Skip to content

පටුනට යන්න

දෙවිගේ ප්‍රේමය සැමදා ලබන්න ඔබට හැකි අයුරු

දෙවිගේ ප්‍රේමය සැමදා ලබන්න ඔබට හැකි අයුරු

දෙවිගේ ප්‍රේමය සැමදා ලබන්න ඔබට හැකි අයුරු

‘ප්‍රේමණීය තැනැත්තෙනි, සදාකාල ජීවනය බලාසිටිමින් දෙවිගේ ප්‍රේමයෙහි පවතින්න.’—යූද් 20, 21.

1, 2. ඔබට සැමදා දෙවිගේ ප්‍රේමය ලැබිය හැක්කේ කෙසේද?

යෙහෝවා දෙවි මිනිසුන්ට මොන තරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව මේ පොළොවට එවා ඔහු කෙරෙහි ඇදහිල්ල තබන අයට සදාකාල ජීවනය ලබාගැනීමේ ප්‍රස්තාව උදා කර දුන්නා. (යොහන් 3:16) එවැනි ප්‍රේමයක් අද්දකින්න ලැබීම මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! ඔබ යෙහෝවා දෙවිගේ සේවකයෙක් නම් එවැනි ප්‍රේමයක් සැමදා ලබන්න ඔබ කැමති වෙනවාට කිසිම සැකයක් නැහැ.

2 දෙවිගේ ප්‍රේමය ඔබට සැමදා ලබන්න පුළුවන් ආකාරය ගැන පැහැදිලි කරමින් යූද් මෙසේ පැවසුවා. “ඉතා ශුද්ධ වූ ඔබේ ඇදහිල්ල මත ඔබවම ගොඩනඟා ගැනීමෙන්ද, ශුද්ධාත්මයෙන් යාච්ඤා කිරීමෙන්ද, සදාකාල ජීවනය ලැබෙන පිණිස අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දයාව බලා සිටිමින් දෙවිගේ ප්‍රේමයෙහි පවතින්න.” (යූද් 20, 21) “දෙවිගේ ප්‍රේමයෙහි පවතින්න” යන්නෙන් අදහස් කරන්නේ සැමදා ඔහුගේ ප්‍රේමය ලැබීමයි. මේ සඳහා කළ යුතු ප්‍රධාන දේවල් දෙකක් යූද් සඳහන් කරනවා. මුලින්ම අපි ‘ඉතා ශුද්ධ වූ ඇදහිල්ල’ මත අපවම ගොඩනඟාගත යුතුයි. මෙහි ශුද්ධ වූ ඇදහිල්ල කියන්නේ ක්‍රිස්තියානි ඉගැන්වීම්වලටයි. ඒ මත අපව ගොඩනඟා ගැනීම කියන්නේ ඒවාට අනුව අපේ ජීවිත හැඩගස්වා ගැනීමයි. මේ සඳහා අපි දේවවචනය අධ්‍යයනය කිරීම හා ශුභාරංචිය දේශනා කිරීම අවශ්‍යයි. දෙවනුව අප ‘ශුද්ධාත්මය’ හෙවත් දෙවිගේ බලය තුළින් ලබා දෙන මඟ පෙන්වීම්වලට එකඟව යාච්ඤා කළ යුතුයි. මෙලෙස අප දිගටම දෙවිගේ ප්‍රේමය ලබනවා නම් අපට සදාකාල ජීවනය නමැති ත්‍යාගය ලැබිය හැකියි. නමුත් ඒ සඳහා යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමත් අත්‍යවශ්‍යයි.—1 යොහන් 4:10.

3. සමහරුන් තවදුරටත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොවන්නේ ඇයි?

3 කාලයක් ඇදහිල්ලෙන් දෙවිට සේවය කළ සමහරුන් පසුකලෙක දෙවිගේ ප්‍රේමය අහිමි කරගෙන තිබෙනවා. ඔවුන් හිතාමතාම දෙවි හෙළාදකින දේවල් කර තිබෙන නිසා තවදුරටත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස ඔවුන්ව සලකන්නේ නැහැ. ඔබටත් මෙවන් දෙයක් සිදු නොවීම සඳහා කුමක් කල හැකිද? මේ ලිපියේ කරුණු ගැන හොඳින් සිතා බැලීමෙන් දෙවි හෙළාදකින දේවල්වලින් වැළකී, දෙවිගේ ප්‍රේමය සැමදා ලබන්න ඔබට හැකි වේවි.

දෙවිට තිබෙන ඔබේ ප්‍රේමය පෙන්වන්න

4. දෙවිට කීකරු වීම කොතරම් වැදගත්ද?

4 මුලින්ම දෙවිට කීකරු වීමෙන් ඔහුට තිබෙන ඔබේ ප්‍රේමය පෙන්වන්න. (මතෙව් 22:37) යොහන් ඒ ගැන මෙසේ පැවසුවා. “දෙවිට ප්‍රේම කිරීම යනු, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බරක් නොවේ.” (1 යොහන් 5:3) සෑම කාරණයකදීම දෙවිට කීකරු වීම ඔබේ පුරුද්දක් කරගෙන තිබෙනවා නම් පරීක්ෂාවලට එරෙහි වීමට ඔබට එය ශක්තියක් වන අතර ප්‍රීතියක් ලබන්නත් පුළුවන්. ගීතිකාකරු පැවසුවේ ‘දුෂ්ටයන්ගේ මන්ත්‍රණයෙහි නොහැසිරෙන්නාවූ මනුෂ්‍යයා ආශීර්වාද ලද්දේය. ඔහුගේ ප්‍රීතිය යෙහෝවාගේ ව්‍යවස්ථාව කෙරෙහිය’ කියායි.—ගීතාවලිය 1:1, 2.

5. ඔබ යෙහෝවා දෙවිට ප්‍රේම කරනවා නම් ක්‍රියා කරන්නේ කෙසේද?

5 ඔබ ඇත්තටම යෙහෝවා දෙවිට ප්‍රේම කරනවා නම් දෙවිගේ නාමයට නින්දාවක් ගෙන දෙන ආකාරයේ බරපතළ වැරදි කිරීමෙන් ඔබ වැළකී සිටිනවා. ගීතිකාකරුවෙක් වූ ආගුර් මෙසේ යාච්ඤා කළා. “මා පූර්ණව ඔබ අත්හැර යෙහෝවා කවුදැයි නොකියන පිණිසද නොහොත් මා දුප්පත්ව සොරකම් කරමින් මාගේ දෙවිගේ නාමය නිරර්ථකයෙන් [අගෞරව ලෙස, පැරණි අනුවාදය] සඳහන් නොකරන පිණිසද මට දිලිඳුකමවත් පොහොසත්කමවත් නොදී වුවමනා කෑමෙන් මා පෝෂණය කළ මැනව.” (හිතෝපදේශ 30:1, 8, 9) ‘දෙවිගේ නාමයට අගෞරවයක්’ වන කිසිවක් නොකිරීමට අධිෂ්ඨාන කරගන්න. ඔහුගේ නාමය ගෞරවයට පත්වන ආකාරයෙන් හරි දේ කිරීමට සැමවිටම වෑයම් කරන්න.—ගීතාවලිය 86:12.

6. ඔබ හිතාමතාම පව් කරනවා නම් කුමක් විය හැකිද?

6 වැරදි පෙලඹීම් ඇති වන අවස්ථාවලදී ඒවාට එරෙහි වීමට උපකාර ඉල්ලා ඔබේ ස්වර්ගික පියාට නිතිපතා යාච්ඤා කරන්න. (මතෙව් 6:13; රෝම 12:12) ඔබගේ යාච්ඤාවලට බාධා ඇති නොවීම සඳහා දෙවිගේ උපදෙස් නිතරම පිළිපදින්න. (1 පේතෘස් 3:7) හිතාමතාම වැරදි කිරීමේ ප්‍රතිවිපාක භයානකයි. එවැනි කෙනෙකුගේ යාච්ඤාවලට දෙවි සවන් දෙන්නේ නැහැ. එවැනි අයගේ යාච්ඤා තමන් වෙත ළඟා නොවන ලෙස දෙවි තමන්ව වලාකුළකින් වසා ගන්නවා කියා බයිබලයේ පවසනවා. (විලාප ගී 3:42-44) එමනිසා යටහත් පහත්කම වර්ධනය කරගනිමින් දෙවිට යාච්ඤා කිරීමට බාධා ඇති වන කිසිම දෙයක් ඔබ අතින් සිදු නොවීම සදහා උපකාර ඉල්ලා දෙවිට යාච්ඤා කරන්න.—2 කොරින්ති 13:7.

දෙවිගේ පුත්‍රයාට ඔබේ ප්‍රේමය පෙන්වන්න

7, 8. යේසුස් දුන් උපදෙස් පිළිපැදීමෙන් බරපතළ වැරදිවලින් වැළකී සිටින්න පුළුවන් කොහොමද?

7 යේසුස්ට තිබෙන ඔබේ ප්‍රේමය ඔහු දුන් ආඥා පැවැත්වීමෙන් පෙන්වන්න. වැරදි දේවල් කිරීමෙන් වැළකී සිටීමට එම ප්‍රේමය ඔබට උපකාරවත් වේවි. යේසුස් මෙසේ පැවසුවේ එනිසයි. “මා පියාණන්ගේ ආඥා පවත්වා ඔහුගේ ප්‍රේමයෙහි පවතින්නා සේම, ඔබ මාගේ ආඥා පවත්වනවා නම්, ඔබත් මාගේ ප්‍රේමයෙහි පවතිනවා ඇත.” (යොහන් 15:10) යේසුස් පැවසූ එම වචනවලට එකඟව ජීවත් වීමෙන් සැමදා දෙවිගේ ප්‍රේමය ලබන්න අපිට පුළුවන් කොහොමද?

8 යේසුස්ගේ ඒ වචන හොඳින් සිතට ගැනීමෙන් දෙවිගේ සදාචාර ප්‍රමිතිවලට එකඟව ක්‍රියා කරන්න ඔබට පුළුවන්. දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතියේ සඳහන් වුණේ. “පරදාර සේවනයේ නොයෙදෙන්න “ කියායි. (නික්මයාම 20:14 නව ලොව පරිවර්තනය, NW) ඒත් යේසුස් එම නීතියේ පදනම්ව තිබූ ප්‍රතිපත්තිය පෙන්වමින් මෙසේ පැවසුවා. “කාම ආශාවක් ඇති වන ලෙස ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ පරදාර සේවනයේ යෙදී ඇත.” (මතෙව් 5:27, 28) පළමුවෙනි සියවසේ සිටි සමහරුන්ට ‘පරදාර සේවනයෙන් පිරී තිබෙන ඇස්’ තිබූ බවත් ඔවුන් ‘අස්ථිර අයව නොමඟට පොලඹවා ගත්’ බවත් පේතෘස් පැවසුවා. (2 පේතෘස් 2:14) ඔබ දෙවිට සහ යේසුස්ට ප්‍රේම කරමින් ඔවුන්ට කීකරු වෙමින් ඔවුන් සමඟ තිබෙන ඔබේ මිත්‍රත්වය දිගටම පවත්වා ගැනීමට අධිෂ්ඨානය කරගන්නවා නම් එවැනි බරපතළ වැරදිවලින් වැළකී සිටින්න ඔබට පුළුවන්.

දෙවිගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න

9. යමෙක් දිගටම පව් කළොත් කුමක් විය හැකිද?

9 ශුද්ධාත්මය හෙවත් දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කර එය ඔබ තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න. (ලූක් 11:13; ගලාති 5:19-25) නමුත් දිගින් දිගටම පව් කරනවා නම් දෙවි තම බලය ඔබ තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ හරින්නේ නැහැ. බැත්ෂෙබා සමඟ පව් කිරීමන් පසු දාවිත් පැවසූ දෙයින් එය පැහැදිලියි. ඔහු දෙවිට කන්නලව් කළේ. “ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව. ඔබගේ ශුද්ධාත්මය [එනම් බලය] මාගෙන් නොගත මැනව” කියායි (ගීතාවලිය 51:11) සාවුල් රජ පසුතැවිලි නොවී දිගින් දිගටම පව් කළ නිසා දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වුණේ නැහැ. සාවුල් අමලෙක්වරුන්ගේ රජව විනාශ නොකර ඔවුන්ගේ බැටළු රැළවල් ඉතිරි කරගැනීම නිසාත් තමන්ට අයිති නැති දවන පූජාවක් ඔප්පු කිරීම නිසාත් යෙහෝවා දෙවි තම බලය ඔහු තුළ එතැන් පටන් ක්‍රියාත්මක වීමට ඉඩ හැරියේ නැහැ.—1 සාමුවෙල් 13:1-14; 15:1-35; 16:14-23.

10. දිගටම පව් කිරීමට ඇති වන සිතුවිල්ල පවා අප ඉවත් කළ යුත්තේ ඇයි?

10 දිගටම පව් කිරීමට ඇති වන සිතුවිල්ලකට පවා ඉඩ දෙන්න එපා. “සත්‍යය පිළිබඳ නිවැරදි දැනුම ලැබුණායින් පසු, අපි ඕනෑකමින්ම දිගටම පව් කරමු නම්, පාප උදෙසා පූජාවක් තවත් ඉතිරිව නැත.” කියා පාවුල් පැවසුවේ එනිසයි. (හෙබ්‍රෙව් 10:26-31) ඔබ දිගින් දිගටම පව් කරනවා නම් එය මොන තරම් කනගාටුදායක දෙයක්ද කියා සිතා බලන්න!

අන් අයටත් සැබෑ ප්‍රේමය පෙන්වන්න

11, 12. ලිංගික දුරාචාරයෙන් වැලකී සිටීමට ප්‍රේමය හා ගෞරවය උපකාරවත් වන ආකාරය පෙන්වා දෙන්න.

11 ඔබ අන් අයට අවංකවම ප්‍රේමය පෙන්වනවා නම් ලිංගික දුරාචාරයෙන් වැළකී සිටීමට එය ඔබට උපකාරවත් වෙනවා. (මතෙව් 22:39) එවැනි ප්‍රේමයක් ඔබ තුළ තිබෙනවා නම් ඔබ ඔබේ හදවත ආරක්ෂා කරගන්නවා. එවිට ඔබ වෙනත් කෙනෙකුගේ ස්වාමිපුරුෂයාගේ හෝ භාර්යාවගේ ආදරය සොරාගන්න තැත් කරන්නේ නැහැ. යම් ලෙසකින් එවැනි දෙයක් කළොත් එය පරදාර සේවනය දක්වා දුර දිග යන්න පුළුවන්. (හිතෝපදේශ 4:23; යෙරමියා 4:14; 17:9, 10) තමන්ගේ භාර්යාව හැර වෙනත් ස්ත්‍රීන් ගැන වුවමනාවට වඩා අවධානයක් නොදුන් ධර්මිෂ්ඨ යෝබ්ව අනුකරණය කරන්න.—යෝබ් 31:1.

12 දෙවි ඇති කළ විවාහ සැලැස්මට ගෞරව කිරීමත් බරපතළ පාපවලින් වැලකී සිටින්න ඔබට හැකි වෙනවා. පුරුෂයෙකුට හා ස්ත්‍රියකට ලිංගික සම්බන්ධකම් පැවැත්වීමේ හැකියාව ලබා දීමෙන් දෙවි අරමුණු කළේ ඔවුන් දූ දරුවන් බිහි කරනවා දැකීමයි. ගෞරවනීය විවාහයකින් දෙවි බලාපොරොත්තු වූයේ එයයි. (උත්පත්ති 1:26-28) ලිංගේන්ද්‍රයන්වලින් කෙරෙන මූලික දේ දෙවි පරිශුද්ධ දෙයක් ලෙස සලකන ජීවිතයක් බිහි කිරීමට දායක වීම බව මතක තබාගන්න. නමුත් වේශ්‍යාකම් කරන්නන් සහ පරදාර සේවනයේ යෙදෙන්නන් දෙවිට අකීකරු වෙමින් දෙවිගේ එම උතුම් සැලැස්ම පහත් දෙයක් බවට පත් කර තිබෙනවා. මෙය දෙවිට මොන තරම් අගෞරවයක්ද! තමන්ගේම ශරීරයට විරුද්ධව පව්කරන මොවුන් භයානක ප්‍රතිඵල ලබනවා. (1 කොරින්ති 6:18) නමුත් දෙවිට කීකරු වීම මගින් දෙවිට මෙන්ම අන් අයටත් සැබෑ ප්‍රේමයක් පෙන්වනවා නම් එවැනි පාපවලින් වැලකී සිටින්න ඔබට පුළුවන්. එවැනි පාපවල නියැලෙන අයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්න පවා ඉඩ තිබෙනවා.

13. ලිංගික දුරාචාරයේ යෙදෙන කෙනෙක් තමාගේ ‘සම්පත්තිය නාස්ති කර ගන්නේ’ කෙසේද?

13 පව්කාර සිතුවිලි මැඩ පවත්වා ගන්නවා නම් ඔබ ආදරය කරන අයව වේදනාවට පත් නොකර ඉන්න ඔබට පුළුවන්. හිතෝපදේශ 29:3හි මෙසේ පවසනවා. “වේශ්‍යා ස්ත්‍රීන් හා සමාගම් පවත්වන්නා තමාගේ සම්පත්තිය නාස්ති කරයි.” පසුතැවිලි නොවි දිගටම පරදාර සේවනයේ යෙදෙන කෙනෙක් දෙවි සමඟ මෙන්ම තම පවුලේ අය සමඟ තිබෙන බැඳීමත් නැති කර ගන්නවා. එවැනි කෙනෙකුගේ භාර්යාවට දික්කසාද වීම සඳහා පදනමක් තිබෙන නිසා ඔහුට ඇයවත් අහිමි වෙන්න පුළුවන්. (මතෙව් 19:9) ස්වාමිපුරුෂයා හෝ භාර්යාව හෝ කරන එවැනි වැරැද්දක් නිසා විවාහය දෙකඩ වන අතර එමගින් නිර්දෝෂ කෙනාද දරුවන්ද වෙනත් අයද බොහෝ සිත් වේදනා අද්දකිනවා. ලිංගික දුරාචාරය නිසා අත්වන විනාශකාරී ප්‍රතිඵල ගැන සිතීම එයින් වැලකී සිටීමට ඔබ තුළ පෙලඹීමක් ඇති කරන්නේ නැද්ද!

14. හිතෝපදේශ 6:30-35 දක්වා සඳහන් දෙයින් අපට ඉගෙන ගත හැකි පාඩම කුමක්ද?

14 පරදාර සේවනයෙන් සිදු වන හානිය මකා දමන්න නොහැකි බව හොදින් තේරම් ගන්න කෙනෙක් එම බරපතළ පාපයෙන් වැළකී සිටිනවා. හිතෝපදේශ 6:30-35 දක්වා සඳහන් වන ආකාරයට කුසගින්න නිසා සොරකමක් කළ කෙනෙකුට මිනිසුන් අනුකම්පා කළත් පරදාර සේවනයේ යෙදෙන්නෙකුට අනුකම්පා කරන්නේ නැහැ. එයට හේතුව ඔහු එය කරන්නේ වැරදි චේතනාවෙන් නිසයි. මෙවැනි කෙනෙක් ‘තමාගේම ප්‍රාණය විනාශ කර ගන්නවා.’ මෝසෙස්ගේ නීතියට අනුව එවැනි කෙනෙකුට ලැබෙන දඬුවම මරණයයි. (ලෙවී කතාව 20:10) පරදාර සේවනයේ යෙදෙන කෙනෙක් සිතන්නේ තමන්ගේ දැවෙන ලිංගික ආශාව සංසිඳවා ගැනීම ගැන විතරයි. ඉන් අන් අයට සිදු වන වේදනාව ගැන එවැනි කෙනෙක් සිතන්නේ නැහැ. පසුතැවිලි නොවී දිගටම එම වරදෙහි යෙදෙනවා නම් ඔහුට දෙවිගේ ප්‍රේමය ලැබෙන්නේ නැහැ. එවැනි කෙනෙකුව ක්‍රිස්තියානි සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලබනවා.

දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතිව සිටින්න

15. ‘හංවඩු ගසන ලද හෘදය සාක්ෂියක්’ තිබෙන කෙනෙකුගේ තත්වය විස්තර කරන්න.

15 දිගටම දෙවිගේ ප්‍රේමය ලබන්න නම් ඔබගේ හෘදය සාක්ෂිය කිසිම හැඟීමක් දැනීමක් නොදැනෙන තත්වයට පත් වෙන්න ඉඩ නොදිය යුතුයි. මේ සඳහා ලෝකයේ පහත් සදාචාර ප්‍රමිති ඔබ ප්‍රතික්ෂේප කළ යුතුයි. ඔබ ඇසුරු කරන අය, කියවන පොත් පත් සහ විනෝදාස්වාදයන් කල්පනාකාරීව තෝරා ගත යුතුයි. පාවුල් මෙසේ අනතුරු ඇඟෙව්වා. “පසු කාල පරිච්ඡේදවලදී සමහරුන් ඇදහිල්ලෙන් වැටී යනවා ඇතැයි ආනුභාව ලත් ප්‍රකාශය ස්ථිර ලෙස කියන්නේය. මුළා කරවන ආත්මයන්ගේ ප්‍රකාශවලට හා භූතයන්ගේ ඉගැන්වීම්වලට අවධානය යොමු කිරීම නිසාද, හංවඩු ගසන ලද හෘදය සාක්ෂි ඇති බොරු කියන්නාවූ මිනිසුන්ගේ කුහකකම නිසාද එසේ වැටී යන්නේය.” (1 තිමෝති 4:1, 2) ‘හංවඩු ගසන ලද හෘදය සාක්ෂියක්’ තිබෙන කෙනෙකුගේ තත්වය හරියට හැඟීම් දැනීම් නොදැනෙන පිලිස්සුණු සමක් හා සමානයි. සැබෑ ක්‍රිස්තියානි ඉගැන්වීම්වලින් ඉවත් වී ඇදහිල්ලෙන් වැටී ගොස් සිටින අයගෙන් පරෙස්සම් වීමේ අවශ්‍යතාව ගැන වගේම තමන්වත් ඇදහිල්ලෙන් වැටීමට හේතු විය හැකි තත්වයන් ගැන එවැනි කෙනෙකුගේ හෘදය සාක්ෂියෙන් අනතුරු ඇඟවීම් ලැබෙන්නේ නැහැ.

16. පවිත්‍ර හෘදය සාක්ෂියක් ඇතුව සිටීම එතරම් වැදගත් වෙන්නේ ඇයි?

16 අපට ගැලවීම ලැබෙන්නේ දෙවි ඉදිරියේ නිදොස් වූ යහපත් හෘදය සාක්ෂියක් තිබෙනවා නම් පමණයි. (1 පේතෘස් 3:21) යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීම මගින් මළ ක්‍රියා නිසා අපවිත්‍ර වී තිබූ අපේ හෘදය සාක්ෂිය පවිත්‍ර කරගැනීමට අපිට හැකි වී තිබෙනවා. ‘ජීවමාන දෙවිට පරිශුද්ධ සේවය පිරිනමන්න’ අපිට හැකි වී තිබෙන්නේ එමනිසයි. (හෙබ්‍රෙව් 9:13, 14) එහෙත් අපි හිතාමතාම පව් කළොත් අපේ හෘදය සාක්ෂිය දූෂ්‍ය විය හැකි අතර පවිත්‍ර සෙනඟක් හැටියට අපිට දෙවිට සේවය කරන්නත් හැකි වෙන්නේ නැහැ. (තීතස් 1:15) කෙසේවෙතත් යෙහෝවා දෙවිගේ උපකාරයෙන් ඔහු ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටින්න අපට පුළුවන්.

පව් කිරීමෙන් වැළකී සිටිය හැකි තවත් ආකාර

17. “සම්පූර්ණයෙන්ම යෙහෝවා අනුව” යෑමෙන් ඔබ අද්දකින්නේ කුමක්ද?

17 පුරාණ ඊශ්‍රයෙලයේ විසූ කාලෙබ් මෙන් “සම්පූර්ණයෙන්ම යෙහෝවා අනුව” යන්න. (ද්වීතිය කතාව 1:34-36) දෙවි ඔබෙන් බලාපොරොත්තු වන දේවල් කරන්න. “භූතයන්ගේ මේසයට” කවදාවත් පංගුකාරයෙක් වෙන්න එපා. (1 කොරින්ති 10:21) සැබෑ ක්‍රිස්තියානි ඉගැන්වීම්වලින් ඉවත් වී සිටින අයට සවන් නොදෙන්න. යෙහෝවා දෙවිගේ මේසයෙන් පමණක් සපයන ආහාර ස්තුතිපූර්වකව භුක්ති විඳින්න. එසේ කරනවා නම් බොරු ගුරුවරුන්ගෙන් හා දුෂ්ට ආත්ම සමූහයන්ගෙන් ඔබ රැවටෙන්නේ නැහැ. (එෆීස 6:12; යූද් 3, 4) බයිබලය අධ්‍යයනය කිරීම, රැස්වීම්වලට සහභාගී වීම හා දේවසේවයේ හවුල් වීම වැනි ක්‍රියාකාරකම්වල නියැලෙන්න. ඔබ යෙහෝවා දෙවි අනුව සම්පූර්ණයෙන්ම යමින් ස්වාමීන්ගේ වැඩෙහි නිතරම නියැලී සිටිනවා නම් ඔබට සතුටින් ජීවත් විය හැකි බවට කිසිම සැකයක් නැහැ.—1 කොරින්ති 15:58.

18. දේවගරුබිය ඔබේ හැසිරීමට බලපාන්නේ කෙසේද?

18 ‘දේවභයෙන් සහ ගරුබියෙන් යුක්තව දෙවිට පරිශුද්ධ සේවය පිරිනැමීමට’ අදිටන් කරගන්න. (හෙබ්‍රෙව් 12:28) යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඔබට තිබෙනවා නම් ඔබ දෙවි අකමැති දේ කිරීමෙන් වැළකී සිටිනවා. “සියල්ලන්ව එක හා සමානව විනිශ්චය කරන පියාණන්ට ඔබ අයැදින්නේ නම්, විදේශිකයන් ලෙස ඔබ වාසය කරන කාලය තුළදී භයෙන් යුක්තව හැසිරෙන්න” කියා පේතෘස් අභිෂේකලත් ක්‍රිස්තියානීන්ට දුන් උපදෙස්වලට අනුව ක්‍රියා කරන්න දේවගරුබිය ඔබටත් උපකාරවත් වේවි.—1 පේතෘස් 1:17.

19. දේවවචනයෙන් ඔබ ඉගෙන ගන්න දේවල් සැමදාම අදාළ කර ගත යුත්තේ ඇයි?

19 දේවවචනයෙන් ඔබ ඉගෙන ගන්න දේවල් සැමදාම ජීවිතයට අදාළ කරගන්න. ඔබ මෙසේ කරනවා නම් “හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීම සඳහා භාවිතයෙන්ම පුහුණු කරන ලද වටහාගැනීමේ හැකියාව” ඔබට ලැබෙනවා. එය ඔබට බරපතළ පාපවලින් වැළකී සිටීමට උපකාරවත් වෙනවා. (හෙබ්‍රෙව් 5:14) කතා බහේදී හා හැසිරීමේදී අඥානයෙක් නොවී මේ දුෂ්ට දවස්වල “සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන” ගන්න. නැණවත් පුද්ගලයෙක් මෙන් ගමන් කිරීමට සැලකිලිමත් වෙන්න. ‘යෙහෝවා දෙවිගේ කැමැත්ත කුමක්දැයි වටහාගෙන’ එය දිගටම කරන්න.—එෆීස 5:15-17; 2 පේතෘස් 3:17.

20. අන් අය සතු දේවලට ආශා කිරීමෙන් වැළකී සිටිය යුත්තේ ඇයි?

20 අන් අය සතු දේවලට කිසිසේත් ආශා නොකරන්න. “ඔබේ අසල්වාසියාගේ ගෙට ආශා නොවන්න. ඔබේ අසල්වාසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩකාරයාටවත් වැඩකාරීටවත් ඔහුගේ ගොනාටවත් කොටළුවාටවත් ඔබේ අසල්වාසියාගේ කිසි දෙයකටවත් ආශා නොවන්නයයි” දස පනතේ සඳහන් වෙනවා. (නික්මයාම 20:17) මෙම නීතිය මගින් කෙනෙකුගේ නිවස, භාර්යාව, වැඩ කාරයන් සතුන් ඇතුළු සෑම දෙයක්ම ආරක්ෂා වුණා. එහෙත් මෙවැනි තණ්හාවකින් වැළකී සිටීමට තිබෙන වැදගත්ම හේතුව වෙන්නේ යේසුස් පැවසූ ලෙස තණ්හාව ඇති කෙනෙක් තමාවම දූෂ්‍ය කරගන්න නිසයි.—මාක් 7:20-23.

21, 22. ක්‍රිස්තියානියෙකුට පව් කිරීමෙන් වැළකී සිටිය හැක්කේ කෙසේද?

21 ආශාව පාපය දක්වා දුර දිග යන්න නොදී එය වළක්වා ගැනීම සඳහා පියවර ගන්න. පාපයට මූලික හේතුව ආශාව බව යාකොබ් පැවසූ මේ වදන්වලින් පෙනී යනවා. “එකිනෙකා තම තමාගේ ආශාවෙන් අදිනු ලැබ නොමඟට පොලඹවනු ලබන කල පරීක්ෂා කරනු ලබන්නේය. එවිට ආශාව පිළිසිඳගත් කල, පාපය බිහි කරයි. ඉන්පසු පාපය සම්පූර්ණ වූ කල, මරණය උපදවයි.” (යාකොබ් 1:14, 15) මේ අනුව, අතීතයේදී මත්පැන්වලට ඇබ්බැහි වී සිටි කෙනෙක් තම ආශාව පාලනය කිරීම සඳහා නිවසේ මත්පැන් තබා නොගැනීමට තීරණය කළ හැකියි. එසේ නැතහොත් තමන් රැකියා කරන ස්ථානයේ සිටින කෙනෙක් තමන් සමඟ ආලයෙන් බැඳෙන්න උත්සාහ කරනවා නම් එයින් වැළකීමට වෙනත් රැකියාවක් සොයා ගැනීමට හෝ රැකියාව කරන තැන වෙනස් කිරීමට තීරණය කළ හැකියි.—හිතෝපදේශ 6:23-28.

22 පාපයක් කිරීමට මඟ පාදන කුඩා දෙයක්වත් කරන්න එපා. නුසුදුසු ලෙස ආලවන්ත හැඟීම් පෑමට හෝ නරක සිතුවිලි ඇති වීමට ඉඩ හරිනවා නම් ඉන් ඇති විය හැකි අවසාන ප්‍රතිඵලය වේශ්‍යකම හෝ පරදාර සේවනය විය හැකියි. පොඩි බොරුවක් කියන කෙනෙක් හානිකර බොරුවක් පවා කීමට ඉඩ ඇති අතර එය පුරුද්දක් විය හැකිය. පොඩි පොඩි හොරකම් කරන කෙනෙකුගේ හෘදය සාක්ෂිය හංවඩු ගැසීම නිසා ඔහු ලොකු සොරකම් පවා කිරීමට පෙළඹෙන්න පුළුවන්. ඔබ ඉගෙන ගෙන තිබෙන සත්‍යයන් ගැන සුළු සැකයක් හෝ ඔබ තුළ ඇති වෙන්න ඉඩ හැරියොත් අවසානයේදී දෙවිගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වීමට පවා එය හේතු වෙන්න පුළුවන්.—හිතෝපදේශ 11:9; එළිදරව් 21:8.

ඔබ බරපතළ පාපයක් කර තිබෙනවා නම්?

23, 24. දෙවන ලේකම් 6:29-31 හා හිතෝපදේශ 28:13හි සඳහන් වදන්වලින් අපට සහනයක් ලබාගත හැක්කේ කෙසේද?

23 පව් නොකරන කිසි කෙනෙක් නැහැ. (දේශනාකාරයා 7:20) ඔබ යම් බරපතළ පාපයක් කර තිබෙනවා නම් සාලමොන් රජ දේව මාලිගාව කැප කළ අවස්ථාවේදී යෙහෝවා දෙවිට කළ යාච්ඤාවෙන් ඔබට යම් සහනයක් ලබන්න පුළුවන්. සාලමොන් රජ යාච්ඤා කළේ මෙසේයි. “එකිනෙකා තම තමාගේ පීඩාවද දුකද දැන මේ ගෘහය දෙසට තමාගේ අත් දිගු කරන්නාවූ යම්කිසිවෙකු විසින් හෝ ඔබගේ මුළු සෙනඟ වූ ඊශ්‍රායෙල් විසින් හෝ කරන යම් යාච්ඤාවක්වත් කන්නලව්වක්වත් වන්නේද අපේ පියවරුන්ට දුන් දේශයෙහි ඔවුන් ජීවත් වන සියලු දවස්වලදී ඔබට භය වන පිණිස ඔබගේ වාසස්ථානය වූ ස්වර්ගයෙහි සිට අසා කමා කළ මැනව. මක්නිසාද ඔබ පමණක්ම සියලු මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් දන්නේය.”—2 ලේකම් 6:29-31.

24 මිනිසුන්ගේ සිත්වල තිබෙන දේවල් හොඳින් දන්නා දෙවි සමාව දීමට කැමැත්තෙන් සිටිනවා. හිතෝපදේශ 28:13හි මෙසේ පවසා තිබෙනවා. “තමාගේ වැරදි සඟවන්නා සාර්ථක වන්නේ නැත. නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව දක්වනු ලැබේ.” [NW] අවංකව පසුතැවිලි වී තමන් කරන පාපය අත් හරිනවා නම් දෙවිගේ දයාව ලබාගන්න ඔබට පුළුවන්. එසේ කලත් තවමත් දෙවි සමඟ කිට්ටු බැඳීමක් නැතැයි කියා ඔබට හැඟෙනවාද? එසේ නම් දෙවිගේ ප්‍රේමය දිගටම ලබන්න ඔබට කරන්න පුළුවන් මොනවාද? මේ ගැන ඊළඟ ලිපියේදී සලකා බලමු.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• ඔබට සැමදා දෙවිගේ ප්‍රේමය ලැබිය හැක්කේ කෙසේද?

• දෙවිට හා යේසුස්ට ඔබ දක්වන ප්‍රේමය පාපවලින් වැළකී සිටීමට උපකාරවත් වෙන්නේ කෙසේද?

• අන් අයට සැබෑ ප්‍රේමයක් පෙන්වීම ලිංගික දුරාචාරයෙන් වැළකී සිටීමට ඔබට උපකාරවත් වෙන්නේ කෙසේද?

• වැරදි කිරීමෙන් වැළකී සිටිය හැකි ආකාර මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

අපට සැමදා දෙවිගේ ප්‍රේමය ලැබිය හැකි ආකාරය ගැන යූද් පෙන්වා දෙයි

[23වන පිටුවේ පින්තූරය]

විවාහය දෙකඩ වීමෙන් නිර්දෝෂ කෙනාද දරුවන්ද බොහෝ සිත් වේදනා අද්දකියි

[24වන පිටුවේ පින්තූරය]

ඔබත් කාලෙබ් මෙන් “සම්පූර්ණයෙන්ම යෙහෝවා අනුව” යන්න අධිෂ්ඨාන කරගෙන සිටිනවාද?

[25වන පිටුවේ පින්තූරය]

වැරදි පෙලඹීම්වලට එරෙහි වීමට උපකාර ඉල්ලා නිතරම යාච්ඤා කරන්න