Skip to content

පටුනට යන්න

ගිනියාවෙන් සොයාගන්න වටිනා වස්තු

ගිනියාවෙන් සොයාගන්න වටිනා වස්තු

ගිනියාවෙන් සොයාගන්න වටිනා වස්තු

සියවස් ගණනාවක් පුරා ගවේෂකයන් තමන්ගේ ජීවිත පරදුවට තබා ගිනියාවේ සම්පත් සෙවීමේ කාර්යයෙහි නිරත වී තිබෙනවා. දියමන්ති, රත්තරන්, යපස් හා බොක්සයිඩ් පස් (ඇලුමිනියම් සෑදීමට ගන්නා පස) වැනි සම්පත්වලින් පිරුණු රටක් වන ගිනියාවේ ජනගහනය මිලියන නවයකට වඩා වැඩියි. අප්‍රිකාවේ බටහිර දෙසින් පිහිටා තිබෙන ගිනියාව නමැති රටට ගිය ධෛර්යවන්ත මිනිසුන්ට රන් හා දියමන්ති වැනි වටිනා සම්පත් සොයාගැනීමට හැකි වුණා. එපමණක් නොව ඒ රටින් තවත් සුවිශේෂි සම්පතක්ද සොයාගෙන තිබෙනවා.

ක්‍රිස්තියානි ආගම්වලට ප්‍රබල තැනක් හිමි වී නොතිබුණත් නමස්කාරයට වැදගත් තැනක් ලබා දෙන ඒ රටේ බොහෝදෙනෙක් සැබෑ දෙවි ගැන දැනගැනීමට මහත් උනන්දුවක් දක්වනවා. ගිනියාවේ තිබෙන අගනා සම්පත වන්නේ “සියලු ජාතීන් ආශා කරන දේ” කියා හග්ගයි 2:7හි විස්තර කර තිබෙන යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයනුයි.

දෙවි අගය කරන වස්තු

පොළොව යට සැඟවී තිබෙන සම්පත් ලබා ගැනීමට මහත් ප්‍රයත්නයක් දැරිය යුතු හා සමානව ක්‍රිස්තියානි දේවසේවයේදී දෙවි කෙරෙහි සැබෑ උනන්දුවක් දක්වන අය සොයාගැනීමටද මහත් වෑයමක් දැරිය යුතුයි. ගිනියාවේ රාජ්‍ය දේශනා කිරීමේ කාර්යය ආරම්භ කෙරුණේ 1950 මුල් කාලයේදීයි. ඒත් එහි අගනුවර වන කොනක්‍රි නගරයේ වැසියන්ට ශුභාරංචිය අසන්න ලැබුණේ 1960 ගණන්වල මුල් භාගයේදීයි. දැන් එම රට පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන් 900දෙනෙක් පමණ සිටින අතර සභා 21ක් තිබෙනවා.

වර්ෂ 1987දී ගිනියාවට මිෂනාරිවරුන් පැමිණි අතර එවකට කොනක්‍රිහි තිබුණේ එක සභාවක් පමණයි. ඔවුන් ඒ සභාවට සම්බන්ධ වී සේවය කළා. දැන් අගනුවරේ මෙන්ම වෙනත් ප්‍රදේශවලද මිෂනාරීවරුන් 20කට වඩා වැඩි සංඛ්‍යාවක් සේවය කරනවා. ඔවුන් උද්‍යෝගයෙන් මෙම සභාවල සිටින අයට ශක්තිමත් ඇදහිල්ලක් ඇති කර ගැනීමට උපකාර කරමින් ඔවුන් සමඟ දේශනා සේවයේ නිරත වෙනවා.

කොනක්‍රිවල පදිංචි වී සිටින ලූක් තරුණ වෛද්‍යවරයෙක් වන ඇල්බර්ට්ට බයිබලයේ සත්‍යයන් කියා දීම තුළින් මහත් ප්‍රීතියක් අද්දැක්කා. ඇල්බට් සත්‍යය සොයා විවිධ පල්ලිවලට ගියා. ඒ විතරක් නෙවෙයි ඔහු භූතවාදයට සම්බන්ධ පුරුදුවලද නියැලී සිටියා. භූතවාදය හා සම්බන්ධ ක්‍රියා කරන පුද්ගලයෙක් ඔහුට මුද්දක් දී තිබුණා. ඒ මුද්ද පැළඳගෙන සිටීමෙන් වාසනාව උදා වෙනවා කියා ඔහුට පවසා තිබුණා. ඔහු කොතරම් සත්‍යය සොයා ගියත් ඔහුට එය නොලැබුණු නිසා ඔහු අධෛර්යයට පත් වූ අතර අතේ තිබුණු මුද්දත් ගලවා විසි කර දමා මෙසේ යාච්ඤා කළා. “දෙවි ඇත්තටම ඔබ ජීවමාන නම් ඔබව දැනගන්නත් ඒ වගේම ඔබට සේවය කරන්නත් මට උපකාර කරන්න. එහෙම නැත්නම් මම මගේ ජීවිතය මම කැමති විදිහට ගත කරනවා.” ඉන් ටික දවසකට පසු ඇල්බට් ඔහුගේ අක්කාගේ ගෙදර ගියා. ඔහුගේ අක්කගේ දුව සමඟ යෙහෝවාගේ සාක්ෂිකාරියක් බයිබලයේ තිබෙන දේවල් සාකච්ඡා කරනවා ඔහුට ඇහුණා. ඇල්බට් ඒ ගැන උනන්දුවක් දැක් වූ නිසා ඔහුටත් බයිබලයේ තිබෙන සත්‍යයන් දැනගැනීමට උපකාර කිරීම සඳහා ලූක්ව හඳුන්වා දුන්නා.

සෑම සතියකම ලූක් ප්‍රීතියෙන් ඇල්බට්ගේ පාඩම පැවත්වීම සඳහා කිලෝ මීටර් 5ක් පයින් ගියා. ලූක් යම්තාක් දුරට පාසැල් අධ්‍යාපනය ලැබ තිබුණු කෙනෙක් වූවද ඇල්බට් විශ්වවිද්‍යාලයේ උපාධියක් ලබා තිබුණු කෙනෙක්. ඒත් ලූක්ට දේවවචනය කෙරෙහි තිබුණු ස්ථිර විශ්වාසය හා ඒවා අදාළ කිරීමට තිබුණු හැකියාව ගැන ඇල්බට්ගේ සිත්ගත්තා. මිනිසා දුක් විඳින්නේ දෙවිගේ වරදින් නොවන බවත් ඒ වගේම දෙවි මේ සියලු දුක් වේදනාවලට ඉක්මණින්ම නිමාවක් ගෙනෙන බවත් පොළොව පාරාදීසයක් බවට පත් කරන බවත් දැනගැනීමෙන් ඇල්බට් මහත් සේ ප්‍රීති වුණා. (ගීතාවලිය 37:9-11) බයිබලයෙන් ඉගෙනගත් සත්‍යයන් මෙන්ම දෙවිගේ සේවකයන්ගේ යහපත් හැසිරීම කෙරෙහිද ඇල්බට්ගේ සිත ඇඳී ගියා.

දියමන්ති ගලක වටිනාකම තිබෙන්නේ එය පළපුරුදු කෙනෙක් අතින් හොඳින් කපා ඔප දමා තිබෙනවා නම් පමණයි. ඒ වගේ ඇල්බට් දෙවිට කැමති ආකාරයට තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීමට ඔහු තුළ තිබුණා වූ වැරදි මත ඉවත් කර දමන්න අවශ්‍යය වුණා. ඔහු භූතවාදය හා සම්බන්ධ දේවල නියැලීමෙන්, අධික ලෙස මත්පැන් ගැනීමෙන් හා සූදුවෙන් වැළකුණා. ඔහුට දුම්පානයෙන් වළකින එක එතරම් පහසු වුණේ නැහැ. නමුත් අවසානයේදී ඔහු ඉතා ඕනෑකමින් දිගටම යෙහෝවා දෙවිට යාච්ඤා කිරීම තුළින් ලැබූ උපකාරයෙන් ඔහුට එයින්ද වැළකීමට හැකි වුණා. මාස හයකට පසු ඔහු විවාහය ලියාපදිංචි කළා. ඔහුගේ භාර්යාවත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. දැන් ඔවුන් දෙදෙනාම යෙහෝවා දෙවිගේ කැප වූ සේවකයන් ලෙස සේවය කරනවා.

මාර්ටින්ද තවත් එවැනි දියමන්තියක්යැයි කීවොත් නිවැරදියි. ඔහු බයිබලයේ තිබෙන සත්‍යයන් ඉගෙනගන්න පටන්ගත්තේ අවුරුදු 15දී ගෙකාඩු නම් නගරයේදීයි. ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන් පවත් වන රැස්වීම්වලට සහභාගී වෙනවාට ඔහුගේ කතෝලික දෙමාපියන් තදින්ම විරුද්ධ වුණා. ඔවුන් මාටින් ළඟ තිබුණු බයිබලය මත පදනම් පොත් පත් ඉරා දැම්මා. ඔහුට ගැහුවා. අවසානයේදී ඔහුව ගෙදරින් එළවා දැම්මා. කාබන් (අංගාර) තද පීඩනයට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස දියමන්තියක් සෑදෙනවා හා සමානව මාර්ටින්ට විරුද්ධවාදිකම් වැඩිවෙන්න වැඩිවෙන්න ඔහුගේ ඇදහිල්ල ශක්තිමත් වුණා. කාලයක් යන විට ඔහුගේ දෙමාපියන්ගේ ආකල්පය වෙනස් වූ අතර ඔහුට නැවතත් ගෙදර යන්න හැකි වුණා. ඔහුගේ දෙමාපියන්ගේ වෙනස්වීමට හේතු වූයේ කුමක්ද? මාර්ටින්ගේ නංගිගේ සහ මල්ලිලාගේ හැසිරීම හා ඔහුගේ හැසිරීම අතර ලොකු වෙනසක් දෙමාපියන්ට දැකගන්න හැකි වුණා. ඔවුන් මුරණ්ඩු ස්වභාවයක් දැක් වූ අතර ලිංගික දුරාචාරයේ හැසිරුණා. මාටින් අදහන අලුත් ආගම ඔහුට යහපතක් කර තිබෙන බව තේරුම්ගත් පියා සභාවේ අයව ගෙදරට සාදරයෙන් පිළි ගත්තා. මාටින්ගේ මව ඔවුන්ගේ දරුවාට යහ මඟ පෙන්වීම ගැන සභාවේ සහෝදරයන්ට බොහෝ වර ස්තුති කර තිබෙනවා. අවුරුදු 18දී බව්තීස්මය ලැබූ මාටින් පසු කාලයකදී දේවසේවා පුහුණු පාසැලටද සහභාගි වුණා. ඔහු දැන් විශේෂ පුරෝගාමියෙක් ලෙස සේවය කරනවා.

වෙනත් රටවලින් ලැබුණු උපකාර

ගිනියාවේ තිබෙන බොහෝ සම්පත් වෙනත් රටවලට යවනු ලැබුවත් දෙවිගේ නමස්කාරය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය උපකාර වෙනත් රටවලින් ලබා ගෙන තිබෙනවා. වෙනත් අප්‍රිකානු රටවලින් බොහෝදෙනෙක් මුදල් ඉපයීම සඳහා ගිනියාවට පැමිණ තිබෙනවා. තවත් අය කාලයක් තිස්සේ තමන්ගේ රටවල පවතින යුද්ධවලින් බේරීමට මෙහි පැමිණ තිබෙනවා.

අර්නස්ටීන් කැමරූන් රටෙන් ගිනියාවට පැමිණියේ මීට අවුරුදු 12කට පෙරයි. ඇය අවුරුදු ගණනාවක් පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කළ අතර රැස්වීම්වලටද සහභාගී වුණා. නමුත් ඇය බව්තීස්ම වුණේ නැහැ. ඒත් 2003 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ චාරිකා එක්රැස්වීමකදී සිදු කරන ලද බව්තීස්මය දැකලා ඇගේ ඇස්වලට කඳුළු ආවා. ඇයට තමා ගැනම වරදසහිතබවේ හැඟීමක් ඇති වූ අතර ඇය ඒ ගැන යෙහෝවා දෙවිට මෙසේ යාච්ඤා කළා. “මට දැන් අවුරුදු 51යි. දෙවියනේ ඒත් මම ඔබ වෙනුවෙන් කිසි දෙයක් කරලා නැහැ. මම ආසයි ඔබට සේවය කරන්න.” ඉන්පසු අර්නස්ටීන් ඇය කළ යාච්ඤාවට එකඟව ක්‍රියා කළා. ඇය සමඟ එකට ජීවත් වෙමින් සිටි තැනැත්තාට ඇය පැවසුවේ ඔවුන්ගේ විවාහය ලියාපදිංචි නොකළොත් එකට ජීවත් විය නොහැකි බවයි. එයට ඔහු කැමති වූ අතර ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කළා. වර්ෂ 2004 ඇය බව්තීස්ම වූ අවස්ථාවේදී ඇයගේ දෙනෙතින් සතුටු කඳුළු ගලා ගියා.

වර්ෂ 1990 පටන් ලයිබීරියාව, සියරා ලියොන් වැනි රටවලින් දහස් ගණන් සරණාගතයන් ගිනියාවට පැමිණියා. මේ අය අතර සිය ගණන් යෙහෝවා දෙවිගේ සේවකයන්ද සිටිනවා. සහෝදරයන් සරණාගත කඳවුරට පැමිණි විගස නිතිපතා පැවැත්වෙන රැස්වීම් හා සේවය සැලසුම් කළා. ඒ වගේම ඔවුන් ඉක්මනින් රාජ්‍ය ශාලාවක් ගොඩනැඟුවා. කඳවුරේ සිටි සමහර අය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බවට පත් වුණා. අයිසැක් මෙවැනි කෙනෙක්. අයිසැක් බව්තීස්ම වීමෙන් පසු ඔහුට නැවතත් ලයිබීරියාවේ ඔහු රැකියා කළ විශාල ආයතනයේ සේවය කිරීමට අවස්ථාව ලැබුණා. ඒත් ඔහු එම කඳවුරේම ස්ථාවර පුරෝගාමියෙක් ලෙස සේවය කිරීමට තීරණය කළා. ඔහු ඒ ගැන මෙසේ අදහස් දැක්වුවා. “මට රැස්වීම්වලට, එක්රැස්වීම්වලට යන්න කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ. මට නිදහසේ යෙහෝවා දෙවිට සේවය කරන්න පුළුවන්.” වර්ෂ 2003 දෙසැම්බර් මාසයේදී මෙම කඳවුරේ සිටින සාක්ෂිකරුවන් 150දෙනා වෙනුවෙන් සමුළුවක් පවත්වනු ලැබුවා. මෙම කඳවුරේ සිටින සම්පූර්ණ ගණන 30,000යි. මෙම සමුළුවට 591දෙනෙක් සහභාගී වුණා. ඒ අතර ශ්‍රවණාබාධ තිබෙන 9දෙනෙක් සිටිය අතර ඔවුන්ට සංඥා භාෂාවෙන් එම වැඩසටහන ඉදිරිපත් කරනු ලැබුවා. එම සමුළුවේදී 12දෙනෙක් බව්තීස්ම වුණා. තමන්ට දෙවිගේ සැපයුම්වලින් මංගල්‍යයක් සුදානම් කිරීම ගැන එම සහෝදරයන් ස්තුතිවන්ත වුණා.

“ආශා කරන” දේවලට අයත් අය කරන වෙනස්කම්

රත්තරන් හා දියමන්ති සොයන අය තමන්ට පැමිණෙන කිසිම බාධාවකින් අධෛර්යට පත් වන්නේ නැහැ. ඒ හා සමානව යෙහෝවා දෙවිට සේවය කිරීමට පටන්ගන්න අලුත් අය තමන්ට පැමිණෙන සියලුම බාධා ඉවත් කරගනිමින් දෙවිට සේවය කිරීමට දරන වෑයම ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. සෙයිනැබ්ගේ අද්දැකීම සලකා බලන්න.

සෙයිනැබ්ට වයස අවුරුදු 13දී ඇයව බලෙන් වහල් සේවයේ යෙදව්වා. ඇයගේ මව් බිම වන තවත් බටහිර අප්‍රිකානු රටක සිට ගිනියා රටට ඇයව ගෙනාවා. ඇයට අවුරුදු 20දී බයිබලයේ සත්‍යයන් දැනගන්න ලැබුණා. ඇය ඉගෙනගත් දේවල් ඇයගේ ජීවිතයේ අදාළ කරගන්න ඇය තුළ මහත් ආශාවක් තිබුණා.

සෙයිනැබ්ට ක්‍රිස්තියානී රැස්වීම්වලට සහභාගී වීම එතරම් පහසු වුණේ නැහැ. සෙයිනැබ් රැස්වීම් බොහෝ අගය කළ නිසා ඒවාට නොකඩවා සහභාගී වීමට අධිෂ්ඨාන කරගත්තා. (හෙබ්‍රෙව් 10:24, 25) ඇය රැස්වීමට ගෙන යන පොත් පත් ගෙදරින් පිට තැනක සඟවා තැබූ අතර රැස්වීම්වලට යන විට ඒවා රැගෙන ගියා. ඇය රැස්වීම්වලට යන නිසා අවස්ථා කිහිපයකදී ඇය මෙහෙකාරකම් කළ ගෙදර අය ඇයට කෲර ලෙස ගුටි බැට දුන්නා.

නමුත් කාලයත් සමඟ තත්වය වෙනස් වු අතර සෙයිනැබ් වහල් සේවයෙන් නිදහස ලැබුවා. ඇය නොකඩවා සියලුම රැස්වීම්වලට සහභාගී වූ අතර ඇයට සත්‍යය තුළ වර්ධනය වෙන්න හැකි වුණා. ඇයට හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් ලැබුණත් ඇය එය ප්‍රතික්ෂේප කළා. ඊට හේතුව ඇයට දෙවිගෙන් උපදෙස් ලැබෙන රැස්වීම්වලට යෑමට එය බාධාවක් විය හැකි නිසයි. ඇය දිව්‍යාණ්ඩු සේවා පාසැලට බැඳුණු අතර බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් ලෙස සේවය කරන්න පටන්ගත්තා. ඉන් ටික කලකට පසු ඇය යෙහෝවා දෙවිට සේවය කිරීමට වූ ඇයගේ කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කළා. ඒත් එක්කම ඇය උපකාරික සේවය පටන්ගත්තා. ඉන් මාස හයකට පසු ඇය ස්ථාවර පුරෝගාමියෙක් ලෙස සේවය කිරීමට අයදුම් කළා.

රැස්වීම් කිහිපයකට සහභාගී වීමෙන් පසු එක් තැනත්තෙක් මෙසේ පැවසුවා. “මම රැස්වීම්වලට එනකොට මම දුප්පත් කියලා මට හිතෙන්නේ නැහැ.” ගිනියාවේ සිටින බොහෝදෙනෙක් වඩාත් උනන්දු වෙන්නේ එහි තිබෙන සැප සම්පත්වලටයි. ඒත් යෙහෝවා දෙවිට ප්‍රේම කරන අය සොයන්නේ සැබෑ දෙවි ගැන දැනගැනීමට උනන්දුවක් දක්වන මිනිසුන් නමැති සම්පතයි. අද ‘සියලු ජාතීන් අතරින් ආශා කරන දේවල්’ යෙහෝවා දෙවි පිහිටුවා තිබෙන සැබෑ නමස්කාරය වෙත හැරෙනවා.

[8වන පිටුවේ කොටුව]

ගිනියා-2005

වාර්තාගත වූ වැඩිම සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව: 883

බයිබල් පාඩම්: 1,710

සිහිකිරීමට පැමිණි සංඛ්‍යාව: 3,255

[8වන පිටුවේ සිතියම්]

(මුද්‍රිත පිටපත බලන්න)

ගිනියා

කොනක්‍රි

සියරා ලියොන්

ලයිබීරියාව

[9වන පිටුවේ පින්තූරය]

ඇල්බට් සහ ලූක්

[9වන පිටුවේ පින්තූරය]

කොනක්‍රිවල පිහිටි රාජ්‍ය ශාලාව

[10වන පිටුවේ පින්තූරය]

අර්නස්ටීන්

[10වන පිටුවේ පින්තූරය]

මාටින්

[10වන පිටුවේ පින්තූරය]

සෙයිනැබ්

[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

USAID