Skip to content

පටුනට යන්න

ඔබ පරිශුද්ධ දේවල් සලකන්නේ දෙවි සලකන ආකාරයටද?

ඔබ පරිශුද්ධ දේවල් සලකන්නේ දෙවි සලකන ආකාරයටද?

ඔබ පරිශුද්ධ දේවල් සලකන්නේ දෙවි සලකන ආකාරයටද?

‘වේශ්‍යාකම් කරන කිසිවෙකුවත් පරිශුද්ධ දේ අගය නොකරන කිසිවෙකුවත් නොසිටින පිණිස වගබලා ගන්න.’—හෙබ්‍රෙව් 12:15, 16.

1. යෙහෝවා දෙවිගේ සේවකයන් අද තිබෙන කුමන ආකල්පයෙන් වැළකී සිටිනවාද?

අද දින ලෝකයේ පරිශුද්ධ දේවල් සඳහා තිබෙන අගය දිනෙන් දිනම අඩු වෙනවා. ප්‍රංශ ජාතික සමාජ විද්‍යාඥයෙකු වන එඩ්ගා මොරැන් පැවසුවේ මෙහෙමයි. “දෙවියන්, ස්වභාව ධර්මය, සංස්කෘතිය සහ ඉතිහාසය වැනි දේ ගැන කලින් පරම්පරාවන් ප්‍රශ්න නොකළත් දැන් දැන් තත්වය ඊට හාත්පසින්ම වෙනස්. අද කාලයේ ඉන්න අය හරි වැරැද්ද මොකද්ද කියලා තීරණය කරන්නේ තමන්ට ඕන විදිහටයි.” මින් පැහැදිලි වන්නේ “ලෝකයේ ආත්මය” නැතහොත් “අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියා කරන ස්වභාවය” බලපවත්වන බවයි. (1 කොරින්ති 2:12; එෆීස 2:2) තමන්ගේ ජීවිත යෙහෝවා දෙවිට කැප කර ඇති අය සහ දෙවිගේ පාලනයට කැමැත්තෙන්ම යටත් වන අය එම ස්වභාවය අනුමත කරන්නේ නැහැ. (රෝම 12:1, 2) ඒ වෙනුවට දෙවිගේ සේවකයන් යෙහෝවා දෙවිට කරන නමස්කාරයේදී පරිශුද්ධ දේවල් සලකන්නේ ඉතාමත් වැදගත් යමක් හැටියටයි. අපගේ ජීවිතයේ පරිශුද්ධ දේවල් ලෙස සැලකිය යුත්තේ මොනවාද? දෙවිගේ සියලු සේවකයන් පරිශුද්ධ ලෙස සැලකිය යුතු දේවල් පහක් ගැන මේ ලිපියෙන් අපි සලකා බලමු. එමෙන්ම අපගේ රැස්වීම්වල ඇති පරිශුද්ධභාවය ගැන ඊළඟ ලිපියෙන් සලකා බලයි. නමුත් යමක් “පරිශුද්ධයි” කියද්දී අපගේ සිතේ මැවෙන්නේ මොන වගේ අදහසක්ද?

2, 3. (අ) යෙහෝවා දෙවිගේ පරිශුද්ධකම ගැන බයිබලයේ අවධාරණය කරන්නේ කොහොමද? (ආ) යෙහෝවා යන දෙවිගේ නාමය පරිශුද්ධ යමක් හැටියට අපි සැලකන්නේ කොහොමද?

2 බයිබලයේ “පරිශුද්ධ” යන වචනය භාවිත කර තිබෙන්නේ යමක් සාමාන්‍ය දේවලින් වෙන් කර ඇති බව දැක්වීමටයි. මෙය විශේෂයෙන්ම අදාළ වන්නේ නමස්කාරයට සම්බන්ධ දේවල්වලදීයි. පරිශුද්ධකම අතින් ඉහළම ස්ථානයේ සිටින්නේ යෙහෝවා දෙවියි. ඔහුව හඳුන්වා තිබෙන්නේ “අතිශුද්ධ තැනැත්තා” හැටියටයි. (හිතෝපදේශ 9:10; 30:3, නව ලොව පරිවර්තනය, NW) උදාහරණයකට පුරාණ ඊශ්‍රායෙලයේ උත්තම පූජකයා පැළඳ සිටි විශේෂ හිස්වැස්මේ “ශුද්ධකම අයිති යෙහෝවාටයි” යන වචන පෙළ රන් තහඩුවක කොටා එය ඔහුගේ හිස්වැස්මේ සවිකොට තිබුණා. (නික්මයාම 28:36, 37, NW) මීට අමතරව යෙහෝවා දෙවිගේ සිංහාසනයට ඉහළින් සිටි කෙරුබ්වරු සහ සෙරාප්වරු “යෙහෝවා ශුද්ධය, ශුද්ධය, ශුද්ධය” කියා ප්‍රකාශ කරන බවත් බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 6:2, 3; එළිදරව් 4:6-8) මෙම වචන නැවත නැවත ප්‍රකාශ කිරීමෙන් පැහැදිලි වන්නේ ශුද්ධකම, පවිත්‍රකම, නිර්මලකම අතින් යෙහෝවා දෙවි කොතරම් ශ්‍රේෂ්ඨද යන්නයි. ඇත්තටම ශුද්ධකමේ උල්පත ඔහුයි.

3 යෙහෝවා යන දෙවිගේ නම පරිශුද්ධයි. ඒ ගැන ගීතිකාකරු ගායනා කළේ “ඔවුහු ඔබගේ උතුම් වූ භයංකර වූ නාමයට ප්‍රශංසා කෙරෙත්වා. ඔහු ශුද්ධය” කියායි. (ගීතාවලිය 99:3) යේසුස් අපිට යාච්ඤා කරන්න ඉගැන්නුවේ “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා” කියායි. (මතෙව් 6:9) යේසුස්ගේ මව වූ මරියා ප්‍රශංසා කළේ මෙහෙමයි. “මම යෙහෝවාට ප්‍රශංසා කරන්නෙමි. . . . බලවත් තැනැත්තා මා වෙනුවෙන් මහත් දේ කර තිබේ. ඔහුගේ නාමය ශුද්ධය.” (ලූක් 1:46, 49) යෙහෝවා දෙවිගේ සේවකයන් හැටියට අපි ඔහුගේ නාමය පරිශුද්ධ දෙයක් හැටියට සලකන නිසා ඊට අපකීර්තියක් ගෙන දෙන දේවල් කිරීමෙන් අපි වැළකෙනවා. පරිශුද්ධ දේවල් සම්බන්ධයෙන් යෙහෝවා දෙවි දරන ආකල්පය අපත් දරන නිසා දෙවි පරිශුද්ධයයි සලකන දේවල් අපිත් සලකන්නේ පරිශුද්ධ ලෙසයි.—ආමොස් 5:14, 15.

අපි යේසුස්ට ගැඹුරු ගෞරවයක් දක්වන්නේ ඇයි?

4. බයිබලයේ යේසුස්ව “දෙවිගේ ශුද්ධ තැනැත්තා” ලෙස විස්තර කර තිබෙන්නේ ඇයි?

4 පරිශුද්ධ දෙවි වන යෙහෝවා තම ‘ඒකජාතක පුත්‍රයා’ වන යේසුස්ව නිර්මාණය කළේ පරිශුද්ධ කෙනෙක් හැටියටයි. (යොහන් 1:14; කොලොස්සි 1:15; හෙබ්‍රෙව් 1:1-3) ඒ නිසයි ඔහුව “දෙවිගේ ශුද්ධ තැනැත්තා” ලෙස හඳුන්වා තිබෙන්නේ. (යොහන් 6:69) මරියා යේසුස්ව බිහි කළේ දෙවිගේ ශුද්ධ බලයෙන් නිසා ඔහුගේ ජීවිතය ස්වර්ගයේ සිට පොළොවට මාරු කරද්දීත් යේසුස් ශුද්ධව සිටියා. දේවදූතයෙක් මරියාට කිව්වේ “ශුද්ධාත්මය ඔබ පිට පැමිණ, . . . උපදින තැනැත්තා ශුද්ධයයිද, දෙවිගේ පුත්‍රයායයිද කියනු ලබන්නේය” කියායි. (ලූක් 1:35) යෙරුසලමේ සිටි ක්‍රිස්තියානීන් යෙහෝවා දෙවිට යාච්ඤා කරද්දී දෙවරක්ම දෙවිගේ පුත්‍රයාව හැඳින්වූයේ “ඔබේ ශුද්ධ වූ සේවක යේසුස්” කියලයි.—ක්‍රියා 4:27, 30.

5. පොළොව මත සිටියදී යේසුස් ඉටු කළ පරිශුද්ධ කාර්යය කුමක්ද? ඔහුගේ රුධිරය අනර්ඝ වන්නේ ඇයි?

5 මේ පොළොව මත සිටිද්දී යේසුස්ට ඉටු කිරීම සඳහා පරිශුද්ධ කාර්යයක් තිබුණා. ක්‍රිස්තු වර්ෂ 29දී යේසුස් බව්තීස්ම වූ විට යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා වඩාත් ශ්‍රේෂ්ඨ සැලැස්මක් ආරම්භ වුණා. ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි යේසුස්ව උත්තම පූජකයා හැටියට අභිෂේක කළා. (ලූක් 3:21, 22; හෙබ්‍රෙව් 7:26; 8: 1, 2) ඉන්පසුව යේසුස් තම ජීවිතය පූජාවක් හැටියට ඔප්පු කළා. ඔහු වැගිරූ රුධිරය නිසා පව්කාර මිනිසුන්ට ගැලවීම ලබාගැනීමේ ප්‍රස්තාව උදා වුණා. (මතෙව් 20:28; හෙබ්‍රෙව් 9:14) යේසුස්ගේ රුධිරය පරිශුද්ධ මෙන්ම “අනර්ඝ” යමක් ලෙස අපි සලකන්නේ ඒ නිසයි.—1 පේතෘස් 1:19.

6. අපි යේසුස් ක්‍රිස්තුස්ව සැලකිය යුත්තේ කෙසේද? ඒ ඇයි?

6 අපගේ රජු සහ උත්තම පූජකයා වන යේසුස් ක්‍රිස්තුස්ට ගැඹුරු ගෞරවයක් ඇතිව පාවුල් ලිව්වේ මෙහෙමයි. “මේ නිසාම දෙවි [ඔහුගේ පුත්‍රයාව] වඩා උසස් තත්වයකට පත් කළ අතර, අන් සියලු නාමවලට වඩා උසස් නාමය ඔහුට කරුණාවන්තව දුන්නේය. ඔහු එසේ කළේ, ස්වර්ගයෙහිද, පොළොවෙහිද, පොළොව යටද සිටින සියල්ලන් යේසුස්ගේ නාමයෙන් දණ නමන පිණිසත්, පියාණන් වන දෙවිගේ තේජස සඳහා යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව සියලු දිව්වලින් ප්‍රසිද්ධියේ පිළිගන්නා පිණිසත්ය.” (ෆිලිප්පි 2:9-11) ක්‍රිස්තියානි සභාවේ හිසද අපගේ නායකයා සහ රජද වන යේසුස් ක්‍රිස්තුස්ට කැමැත්තෙන්ම යටත් වීම මගින් අපි පෙන්වන්නේ යෙහෝවා දෙවි පරිශුද්ධයයි සලකන දේවල් අපිත් එසේම සලකන බවයි.—මතෙව් 23:10; කොලොස්සි 1:18.

7. යේසුස්ට අපගේ යටත්කම පෙන්වන්නේ කෙසේද?

7 යේසුස්ට අපගේ යටත්කම පෙන්වීමට ඇතුළත් වන තවත් දෙයක් වන්නේ ඔහුගේ මඟ පෙන්වීම ඇතිව සේවය කරන වගකීම් දරන අයට ගෞරවය පෙන්වීමයි. අභිෂේක ලත් අයගෙන් යුත් පාලක මණ්ඩලයේ සාමාජිකයන් සහ ඔවුන් විසින් පත් කරන ශාඛා කාර්යාල අවේක්ෂකයන්, දිස්ත්‍රික් අවේක්ෂකයන්, චාරිකා අවේක්ෂකයන් සහ සභා වැඩිමහල්ලන් ඉටු කරන වගකීම් අප සැලකිය යුත්තේ පරිශුද්ධ දෙයක් ලෙසයි. එමනිසා එම සැලැස්මට අපි ගැඹුරු ගෞරවය පෙන්වමින් ඊට යටත් විය යුතුයි.—හෙබ්‍රෙව් 13:7, 17.

පරිශුද්ධ ජාතියක්

8, 9. (අ) ඊශ්‍රායෙල්වරු පරිශුද්ධ ජාතියක් වුණේ කුමන අර්ථයෙන්ද? (ආ) යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පරිශුද්ධභාවයේ වැදගත්කම කාවැද්දුවේ කොහොමද?

8 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරු සමඟ ගිවිසුමක් කළා. ඒ හේතුව නිසා මේ අලුත් ජාතියට විශේෂ තත්වයක් හිමි වුණා. ඔවුන් විශුද්ධ කළ හෝ වෙන් කළ ජාතියක්. ඔවුන් ගැන යෙහෝවා දෙවිම කිව්වේ “මාගේ සෙනඟ වන පිණිස ජාතීන් කෙරෙන් ඔබ වෙන් කළ යෙහෝවා වූ මම ශුද්ධය. ඒ නිසා ඔබ මට ශුද්ධව සිටින්න” කියායි.—ලෙවී කතාව 19:2; 20:26.

9 ඊශ්‍රායෙල් ජාතියව මෙලෙස තෝරාගත් මුල් කාලයේදීම යෙහෝවා දෙවි පරිශුද්ධභාවයේ වැදගත්කම ඔවුන්ට කාවැද්දුවා. දස පනත ලබාදුන් කන්ද වන සීනයි කන්ද සැලකුවේ පරිශුද්ධ යමක් ලෙසයි. එමනිසා ඔවුන්ට ආඥා කළේ එය කිට්ටුවටවත් නොයන ලෙසයි. එසේ කළ අයට මරණ දඬුවම නියම වුණා. (නික්මයාම 19:12, 23) ඒ විතරක් නෙවෙයි පූජක පන්තිය, මණ්ඩපය සහ එහි බඩු බාහිරාදිය යන සියල්ලත් පරිශුද්ධ දේවල් හැටියට සලකනු ලැබුවා. (නික්මයාම 30:26-30) ක්‍රිස්තියානි සභාවේ තත්වය කුමක්ද?

10, 11. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් පරිශුද්ධයයි කියන්න පුළුවන් ඇයි? “වෙනත් බැටළුවන්ට” ඒ ගැන හැඟෙන්නේ කොහොමද?

10 “දෙවිගේ සභාව” වන අභිෂේක ලත් අයවද යෙහෝවා දෙවි සලකන්නේ පරිශුද්ධ කණ්ඩායමක් හැටියටයි. (1 කොරින්ති 1:2) මේ පොළොව මත සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව ශුද්ධ මාලිගාවකට සමාන කර තිබෙනවා. යෙහෝවා දෙවි ඔවුන්ට තම බලය ලබා දීම තුළින් එම ‘මාලිගාවේ’ වාසය කරනවා. පාවුල් ඒ ගැන සඳහන් කළේ මෙසේයි. “[යේසුස් ක්‍රිස්තුස්] තුළ මුළු ගොඩනැඟිල්ලම ඒකාබද්ධ කරනු ලැබ, යෙහෝවා සඳහා ශුද්ධ මාලිගාවක් බවට වර්ධනය වන්නේය. ඔහු තුළ ඔබවත් එක් කොට ගොඩනංවා, දෙවිට ආත්මය [එනම්, තම බලය] මාර්ගයෙන් වාසය කළ හැකි ස්ථානයක් බවට පත් කරනු ලබන්නහුය.”—එෆීස 2:21, 22; 1 පේතෘස් 2:5, 9.

11 අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට පාවුල් තවදුරටත් ලිව්වේ “ඔබ සැම දෙවිගේ මාලිගාව බවත්, දෙවිගේ ආත්මය [එනම්, බලය] ඔබ තුළ වාසය කරන බවත් ඔබ දන්නේ නැද්ද? . . . දෙවිගේ මාලිගාව ශුද්ධය. ඒ මාලිගාව වන්නේ ඔබ සැමය.” (1 කොරින්ති 3:16, 17) යෙහෝවා දෙවි අභිෂේක ලත් අයට තම බලය ලබාදීම මාර්ගයෙන් ඔවුන් අතර ‘වාසය කරමින් ඔවුන් අතරේ ගැවසෙනවා.’ (2 කොරින්ති 6:16) එමෙන්ම ඔහු දිගටම තම විශ්වාසවන්ත ‘දාසයාට’ මඟ පෙන්වනවා. (මතෙව් 24:45-47) “වෙනත් බැටළුවන්ද” අභිෂේක ලත් අය සමඟ ආශ්‍රය කරන්න ලැබීම ඉමහත් ගෞරවයක් කොට සලකනවා.—යොහන් 10:16; මතෙව් 25:37-40.

ක්‍රිස්තියානීන් වන අපට පරිශුද්ධ වන දේවල්

12. අපගේ ජීවිතයේ පරිශුද්ධ වන්නේ මොන වගේ දේවල්ද? ඒ ඇයි?

12 අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට සහ වෙනත් බැටළුවන්ට තමන්ගේ ජීවිතවල පරිශුද්ධ වන දේවල් බොහොමයක් තිබීම පුදුමයට කාරණයක් නොවෙයි. යෙහෝවා දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වය ඒ පරිශුද්ධ දේවල් අතරින් එකක්. (1 ලේකම් 28: 9; ගීතාවලිය 36:7) එම මිත්‍රත්වය අපිට හුඟක් වටින නිසා දෙවි යෙහෝවා සහ අපි අතර ඇති ඒ බැඳීම දුර්වල කිරීමට කිසිවෙකුටවත් කිසිවකටවත් ඉඩ දෙන්නේ නැහැ. (2 ලේකම් 15:2; යාකොබ් 4:7, 8) දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමේදී යාච්ඤාව ඉතා වැදගත්. අනාගතවක්තෘ දානියෙල්ට යාච්ඤාව එතරම්ම වැදගත් වූ නිසා තමාගේ ජීවිතය අනතුරේ තිබියදීත් ඔහු යෙහෝවා දෙවිට නොකඩවා යාච්ඤා කළා. (දානියෙල් 6:7-11) අභිෂේක ලත් අයගේ නැත්නම් “ශුද්ධ තැනැත්තන්ගේ යාච්ඤා” සමාන කර තිබෙන්නේ දේවමාලිගාවේ නමස්කාරය සඳහා භාවිත කළ සුවඳ ද්‍රව්‍යවලටයි. (එළිදරව් 5:8; 8:3, 4; ලෙවී කතාව 16:12, 13) එයින් අවධාරණය කෙරෙන්නේ යාච්ඤාවේ ඇති පරිශුද්ධභාවයයි. මුළු විශ්වයම අයිති තැනැත්තා සමඟ කතා කිරීමට ලැබීම මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! ඒ නිසා යාච්ඤාව අපගේ ජීවිතයේ පරිශුද්ධ දෙයක් බව නිසැකයි!

13. පරිශුද්ධ බලය කියන්නේ කුමක්ද? එය ලබාගැනීම සඳහා අපි කුමක් කළ යුතුද?

13 අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව සහ වෙනත් බැටළුවන්ව බලවත් කරවන යමක් ඔවුන්ගේ ජීවිතවල තිබෙනවා. එය දෙවිගේ ශුද්ධ බලය වන අතර එයද පරිශුද්ධ දෙයක්. එම බලය නිතරම ක්‍රියාත්මක වන්නේ පරිශුද්ධ දෙවිගේ කැමැත්තට එකඟවයි. දෙවි ලබා දෙන එම බලය ශුද්ධ දෙයක් බව අවධාරණය කිරීමට බයිබලයේ “ශුද්ධාත්මය” හෝ “ශුද්ධකමේ ආත්මය” යන යෙදුම් භාවිත කර තිබෙනවා. (යොහන් 14:26; රෝම 1:4) යෙහෝවා දෙවි තම බලය තුළින් ශුභාරංචිය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදෙනවා. (ක්‍රියා 1:8; 4:31) “පාලකයා හැටියට දෙවිට කීකරු” වන අයට සහ තමන්ගේම ආශාවන් සපුරා නොගෙන “දිගටම ආත්මයෙන් [එනම් දෙවිගේ මඟ පෙන්වීමෙන්] ගමන් කරන” අයට දෙවි තම බලය ලබා දෙනවා. (ක්‍රියා 5:32; ගලාති 5:16, 25; රෝම 8:5-8) දෙවි ලබා දෙන මෙම බලය නිසා ක්‍රිස්තියානීන්ට “ආත්මයේ පල” හෙවත් කදිම ගුණාංග වර්ධනය කරගැනීමට සහ ‘ශුද්ධ වූ හැසිරීමෙහි නිරත වෙමින් දේවභක්තික ක්‍රියා කිරීමට’ හැකි වී තිබෙනවා. (ගලාති 5:22, 23; 2 පේතෘස් 3:11) අපි දෙවි ලබා දෙන එම බලය පරිශුද්ධ දෙයක් ලෙස සලකනවා නම් ඔහුට දුක් ගෙන දෙන ඕනෑම දෙයකින් හෝ එම බලය අපට නොලැබීමට හේතු වන ඕනෑම දෙයකින් වැළකී සිටිනවා.—එෆීස 4:30.

14. අභිෂේක ලත් අය පරිශුද්ධ ලෙස සලකන්නේ කුමන වරප්‍රසාදයද? මෙම වරප්‍රසාදයට වෙනත් බැටළුවන් හවුල් වී තිබෙන්නේ කොහොමද?

14 යෙහෝවා යන පරිශුද්ධ දෙවිගේ නාමය දැරීම අප සලකන්නේ වරප්‍රසාදයක් හැටියටයි. ඔහුගේ සාක්ෂිකරුවන් වීමත් අප සලකන්නේ පරිශුද්ධ දෙයක් හැටියටයි. (යෙසායා 43:10-12, 15) “අලුත් ගිවිසුමක දේවසේවකයන් වීමට” යෙහෝවා දෙවි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව සුදුස්සන් බවට පත් කර තිබෙනවා. (2 කොරින්ති 3:5, 6) ඔවුන්ට “රාජ්‍යයේ මේ ශුභාරංචිය” දේශනා කරන්නත් “සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්නත්” පැවරුමක් ලබා දී තිබෙනවා. (මතෙව් 24:14; 28:19, 20) එම පැවරුම ඔවුන් විශ්වාසවන්තව ඉටු කරන නිසා මිලියන ගණනක් ජනයා අභිෂේක ලත් අයට කියන්නේ මෙසේයි. “අපි ඔබ සමඟ යන්නෙමු. මක්නිසාද දෙවි ඔබ සමඟ සිටින්නේයැයි ඇසීමු.” (සෙකරියා 8:23) මෙම ජනයා ‘සීසාන්නන්’ සහ ‘මිදි වැල් වවන්නන්’ හැටියට “අපේ දෙවිගේ සේවකයෝ” වන අභිෂේක ලත් අය වෙනුවෙන් ප්‍රීතියෙන් යුතුව සේවය කරනවා. ඉන් අදහස් කරන්නේ වෙනත් බැටළුවන් වන එම ජනයා ලෝක ව්‍යාප්තව සිදු කරන දේශනා සේවය සඳහා අභිෂේක ලත් අයට තම උපරිම සහයෝගය දෙමින් සිටින බවයි.—යෙසායා 61:5, 6.

15. පාවුල් පරිශුද්ධ දෙයක් හැටියට සැලකුවේ කුමන කාර්යයද? අපිටත් එම ආකල්පය තිබෙන්නේ ඇයි?

15 පාවුල් තම දේශනා කිරීමේ කාර්යය සැලකුවේ පරිශුද්ධ දෙයක් හැටියටයි. එමෙන්ම “දෙවිගේ ශුභාරංචියේ ශුද්ධ වැඩයෙහි යෙදෙමින් මේ ජාතීන්ට ක්‍රිස්තුස් යේසුස්ගේ මහජන සේවකයෙකු” හැටියට ඔහු තමාවම හැඳින්වූවා. (රෝම 15:16) කොරින්ති සභාවට ලියද්දීත් පාවුල් තම දේවසේවය හැඳින්වූයේ ‘වස්තුවක්’ ලෙසයි. (2 කොරින්ති 4:1, 7) අපගේ දේවසේවයේදීත් අපි “දෙවිගේ පරිශුද්ධ ප්‍රකාශ” ජනයාට දැනුම් දෙමු. (1 පේතෘස් 4:11) එමනිසා අපි අභිෂේක ලත් කෙනෙක් වුණත් වෙනත් බැටළුවෙක් වුණත් සාක්ෂි දැරීමේ මෙම කාර්යය සලකන්නේ පරිශුද්ධ දෙයක් හැටියටයි.

‘දේවභය ඇතිව ශුද්ධකම සම්පූර්ණ කරගැනීම’

16. අපි “පරිශුද්ධ දේ අගය නොකරන” අය වීමෙන් වැළකෙන්නේ කොහොමද?

16 පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟවූයේ “පරිශුද්ධ දේ අගය නොකරන” අය නොවෙන්න කියායි. ඒ වෙනුවට ඔහු ඔවුන්ට මෙසේ උපදෙස් දුන්නා. ‘ශුද්ධකම ලුහුබඳින්න. යම් විස මුලක් හටගෙන, කරදර උපදවා, එමගින් බොහෝදෙනෙකු දූෂ්‍ය නොවන පිණිස වගබලාගන්න.’ (හෙබ්‍රෙව් 12:14-16) “විස මුල” යන්න භාවිත කර තිබෙන්නේ ක්‍රිස්තියානි සභාවේ කටයුතු කෙරෙන ආකාරය ගැන විවේචනය කරන සමහර අයටයි. උදාහරණයකට, විවාහයේ තිබිය යුතු පරිශුද්ධභාවය ගැන හෝ සදාචාරසම්පන්න ජීවිතයක් ගත කිරීම ගැන යෙහෝවා දෙවි දරන ආකල්පයට ඔවුන් එකඟ නොවිය හැකියි. (1 තෙසලෝනික 4:3-7; හෙබ්‍රෙව් 13: 4) එමෙන්ම “සත්‍යය අත්හැර ගොස්” ඇති අයගෙන් ලබාගන්නා ඇදහිල්ලට විරුද්ධ, “ශුද්ධ දේ දූෂ්‍ය කරන හිස් වූ කතා” ඔවුන් පතුරුවනවා විය හැකියි.—2 තිමෝති 2:16-18.

17. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් යෙහෝවා දෙවි බලාපොරොත්තු වන ආකාරයට පරිශුද්ධව සිටීමට නොකඩවාම වෑයම් කළ යුත්තේ ඇයි?

17 සෙසු අභිෂේක ලත් සහෝදරයන්ට පාවුල් ලිව්වේ “ප්‍රේමණීය තැනැත්තෙනි, අපට මේ පොරොන්දු තිබෙන නිසා, මාංසය සහ ආත්මය දූෂ්‍ය කරවන සෑම දෙයකින්ම අපි අපව පවිත්‍ර කරගනිමු. එමගින්, දේවභය ඇතිව ශුද්ධකම සම්පූර්ණ කරමු” කියායි. (2 කොරින්ති 7:1) ඉන් පෙන්වන්නේ “ස්වර්ගීය කැඳවීමට පංගුකාරයන් වන” අභිෂේක ලත් ක්‍රිස්තියනීන් තමන්ගේ ජීවිතයේ සෑම පැත්තකදීම යෙහෝවා දෙවි බලාපොරොත්තු වන විදියට පරිශුද්ධව සිටීමට නොකඩවාම වෑයම් කළ යුතු බවයි. (හෙබ්‍රෙව් 3:1) ඒ ගැන පේතෘස්ද තම අභිෂේක ලත් සහෝදරයන්ට මෙසේ උනන්දු කළා. “ඔබේ නොදන්නාකම නිසා කලින් ඔබට තිබුණු ආශාවලට අනුව හැඩගැසීමෙන් වැළකී, කීකරු දරුවන් මෙන්, ඔබව කැඳවූ ශුද්ධ තැනැත්තා මෙන් ඔබත් ඔබේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න.”—1 පේතෘස් 1:14, 15.

18, 19. (අ) පරිශුද්ධ දේවල් සම්බන්ධයෙන් යෙහෝවා දෙවි දරන ආකල්පය ‘මහත් සමූහයේ’ අය විදහා පෙන්වන්නේ කෙසේද? (ආ) ඊළඟ ලිපියේ සලකා බලන්නේ ක්‍රිස්තියානි ජීවිතයේ ඇති වෙනත් කුමන පරිශුද්ධ දෙයක් ගැනද?

18 “මහත් පීඩාවෙන්” ගැලවෙන “මහත් සමූහය” ගැන කුමක් කිව හැකිද? පරිශුද්ධ දේවල් සම්බන්ධයෙන් යෙහෝවා දෙවිගේ ආකල්පය ඔවුන්ටත් තිබෙන බව ඔවුන් පෙන්විය යුතුයි. එළිදරව් පොතේ විස්තරයට අනුව ඔවුන් සේවය කරන්නේ දෙවිගේ සංකේතවත් මාලිගාවේ මළුව වන පොළොවෙයි. එහි ඔවුන් යෙහෝවා දෙවිට “පරිශුද්ධ සේවය” පිරිනමින් සිටිනවා. මේ අය යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබන අතර එළිදරව් පොතේ සඳහන් වන්නේ ඔවුන් සංකේතවත්ව “තමුන්ගේ සළු බැටළු පැටවාගේ රුධිරයෙන් සෝදා සුදු කරගත්තෝය” කියායි. (එළිදරව් 7:9, 14, 15) මහත් සමූහයේ අය යෙහෝවා දෙවි ඉදිරියේ පිරිසිදු ස්ථාවරයක සිටින නිසා ‘මාංසය සහ ආත්මය දූෂ්‍ය කරවන සෑම දෙයකින්ම පවිත්‍ර වී . . . දේවභය ඇතිව ශුද්ධකම සම්පූර්ණ කර” ගැනීමට ඔවුන් බැඳී සිටිනවා.

19 අභිෂේක ලත් අය සහ මහත් සමූහය නිතිපතා යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට සහ දේවවචනය අධ්‍යයනය කිරීම සඳහා රැස්වීම ඔවුන්ගේ කැපීපෙනෙන ලක්ෂණයක්. නමස්කාරය සඳහා එසේ රැස්වීම යෙහෝවා දෙවි සලකන්නේ පරිශුද්ධ දෙයක් හැටියටයි. පරිශුද්ධ දෙයක් වන එවැනි රැස්වීම් කෙරෙහි යෙහෝවා දෙවි දරන ආකල්පය අපිත් තබාගත යුත්තේ කොහොමද සහ ඒ ඇයි කියා අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

පුනරීක්ෂණ ප්‍රශ්න

• යෙහෝවා දෙවිගේ සේවකයන් වැළකෙන්නේ ලෝකයේ තිබෙන කුමන ආකල්පයෙන්ද?

• සියලු පරිශුද්ධ දේවල්වල උල්පත යෙහෝවා දෙවි වන්නේ ඇයි?

• යේසුස්ගේ පරිශුද්ධභාවයට අපි ගෞරවය දක්වන්නේ කෙසේද?

• අපගේ ජීවිතවල පරිශුද්ධ දේවල් ලෙස සැලකිය යුත්තේ මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

පූරාණ ඊශ්‍රායෙලයේ පූජක පන්තිය, මණ්ඩපය සහ එහි බඩු බාහිරාදිය යන සියල්ලත් පරිශුද්ධ දේවල් හැටියට සැලකිය යුතු වුණා

[24වන පිටුවේ පින්තූරය]

පොළොව මත සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ශුද්ධ මාලිගාවක් හා සමානයි

[25වන පිටුවේ පින්තූර]

යාච්ඤාව සහ අපගේ දේවසේවය පරිශුද්ධ වරප්‍රසාද වෙයි