Skip to content

පටුනට යන්න

එකමුතුව ගොඩනැඟීමෙන් දෙවිට ප්‍රශංසා කිරීම

එකමුතුව ගොඩනැඟීමෙන් දෙවිට ප්‍රශංසා කිරීම

එකමුතුව ගොඩනැඟීමෙන් දෙවිට ප්‍රශංසා කිරීම

සොලොමන් දූපත්වල සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් අලුතෙන්ම ගොඩනැඟූ රාජ්‍ය ශාලාව දෙස එහි සිටින ජනයාගේ නෙත ගැටෙන්න පටන්ගත්තා. එය දුටු එක් ස්ත්‍රියක් මෙහෙම කිව්වා. “අපේ මේ පල්ලිය හදන්න යන සල්ලි එකතු කරගන්න කොච්චර නම් දේවල් කරලා තියෙනවද? පල්ලියට යන එන අයටත් අපි ඒ ගැන කියල තියෙනවා. කෝ? අපිට තවමත් බැරි වුණානේ ඒකට යන සල්ලි එකතු කරගන්න. ඇත්තටම ඔයගොල්ලෝ කොහොමද ඒකට සල්ලි හොයාගත්තේ?” ඇය මෙම ප්‍රශ්නය යොමු කළ යෙහෝවාගේ සාක්ෂිකාරිය මෙහෙම පිළිතුරු දුන්නා. “ලෝකය පුරාම ඉන්න යෙහෝවා දෙවිට නමස්කාර කරන අය එකමුතු පවුලක් වගෙයි. ඉතින් අපිට අලුත් රාජ්‍ය ශාලාවල් හදන්න ඕන වුණාම අපේ ඒ සභාවල ඉන්න සහෝදර සහෝදරියන් අවශ්‍ය දේවල් පරිත්‍යාග කරනවා. ඒකට හේතුව තමයි, අපේ දෙවි යෙහෝවා අපිට උගන්නලා තියෙනවා අපි කරන හැම දෙයකදීම එකමුතුව දේවල් කරන්න කියලා.”

යෙහෝවාගේ සාක්ෂිකරුවන් මොන දේ කළත් එයින් ඔවුන් අතර ඇති එකමුතුකම කැපීපෙනෙනවා. ඔවුන් දසදහස් ගණන් රාජ්‍ය ශාලා ගොඩනැඟීමේදීත් එය මනාකොට දැකගන්න පුළුවන්. නමුත් එවැනි ගොඩනැඟීම් කටයුතුවලදී ඔවුන් තුළ දක්නට තිබෙන එම එකමුතුකම අද ඊයේ ඇති වූ දෙයක් නොවෙයි. එය දෙවිගේ ජනයා තුළ අවුරුදු දහස් ගණනාවක් පුරා පැවත එන්නක්. එහෙම කියන්නේ ඇයි?

දේවමාලිගාව සහ මණ්ඩපය ඉදි කිරීම

අවුරුදු 3,500කටත් වඩා ඉහතදී ඊශ්‍රායෙල්වරුන් සම්බන්ධයෙන් යෙහෝවා දෙවි මෝසෙස්ට මෙහෙම කිව්වා. “මා ඔවුන් අතරේ වාසය කරන පිණිස ඔවුහු ශුද්ධස්ථානයක් සාදත්වා!” (නික්මයාම 25:8) මෙම ව්‍යාපෘතියේ සැලැස්ම සම්බන්ධයෙන් යෙහෝවා දෙවි තවදුරටත් මෙවැනි උපදෙස් දුන්නා. “මා විසින් ඔබට පෙන්වන සියල්ල ලෙස එනම් මණ්ඩපයෙහි ආදර්ශයද එහි සියලු බඩුවල ආදර්ශයද ලෙස එය සාදන්න.” (නික්මයාම 25:9) ඉන්පසු ගොඩනැඟිය යුතු එම ශුද්ධස්ථානය පිළිබඳ ආකෘතියේ තොරතුරු, එහි භාවිත කරන බඩුබාහිරාදිය සහ ඊට අදාළ අමතර විස්තරද යෙහෝවා දෙවි සැපයුවා. (නික්මයාම 25:10–27:19) “ශුද්ධස්ථානය” හෝ මණ්ඩපය කියා හැඳින්වූ එම ස්ථානය මුළු ඊශ්‍රායෙල් සෙනඟගේම සැබෑ නමස්කාරයේ කේන්ද්‍රස්ථානය වීමට නියමිතව තිබුණා.

මෙම ව්‍යාපෘතිය සඳහා හරියටම කීදෙනෙක් සහභාගි වුණාද කියා අපි දන්නේ නැහැ. නමුත් ඒ සඳහා හැකි අයුරින් උදව් උපකාර කිරීමට සියල්ලන්ටම ආරාධනා කළා. ඒ ගැන මෝසෙස් ඔවුන්ට කිව්වේ මෙහෙමයි. “ඔබ අතරෙන් යෙහෝවාට පූජාවක් ගෙනෙන්න. කැමති සිතක් ඇති කවරෙකු නමුත් යෙහෝවාට පූජාවක් පිණිස . . . ගෙනෙන්න.” (නික්මයාම 35:4-9) ඊශ්‍රායෙල්වරු ඊට ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? නික්මයාම 36:3 ඒ ගැන කියන්නේ මෙහෙමයි. “ඔවුහු ඊශ්‍රායෙල් පුත්‍රයන් ශුද්ධස්ථානයෙහි මෙහෙයේ කර්මාන්ත කිරීමට ගෙනාවාවූ පූජා සියල්ල මෝසෙස්ගෙන් ලබාගත්තෝය. සෙනඟද හැම උදයම සිය කැමැත්තෙන් තවත් පූජා ඔහු වෙතට ගෙනාවෝය.”

වැඩි දවසක් යන්නට පෙර එම ජනයා කැමැත්තෙන්ම පරිත්‍යාග කළ දේවල් ඉතා විශාල ප්‍රමාණයක් ගොඩගැහෙන්න පටන්ගත් අතර ඔවුන් නොනවත්වාම දේවල් රැගෙන එමින් සිටියා. එමනිසා කර්මාන්තයේ යෙදී සිටි මිනිසුන්ට සිද්ධ වුණා මෝසෙස්ට මෙහෙම කියන්න. “යෙහෝවා කරන්ට ආඥා කළ කර්මාන්ත මෙහෙවරට සෑහෙන පමණට වඩා සෙනඟ ගෙනෙති.” එවිට මෝසෙස් සෙනඟට කිව්වේ “ඔවුහු කඳවුර මුළුල්ලෙහි කිසි පුරුෂයෙකුවත් ස්ත්‍රියකවත් ශුද්ධස්ථානයට පූජා කරන පිණිස තවත් කිසි කර්මාන්තයක් නොකෙරේවයි” කියායි. හේතුව “ඔවුන්ට තිබුණු ද්‍රව්‍ය කර්මාන්ත සියල්ල කිරීමට සෑහී වැඩිව” තිබුණ නිසයි.—නික්මයාම 36:4-7.

ඊශ්‍රායෙල්වරුන්ගේ ත්‍යාගශීලීවන්තකම නිසා ශුද්ධස්ථානය අවුරුද්දකින් ගොඩනඟා හමාර කිරීමට ඔවුන්ට හැකි වුණා. (නික්මයාම 19:1; 40:1, 2) සැබෑ නමස්කාරය වෙනුවෙන් උපකාර කිරීමෙන් ඔවුන් යෙහෝවා දෙවිට ගෞරවය දැක්වූවා. (හිතෝපදේශ 3:9) පසු කාලයේදී ඔවුන්ට ඊටත් වඩා විශාල ගොඩනැඟීමක් කිරීමට නියමිතව තිබුණා. ගොඩනැඟීමේ දක්ෂතා තමන්ට තිබුණත් නැතත්, එම නව ගොඩනැඟීමේ ව්‍යාපෘතිය සඳහා තම දායකත්වය දීමට කැමැත්තෙන් සිටි සියල්ලන්ට ඒ සඳහා නැවතත් අවස්ථාව උදා වුණා.

කලින් සඳහන් කළ ශුද්ධස්ථානය ගොඩනඟා අවුරුදු 500කට පමණ පසු, ඊශ්‍රායෙල් ජනයා යෙරුසලමේ දේවමාලිගාව ගොඩනැඟීමේ කටයුතු පටන්ගත්තා. (1 රාජාවලිය 6:1) මෙම ගොඩනැඟිල්ල ඉතාමත් තේජවත් එකක් වීමට නියමිත වූ අතර, එය ශක්තිමත් ගල්වලින් සහ ලීවලින් ගොඩනැඟීමටද නියමිත වුණා. (1 රාජාවලිය 5:17, 18) දාවිත්ට දේවමාලිගාව ගොඩනැඟීමේ සැලැස්ම ලැබුණේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමෙනුයි. (1 ලේකම් 28:11-19) නමුත් දේවමාලිගාව ගොඩනැඟීමේ මූලිකත්වය ගැනීමට යෙහෝවා දෙවි තෝරාගත්තේ දාවිත්ගේ පුත්‍රයා වන සලමොන්වයි. (1 ලේකම් 22:6-10) එසේ වුණත් දාවිත් එම ව්‍යාපෘතියට තම සම්පූර්ණ සහයෝගය ලබාදුන්නා. ඒ සඳහා ඔහු එක්රැස් කළ දේවල් අතර ගල්, දැව මෙන්ම වෙනත් අමුද්‍රව්‍ය සහ ඔහුට අයිතිව තිබූ රන් රිදී විශාල ප්‍රමාණයක්ද ඔහු ඒ සඳහා පරිත්‍යාග කළා. ඒ පමණක් නෙවෙයි, ත්‍යාගශීලී වීමට ඔහු සෙසු ජනයාටද දිරිගැන්වූවා. ඔහු මෙහෙම ඇසුවා. ‘අද යෙහෝවා දෙවිට තමන්වම කැපකරන්න කැමති කවුද?’ ඊට ජනයාගේ ප්‍රතිචාරය වුණේ කුමක්ද?—1 ලේකම් 29:1-5.

ටික කලකට පසු සලමොන් දේවමාලිගාව ගොඩනඟන්න පටන්ගනිද්දී ඒ සඳහා රන් රිදී මෙට්‍රික් ටොන් දහස් ගණනක් ඔහු ඉදිරියේ තිබුණා. ඒ විතරක්ද, එකතු වී තිබුණු පිත්තල සහ යකඩ ප්‍රමාණය කොතරම්ද කිව්වොත් එහි ප්‍රමාණය කිරා දැනගත නොහැකි වුණා. (1 ලේකම් 22:14-16) අවසානයේදී සියලුම ඊශ්‍රායෙල්වරුන්ගේ සහයෝගයෙන් සහ විශේෂයෙන්ම යෙහෝවා දෙවිගේ උපකාරය ඔවුන්ට තිබුණ නිසා අවුරුදු හතහමාරකින් දේවමාලිගාවේ වැඩ අවසන් කළා.—1 රාජාවලිය 6:1, 37, 38.

‘සැබෑ දෙවිගේ ගෘහය’

කලින් සඳහන් කළ ශුද්ධස්ථානයත් ගොඩනැඟූ දේවමාලිගාවත් හැඳින්වූයේ ‘සැබෑ දෙවිගේ ගෘහය’ කියායි. (විනිශ්චයකාරයෝ 18:31; 2 ලේකම් 24:7) යෙහෝවා දෙවිට වාසය කිරීම සඳහා කිසි දිනක නිවසක් හෝ මාලිගාවක් අවශ්‍ය වී නැහැ. (යෙසායා 66:1) නමුත් ගොඩනැඟීම සඳහා දෙවි එවැනි සැලසුම් මිනිසුන්ට දුන්නේ ඔවුන්ගේම ප්‍රයෝජනය සඳහායි. සලමොන් රජ දේවමාලිගාව කැප කරන අවස්ථාවේදී ඒ ගැන පැවසුවේ මෙහෙමයි. “දෙවි සැබවින් පොළොවේ වසන්නේද? බැලුව මැනව, ඔබට ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඉඩ මදිය. මා විසින් ගොඩනැඟූ මේ ගෘහය ඊට වඩා කොපමණ මදිද?”—1 රාජාවලිය 8:27.

තම අනාගතවක්තෘ වන යෙසායා තුළින් යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. “මක්නිසාද මාගේ ගෘහය සෑම වර්ගයන්ට යාච්ඤා ගෘහයකැයි කියනු ලබන්නේය.” (යෙසායා 56:7) දේවමාලිගාවේදී ඔප්පු කළ පූජා සහ යාච්ඤාවලින් වගේම පැවැත් වූ මංගල්‍යවලින්ද යුදෙව්වන්ට සහ යුදෙව් නොවන අන්‍ය ජාතිකයන්ටත් යෙහෝවා දෙවිට වඩාත් ළං වීමට ඉන් අවස්ථාව සලසා දුන්නා. එමෙන්ම එහි නමස්කාර කිරීම නිසා ජනයාට දෙවි සමඟ මිත්‍ර වීමටත් දෙවිගේ ආරක්ෂාව ලැබීමටත් හැකි වුණා. දේවමාලිගාව කැප කරන විට සලමොන් කළ යාච්ඤාවෙන් එය සත්‍යයක් බව තහවුරු වෙනවා. ඔහු දෙවිට මුළු හදවතින්ම කළ ඒ යාච්ඤාවේ වචන 1 රාජාවලිය 8:22-53 සහ 2 ලේකම් 6:12-42 කියවීමෙන් ඔබට දැකගත හැකියි.

මේ වන විට පුරාණයේ සැබෑ දෙවි වෙනුවෙන් ගොඩනැඟූ ඒ ගෘහය විනාශ වී බොහෝ කලක් ගත වී තිබෙනවා. නමුත් සියලු ජාතීන්ට අයත් මිනිසුන් විසින් ඊටත් වඩා උසස් ආකාරයකින් දෙවිට නමස්කාර කරන කාලයක් වෙතට බයිබලය අපගේ අවධානය යොමු කරනවා. (යෙසායා 2:2) එදා තිබූ දේවමාලිගාවේ ඔප්පු කළ සත්ව පූජාවලින් යොමු දැක්වූයේ යේසුස් ක්‍රිස්තුස්ගේ පරිපූර්ණ ජීවිත පූජාවයි. මිනිසුන්ට යෙහෝවා දෙවිට වඩාත් ළංවීමට හැකි වෙන්නේ මේ නිසයි. (යොහන් 14:6; හෙබ්‍රෙව් 7:27; 9:12) අද දින යෙහෝවාගේ සාක්ෂිකරුවන් එම ශ්‍රේෂ්ඨ නමස්කාරයේ හවුල් වන අතර එසේ කිරීමට අන්‍යයන්ටද උපකාර කරමින් සිටියි.

නවීන දින ගොඩනැඟීම්

ලෝකය පුරාම සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් නමස්කාර කරමින් සිටින්නේ එකම සැබෑ දෙවිටයි. එම නමස්කාරකයන්ගේ ගණන වැඩි වෙනවාත් සමඟම ඔවුන් “බලවත් ජාතියක්” බවට පත් වෙනවා. (යෙසායා 60:22) යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන ඔවුන් නමස්කාර කිරීම සඳහා එකතු වන ස්ථානය හඳුන්වන්නේ රාජ්‍ය ශාලාව කියායි. * නමස්කාර කිරීම සඳහා එවැනි රාජ්‍ය ශාලා දහස් ගණනක් දැනටමත් ඔවුන් භාවිත කරමින් සිටින අතර තවත් ශාලා දහස් ගණනක අවශ්‍යතාවක් ඔවුන්ට තිබෙනවා.

එමනිසා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ රාජ්‍ය ශාලා ගොඩනැඟීම සඳහා “කැමැත්තෙන්” ඉදිරිපත් වෙයි. (ගීතාවලිය 110:3) නමුත් ඒ සඳහා ප්‍රමාණවත් කුසලතාවන් ඒ ප්‍රදේශවල සිටින සාක්ෂිකරුවන්ට නොතිබෙන්න පුළුවන්. එමෙන්ම සමහර ප්‍රදේශවල දෙවිට නමස්කාර කරන අයගේ සංඛ්‍යාව වැඩි වෙමින් තිබුණත් ඔවුන් හුඟක් දුප්පත් නිසා රාජ්‍ය ශාලාවක් ගොඩනැඟීමට නොහැකි තත්වයෙන් පසු වෙනවා විය හැකියි. එවැනි බාධක ජයගැනීමට 1999දී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය රාජ්‍ය ශාලා ගොඩනැඟීම සඳහා නව වැඩසටහනක් ආරම්භ කළා. ඒ තුළින් රාජ්‍ය ශාලා ගොඩනැඟීම සඳහා සහෝදර සහෝදරියන්ව පුහුණු කිරීමට දක්ෂතා ඇති සාක්ෂිකරුවන් දුර ප්‍රදේශවලට ගොස් තිබෙනවා. ඉන්පසු ඒ පුහුණුව ලැබූ අය තම ප්‍රදේශවලම ගොඩනැඟීමේ වැඩ කරගෙන යනවා. මේවායේ ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද?

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ජීවත් වන පහසුකම් අඩුවෙන් තිබෙන රටවල පවා අලුත්ම රාජ්‍ය ශාලා ගොඩනඟා තිබෙනවා. වර්ෂ 2006 පෙබරවාරි වන විට එවැනි රටවල රාජ්‍ය ශාලා 13,000කටත් වඩා ප්‍රමාණයක් ගොඩනඟා තිබෙනවා. එවැනි රාජ්‍ය ශාලා භාවිත කරන සමහර අයගේ අදහස් කිහිපයක් සලකා බලන්න.

“මීට ඉස්සර රැස්වීමට ආවේ 160ක් විතර. නමුත් අලුත් රාජ්‍ය ශාලාව හැදුවට පස්සේ ඒ ගාන 200ක් වෙනකං වැඩි වුණා. දැං වෙනකොට, ඒ කියන්නේ මාස හයකට පස්සේ 230 දක්වා වැඩිවීමක් තියෙනවා. මේකෙන් පේන්නේ මෙම ගොඩනැඟීම්වලට යෙහෝවා දෙවිගේ ආශීර්වාද තියෙනවා කියන එකයි.”—ඉක්වදෝර් නමැති රටේ චාරිකා අවේක්ෂකයෙක්.

“ගොඩක් කල් ඉඳලා මෙහෙ ඉන්න අය අහන දෙයක් තමයි ‘ඇත්තටම ඔයාලගේ ඔය පොත් පත්වල තියෙනවා වගේ රාජ්‍ය ශාලාවක් එහෙම හදන්නේ කවද්ද?’ යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙන්න, දැන්, අපිට හරිම ලස්සන රාජ්‍ය ශාලාවක් තියෙනවා. අපි මීට ඉස්සර රැස්වීම් තිබ්බේ අපේ සහෝදරයෙකුගේ කඩයකයි. එතකොට රැස්වීමට ආවෙ 30ක් විතර. හැබැයි අපේ අලුත් රාජ්‍ය ශාලාවේ තියපු පළමුවෙනි රැස්වීමට 110ක් ඇවිල්ලා හිටියා.”—උගන්ඩාහි පිහිටි සභාවකින්.

“අලුත් රාජ්‍ය ශාලාව හැදුවට පස්සේ අපි දැන් ඒ පැත්තේ දේශනා සේවය කරන්නේ හරිම ආශාවෙන්. අපි ගෙයින් ගෙට යද්දී වුණත්, අනිත් වෙලාවලදී වුණත් මේ පැත්තේ ඉන්න අය ඇහුම්කන් දෙන්නේ හරිම උනන්දුවෙන් කියලා ස්ථාවර පුරෝගාමි සහෝදරියන් දෙන්නෙක් කිව්වා. මේ දෙන්නා දැන් බයිබල් පාඩම් 17ක් පවත්වනවා. ඉන් වැඩි දෙනෙක් රැස්වීම්වලටත් එනවා.”—සොලොමන් දූපත්වල තිබෙන ශාඛා කාර්යාලයෙන්.

“මේ අලුත් රාජ්‍ය ශාලාව මුළු ගමටම ලොකු ගෞරවයක් වගේම ගම්මුත් ඒ ගැන හරි ආඩම්බරයෙන් කතා කරනවා කියලා එක පාස්ටර් කෙනෙක් කිව්වා. එතැනින් යන එන අයත් ඒ ශාලාවේ අලංකාරය ගැන කතා කරනවා. අපේ සහෝදරයන්ටත් සාක්ෂි දැරීමට මේක කදිම ප්‍රස්තාවක්. අපේ ලෝක ව්‍යාප්ත සහෝදරත්වය ගැන දැනගන්න හුඟ දෙනෙක් ඉන්නේ හරි කැමැත්තෙන්. අවුරුදු ගාණකට රැස්වීම්වලට ආපු නැති අය දැන් ආයෙත් නිතිපතා රැස්වීම්වලට එනවා.”—මියන්මාර්හි පිහිටි ශාඛා කාර්යාලයෙන්.

“එක සහෝදරියක් බයිබලය ගැන ඉගෙනගන්න කැමැත්ත දැක්වූ කෙනෙකුට ඇගේ ප්‍රදේශයේ ගොඩනඟමින් තිබෙන රාජ්‍ය ශාලාවක් බලන්න එන්න කියලා ආරාධනා කළා. ඒ ගැන ඔහු මෙහෙම කිව්වා ‘මං හිතුවේ එතැනදී මට ඇතුළට යන්න දෙන එකක් නැහැ කියලයි. නමුත් සාක්ෂිකරුවෝ මාව කරුණාවන්තව පිළිගත්තාම මට පුදුම හිතුණා. එතන හිටපු ගෑනු පිරිමි හැමදෙනාම වෙහෙස මහන්සි වෙලා වැඩ කළා. කවුරුත් නිකං බලාගෙන හිටියේ නැහැ. ඔවුන් හරි සතුටින්, එකමුතුව වැඩ කළා.’ පසුව ඒ පුද්ගලයා බයිබලය පාඩම් කරන්න කැමති වුණා වගේම රැස්වීම්වලට එන්නත් පටන්ගත්තා. ඊට පස්සේ ඔහු මෙහෙම කිව්වා. ‘මම දෙවියන් ගැන හිතපු විදිය වෙනස් කරගත්තා. මම දැන් දෙවිව හොඳින් අඳුරන නිසා දෙවිගෙන් ඈත් වෙන්නේ නම් නැහැ.’”—කොලොම්බියාහි පිහිටි ශාඛා කාර්යාලයෙන්.

අපගේ සහයෝගය ඉතා වැදගත්

රාජ්‍ය ශාලා ගොඩනැඟීම අපි දෙවිට කරන පරිශුද්ධ සේවයේ වැදගත් අංගයක්. ලෝපුරාම සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් මේ සඳහා මුදලින් සහ අනෙකුත් සම්පත්වලින් කරන උපකාර ඇත්තෙන්ම ප්‍රශංසාවට ලක් කළ යුතුයි. ඒ වගේම පරිශුද්ධ සේවයේ අනෙකුත් අංගයන්ද ඒ හා සමානව වැදගත් බව අපි මතක තබාගත යුතුයි. ඒවා අතර කලින් කලට ඇති වන ස්වාභාවික විපත්වලට ගොදුරු වන අපගේ සහෝදර සහෝදරියන්ට කරන උපකාරත් ඇතුළත්. බයිබලයේ තොරතුරු අඩංගු ප්‍රකාශන මුද්‍රණය කිරීම අපේ පරිශුද්ධ නමස්කාරයේ ප්‍රධාන අංගයක්. බයිබලයේ තොරතුරු අඩංගු සඟරාවක් හෝ පොතක් එය අගය කරන කෙනෙකුගේ අතට පත් වූ විට ඉන් ඇති වන ප්‍රතිඵල ගැන සාක්ෂිකරුවන් වන අපෙන් වැඩිදෙනෙක් අද්දැක තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. වෙනත් රටවල සේවය කරන අයට සහ පූර්ණ කාලීනව සේවය කරන අයට සහයෝගය දීම ඉතා වැදගත්. එවැනි ආත්ම පරිත්‍යාගී ක්‍රිස්තියානීන් මේ අන්තිම දවස්වල දේශනා කිරීමේ වැඩ ව්‍යාප්ත කිරීමේදී ප්‍රධාන වැඩ කොටසක් කරයි.

දේවමාලිගාව ගොඩනැඟීමේදී ඊට පරිත්‍යාග කළ අය අද්දැක්කේ මහත් ප්‍රීතියක්. (1 ලේකම් 29:9) අද දිනත් එය සත්‍යයක්. සැබෑ නමස්කාරය වෙනුවෙන් අපි පරිත්‍යාග කරන විට අපිත් ඒ වගේ මහත් සතුටක් ලබනවා. (ක්‍රියා 20:35) රාජ්‍ය ශාලා අරමුදල වෙනුවෙන් තබා ඇති පෙට්ටියටත් ලෝක ව්‍යාප්ත වැඩ සඳහා ඇති පෙට්ටියටත් සම්මාදම් දැමීමෙන් හා රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමට දායක වන වෙනත් කාර්යයන්වලට අතහිත දීමෙන් අපට එම සතුට අද්දැකිය හැකියි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් අද දින සැබෑ නමස්කාරයේ එක්සත්ව කටයුතු කරන ආකාරය හරිම විශිෂ්ටයි. එමනිසා අප සියලුදෙනාම සැබෑ නමස්කාරය වෙනුවෙන් අපගේ සහයෝගය පළ කිරීමෙන් ඒ සන්තෝෂය අද්දකිමු.

[පාදසටහන]

^ 16 ඡේ. “රාජ්‍ය ශාලාව” යන වචනයේ ආරම්භය දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත Jehovah’s Witnesses—Proclaimers of God’s Kingdom යන පොතේ 319වන පිටුව බලන්න.—සිංහලෙන් නැත.

[20, 21වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දීමට සමහරුන් තෝරාගන්නා ක්‍රම

ලෝක ව්‍යාප්ත වැඩ සඳහා සම්මාදම්

“ලෝක ව්‍යාප්ත වැඩ සඳහා සම්මාදම්—මතෙව් 24:14” යනුවෙන් සඳහන් කර ඇති පෙට්ටිවලට සම්මාදම් දැමීම සඳහා බොහෝදෙනෙක් යම් මුදලක් වෙන් කරනවා.

සෑම මසකම සභාවන් මෙම මුදල ඒ රටේ ඇති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට යවයි. ස්වේච්ඡාවෙන් මුදල් සම්මාදම් කරන්න කැමති නම් කෙළින්ම යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300 යන ලිපිනයට හෝ ඔබ ජීවත් වෙන්නේ වෙනත් රටක නම් ඒ රටේ පිහිටි ශාඛා කාර්යාලයට එවන්න පුළුවන්. චෙක්පත් “වොච් ටවර්” යන නමට ලිවිය යුතුයි. රන් ආභරණ මෙන්ම වෙනත් වටිනා භාණ්ඩද පරිත්‍යාග කළ හැකියි. මේවා සම්පූර්ණයෙන්ම තෑග්ගක් ලෙස දී ඇති බව සඳහන් කරන කෙටි ලිපියක්ද මෙම සම්මාදම් සමඟ එවිය යුතුයි.

සැලසුම් කරන ලද පරිත්‍යාග

සම්පූර්ණ තෑග්ගක් හැටියට මුදල් ප්‍රදානය කරනවාට අමතරව, ලෝක ව්‍යාප්ත වැඩ සඳහා ප්‍රයෝජනවත් වන ආකාරයට පරිත්‍යාග කළ හැකි වෙනත් ක්‍රම තිබෙනවා. මෙයට පහත සඳහන් දේවල් ඇතුළත් වෙයි.

රක්ෂණ: ජීවිත රක්ෂණ ඔප්පුවක නැතහොත් විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කළ හැකියි.

බැංකු ගිණුම්: රටේ පවතින බැංකු නීතියට අනුව බැංකු ගිණුම්, තැන්පතු සහතික හෝ විශ්‍රාම දීමනා යනාදිය වොච් ටවර් සමිතියේ භාරකාරත්වය යටතේ පවත්වාගෙන යෑමට හෝ මරණින් පසු ඒවායේ හිමිකාරත්වය වොච් ටවර් සමිතියට ලැබෙන සේ ඒවා පවරා දෙන්න පුළුවන්.

ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච් ටවර් සමිතියට ප්‍රදානය කළ හැකියි.

නිශ්චල දේපොළ: විකිණිය හැකි නිශ්චල දේපොළ සම්පූර්ණ තෑග්ගක් හැටියට නැතහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරා තමාට එහි වාසය කළ හැකි වන පරිදි ජීවිත භුක්තිය දායකයා වෙත තබාගෙන, නේවාසික ඉඩමක් ලෙස පරිත්‍යාග කරන්න පුළුවන්. යම් නිශ්චල දේපොළක් පැවරීමට කලින් ඔබ එසේ කිරීමට අදහස් කරන බව ඔබේ රටේ ශාඛා කාර්යාලයට දැනුම් දිය යුතුයි.

පරිත්‍යාග කරන ලද වාර්ෂිකය: පරිත්‍යාග කරන ලද වාර්ෂිකය කියන්නේ යමෙක් තමා සතු මුදල් හෝ සුරැකුම්, වොච් ටවර් සමිතිය වෙත පැවරීමට කරන සැලැස්මක්. ඒ සඳහා දායකයාට හෝ දායකයා විසින් පත් කරන ලද අයට ජීවිතාන්තය දක්වාම වසරක් වසරක් පාසා යම් නිශ්චිත මුදලක් ගෙවනු ලබයි.

අන්තිම කැමති පත්‍ර හා විශ්වාස භාරයන්: නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච් ටවර් සමිතිය වෙත දේපොළ හෝ මුදල් පවරා දීමට හෝ විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කිරීමට පුළුවන්.

කුමන ආකාරයකින් හෝ පරිත්‍යාග කිරීමට සතුටු අයට, ඉහත සඳහන් ලිපිනයට හෝ ඔබ වෙසෙන රටෙහි තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ඒ බව දන්වන්න පුළුවන්. මෙම සැලසුම්වලට සම්බන්ධ ලියවිලිවල පිටපතක් සමිතියට ලබා දිය යුතුයි.

[18වන පිටුවේ පින්තූරය]

අප සියල්ලන්ගේ එක්සත් වෑයම නිසා ලොව පුරා අලංකාර රාජ්‍ය ශාලා ගොඩනඟන්න හැකි වී තිබෙනවා

[18වන පිටුවේ පින්තූරය]

ඝානාවේ අලුත් රාජ්‍ය ශාලාවක්