Skip to content

පටුනට යන්න

ඔබටත් බලපාන චෝදනාවක්

ඔබටත් බලපාන චෝදනාවක්

ඔබටත් බලපාන චෝදනාවක්

ඔබ හුඟාක් ළඟින් ඇසුරු කරන මිතුරෙක් ඔබටත් සිටිනවාට සැකයක් නැහැ. ඔබ ඒ මිතුරා සමඟ ඇසුරු කරන්නේ වාසි ප්‍රයෝජන තකා පමණක් කියා යම් කෙනෙක් ඔබට චෝදනා කරනවා නම් ඔබට කොහොම හැඟෙයිද? ඔබට ලොකු වේදනාවක් දැනේවි. සමහරවිට කේන්ති යන්නත් ඉඩ තිබෙනවා. යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇතිව සිටින සියලුදෙනා ගැනත් සාතන් කර තිබෙන්නේ ඒ වගේම චෝදනාවක්.

සාතන් තමන් සමඟ එකතු වී දෙවිට විරුද්ධව කැරලි ගැසීමට මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒවව සාර්ථක ලෙස පොලඹවා ගත්තා. ඒ අවස්ථාවේදී සිදු වූ දෙයින් පෙනී යන්නේ මිනිසුන් දෙවිට කීකරු වෙන්නේ ඔවුන්ට වාසි ප්‍රයෝජන ලැබෙන තාක්කල් පමණයි කියාද? (උත්පත්ති 3:1-6) ආදම් දෙවිට විරුද්ධව කැරලි ගසා අවුරුදු 2,500කට පමණ පසු සාතන් යෝබ් නම් මිනිසා ගැනත් එවැනිම චෝදනාවක් කළා. සාතන් යෝබ්ට කළ චෝදනාව අපටත් බලපාන නිසා ඔහු ගැන බයිබලයේ සඳහන් වාර්තාව සලකා බැලීම වටිනවා.

“මාගේ අවංකකම පහ නොකරන්නෙමි”

යෝබ් “දෙවිට භය ඇත්තාවූ නපුරෙන් දුරුව සිටින්නාවූ ගුණයෙන් සම්පූර්ණ වූ අවංක වූ කෙනෙක්.” යෝබ්ගේ ඒ අවංකකම හෙළා දකිමින් සාතන් යෙහෝවා දෙවිගෙන් මෙසේ ප්‍රශ්න කළා. “යෝබ් දෙවිට භය වන්නේ නිකමටද?” යෝබ්ට රැකවරණය හා සැප සම්පත් ලබා දීමෙන් යෙහෝවා දෙවි යෝබ්ගේ පක්ෂපාතකම දිනා ගත්තා කියා සාතන් දෙවිටත් යෝබ්ටත් චෝදනා කළා. ඉන්පසු සාතන් දෙවිට මෙවැනි අභියෝගයක් ඉදිරිපත් කළා. “ඔබගේ හස්තය දිගු කර ඔහුට ඇති සියල්ලට ගසන්නේ නම් ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබ අත්හරින්නේය.”—යෝබ් 1:8-11.

යෙහෝවා දෙවි එම චෝදනාවට පිළිතුරක් දීම සඳහා යෝබ්ව පරීක්ෂා කිරීමට සාතන්ට ඉඩ හැරියා. යෝබ්ව දෙවිට සේවය කිරීමෙන් වැළැක්වීමට සාතන් මෙම විශ්වාසවන්ත මිනිසාට එක පිට එක විපත්ති ගෙනාවා. යෝබ්ගේ එළු බැටළු රැළවල් විනාශ වුණා. එසේත් නැත්නම් ඒවා සොරකම් කළා. යෝබ්ගේ සේවකයන්ව සතුරන් මරා දැමුවා. එපමණක් නෙවෙයි ඔහුගේ දරුවන්ව පවා හදිසි විපතකින් මිය ගියා. (යෝබ් 1:12-19) ඒ මොන දේ කළත් සාතන්ට ඔහුගේ අරමුණ ඉටු කර ගැනීමට හැකි වුණාද? කොහෙත්ම නැහැ. තමන්ට පීඩා ගෙනෙන්නේ සාතන් බව දැන නොසිටියත් යෝබ් පැවසුවේ මෙසේයි. “යෙහෝවා දුන්නේය. යෙහෝවා ගත්තේය. යෙහෝවාගේ නාමයට ආශීර්වාද වේවයි කීය.”—යෝබ් 1:21.

එලෙස පීඩා කිරීමෙන් ටික කලකට පසු සාතන් දෙවි ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේදී යෙහෝවා දෙවි ඔහුට මෙසේ පැවසුවා. “නිෂ්කාරණයේ [යෝබ්ව] විනාශ කරන්ට ඔබ මා පෙලඹවූ නමුත් [ඔහු] තමාගේ ඇද නැතිකම තවම ස්ථිර ලෙස පවත්වයි.” (යෝබ් 2:1-3) සාතන් චෝදනා කළේ යෝබ් ඇද නැතිකමින් හැසිරෙමින් දෙවිට දැක්වූ පක්ෂපාතකම ගැන බව එම වචනවලින් පැහැදිලියි. දෙවිට පක්ෂපාත පුද්ගලයෙක් ඕනෑම තත්වයක් යටතේදී දෙවිට විශ්වාසවන්තව සිටින අතර දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති අත් නොහරියි. සාතන් එතෙක් ගෙනා පීඩා හමුවේ යෝබ් දෙවිට පක්ෂපාතව සිටියා. කෙසේවෙතත් සාතන් ඔහුගේ උත්සාහය අත් හැරියේ නැහැ.

ඊළඟට සාතන් සියලුම මනුෂ්‍යයන්ට බලපාන චෝදනාවක් නඟමින් යෙහෝවා දෙවිට මෙසේ පැවසුවා. “හම වෙනුවට හමත් එසේය, ප්‍රාණය වෙනුවට තමාට තිබෙන සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය. එහෙත් ඔබගේ හස්තය දිගු කර ඔහුගේ ඇටවලටත් මාංසයටත් ගසන්නේ නම් ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබ අත්හරින්නේයයි කීය.” (යෝබ් 2:4, 5) මෙහිදී සාතන් යෝබ් කියා සඳහන් කරනවා වෙනුවට “මනුෂ්‍යයා” කියා පැවසීමෙන් පෙනී යන්නේ ඔහු සියලුම මිනිසුන්ගේ පක්ෂපාතකම ගැන ප්‍රශ්න කරන බවයි. සාතන් කියා සිටියේ හරියට මෙවැනි දෙයක්. ‘ඕනෑම කෙනෙක් තමන්ගේ ජීවිතය ගලවා ගන්න ඕනෑම දෙයක් කරනවා. මට අවස්ථාවක් දුන්නොත් මට පුළුවන් ඕනෑම කෙනෙක්ව දෙවිගෙන් ඈත් කරන්න.’ ඇත්තටම එසේ කරන්න සාතන්ට හැකි වුණාද? ඕනෑම මනුෂ්‍යයෙක් ඕනෑම තත්වයක් යටතේදී සෑම විටම දෙවිට පක්ෂපාතව සිටීවිද?

යෝබ්ට දරුණු රෝගයකින් පහර දීමට යෙහෝවා දෙවි සාතන්ට ඉඩ හැරියා. මෙයින් යෝබ් කොතරම් දුක් වින්දාද කියනවා නම් තමා ජීවත් වෙනවාට වඩා මැරෙනවා නම් හොඳයි කියා ඔහු දෙවිට පැවසුවා. (යෝබ් 2:7; 14:13) මෙවැනි තත්වයක සිටියදීත් ඔහු පැවසුවේ “මා නසින තෙක් මාගේ අවංකකම පහ නොකරන්නෙමි” කියායි. (යෝබ් 27:5) යෝබ් එසේ පැවසූවේ දෙවිට ඔහු බොහෝ සේ ප්‍රේම කළ නිසයි. තමන් අවංක මෙන්ම දෙවිට පක්ෂපාත මිනිසෙක් බව ඔහු ඔප්පු කළා. මේ නිසා “යෙහෝවා යෝබ්ගේ පටන්ගැන්මට වඩා අන්තිමයට ආශීර්වාද කළේය” කියා බයිබලයේ වාර්තා වෙනවා. (යෝබ් 42:10-17) යෝබ් මෙන් දෙවිට පක්ෂපාත වූ තවත් අය සිටියාද?

චෝදනාවට පිළිතුරු දී තිබෙන අයුරු

බයිබලයේ හෙබ්‍රෙව් පොතේ 11වන පරිච්ඡේදයේ පාවුල් දෙවිට විශ්වාසවන්තව සිටි පුරුෂයන් හා ස්ත්‍රීන් ගණනාවක් ගැන සඳහන් කරනවා. ඔවුන් අතර නෝවා, ආබ්‍රහම්, සාරා සහ මෝසෙස් වැනි අයද සිටිනවා. ඉන් පසු පාවුල් මෙසේ පැවසුවා. ‘අනිකුත් අය ගැන කියන්න පටන්ගත්තොත් මට කාලය මදි වන්නේය.’ (හෙබ්‍රෙව් 11:32) දෙවිට විශ්වාසවන්තව සිටි අයගේ ගණන කොතරම්ද කියනවා නම් පාවුල් ඔවුන්ව හැඳින්වූයේ “විශාල වලාකුළක් වැනි වූ සාක්ෂිකරුවන්” කියායි. (හෙබ්‍රෙව් 12:1) ගෙවී ගොස් තිබෙන සියවස් ගණනාව පුරා ගණන් කළ නොහැකි තරම් විශාල පිරිසක් දෙවිට විශ්වාසවන්තව සේවය කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වී සිටිනවා.—යෝෂුවා 24:15.

මිනිසුන්ව යෙහෝවා දෙවිගෙන් ඈත් කරන්න තමන්ට පුළුවන් කියා සාතන් කළ අභියෝගයට හොඳම පිළිතුර දුන්නේ දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්. වධ කණුවක ඉතා වේදනාකාරී මරණයකට මුහුණ දෙන අවස්ථාවේදී පවා ඔහු දෙවිට පක්ෂපාතව සිටියා. යේසුස් ඔහුගේ අවසන් හුස්ම හෙළමින් මෙසේ පැවසුවා. “පියාණෙනි, ඔබේ අතට මාගේ ආත්මය භාර දෙමි.”—ලූක් 23:46.

සැබෑ දෙවිට සේවය කිරීමෙන් සියලු දෙනාවම වළක්වන්න සාතන්ට නොහැකි වී තිබෙන බව ගත වූ කාලය පුරාම ඔප්පු වී තිබෙනවා. මිනිසුන් විශාල සංඛ්‍යාවක් යෙහෝවා දෙවිට ‘ඔවුන්ගේ මුළු හදවතින්ද ඔවුන්ගේ මුළු ජීවිතයෙන්ද ඔවුන්ගේ මුළු මනසින්ද ප්‍රේම කරන්න’ පෙළඹී තිබෙනවා. (මතෙව් 22:37) ඔවුන්ගේ මෙම බිඳ හෙලිය නොහැකි පක්ෂපාතකමෙන් ඔප්පු වෙන්නේ සාතන් කළ චෝදනාව බොරු බවයි. දෙවිට පක්ෂපාතව සිටීමෙන් සාතන් බොරුකාරයෙක් බව ඔබටත් ඔප්පු කළ හැකියි.

ඔබ කළ යුත්තේ කුමක්ද?

දෙවිගේ කැමැත්ත නම් “සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය.” (1 තිමෝති 2:4) ඔබට එම දැනුම ලබා ගත හැක්කේ කෙසේද? ‘එකම සැබෑ දෙවි ගැනත් ඔහු එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීම’ සඳහා බයිබලය අධ්‍යයනය කිරීමට කාලය ගන්න.—යොහන් 17:3.

මිනිසුන් දෙවිට සේවය කිරීමේ චේතනාව ගැන සාතන් ප්‍රශ්න කළා. දෙවි පිළිබඳව ඔබ ලබා ගන්න දැනුම ඔබේ චේතනාවලට බලපාන්න නම් ඒ දැනුම ඔබේ සිතට කාවැදිය යුතුයි. මෙසේ වීමට නම් බයිබලයේ තොරුතුරු නිකම්ම සොයනවාට වඩා යමක් කළ යුතුයි. ඔබ ඉගෙන ගන්න දේවල් ගැඹුරින් සිතා බැලීමේ පුරුද්ද ඇති කර ගන්න. (ගීතාවලිය 143:5) ඔබ බයිබලය හෝ බයිබලය මත ලියා තිබෙන පොත් පත් කියවන විට මෙවැනි ප්‍රශ්න සලකා බලන්න. ‘මේ කොටසින් යෙහෝවා දෙවි ගැන මට ඉගෙන ගන්න පුළුවන් මොනවාද? දෙවිගේ කුමන ගුණාංග ගැනද මෙම කොටසේ පෙන්වා දී තිබෙන්නේ? ඒ ගුණාංග මට විදහා පෙන්විය හැක්කේ කෙසේද? දෙවි අනුමත කරන හා නොකරන දේවල් ගැන මට ඉගෙන ගන්න පුළුවන් මොනවාද? දෙවි ගැන මට හැඟෙන ආකාරයට එය බලපාන්නේ කෙසේද? ඔබ මෙසේ ගැඹුරින් කාරණා සලකා බලනවා නම් දෙවි කෙරෙහි ඇති ඔබේ ප්‍රේමය තව තවත් වැඩි වෙනවාට සැකයක් නැහැ.

දෙවිට විශ්වාසවන්තව සිටිය යුත්තේ අපේ නමස්කාර කටයුතුවලදී විතරක් නෙවෙයි. (1 රාජාවලිය 9:4) ජීවිතයේ සෑම කාරණයකදීම දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙමින් දෙවිට අපේ පක්ෂපාතිත්වය පෙන්විය යුතුයි. මෙසේ කිරීමෙන් ඔබට ප්‍රීතිය අහිමි වෙන්නේ නැහැ. ඊට හේතුව යෙහෝවා “සන්තෝෂවත් දෙවි” කෙනෙක් නිසා ඔහු කැමති ඔබත් ජීවිතය සතුටින් භුක්ති විඳිනවා දකින්නයි. (1 තිමෝති 1:11) සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා අප වැළකී සිටිය යුතු සමහර පුරුදු ගැන දැන් සලකා බලමු. එවැනි පුරුදුවලින් වැළකී සිටීමෙන් දෙවිගේ අනුමැතිය ලබාගැනීමටත් සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමටත් හැකි වෙනවා.

දුරාචාරයෙන් වළකින්න

යෙහෝවා දෙවි බයිබලයේ විවාහය සම්බන්ධයෙන් මෙවැනි ප්‍රමිතියක් දී තිබෙනවා. “එබැවින් මනුෂ්‍යයා තමාගේ පියාද මවුද අත්හැර තමන් භාර්යාවට ඇලුම් වන්නේය; ඔවුහුද එක මාංසයක් වන්නෝය.” (උත්පත්ති 2:21-24) විවාහ යුවළක් “එක මාංසයක්” වන නිසා ලිංගික සම්බන්ධතා ඔවුන් දෙදෙනාට පමණක් සීමා කරනවා නම් විවාහය සම්බන්ධයෙන් දෙවිගේ විධිවිධානයට ගරු කරනවා කියා කිව හැකියි. පාවුල් මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙසේයි. “විවාහය සියල්ලන් අතර ගෞරවනීයවද, විවාහ යහන දූෂ්‍ය වීමකින් තොරවද තිබේවා. මන්ද, වේශ්‍යාකම් කරන්නන්වද පරදාර සේවනයේ යෙදෙන්නන්වද දෙවි විනිශ්චය කරන්නේය.” (හෙබ්‍රෙව් 13:4) මෙහි සඳහන් “විවාහ යහන” යන්නෙන් අදහස් කරන්නේ නිත්‍යානුකූලව විවාහ වී සිටින පුරුෂයෙක් හා ස්ත්‍රියක් අතර පමණක් සිදුවන ලිංගික සම්බන්ධතායි. ඔවුන් දෙදෙනාගෙන් එක් කෙනෙක් හෝ විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකමක් පවත්වනවා නම් ඔහු හෝ ඇය පරදාරසේවනයේ යෙදෙන අතර දෙවිගේ විනිශ්චයට ලක් වෙනවා.—මලාකි 3:5.

විවාහ වීමට කලින් සිදු කරන ලිංගික ක්‍රියාකාරකම්ද යෙහෝවා දෙවි පිහිටුවා තිබෙන සදාචාර ප්‍රමිතිවලට පටහැනියි. ‘දෙවි කැමති වන්නේ ඔබ වේශ්‍යාකමින් වැළකී’ සිටිනවා දකින්නයි කියා බයිබලයේ පවසනවා. (1 තෙසලෝනික 4:3) සමලිංගික සේවනය, කිට්ටු ඥාතීන් අතර ලිංගික සබඳතා පැවැත්වීම හා සතුන් සමඟ ලිංගික ක්‍රියාවල යෙදීම වැනි ක්‍රියා දෙවි පිළිකුල් කරනවා. (ලෙවී කතාව 18:6, 23; රෝම 1:26, 27) දෙවිව සතුටු කරමින් සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමට කැමති ඕනෑම කෙනෙක් ලිංගික දුරාචාරයෙන් වැළකී සිටිය යුතුයි.

විවාහයට පෙර කාමුක හැඟීම් අවුස්සන ආකාරයේ හැසිරීමද යෙහෝවා දෙවි හෙලා දකිනවා. (ගලාති 5:19) ඒ වගේම නරක සිතුවිලිද මනසින් බැහැර කළ යුතුයි. යේසුස් මේ ගැන මෙසේ පැවසුවා. “කාම ආශාවක් ඇති වන ලෙස ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ පරදාර සේවනයේ යෙදී ඇත.” (මතෙව් 5:28) පුවත් පත් සඟරා, පරිගණක හා අන්තර්ජාලය හරහා කාමුක දර්ශන බැලීම, ලිංගික කාරණා තිබෙන පොත් පත් කියවීම හා වැරදි හැඟීම් අවුස්සන ආකාරයේ ගීතවලට සවන් දීම යනාදියටද ඉහත වදන් අදාළයි. එවැනි දේවලින් වැළකී සිටීමෙන් දෙවිව සතුටු කළ හැකි අතර සතුටින් පිරී ජීවිතයක්ද ගත කළ හැකියි.

ආලවන්ත හැඟීම් පෑම ගැන කුමක් කිව හැකිද? ආලවන්ත හැඟීම් පෑම යන්නෙන් අදහස් කරන්නේ “විරුද්ධ ලිංගයේ කෙනෙකු තුළ වැරදි හැඟීම් ඇති වන ආකාරයෙන් හැසිරීමයි.” විවාහ වී සිටින පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් වෙනත් කෙනෙකු සමඟ ආලවන්ත හැඟීම් පෑම බයිබල් ප්‍රතිපත්තිවලට විරුද්ධ වන අතර එය යෙහෝවා දෙවි විවාහය සම්බන්ධයෙන් දී තිබෙන නීතිවලට අගෞරවය කිරීමක්ද වෙනවා. (එෆීස 5:28-33) විවාහ නොවූ පුද්ගලයන් හුදෙක් විනෝදය සඳහා ආලවන්ත හැඟීම් පෑම කොහෙත්ම සුදුසු නැහැ. එවැනි ආලවන්ත හැඟීම් පළ කිරීම අනිත් තැනැත්තා බැරෑරුම් ලෙස සලකනවා නම් කුමක් විය හැකිද? එයින් ඇති විය හැකි සිත් වේදනාව ගැන සිතන්න. ඒ විතරක් නෙවෙයි ආලවන්ත හැඟීම් පෑම පරදාරසේවනයට හෝ වේශ්‍යාකමටද මඟ පෑදිය හැකියි. මීට වෙනස්ව විරුද්ධ ලිංගයේ අය සමඟ ඇසුරු කරන විට පවිත්‍ර සිතකින් ඇසුරු කරන කෙනෙක්ව අන් අයගේ ගෞරවයට ලක් වෙයි.—1 තිමෝති 5:1, 2.

දෙවිව සතුටු කළ හැකි තවත් ආකාර

බොහෝ රටවල තමන්ට රිසි සේ මත් පැන් පානය කළ හැකි වූවද එසේ කිරීම සුදුසුද? වයින්, බියර් හා වෙනත් මත් පැන් ටිකක් පානය කිරීම බයිබලයේ තහනම් කර නැහැ. (ගීතාවලිය 104:15; 1 තිමෝති 5:23) කෙසේවෙතත් අධික ලෙස මත් පැන් පානය කිරීම හා බේබදුකම දෙවි හෙළා දකිනවා. (1 කොරින්ති 5:11-13) අධික ලෙස මත් පැන් පානය කිරීමෙන් ඔබේ සෞඛ්‍යයට හානි පමුණුවා ගැනීමටවත් ඔබේ පවුල් ජීවිතය විනාශ වනවා දකින්නවත් ඔබ කොහෙත්ම කැමති නැතුවාට සැකයක් නැහැ.—හිතෝපදේශ 23:20, 21, 29-35.

යෙහෝවා දෙවි “සැබෑකමෙහි දෙවිය.” (ගීතාවලිය 31:5) ඔහු ගැන බයිබලයේ පවසන්නේ “බොරු නොකියන දෙවි” කියායි. (හෙබ්‍රෙව් 6:18) ඔබට දෙවිගේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍යය නම් ඔබ බොරු කීමෙන් වැළකී සිටිය යුතුයි. (හිතෝපදේශ 6:16-19; කොලොස්සි 3:9, 10) “එකිනෙකා තම තමාගේ අසල්වාසියා සමඟ සත්‍යය කතා කරන්න” කියා ක්‍රිස්තියානීන්ට බයිබලයේ උපදෙස් දී තිබෙනවා.—එෆීස 4:25.

අද බොහෝ දෙනෙක් සූදුවේ නියැලෙනවා. මෙහිදී කෙරෙන්නේ අන් අයව පරදවා ඔවුන්ගේ මුදල් තමන්ට ලබා ගැනීමට උත්සහ කිරීමක් නිසා මෙය ගිජු කමක් ලෙස සැලකෙයි. “වංක ලෙස ලාභ ලැබීමට ආශාවක්” දක්වන අයව යෙහෝවා දෙවි පිළිකුල් කරනවා. (1 තිමෝති 3:8) ඔබ යෙහෝවා දෙවිව සතුටු කිරීමට කැමති නම් ලොතරැයි මිලදී ගැනීම, අශ්වයන්ට ඔට්ටු ඇල්ලීම හා සෑම ආකාරයකම සූදුවෙන් ඔබ වැළකී සිටිය යුතුයි. ඔබ එසේ වැළකී සිටිනවා නම් ඔබේ පවුලේ අයගේ අවශ්‍යතාවන් සපුරාලීමට ඔබට මුදල් ඉතිරි කර ගත හැකියි.

ගිජුකමට ඇතුලත් වන තවත් දෙයක් නම් සොරකම් කිරීමයි. මෙහිදී කෙරෙන්නේ අන් අයට අයිති දෙයක් තමන්ට ලබා ගැනීමයි. බයිබලයේ පවසන්නේ “සොරකම් නොකරන්න” කියායි. (නික්මයාම 20:15) අන් අය සොරකම් කළ භාණ්ඩ දැන දැන මිලදී ගැනීමත් අන් අයගේ දේවල් අනවසරයෙන් ගැනීමත් වැරදියි. “සොරකම් කරන්නා තවදුරටත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, අග හිඟකමින් සිටින කෙනෙකුට යමක් දීමට හැකි වන සේ වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කරන්න” කියා බයිබලයේ පවසා තිබෙනවා. (එෆීස 4:28) යෙහෝවා දෙවිට ප්‍රේම කරන අය තමන් රැකියාවේ නිරත වන කාලය සොරකම් නොකර නියමිත පැය ගණන වැඩ කරයි. ඔවුන් එසේ කරන්නේ ‘සියල්ලේදී අවංක ලෙස හැසිරෙන්න කැමති’ නිසයි. (හෙබ්‍රෙව් 13:18) එමෙන්ම නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමෙන් සාමකාමී මනසක් ඇතුව සිටින්නත් පුළුවන්.

කෝපයට පත් වී දරුණු ලෙස ක්‍රියා කරන පුද්ගලයෙක්ව දෙවි සලකන්නේ කොහොමද? ඒ ගැන බයිබලයේ මෙසේ අනතුරු අඟවා තිබෙනවා. ‘කෝප වන මනුෂ්‍යයෙකුගේ මාර්ග ඉගෙන නොගන්නා පිණිස ඔහු සමඟ මිත්‍ර නොවන්න. උදහස් වන කෙනෙක් සමඟ නොයන්න.’ (හිතෝපදේශ 22:24, 25) කෝපය පාලනය කර ගන්නේ නැත්නම් යමෙක් ප්‍රචණ්ඩ ක්‍රියා කරන්න පෙලඹෙන්න පුළුවන්. (උත්පත්ති 4:5-8) පලිගැනීම සම්බන්ධයෙන් බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “කිසි කෙනෙකුට නපුරට නපුර නොකරන්න. සියලුදෙනා ඉදිරියෙහි යහපත්ව තිබෙන දේවල් කරන්න සිතෙහි තබාගන්න. පුළුවන් නම්, ඔබට හැකි පමණින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න. ප්‍රේමණීය තැනැත්තෙනි, පළි නොගෙන දෙවිගේ උදහසට ඉඩහරින්න. මන්ද, “පළිගැනීම මගේය. මම විපාක දෙන්නෙමි කියා යෙහෝවා කියන්නේය.” (රෝම 12:17-19) අපි මෙවැනි උපදෙස් පිළිපදිනවා නම් අපට සාමකාමී ජීවිතයක් ගතකල හැකි අතර සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමටද එය දායක වෙයි.

ඔබට සාර්ථක විය හැකියි

මොන තරම් පීඩා ප්‍රශ්න ගැටලු පැමිණියත් දෙවිට තිබෙන පක්ෂපාතකම දිගටම රැක ගැනීමට ඔබට පුළුවන්ද? ඇත්තටම ඔබට එසේ කරන්න පුළුවන්. මිනිසුන් දෙවිට පක්ෂපාත සිටීම ගැන සාතන් එල්ල කළ චෝදනාව බොරු බව ඔබ ඔප්පු කරනවා දකින්න දෙවි කැමතියි. ඔහුගේ වචනයේ මෙසේ පවසා තිබෙනවා. “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට උත්තර දෙන්ට පුළුවන් වන පිණිස ඔබ නුවණ ඇතුව මාගේ සිත ප්‍රීති කරන්න.”—හිතෝපදේශ 27:11.

දෙවි ඉදිරියේ හරි දේ කිරීමට ශක්තිය ඉල්ලා ඔහුට යාච්ඤා කරන්න ඔබට පුළුවන්. (ෆිලිප්පි 4:6, 7, 13) මේ නිසා හරි දෙය ගැන ඉගෙගැනීමට දෙවිගේ වචනය වන බයිබලය පිළිබඳව ඔබේ දැනුම වැඩි කර ගැනීමට සෑම උත්සහයක්ම දරන්න. ඔබ බයිබලයෙන් ඉගෙන ගත් කාරණා ගැන ගැඹුරු අගය කිරීමකින් සිතා බලනවා නම් දෙවි කෙරෙහි තිබෙන ඔබේ ප්‍රේමය තවත් වැඩි වන අතර ඔහු කැමති දේ කිරීමට ඔබ පෙලඹෙනවා නිසැකයි. 1 යොහන් 5: 3හි පවසන්නේ මෙසේයි. “දෙවිට ප්‍රේම කිරීම යනු, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බරක් නොවේ.” ඔබේ ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවන් බයිබලයේ තිබෙන දේවල් දැන ගැනීමට ඔබට උපකාර කරන්න සතුටින් සිටිනවා. ගොස් ඔවුන්ව හමු වන්න කියා අපි ඔබට ආරාධනා කරන්න කැමතියි. එසේත් නැත්නම් මෙම සඟරාවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න.

[4වන පිටුවේ පින්තූරය]

පරීක්ෂා යටතේදී යෝබ් දෙවිට විශ්වාසවන්තව සිටියා

[7වන පිටුවේ පින්තූරය]

දෙවිගේ වචනය ගැන දැනුම වැඩි කරගන්න විට හරි දෙය කිරීමට ඔබ ගෙන තිබෙන අධිෂ්ඨානය තව තවත් ශක්තිමත් වෙයි