Skip to content

පටුනට යන්න

වෙනත් රටක සේවය කිරීමට වූ මගේ ආශාවට යෙහෝවා දෙවි ආශීර්වාද කළා

වෙනත් රටක සේවය කිරීමට වූ මගේ ආශාවට යෙහෝවා දෙවි ආශීර්වාද කළා

ජීවිත කතාව

වෙනත් රටක සේවය කිරීමට වූ මගේ ආශාවට යෙහෝවා දෙවි ආශීර්වාද කළා

ෂීලා වින්ෆීල්ඩ් ඩා කොන්සේසව්

එක දවසක් අප්‍රිකාවෙන් ඇවිල්ලා හිටිය සහෝදරියක් අපිට කිව්වා ඇයට ලැබුණු පැවරුමේදී ඇය ශුභාරංචිය ගැන දේශනා කරද්දී හැමෝම එයාව ඒගොල්ලන්ගේ ගෙදරට ආරාධනා කරලා හොඳින් ඇහුම්කන් දුන්නා කියලා. ‘ඒ වගේ පැත්තක සේවය කරන්න තිබුණා නම් කොච්චර හොඳද!’ කියලා මට හිතුණා. ඒ වෙනකොට මට අවුරුදු 13යි. වෙනත් රටකට ගිහිල්ලා සේවය කරන්න වූ මගේ ආශාව මුලින්ම ඇති වුණේ එදා ඒ සාකච්ඡාවේදීයි.

නමුත් අපේ පවුලේ අය යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පටන්ගත්තේ ඊට ගොඩක් කාලයකට ඉස්සර වෙලයි. එක උදෑසනක ලස්සනට ඇඳගෙන හිටිය යෞවනයන් දෙන්නෙක් අපේ දොරට තට්ටු කෙරුවා. ඒ 1939දී අපි එංගලන්තයේ ලන්ඩන් නගරයට කිට්ටුවෙන් තිබුණ හෙමෙල් හෙම්ප්ස්ටඩ්වල ඉන්නකොටයි. ඒ වෙන කවුරුත් නෙවෙයි යෙහෝවාගේ සාක්ෂිකරුවන්. මම ඉපදුණේ ඊට අවුරුද්දකට විතර ඉස්සෙල්ලයි. ඒ නිසා ඒගොල්ලන්ව මට මතක නැහැ. කොහොමවුණත්, අපේ අම්මාට ඒගොල්ලන්ව ඉක්මනට යවා ගන්න ඕන වුණ නිසා අම්මා කිව්වා තාත්තා නම් ඕකට කැමතියි. හැබැයි එයා ගෙදර එද්දී රෑ නවය පහු වෙනවා කියලා. ඒ වුණත් ඒගොල්ලෝ එදා රෑම ආයෙත් ආපු එක ගැන අම්මා පුදුම වුණා! මගේ තාත්තා හෙන්ඩ්‍රි වින්ෆීල්ඩ් ඒගොල්ලොත් එක්ක කළ කතා බහකින් පස්සේ තේරුම්ගත්තා ඔවුන් දේශපාලනයේ හෝ ජාතිවාදයේදී පැති ගන්නේ නැති බව. ඊට පස්සේ ඒ අයට ගෙට එන්න කියලා සාකච්ඡාවක් කළා. අන්තිමේදී බයිබල් පාඩමක් කරන්න කැමැත්ත පළ කළ මගේ තාත්තා බව්තීස්මය දක්වා ඉක්මනින් දියුණු වුණා. අවුරුදු කිහිපයකට පස්සේ මගේ අම්මා කැත්ලීනුත් පාඩම් කරන්න පටන්ගත්තා. ඇය බව්තීස්ම වුණේ 1946දීයි.

මම දිගටම රාජ්‍ය ශුභාරංචිය දේශනා කරන්න පටන්ගත්තේ 1948 ඉඳලයි. මම හිතුවා දේවසේවය කරන වෙලාව හරියටම වාර්තා කරන්න නම් මට අත්ඔරලෝසුවක් තියෙන්න ඕනේ කියලා. අපි පොඩි කාලේ දඟලන්නේ නැතිව හොඳට හිටියා නම් තාත්තා අපිට තියාගන්න කියලා හැම සෙනසුරාදාම පැන්ස හයක කාසියක් (එංගලන්තයේ භාවිත වන මුදල්) දුන්නා. මම ඒ සල්ලි අවුරුදු දෙකක් තිස්සේ එකතු කෙරුවේ ඒ කාලේ තිබුණ ලාභම ඔරලෝසුව ගන්නයි. මගේ මල්ලිලා දෙන්නාගෙන් බාලයා, රේ හැම වෙලාවෙම තාත්තාගෙන් ඉල්ලුවේ පැන්ස හයේ කාසියක් වෙනුවෙට පැන්ස තුනේ කාසි දෙකක් දෙන්න කියලයි. එක දවසක් එයා එහෙම ඉල්ලලා කොච්චර කරදර කෙරුවාද කිව්වොත් තාත්තාට එදා හොඳටම කේන්ති ගියා. එතකොට මල්ලි අඬ අඬ කිව්වේ එයාට එහෙම කාසි දෙකක් ඕනේ යෙහෝවා දෙවියි එයායි අතර තියෙන රහසක් නිසා කියලයි. අන්තිමට මල්ලී ඒ ගැන කිව්වේ මෙහෙමයි. “පැන්ස තුනේ කාසි දෙකෙන් එකක් සම්මාදම් පෙට්ටියට දාන්න. අනිත් එක මට තියාගන්න.” ඒක අහපු අම්මාගේ ඇස් දෙකේ සතුටු කඳුළු පිරුණා. ඊට පස්සේ තාත්තා ඒ පැන්ස හයේ කාසිය මාරු කරලා මල්ලිට දුන්නා. මමත් ඒකෙන් ඉගෙනගත්තා දේවසේවයේ වැඩ කටයුතුවලට මුදල්වලින් උපකාර කරන එක කොච්චක වැදගත්ද කියලා.

මේ කාලයේදී තමයි අපි ගෙවල් මාරු කරලා ශුභාරංචිය දේශනා කිරීමේ අවශ්‍යතාව වැඩි පැත්තකට ගියේ. තාත්තා වගා කළ බිම් සහ වැලි ලබාගන්නා ඉඩම විකුණලා 1949දී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන සේවයේ පුරෝගාමියෙක් හැටියට සේවය කරන්න පටන්ගත්තා. මම යෙහෝවා දෙවිට කැපවී බව්තීස්ම වුණේ 1950 සැප්තැම්බර් 24වන දායි. එතැන ඉඳලා ඉස්කෝලේ නිවාඩුවට උපකාරික පුරෝගාමියෙක් හැටියට මාසයකට පැය 100ක් සේවය කළා. ඒක නිකම් පටන්ගැනීමක් විතරයි. වැඩි කාලයක් යන්න ඉස්සර වෙලා සැබෑ නමස්කාරයේ වෙනුවෙන් වැඩි සේවයක් කිරීමට මා තුළ ලොකු ආශාවක් ඇති වුණා.

වෙනත් රටක සේවය කිරීමට වූ මගේ ආශාව

මගේ තාත්තාට උතුරු ඩෙවන් ප්‍රාන්තයේ බිඩෆඩ් නගරයේ සේවය කිරීමට අලුත් පැවරුමක් 1951දී ලැබුණා. අපි එහාට ගියත් එක්කම වගේ මං මුලින් කියපු අප්‍රිකාවේ සේවය කළ ඒ සහෝදරිය අපේ සභාව බලන්න ආවා. ඊට පස්සේ වෙනත් රටක සේවය කරන්න තිබූ මගේ ආශාව නිසා හැම තීරණයක්ම ගත්තේ ඒකට එකඟවයි. මගේ ඉස්කෝලේ ගුරුවරු දැනගෙන හිටියා මගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද කියලා. ඒ නිසා ඔවුන් නිතරම හැදුවේ මගේ මනස වෙනස් කරලා රැකියාවක් කරන්න මාව පොලඹවන්නයි. මම ඉස්කෝලෙන් අස්වෙන දවස ආවා. මම ගිහින් ගුරුවරුන්ට ස්තුති කරලා ඔවුන්ගෙන් සමුගනිද්දී එක ගුරුවරයෙක් මට කිව්වා “ජීවිතයේ යම් ඉලක්කයක් තියලා ඒක අත්කරගන්න වැඩ කරපු එකම ශිෂ්‍යයා ඔයයි. අපිට විශ්වාසයි ඔයාට ඒ දේ කරන්න පුළුවන් කියලා. අපේ සුබපැතුම්!”

වැඩි කල් යන්න ඉස්සෙල්ලා මට අර්ධ කාලීන රැකියාවක් හම්බ වුණා. ඉතින් 1955 දෙසැම්බර් 1දා පටන් මම ස්ථාවර පුරෝගාමියෙක් හැටියට සේවය කරන්න පටන්ගත්තා. පස්සේ අම්මත් මල්ලීලා දෙන්නත් පුරෝගාමී සේවය පටන්ගත්තා. අවුරුදු ගානක් තිස්සේ අපේ මුළු පවුලම පූර්ණ කාලීන සේවය කළා.

අයර්ලන්තයට

අවුරුද්දකට පස්සේ අයර්ලන්තයේ සේවය කරන්න මට ආරාධනයක් ලැබුණා. මේක, වෙනත් රටක සේවය කරන්න මට තිබුණ ඉලක්කයට තබපු තවත් පියවරක් වුණා. වර්ෂ 1957 පෙබරවාරි මාසයේ ජූන් නේපියර් සහ බෙරිල් බාකර් කියන තවත් යෞවන පුරෝගාමීන් දෙන්නෙක් එක්ක මම දකුණු අයර්ලන්තයේ කෝර්ක් නගරයට ගියා.

අයර්ලන්තයේ දේශනා සේවය කිරීම ටිකක් අමාරුයි. ඊට හේතුව වුණේ රෝමානු කතෝලික පල්ලියෙන් ආපු විරුද්ධවාදිකම්. තට්ටු නිවාසයක හෝ නිවාස සංකීර්ණයක වැඩ කරද්දී එවැනි දේකට මුහුණ දෙන්න සිදු වුණොත් ඉක්මනින්ම එතැනින් ඉවත් වෙන්න පුළුවන් කොතනින්ද කියන එක ගැන අපි හැම වෙලාවෙම බැලුවා. අපි සාමාන්‍යයෙන් අපේ පාපැදි ටිකක් ඈතට වෙන්න හංගලයි එන්නේ. නමුත් සමහර වෙලාවට අපි ආපහු එද්දී ටයර්වල හුළං ඇරලා එහෙම නැත්නම් ටයර් කපලා.

දවසක් බෙරිලුයි මමයි ලොකු නිවාස සංකීර්ණයක සේවය කරද්දී ළමයි ටිකක් ඇවිල්ලා අපිට අපහාස කරමින් කෑගැහුව්වා විතරක් නෙවෙයි අපිට ගලුත් ගැහුව්වා. ඉතින් අපි ඉක්මනින්ම ඒ ළඟපාත තිබුණ කිරි විකුණ ගෙදරකට ගියා. කලබල කරන්න ආපු කට්ටියක් එළියේ එකතු වෙලා ඉන්නවා අපි දැක්කා. බෙරිල් කිරි බොන්න හරි ආසයි. ඉතින් එළියේ ඉන්න කට්ටිය ටිකකින්යයි කියලා හිතාගෙන එයා වීදුරු දෙක තුනක් හරිම නිවිහැනහිල්ලේ බිව්වා. නමුත් ඒගොල්ලෝ ගියේ නැහැ. ඊට පස්සේ ටිකක් තරුණ පූජකයෙක් අපි හිටපු තැනට ආවා. අපි වෙනත් සංචාරකයන් කියලා ඔහු හිතපු නිසා අපිට වටපිටාව ටිකක් පෙන්වන්න කැමති වුණා. හැබැයි ඊට ඉස්සරවෙලා ඔහු අපිව ඒ ගෙදර තිබුණ වෙන කාමරයකට එක්කරගෙන ගියා. අපි බොහොම නිශ්ශබ්දව ඉඳගත්තාට පස්සේ ඔහු පණ අදිමින් සිටි වයසක කෙනෙකුට කතෝලික පිළිවෙතට අනුව අන්තිම ආලේපය ලබාදුන්නා. ඊට පස්සේ අපි පූජකයාත් එක්ක ඒ ගෙදරින් එළියට එනකොට, අර එළියේ හිටපු කට්ටිය දැක්කා අපි පූජකයාත් එක්ක කතා කර කර එනවා. ඊට පස්සේ ඒගොල්ලොත් හෙමිහිට යන්න ගියා.

ගිලියද් පාසැලට

“දිව්‍ය කැමැත්ත” නමැති ජාත්‍යන්තර සමුළුව නිව් යෝර්ක් නගරයේ පැවැත්වීමට නියමිතව තිබුණා. තාත්තා නම් යනවා. හැබැයි මට යන්න තරම් සල්ලි තිබුණේ නැහැ. අපි කවුරුත් හිතපු නැති විදියට මගේ ආච්චි මැරුණා. ඇය මැරෙනකොට මං වෙනුවෙන් පවුම් 100ක් (රුපියල් 28,000ක් පමණ) ඉතුරු කරලා තිබුණා. සමුළුවට යන්නයි එන්නයි පවුම් 96ක් විතර වියදම් වෙනවා. ඉතින් මම ඉක්මනින්ම ගුවන් ටිකට් පතක් වෙන් කරගත්තා.

ඊට ටික කාලයකට පස්සේ බ්‍රිතාන්‍යයේ පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ නියෝජිතයෙක් අපිව බලන්න ආවා. ඔහු ආරාධනා කළා සමුළුවට යන සියලුම විශේෂ පුරෝගාමීන්ට වෙනත් රටක සේවය කිරීමට පුහුණුව දෙන ගිලියද් මුරටැඹ බයිබල් පාසැල සඳහා ඉල්ලුම් කරන්න කියා. ඒ කියපු දේ මට අදහාගන්න බැරිව ගියා! ඔහු මට හැර අනිත් හැමදෙනාටම ඉල්ලුම් පත් දුන්නා. ඒ මට වයස මදි නිසයි. නමුත් මම කිව්වා දැනටමත් මම, මගේ රටයි, ගෙවල්වල අයවයි අතහැරලා මෙහේ සේවය කරන නිසා මාවත් ඒකට ඇතුළත් කරගන්න කියලා. මගේ අධිෂ්ඨානය නිසාම ඔහු මටත් ඉල්ලුම් පත්‍රයක් දුන්නා. මේ වෙනුවෙන් මම කොච්චර නම් යාච්ඤා කළාද! එයට පිළිතුරු ලැබෙන්න වැඩි කල් ගියේ නැහැ. ගිලියද් පාසැලට මට ආරාධනයක් ලැබුණා.

මම 33වන ගිලියද් පාසැලට ඇතුළු වුණාම මට දැණුනේ මොන තරම් ලොකු සතුටක්ද! ඒ පාසැලට රටවල් 14කින් පැමිණි පුරෝගාමීන් 81දෙනෙක් සහභාගි වුණා. පාඨමාලාව පැවති මාස පහ වේගයෙන් ඉගිලී ගියා වගේ දැනුණා. මෙය අවසානයේදී සහෝදර නේදන් එච්. නෝර් පැය හතරක දිරිගන්වන කතාවක් ඉදිරිපත් කළා. ඔහු දිරිගැන්නුවේ තනිකඩව ඉන්න පුළුවන් අයට දිගටම එහෙම ඉන්න කියායි. (1 කොරින්ති 7:37, 38) නමුත් කවදාහරි විවාහ වෙන්න කැමති අයට ඔහු යෝජනා කළේ, තමන් විවාහ වීමට කැමති සහකරුවාගෙන් බලාපොරොත්තු වන දේවල් පිළිබඳ ලැයිස්තුවක් හදන්න කියායි. එතකොට අනාගතේ එවැනි කෙනෙක් මුණගැහුණොත් ලැයිස්තුවේ ලියා ඇති දේවල් ඔහු හෝ ඇය ළඟ තිබෙනවාද කියා බලන්න පුළුවන්.

මගේ ලැයිස්තුවේ තිබුණේ මේවායි. ඔහු යෙහෝවා දෙවිට ප්‍රේම කරන, වෙනත් රටක සේවය කරන්න කැමති කෙනෙක් වෙන්න ඕනෙ. මට වඩා බයිබලය ගැන හොඳ දැනුමක් ඔහුට තියෙන්න ඕනෙ. ඒ වගේම පූර්ණ කාලීන සේවය කරන්න ඕන නිසා මෙම දුෂ්ට ලෝකයේ අවසානයට පෙර දරුවෝ හදන්නේ නැතිව ඉන්න කැමති කෙනෙක් වෙන්නත් ඕනෙ. ඉංග්‍රීසි භාෂාව හොඳට කතා කරන කෙනෙක් වගේම මට වඩා වැඩිමල් කෙනෙක් වෙන්නත් ඕනෙ. අවුරුදු 20ක්ව සිටි මට දුර රටක සේවය කිරීමට පැවරුමක් ලැබෙන්නයි යන්නේ. එමනිසා මේ ලැයිස්තුව මට ගොඩාක් උපකාර වුණා.

බ්‍රසීලයට

වර්ෂ 1959 අගෝස්තු 2වන ඉරිදා තමයි අපගේ පැවරුම් අපිට ලැබුණේ. වෙයනූෂ් යාසෙජියැන් සේරා ග්‍රේකෝ, රේ සහ ඉන්ගර් හැට්ෆීල්ඩ්, සෝනියා ස්ප්‍රිංගේට්, ඩොරින් හයින්ස්, සහ මටයි බ්‍රසීලයට යන්න පැවරුම් ලැබුණා. අපි ඒ ගැන සතුටු වෙච්ච තරම්! බ්‍රසීලය කියපු ගමන් මට මතක් වුණේ කැලෑ, සර්පයන්, රබර් ගස් සහ එහෙ ඉන්න කැලෑවේ ජීවත් වෙන ආදිවාසීන්. කොහොමවුණත් එහෙ ගියාම මං පුදුම වුණා. ඇමසන් වැසි වනාන්තරය වෙනුවට මං දැක්කේ ඒ දවස්වල අගනගරය වූ රියෝ ඩී ජැනීරෝ කියන හිරු එළියෙන් නැහැවුණු නවීන නගරයයි.

අපේ මුල්ම අභියෝගය වුණේ පෘතුගීසි භාෂාව ඉගෙනගැනීමයි. මුල් මාසවලදී අපි දවසට පැය 11ක් පාඩම් කළා. රියෝ නගරයේ දේශනා කිරීමෙන් පස්සේ ටික කලක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ හිටියා. ඊට පස්සේ මාව සැවෝ පවුලෝ ප්‍රාන්තයේ පිරාසිකාබා නගරයේ පිහිටි ශාඛා කාර්යාලයට අයිති නිවසකට යැවුවා. ටික කාලයකට පස්සේ මාව රියෝ ග්‍රාන්දේ දෝ සූල් ප්‍රාන්තයේ පෝටෝ ඇලෙග්‍රි තිබුණ ශාඛා කාර්යාලයට අයිති නිවසට යැව්වා.

ශාඛා කාර්යාලයේ පිහිටි පරිවර්තන අංශයේ සේවය කිරීමට 1963 මුල් කාලයේදී මට ආරාධනයක් ලැබුණා. පරිවර්තන අංශය භාරව තිබුණේ අපිට පෘතුගීසි භාෂාව උගන්නපු ෆ්ලොරියානෝ ඉග්නෙස් ඩා කොන්සේසව් කියන සහෝදරයාටයි. ඔහු සත්‍යය ඉගෙනගෙන තිබුණේ 1944දීයි. එතකොට බ්‍රසීලයේ ඉඳලා තියෙන්නේ සාක්ෂිකරුවන් 300කට ආසන්න සංඛ්‍යාවක්. ඒ වගේම ඔහු පුහුණුව ලබා තිබුණේ 22වන ගිලියද් පාසැලෙනුයි. මාස කීපයකට පස්සේ එක දවසක්, සහෝදර කොන්සේසව් මට කිව්වා එදා දවල් මාත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ කියලා. මුලින්ම මට ටිකක් භය හිතුණා. මගේ අතින් මොනවා හරි වැරැද්දක්වත් වෙලාද කියල මං කල්පනා කළා. දවල් කෑම වෙලාවේ සීනුව වැදුණාම මම ඇහුවා මාව හම්බවෙන්න ඕන ඇයි කියලා. සහෝදර කොන්සේසව් මගෙන් මෙහෙම ඇහුවා. “මං ඔයාව බඳින්න කැමතියි. ඔයා මොකද කියන්නේ?” මට කරකියාගන්න දෙයක් නැතුව ගියා. ඒ ගැන හිතන්න මම ටිකක් කල් ඉල්ලුවා. ඊට පස්සෙ ඉක්මන් කරල මම කෑම කන්න ගියා.

මට මේ වගේ යෝජනාවක් කරපු පළමුවෙනි එක්කෙනා ෆ්ලොරියානෝ නෙවෙයි. ඒ මොහොත වෙනකං මගේ ලැයිස්තුවට ගැලපෙන සහකරුවෙක් මට හමුවෙලා තිබුණේ නැහැ. නමුත් මං හිතනවා වැරදි තීරණයක් ගැනීමෙන් වළකින්න මට ඒ ලැයිස්තුව උපකාර වුණා කියලා. නමුත් මේ යෝජනාව කලින් ඒවාට වඩා වෙනස්. ඒ මං බලාපොරොත්තු වුණ දේවල් ඔක්කොම ෆ්ලොරියානෝ තුළ තිබුණ නිසයි! ඉතින් අපි 1965 මැයි 15වෙනිදා කසාද බැන්දා.

අසනීපවලට මුහුණ දීම

අභියෝග මැද වුණත් අපි විවාහ ජීවිතය ගත කළේ ගොඩක් සතුටින්. අභියෝගවලින් එකක් නම් විවාහ වෙන්න ටික කාලයකට ඉස්සෙල්ලා ඉඳලා ෆ්ලොරියානෝට තිබුණ අසනීපයයි. අවුරුදු ගානකට ඉස්සෙල්ලා වම් පෙණහැල්ල ක්‍රියා විරහිත වෙලා තිබුණා. ඉන් ඇති වූ බලපෑම් නිසා පසු කාලයේදී ඔහු හුඟක් දුක් වින්දා. ඒ නිසා තවදුරටත් බෙතෙල් එකේ කරපු සේවය කරන්න අපිට බැරි වුණා. ඊට පස්සේ රියෝ ඩි ජැනීරෝ ප්‍රාන්තයේ කඳුකර පැත්තක් වන ටෙරේසෝපූලිස් නගරයේ විශේෂ පුරෝගාමීන් හැටියට සේවය කරන්න පැවරුමක් ලැබුණා. අපි හිතුවා එහෙ දේශගුණය ඔහුගේ අසනීප තත්වය සුව කරගන්න උපකාරයක් වෙයි කියලා.

මේ අතර මගේ අම්මා පිළිකාවක් නිසා බරපතළ තත්වයකින් ඉන්න බව 1965 දෙසැම්බර් මාසයේදී අපිට දැනගන්න ලැබුණා. අපි නොකඩවා ලියුම් හුවමාරු කරගත්තත් අවුරුදු හතකින් මම අම්මාව දැකලා තිබුණේ නැහැ. ඉතින් එංගලන්තයට ගිහිල්ලා ඇයව බලන්න අපි දෙන්නාටම යන ගමන් ගාස්තුව ගෙව්වේ අපේ අම්මයි. අම්මාට සැත්කමක් කරලත් ඒ පිළිකාව අයින් කරන්න දොස්තරලාට බැරි වුණා. ඇයගේ අසනීපය නිසා ඇය ඇඳටම සීමා වුණත් දේශනා සේවය කිරීමට වූ ඇගේ ආශාව නම් අඩු වුණේ නැහැ. ගෙදර තිබුණ යතුරු ලියනය පාවිච්චි කරලා තව කෙනෙක්ගේ උදව් ඇතිව ලියුම් ලියා සාක්ෂි දැරුවා. ඒ විතරක් නෙවෙයි ගෙදරට ආපු අමුත්තන්ටත් ඇය කෙටියෙන් ශුභාරංචිය ගැන කිව්වා. අවසානයේදී 1966 නොවැම්බර් 27වෙනිදා ඇය නැති වුණා. ඒ මාසෙත් ඇය පැය දහයක් දෙවිට සේවය කර තිබුණා! මගේ තාත්තත් 1979දී මරණය දක්වා දෙවිට විශ්වාසවන්තව පුරෝගාමී සේවය කළා.

අම්මාගේ මරණයෙන් පස්සේ අපි ආයෙත් බ්‍රසීලයේ සේවය කරමින් සිටි රියෝ ඩි ජැනීරෝ ප්‍රාන්තයට ආපහු ගියා. එහිදී අපිට චාරිකා සේවයේ යන්න පැවරුමක් ලැබුණා. නමුත් ඒකෙන් ලැබුණ සතුට වැඩි කාලයක් තිබුණේ නැහැ. මගේ මහත්තයා ආයෙත් හොඳටම අසනීප වුණා. ඒ හින්දා අපි නැවතත් ටෙරේසෝපූලිස්වල විශේෂ පුරෝගාමීන් හැටියට වැඩ කළා.

ෆ්ලොරියානෝට අවුරුදු ගානක් තිස්සේ කරපු වේදනාකාරී ප්‍රතිකාරවලින් පසුව 1974දී ඔහුගේ වම් පෙණහැල්ල ඉවත් කළා. ඒ කාලයේදී නම් එයාට සභාවේ මුලසුන භාර අවේක්ෂක හැටියටවත් විශේෂ පුරෝගාමියෙක් හැටියටවත් සේවය කරන්න පුළුවන් වුණේ නැහැ. නමුත් එයා ඉස්පිරිතාලේ ඉද්දී ලෙඩ්ඩු බලන වෙලාවේදී අනිත් අයත් එක්ක බයිබල් පාඩම් කෙරුවා. ඒ අතරින් එක්කෙනෙක් තමයි බොබ් කියන විශ්‍රාම ගිය අමෙරිකානු ජාතිකයා. ඔහු එක්ක පාඩම කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. බොබ් සත්‍යය ඉගෙනගෙන පසුව බව්තීස්ම වුණා. ෆ්ලොරියානෝගේ තත්වය ටිකෙන් ටික හොඳ අතට හැරුණා. එතැන් සිට ඔහු දිගටම ස්ථාවර පුරෝගාමියෙක් හැටියට සේවය කළා.

මම කරන සේවයට යෙහෝවා දෙවිගේ ආශීර්වාද

අවුරුදු ගානක් තිස්සේ විශේෂ පුරෝගාමියෙක් හැටියට මම කරපු සේවයට යෙහෝවා දෙවි ආශීර්වාද කරලා තියෙනවා. ටෙරේසෝපූලිස්වල මම සේවය කරද්දී 60දෙනෙකුට වඩා පිරිසකට යෙහෝවා දෙවිට තම ජීවිත කැප කර බව්තීස්ම වීම සඳහා උදව් කරන්න මට හැකි වෙලා තියෙනවා. ඒක මහත් වරප්‍රසාදයක්. සූෆීරා කියන ස්ත්‍රිය මේ අයගෙන් එක්කෙනෙක්. මම ඇයට අකුරු කියවන්නත් ඉගැන්නුවා. ඒ විතරක් නෙවෙයි මම ඇගේ වැඩිමල් දරුවන් අටදෙනෙකුටත් බයිබල් සත්‍යය ගැන ඉගැන්නුවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඇයත් ඇගේ පවුලේ සාමාජිකයන් 20කටත් වඩා දෙනෙක් මේ දක්වා කඩිසරව යෙහෝවා දෙවිට සේවය කරමින් සිටියා. එක්කෙනෙක් දැන් වැඩිමහල්ලෙක්, තුන්දෙනෙක් සභා සේවකයන් සහ දෙන්නෙක් පුරෝගාමීන්.

මිනිසුන්ට සත්‍යය උගන්වද්දී තියෙන්න අවශ්‍ය මොන වගේ ආකල්පයක්ද කියලා මම ඉගෙනගත්තා. එක අවස්ථාවක ඇල්සිමීරා කියන යෞවන කාන්තාව එක්ක මම බයිබලය පාඩම් කරද්දී ඇගේ ස්වාමිපුරුෂයා වන ඇන්ටෝනියෝ මට තර්ජනය කරලා කිව්වා, දැන්මම මේ ගෙදරින් ගියේ නැත්නම් ලොකු බල්ලෝ දෙන්නව අරිනවා කියලා. එදා ඉඳලා ඇයත් එක්ක බයිබලය පාඩම් කරන්න මට ඇගේ පුරුෂයා ඉඩ දුන්නේ නැහැ. නමුත් අවුරුදු හතකට පස්සේ ඇල්සිමීරා එක්ක පාඩම් කරන්න ඇගේ ස්වාමිපුරුෂයාගෙන් අවසර ගන්න මට පුළුවන් වුණා. නමුත් ඔහුත් එක්ක බයිබලය ගැන කතා කරන්න ඔහු මට ඉඩ දුන්නේ නැහැ. කොහොමවුණත් එක වැස්ස දවසක අපේ බයිබල් පාඩමට ඉඳගන්න කියලා මම ඇන්ටෝනියෝට ආරාධනා කළා. ඔහු විරුද්ධ වුණ හේතුව මම දැනගත්තේ එතකොටයි. ඔහුට ලියන්න කියවන්න බැහැ. එදා ඉඳලා ෆ්ලොරියානෝ සහ තවත් අය ඔහුත් එක්ක බයිබලය පාඩම් කළා වගේම ඔහුට කියවන්නත් ඉගැන්නුවා. මේ වෙද්දී ඇල්සිමීරායි ඇන්ටෝනියෝයි දෙන්නම බව්තීස්ම වෙච්ච අය. ඔහු සභාවට ලොකු ආශීර්වාදයක් වගේම දේවසේවයේදී හුඟක් යෞවන අයට උපකාර කරනවා.

ඒවා, ටෙරේසෝපූලිස්වල අවුරුදු 20ක් පුරා අපි කළ සේවයේ ලබපු අද්දැකීම්වලින් කීපයක් විතරයි. වර්ෂ 1988 මුල්හරියේ අපිට අලුත් පැවරුමක් ලැබුණා. ඒ නිටීරෝයි නගරයේ සේවය කිරීමටයි. එහෙ අපි අවුරුදු පහක් සේවය කළාට පස්සේ සැන්ටෝ ඇලෙක්සියෝ නගරයට ගියා. පසුව අපි රියෝ ඩී ජැනීරෝ ප්‍රාන්තයේ තිබෙන සපුයිබා සභාවේ සේවය කරන්න ගියා. එහිදී රිබෙයිරා සභාව ආරම්භ කිරීමේ ප්‍රස්තාව අපිට ලැබුණා.

සරල, නමුත් ආශීර්වාද ලැබුණු ජීවිතයක්

එම ගත වුණු අවුරුදු ගණනාව තුළ ෆ්ලොරියානෝට සහ මට, යෙහෝවා දෙවිට තම ජීවිත කැපකිරීම සඳහා 300දෙනෙකුට වඩා උපකාර කිරීමේ ප්‍රස්තාව ලැබී තිබෙනවා. දැන් ඉන් සමහරදෙනෙක් ශාඛා කාර්යාලයේ සේවය කරනවා. තවත් අය පුරෝගාමීන්, වැඩිමහල්ලන් සහ සභා සේවකයන් ලෙස සේවය කරනවා. එතරම් දෙනෙකුට උදව් කිරීම සඳහා දෙවි තමන්ගේ බලය අපට දී තිබීම ගැන මම දෙවිට කොතරම් ස්තුතිවන්ත වෙනවාද!—මාක් 10:29, 30.

ෆ්ලොරියානෝට හුඟාක් බරපතළ අසනීප තිබුණු බව ඇත්තයි. ඒ වුණත් ඔහු යෙහෝවා දෙවි කෙරෙහි ස්ථිරව විශ්වාසයෙන් සිටියා වගේම ප්‍රීතියෙනුත් හිටියා. එයා හුඟක් වෙලාවට මෙහෙම කිව්වා. “දැන් අපිට ප්‍රීතිය ලැබෙන්නේ ගැටලු ප්‍රශ්නවලින් තොර ජීවිතයක් ඇතුව සිටීමෙන් නෙවෙයි. නමුත් ප්‍රීතිය ලැබෙන්නේ ගැටලු ප්‍රශ්නවලට මුහුණ දෙන්න යෙහෝවා දෙවිගේ උපකාර ලැබෙනකොටයි.”—ගීතාවලිය 34:19.

වර්ෂ 2003දී මගේ වම් ඇහේ පිළිකාවක් ඇති බව දැනගත්තා. සැත්කමක් කිරීමෙන් පස්සේ මට කෘත්‍රිම ඇසක් සවි කළා. ඒක දවසට කිහිප වතාවක් පිරිසිදු කරන්නත් ඕන. ඒ වගේ තත්වයක් තිබුණත් දිගටම විශේෂ පුරෝගාමියෙක් හැටියට සේවය කරන්න අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවි මට දීල තියෙනවා.

මගේ ජීවිතයේ මට හුඟක් සැප සම්පත් තිබුණේ නැහැ. ඒ වුණත් යෙහෝවා දෙවි මගේ පැවරුමට බහුල ලෙස ආශීර්වාද කරල තියෙනවා වගේම ඔහු සමඟ ඉතා කිට්ටු මිත්‍රත්වයකුත් මම භුක්ති විඳිනවා. මුලින්ම සඳහන් කළ අප්‍රිකාවේ සේවය කළ ඒ සහෝදරිය කියූ දෙය බ්‍රසීලයේ අපි කරපු පැවරුමටත් හොඳටම ගැලපෙනවා. ඔව්, වෙනත් රටක සේවය කිරීමට වූ මගේ ආශාවට යෙහෝවා දෙවි ආශීර්වාද කළා!

[9වන පිටුවේ පින්තූරය]

මගේ පවුලේ අය සමඟ, 1953දී

[9වන පිටුවේ පින්තූරය]

අයර්ලන්තයේ සාක්ෂි දරමින්, 1957දී

[10වන පිටුවේ පින්තූරය]

බ්‍රසීලයේ සෙසු පුරෝගාමීන් සමඟ, 1959දී. වමේ සිට දකුණට: මම, ඉන්ගර් හැට්ෆීල්ඩ්, ඩොරින් හයින්ස් සහ සෝනියා ස්ප්‍රිංගේට්

[10වන පිටුවේ පින්තූරය]

මගේ මහත්තයාත් එක්ක