Skip to content

පටුනට යන්න

‘ධෛර්යවන්ත ලෙස’ සම්පූර්ණ සාක්ෂියක් දීම

‘ධෛර්යවන්ත ලෙස’ සම්පූර්ණ සාක්ෂියක් දීම

““අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය”

‘ධෛර්යවන්ත ලෙස’ සම්පූර්ණ සාක්ෂියක් දීම

දරුණු කලහකාරී පිරිසක් දෙවිගේ කීකරු සේවකයෙක්ව මරණයට පත් කිරීමට සුදානම් වෙමින් සිටියා. ඒ අවස්ථාවේදීම රෝම හේවායින් මේ මිනිසාව අත් අඩංගුවට ගැනීම නිසා ඒ කලහකාරී පිරිසට එය කරන්න බැරි වෙනවා. ඉන් අනතුරුව සිදුවන වැදගත් සිදුවීම් අවුරුදු පහක පමණ කාලයක් පුරා දිව යනවා. මේ කාලය අතරතුරේදී උසස් රෝම නිලධාරීන් බොහෝ දෙනෙකුට යේසුස් ක්‍රිස්තුස් ගැන දැනගන්න ලැබෙනවා.

මේ මිනිසා ගැන අපි කවුරුත් හොඳින් දන්නවා. ඒ වෙන කිසිවෙක් නෙවෙයි පාවුල් හෙවත් සාවුල්. මොහු “රජුන්” ඉදිරියේ පවා තමන් ගැන කතා කරන බව යේසුස්ම ක්‍රි.ව. 34දී පුරෝකථනය කර තිබුණා. (ක්‍රියා 9:15) ඒත් ක්‍රි.ව. 56 වන තුරුත් ඒ අනාවැකිය ඉටු වී තිබුණේ නැහැ. කෙසේවෙතත් පාවුල් ඔහුගේ තුන්වෙනි මිෂනාරී ගමන අවසන් කිරීමට ආසන්නව සිටි කාලයේදී දේවල් වෙනස් වුණා.

විරුද්ධවාදිකම් හමුවේ නොසැලී

පාවුල් යෙරුසලමට යන ගමනේදී ඔහුට හමු වූ සමහර ක්‍රිස්තියානීන් පැවසුවේ එහිදී බොහෝ පීඩාවලට මුහුණ දීමට ඔහුට සිදුවන බවයි. ඔවුන් එය දැනගෙන තිබුණේ දෙවිගේ “ආත්මයේ [එනම් දෙවිගේ බලයේ මඟ පෙන්වීම] මාර්ගයෙන්.” ඒත් පාවුල් නිර්භීතව මෙසේ පැවසුවා. මම “යේසුස්ගේ නාමය වෙනුවෙන් යෙරුසලමේදී බඳිනු ලබන්න පමණක් නොව, මැරෙන්න වුණත් සූදානමින් සිටිමි.” (ක්‍රියා 21:4-14) ආසියාවේදී පාවුල් සහ ඔහුගේ ගෝලයන් ලැබූ සාර්ථකත්වය හොඳින් දැන සිටි යුදෙව්වන් පිරිසක් ඒ වෙන විට යෙරුසලමට පැමිණි සිටියා. පාවුල් යෙරුසලමේ දේවමාලිගාවට ගිය විගස ඒ යුදෙව්වන් ඔහුට පහර දී ඔහුව මරණයට පත් කිරීමට සෙනඟව පෙළෙඹුවා. ඒත් රෝම හේවායන්ගේ මැදිහත් වීම නිසා පාවුල්ගේ ජීවිතය බේරුණා. (ක්‍රියා 21:27-32) මෙසේ තම ජීවිතය බේරා ගැනීමට හැකි වූ නිසා එතරම් කැමැත්තක් නොදැක්වූ අයටත් උසස් නිලධාරීන්ටත් යේසුස් පිළිබඳ සත්‍යය පැවසීමට පාවුල්ට අවස්ථාවක් ලැබුණා.

පහසුවෙන් ළඟා විය නොහැකි අයට සාක්ෂි දැරීම

පාවුල්ගේ ආරක්ෂාව සඳහා ඇන්ටෝනියාවේ පිහිටි හේවායන්ගේ බලකොටුවට ඔහුව ඇද ගෙන ගියා. * ඔහු මෙම බලකොටුවේ පඩි පෙළ දිගේ යන විට ඔහුට පහර දීමට පැමිණි ආගමික උන්මත්තකයන්ට හොඳ සාක්ෂියක් දීමට ඔහුට හැකි වුණා. (ක්‍රියා 21:33–22:21) ඒත් අන්‍ය ජාතිකයන්ට තමන් දේශනා කළ යුතුයි කියා පාවුල් පැවසූ සැණින්ම නැවත කලහකාරී ස්වභාවයක් ඇති වුණා. යුදෙව්වන් ඔහුට මෙතරම් විරුද්ධව නැඟී සිටීමට හේතුව දැනගැනීම සඳහා ඔහුට කසයෙන් තළා විභාග කළ යුතුයි කියා හමුදා සේනාධිපති ලිසියස් පැවසුවා. කෙසේවෙතත් තමන් රෝම ජාතිකයෙක් කියා පාවුල් පැවසූ විට ඔහුට කසයෙන් පහර දුන්නේ නැහැ. යුදෙව්වන් ඔහුට චෝදනා කරන හේතුව දැන ගැනීම සඳහා ලිසියස් ඊට පසු දින පාවුල්ව සැන්හෙඩ්‍රිනය ඉදිරියට ගෙන ගියා.—ක්‍රියා 22:22-30.

සැන්හෙඩ්‍රිනය ඉදිරියේ පෙනී සිටීමට ලැබීම නිසා යුදෙව්වන්ට සාක්ෂියක් දීමට පාවුල්ට තවත් කදිම අවස්ථාවක් උදා වුණා. නිර්භීත දේශනාකරුවෙක් වූ පාවුල් නැවත නැඟිටීම පිළිබඳ ඔහු විශ්වාස කළ දේ එහිදී පැවසුවා. (ක්‍රියා 23:1-8) පාවුල්ව මරණයට පත් කිරීමට තරම් වූ යුදෙව්වන්ගේ වෛරය මේ වන විටත් පහව වී තිබුණේ නැහැ. මේ නිසා පාවුල්ව නැවත හමුදා බැරැක්කයට ගෙන ගියා. එදා රාත්‍රියේදී ස්වාමීන් පාවුල්ට මෙලෙස දිරිගැන්වුවා. “ධෛර්යවත් වන්න! මන්ද, ඔබ යෙරුසලමේදී මා සම්බන්ධ කාරණා ගැන සම්පූර්ණ සාක්ෂියක් දුන් ලෙසම, රෝමයේදීත් සාක්ෂි දැරිය යුතුය.”—ක්‍රියා 23:9-11.

එදින රාත්‍රියේම පාවුල්ව යුදයේ රෝම පරිපාලනයේ අගනුවර වූ සිසේරියට රහසින්ම කැඳවාගෙන යෑම නිසා ඔහුව මරා දැමීමට කළ කුමන්ත්‍රණය අසාර්ථක වුණා. (ක්‍රියා 23:12-24) පාවුල්ට සිසේරියේදී ‘රජුන්ට’ පවා සාක්ෂි දැරීමට හැකි වුණා. තමාට විරුද්ධව කළ චෝදනා ඔප්පු කිරීමට යුදෙව්වන්ට සාක්ෂි නැති බව පාවුල් ආණ්ඩුකාර ෆීලික්ස්ට පැවසුවා. ඉන් ටික දවසකට පසු පාවුල් ෆීලික්ස්ට හා ඔහුගේ භාර්යාව වන දෘසිලාට යේසුස් ගැනත්, ආත්ම දමනය ගැනත්, ධර්මිෂ්ඨකම ගැනත් මතු පැමිණෙන විනිශ්චය ගැනත් සාක්ෂි දැරුවා. කෙසේවෙතත් ෆීලික්ස් පාවුල්ව නිදහස් කිරීම සඳහා යම් මුදලක් බලාපොරොත්තුවෙන් සිටියත් එය නොලැබුණු නිසා ඔහුට අවුරුදු දෙකක් සිරගත වී සිටීමට සිදු වුණා.—ක්‍රියා 23:33–24:27.

ඉන් ටික කාලයකට පසු ෆීලික්ස්ගේ නිලයට ෆෙස්ටස් පත් වුණා. යුදෙව්වන් නැවතත් පාවුල්ට විරුද්ධව තිබූ චෝදනාව මතු කළ අතර ඔහුව වරදරකරුවෙකු කර මරණ දඬුවම ලබා දීමට උත්සාහ කළා. නැවතත් මේ නඩුව සිසේරියේදී විභාග කරනු ලැබුවා. පාවුල් තමන්ට විරුද්ධව තිබෙන චෝදනාව යෙරුසලමේදී විභාග කිරීම වැළැක්වීම සඳහා මෙසේ පැවසුවා. “මම සීසර්ගේ විනිශ්චයාසනය ඉදිරියෙහි සිටගෙන සිටිමි. . . මම සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලමි!” (ක්‍රියා 25:1-11, 20, 21) දවස් කිහිපයකට පසු පාවුල් ඔහුගේ කාරණය දෙවන අග්‍රිපා රජ ඉදිරියේ ප්‍රකාශ කරද්දී රජ පැවසුවේ “වැඩි වේලාවක් යන්න කලින් ඔබ මාව ක්‍රිස්තියානියෙකු කරයි” කියායි (ක්‍රියා 26:1-28) ක්‍රිස්තු වර්ෂ 58දී පමණ පාවුල්ව රෝමයට යවනු ලැබුවා. ඔහුට එහිදී අවුරුදු දෙකක් සිරගත වී සිටීමට සිදු වූ අතර ඒ කාලය අතරතුරේදී ඔහු යේසුස් ගැන සාක්ෂි දැරීමට මං සෙව්වා. (ක්‍රියා 28:16-31) අවසානයේදී පාවුල් නීරෝ අධිරාජ්‍යයා ඉදිරියේ පෙනී සිටින්නට ඇති. එහිදී ඔහු නිර්දෝෂ බව ඔප්පු වූ අතර නැවතත් ඔහුට තමන්ගේ මිෂනාරී වැඩ කටයුතුවල නිදහසේ යෙදෙන්න හැකි වුණා. පාවුල් කළාක් මෙන් උසස් නිලධාරීන්ට සාක්ෂි දැරීමට වෙනත් කිසිම ගෝලයෙකුට හැකි වූ බවට කිසිම සාක්ෂියක් නැහැ.

ඉහත සිද්ධීන් සලකා බලන විට පෙනී යන්නේ යුදෙව් අධිකරණයේ සෙසු ක්‍රිස්තියානීන් පැවසූ ආකාරයට “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය” යන කාරණයට එකඟව පාවුල් ක්‍රියා කර තිබෙන බවයි. (ක්‍රියා 5:29) ඔහු අපට මොනතරම් කදිම ආදර්ශයක්ද! ඔහුගේ සේවය නතර කිරීමට මිනිසුන් මොනතරම් වෑයම් කළත් ඔහු දෙවිට කීකරු වූ අතර සියලුදෙනාට කදිම සාක්ෂියක් දුන්නා. ඔහු දෙවිට පෙන් වූ එම නොසැලෙන කීකරුකම නිසා ඔහු ‘තෝරාගත් භාජනයක්’ ලෙස “ජාතීන් වෙතටත් රජුන් වෙතටත් ඊශ්‍රායෙල් පුත්‍රයන් වෙතටත්” යේසුස්ගේ නාමයෙන් සාක්ෂිදැරීමෙන් ඔහුගේ සේවය සම්පූර්ණ කළා.—ක්‍රියා 9:15.

[පාදසටහන]

^ 8 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2006 දින දර්ශනයේ නොවැම්බර්/දෙසැම්බර් මාස බලන්න.

[9වන පිටුවේ කොටුව⁄පින්තූර]

පාවුල් සිතුවේ තමන්ගේ නිර්දෝෂකම ඔප්පු කිරීම ගැන පමණක්ද?

මේ ප්‍රශ්නයට එක් කතුවරයෙක් පිළිතුරු දෙන්නේ මෙසේයි. (Ben Witherington, III) මෙහිදී පාවුල් වඩාත් වැදගත්කොට සැලකුවේ එම නඩු විභාගවලදී තමන් නිර්දෝෂ බව ඔප්පු කරන්නේ කෙසේද කියන කාරණය නොව යේසුස්ගේ ඉගැන්වීම් ගැන යුදෙව්වන්ට මෙන්ම අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් දැරීම ගැනයි. මෙයින් පෙනී යන්නේ පාවුල් අධිකරණයේ පෙනී සිටියත් විවාදයට ලක් වුණේ පාවුල්ව නොව ඒත් ඔහු ඉදිරිපත් කළ යේසුස්ගේ ඉගැන්වීම් බවයි.”