Skip to content

පටුනට යන්න

දෙවි දෙන හික්මවීම සැමවිටම පිළිගන්න

දෙවි දෙන හික්මවීම සැමවිටම පිළිගන්න

“යෙහෝවා දෙවි දෙන හික්මවීම ප්‍රතික්ෂේප නොකරන්න.”—හිතෝපදේශ 3:11, නව ලොව පරිවර්තනය, NW.

1. අපි දෙවි දෙන හික්මවීම පිළිගත යුත්තේ ඇයි?

යෙහෝවා දෙවි දෙන හික්මවීම පිළිගැනීමට අප සෑම කෙනෙකුටම තිබෙන හොඳ හේතුවක් ගැන සාලමොන් රජ මෙසේ පෙන්වා දුන්නා. “අනේ මාගේ පුත්‍රය, යෙහෝවා දෙවි දෙන හික්මවීම ප්‍රතික්ෂේප නොකරන්න. ඔහු දෙන අවවාදවලට ද්වේෂ නොකරන්න. මන්ද, පියෙකු තමා ආදරය කරන පුතෙකුට අවවාද කරන්නාක් මෙන්, යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන තැනැත්තාට අවවාද කරයි.” (හිතෝපදේශ 3:11, 12, NW) ඔබේ ප්‍රේමණීය ස්වර්ගික පියා ඔබව හික්මවන්නේ ඔබට තිබෙන ප්‍රේමය නිසයි.

2. කෙනෙක්ව හික්මවනවා කියද්දී ඊට ඇතුළත් වෙන්නේ කුමක්ද? එය ලැබෙන්නේ කුමන ආකාරවලින්ද?

2 කෙනෙකුට හික්මවීමක් ලබා දීමේදී එයට නිවැරදි කිරීම, උපදෙස් දීම හා දැනුවත් කිරීම යන දේවල් ඇතුළත් විය හැකියි. හික්මවීම ගැන පාවුල් මෙසේ පැවසුවා. “හික්මවීමක් ලැබෙද්දී, එය දුකට මිස ප්‍රීතියට හේතුවක් ලෙස නොහැඟෙන බව සැබෑය. එහෙත් පසුව, එමගින් පුහුණු වූ අයට සමාදානයේ පලය වන ධර්මිෂ්ඨකම ලැබෙන්නේය.” (හෙබ්‍රෙව් 12:11) දෙවි දෙන හික්මවීම පිළිගෙන ඒ අනුව ක්‍රියා කරද්දී ධර්මිෂ්ඨ මාර්ගයේ ගමන් කළ හැකි අතර ශුද්ධ දෙවි වන යෙහෝවාට තව තවත් ළංවීමටත් ඔබට එය උපකාර කරයි. (ගීතාවලිය 99:5) අප විටින් විට යම් නිවැරදි කිරීම් ලබනවා. ඒවා ලැබෙන්නේ සෙසු ඇදහිලිවන්තයන් මාර්ගයෙන්, ක්‍රිස්තියානි රැස්වීම්වලදී ඉගෙනගන්න දේවලින් හා බයිබලය මෙන්ම “විශ්වාසවන්ත සේවකයා” සපයන ප්‍රකාශන අධ්‍යයනය කරන විටදීයි. (ලූක් 12:42-44) මේ ආකාරවලින් යම් සකස් කිරීමක් කළ යුතු දෙයක් ගැන ඔබේ අවධානයට ලක් කරන විට ඔබ ඒ ගැන ස්තුතිවන්ත වෙනවා නොඅනුමානයි. නමුත් බරපතළ පාපයක් කර තිබෙන කෙනෙක් ගැන කුමක් කිව හැකිද? ඒ වගේ කෙනෙකුට අවශ්‍ය විය හැක්කේ කුමන ආකාරයේ හික්මවීමක්ද?

සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට හේතු

3. සමහරුන්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලබන්නේ ඇයි?

3 දෙවිගේ සේවකයන් බයිබලය හා එය මත පදනම් පොත් පත් සඟරා අධ්‍යයනය කරනවා. එමෙන්ම ඔවුන් සභා රැස්වීම්වලදී, එක්රැස්වීම්වලදී හා සමුළුවලදී යෙහෝවා දෙවිගේ ප්‍රමිති ගැන ඉගෙනගන්නවා. මේ නිසා යෙහෝවා දෙවි තමන්ගෙන් බලාපොරොත්තු වන දේවල් ගැන ඔවුන් දැන සිටිනවා. එහෙත් කෙනෙක් දැන දැනත් පසුතැවිලි නොවී බරපතළ වැරදි කරනවා නම් සිදු වන්නේ කුමක්ද? එවැනි කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලබනවා.

4, 5. සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීම ගැන බයිබලයේ ඇති සිද්ධියක් සඳහන් කරන්න. ඒ මිනිසාව නැවත පිහිටුවන්න කියා පාවුල් කොරින්තිවරුන්ගෙන් ඉල්ලා සිටියේ ඇයි?

4 සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීම ගැන බයිබලයේ සඳහන් සිද්ධියක් ගැන සලකා බලන්න. කොරින්ති සභාවේ සිටි ‘එක්තරා මිනිසෙකු තම පියාගේ භාර්යාව තබාගනිමින් ජාතීන් අතරේවත් නැති ආකාරයක වේශ්‍යාකමක්’ කරමින් සිටියා. ඒ සභාවේ අය ඔහු ගැන කිසි පියවරක් ගෙන තිබුණේ නැහැ. මේ නිසා පාවුල් ඒ සභාවේ අයගෙන් මෙසේ ඉල්ලා සිටියා. සභාවේ “ආත්මිකත්වය රැකෙන පිණිස, මාංසය විනාශ වීම සඳහා එවැනි මිනිසෙකුව සාතන්ට භාර දෙන්න.” (1 කොරින්ති 5:1-5) යමෙකුව සාතන්ට භාර දෙනවා කියන්නේ ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමයි. එසේ ඉවත් කිරීමෙන් ඔහු නැවතත් සාතන්ගේ ලෝකයේ කොටසක් වෙනවා. (1 යොහන් 5:19) එහි ප්‍රතිඵලයක් හැටියට එතෙක් සභාවේ තිබූ යම් විනාශකාරී බලපෑමක් ඉවත් වෙනවා. “මාංසය විනාශ වීම” කීමෙන් අදහස් කරන්නේ එයයි. එතුළින් සභාවේ “ආත්මිකත්වය” හෙවත් එහි සුවදායී ස්වභාවය රැකගත හැකියි.—2 තිමෝති 4:22; 1 කොරින්ති 5:11-13.

5 සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ එම පුද්ගලයාව වැඩිකල් නොගොස් නැවතත් පිහිටුවන්න කියා පාවුල් කොරින්ති සභාවෙන් ඉල්ලා සිටියා. ඔහු එසේ කළේ ‘සාතන් ඔවුන්ව රවටා වාසි නොලැබීම’ සඳහායි. (2 කොරින්ති 2:8-11) ඒ වන විට එම වරදකරු පසුතැවිලි වී දෙවිගේ සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙමින් සිටියා කියා සිතිය හැකියි. පසුතැවිලි වූ ඒ මිනිසාව සභාවේ සාමාජිකයෙක් ලෙස නැවත පිහිටුවීමට කොරින්තිවරුන් ප්‍රතික්ෂේප කළා නම්, ඔවුන් කිසිම අනුකම්පාවක් නැති සමාව නොදෙන අය බවට පත් වෙන්න තිබුණා. එසේ වුණොත් සාතන් ඔවුන්ව රවටා වාසි ගන්නවා. සාතන්ට වුවමනා වුණෙත් ඔවුන්ව ඒ තත්වයට පත් කිරීමටයි. නමුත් ඔවුන් එවැනි දෙයක් සිදු වෙන්න ඉඩ නොදී, පසුතැවිලි වූ ඒ මිනිසාට ‘කමා කර ඔහුව සනසාලීමට’ ඉක්මනින් පියවර ගත් බවට සැකයක් නැහැ.—2 කොරින්ති 2:5-7.

6. පසුතැවිලි නොවන වරදකරුවෙකුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්නේ ඇයි?

6 පසුතැවිලි නොවන වරදකරුවෙකුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්නේ ඇයි? මෙසේ කරන්නේ යෙහෝවා දෙවිගේ ශුද්ධ නාමයට ඇති විය හැකි නින්දාවන් වැළැක්වීමට හා ඔහුගේ සෙනඟ ලබා තිබෙන හොඳ නාමය රැකගැනීම සඳහායි. (1 පේතෘස් 1:14-16) පසුතැවිලි නොවන වරදකරුවෙකුව සභාවෙන් ඉවත් කිරීමෙන් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති මෙන්ම සභාවේ පවිත්‍රකමද රැකගත හැකියි. එමෙන්ම පසුතැවිලි නොවන වරදකරුට ඔහු කළ වරදේ බරපතළකම තේරුම්ගැනීමටත් එසේ කිරීම උපකාරවත් වෙයි.

පාවුල් කොරින්ති සභාවට සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන්නේ ඇයි?

නැවත පිහිටුවීමට පසුතැවිල්ල අත්‍යවශ්‍යයි

7. දාවිත් ඔහුගේ වරද හෙළි නොකළ විට ඔහු අද්දැක්කේ කුමක්ද?

7 බරපතළ වැරදි කරන බොහෝදෙනෙක් අවංකව පසුතැවිලි වන නිසා ඔවුන්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්නේ නැහැ. එහෙත් අවංකව පසුතැවිලි වීම පහසු දෙයක් නම් නෙවෙයි. තිස්දෙවන ගීතිකාව රචනා කළ දාවිත් රජ ගැන සලකා බලන්න. දාවිත් රජු ඔහු කළ බරපතළ පාපයක් කාලයක් පුරා රහසිගතව තබා ගත් බවක් එම ගීතිකාවෙන් හෙළි වෙනවා. එම පාපය ඔහු බැත්ෂෙබා සමඟ කළ පාපය විය හැකියි. ඒ කාලයේදී දාවිත් අධික සිත්තැවුලකින් සිටිය අතර ගිම්හාන කාලයේ දැඩි අව් රශ්මිය නිසා ගසක තෙත ගතිය නැති වී යනවා වගේ ඔහුගේ ශක්තියත් හීන වුණා. දාවිත් ශාරීරිකව හා මානසිකව වේදනාවක් අද්දැක්කත් ‘ඔහු තම වරද යෙහෝවා දෙවිට කියා දුන් පසු දෙවි ඔහුට කමා කළා.’ (ගීතාවලිය 32:3-5) ඉන්පසු දාවිත් මෙසේ ගායනා කළා. “යමෙකුගේ වරද යෙහෝවා දෙවි සිහියේ තබා නොගන්නේ නම් . . . ඒ තැනැත්තා සන්තෝෂවත්ය.” (ගීතාවලිය 32:1, 2, NW) මෙලෙස දෙවිගේ දයාව ලැබීමට හැකි වීමෙන් දාවිත්ට මොන තරම් සහනයක් දැනෙන්න ඇද්ද!

8, 9. පසුතැවිල්ල විදහා පෙන්විය යුත්තේ කෙසේද? සභාවේ සාමාජිකයෙක් ලෙස නැවත පිහිටුවීම සඳහා පසුතැවිලි වීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි?

8 බරපතළ වැරදි කළ කෙනෙක් දෙවිගේ දයාව ලබන්න නම් ඔහු පසුතැවිලි විය යුතුයි. කෙසේවෙතත් ලැජ්ජාවක් දැනීම හෝ තම වරද හෙළි වෙයි යන බිය නිසා ඇති වන හැඟීම සැබෑ පසුතැවිල්ල නෙවෙයි. පසුතැවිලි වෙන කෙනෙක් තමන් කළ වැරද්ද ගැන තැවී එය නිවැරදි කිරීමට පියවර ගන්නවා. එවැනි කෙනෙකුට ‘බිඳුණු හා තැළුණු සිතක්’ තිබෙන අතර ඔහු වෑයම් කරන්නේ හැකි නම් ‘වරද නිවැරදි කරගන්නයි.’—ගීතාවලිය 51:17; 2 කොරින්ති 7:11.

9 සභාවේ සාමාජිකයෙක් ලෙස නැවත පිහිටුවීමට පසුතැවිලි වීම අත්‍යවශ්‍යයි. සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙකුව යම් කාලයක් ගත වූ පමණින් සභාවට පිළිගන්නේ නැහැ. ඒ සඳහා ඔහු සිතන ආකාරයෙහි විශාල වෙනසක් සිදු වී තිබිය යුතුයි. තමන් කළ පාපයේ බරපතළකම ගැනත් තමන් කළ වරද නිසා යෙහෝවා දෙවිට මෙන්ම සභාවටද සිදු වී තිබෙන නින්දාව ගැනත් ඔහු තේරුම්ගෙන සිටිය යුතුයි. ඔහු අවංකව පසුතැවිලි විය යුතුයි. එමෙන්ම ඔහු සමාව ඉල්ලා ඕනෑකමින් යාච්ඤා කළ යුතු අතර දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව තම ජීවිතය හැඩගස්වා ගැනීමත් අවශ්‍යයි. තමන්ව සභාවේ සාමාජිකයෙක් ලෙස නැවත පිහිටුවන්න කියා ඔහු ඉල්ලා සිටින විට තමන් අවංකව පසුතැවිලි වී තිබෙන බව ‘ක්‍රියාවලින් පෙන්විය’ යුතුයි.—ක්‍රියා 26:20.

වරද නොසඟවා පැවසිය යුත්තේ ඇයි?

10, 11. වරදක් සඟවා තබාගැනීමට වෑයම් නොකළ යුත්තේ ඇයි?

10 වැරදි කර තිබෙන සමහරුන් මෙසේ සිතන්න පුළුවන්. ‘මගේ වරද යම් කෙනෙක්ට මම කිව්වොත් ඒ කෙනා අහන හැම දෙයකට මට උත්තර දෙන්න වෙනවා. සමහර විට මාව සභාවෙන් අයින් කරන්නත් පුළුවන්. මම මේ ගැන කාටවත් කිව්වේ නැත්නම් ඒ වගේ දේවල් මඟ හරින්න පුළුවන්. සභාවේ කිසි කෙනෙක් දැනගන්න එකකුත් නැහැ.’ කෙසේවෙතත් මෙසේ සිතන කෙනෙක් ඉතා වැදගත් කාරණා අමතක කරනවා. ඒ මොනවාද?

11 යෙහෝවා දෙවි “අනුකම්පාවෙන්ද කරුණාවෙන්ද සම්පූර්ණ වූ උදහස් වීමට ප්‍රමාද වන්නාවූ දයාවෙන්ද සත්‍යතාවෙන්ද අධිකතර වූ දහස් ගණනකට කරුණාව ඇත්තාවූ අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමා කරන්නාවූ” දෙවි කෙනෙක්. එහෙත් ඔහුගේ සේවකයන්ව ඔහු “නිසි ප්‍රමාණයට” නිවැරදි කරනවා. (නික්මයාම 34:6, 7; යෙරෙමියා 30:11, නව අනුවාදය) ඔබ බරපතළ වරදක් කර එය සඟවා ගෙන සිටිනවා නම් ඔබට දෙවිගේ දයාව ලබන්න බැහැ. ඒ යෙහෝවා දෙවි ඔබේ වරද ගැන දන්න නිසයි. ඔහු වැරදි ගණන් නොගෙන සිටින කෙනෙක් නෙවෙයි.—හිතෝපදේශ 15:3; හබක්කුක් 1:13.

12, 13. වැරදි සඟවා තබාගැනීමේ ප්‍රතිඵලය වන්නේ කුමක්ද?

12 ඔබ බරපතළ වරදක් කර තිබෙනවා නම් හොඳම දෙය එය නොසඟවා පැවසීමයි. මෙසේ කරනවා නම් ඔබට දෙවි ඉදිරියේ නිදොස් යහපත් හෘදය සාක්ෂියක් ඇතිව සිටින්න පුළුවන්. (1 තිමෝති 1:18-20) එහෙත් ඔබ වරද සඟවාගෙන සිටිනවා නම් ඔබේ හෘදය සාක්ෂිය දූෂ්‍ය වන අතර එහි ප්‍රතිඵලයක් හැටියට ඔබ තවත් වැරදි කළ හැකියි. ඔබ වරදක් කර තිබෙන්නේ තවත් කෙනෙකුට හෝ සභාවට විරුද්ධව පමණක් නොව දෙවිට විරුද්ධව බවත් මතක තබා ගන්න. “යෙහෝවාගේ සිංහාසනය ස්වර්ගයෙහිය; දෙවිගේ ඇස්වලින් මනුෂ්‍ය පුත්‍රයන් බලා ඇසිපියවලින් ඔවුන් පරීක්ෂා කරන්නේය. යෙහෝවා ධර්මිෂ්ඨයා පරීක්ෂා කරන්නේය” කියා ගීතිකාකරු පැවසුවා.—ගීතාවලිය 11:4, 5.

13 බරපතළ වැරදි සඟවා තබාගනිමින් පවිත්‍ර ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙක් හැටියට දිගටම සිටින්න තැත් කරන අයට යෙහෝවා දෙවි ආශීර්වාද කරන්නේ නැහැ. (යාකොබ් 4:6) එමනිසා ඔබ වරදක් කර තිබෙනවා නම්, හරි දෙය කිරීමට ඔබට සැබෑ වුවමනාවක් තිබෙනවා නම් පසුබට නොවී අවංකව ඔබේ වැරැද්ද පවසන්න. එසේ නොකළොත් ඔබේ හෘදය සාක්ෂිය ඔබට වධ දිය හැකියි. විශේෂයෙන්ම ඔබ කළ බරපතළ වරද හා සමාන වැරදි ගැන අපේ පොත් පත් සඟරාවලින් කියවද්දී හෝ රැස්වීම්වලදී ඒ ගැන උපදෙස් ලැබෙන විට ඔබේ හෘදය සාක්ෂිය ඔබට වධ දෙයි. යෙහෝවා දෙවි සාවුල් රජුගෙන් ඔහුගේ බලය ඉවත් කළා වගේ ඔබෙනුත් එය ඉවත් කළොත් කුමක් විය හැකිද? (1 සාමුවෙල් 16:14) එසේ වුණොත් ඊටත් වඩා බරපතළ වැරදි වුණත් ඔබ අතින් සිදු වෙන්න පුළුවන්.

ඔබට උපකාර කරන සහෝදරයන්ව විශ්වාස කරන්න

14. වරදක් කර පසුතැවිලි වන කෙනෙක් යාකොබ් 5:14, 15හි සඳහන් උපදෙස අනුගමනය කළ යුත්තේ ඇයි?

14 වරදක් කර පසුතැවිලි වන කෙනෙක් කළ යුත්තේ කුමක්ද? මේ ගැන යාකොබ් 5:14, 15හි මෙසේ පවසා තිබෙනවා. “ඔහු සභාවේ වැඩිමහල්ලන්ව කැඳවාගනීවා! ඔවුහු යෙහෝවාගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කරමින්, ඔහු උදෙසා යාච්ඤා කරත්වා! එවිට, අසනීපයෙන් පෙළෙන්නා ඇදහිල්ලේ යාච්ඤාව මගින් සනීප වන්නේය. යෙහෝවා ඔහුව නැඟිටුවන්නේය.” මෙසේ වැඩිමහල්ලන්ට තම වරද ගැන පවසීම, ‘පසුතැවිල්ල පෙන්වන පල උපදවන’ එක් ආකාරයක් වෙනවා. (මතෙව් 3:8) ඔබට උපකාර කිරීමට කැමැත්තෙන් සිටින මේ ප්‍රේමණීය වැඩිමහල්ලන් ‘යෙහෝවාගේ නාමයෙන් ඔබට තෙල් ආලේප කරමින්, ඔබ උදෙසා යාච්ඤා කරයි.’ ඔවුන් බයිබලයෙන් සපයන උපදෙස් හරියට සහනයක් ගෙන දෙන තෛලයක් වගෙයි. අවංකව පසුතැවිලි වන ඕනෑම කෙනෙකුට එයින් සහනයක් ලැබිය හැකියි.—යෙරෙමියා 8:22.

15, 16. එසකියෙල් 34:15, 16හි සඳහන් වන පරිදි දෙවි තැබූ ආදර්ශය ක්‍රිස්තියානි වැඩිමහල්ලන් අනුකරණය කරන්නේ කෙසේද?

15 දෙවි ක්‍රි.පූ. 537දී යුදෙව්වන්ව බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් කරගත්තා. දෙවිගේ ඊශ්‍රායෙල් කියා හඳුන්වන අභිෂේකලත් ක්‍රිස්තියානීන්ව ක්‍රි.ව. 1919දී මහා බැබිලෝනියෙන් මුදවාගත්තා. මේ අවස්ථා දෙකේදීම අපේ ප්‍රේමණීය එඬේරා වන යෙහෝවා දෙවි තැබුවේ මොන තරම් කදිම ආදර්ශයක්ද! (එළිදරව් 17:3-5; ගලාති 6:16) ඔහු දුන් පොරොන්දුව ඔහු ඉටු කළ ආකාරය ගැන අපට මෙසේ කියවීමට තිබෙනවා. “මම්ම මාගේ බැටළුවන් කවා ලගින්ට සලස්වන්නෙමි . . . මම නැති වූවන් සොයන්නෙමි. පන්නා දමනු ලැබූවන් දෙවනු ගෙනෙන්නෙමි. බිඳුණාවුන් බඳින්නෙමි. ලෙඩ වූවන් ශක්තිමත් කරන්නෙමි.”—එසකියෙල් 34:15, 16.

16 යෙහෝවා දෙවි ඔහුගේ බැටළුවන් වැනි පුරාණ සේවකයන්ව පෝෂණය කළා. ඔහු ඔවුන්ව හොඳින් රැකබලා ගත් අතර නැති වූ බැටළුවන්ව සොයා ගියා. ඒ හා සමානව ක්‍රිස්තියානි එඬේරුන්ද දෙවිගේ සෙනඟගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගන්න උපකාර කරන අතර ඔවුන්ව හානිවලින් ආරක්ෂා කරගන්නවා. විවිධ හේතු නිසා සභාව හැරගිය අයව වැඩිමහල්ලන් සොයා යනවා. දෙවි තුවාල වූ බැටළුවන්ව වෙළුම් පටියකින් ‘බැඳ’ සහනයක් ලබා දුන්නා හා සමානව අවේක්ෂකයන්ද සමහරුන්ගේ වචන හා ක්‍රියා නිසා තුවාල වන දෙවිගේ සේවකයන්ට අවශ්‍ය සහනය ලබා දෙනවා. එමෙන්ම දෙවි “ලෙඩ වූවන් ශක්තිමත්” කළාක් මෙන් වැඩිමහල්ලන්ද සමහරුන් වැරදි කර ඇදහිල්ල අතින් ලෙඩ වන විට ඔවුන්ට උපකාර කරනවා.

එඬේරුන් උපකාර කරන අයුරු

17. වැඩිමහල්ලන්ගේ උපකාරය ලැබීමට අප පසුබට නොවිය යුත්තේ ඇයි?

17 ‘භයෙන් යුක්තව නොකඩවා දයාව දක්වන්න’ කියා යූද් 23හි සඳහන් උපදේශයට එකඟව ක්‍රියා කිරීමට වැඩිමහල්ලන් සතුටින් සිටිනවා. ඇතැම් ක්‍රිස්තියානීන් ලිංගික දුරාචාරයට හසු වී තිබෙනවා. එහෙත් ඔවුන් අවංකවම පසුතැවිලි වෙනවා නම් ඔවුන්ට උපකාර කිරීමට කැමැත්තෙන් සිටින වැඩිමහල්ලන්ගෙන් දයාව හා ප්‍රේමය බලාපොරොත්තු වෙන්න ඔවුන්ට පුළුවන්. පාවුල් ඔහුවත් ඇතුළත් කරගනිමින් වැඩිමහල්ලන් ගැන මෙසේ පැවසුවා. “ඔබේ ඇදහිල්ල කෙරෙහි අපි පාලකයන් වෙනවා නොව, ඔබේ ප්‍රීතිය සඳහා ඔබත් සමඟ හවුල් සේවකයෝ වන්නෙමු.” (2 කොරින්ති 1:24) මේ නිසා ඔවුන් සපයන උපකාරය ලබාගැනීමට පසුබට නොවන්න.

18. වැඩිමහල්ලන් වැරදි කර තිබෙන සෙසු ඇදහිලිවන්තයන් සමඟ කටයුතු කළ යුත්තේ කෙසේද?

18 ඔබ බරපතළ වැරැද්දක් කර තිබුණත් උපකාර ලබා ගැනීමට කිසිම භයක් සැකක් නැතුව වැඩිමහල්ලන් වෙත යන්න. ඒ ඔවුන් දෙවිගේ රැළේ පෙරමුණ ගන්න එඬේරුන් වන නිසයි. (1 පේතෘස් 5:1-4) කිසිම ප්‍රේමණීය එඬේරෙක් තුවාල වී කෑගසමින් තමන් ළඟට එන කීකරු බැටළුවෙකුට පහර දෙන්නේවත් රිදවන්නේවත් නැහැ. ඒ හා සමානව වැඩිමහල්ලන් වැරදි කර තිබෙන සෙසු ඇදහිලිවන්තයන් සමඟ කටයුතු කරන්නේ ඔවුන්ට දඬුවම් කිරීමේ අදහසින් නොව, හැකි නම් ඔවුන්ව නඟා සිටුවීමේ අදහසිනුයි. (යාකොබ් 5:13-20) වැඩිමහල්ලන් ධර්මිෂ්ඨකමින් විනිශ්චය කළ යුතු අතර ‘රැළට ආදරයෙන් සැලකිය’ යුතුයි. (ක්‍රියා 20:29, 30; යෙසායා 32:1, 2) සියලුම ක්‍රිස්තියානීන් මෙන්ම වැඩිමහල්ලන්ද ‘යුක්තිය ඉටු කරන්නත්, කරුණාවන්තව ක්‍රියා කරන්නත්, දෙවි ඉදිරියේ නිහතමානීව හැසිරෙන්නත්’ අවශ්‍යයි. (මීකා 6:8, NW) ‘යෙහෝවාගේ ගොදුරු බිමේ බැටළුවන්ගේ’ ජීවිතවලට හා ඔවුන් දෙවිට පිරිනමන පරිශුද්ධ සේවයට බලපාන කාරණා ගැන තීරණ ගන්න විට එවැනි ගුණාංග විදහා පෙන්වීම අත්‍යවශ්‍යයි.—ගීතාවලිය 100:3.

එඬේරුන් මෙන් ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ද දෙවිගේ රැළේ බැටළුවන්ගේ තුවාල ‘බඳිනවා’

19. වැඩිමහල්ලන් යම් අයව නිවැරදි කරන්නේ කුමන ආකල්පය ඇතිවද?

19 ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ව පත් කර තිබෙන්නේ දෙවිගේ බලය මගිනුයි. මේ නිසා ඔවුන් එහි මඟ පෙන්වීමට එකඟව ක්‍රියා කිරීමට වෑයම් කරනවා. “යමෙකු නොදැනුවත්ව හෝ යම් වැරදි පියවරක් ගත්තොත්” සුදුසුකම් ඇති එම එඬේරුන් වෑයම් කරන්නේ “මෘදුකමින් එවැනි කෙනෙකුව නිවැරදි මාර්ගයට” ගෙන එන්නයි. (ගලාති 6:1; ක්‍රියා 20:28) මෘදුකමින් වූවත් දෙවිගේ ප්‍රමිති බාල නොකරමින් වැඩිමහල්ලන් වෑයම් කරන්නේ වැරැද්දක් කර තිබෙන තැනැත්තා සිතන ආකාරය නිවැරදි කිරීමටයි. ඔවුන් මෙසේ කරන්නේ වෛද්‍යවරයෙක් බිඳුණු අස්ථියක් තිබෙන රෝගියෙකුට අනවශ්‍ය ලෙස වේදනාවක් ඇති නොකර එය නැවත සකස් කරන ආකාරයටයි. (කොලොස්සි 3:12) වැඩිමහල්ලන් වරදකරුට දයාව පෙන්වන්නේ යාච්ඤාපූර්වක කාරණා සලකා බැලීමෙන් හා ශුද්ධ ලියවිල්ල සලකා බැලීමෙන් පසුවයි. මේ නිසා යෙහෝවා දෙවි මෙම කාරණය දෙස බලන ආකාරය ඔවුන් ගන්න තීරණයෙන් පිළිබිඹු වෙනවා කියා පැවසිය හැකියි.

20. විනිශ්චය කමිටුවකින් අවවාද ලැබූ කෙනෙක් ගැන සභාවට නිවේදනයක් කිරීම අවශ්‍ය විය හැක්කේ කුමන අවස්ථාවලදීද?

20 වරදක් ප්‍රසිද්ධ වී තිබෙනවා නම් හෝ යම් දවසකදී එය ප්‍රසිද්ධ වීමට ඉඩ කඩ ඇත්නම් සභාවේ හොඳ නම රැකගැනීමට ඒ ගැන නිවේදනයක් කිරීම යෝග්‍යයි. මීට අමතරව වෙනත් හේතු නිසා ඒ ගැන සභාවට දැනුම් දීම අවශ්‍ය නම් එවැනි නිවේදනයක් කළ හැකියි. රෝගියෙක් සුවය ලබමින් සිටින කාලයේදී ඔහු යම් දේවල් කිරීමෙන් කෙටි කාලයකට වැළකී සිටිනවා. විනිශ්චය කමිටුවකින් අවවාද ලැබූ පුද්ගලයෙකුගේ තත්වය එවැනි රෝගියෙකුට සමාන කළ හැකියි. ඔහුගේ ඇදහිල්ල ශක්තිමත් කරගන්න තෙක් නමස්කාරය හා සම්බන්ධ යම් ක්‍රියාකාරකම්වලට හවුල් නොවී සිටීමට ඔහුට සිදු විය හැකියි. පසුතැවිලි වූ තැනැත්තා යම් කාලයකට සභාවේ රැස්වීම්වලදී අදහස් දක්වනවා වෙනුවට අන් අය දක්වන අදහස්වලට සවන් දීම ඔහුට ප්‍රයෝජනවත් වෙයි. එවැනි කෙනෙකුට බයිබල් පාඩමක් කිරීමටත් වැඩිමහල්ලන් පියවර ගත හැකියි. ඔවුන් මෙසේ කරන්නේ ඔහුගේ දුර්වලකම සාදාගෙන යළිත් ‘ඇදහිල්ලේ ශක්තිමත්’ කෙනෙක් වීමට උපකාර කිරීම සඳහායි. (තීතස් 2:2) මේ සෑම දෙයක්ම කරන්නේ වැරදිකරුවාට දඬුවම් කිරීමට නොව ඔහුට තිබෙන ප්‍රේමය නිසයි.

21. සමහර වැරදි සම්බන්ධයෙන් ගත හැකි පියවර මොනවාද?

21 වැරදි කරන අයට ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීම සඳහා වැඩිමහල්ලන්ට විවිධාකාරවලින් උපකාර කළ හැකියි. උදාහරණයක් හැටියට කලින් අධික ලෙස මත් පැන් පානය කළ තැනැත්තෙක් නිවසේ තනිව සිටියදී වතාවක් හෝ දෙවතාවක් නැවතත් මත් පැන් අධික ලෙස පානය කළා කියා සිතන්න. එසේත් නැත්නම් දුම්පානය කිරීම බොහෝ කලකට පෙර නතර කළ තැනැත්තෙක් යම් පීඩනයකට ලක් වූ අවස්ථාවකදී හෝ දෙකකදී යළිත් දුම්පානය කළා කියා සිතන්න. මෙවැනි කෙනෙක් දෙවිට යාච්ඤා කර දෙවිගෙන් තමන්ට සමාව ලැබී තිබෙනවා කියා සිතුවද ඔහු තමන් අතින් එම වැරැද්ද නැවත නැවතත් සිදු නොවීම සඳහා වැඩිමහල්ලන්ගේ උපකාරය පැතිය යුතුයි. මෙවැනි කාරණයක් වැඩිමහල්ලෙකුට හෝ දෙදෙනෙකුට හැසිරවිය හැකියි. කෙසේවෙතත් යම් හේතු නිසා එම වැඩිමහල්ලා මුලසුනභාර අවේක්ෂකට මේ බව දැනුම් දිය යුතුයි.

දෙවි දෙන හික්මවීම සැමදා පිළිගන්න

22, 23. ඔබ දිගටම දෙවිගේ හික්මවීම පිළිගත යුත්තේ ඇයි?

22 යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබන්න නම් සෑම ක්‍රිස්තියානියෙකුම ඔහු දෙන හික්මවීම පිළිගත යුතුයි. (1 තිමෝති 5:20) ඔබ බයිබලය හා ඒ මත පදනම් පොත් පත් සඟරා අධ්‍යයන කරන විටත් රැස්වීම්, එක්රැස්වීම් හා සමුළුවලදී සවන් දෙන විටත් ලැබෙන උපදෙස් හොඳින් සිතට ගන්න. පසු නොබැස, දෙවි ඔබෙන් බලාපොරොත්තු වන දේ කරන්න. දෙවිගේ හික්මවීම පවුරකට සමාන කළ හැකියි. ඔබ එය පිළිගන්නවා නම් එය ඔබව ආරක්ෂා කරාවි.

23 දෙවි සපයන හික්මවීම පිළිගැනීමෙන් ඔබට සැමදා දෙවිගේ ප්‍රේමය ලබන්න පුළුවන්. සමහරුන්ව ක්‍රිස්තියානි සභා සාමාජිකත්වයෙන් ඉවත් කර තිබුණත් ඔබ ඔබේ ‘හෘදය ආරක්ෂා කරගන්නවා’ නම් හා ‘ප්‍රඥාවන්තයෙක් මෙන් ගමන් කරනවා’ නම් ඔබට එවැනි දෙයක් වන්නේ නැහැ. (හිතෝපදේශ 4:23; එෆීස 5:15) එහෙත් ඔබ දැනටමත් සභා සාමාජිකත්වයෙන් ඉවත් කර තිබෙන කෙනෙකු නම් නැවත සභාවට පැමිණීමට පියවර නොගන්නේ මන්ද? දෙවි කැමති ඔහුට කැප වී සිටින සියලුදෙනාම ඔහුට “ප්‍රීතියෙන්” හා ඇදහිල්ලෙන් නමස්කාර කරනවා දකින්නයි. (ද්විතීය කථාව 28:47) ඔබ යෙහෝවා දෙවි සපයන හික්මවීම පිළිගන්නවා නම් ඔබට සදහටම එසේ දෙවිට සේවය කරන්න පුළුවන්.—ගීතාවලිය 100:2.