Skip to content

පටුනට යන්න

ඔබේ විවාහ දිනයේ ප්‍රීතිය හා ගෞරවය වැඩි කරගන්න අයුරු

ඔබේ විවාහ දිනයේ ප්‍රීතිය හා ගෞරවය වැඩි කරගන්න අයුරු

ඔබේ විවාහ දිනයේ ප්‍රීතිය හා ගෞරවය වැඩි කරගන්න අයුරු

“මගේ ජීවිතයේ අතිවැදගත්ම හා ප්‍රීතිමත්ම දවස්වලින් එකක් වන්නේ මම විවාහ වූ දවසයි.” මෙසේ පවසන්නේ මීට අවුරුදු 60කට පමණ කලින් විවාහ වූ ගෝඩන් නමැත්තායි. සැබෑ ක්‍රිස්තියානියෙකුට තමන් විවාහ වන දවස අතිවැදගත්ම දවසක් වන්නේ ඇයි? තමන් බොහෝසේ ප්‍රේම කරන තමන්ගේ සහකරුවාට හා සහකාරියට පමණක් නොව යෙහෝවා දෙවිටද අතිවිශේෂ පොරොන්දුවක් එදින කරන නිසා විවාහ වන දවස සැබෑ ක්‍රිස්තියානියෙකුට අතිවැදගත් දවසක් වෙනවා. (මතෙව් 22:37; එෆීස 5:22-29) විවාහ වීමට සැලසුම් කරන යුවළකගේ ආශාව තමන් විවාහ වන දවස ප්‍රීතිමත් දවසක් වෙනවා දකින්නයි. ඒ විතරක් නොවෙයි විවාහය මුලින්ම ඇති කළ තැනැත්තා වන යෙහෝවා දෙවි එදින ගෞරවයට පත් වෙනවා දැකීමද ඔවුන්ගේ ආශාවයි.—උත්පත්ති 2:18-24; මතෙව් 19:5, 6.

මෙම ප්‍රීතිමත් දවසේ ගෞරවනීයභාවය වැඩි කිරීම සඳහා මනාලයාට කළ හැක්කේ මොනවාද? තමන්ගේ ස්වාමිපුරුෂයාට මෙන්ම යෙහෝවා දෙවිට තිබෙන තමන්ගේ ගෞරවය පෙන්වීමට මනාලියට හැක්කේ කෙසේද? විවාහ උත්සවයට පැමිණෙන අයට එදින තිබෙන ප්‍රීතියට දායක වීමට හැක්කේ කෙසේද? බයිබල් ප්‍රතිපත්ති කිහිපයක් සලකා බැලීමෙන් එම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට අපට හැකියි. ඒවා අදාළ කරගැනීමෙන් විවාහ දිනයේ තිබිය යුතු ගෞරවයට හානි විය හැකි දේවල් අවම කරගත හැකියි.

මූලික වගකීම දරන්නේ කවුද?

බොහෝ රටවල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේවගැතියෙකුට නීත්‍යානුකූලව විවාහයක් සිදු කිරීමේ බලතල තිබිය හැකියි. විවාහයක නීත්‍යානුකූල කටයුතු ආණ්ඩුවේ රෙජිස්ට්‍රාර්වරයෙකු විසින් සිදු කළ යුතු රටවල සිටින යුවළක් පවා බයිබලය මත පදනම් වූ කතාවක් යෙහෝවාගේ සාක්ෂිකාරයෙකු වන දේවගැතියෙකු ඉදිරිපත් කරනවා දකින්න කැමති විය හැකියි. මෙවැනි කතාවකදී, පවුලේ මූලිකයා හැටියට දෙවි තමන්ට පවරා තිබෙන කාර්ය භාර්ය ගැන හොඳින් සිතා බලන්න කියා මනාලයාගෙන් ඉල්ලා සිටිනවා. (1 කොරින්ති 11:3) මේ අනුව තමන් විවාහ වන දවසේ සිදු වන දේවල් සම්බන්ධයෙන් මූලික වගකීම දැරිය යුත්තේ මනාලයායි. ඇත්තෙන්ම, විවාහ උත්සවයේ මෙන්ම ඉන්පසු තිබෙන ප්‍රිය සාදයේ වැඩකටයුතු කලින් සැලසුම් කරනු ලබනවා. මෙසේ කිරීම මනාලයාට අමාරු දෙයක් වන්නේ ඇයි?

මීට එක් හේතුවක් වන්නේ විවාහයේ වැඩකටයුතු කළ යුතු ආකාරය ගැන පවුලේ අය හා ඥාතීන් විසින් දැඩි බලපෑම් ඇති කිරීමයි. බොහෝ විවාහයන් සිදු කර තිබෙන රොඩොල්ෆො මෙසේ සඳහන් කරනවා. “සමහර අවස්ථාවලදී මනාලයා ඥාතීන්ගේ දැඩි පීඩනයට ලක් වෙනවා. විශේෂයෙන්ම විවාහ උත්සවයේ විය හියදම් දරන්නේ ඔවුන් නම් ඔවුන්ගෙන් ඇති වන බලපෑම් වැඩියි. විවාහ උත්සවයේදී හා පසුව පවත්වන ප්‍රිය සාදයේදී කළ යුතු දේවල් ගැන ඔවුන් එකහෙළාම යම් දේවල් පැවසිය හැකියි. මෙවැනි අවස්ථාවකදී ප්‍රධාන වගකීම දරන්නා හැටියට මනාලයාට ශුද්ධ ලිවිල්ල මගින් පවරා තිබෙන කාර්ය භාර්ය නිසි ලෙස ඉටු කළ නොහැකි විය හැකියි.”

අවුරුදු 35කට වඩා වැඩි කාලයක සිට විවාහයන් සිදු කර තිබෙන මැක්ස් මෙසේ අදහස් දක්වනවා. “විවාහ උත්සවය හා ප්‍රිය සාදය සංවිධානය කළ යුතු ආකාරය ගැන තීරණ ගනිද්දී මනාලිය මූලිකත්වය ගන්න බවක් මම දකිනවා. හුඟාක් වේලාවට මනාලයාට ඔහුගේ අදහස් ඉදිරිපත් කිරීමට තිබෙන අවස්ථා අඩුයි.” විවාහයන් බොහොමයක් සිදු කර තිබෙන තවත් පුද්ගලයෙකු වන ඩේවිඩ් මෙසේ පවසනවා. “මේ කාරණයේදී මූලිකත්වය ගෙන කාරණ හසුරුවන එක ගැන මනාලයන්ට ඒ තරම් පුරුද්දක් නැහැ. හුඟාක් මනාලයන් විවාහයේ කටයුතු සූදානම් කිරීමට ඒ තරම් හවුල් වෙනවා දකින්න ලැබෙන්නේ නැහැ.” මනාලයාට ඔහුගේ වගකීම හොඳින් ඉටු කළ හැක්කේ කෙසේද?

අදහස් හුවමාරුවෙන් වැඩි ප්‍රීතියක්

විවාහය සූදානම් කිරීමේදී තමන්ගේ වගකීම් සාර්ථකව ඉටු කිරීමට නම් මනාලයා අන් අය සමඟ හොඳින් අදහස් හුවමාරු කරගත යුතුයි. මේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “මන්ත්‍රණ නැති තැන අදහස් ඉෂ්ට නොවේ..” (හිතෝපදේශ 15:22) මනාලයා විවාහයේ වැඩකටයුතු ගැන මනාලිය සමඟද පවුලේ අය සමඟද බයිබලය මත පදනම් නැණවත් උපදෙස් දිය හැකි වෙනත් අය සමඟද සාකච්ඡා කරනවා නම් ඇති විය හැකි ගැටලු බොහොමයක් වළක්වා ගත හැකියි.

විවාහ ගිවිස ගෙන සිටින යුවළක් තමන්ගේ විවාහය සැලසුම් කරන ආකාරය ගැන හා තමන්ට මුහුණ දීමට සිදු විය හැකි දේවල් ගැන මුලින්ම එකිනෙකා සමඟ සාකච්ඡා කිරීම වැදගත්. මේ බව වෙනස් සංස්කෘතීන් දෙකකට අයත් වූවත් වසර ගණනාවක් සන්තෝෂවත් විවාහ ජීවිතයක් ගත කරමින් සිටින අයිවන් හා ඔහුගේ බිරිඳ වන ඩෙල්වින් ඔවුන්ගේ විවාහය සැලසුම් කළ ආකාරය සිහිපත් කරමින් පවසන දෙයින් පැහැදිලි වෙනවා. “මගේ ආශාව වුණේ අපේ විවාහයට හා ප්‍රිය සාදයට මගේ යාළුවෝ ඔක්කෝමදෙනා එනවා දකින්නයි. ඒ වගේම වෙඩින් කේක් එකක් කපන්නත් මම ආසා වුණා. මගේ මනාලිය සුදු පාට මංගල ඇඳුමකින් සැරසිලා ඉන්නවා දකිනත් මට ලොකු ආශාවක් තිබුණා. මේ වගේ මම විවාහය ගැන ස්ථීරයෙන්ම හිතාගෙන සිටිය දේවල් තිබුණා. ඒත් ඩෙල්වින් කැමති වුණේ වෙඩින් කේක් එකක් පවා නැතිව සුළුවෙන් චාම් විදිහට අපේ විවාහය සිදු වෙනවා දකින්නයි. ඇය හිතලා තිබුණේ එදාට මංගල ඇඳුමක් වෙනුවට සාමාන්‍යය ඇඳුමකින් සැරසිලා ඉන්නයි.”

මේ යුවළ අවංකව අදහස් හුවමාරු කරගැනීමෙන් ඔවුන් දෙදෙනා අතර තිබූ වෙනස් අදහස් සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණියා. (හිතෝපදේශ 12:18) අයිවන් තවදුරටත් මෙසේ පැවසුවා. “අපි දෙන්නා විවාහ උත්සව ගැන පළ වී තිබෙන බයිබලය මත පදනම් වූ ලිපි අධ්‍යයනය කළා. අපි දෙන්නා අධ්‍යයනය කළ එක සඟරාවක් තමයි 1985 පෙබරවාරි 1 මුරටැඹ සඟරාවේ 13 සිට 16 දක්වා පිටුවල පළ වූ ලිපිය. * මේ විශේෂ අවස්ථාව දෙස යෙහෝවා දෙවි බලන ආකාරයට බලන්න ඒ ලිපිය අපිට උදව් වුණා. අපි දෙන්නා වෙනස් පසුබිම් දෙකක සිටි නිසා සමහර පෞද්ගලික රුචි අරුචිකම් පසෙක දමන්න සිදු වුණා. අපි දෙන්නාම කාරණා දෙස බලන ආකාරය වෙනස් කරගන්න කැමති වුණා.”

ආරට් සහ පෙනී එවැනිම ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ තවත් යුවළක්. ඔවුන්ගේ විවාහය ගැන ආරට් මෙසේ පවසනවා. “අපේ විවාහ උත්සවය සිදු විය යුතු ආකාරය ගැන අපි දෙන්නාට තිබුණු වෙනස් අදහස් අපි සාකච්ඡා කළා. මේ නිසා අපිට පුළුවන් වුණා දෙන්නාටම එකඟ වෙන්න පුළුවන් තීරණවලට එලඹෙන්න. අපි විවාහ වන දවසේ සැලසුම්වලට ආශීර්වාද කරන්න කියලා අපි දෙන්නා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. අපේ දෙමාපියන්ගෙන් හා සභාවේ ඉන්න අද්දැකීම්ලත් විවාහක යුවළයන්ගෙන් උපදෙස් ලබා ගත්තා. ඔවුන් පැවසූ දේවල් හුඟාක් උපකාරවත් වුණා. මේ විදිහට අපි දෙන්නා කටයුතු කළ නිසා අපි විවාහ වුණ දවස හුඟාක් ප්‍රීතිමත් දවසක් වුණා.”

මංගල දිනයේදී ගෞරවාන්විත ලෙස සැරසී සිටීම

මනාලියගේ මෙන්ම මනාලයාගේද ආශාව වන්නේ තමන් විවාහ වන දවසේදී ලස්සනට ඇඳ පැළඳ සිටින්නයි. (ගීතාවලිය 45:8-15) ඔවුන් දෙදෙනා යෝග්‍ය ඇඳුමක් සූදානම් කරගැනීමට සෑහෙන වෙහෙසක් මෙන්ම සැලකිය යුතු කාලයක් හා මුදලක් වැය කරනවා. විවාහ දිනයේදී ගෞරවනීය මෙන්ම සිත් ඇඳගන්නාසුලු ලෙස සැරසී සිටීම සඳහා මනාලියට මෙන්ම මනාලයාටද උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

විවාහ දිනයේදී මනාලිය අඳින ඇඳුම ගැන සිතා බලන්න. මේ සම්බන්ධයෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට හා රටින් රටට රුචි අරුචිකම් වෙනස් වුණත් බයිබලයේ දෙන මේ උපදේශය ලෝකයේ ඕනෑම තැනක සිටින කෙනෙකුට අදාළ වෙනවා. ස්ත්‍රීන් “විනීතව සහ හොඳ සිහිකල්පනාවෙන් යුතුව, මනා පිළිවෙළකින් යුත් වස්ත්‍රවලින් සැරසී” සිටිය යුතුයි. මෙය ක්‍රිස්තියානි ස්ත්‍රීන් ඇඳ පැළඳ සිටින සෑම අවස්ථාවකටම අදාළයි. විවාහ වන දවසේදී ඇඳ පැළඳ සිටින ආකාරයටද ඒ උපදේශය අදාළ වෙනවා. විවාහ වන දවස ප්‍රීතිමත් දවසක් වීමට “ඉතා මිල අධික වස්ත්‍රවලින්” සැරසී සිටීම අවශ්‍ය දෙයක් නොවෙයි. (1 තිමෝති 2:9; 1 පේතෘස් 3:3, 4) ඒ උපදේශය අදාළ කරගැනීමෙන් අද්දැකිය හැකි ප්‍රීතිය මොනතරම්ද!

කලින් සඳහන් කළ ඩේවිඩ් මෙසේ පවසනවා. “හුඟාක් යුවළයන් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියා කරන්න උත්සාහ කරනවා. ඇත්තෙන්ම ඔවුන්ට අපේ ප්‍රශංසාව හිමි විය යුතුයි. ඒ වුණත් සමහර අවස්ථාවලදී මනාලියගේ හා ඇගේ යෙහෙළියන්ගේ ඇඳුම් අවිනීති වී තිබෙනවා. ඔවුන් ඇඳ සිටින හැට්ටය ඉදිරිපසින් ගැඹුරින් කපා තිබෙනවා. එසේත් නැත්නම් විනිවිඳ පෙනෙනවා.” කතාව ඉදිරිපත් කරන වැඩිමහල්ලා මනාලියව සහ මනාලයාව හමු වෙද්දී ඒ ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන ක්‍රියා කිරීමේ වැදගත්කම තේරුම්ගන්න ඔවුන්ට උපකාර කරනවා. ඔහු මෙය කරන්නේ ඔවුන් දෙදෙනා විවාහ දිනයේදී අඳින්න බලාපොරොත්තු වන ඇඳුම් ක්‍රිස්තියානි රැස්වීමකට අඳින්න තරම් විනීතද කියා ඇසීමෙනුයි. ඇත්තයි, සාමාන්‍යය රැස්වීමකට අඳිනවාට වඩා විවාහ දිනයේදී අඳින ඇඳුම වෙනස්. ඒ වගේම තමන් ජීවත් වන ප්‍රදේශයට අනුව විවාහ ඇඳුම වෙනස් විය හැකියි. ඒත් තමන් අඳින ඇඳුමේ විනීතකම ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට එකඟව ගෞරවාන්විතව තිබිය යුතුයි. බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති දැඩියි කියා ලෝකයේ අය සිතිය හැකි වුණත් ලෝකයේ අයට ඔවුන්ගේ අච්චුවට අනුව තමන්ව හැඩගස්වන්න සැබෑ ක්‍රිස්තියානීන් ඉඩ දෙන්නේ නැහැ.—රෝම 12:2; 1 පේතෘස් 4:4.

කලින් සඳහන් කළ පෙනී තවදුරටත් මෙසේ පවසනවා. “ඇඳුම් පැළඳුම් හා ප්‍රිය සාදය අතිවැදගත් දෙයක් ලෙස සලකන්නේ නැතිව ආරට් සහ මම මූලික අවධානය දුන්නේ විවාහ උත්සවයේ අතිවැදගත්ම දෙය වන එදින ඉදිරිපත් කරනු ලබන බයිබලය මත පදනම් කතාවටයි. මට මතක තියෙන විශේෂ දේවල් වන්නේ මම ඇඳගෙන හිටිය ඇඳුම හෝ කාපු බීපු දේවල් නෙමෙයි, එදින පැමිණ සිටි අය සමඟ ඇසුරු කිරීමෙන් හා මම ආදරය කරන කෙනා එක්ක විවාහ වීමෙන් දැනුණු සතුටයි.” ක්‍රිස්තියානි යුවළක් තමන්ගේ විවාහය සැලසුම් කිරීමේදී එම අදහස් මතක තබාගැනීම වැදගත්.

ගෞරවනීය ස්ථානයක් වන රාජ්‍ය ශාලාව

බොහෝ ක්‍රිස්තියානි යුවළයන් කැමති වන්නේ රාජ්‍ය ශාලාවක් තිබෙනවා නම් එහි තමන්ගේ විවාහය සිදු වෙනවා දකින්නයි. ඔවුන් රාජ්‍ය ශාලාවක තම විවාහය සිදු කරන්න වැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි? එක් යුවළක් රාජ්‍ය ශාලාව තෝරාගැනීමට හේතුව විස්තර කළේ මෙසේයි. “විවාහය කියන්නේ යෙහෝවා දෙවි ඇති කළ සැලැස්මක් කියලා අපි දන්නවා. අපි යෙහෝවා දෙවිට නමස්කාර කරන ස්ථානය වන රාජ්‍ය ශාලාවේ අපේ විවාහ සිදු කරද්දී අපේ විවාහයට ඔහුත් ඇතුළත් වෙලා ඉන්නවා කියන එක විවාහයේ ආරම්භයේ පටන්ම අපේ සිතට කාවදිනවා. විවාහ උත්සවය වෙනත් තැනක පවත්වනවා වෙනුවට රාජ්‍ය ශාලාවේ පැවැත්වීමෙන් ලැබුණු තවත් ප්‍රයෝජනයක් වුණේ යෙහෝවා දෙවිට කරන නමස්කාරය අපේ ජීවිතයේ අතිවැදගත් දෙයක් බව තේරුම්ගන්න විවාහ උත්සවයට පැමිණි සාක්ෂිකාර නොවන ඥාතීන්ට හොඳ අවස්ථාවක් වීමයි.”

රාජ්‍ය ශාලාවක විවාහයක් සිදු කිරීම සඳහා එම රාජ්‍ය ශාලාව අයත් සභාවේ වැඩිමහල්ලන්ගෙන් අවසර ගත යුතු නම් විවාහ ගිවිසගෙන සිටින යුවළ තමන්ගේ සැලසුම් ගැන කල් වේලා ඇතිව ඔවුන්ට දැනුම් දිය යුතුයි. මනමාලිට හා මනාලයාට තමන්ගේ විවාහයට ආරාධනා කර තිබෙන අයට ගෞරවය පෙන්විය හැකි එක් ආකාරයක් නම් ආරාධනා පත්‍රයේ සඳහන් වේලාවට පැමිණීම සඳහා හැකි සෑම උත්සාහයක්ම දැරීමයි. සෑම දෙයක්ම ගෞරවනීය ලෙස සිදු වෙනවා දකින්න ඔවුන් කැමති වන බවට සැකයක් නැහැ. * (1 කොරින්ති 14:40) මේ ආකාරයට කටයුතු සැලසුම් කිරීමෙන් ලෝකයේ බොහෝ විවාහ උත්සවවල දැකිය හැකි දේවල් වළක්වා ගනිමින් තමන්ගේ විවාහය ගෞරවනීය ලෙස සිදු වෙනවා දකින්න ඔවුන්ට හැකි වෙයි.—1 යොහන් 2:15, 16.

යෙහෝවා දෙවි විවාහය සලකන ආකාරයට තමන්ද එය සලකන බව විවාහ උත්සවයට පැමිණෙන අයටද පෙන්විය හැකියි. විවාහ උත්සව අතර තරඟකාරී ස්වභාවයක් ඇති වීමට ඉඩ නොතබමින් විවාහ උත්සව හුඟාක් ජයට සිදු වෙයි කියා ඔවුන් බලාපොරොත්තු නොවිය යුතුයි. විවාහ උත්සවයේදී ඉදිරිපත් කරනු ලබන බයිබලය මත පදනම් කතාවට සවන් දීම සඳහා රාජ්‍ය ශාලාවට යෑම විවාහයෙන් පසුව පවත්වන ප්‍රිය සාදයට යෑමට වඩා වැදගත් බව ශක්තිමත් ඇදහිල්ලක් තිබෙන ක්‍රිස්තියානීන් තේරුම්ගන්නවා. කාලය හෝ යම් තත්වයන් නිසා තමන්ට යා හැක්කේ විවාහ උත්සවය හෝ ප්‍රිය සාදය යන දෙකෙන් එකකට නම් වඩාත් යෝග්‍ය වන්නේ රාජ්‍ය ශාලාවට යෑමයි. විලියම් නමැති වැඩිමහල්ලා මෙසේ පවසනවා. “අමුත්තන් කිසිම හොඳ හේතුවක් නැතිව රාජ්‍ය ශාලාවේ පවත්වන විවාහ උත්සවයට පැමිණෙන්නේ නැතිව පසුව පවත්වන ප්‍රිය සාදයට පැමිණෙනවා නම් එයින් පෙනී යන්නේ ඒ අවස්ථාවේ තිබෙන පරිශුද්ධභාවය ඔවුන් එතරම් අගය කරන්නේ නැති බවයි. ප්‍රිය සාදයට අපට ආරාධනා කර නොතිබුණත් රාජ්‍ය ශාලාවේ පවත්වන විවාහ උත්සවයට යෑමෙන් මනාලියට හා මනාලයාට අපි සහය දක්වන බව පෙන්වන්න අපිට පුළුවන්. ඒ වගේම අපි රාජ්‍ය ශාලාවේ සිටීම, පැමිණ සිටින සාක්ෂිකරුවන් නොවන ඥාතීන්ටද කදිම සාක්ෂියක්.”

විවාහ දිනයෙන් පසුවත් දිගටම පවතින ප්‍රීතිය

වෙළෙඳුන් විසින් විවාහ උත්සව මහත් ලාභ උපයන ව්‍යාපාරයක් කරගෙන තිබෙනවා. මෑතකදී පළ වූ වාර්තාවකට අනුව අමෙරිකාවේ විවාහයක් සඳහා වියදම් කරන සාමාන්‍ය මුදල “ඩොලර් 22,000ක් වෙනවා. මෙය සාමාන්‍ය අමෙරිකන් ජාතිකයෙකුගේ වාර්ෂික ආදායමෙන් භාගයක් වෙනවා.” වෙළෙඳ ප්‍රචාරක දැන්වීම්වල බලපෑමට හසු වී නවක විවාහ යුවළයන් බොහොමයක් හා ඔවුන්ගේ පවුල්වල අය ණය වී විවාහ උත්සව පවත්වනවා. මහත් බරක් වන ඒ ණය අවුරුදු ගණනාවක් පුරා ගෙවීමට සිදු වෙනවා. එලෙස අධික මුදලක් දරමින් විවාහ ජීවිතයට පා තැබීම නැණවත් දෙයක්ද? බයිබල් ප්‍රතිපත්ති ගැන දන්නේ නැති අය හෝ එම ප්‍රතිපත්ති සැලකිල්ලට ගන්නේ නැති අය අධික මුදලක් වැය කරමින් විවාහ උත්සවය පැවැත්වීමට තීරණය කළ හැකියි. ඒත් සැබෑ ක්‍රිස්තියානීන් ක්‍රියා කරන්නේ ඊට වඩා කොතරම් වෙනස් ලෙසද!

තමන්ගේ විවාහයට ආරාධනා කරන සංඛ්‍යාව මෙන්ම දැරීමට සිදු වන මුදල තමන්ට ඔරොත්තු දෙන මට්ටමකට සීමා කරගැනීමෙන් හා විවාහ දිනයේ සිදු කරනු ලබන ආගමික කාරණාවලට මුල් තැනක් දීමෙන් තමන්ගේ කාලය හා මුදල් දෙවිට වූ තමන්ගේ කැපවීමට අනුව ජීවත්වීම සඳහා වැය කිරීමට බොහෝ ක්‍රිස්තියානි යුවළයන්ට හැකි වී තිබෙනවා. (මතෙව් 6:33) ලොයිඩ්ගේ හා ඔහුගේ බිරිඳ වන ඇලෙක්සැන්ඩ්‍රාගේ අද්දැකීම සලකා බලන්න. ඔවුන් දෙදෙනා විවාහ වූ දා සිට අවුරුදු 17ක කාලයක් පුරා පූර්ණ කාලීන සේවයේ හවුල් වී සිටිනවා. ලොයිඩ් මෙසේ පවසනවා. “සමහර අය අපේ විවාහය සැලකුවේ ඕනෑවට වඩා සරල විවාහයක් කියලයි. ඒත් ඇලෙක්සැන්ඩ්‍රායි මමයි අපි විවාහ වූ දවස ගැන ගොඩක් සතුටු වෙනවා. අපි විවාහ වන දවස අපි මත අනවශ්‍ය මුදල් බරක් පටවන දවසක් වෙනවා දකින්න අපි කැමති වුණේ නැහැ. අපිට ඕන වුණේ විවාහය නමැති යෙහෝවාගේ සැලැස්මට අපි දෙන්නා ඇතුළත් වන දවසේදී අපි දෙන්නා ලොකු ප්‍රීතියක් ලබනවා දකින්නයි.”

ඇලෙක්සැන්ඩ්‍රා ඊට තවත් යමක් එකතු කරමින් මෙසේ පසනවා. “අපි දෙන්නා විවාහ වෙන්න කලින් මම පුරෝගාමි සේවය කරමිනුයි හිටියේ. ලොකු මුදලක් වැය කරලා අපේ විවාහ උත්සවය පවත්වන්න ඕන නිසා පුරෝගාමි සේවය අත් හරින්න මම කැමති වුණේ නැහැ. අපි විවාහ වූ දවස අපිට හුඟාක් විශේෂ දවසක් වුණා. ඒත් ඒ දවස අපි දෙන්නා එකට ජීවත් වෙන්න පටන්ගත් මුල්ම දවස විතරයි. විවාහ වන දවස ගැන ඕනෑවට වඩා වැඩි අවධානයක් දෙනවා වෙනුවට අපි දෙදෙනා විවාහ ජීවිතය ගත කරන කාලය පුරාම යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම සෙවීමට වැඩි අවධානයක් දෙන්න කියා ලැබුණු උපදේශය අපි අදාළ කරගත්තා. මේ විදිහට ක්‍රියා කළ නිසා අපි දෙන්නා යෙහෝවා දෙවිගේ බොහෝ ආශීර්වාද භුක්ති විඳලා තියෙනවා.” *

ඔබ විවාහ වන දවස ඉතා විශේෂ දවසක්. ඒ දවසේදී ඔබ විදහා පෙන්වන ආකල්ප හා ඔබේ ක්‍රියාවන් ඉදිරි කාලය පුරාම ඔබේ විවාහ ජීවිතයට යහපත් බලපෑමක් කළ හැකියි. මේ නිසා මඟ පෙන්වීම පතා යෙහෝවා දෙවි මත රඳා සිටින්න. (හිතෝපදේශ 3:5, 6) ඔබ විවාහ වන දවසේදී දේවවචනය හා බැඳි කාරණාවලට වැඩි අවධානයක් දෙන්න. ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් හැටියට දෙවි ඔබ දෙදෙනාට දී තිබෙන වගකීම් ඉටු කිරීම සඳහා එකිනෙකාට සහය වන්න. මෙසේ කිරීමෙන් ඔබේ විවාහ ජීවිතයට ශක්තිමත් අත්තිවාරමක් දමාගන්න ඔබට පුළුවන්. එමෙන්ම යෙහෝවා දෙවිගේ ආශීර්වාද ඇතිව විවාහ දිනයේදී පමණක් නොව ඔබ අරඹන නව යුග දිවිය පුරාම ප්‍රීතියෙන් කල් ගෙවන්න ඔබට හැකි වෙනවා නිසැකයි.—හිතෝපදේශ 18:22.

[පාදසටහන්වල]

^ 11 ඡේ. තවත් විස්තර යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන 2002 පෙබරවාරි 8 පිබිදෙව්! සඟරාවේ පළ වී තිබෙනවා.

^ 20 ඡේ. රාජ්‍ය ශාලාවේ සිදු කරනු ලබන තමන්ගේ විවාහ උත්සවය වීඩියෝ කිරීමට හෝ එහිදී ඡායාරූප ගැනීමට යුවළක් සැලසුම් කරන්නේ නම් විවාහය උත්සවයේ ගෞරවනීයභාවයට හානියක් වන ආකාරයෙන් කිසිවක් නොකරන බවට වගබලාගත යුතුයි.

^ 25 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන පවුලේ සන්තෝෂයේ රහස නමැති පොතේ 26 වන පිටුව බලන්න.

[29වන පිටුවේ පින්තූරය]

යුවළක් තමන්ගේ විවාහය සැලසුම් කරද්දී විවෘතව හා ගෞරවනීය ලෙස අදහස් හුවමාරු කරගත යුතුයි

[31වන පිටුවේ පින්තූරය]

ඔබ විවාහ වන දවසේදී බයිබලය මත පදනම් කතාවට වැඩි අවධානයක් දෙන්න