Skip to content

පටුනට යන්න

ක්‍රිස්ටොෆ් ප්ලාන්ටැන් බයිබල් මුද්‍රණයේ පුරෝගාමියෙක්

ක්‍රිස්ටොෆ් ප්ලාන්ටැන් බයිබල් මුද්‍රණයේ පුරෝගාමියෙක්

ක්‍රිස්ටොෆ් ප්ලාන්ටැන් බයිබල් මුද්‍රණයේ පුරෝගාමියෙක්

යොහැනස් ගුටන්බර්ග් අකුරු අතින් ඇමිණීමේ ක්‍රමය භාවිත කරමින් මුල් වතාවට බයිබලය මුද්‍රණය කිරීම ගැන ප්‍රසිද්ධියට පත්ව සිටිනවා. ඔහු ජීවත් වූයේ 1397 සිට 1468 දක්වා වූ කාලපරිච්ඡේදයේයි. එහෙත් බොහෝදෙනෙක් ක්‍රිස්ටොෆ් ප්ලාන්ටැන් ගැන දන්නේ නැහැ. ඔහු මුද්‍රණ කර්මාන්තයේ පුරෝගාමියෙක් වුණා. ඔහු 1500 ගණන්වලදී බයිබලය හා වෙනත් පොත් පත් ලොව පුරා සිටි මිනිසුන්ට ලබාගැනීමේ අවස්ථාව උදා කර දෙමින් කැපීපෙනෙන කාර්යයක් ඉටු කළා.

ක්‍රිස්ටොෆ් ප්ලාන්ටැන් උපත ලැබුවේ 1520දී පමණ ප්‍රංශයේ සැන් ආවෙතෙන් නමැති ප්‍රදේශයෙයි. ඒත් ඔහු අවුරුදු 28දී පමණ පහත රටවලට අයත් ඇන්ට්වර්ප්වල පදිංචියට ගියා. * ඊට හේතු වූයේ ප්‍රංශයේ මෙන් ආගම් ඇදහීම සම්බන්ධයෙන් දැඩි නීති රීති එහි නොමැති වීමයි. එහි ආර්ථික අතින්ද දියුණු වීම සඳහා වැඩි ඉඩ ප්‍රස්තා තිබෙන ප්‍රදේශයක් වීම නිසාත් ප්ලාන්ටැන් එහි ජීවත් වීමට ආශාවක් දැක්වුවා.

ප්ලාන්ටැන් මුලින්ම කළ වෘත්තිය වූයේ පොත් බැඳීම හා සම් භාණ්ඩ නිෂ්පාදනය කිරීමයි. ඔහු ඉතා දක්ෂ ලෙස නිෂ්පාදනය කළ විසිතුරු සම් භාණ්ඩ මිල දී ගැනීමට ධනවතුන් ප්‍රිය කළා. කෙසේවෙතත් ඔහුට මෙම ව්‍යාපාරය අත්හැර දැමීමට හේතු වූ සිද්ධියක් 1555දී සිදු වුණා. ස්පාඤ්ඤයේ IIවන ෆිලිප් රජු සඳහා ඔහු සම්වලින් සෑදු පෙට්ටියක් රජුට දීමට යන අතරේදී ඇන්ට්වර්ප්හි බීමත්ව සිටි පිරිසකගේ ප්‍රහාරයකට ඔහු ලක් වුණා. ඒ පිරිසගෙන් කෙනෙක් ඔහුගේ උරහිසට කඩුවකින් ඇන්නා. එහිදී සිදු වූ තුවාලය පසුව සුව වුණත් ඔහුගේ දෑතින් තවදුරටත් සම් භාණ්ඩ සාදන්න ඔහුට හැකි වුණේ නැහැ. මේ නිසා තමන් මෙතෙක් කරගෙන ගිය කර්මාන්තය අත්හැර දැමීමට ඔහුට සිදු වුණා. ඇනබැප්තිස්ත කණ්ඩායමේ ප්‍රධානියා වූ හෙන්ඩ්‍රික් නික්ලස්ගෙන් ලැබුණු මූල්‍යමය සහයෝගය ඇතිව ප්ලාන්ටැන් මුද්‍රණ කර්මාන්තයට අත ගැසුවා.

“නොපසුබට උත්සාහයෙන් වැඩ කිරීම”

ප්ලාන්ටැන් ඔහුගේ මුද්‍රණාලය හැඳින්වූයේ රන් කවකටුව කියායි. (De Gulden Passer) ඔහු වෙළෙඳ ලකුණ සඳහා භාවිත කළේ කවකටු යුගලක්. එහි “නොපසුබට උත්සාහයෙන් වැඩ කිරීම” (Labore et Constantia) යන්න කොටා තිබුණා. මේ කාර්යශූර මිනිසාගේ දස්කම් කියාපෑමට එම වෙළෙඳ ලකුණ කදිමට ගැලපුණා.

ප්ලාන්ටැන් ජීවත් වූ කාලයේදී යුරෝපයේ ආගමික හා දේශපාලනික නොසන්සුන් තත්වයක් පැවතුණා. කරදරවලට මැදීවීමෙන් වැළකී සිටීමට ඔහු වෑයම් කළා. වෙන කිසිම දෙයකට වඩා ඔහු වැදගත්කොට සැලකුවේ මුද්‍රණ වැඩයි. රෙපරමාදු ප්‍රතිසංස්කරණ අනුමත කළත් “ආගම හා සම්බන්ධ ප්‍රශ්නවලදී ඔහු දැරුවේ වෙනස්වනසුලු ආකල්පයක්” කියා මරිට්ස් සාබි නමැති කර්තෘවරයා පවසනවා. ප්ලාන්ටැන් එවැනි ආකල්පයක් දැරූ නිසා ඔහු මිථ්‍යා දෘෂ්ටික පොත් පත් මුද්‍රණය කළා කියා කටකතාවක් පැතිරී ගියා. මේ නිසා 1562දී ප්‍රංශයට පලා ගොස් එහි අවුරුද්දකට වඩා වැඩි කාලයක් ජීවත් වීමට ඔහුට සිදු වුණා.

ඔහු නැවතත් 1563දී ඇන්ට්වර්ප් බලා පැමිණ, එහි සිටි ධනවත් වෙළෙඳුන් සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කළා. එම වෙළෙඳුන්ගෙන් සමහරදෙනෙක් කැල්වින් නිකායට අයත් අයයි. එම හවුල් ව්‍යාපාරය පැවති වසර පහ ඇතුළත ප්ලාන්ටැන්ගේ මුද්‍රණාලයෙන් විවිධ පොත් පත් 260ක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. හෙබ්‍රෙව්, ග්‍රීක හා ලතින් බයිබල් මෙන්ම විවිධ වර්ණවලින් යුත් විසිතුරු රටාවන් සහිත ලන්දේසි කතෝලික ලුවාන් බයිබලයද එසේ ප්‍රකාශයට පත් කළ පොත් අතර තිබුණා.

මුද්‍රණ ශිල්පයේ විශිෂ්ටතම කෘතිය”

වර්ෂ 1567 වන විට ස්පාඤ්ඤ පාලනයට එරෙහිව පහත රටවලින් එල්ල වූ විරෝධය වැඩි වූ අතර එම කාලයේදී ස්පාඤ්ඤයේ රජු වූ IIවන ෆිලිප් රජ අල්බාවල ආදිපාදවරයාව ඒ රටවල ආණ්ඩුකාරයා ලෙස පත් කළා. මේ ආදිපාදවරයා රජුගෙන් ලැබුණු පූර්ණ බලතල යොදාගනිමින් ප්‍රොතෙස්තන්තවාදීන්ගෙන් එල්ල වූ විරෝධය මැඩපැවැත්වීමට වෑයම් කළා. මේ නිසා විශාල කාර්යයකට අත ගැසීමට ප්ලාන්ටැන්ට හැකි වූ අතර එමගින් මිථ්‍යාදෘෂ්ටික අදහස් පතුරවනවා කියා තමන්ට එල්ල වූ සියලුම චෝදනාවලින් නිදහස් වෙන්න පුළුවන් වෙයි කියාත් ඔහු සිතුවා. මුල් භාෂාවලින් ලියවී තිබෙන බයිබල් උපයෝගී කරගෙන උසස් ගණයේ බයිබලයක් මුද්‍රණය කිරීමට ඔහු තුළ ලොකු ආශාවක් තිබුණා. මේ කාර්යය සඳහා දෙවන ෆිලිප් රජුගේ සහයෝගය ලබා ගැනීමට ඔහුට හැකි වුණා. ඔහුට මුදලෙන් උපකාර කිරීමට රජ පොරොන්දු වූ අතර එම කාර්යය අධීක්ෂණය කිරීම සඳහා ආර්යාස් මොන්තානෝව පිටත් කර යැව්වා. ආර්යාස් මොන්තානෝ ග්‍රීක හා රෝම කලාවට මෙන්ම දර්ශනයට බොහෝ සේ ඇලුම් කළ පුද්ගලයෙක්.

මොන්තානෝට භාෂාව පිළිබඳ හසල දැනුමක් තිබුණා. ඔහු දවසකට පැය 11ක් වැඩ කළා. ස්පාඤ්ඤ, බෙල්ජියම් හා ප්‍රංශ භාෂා පිළිබඳ විශාරදයන්ගේ උපකාරය ඔහුට ලැබුණා. ඔවුන්ගේ අරමුණ වුණේ එවකට ප්‍රසිද්ධියට පත් වී තිබුණු කොම්ප්ලුටෙන්සියන් බහු භාෂා බයිබලයේ නව අනුවාදයක් සකස් කිරීමයි *. ලතින් වල්ගේට්, ග්‍රීක සෙප්ටුඅජන්ට් සහ මුල් හෙබ්‍රෙව් ලියවිලිවලට අමතරව ප්ලාන්ටැන් ඔහුගේ බහු භාෂා බයිබලයට ඇරමයික ටාගුම් සහා සිරියැක් පේෂිට්ටා පරිවර්තන ඇතුළත් කර තිබුණා. ඒ වගේම ලතින් පරිවර්තනයද ඇතුළත් කර තිබුණා.

මෙහි මුද්‍රණ කටයුතු ආරම්භ කළේ 1568දීයි. මෙම දැවැන්ත කාර්යය නිම කළේ 1573දීයි. ඒ කාලයේ හැටියට එය කෙටි කාලයක් ඇතුළත නිම වූ යමක් ලෙස සැලකිය හැකියි. මොන්තානෝ දෙවන ෆිලිප් රජට ලියූ ලිපයක මෙසේ සඳහන් කළා. “රෝමයේ අවුරද්දකින් කරන වැඩක් අපි මෙහේ මාසයකින් කළා.” ප්ලාන්ටැන් නව බහු භාෂා බයිබලයේ පිටපත් 1,213ක් මුද්‍රණය කළා. මේ සෑම පිටපතකටම විශාල වෙළුම් අටක් අයත් වුණා. මුල් පිටුවේ සිංහයෙක්, හරකෙක්, වෘකයෙක් සහ බැටළු පැටියෙක් සාමයෙන් එකම භාජනයක කෑම කන චිත්‍රයක් දකින්න තිබුණා. මෙය යෙසායා 65:25 අදහස දක්වන චිත්‍රයක්. එකට බැඳ නැති වෙළුමක මිල නෙදර්ලන්තයේ මුදලින් ගිල්ඩර් 70ක් වුණා. ඒ කාලයේ සාමාන්‍ය පවුලක වාර්ෂික ආදායම වුණේ ගිල්ඩර් 50යි. මේ නිසා සාමාන්‍ය කෙනෙකුට මෙය මිලදී ගැනීමට පහසු වුණේ නැහැ. මෙම සම්පූර්ණ වෙළුම ඇන්ට්වර්ප් බහු භාෂා බයිබලය ලෙස ප්‍රසිද්ධියට පත් වුණා. එමෙන්ම එම බයිබලයට දෙවන ෆිලිප් රජ අනුග්‍රහය දැක් වූ නිසා එය රාජකීය බයිබලය කියාද හැඳින්වූවා.

දහතුන් වන ග්‍රෙගරි පාප් එම බයිබලයට අනුමැතිය ලබා දුන්නද ආර්යස් මොන්තානෝව ඇතැම් අය දරුණු ලෙස විවේචනයට ලක් කළා. එයට එක් හේතුවක් වුණේ ලතින් වල්ගේට් පරිවර්තනයට වඩා හෙබ්‍රෙව් මුල් පිටපත් ප්ලාන්ටැන් උසස් ලෙස සැලකූ නිසයි. ඔහුව වැඩියෙන්ම විවේචනයට ලක් කළේ ස්පාඤ්ඤ දේවධර්මාචාර්යවරයෙක් වූ ලේඔන් ඩා කැස්ට්‍රෝයි. ඊට හේතුව ඔහු නිවැරදිම පරිවර්තනය ලෙස සැලකුවේ ලතින් වල්ගේට් පරිවර්තනය නිසයි. මෝන්තානෝ ත්‍රිත්ව ඉගැන්වීම්වලට විරුද්ධ අදහස් පළ කරන්නෙක් ලෙස පවසමින් කැස්ට්‍රෝ ඔහුට චෝදනා කළා. ඇතැම් බයිබල් පරිවර්තනවල (King James Version) 1 යොහන් 5:7හි මෙසේ සඳහන් වෙනවා. “ස්වර්ගයේ පියාණන්ද වාක්‍යයාණන්ද ශුද්ධාත්මයාණන්ද වැඩ සිටින අතර ඔවුන් තිදෙනාම එක්කෙනකි.” කැස්ට්‍රෝ විශේෂයෙන්ම මොන්තානෝට චෝදනා කළේ සිරියැක් පේෂිට්ටා පරිවර්තනයේ එය සඳහන් නොකිරීම ගැනයි. කෙසේවෙතත් එවැනි අදහසක් මුල් පිටපත්වල දක්නට නැහැ. ස්පාඤ්ඤයේ මිථ්‍යා ලබ්ධිකයන්ට දඬුවම් කළ පූජක සභාව මොන්තානෝට විරුද්ධව තිබුණු සියලුම චෝදනාවලින් ඔහුව නිදහස් කළා. ඇන්ට්වර්ප් බහු භාෂා බයිබලය ඇතැමුන් සළකන්නේ “16වෙනි සියවසේදී තනි මුද්‍රණ ශිල්පියෙක් විසින් කරන ලද විශිෂ්ටතම කෘතිය ලෙසයි.”

කල්පවතින ප්‍රයෝජන

ඒ කාලයේ සිටි බොහෝ මුද්‍රණ ශිල්පීන්ට තිබුණේ මුද්‍රණාල එකක් හෝ දෙකක් පමණයි. ඔහුගේ මුද්‍රණ කර්මාන්තය දියුණුතම තත්වයක පැවති කාලයේදී ප්ලාන්ටැන්ට අඩුම තරමින් මුද්‍රණාල 22ක්වත් තිබුණු අතර එහි සේවකයන් 160දෙනෙක් සේවය කළා. මුළු ස්පාඤ්ඤය පුරාම ඉදිරියෙන්ම සිටි මුද්‍රණ ශිල්පියා ලෙස ඔහු නම් දැරුවා.

මේ අතර කාලයේදී ස්පඤ්ඤ පාලනයට එරෙහිව පහත රටවලින් එල්ල වූ විරුද්ධවාදිකම් වැඩි වෙන්න පටන් ගත්තා. ඇන්ට්වර්ප් නගරයත් මේ ගැටුම්වලට මැදි වුණා. වර්ෂ 1576දී ස්පාඤ්ඤ කුලී හේවායන් ඔවුන්ට ලැබිය යුතු මුදල් නොලැබීම නිසා කැරැල්ලක් දියත් කළ අතර ඔවුන් එම නගරයද කොල්ල කෑවා. නිවාස 600කට වඩා වැඩි ගණනක් ගිනිබත් කළ අතර ඇන්ටවර්ප්හි වැසියන් දහස් ගණනක් ඝාතනය කරනු ලැබුවා. වෙළඳුන් නගරය අත හැර පලා ගියා. මේ නිසා ප්ලාන්ටැන්ට විශාල පාඩුවක් සිදු වුණා. ඒ විතරක් නෙවෙයි විශාල මුදලක් ගෙවීමට ඔහුට සිදු වුණා.

ප්ලාන්ටැන් 1583දී ඇන්ට්වර්ප් නගරයට උතුරු දෙසින් කිලෝ මීටර් 100ක් පමණ දුරින් පිහිටි ලයිඩන් නගරයේ පදිංචියට ගියා. එහි ඔහු මුද්‍රණාලයක් පිහිටෙවූ අතර ලයිඩන් විශ්ව විද්‍යාලයේ මුද්‍රණ කටයුතු ඔහුට පවරනු ලැබුවා. මෙම විශ්ව විද්‍යාලය පිහිටවනු ලැබුවේ කැල්වින් නිකායේ අය නිසා කතෝලික සභාවට විරුද්ධ කටයුතු කළ බවට කළින් ඔහුට එල්ලව තිබූ චෝදනාව නැවතත් ප්ලාන්ටැන්ට එල්ල වෙන්න පටන් ගත්තා. මේ නිසා ඇන්ට්වර්ප්වල ස්පාඤ්ඤ පාලනය නැවත පිහිටෙවූ පසු 1585 අග භාගයේදී ඔහු නැවතත් එහි පැමිණියා. ඔහු මේ වන විට සිටියේ වයස අවුරුදු 60 ගණන්වලයි. ඔහුගේ මුද්‍රණ කර්මාන්තය අඩාල වී තිබුණු අතර ඔහුට ඉතිරි වූයේ සේවකයන් හතර දෙනෙකුගෙන් යුත් එක් මුද්‍රණාලයක් පමණයි. ප්ලාන්ටැන් නැවතත් ඔහුගේ මුද්‍රණ කර්මාන්තය දියුණු කිරීමට උත්සාහ දැරුවත් එය මුලින් තිබුණු තත්වයට පත් වුණේ නැහැ. ප්ලාන්ටැන් 1589 ජූලි 1වනදා මිය ගියා.

වර්ෂ 34ක් පුරා ප්ලාන්ටැන් විවිධ සංස්කරණ 1,863ක් මුද්‍රණය කළා. මෙය සාමාන්‍යයක් හැටියට ගත් විට අවුරුද්දකට සංස්කරණ 55ක් පමණ වෙනවා. මෙය අද වූවත් තනි මුද්‍රණ ශිල්පියෙකුට කළ හැකි ලොකු දස්කමක් ලෙස සැලකෙනවා. ප්ලාන්ටැන් ආගමක් පිළිබඳ ස්ථාවරයක් ගත් කෙනෙක් නොවුනත් ඔහු කළ කාර්යය නිසා මුද්‍රණ කර්මාන්තය දියුණු වුවාක් පමණක් නොව දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියූ ශුද්ධ වූ ලියවිල්ල අධ්‍යනය කිරීමටද ජනයාට ප්‍රස්තාව උදා වුණා. (2 තිමෝති 3:16) සාමාන්‍ය ජනයාට බයිබලය ලබා ගැනීමට අවස්ථාව උදා වුණේ ප්ලාන්ටැන් සහ ඔහුගේ කාලයේ විසූ මුද්‍රණ ශිල්පීන් වෙහෙස මහන්සි වී කළ සේවය නිසයි.

[පාදසටහන්වල]

^ 3 ඡේ. පහත රටවල් කියා හඳුන්වන්නේ ජර්මනිය හා ප්‍රංශය අතර තිබෙන මුහුදු තීරයට අයත් ප්‍රදේශයයි. එය අද දින බෙල්ජියම, නෙදර්ලන්තය හා ලක්සම්බර්ග් යන රටවලට අයිතියි.

^ 11 ඡේ. මෙම බහු භාෂා බයිබලය මුලින්ම ප්‍රකාශයට පත් කළේ 1517දීයි. එහි හෙබ්‍රෙව්, ග්‍රීක හා ලතින් භාෂා ඇතුළත් වූ අතර සමහර කොටස් ඇරමයික භාෂාවෙන්ද තිබුණා. වැඩි විස්තර සඳහා 2004 අප්‍රියෙල් 15දා මුරටැඹ කලාපයේ 28-31 දක්වා පිටුවල පළවු “පරිවර්තනයට රුකුල් දුන් අතිවිශේෂ මෙවලක් වූ කොම්ප්ලුටෙන්සියන් පොලිග්ලොට් බයිබලය” නමැති මාතෘකාවෙන් යුත් ලිපිය බලන්න.

[15වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ප්ලාන්ටැන් මෝරාටස් කෞතුකාගාරය

ඇන්ට්වර්ප් නගරයේ ප්ලාන්ටැන් සහ ඔහුගෙන් පැවතෙන්නන් ජීවත් වූවෙත් මුද්‍රණ කටයුතු කළේත් එකම ගොඩනැඟිල්ලකයි. මෙම ගොඩනැඟිල්ල 1877දී කෞතුකාගාරයක් ලෙස මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරනු ලැබුවා. ඒ කාලයේදී මුද්‍රණ කටයුතු සිදු කළ මුද්‍රණාල අතරින් තවමත් හොඳ තත්වයක තිබෙන්නේ එම මුද්‍රණාලය විතරයි. දහහත්වන හා දහඅටවන සියවස්වල මුද්‍රණ කටයුතු කළ යන්ත්‍ර පහක් මෙහි දක්නට තිබෙනවා. ලෝකයේ තිබෙන පැරණිතම මුද්‍රණ යන්ත්‍ර දෙකද මෙහි දැක ගත හැකියි. එම යන්ත්‍ර ප්ලාන්ටැන්ගේ කාලයේදී භාවිත කළ ඒවායි. එම කෞතුකාගාරයේ අකුරු ඇමිණීම සඳහා යොදාගත් අච්චු 15,000ක්ද, ලී අච්චු 15,000ක්ද අකුරු කොටා තිබූ තඹ තහඩු 3,000ක්ද මෙහි දැකිය හැකියි. මෙහි පුස්තකාලයක්ද තිබෙන අතර එහි නව වෙනි සියවසේ සිට දාහසයවන සියවස දක්වා ලියූ අත් පිටපත් 638ක්ද 1501කට කලින් මුද්‍රණය කළ පොත් 154ක්ද තිබෙනවා. වර්ෂ 1461ට කලින් සකස් කරන ලද ගුටන්බර්ග්ගේ බයිබලයේ මුල් පිටපතක්ද ප්ලාන්ටැන්ගේ ඇන්ට්වර්ප් බහු භාෂා බයිබලයේ පිටපතක්ද මෙහි දක්නට තිබෙනවා.

[15වන පිටුවේ පින්තූරය]

ආර්යාස් මොන්තානෝ

[16වන පිටුවේ පින්තූරය]

ඇන්ට්වර්ප් බහු භාෂා බයිබලයේ ලතින් වල්ගේට් ග්‍රීක සෙප්ටුඅජන්ට් සිරියැක් පේෂිට්ටා සහ ඇරමයික ටාගුම් මෙන්ම ලතින් පරිවර්තනයද ඇතුළත් කර තිබුණා

[හිමිකම් විස්තර]

By courtesy of Museum Plantin-Moretus/​Stedelijk Prentenkabinet Antwerpen

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Both images: By courtesy of Museum Plantin-Moretus/​Stedelijk Prentenkabinet Antwerpen