4. ප්‍රිය සාදයක් සැලසුම් කරන කෙනෙක් සැලකිලිමත් විය යුත්තේ කුමක් ගැනද?

4 ඔබ එවැනි ප්‍රිය සාදයක් සැලසුම් කරනවා නම් කල්තියා එම සැලසුම් ගැන හොඳින් සිතා බැලිය යුතුයි. ආහාර වේලක් භුක්ති විඳිමින් සතුටු සාමිච්චියේ යෙදීමට ඔබ ආරාධනා කරන්නේ සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකුට පමණක් වුණත් ඒ ගැන හොඳින් සිතා බැලීම අවශ්‍යයි. (රෝම 12:13) “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” සපයන මඟ පෙන්වීම්වලට අනුව ‘සියල්ල විනීතවද පිළිවෙළකටද සිදු වෙනවා’ දකින්න ඔබ කැමති වෙනවාට සැකයක් නැහැ. (1 කොරින්ති 14:40; යාකොබ් 3:17) පාවුල් මෙසේ සඳහන් කළා. “ඔබ කෑවත් බීවත් වෙන කිසිවක් කළත්, දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න. . . . බාධාවට හේතුවක් වීමෙන් වළකින්න.” (1 කොරින්ති 10:31, 32) මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ යුතු පැති මොනවාද? කලින්ම එම පැති ගැන සොයා බැලීමෙන් ඔබත් ඔබ ආරාධනා කරන අයත් ප්‍රිය සාදයේදී කරන දේවලින් දේවවචනයෙන් ඉගෙනගෙන තිබෙන දේවල් ඔබ ආදාළ කරගන්න බව පෙන්විය හැකියි.—රෝම 12:2.

ඔබ සැලසුම් කරන්නේ මොන වගේ ප්‍රිය සාදයක්ද?

5. ප්‍රිය සාදයක් සැලසුම් කරන කෙනෙක් මත්පැන් පිළිගැන්වීම ගැනත් සංගීතය ගැනත් විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ ඇයි?

5 ප්‍රිය සාදයන් සැලසුම් කරන බොහෝදෙනෙක් මුහුණ දෙන ගැටලුවක් වන්නේ මත්පැන් (මධ්‍යසාර අඩංගු බීම වර්ග) පිළිගන්වනවාද නැද්ද යන්න ගැනයි. ප්‍රීතිමත් ඇසුරක් භුක්ති විඳීමට මත්පැන් අවශ්‍යම නැහැ. යේසුස් ඔහු ළඟට පැමිණි විශාල පිරිසකට ආශ්චර්යවත් ලෙස රොටි සහ මාළු කෑමට ලබා දුන්නා. ඒ අවස්ථාවේදී ආශ්චර්යවත් ලෙස වයින්ද සැපයීමට ඔහුට හැකියාව තිබුණද ඔහු එසේ කළ බව වාර්තාවේ සඳහන් වෙන්නේ නැහැ. (මතෙව් 14:14-21) ප්‍රිය සාදයකදී මත්පැන් පිළිගැන්වීමට ඔබ බලාපොරොත්තු වෙනවා නම් එහි සීමාව ගැන සැලකිලිමත් වන්න. එමෙන්ම මත්පැන් පානය නොකරන අයට වෙනත් බීම වර්ග සැපයීමට අමතක කරන්න එපා. (1 තිමෝති 3:2, 3, 8; 5:23; 1 පේතෘස් 4:3) ‘සර්පයෙකු මෙන් හපා කෑ’ හැකි මධ්‍යසාර අඩංගු බීම පානය කිරීමට කවදාවත් කිසිවෙකුට බල කරන්න එපා. (හිතෝපදේශ 23:29-32) සංගීතය හා ගීත ගායනා කිරීම ගැන කුමක් කිව හැකිද? ඔබ සැලසුම් කරන ප්‍රිය සාදයකදී සංගීතයට සවන් දීමට කැමති නම් එහි රිද්මය මෙන්ම පද රචනය ගැනද සැලකිලිමත් වෙමින් ගීත හොඳින් තෝරා බේරා ගන්න. (කොලොස්සි 3:8; යාකොබ් 1:21) සහෝදර සහෝදරියන් එකට එකතු වී රාජ්‍ය ගීතිකාවල සංගීතයට සවන් දීමෙන් හෝ ගීතිකා ගායනා කිරීමෙන් ප්‍රිය සාදයේ ප්‍රීතිය තවත් වැඩි කළ හැකි බව බොහෝ ක්‍රිස්තියානීන් අද්දැක තිබෙනවා. (එෆීස 5:19, 20) එකිනෙකාගේ සතුටු සාමිච්චියට මෙන්ම අසල්වැසියන්ටද බාධාවක් ඇති නොවන පරිදි ශබ්දය පාලනය කිරීමට අමතක නොකරන්න.—මතෙව් 7:12.

6. ප්‍රිය සාදයක් සංවිධානය කරන කෙනෙක් එහිදී සිදුවන කතා බහේදී හා වෙනත් දේවලදී තමන්ගේ ඇදහිල්ලට එකඟව ක්‍රියා කරන බව පෙන්විය හැක්කේ කෙසේද?

6 ප්‍රිය සාදයන්වලදී ක්‍රිස්තියානීන් විවිධ මාතෘකා යටතේ කතා බහ කරන්න පුළුවන්. එසේත් නැත්නම් ඔවුන් යම් අද්දැකීම් බෙදාගන්න පුළුවන්. ඔවුන්ගේ කතා බහ ක්‍රිස්තියානීන්ට නුසුදුසු තත්වයකට පත් වෙනවා නම් සාදය සැලසුම් කළ තැනැත්තා නැණවත් ලෙස මෙය හරි මඟට ගෙන ඒමට වෑයම් කළ යුතුයි. එක් කෙනෙකුට කතා බහ කරගෙන යෑමට ඉඩ නොදී අන් අයටද කතා බහට හවුල් වීමට හැකි වන ආකාරයට ඉඩ සලසා දීමට ඔහුට හැකියි. එක් කෙනෙක් පමණක් මුල් තැන ගෙන කතා බහේ යෙදෙනවා නම් නැණවත් ලෙස එයට මැදහත් වී අන් අයටද කතාවට හවුල් විය හැකි වෙනත් විෂයක් හඳුන්වා දිය හැකියි. මෙය කළ හැක්කේ යෞවනයන්වද කතාවට හවුල් කර ගැනීමෙන් හෝ බොහෝදෙනෙකුට අදහස් දැක්විය හැකි මාතෘකාවක් හඳුන්වා දීමෙනුයි. ප්‍රිය සාදයකදී කෙරෙන මෙවැනි කතා බහෙන් වැඩිහිටියන් මෙන්ම බාලයන්ද මහත් ප්‍රීතියක් භුක්තිවිඳියි. ඔබ සාදය සැලසුම් කරන්නා හැටියට නැණවත් ලෙස මෙන්ම උපායශීලී ලෙස කාරණා හසුරුවනවා නම් පැමිණ සිටින අයට ‘ඔබේ සාධාරණකම දැනගන්න’ හැකි වෙයි. (ෆිලිප්පි 4:5) ඔබේ ජීවිතයේ සෑම කාරණයකදීම ඔබේ ඇදහිල්ලට එකඟව ක්‍රියා කරන කෙනෙක් බව එවිට පැමිණෙන අය දකීවි.

විවාහ උත්සව සහ ප්‍රිය සාදයන්

7. විවාහ උත්සව සහ ප්‍රිය සාදයන් සැලසුම් කිරීමේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ ඇයි?

7 ක්‍රිස්තියානි විවාහයක් ප්‍රීතිවීමට තිබෙන විශේෂ අවස්ථාවක්. යේසුස් හා ඔහුගේ ගෝලයන්ද ඇතුළුව දෙවිගේ පුරාණ සේවකයන් එවැනි ප්‍රීතිමත් අවස්ථාවලට හා ඉන්පසු පැවැත්වූ සාදයන්ට සහභාගි වුණා. (උත්පත්ති 29:21, 22; යොහන් 2:1, 2) විවාහයක් නිමිත්තෙන් පවත්වන ප්‍රිය සාදයන්වලදී ක්‍රිස්තියානීන් වශයෙන් සමබරව හා සාධාරණ මට්ටමින් දේවල් සිදු කිරීමට නම් හොඳින් සැලසුම් කිරීම අවශ්‍ය බව අද්දැකීම්වලින් පෙනී යනවා. මෙවැනි සාදයන් පැවැත්වීම සාමාන්‍ය දෙයක් වුවත් මෙම උත්සව පවත්වන ආකාරයෙන් ක්‍රිස්තියානියෙකුට තමන්ගේ ඇදහිල්ල පෙන්විය හැකියි.

8, 9. බොහෝ විවාහ උත්සව පවත්වන ආකාරයෙන් 1 යොහන් 2:16, 17හි සඳහන් වදන්වල සත්‍යතාව දැකිය හැක්කේ කෙසේද?

8 බයිබල් ප්‍රතිපත්ති දන්නේ නැති අය හා ඒවා ගැන සැලකිල්ලක් දක්වන්නේ නැති බොහෝදෙනෙක් විවාහ උත්සවවලදී සීමාව ඉක්මවා දේවල් කරනවා. අලුත විවාහ වූ තැනැත්තියක් යුරෝපීය රටක පළවන සඟරාවකට ඇගේ “රාජකීය” විවාහය ගැන මෙසේ අදහස් පළ කළා. ‘අපි දෙදෙනා ගමන් කළේ අශ්වයන් හතරදෙනෙක් පැදවූ අශ්ව කරත්තයකයි. ඊට පිටුපසින් තනි අශ්ව කරත්ත 12ක් ගමන් ගත්තා. ඒ විතරක් නෙමෙයි, තවත් අශ්ව කරත්තයක සංගීත කණ්ඩායමක් සංගීතය වාදනය කරමින් පැමිණියා. ඉන්පසු අපි ඉතා ප්‍රණීත භෝජන සංග්‍රහයක් භුක්ති වින්ඳා. එදා වාදනය කළ සංගීතය කාගෙත් සිත් ගත්තා. හැම දෙයක්ම උසස්ම තත්වයකයි තිබුණේ. මම ආශාවෙන් හිටිය විදිහට මම එදා රාජ කුමාරිකාවක් වුණා.’

9 චාරිත්‍ර වාරිත්‍ර රටින් රටට වෙනස් වෙන්න පුළුවන්. කෙසේවෙතත් ඒ තැනැත්තිය පැවසූ දේවලින් පැහැදිලි වන්නේ යොහන් පැවසූ මේ වදන්වල සත්‍යතාවයි. “ලෝකයේ තිබෙන සියල්ල, එනම් මාංසයේ ආශාවත්, ඇස්වල ආශාවත්, තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීමත් පැමිණෙන්නේ පියාගෙන් නොව, ලෝකයෙන්ය.” බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියා කරන යුවළක් සුරංගනා කතාවල සඳහන් වෙනවා වගේ රාජකීය විවාහයක් පවත්වයි කියා සිතන්න පුළුවන්ද? එසේ කරයි කියා සිතන්න අමාරුයි. එම යුවළ තම විවාහ උත්සවය සැලසුම් කරන ආකාරයෙන් පෙන්වන්නේ “දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය” කියා බයිබලයේ පවසා තිබෙන දෙය තමන් සිතට ගෙන තිබෙන බවයි.—1 යොහන් 2:16, 17.

10. (අ) විවාහයක් නිසි අයුරින් සිදු කිරීම සඳහා කලින් සැලසුම් කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි? (ආ) ආරාධනා කරනු ලබන අය ගැන තීරණ ගත යුත්තේ කෙසේද?

10 ක්‍රිස්තියානි යුවළක් තම විවාහය සැලසුම් කරන විට තමන්ගේ තත්වයන් තේරුම්ගෙන සාධාරණව කටයුතු කළ යුතුයි. මෙහිදී බයිබලයෙන් ඔවුන් දෙදෙනාට උපකාර ලබාගත හැකියි. තමන් විවාහ වන දිනය විශේෂ දිනයක් වුවත් එම දිනය, සදාකාල ජීවිතය බලාපොරොත්තුවෙන් සිටින ක්‍රිස්තියානීන් දෙදෙනෙකුගේ විවාහ ජීවිතයේ ආරම්භය පමණක් කියා ඔවුන් තේරුම්ගෙන සිටිනවා. විශාල උත්සවයක් පැවැත්වීමට ඔවුන් දෙදෙනා බැඳී නැහැ. ප්‍රිය සාදයක් පැවැත්වීමට ඔවුන් දෙදෙනා තීරණය කරයි නම් එයට යන විදයම් මෙන්ම එය පවත්වන ආකාරය ගැනත් ඔවුන් සැලකිලිමත් විය යුතුයි. (ලූක් 14:28) ශුද්ධ ලියවිල්ලට අනුව, ඔවුන් ගත කිරීමට යන යුග දිවියේ මූලිකත්වය ගන්නේ ස්වාමිපුරුෂයායි. (1 කොරින්ති 11:3; එෆීස 5:22, 23) මේ අනුව බලද්දී ප්‍රිය සාදයේ මූලික වගකීම දරන්නේ මනාලයායි. තම විවාහ මංගල්‍යයට ආරාධනා කරන්නේ කී දෙනෙකුටද කියාත් ඊට ඇතුළත් වන්නේ කවුරුන්ද කියාත් තමන්ගේ භාර්යාව වීමට සිටින තැනැත්තිය සමඟ ඔහුට සාකච්ඡා කළ හැකියි. තමන්ගේ සියලුම හිත මිතුරන්ට හා නෑදෑයන්ට ආරාධනා කළ නොහැකි විය හැකියි. මේ නිසා යම් තීරණ ගැනීමේදී සාධාරණ වීම වැදගත්. සභාවේ සමහර සහෝදර සහෝදරියන්ට ආරාධනා කරන්න තමන්ට නොහැකි වුණත් එය ඔවුන් තේරුම්ගනියි කියාත් ඒ ගැන අමනාප වන්නේ නැහැ කියාත් ඔවුන් දෙදෙනාට ස්ථීරයි.—දේශනාකාරයා 7:9.

“මංගල්‍ය කටයුතු අධීක්ෂණය කරන්නා”

11. ‘මංගල්‍ය කටයුතු අධීක්ෂණය කරන්නාගේ’ වගකීම කුමක්ද?

11 යුවළක් ප්‍රිය සාදයක් පැවැත්වීමට තීරණය කරනවා නම් එය ගෞරවනීය ලෙස පැවැත්වීමට ඔවුන්ට හැක්කේ කෙසේද? යේසුස් කානා නුවර සහභාගි වූ විවාහ මංගල්‍යයේදී දකින්න තිබූ දෙයක් ක්‍රියාත්මක කිරීමේ තිබෙන ඥානවන්තකම යෙහෝවාගේ සාක්ෂිකරුවන් තේරුම්ගෙන තිබෙනවා. එම උත්සවයේ ‘මංගල්‍ය කටයුතු අධීක්ෂණය කරන්නෙක්’ සිටියා. ඔහු වගකීම් දැරිය හැකි සෙසු නමස්කාරකයෙක් වූවාට සැකයක් නැහැ. (යොහන් 2:9, 10) ඒ හා සමානව නැණවත් ලෙස ක්‍රියා කරන මනාලයෙක් බයිබල් ප්‍රතිපත්තිවලට ගරු කරන ක්‍රිස්තියානි සහෝදරයෙකුට අධීක්ෂණ කටයුතු භාර දෙයි. මෙම සහෝදරයා මනාලයාගේ රුචි අරුචිකම් කලින් දැනගෙන, ඒ අනුව උත්සවයේ කටයුතු සිදුවන බවට වගබලා ගනියි.

12. තම විවාහ මංගල්‍යයට පැමිණ සිටින අය මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් මනාලයා සැලකිල්ලක් දැක්විය යුත්තේ ඇයි?

12 පස්වන ඡේදයේ සඳහන් දෙයට එකඟව ඇතැම් යුවළයන් තමන්ගේ විවාහ මංගල්‍යයේ ප්‍රීතියට හා සාර්ථකත්වයට හානියක් වෙයි කියා සිතන නිසා මත්පැන් කොහොමටවත් පිළිනොගැන්වීමට තීරණය කළ හැකියි. (රෝම 13:13; 1 කොරින්ති 5:11) නමුත් ප්‍රිය සාදයට පැමිණෙන අයට මත්පැන් දීමට තීරණය කරනවා නම් ඔවුන් ළඟට ගොස් මත්පැන් පිළිගන්වනු ලබන බවට හෝ සීමාවක් ඇතුව දෙනු ලබන බවට මනාලයා වගබලාගත යුතුයි. යේසුස් කානා නුවරදී සහභාගි වු විවාහ මංගල්‍යයේ වයින් තිබුණා. එම වයින් ඉවර වූ විට ඔහු හොඳම වර්ගයේ වයින් සැපයෙව්වා. ඒ මංගල්‍යයේ කටයුතු අධීක්ෂණය කළ තැනැත්තා මෙසේ පැවසුවා. “සෑම මිනිසෙකුම පළමුකොට හොඳ වයින් දී, මිනිසුන් බොහෝ සෙයින් බීවායින් පසු බාල වයින් දෙන්නේය. ඔබ මේ වන තුරු හොඳ වයින් තබාගෙන සිටියේය.” (යොහන් 2:10) යේසුස් හොඳ වයින් සැපයීමෙන් මිනිසුන්ව බේබදුකමට පෙලඹුවේ නැති බව ස්ථිරයි. මන්ද ඔහු බේබදුකම හෙළා දක්කා. (ලූක් 12:45, 46) ඒ මංගල්‍යයේ කටයුතු අධීක්ෂණය කළ තැනැත්තා යේසුස් සැපයූ වයින්වල අනර්ඝකම ගැන පුදුමය පළ කිරීමෙන් පෙනී යන්නේ ඒ කාලයේ සමහර මංගල උත්සවවලදී සමහරුන් වෙරි වන බව ඔහු දැක තිබූ බවයි. (ක්‍රියා 2:15; 1 තෙසලෝනික 5:7) මේ නිසා ප්‍රිය සාදයට පැමිණ සිටින සියලුදෙනාම ශුද්ධ ලියවිල්ලේ දී තිබෙන පහත සඳහන් පැහැදිලි උපදේශය පිළිපඳින බවට මනාලයා මෙන්ම එහි කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම ඔහු බාර දී තිබෙන විශ්වාසවන්ත සහෝදරයාද වගබලා ගත යුතුයි. “වයින්වලින් වෙරි වීමෙන් අශිෂ්ට ක්‍රියා හටගන්නා නිසා වෙරි නොවී සිටින්න.”—එෆීස 5:18; හිතෝපදේශ 20:1; හොෂෙයා 4:11.

13. තම විවාහ මංගල්‍යයේදී සංගීතය සැපයීමට යුවළක් බලාපොරොත්තු වෙනවා නම් ඔවුන් සැලකිලිමත් විය යුත්තේ කුමක් ගැනද? එසේ කළ යුත්තේ ඇයි?

13 වෙනත් සාදයන්වලදී මෙන්ම විවාහයකින් පසුව පත්වනු ලබන ප්‍රිය සාදයේදී සංගීතය සැපයීමට තීරණය කරනවා නම් පැමිණ සිටින අයගේ කතා බහට බාධා නොවන අකාරයට එය පාලනය කළ යුතුයි. එක් වැඩිමහල්ලෙක් මෙසේ පැවසුවා. “රෑ වෙද්දී අමුත්තන්ගේ කතා බහ වැඩි වන අතර ඇතැමුන් නටන්න පටන්ගන්නවා. මේ වේලාවේදී සංගීතයේ හඬ වැඩි කරනවා. පසුබිම් සංගීතය ලෙස සෙමින් පටන්ගත් සංගීතයේ හඬ වැඩි වී කතා බහවලට බාධාවක් වෙනවා. විවාහ මංගල ප්‍රිය සාදයක් අන් අය සමඟ ප්‍රීතිමත් ඇසුරක් භුක්ති විඳීමට අවස්ථාවක්. සංගීතයෙන් නිකුත් වන ඝෝෂාකාරී හඬ නිසා ඒ අවස්ථාව නැති වී යනවා නම් එය මොන තරම් කනගාටුදායකද!” මෙවැනි අවස්ථාවලදීත් මනාලයා සහ ප්‍රිය සාදය අධීක්ෂණය කරන තැනැත්තා වගකීමෙන් කටයුතු කළ යුතු අතර සංගීතයේ හඬ හා ස්වභාවය පාලනය කළ යුතුයි. ඒ වගේම සංගීතය සපයන අයට කැමති ආකාරයට එය පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි. පාවුල් මෙසේ පැවසුවා. “වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ කුමක් කළත්, ඒ සියල්ලම ස්වාමීන් වන යේසුස්ගේ නාමයෙන් කරන්න.” (කොලොස්සි 3:17) අමුත්තන් ඔවුන්ගේ නිවෙස්වලට ගිය පසු ඔවුන් සවන් දුන් සංගීතයෙන් ඒ යුවළ සෑම දෙයක්ම ගෞරවනීය ලෙස කළ බව ඔවුන් පවසයිද? ඇත්තෙන්ම ඔවුන්ගේ මුවින් පිට විය යුත්තේ එවැනි දෙයක්.

14. තමන් සහභාගි වූ විවාහයන් ගැන ක්‍රිස්තියානීන්ට සතුටෙන් සිහිපත් කළ හැක්කේ මොනවාද?

14 හොඳින් සැලසුම් කළ විවාහයන් ගැන මිහිරි මතකයන් දිගු කාලයක් පුරා පවතියි. මීට අවුරුදු 30කට කලින් විවාහ වූ ඇඩම් සහ ඊඩිටා ඔවුන් සහභාගි වූ විවාහ මංගල්‍යයක් ගැන මෙසේ අදහස් දැක්වුවා. “ඒක නම් ඇත්තටම ක්‍රිස්තියානි විවාහයක් කියලා කියන්න පුළුවන්. එහිදී යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගායනා කළ අතර ප්‍රීතිවීමට තවත් හොඳ දේවල් තිබුණා. සංගීතයට හා නැටුම්වලට මුල් තැන දුන්නේ නැහැ. හොඳ ඇසුරක් භුක්ති විඳින්න පුළුවන් වූ අතර බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි කිසිම දෙයක් එහි සිදු වුණේ නැහැ.” යුවළකට තම විවාහ උත්සවයේදී තම ඇදහිල්ල ක්‍රියාවලින් පෙන්වීමට කළ හැකි බොහෝ දේවල් තිබෙනවා.

මංගල තෑගි

15. නව යුවළකට තෑගි දෙන විට අදාළ කරගත හැකි බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

15 හිත මිතුරන් හා නෑදෑයන් විවාහ වන යුවළකට තෑගි බෝග දීම බොහෝ රටවල දැකිය හැකියි. ඔබ තෑග්ගක් දෙනවා නම් සැලකිල්ලට ගත හැකි සමහර දේවල් මොනවාද? මිනිසුන් “තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීම” ගැන යොහන් පැවසුවා ඔබට මතක ඇති. ඔහු මෙහිදී ප්‍රදර්ශනය කිරීම යන වචනයෙන් අදහස් කළේ ඇදහිල්ල හා සම්බන්ධ ක්‍රියාවන් නොව ‘පහව යන ලෝකයේ’ දේවල් ගැනයි. (1 යොහන් 2:16, 17) යොහන් දේවානුභාවයෙන් ලියූ ඉහත වදන් සලකා බලන විට නව විවාහක යුවළක් තමන්ට තෑගි දුන් අයගේ නම් ප්‍රසිද්ධියේ පැවසීම සුදුසුද? මැසිඩෝනියාවේ හා ඇකේයාවේ සිටි ක්‍රිස්තියානි සහෝදරයන් යෙරුසලමේ සිටි සහෝදරයන්ට සම්මාදම් කළත් ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කළ බවක් පෙනෙන්න නැහැ. (රෝම 15:26) විවාහක යුවළකට තෑගි දෙන බොහෝදෙනෙක් අනවශ්‍ය ලෙස තමන්ට අවධානය ලබා නොගැනීම සඳහා තමන්ගේ නම් සඳහන් නොකර සිටින්න කැමති විය හැකියි. මේ සම්බන්ධයෙන් මතෙව් 6:1-4හි යේසුස් දී තිබෙන උපදෙස සලකා බලන්න.

16. විවාහක යුවළයන් මංගල තෑගි ලබන විට අන් අයව අපහසුතාවට පත් කිරීමෙන් වැළකී සිටිය හැක්කේ කෙසේද?

16 තෑගි දෙන අයගේ නම් අන් අයට දැනුම් දීමෙන් “තරඟකාරිත්වයක්” ඇති විය හැකියි. එවැනි තත්වයක් ඇති වන්නේ වටිනාම තෑග්ග තෝරන නිසයි. නැණවත් ක්‍රිස්තියානි විවාහක යුවළක් තෑගි දෙන අයගේ නම් ප්‍රසිද්ධ කිරීමෙන් හා තෑග්ගක් දීමට වත්කමක් නැති අයව අපහසුතාවට පත් කිරීමෙන් වැළකී සිටිනවා. (ගලාති 5:26; 6:10) කෙසේවෙතත් මනාලයා සහ මනාලිය තෑගි දුන් අයගේ නම් දැනගැනීම වැරදි දෙයක් නෙවෙයි. තෑග්ග සමඟ තිබෙන කාඩ් පතෙන් තෑග්ග දුන් අයගේ නම දැනගත හැකි වූවත් ඔවුන් ඒවා ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මංගල තෑගි මිල දී ගැනීම, ඒවා දීම හා ලැබීම පෞද්ගලික කාරණයක් වුවත් එවැනි කාරණාවලදී පවා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් අපේ ඇදහිල්ල පෙන්වීමට අවස්ථාවන් උදා වෙයි. *

17. ඇදහිල්ල හා ක්‍රියාවන් සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන්ට තිබිය යුතු ඉලක්කය කුමක්ද?

17 යහපත් ජීවිතයක් ගත කිරීම, ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම හා දේශනා සේවයේ හවුල් වීමට පමණක් නොව තවත් දේවල්ද අපේ ඇදහිල්ල පෙන්වීමට ඇතුළත් වෙනවා. අපේ ඇදහිල්ල ක්‍රියාවලින් “සම්පූර්ණ කර ඇති බව” පෙන්වමු. (එළිදරව් 3:2) අපි මේ ලිපියේ සාකච්ඡා කළ කාරණාද ඒ ක්‍රියාවලට ඇතුළත් වෙනවා.

18. ක්‍රිස්තියානි විවාහයන් හා ප්‍රිය සාදයන්වලදී යොහන් 13:17හි සඳහන් වදන්වල සත්‍යතාව අද්දැකිය හැක්කේ කෙසේද?

18 යේසුස් තමන්ගේ ගෝලයන්ගේ පාද සේදීම නමැති යටහත් පහත් ක්‍රියාව කර, ඔවුන්ට කදිම ආදර්ශයක් තැබීමෙන් පසු මෙසේ පැවසුවා. “ඔබ මේ දේවල් දන්නේ නම්, ඒවා පවත්වනවා නම් ඔබ සන්තෝෂවත්ය.” (යොහන් 13:4-17) නිවසට පැමිණෙන ආගන්තුකයෙකුගේ පාද සේදීම අපි ජීවත් වන ප්‍රදේශයේ චාරිත්‍රයක් නොවිය හැකියි. කෙසේවෙතත් අපි මේ ලිපියෙන් සලකා බැලූ පරිදි අපේ ඇදහිල්ල ප්‍රේමණීය ලෙස ක්‍රියාවලින් පෙන්විය හැකි ජීවිතයේ තවත් පැති තිබෙනවා. එම පැතිවලට ප්‍රිය සාදයන් හා විවාහ උත්සවද ඇතුළත් වෙනවා. විවාහ වන යුවළ හෝ වේවා විවාහ උත්සවයට හෝ ප්‍රිය සාදයට සහභාගි වන අය හෝ වේවා අපි සියලුදෙනාම අපේ ඇදහිල්ල ක්‍රියාවලින් පෙන්වීමට වෑයම් කරමු.

[පාදසටහන]

^ 16 ඡේ. විවාහ උත්සවය හා ඉන්පසු පවත්වන ප්‍රිය සාදයන් ගැන තවත් විස්තර දැනගැනීම සඳහා “ඔබේ විවාහ දිනයේ ප්‍රීතිය හා ගෞරවය වැඩි කරගන්න අයුරු” යන ලිපිය බලන්න.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

පහත දැක්වෙන අවස්ථාවලදී ඔබේ ඇදහිල්ල පෙන්විය හැක්කේ කෙසේද?

• ප්‍රිය සාදයක් සැලසුම් කිරීමේදී

• විවාහ උත්සවයක් හෝ ඉන්පසු පැවැත්වෙන සාදයක් සංවිධානය කිරීමේදී

• මංගල තෑගි දීමේදී හා ලැබීමේදී

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[24වන පිටුවේ පින්තූරය]

ප්‍රිය සාදයකට ආරාධනා කරන්නේ ටිකදෙනෙකුට වුණත් “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” මගින් ලැබෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න