Skip to content

පටුනට යන්න

දෙවිව දැනහඳුනා ගන්න ඇත්තටම අපිට පුළුවන්ද?

දෙවිව දැනහඳුනා ගන්න ඇත්තටම අපිට පුළුවන්ද?

දෙවිව දැනහඳුනා ගන්න ඇත්තටම අපිට පුළුවන්ද?

‘සදාකාල ජීවනය නම් මේය. එනම් ඔවුන් විසින් එකම සැබෑ දෙවි ගැන දැනුම ලබාගැනීමයි.’—යොහන් 17:3.

“දෙවිගේ ආත්මික සම්පත් මෙන්ම ප්‍රඥාවත් දැනුමත් කොතරම් ගැඹුරුද! ඔහුගේ විනිශ්චයන් සොයා දැනගැනීමත්, ඔහුගේ මාර්ග තේරුම්ගැනීමත් කොතරම් අමාරුද!” කියා පළමු සියවසේ විසූ යේසුස්ගේ අනුගාමිකයෙකු වූ පාවුල් පැවසුවා. (රෝම 11:33) දෙවි සතු ප්‍රඥාව හා දැනුම මිනිසුන් වන අපිට නම් කොහෙත්ම සොයා දැනගන්න බැහැයි කියා අපි නිගමනය කළ යුතුද? ඇත්තටම අපිට දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් දැනගන්න බැරිද?

ආගම පිළිබඳ දාර්ශනික මත දරන අය විශ්වාස කරන්නේ මිනිසුන්ට දෙවිව හරි හැටි දැන හඳුනාගන්න බැහැ කියායි. මේ මතය ගැන එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. ‘දෙවිව අපිට දැනගන්න බැහැ. දෙවිට නමක් දීමෙන් හා ඔහු ගැන විස්තර කිරීමෙන් සිදු වන්නේ සීමාවන් ඇති වීමයි. දෙවි සියලු දේට වඩා උසස් නිසා එවැනි සීමාවන් දැමිය නොහැකියි. මිනිසුන්ට දෙවි ගැන දැනුම ලබාගත නොහැකියි.’ *The Encyclopedia of Religion.

නිව්ස්වීක් සඟරාවට අනුව ආගමක් අදහන්නේ නැති සමාජවල වෙසෙන බොහෝදෙනෙක් “අලුත් ආගමික මතයක්” දරන්න පටන්ගෙන තිබෙනවා. ඒ මතය නම් “සත්‍යය කියා දෙයක් නැත. තිබෙන එකම සත්‍යය එයයි.”

කෙසේවෙතත්, ජීවිතයේ අරමුණ සම්බන්ධයෙන් පැන නඟින ප්‍රශ්නවලට උත්තර ලැබී නැති නිසා බොහෝදෙනෙක් තුළ කලකිරීමක් ඇති වී තිබෙනවා. මේ අය අද සමාජයේ බහුලව දකින්න තිබෙන දුප්පත්කම, ලෙඩ රෝග හා ප්‍රචණ්ඩ ක්‍රියා ගැන දුක් වෙනවා. එමෙන්ම ජීවිතයේ අස්ථිරභාවය ගැන බොහෝ සේ කලකිරීමට පත් වී සිටිනවා. ජීවිතයේ අරමුණ හා සම්බන්ධ ප්‍රශ්නවලට උත්තර දැනගන්න ඔවුන් තුළ මහත් ආශාවක් තිබුණත් සෑහීම ගෙන දෙන උත්තර නැති නිසා ඔවුන් සිතන්නේ ඇත්තටම එවැනි ප්‍රශ්නවලට උත්තර සොයාගත නොහැකි බවයි. මේ නිසා එවැනි අය බොහෝදෙනෙක් තමන් අයත්ව සිටින ආගම අත්හැර දමා තමන්ට හොඳයි කියා සිතන ආකාරයට දෙවිට නමස්කාර කරන්න පෙලඹී තිබෙනවා. කෙසේවෙතත් ඔවුන් දෙවි කෙනෙක් සිටින බවට වූ අදහස අත්හැර නැහැ.

බයිබලයේ අදහස

බයිබලයේ සඳහන් දේවල් සොයා බැලීමට උනන්දුවක් දක්වන, දෙවිගේ නියෝජිතයා හැටියට යේසුස්ව පිළිගන්න අය යම් කාරණා පිළිබඳව බයිබලයේ දරන අදහස දැනගැනීමට කැමතියි. යේසුස් එක් අවස්ථාවකදී ‘පළල් හා බොහෝ ඉඩ කඩ ඇති විනාශය කරා යන පාරක්’ හා ‘ජීවනය කරා යන පටු පාරක්’ ගැන කතා කළා. මේ එක් එක් පාරේ ගමන් කරන අයව හඳුනාගත හැකි ආකාරය ගැන ඔහු මෙසේ පැවසුවා. “ඔවුන්ගේ පලවලින් ඔබ ඔවුන්ව ඇඳිනගන්නහුය.” මේ පලවලට අයත් වන්නේ මොනවාද? මේවාට අයත් වන්නේ ඔවුන් පවසන දේවල් නොව ඔවුන් කරන දේවල් බව යේසුස් පැවසූ මේ වදන්වලින් පැහැදිලි වෙනවා. “ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා මිස, මට ‘ස්වාමිනි, ස්වාමිනි’ කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය.” තමන් දෙවිව විශ්වාස කරනවා කියා පැවසීම පමණක් ප්‍රමාණවත් නැහැ. අපි දෙවිගේ කැමැත්ත කරන්නත් අවශ්‍යයි. දෙවිගේ කැමැත්ත කරන්න නම් අපි මුලින්ම ඔහුගේ කැමැත්ත ගැන නිවැරදි දැනුමක් ලබාගත යුතුයි.—මතෙව් 7:13-23.

දෙවි ගැන දැනුම ලබාගන්න මිනිසුන්ට පුළුවන් කියා යේසුස් මේ වදන්වලින් සරලව පෙන්වා දුන්නා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) දෙවි හෙළි කරන ප්‍රඥාව හා දැනුම අපිට ලබාගන්න පුළුවන්. එහෙත් එය ලබාගන්න පුළුවන් වන්නේ අපි එය සෙවීමට වෑයමක් දරනවා නම් පමණයි. එසේ වෑයම් කරන අයට දෙවි ත්‍යාගයක් ලබා දෙනවා. ඒ ත්‍යාගය වන්නේ සදාකාල ජීවනයයි. එසේනම් දෙවි ගැන දැනගැනීමට දරන වෑයම මොන තරම් වටිනවාද!

[පාදසටහන]

^ 4 ඡේ. හින්දු, ටාඕ හා බෞද්ධ යන පෙරදිග ආගම් බොහොමයක ඒ හා සමාන අදහස් දරනවා.

[4වන පිටුවේ පින්තූරය]

ජීවනය කරා යන පාර පටුයි කියා යේසුස් පැවසුවා