රෝමයේ මහ මාර්ග පැරණි තාක්ෂණයේ විශිෂ්ටත්වය කියාපායි
රෝමයේ මහ මාර්ග පැරණි තාක්ෂණයේ විශිෂ්ටත්වය කියාපායි
රෝමයේ වැඩිම පෞරාණික වටිනාකමක් තිබෙන දෙය ලෙස සලකන්නේ කුමක්ද? සමහරවිට රෝමයේ නටබුන් අතර තිබෙන විශාල ප්‍රේක්ෂකාගාර කියා ඔබ සිතිය හැකියි. එහෙත් රෝමවරුන් පුරාණයේ කළ ඉදි කිරීම්වලින් දිගු කාලයක් පුරා පැවතී තිබෙන ඉදි කිරීම ගැන කතා කරන විට එහි මාර්ග ගැන අපට සඳහන් නොකර සිටිය නොහැකියි.
ඉපැරණි මාර්ග මිනිසුන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වී තිබෙනවා. භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහාත් හමුදා භටයන්ට ගමන් කිරීම සඳහාත් පුරාණ රෝමයේ මාර්ග යොදාගනු ලැබුවා. ඒ විතරක් නොවෙයි, ක්‍රිස්තියානි ආගම ඇතුළුව ‘ආගමික, දාර්ශනික සහ කලාව හා සම්බන්ධ අදහස්’ පතුරුවා හැරීමටද ඒ මාර්ග ඉවහල් වුණා කියා ශිලා ලේඛනඥයෙකු වන රොමොලො ස්ටාකොලි සඳහන් කරනවා.
පුරාණ රෝමයේ මාර්ග එදා පවා සලකනු ලැබුවේ තාක්ෂණික විස්කමක් ලෙසයි. රෝමවරුන් සියවස් ගණනාවක් පුරා දසත විහිදුණු කිලෝමීටර් 80,000කට වඩා වැඩි මහ මාර්ග පද්ධතියක් ඉදි කළා. එම මාර්ග දැන් රටවල් 30කට වැඩි ගණනකට අයත් වෙනවා.
මුලින්ම ඉදි කළ මහ මාර්ගය හඳුන්වනු ලැබුවේ ඇපියන් මාර්ගය කියායි. එය රෝමයේ සිට අතිවැදගත් වරායක් පිහිටා තිබූ බ්‍රින්ඩිසි නම් නගරය දක්වා දිව ගියා. මෙය කොතරම් විශිෂ්ටද කියනවා නම් එය සැලකුවේ ‘රජ මාවතක්’ කියායි. මෙම මහ මාර්ගය ඇපියන් කියා හැඳින්වූයේ ක්‍රි.පූ. 312දී පමණ රෝම නිලධාරියෙක් වූ ඇපියස් ක්ලෞදියස් එය ඉදි කිරීම ආරම්භ කළ නිසයි. එමෙන්ම වියා සලාරියා හා වියා ෆ්ලැමිනියා කියා හැඳින්වූ මහ මාර්ග දෙකක්ද තිබුණා. මේ මාර්ග දෙකම රෝමයේ නැඟෙනහිර දෙසින් පිහිටි අද්‍රියාතික් මුහුද දක්වා විහිදුණා. එම මාර්ග නිසා බෝල්කන් අර්ධද්වීපයේ පිහිටි රටවලට මෙන්ම රයින් හා ඩැන්යුබ් ගංඟා ගලා යන ප්‍රදේශ අයත් රටවලට ගමන් කිරීමට හැකි වුණා. වියා ඔරෙලියා කියා හැඳින්වූ මහ මාර්ගය රෝමයේ උතුරු දෙසින් පිහිටි ගෝල් සහ අයිබීරියන් අර්ධද්වීපය දක්වා විහිදුණු අතර වියා ඔස්ටැන්සිස් මහ මාර්ගය ඔස්ටියා දක්වා විහිදුණා. රෝමයේ සිට අප්‍රිකාවට ගමන් කිරීමේදී පාවිච්චි කළ ප්‍රධාන වරාය පිහිටියේ ඔස්ටියාවෙයි.
රෝමයේ විශාලතම ඉදි කිරීමේ ව්‍යාපෘතිය
රෝමවරුන් අලුත් මහ මාර්ග ඉදි කිරීමට කලින් පැරණි මාර්ග තිබුණා. ඔවුන් ඒවා වැදගත්කොට සැලකුවා. පසුකලෙක රෝම නගරය පිහිටවනු ලැබුවේ පැරණි මාර්ග රැසක් හමු වූ ස්ථානය වන ටයිබර් ගඟ අසලයි. පැරණි පොත්පත්වල සඳහන් වන ආකාරයට රෝමවරුන් පැරණි මාර්ග අලුත්වැඩියා කිරීම සඳහා කාතේජ්වරුන්ගේ ශිල්ප ක්‍රම යොදාගත්තා. එහෙත් කාතේජ්වරුන් මාර්ග ඉදි කිරීමේදී ඉට්‍රස්කන්වරුන්ගේ ශිල්ප ක්‍රමය යොදාගත්තා විය හැකියි. මොවුන් ඉදි කළ මාර්ග ගැන සාක්ෂි අදටත් දකින්න තිබෙනවා. එමෙන්ම රෝම නගරය ඉදි කිරීමට කලින් එම ප්‍රදේශය පුරා කුඩා පාරවල් රාශියක් තිබුණා. මේ කුඩා පාරවල් සතුන්ව තණ පිට්ටනි කරා ගෙන යෑමට පාවිච්චි කරන්න ඇති. වියළි කාලයේදී අධික දූවිල්ල නිසත් වැසි කාලයේදී ඒවා මඩවීම නිසත් මේ පාරවල ගමන් කිරීම දුෂ්කර වුණා. රෝමවරුන් බොහෝවිට එම කුඩා පාරවල් අලුත්වැඩියා කර මහ මාර්ග ඉදි කළා.
රෝමයේ මාර්ග ඉතා හොඳින් සැලසුම් කර කල්පවතින ලෙසත් අලංකාර ලෙසත් ඉදි කළා. නගර දෙකක් අතර මාර්ගයක් ඉදි කිරීමේදී හැකි තරම් කෙටිව හා කෙළින් එම මාර්ගය ඉදි කිරීමට ඔවුන් උත්සාහ කළා. කඳු හරහා මාර්ග ඉදි කිරීමට සිදු වූ විට
ඔවුන් කළේ හිරු එළිය වැඩියෙන්ම ලැබෙන දිශාවෙන් ඒ මාර්ගය තැනීමයි. මෙසේ කිරීමෙන් එම මාර්ගයේ ගමන් කළ අයට අහිතකර කාලගුණය නිසා මුහුණ පෑමට සිදු වූ අපහසුතාවන් අඩු කරගැනීමට හැකි වුණා.රෝමවරුන් මහ මාර්ග ඉදි කළේ කෙසේද? ඔවුන් විවිධ ක්‍රම උපයෝගි කර ගත්තත් පුරාවිද්‍යාත්මක කැණීම්වලින් පෙනී යන ආකාරයට එක් මූලික ක්‍රමයක් ගැන අපි සලකා බලමු.
මුලින්ම මිනුම්දෝරුවන් මාර්ගය සලකුණු කළා. ඉන්පසුව පාර කැපීමේ වෙහෙසකර කාර්යය සොල්දාදුවන්, කම්කරුවන් හා දාසයන්ට පවරනු ලැබුවා. පාර දෙපස කාණු දෙකක් කපනු ලැබුවා. මේ කාණු දෙක අතර අවම වශයෙන් අඩි අටක පරතරයක් තිබුණා. නමුත් එම පරතරය සාමාන්‍යයෙන් අඩි 14ක් වූ අතර වංගුවලදී එය ඊටත් වඩා වැඩි වුණා. දෙපස තිබූ පදික වේදිකාව ඇතුළුව සාදා නිම කළ සමහර මාර්ගවල පළල අඩි 33ක් වුණා. එම කාණු දෙක අතර තිබූ පස් ඉවත් කිරීමෙන් පසු තද පසක් හමු වූ විට ඒ මත විවිධ ද්‍රව්‍යය දමා පුරවනු ලැබුවා. යටම තට්ටුවට විශාල ගල් හෝ කළු ගල් දමා සමතලා කළා. ඉන්පසු ඊට උඩින් කුඩා ගල් දමනු
ලැබුවා. සමහර අවස්ථාවලදී එම ගල් බදාම දමා සවි කළා. අනතුරුව ඒ මත ගල් කැට දමා තද කරනු ලැබුවා.පුරාණ රෝමයේ සමහර මාර්ග බොරළු කැට දමා තලා නිම කර තිබුණා. නමුත් මහ මාර්ග ඊට වඩා වෙනස්. ඒවා සෑදීමට එක් එක් ප්‍රදේශවලට ආවේණික විශාල ගල් යොදාගත්තා. එම ගල් මහ මාර්ගය මතු පිට යම් හැඩයකට අල්ලා තිබුණා. මේ නිසා වැසි ජලය පහසුවෙන් මාර්ගයේ දෙපස තිබූ කාණුවලින් ගලා ගියා. මේ සුවිශේෂි ක්‍රමය නිසා එදා සෑදු සමහර මහ මාර්ග අද පවා දක්නට තිබෙනවා.
ඇපියන් මාර්ගය ඉදි කිරීමෙන් වසර 900කට පමණ පසුව බයිසැන්තියානු ඉතිහාසඥයෙක් වූ ප්‍රොකෝෆියස් එය හැඳින්වූයේ “අතිවිශිෂ්ට” ඉදි කිරීමක් කියායි. එම මාර්ගයේ අතුරා තිබූ පැතලි ගල් ගැන ඔහු මෙසේ සඳහන් කළා. “කොතරම් කාලයක් ගත වී තිබුණත්, දිනපතා කොතරම් කරත්ත ප්‍රමාණයක් ගමන් කර තිබුණත් එහි තිබූ සුමට ගතියට හා පෙනුමට කිසිම හානියක් සිදු වී තිබුණේ නැහැ.”
මෙම මාර්ග ගංඟා පසු කර යෑමට සිදු වූ අවස්ථාවලදී පාලම් ඉදි කරනු ලැබුවා. පුරාණ රෝමවරුන් මේ පාලම් ඉදි කිරීමේදී යොදාගත් දක්ෂ ශිල්ප ක්‍රම අද දක්වා තිබෙන එම පාලම්වලින් දැකගත හැකියි. රෝමයේ මහ මාර්ග ඉදි කිරීමේදී තැනූ උමං මාර්ග එතරම් ප්‍රසිද්ධියක් උසුලන්නේ නැති වුණත් ඒවා ඉදි කිරීමේ දුෂ්කර කාර්යය ගැන සිතන විට ඒ කාලයේ තිබූ ශිල්ප ක්‍රම මොන තරම් විශිෂ්ටද කියා සිතාගත හැකියි. ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “රෝමවරුන්ගේ ඉංජිනේරු ශිල්ප ක්‍රම . . . සියවස් ගණනාවක් යන තෙක් ලෝකයේ විශිෂ්ටතම ශිල්ප ක්‍රමය ලෙස පැවතුණා.” මීට එක් උදාහරණයක් වන්නේ වියා ෆැමිනියා මාර්ගය ඉදි කිරීමේදී ෆර්ලෝහිදී තැනූ උමං මාර්ගයයි. ක්‍රිස්තු පූර්ව 78 තරම් ඈත අතීතයේදී ඉංජිනේරුවන් හොඳින් සැලසුම් කර කන්දක් හරහා අඩි 130ක් දිග අඩි 16ක් පළල හා අඩි 16ක් උස උමඟක් සෑදුවා. ඒ කාලයේ තිබුණු උපකරණ ගැන සිතද්දී ඇත්තෙන්ම එය විශ්මිත වැඩක් කියා කිව හැකියි. එවැනි මාර්ග පද්ධතියක් ඉදි කිරීම මිනිසා කර තිබෙන නිර්මාණ අතරින් දැවැන්ත නිර්මාණයක් කියා පැවසිය හැකියි.
ප්‍රයෝජනවත් වූ අයුරු
හමුදා භටයන්, වෙළඳුන්, ධර්ම දේශකයන්, සංචාරකයන්, නළුවන් සහ ග්ලැඩියේටර්වරුන් යන සෑම කෙනෙක්ම මේ මාර්ගවල ගමන් කළා. පයින් ගමන් කළ අයට දවසකට කිලෝමීටර් 25 සිට 30ක් අතර දුරක් ගමන් කිරීමට හැකි වුණා. මෙහි ගමන් කරන අයට තමන් කොපමණ දුරක් ගමන් කර තිබෙනවා කියා දැනගැනීමට සැතපුම් කණු උපකාරවත් වුණා. මෙම සැතපුම් කණු බොහෝ විට සිලින්ඩරාකාර හැඩයෙන් යුක්ත වූ අතර සෑම අඩි 4,854කින් පසු මෙවැනි කණුවක් දැකගන්න තිබුණා. එම දුර ප්‍රමාණය රෝමයේ සැතපුමකට සමාන වුණා. මෙහි
ගමන් කරන අයට විවේක ගැනීමට, අශ්වයන්ව මාරු කිරීමට, ආහාරයට යමක් ලබා ගැනීමට හෝ නවාතැන් ගැනීමට ස්ථාන සාදා තිබුණා. මෙම ස්ථාන පසු කාලයකදී කුඩා නගර ලෙස දියුණු වුණා.ක්‍රිස්තුස්ගේ උපතින් ටික කලකට පසුව රෝම අධිරාජ්‍යයා වූ සීසර් ඔගස්ටස් රෝමයේ මාර්ග නඩත්තු කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කෙරුවා. එක් එක් නිලධාරියාට මාර්ගයක් හෝ මාර්ග කිහිපයක් නඩත්තු කිරීමේ වගකීම පැවරුවා. ඔහු නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක රනින් නිමවූ සැතපුම් කණුවක් (miliarium aureum) ඉදි කළා. මෙම කණුවේ දිලිසෙන තඹ අකුරු කොටා තිබුණු අතර මෙය සැලකුවේ රෝමයේ සියලුම මාර්ග අවසන් වන ස්ථානය ලෙසයි. “සියලුම මාර්ග ගමන් කරන්නේ රෝමයටයි” යන කියමන ඇතිවීමට හේතු වූයේ එම සැතපුම් කණුවයි. ඔගස්ටස් අධිරාජ්‍යයා කළ තවත් දෙයක් වූයේ රෝම අධිරාජ්‍ය පුරා පැතිරි ගිය මාර්ග ඇතුළත් සිතියම් ප්‍රදර්ශනය කිරීමයි. ඒ කාලයේ සිටි මිනිසුන්ගේ අවශ්‍යතාවන්ට හා උසස්ම ප්‍රමිතියට අනුව රෝමයේ මහ මාර්ග ඇතුළුව මාර්ග පද්ධතිය ඉදි කර තිබුණා.
පුරාණ සංචාරකයන් දුර ගමන් යන විට මාර්ග සිතියම් පාවිච්චි කළා. නවාතැන් පොළවල් අතර දුර ප්‍රමාණය ගැනත් එවැනි තැන්වල තිබෙන පහසුකම් ගැනත් එම සිතියම්වලින් දැනගත හැකි වුණා. එහෙත් මේ සිතියම්වල මිල අධික වූ නිසා සෑම කෙනෙකුටම ඒවා ලබාගත හැකි වුණේ නැහැ.
කෙසේවෙතත් මුල් ක්‍රිස්තියානි දේවසේවකයන් බොහෝ දුර ගමන් කළා. ඔවුන් එසේ කරන්න කලින් හොඳින් සැලසුම් කළා. ග්‍රීෂ්ම ඍතුවේදී මධ්‍යධරණි මුහුදේ සුළං හැමුවේ බටහිර දෙසින් නැඟෙනහිර දෙසටයි. එනිසා නැඟෙනහිර දිශාව දෙසට ගමන් කරද්දී වෙනත් අය මෙන් පාවුල්ද ගමන් කළේ රුවල් නැවෙන්. (ක්‍රියා 14:25, 26; 20:3; 21:1-3) ඔහු බටහිර දෙසට ගමන් කරද්දී බොහෝවිට ගමන් කළේ රෝමවරුන් සෑදු මාර්ගවලයි. මෙයාකාරයට ඔහු දෙවන හා තුන්වන මිෂනාරී ගමන් සැලසුම් කළා. (ක්‍රියා 15:36-41; 16:6-8; 17:1, 10; 18:22, 23; 19:1) * පාවුල් ක්‍රි.ව. 59දී ඇපියන් මාර්ගය ඔස්සේ රෝමයට ගමන් කර අප්පියස්ගේ වෙළඳපොළ අසලදී සෙසු ඇදහිලිවන්තයන්ව හමු වුණා. එම වෙළඳපොළ පිහිටු තිබුණේ රෝමයේ සිට කිලෝමීටර් 74ක් ගිනිකොන දෙසින්. තවත් පිරිසක් ඔහුව හමුවීමට රෝමයට කිලෝමීටර් 14ක් නුදුරින් පිහිටි තුන් තානායම අසල බලා සිටියා. (ක්‍රියා 28:13-15) ක්‍රිස්තු වර්ෂ 60 පමණ වන විට “ලොව පුරා” ශුභාරංචිය දේශනා කර තිබෙනවා කියා පාවුල්ට පැවසීමට හැකි වුණා. මීට එක් හේතුවක් වූයේ එදා පැවති මහ මාර්ග විය හැකියි.—කොලොස්සි 1:6, 23.
අපි සලකා බැලූ කරුණුවලින් පෙනී යන්නේ පුරාණ රෝමවරුන් ඉදි කළ මහ මාර්ග ඔවුන්ගේ සුවිශේෂී තාක්ෂණික ක්‍රමවලට සාක්ෂියක් බවයි. දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ව්‍යාප්ත කිරීමටද ඒවා ඉවහල් වී තිබෙන බවත් පෙනී යනවා.—මතෙව් 24:14.
[පාදසටහන]
^ 18 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ‘ඒ සරුසාර දේශය දැකගනිමු’ නමැති සිතියම් පොතේ 33වන පිටුව බලන්න.
[14වන පිටුවේ පින්තූරය]
රෝමයේ පිහිටි සැතපුම් කණුවක්
[15වන පිටුවේ පින්තූරය]
රෝමයට ආසන්නව පිහිටි ඇපියන් මහ මාර්ගය
[15වන පිටුවේ පින්තූරය]
ඉතාලියේ ඔස්ටියාවේ පැරණි මාර්ගයක්
[15වන පිටුවේ පින්තූරය]
ඔස්ට්‍රියාවේ පුරාණ කරත්ත පාරක්
[15වන පිටුවේ පින්තූරය]
ජොර්දානයේ සැතපුම් කණු සහිත පැරණි රෝම මාර්ගයක කොටසක්
[16වන පිටුවේ පින්තූරය]
ඇපියන් මහ මාර්ගය අසල තිබෙන සොහනක නටඹුන්
[16වන පිටුවේ පින්තූරය]
මාර්ෂ් ප්‍රදේශයේ හරහා යන ෆ්ලැමිනියා මහ මාර්ගයේ ෆර්ලෝ උමඟ
[16, 17වන පිටුවේ පින්තූරය]
ඉතාලියේ රිමිනි නගරයේ එමිලියා මහ මාර්ගයේ තිබෙන ටයිබීරියස් පාලම
[17වන පිටුවේ පින්තූරය]
කාර්ය බහුල අප්පියස්ගේ වෙළඳපොළදී පාවුල් සෙසු නමස්කාරයන්ව හමු වුණා
[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Far left, Ostia: ©danilo donadoni/Marka/age fotostock; far right, road with mileposts: Pictorial Archive (Near Eastern History) Est.