Skip to content

පටුනට යන්න

දරුවන් ඇති දැඩි කිරීමට විශ්වාසවන්තම උපදෙස්

දරුවන් ඇති දැඩි කිරීමට විශ්වාසවන්තම උපදෙස්

දරුවන් ඇති දැඩි කිරීමට විශ්වාසවන්තම උපදෙස්

“එතකොට මට අවුරුදු 19යි. මගේ පවුලේ අය කවුරුත් ළඟ පාත හිටියේ නැහැ. මේ වගේ වෙලාවක මොනවද කරන්න ඕන කියල මම මුකුත්ම දැනගෙන හිටියේ නැහැ” කියා රූත් තම පළමු දරුවා ලැබෙන්න ඉන්න විට පැවසුවා. ඇයද තම පවුලේ එකම දරුවායි. රූත් මවක් වීමේ වගකීම දැරීමට කොහෙත්ම සූදානම් වෙලා හිටියේ නැහැ. මේ අවස්ථාවේ ඇයට විශ්වාසවන්ත උපදෙස් සොයාගන්න පුළුවන් කොහෙන්ද?

වැඩිහිටි දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන ජැන් අතීතය ගැන සිහිපත් කරමින් මෙහෙම කියනවා. “මුලින් මට හොඳ විශ්වාසයක් තිබුණා. හැබැයි තාත්තා කෙනෙක් වෙන එක කොච්චර අමාරුද කියල මට තේරුම් යන්න වැඩි කාලයක් ගියේ නැහැ.” සමහර දෙමාපියන්ට මුල පටන් දරුවන්ව ඇති දැඩි කිරීම අභියෝගයක් විය හැකියි. තවත් අයට දරුවන් ලැබී කාලයක් යද්දී එය අභියෝගයක් විය හැකියි. එසේනම් දරුවන් ඇති දැඩි කිරීම සඳහා උපකාර සොයාගන්න ඔවුන්ට පුළුවන් කොහෙන්ද?

අද දින බොහෝදෙනෙක් උපකාර සොයන්නේ අන්තර්ජාලය හරහායි. නමුත් එහි ඇති උපදෙස් කොතරම් දුරට විශ්වාසවන්තද කියා ඔබ කල්පනා කරනවා විය හැකියි. ඒ නිසා පරෙස්සම් වීම ඥානවන්තයි. අන්තර්ජාලය හරහා උපදෙස් සපයන්නේ කවුද කියා ඔබ ඇත්තටම දන්නවාද? එවැනි උපදෙස් දෙන අය ඔවුන්ගේම දරුවන් හදා වඩා ගැනීමේදී කොතරම් දුරට සාර්ථක වී තිබෙනවාද? එම උපදෙස් ඔබ අදාළ කරගනිද්දී ඒවා ඔබට සහ පවුලේ අයට බලපාන නිසා ඔබ පරෙස්සම් වන බවට නම් සැකයක් නැහැ. අපි කලින් ලිපියේ සලකා බැලූ ලෙස සමහර විද්වතුන්ගෙන් ලැබෙන උපදෙස් පවා විශ්වාසය කරන්න බැහැ. එහෙමනම් විශ්වාසවන්ත උපදෙස් සොයාගන්න පුළුවන් කොහෙන්ද?

දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් විශ්වාසවන්ත උපදෙස් සපයන එකම තැනැත්තා වන්නේ පවුල් සැලැස්ම ආරම්භ කළ යෙහෝවා දෙවියි. (එෆීස 3:15) දෙවි තම වචනය වන බයිබලයෙන් විශ්වාසවන්ත මෙන්ම ප්‍රයෝජනවත් උපදෙස් සපයන අතර ඒවා පිළිපැදීම හැමවිටම සාර්ථකයි. (ගීතාවලිය 32:8; යෙසායා 48:17, 18) නමුත් ඒවා පිළිපැදීම අපගේ වගකීමයි.

තම දරුවන්ව හොඳින් හදා වඩා ගැනීමේදීත් දෙවිට ගරුබිය දක්වන වැඩිහිටියන් බවට පත් කිරීමේදීත් ඔවුන්ගේ අද්දැකීම් මොනවාද කියා දෙමාපියන් කිහිපදෙනෙකුගෙන් විමසුවා. ඔවුන් හැමදෙනාම කිව්වේ එයට රහස බයිබලයේ ඇති ප්‍රතිපත්ති පිළිපැදීම කියායි. බයිබලයේ ඇති උපදෙස් එදා වගේම අදටත් එක හා සමානව ගැළපෙන බව ඔවුන්ගේ අද්දැකීමයි.

දරුවන් සමඟ කාලය ගත කරන්න

කැත්රීන් දෙදරු මවක්. දරුවන් හදා වඩා ගැනීමේදී ඇයට උපකාරවත් වූ උපදෙස් මොනවාද කියා ඇසූ විට ඇය එක විගස සඳහන් කළේ බයිබලයේ පොතක් වන ද්විතීය කතාව 6:7හි ඇති වචනයි. එහි කියන්නේ මෙහෙමයි. “ඔබේ පුත්‍රයන්ට ඒවා [බයිබලයේ ඇති ප්‍රතිපත්ති] මනාකොට උගන්වා ඔබ ගෙයි හිඳින කලද මාර්ගයෙහි යන එන කලද සයනය කරන කලද නැඟිටින කලද ඒවා ගැන කතා කරන්න.” කැත්රීන් තේරුම්ගත්තා එම උපදෙස පිළිපදින්න නම් දරුවන් සමඟ කාලය ගත කිරීම අනිවාර්ය දෙයක් කියලා.

‘ඒක කියන්න නම් ලෙහෙසියි. හැබැයි කරන්න තමයි අමාරු’ කියා ඔබට සමහරවිට හිතෙන්න පුළුවන්. අද කාලයේ හුඟක් පවුල්වලට එක පඩියෙන් ජීවත් වෙන එක හරි අමාරුයි. ඉතින් දෙමාපියන් දෙන්නාම වැඩට යද්දී දරුවන් එක්ක ගත කරන්න කාලය හොයාගන්නේ කොහොමද? ද්විතීය කතාව පොතේ තිබෙන උපදෙස් පිළිපැදීමෙන් එය කළ හැකියි කියා ටොලීෆ් පවසනවා. ඔබ යන ඕනෑම තැනකට ඔබගේ දරුවන්ව අරගෙන යන්න. දරුවන් එක්ක නිදහසේ කතා කරන්න අවස්ථා ඕන තරම් එතකොට තියේවි. ටොලීෆ් මෙහෙමත් කියනවා. “මම ගෙදර දොරේ වැඩ කරද්දී පුතාවත් හවුල් කරගන්නවා. අපි විනෝද ගමන් ගියෙත් එකටයි. අපි කෑම ගත්තෙත් එකටයි.” මේ නිසා “අපේ පුතාට මොනවා හරි කියන්න තිබුණාම ඔහු ඒ ගැන අපිට කියන්න බය වුණේ නැහැ.” ඔහුගේ පුතාත් දැන් විවාහ වී වෙනම පවුල් ජීවිතයක් ගත කරනවා.

නමුත් කතාබහ කිරීම ඇණ හිටියොත් එහෙමත් නැත්නම් දරුවන් එක්ක කතා කිරීම අමාරු නම් තත්වය කුමක්ද? දරුවෝ ටිකක් ලොකු මහත් වෙද්දී ඒ දේ වෙන්න පුළුවන්. ඒකටත් විසඳුම වෙන්නේ ඔවුන් සමඟ වඩා වැඩියෙන් කාලය ගත කිරීමයි. කැත්රීන්ගේ මහත්තයා කෙන්, ඔවුන්ගේ දුවගේ යෞවන කාලය ගැන කියන්නේ මෙහෙමයි. ඒ කාලේදී එයා කියපු දෙයක් තමයි මම එයාට හරියට ඇහුම්කන් දෙන්නේ නැහැ කියන එක. යෞවනයන් කරන මේ පැමිණිල්ල පුදුමයට කාරණයක් නෙවෙයි. ඉතින් ඔහු ඒ ගැන මොනවාද කළේ? කෙන් ඒ ගැන මතක් කරමින් කියන්නේ “ඇගේ අදහස්වලට, හැඟීම්වලට වගේම කලකිරිලා ඉද්දීත් ඒ හැම එකකටම හොඳින් ඇහුම්කන් දෙන්න මම කාලය වෙන් කළා. ඇත්තටම ඒ ක්‍රමය හරිම සාර්ථකයි” කියායි. (හිතෝපදේශ 20:5) සාමාන්‍යයෙන් අපේ පවුලේ අය අතර හොඳ කතාබහක් තිබුණා. ඒ හින්දා ඒක ක්‍රියාත්මක කරන්න එච්චර අමාරු දෙයක් වුණේ නැහැ. ඔහු මෙහෙම කියනවා. “මායි දුවයි හොඳ යාළුවෝ. ඒ නිසා ඕනම දෙයක් ගැන මාත් එක්ක කතා කරන්න එයාට පුළුවන් වුණා.”

දෙමාපියන් තම දරුවන් සමඟ කාලය ගත කරන්නේ නැහැයි කියා වැඩියෙන්ම කියන්නේ දෙමාපියන් නොව දරුවන් බව එක අධ්‍යයනයකින් හෙළි වුණා. මේ නිසා බයිබලයේ උපදෙස් පිළිපැදීම ඉතා වැදගත්. දෙමාපියෙනි, ඔබට පුළුවන් සෑම වෙලාවකම ඔබේ දරුවන් සමඟ කාලය ගත කරන්න. විවේක ගන්න විට, වැඩ කරන විට, ගෙදරදී, ගමන් බිමන් යද්දී, උදේ නැඟිටිද්දී සහ රාත්‍රී නින්දට පෙර කතාබහ කරන්න. හැකිනම්, ඔබ යන සෑම තැනකටම ඔවුන්වත් ගෙන යන්න. ද්විතීය කතාව 6:7හි සඳහන් විදිහට දරුවන් සමඟ කාලය ගත කිරීම වෙනුවට කළ හැකි වෙන කිසිම දෙයක් නැති බව මතක තබාගන්න.

දරුවන්ට සාරධර්ම උගන්වන්න

දෙදරු පියෙක් වන මාරියෝත් යෝජනා කරන්නේ “දරුවන්ට ආදරයෙන් සලකන්න. ඔවුන්ට ඇහෙන්න පොත් පත් කියවන්න” කියායි. කොහොමවුණත් එහි අරමුණ වෙන්න ඕනේ තොරතුරුවලින් ඔවුන්ගේ මනස් පිරවීම නෙවෙයි. නමුත් ඒ වෙනුවට, හරි වැරැද්ද මොකද්ද කියලා හරියටම හඳුනගන්න පුළුවන් වෙන විදිහට ඔවුන්ට උගන්වන්න. ඒ සඳහා මාරියෝ කියන්නේ “ඔවුන් සමඟ බයිබලය පාඩම් කරන්න” කියායි.

දෙමාපියන්ට බයිබලය අවවාද කරන්නේ මෙහෙමයි. “ඔබේ දරුවන් කෝප නොකරන්න. එසේ නොකර ඔවුන් ක්‍රිස්තියානි විනයෙන්ද අවවාදයෙන්ද ඇතිදැඩි කරන්න.” (එපීස 6:4, නව අනුවාදය) අද දින බොහෝ නිවෙස්වල සාරධර්ම ගැන කතාබහ කරන්නේ කලාතුරකින්. දරුවන් වැඩිහිටියන් වෙද්දී හරි වැරැද්ද මොකද්ද කියලා තීරණය කරන්න ඔවුන්ට පුළුවන් වෙනවා කියලා තවත් සමහරු හිතනවා. එසේ සිතීම සාධාරණයි කියා ඔබ හිතනවාද? මේ ගැන සිතා බලන්න. දරුවෙක් නිරෝගීව සහ ශක්තිසම්පන්නව වැඩෙන්න නම් ඔහුට පෝෂ්‍යදායී ආහාර ලබාදීම අවශ්‍යමයි. ඒ හා සමානව ඔවුන්ගේ මනස වැඩෙන්නත් සාරධර්ම පිළිබඳව උපදෙස් ලබාදිය යුතුමයි. නිවසේදී ඔබ දරුවාට සාරධර්ම ගැන උගන්වන්නේ නැත්නම් ඔවුන් ඉගෙනගන්නේ පන්තියේ යාළුවන්, ගුරුවරුන් හෝ රූපවාහිනිය වැනි මාධ්‍යයන්වලින් ඉදිරිපත් කරන දේවලුයි.

හරි වැරැද්ද කුමක්ද කියා හඳුනාගෙන ඒවා දරුවන්ට උගන්වන්න අවශ්‍ය උපකාර ලබාදීමට බයිබලයට හැකියි. (2 තිමෝති 3:16, 17) තවත් දෙදරු පියෙක් වන ජෙෆ් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ බොහෝ අද්දැකීම් ඇති වැඩිමහල්ලෙක්. දරුවන්ට සාරධර්ම ගැන උගන්වද්දී, ඔහුත් කියන්නේ ඒ සඳහා බයිබලය පාවිච්චි කරන්න කියලයි. ඊට හේතුව ගැන අදහස් දක්වමින් ඔහු කියන්නේ “දරුවන්ට බයිබලයෙන් උගන්වද්දී ඒ ගැන අම්මා තාත්තාට විතරක් නෙවෙයි විශේෂයෙන් දෙවිට ඒ ගැන හැඟෙන්නේ කොහොමද කියලත් ඔවුන් තේරුම්ගන්නවා. බයිබලයෙන් උගන්වද්දී ඒවා තම දරුවන්ගේ සිතට කොයි තරම් හොඳින් කාවදිනවාද කියලා අපි හොඳට දැකලා තියෙනවා. ඔවුන්ගේ හැසිරීමේ හෝ ආකල්පවල යම් වරදක් හරිගස්සන්න ඉස්සෙල්ලා ඊට ගැළපෙන යම් කොටසක් බයිබලයෙන් හොයාගන්න අපි මහන්සි වෙනවා. ඊට පස්සේ අපි ඒ දරුවාව විතරක් අඬගහගෙන ගිහිල්ලා එයාට කියනවා අපි සොයාගත් බයිබලයේ කොටස කියවන්න කියලා. එහෙම කරද්දී හුඟක් වෙලාවට අපි දැක්කේ පුංචි කම්මුල් දිගේ කඳුළු කැට කඩා වැටෙන විදිහයි. අපේ කටේ වචනයෙන් කියනවාට හෝ කරනවාට වඩා බයිබලයෙන්ම ඉගැන්වීම හරිම සාර්ථකයි. ඒ ගැන අපිට හරි පුදුමයි.”

ඒ ගැන බයිබලයේ හෙබ්‍රෙව් 4:12හි විස්තර කරන්නේ මෙහෙමයි. “දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය . . . සිතේ සිතුවිලිද චේතනාද ඊට වටහාගත හැක.” බයිබලයේ තිබෙන්නේ එය ලිවීමට යොදාගත් අයගේ පෞද්ගලික අදහස්වත් අද්දැකීම්වත් නොවෙයි. නමුත් ඒ වෙනුවට එහි සාරධර්ම ගැන තිබෙන උපදෙස් මිනිසුන්ගේ නොව දෙවිගෙයි. මේ අනුව බයිබලයේ ඇති උපදෙස් අනෙකුත් සියලුම උපදෙස්වලට වඩා බොහෝසෙයින් වෙනස්. දරුවන්ට ඉගැන්වීමේදී බයිබලය පාවිච්චි කිරීමෙන් ඔබ ඔවුන්ට උපකාර කරන්නේ දෙවිගේ උපදෙස් ලබාගැනීමටයි. ඒ ආකාරයෙන් ඔබ දරුවාව පුහුණු කරද්දී, එයින් ලොකු බලපෑමක් ඇති කරන අතර දරුවාගේ සිතටම කාරණා ඇතුල් කරන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා.

කලින් සඳහන් කළ මවක් වන කැත්රීනුත් ඊට එකඟයි. ඇය කියන්නේ මෙහෙමයි. “කාරණයේ බරපතළකම වැඩි වෙද්දී අපි බයිබලයෙන් මඟ පෙන්වීම් සොයන්න දරන වෑයමත් වැඩි වෙනවා. ඒ ක්‍රමය සාර්ථකයි.” ඒ නිසා ඔබගේ දරුවන්ටත් හරි වැරැද්ද කියා දීමේදී බයිබලය වඩාත් හොඳින් යොදාගැනීමට ඔබට හැකිද?

සාධාරණ වන්න

බයිබලයේ ලේඛකයෙක් වන පාවුල් දරුවන් ඇති දැඩි කිරීමට අවශ්‍ය වන තවත් වැදගත් ප්‍රතිපත්තියක් ගැන පෙන්වා දෙනවා. ඔහු උනන්දු කළේ “ඔබේ සාධාරණකම සියලුදෙනාටම දැනගන්න ලැබේවා!” කියායි. (ෆිලිප්පි 4:5) ඉන් අදහස් කරන්නේ දෙමාපියන් හැටියට අපි සාධාරණ අය කියලා දරුවන් දකින්න අවශ්‍ය බවයි. අපි සාධාරණ නම් ‘ඉහළින් පැමිණෙන ප්‍රඥාවට’ අනුව කටයුතු කරන බව මතක තබාගන්න.—යාකොබ් 3:17.

දරුවන්ව පුහුණු කරද්දී සාධාරණකම අවශ්‍ය වෙන්නේ ඇයි? අපිට හැකි උපරිමයෙන් ඔවුන්ට උපකාර කළත් ඔවුන්ගේ ජීවිතයේ හැම දෙයක්ම පාලනය කරන්නේ නැහැ. කලින් සඳහන් කළ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වන මාරියෝ මෙහෙම කියනවා. “බව්තීස්ම වෙන එක, පූර්ණ කාලීන සේවය වැනි ඉලක්ක සම්බන්ධයෙන් අපි නිතරම දරුවන්ව දිරිගැන්නුවා. හැබැයි අපි ඔවුන්ට කිව්වා, නිසි වයසට එද්දී ඒ ගැන තීරණ ගන්න ඕන ඔයගොල්ලන්මයි කියලා.” ප්‍රතිඵලය? ඔවුන්ගේ දරුවන් දෙදෙනාම දැන් දෙවිට පූර්ණ කාලීනව සේවය කරමින් සිටිනවා.

බයිබලයේ කොලොස්සි 3:21හි, පියවරුන්ට මේ අවවාදය දෙනවා. “ඔබේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන්ට හිරිහැර නොකරන්න.” කැත්රීන් එම උපදෙස අගය කරනවා. දෙමාපියන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යද්දී ඉක්මනින් කේන්ති යන්න පුළුවන්. නමුත් ඇය කියන්නේ “ඔයාගේ මට්ටමින් දරුවන්ව මනින්න එපා.” කැත්රීනුත් යෙහෝවාගේ සාක්ෂිකාරියක්. ඇය කියන්නේ “යෙහෝවා දෙවිට සේවය කිරීම ප්‍රීතියක් බව ඔවුන්ට දැනෙන්න සලස්වන්න” කියායි.

මුලින් සඳහන් කළ ජෙෆ් මේ ප්‍රයෝජනවත් යෝජනාව ඉදිරිපත් කරනවා. “අපේ ළමයි ලොකු මහත් වෙද්දී මට මතකයි අපේ හොඳ යාළුවෙක් කියපු කතාවක්. එයාගේ ළමයින් එයාගෙන් මොනවා හරි ඉල්ලුවාම ඒවාට ‘එපා’ කියන වචනේ කීපාරක් නම් කියලා තියෙනවාද, එතකොට ළමයින්ටම එපා වෙලා ඒගොල්ලන් කොච්චර කලකිරෙනවාද කියලත් ඔහු කිව්වා. ඉතින් ඒක මඟ හරවගන්න නම් ළමයින්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කරන්න පුළුවන් විදි මොනවාද කියලා හිතන්න.”

ජෙෆ් මෙහෙමත් කියනවා. “ඇත්තටම ඒක හොඳ උපදෙසක් කියලා අපිට තේරුණා. ඊට පස්සේ අපේ දරුවන්ට අනිත් අයත් එක්ක ආශ්‍රය කරන්න පුළුවන් අවස්ථා මොනවාද කියලා අපි හොඳට හොයලා බලලා ඒගොල්ලන්ට මෙහෙම කියනවා. ‘අර කට්ටියත් එක්ක ටිකක් විනෝද වෙන්න ඔයා ආස නැද්ද?’ නැත්නම් පොඩි අය කිව්වොත් ඒගොල්ලන්ව කොහේ හරි එක්කරගෙන යන්න කියලා, අපි කොච්චර මහන්සි වෙලා හිටියත් දරුවන්ගේ ඉල්ලීම් කොහොමහරි ඉටු කළා. අපි එහෙම කෙරුවේ ‘බැහැයි’ කියන වචනේ නොකියා ඉන්නයි.” සාධාරණ වෙනවා කියන්නේ ඒකටයි. ඒ තමයි තමා ගැන විතරක් නොසිතා, සැලකිල්ල දක්වමින්, සකස් වෙමින් නමුත් බයිබල් ප්‍රතිපත්ති බාල නොකරමින් කටයුතු කිරීම.

විශ්වාසවන්ත උපදෙස්වලින් ප්‍රයෝජන ගැනීම

අපි සලකා බැලූ ඒ දෙමාපියන්ගෙන් වැඩි දෙනෙක් දැන් ආච්චිලා සීයලා. තමන්ගේ දරුවනුත් බයිබලයේ ඇති එම ප්‍රතිපත්තිම අදාළ කරගනිමින් සාර්ථක දෙමාපියන් වෙනවා දැකීමෙන් ඔවුන් මහත් ප්‍රීතියක් ලබනවා. බයිබලයේ උපදෙස්වලින් ප්‍රයෝජන ලබන්න ඔබටත් පුළුවන්ද?

මෙහි මුලින් සඳහන් කළ රූත්ට සහ ඇගේ ස්වාමිපුරුෂයාට පළමු දරුවා ලැබුණු විට දෙමාපියන් හැටියට තමන්ගේ වගකීම් ඉටු කරන්නේ කොහොමද කියලා සමහර වෙලාවට ඔවුන්ට හැඟුණා. නමුත් ඔවුන් කිසි උපකාරයක් නැති තත්වයට පත් වුණේ නැහැ. විශ්වාසවන්තම උපදෙස් සපයන දෙවිගේ වචනය වන බයිබලය ඔවුන්ට තිබුණා. දෙමාපියන්ට උපකාර සපයන බයිබලයේ උපදෙස් අඩංගු පොත් ගණනාවක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් මුද්‍රණය කර තිබෙනවා. ඒවා අතර උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු, මගේ බයිබල් කතන්දර පොත, යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු සහ මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා යන පොත් තිබෙනවා. රූත්ගේ ස්වාමිපුරුෂයා වන ටොලීෆ් මෙහෙම කියනවා. “අද දින සිටින දෙමාපියන්ට බයිබලයේ ඇති උපදෙස් ඕන තරම් සොයාගන්න පුළුවන්. දරුවෙක්ව හදා වඩා ගනිද්දී ඔහුගේ ජීවිතයේ සෑම පැත්තකටම ගැළපෙන උපදෙස්, මඟ පෙන්වීම් සහ උපකාර ලබාගන්නත් පුළුවන්. ඒත්, එහෙම වෙන්නේ දෙමාපියන් බයිබලයේ ඇති උපදෙස්වලින් ප්‍රයෝජන ගන්නවා නම් විතරයි.”

[5වන පිටුවේ කොටුව⁄පින්තූරය]

විද්වතුන් කියන දේ . . . බයිබලයේ කියන දේ

දරු සෙනෙහස දැක්වීමේදී . . .

එක් පොතක දොස්තර ජෝන් බ්‍රෝඩස් මෙසේ සඳහන් කරමින් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ ඔබේ දරුවන්ව “කිසිදාක ආදරයෙන් තුරුළු කරගෙන සිපගන්න එපා. ඔඩොක්කුවට ගන්නත් එපා.” (එම පොත, The Psychological Care of Infant and Child, 1928) කොහොමනමුත් මෑතකදී වෛද්‍ය වීරා ලේන් සහ ඩොරති මොලීනෝ සඟරාවකට ලිව්වේ “සෙනෙහසින් සහ ආදරයෙන් සිප වැළඳගැනීම අඩුවෙන් ලබන දරුවන්ට එය හැම අතින්ම බලපානවා” කියායි.—Our Children (1999 මාර්තු) නම් සඟරාව.

ඊට වෙනස්ව යෙහෝවා දෙවි තම සෙනඟට ප්‍රේමය දක්වන්නේ දෙමාපියන් තම දරුවන්ට සෙනෙහස දක්වනවා හා සමානව බව යෙසායා 66:12හි විස්තර කර තිබෙනවා. ඒ වගේම යේසුස්ද දරුවන්ට ප්‍රේම කළා. දරුවන් යේසුස් ළඟට පැමිණීම නතර කිරීමට ගෝලයන් උත්සාහ කරද්දී යේසුස් ඔවුන්ව නිවැරදි කරමින් කිව්වේ “කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න. ඔවුන්ව වළක්වන්න උත්සාහ නොකරන්න” කියායි. “ඉන්පසු ඔහු දරුවන්ව තුරුළු කරගෙන ඔවුන් පිට අත් තබමින් ඔවුන්ට ආශීර්වාද කළේය.”—මාක් 10:14, 16.

සාරධර්ම ඉගැන්වීමේදී . . .

වර්ෂ 1969දී එක සඟරාවක පළ වූ ලිපියක වෛද්‍ය බෲනෝ බෙට්ල්හයිම් තරයේ කියා සිටියේ දරුවෙකුට “තනි තීරණ ගැනීමට අයිතියක් තිබෙනවා. ඔහු තීරණ ගත යුත්තේ තමාගේම ජීවිතයේ අද්දැකීම්වලට අනුව මිස [ඔහුගේ දෙමාපියන්ගේ උපදෙස්] මඟ පෙන්වීම් මත නෙවෙයි” කියායි. (New York Times Magazine නම් සඟරාව) නමුත් අවුරුදු 30කට පස්සේ වෛද්‍ය රොබර්ට් කෝල්ස් තම පොත ලියද්දී මෙවැනි දෙයක් පිළිගත්තා. දෙමාපියන් හෝ වෙනත් වැඩිහිටියන් විසින් “දරුවන්ට මඟ පෙන්වීමක් දීම, සාරධර්ම ඉගැන්වීම, ඔවුන්ගේ ජීවිතයට යම් ස්ථාවරයක් ලබාදීම අත්‍යවශ්‍යයි.”—එම පොත, The Moral Intelligence of Children, 1997.

බයිබලයේ හිතෝපදේශ 22:6 දෙමාපියන්ට උනන්දු කරන්නේ “ළදරුවෙකු යා යුතු මාර්ගයේ ඔහු පුහුණු කරන්න. එවිට වයස්ගත වූ කල ඔහු එයින් අහක්ව නොයන්නේය” කියායි. “පුහුණු කරන්න” යන හෙබ්‍රෙව් වචනයට “පටන්ගන්න” යන අර්ථයත් දී තිබෙනවා. ඒ අනුව දෙමාපියන්ට දිරිගන්වා තිබෙන්නේ ළදරු කාලයේ පටන් දරුවන්ට සාරධර්ම ඉගැන්වීමටයි. (2 තිමෝති 3:14, 15) ඊට හේතුව ඔවුන් තම ජීවිත කාලය පුරාම ගෙන යන්නේ ඒ මුල් අවුරුදුවල ඉගෙනගන්න දේවලුයි.

හික්මවීම දීමේදී . . .

වෛද්‍ය ජේම්ස් ඩොබ්සන් මෙහෙම ලිව්වා. “ආදරණීය පියෙක් හෝ මවක් තම දරුවාව පුහුණු කරන්න උපකාරවත් වන එක් ක්‍රමයක් නම් ඔහුට ශාරීරිකව දඬුවම් කිරීමයි. තමන් වැරදි කිරීම නතර කළ යුතු බව ඒ තුළින් දරුවන් ඉගෙනගන්නවා.” (එම කෘතිය, The Strong-Willed Child, 1978) අනෙක් අතට වෛද්‍ය බෙන්ජමින් ස්පොක් ජනප්‍රිය පොතක හත්වෙනි සංස්කරණයෙන් උපුටාගත් කොටසක් ගෙනහැර දක්වමින් කිව්වේ “දරුවෙකුට ගහන එක ඔහුට හොඳක් නම් සිදු වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු ඉගෙනගන්නේ තමා ලොකු මහත් වුණාම තමන් කරන දේ හරි වුණත් වැරදි වුණත් තමාට වඩා පොඩි අයට හිරිහැර කර තමාට කැමති දේ ඉටු කරගත හැකි බවයි.”—එම පොත, Baby and Child Care, 1998.

හික්මවීම ලබාදීම සම්බන්ධයෙන් බයිබලය කියන්නේ “ඉපලද අවවාදයද ප්‍රඥාව දෙති” කියායි. (හිතෝපදේශ 29:15) නමුත් සෑම දරුවෙකුටම ශාරීරික දඬුවම් දීම අවශ්‍ය වෙන්නේ නැහැ. හිතෝපදේශ 17:10 අපට මෙහෙම පවසනවා. “අඥානයෙකුට ගසන පහර සියයකට වඩා තේරුම් ඇති කෙනෙකුට තරවටුව හොඳ හැටි වදියි.”

[පින්තූරය]

දරුවෙකුගේ සිතට කතා කිරීමට නම් දේවවචනය පාවිච්චි කරන්න

[7වන පිටුවේ පින්තූරය]

නුවණැති දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් විනෝදය ගෙන දෙන දේවල් සංවිධානය කරයි