Skip to content

පටුනට යන්න

ලොව පුරා ජනයාට විශිෂ්ට සේවයක් සලසන පාසැලක්

ලොව පුරා ජනයාට විශිෂ්ට සේවයක් සලසන පාසැලක්

ලොව පුරා ජනයාට විශිෂ්ට සේවයක් සලසන පාසැලක්

ලොව පුරා රටවල් 200කට වැඩි ගණනක විවිධ පසුබිම්වලට අයත් ජනයා දෙවිගෙන් ඉගෙනගනු ලබනවා. මේ වන විට ලොව පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් 98,000කට වැඩි ගණනක් තිබෙනවා. මේ සභාවලදී ඔවුන් ඉගෙනගැනීම සඳහා යොදාගන්න ප්‍රධානතම පොත වන්නේ බයිබලයයි. ඔවුන් ලබන අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වන්නේ දෙවිගේ කැමැත්ත දැනගෙන ඊට එකඟව ජීවත් වීම සඳහා ජනයාට උපකාර කිරීමයි. මේ උපකාරය පිළිගන්න අය බොහෝ ප්‍රයෝජන ලබනවා. ඔවුන් ඉගෙනගන්න දේවල් අනිත් අයටත් කියා දෙනවා. තමන්ගේ සැබෑ අනුගාමිකයන් එසේ කරන බව යේසුස් පැවසුවා.—මතෙව් 28:19, 20.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල ඉගැන්වීම සඳහා සතිපතා රැස්වීම් පිළියෙළ කර තිබෙනවා. මීට අමතරව විශේෂ පාසැල්ද පිහිටුවා තිබෙනවා. මේ පාසැල්වලින් එකක් වන්නේ දේවසේවා පුහුණු පාසැලයි. මෙය මුලින්ම පවත්වනු ලැබුවේ 1987දී අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ පිහිටි පිට්ස්බර්ග් නගරයේයි. මේ පාසැලට ඉංග්‍රීසි භාෂාව කතා කරන සිසුන් 24දෙනෙක් ඇතුළත් වුණා. එදා පටන් අද දක්වා මේ පාසැල භාෂා 21කින් රටවල් 43ක පවත්වා තිබෙනවා. මේ දක්වා රටවල් 90කට වැඩි ගණනක සිටින තනිකඩ වැඩිමහල්ලන් හා සභා සේවකයන් මේ පාසැලෙන් පුහුණුව ලබා තිබෙනවා. එයින් සපයනු ලබන සති අටක පුහුණුවෙන් පසු සිසුන්ව ඔවුන්ගේම රටේ හෝ වෙනත් රටක අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය කිරීමට යවනවා. වර්ෂ 2005 අවසාන වන විට 22,000කට වැඩි දෙනෙක් මේ පාසැලට සහභාගි වී තිබෙනවා. තම දේවසේවය පුළුල් කිරීමේ හා අන් අයට හොඳ සේවයක් පිරිනැමීමේ අරමුණින් ඔවුන් යටහත් පහත් ලෙස වෙහෙස මහන්සි වී දරන වෑයම්වලට දෙවි ආශීර්වාද කර තිබෙනවා.—හිතෝපදේශ 10:22; 1 පේතෘස් 5:5.

පාසැලට සහභාගි වීමට දැරූ වෑයම්

දේවසේවා පුහුණු පාසැලට සහභාගි වීම සඳහා බොහෝදෙනෙක් ඔවුන්ගේ රැකියාවලින් නිවාඩු ඉල්ලා තිබෙනවා. සමහර අවස්ථාවලදී නිවාඩු ලබාගැනීම ලෙහෙස වී නැහැ. මේ පාසැලට සහභාගි වීම සඳහා හවායි දූපතේ ගුරුවරුන් ලෙස රැකියාව කරන දෙදෙනෙකුට ආරාධනා ලැබුණා. ඔවුන්ට සිදු වුණා විදුහල්පතිගෙන් නිවාඩු ඉල්ලන්න. යෙහෝවා දෙවි තමන්ට උපකාර කරයි කියන විශ්වාසය ඇතුව ඔවුන් දෙදෙනා නිවාඩු ඉල්ලුම් පත් බාර දුන්නා. තමන් මේ විශේෂ පාසැලට සහභාගි වීමට හේතු හා එයින් ලැබෙන ප්‍රයෝජන ඔවුන් පෙන්වා දුන්නා. මේ දෙදෙනාටම නිවාඩු ලැබුණා.

මේ පාසැලට සහභාගි වීම සඳහා නිවාඩු ඉල්ලූ සාක්ෂිකරුවන් බොහෝදෙනෙකුට ඔවුන්ගේ ස්වාමිවරුන් පැවසුවේ නිවාඩු යනවා නම් නැවත රැකියාවට ගන්නේ නැති බවයි. රැකියා නැති වුණත් යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් ලැබෙන පුහුණුව වටිනවා කියා ඒ සාක්ෂිකරුවන් සිතුවා. මේ නිසා ඔවුන් පාසැලට සහභාගි වීමට තීරණය කළා. ඔවුන්ගෙන් සමහර දෙනෙකුගේ ස්වාමිවරුන් නැවතත් රැකියාවට එන්න කියා ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. මේ පාසැලට සහභාගි වීම සඳහා ඔවුන් අධිෂ්ඨානපූර්වකව ඔවුන් ගත් ක්‍රියා මාර්ගය මෙයයි. රැකියා ස්ථානයේ ස්වාමියාට ඉල්ලීම දැන්නුවා. යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඉන්පසු කාරණය දෙවිට බාර දුන්නා.—ගීතාවලිය 37:5.

‘යෙහෝවා දෙවිගෙන් ඉගෙනගන්නෝ’

සති අටක් පුරා පැවැත්වෙන මේ පාසැලේදී බයිබලය පුළුල්ව අධ්‍යයනය කරනු ලබනවා. දෙවිගේ කැමැත්ත කිරීම සඳහා ඔහුගේ සෙනඟ සංවිධානය වී සිටින ආකාරය ගැනත් දේවසේවයේදී, සභා රැස්වීම්වලදී හා එක්රැස්වීම්වලදී බයිබලය වඩාත් හොඳින් පාවිච්චි කළ හැකි ආකාරය ගැනත් සිසුන් ඉගෙනගන්නවා.

මේ පාසැල හුඟාක් අගය කළ සිසුවෙක් මෙයට සහභාගි වී නැති සහෝදරයෙකුට මෙසේ පැවසුවා. “ඔයාට ලබන්න පුළුවන් හොඳම අධ්‍යාපනය මේ පාසැලෙන් ලබන්න පුළුවන්. ඔයා දන්නවා නේ, යෙහෝවා දෙවි විසින් උගන්වන අය ගැන යෙසායා 54:13 කියලා තියෙන දේ. ඇත්තටම ඒ වචනවල සත්‍යයතාවය මම මේ පාසැලේදී හොඳින් අද්දැක්කා. මේ පාසැල මගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කළා. මේ නිසා යේසුස්ගේ අඩිපාරේ කිට්ටුවෙන් ගමන් කරන්න මට හැකි වෙලා තියෙනවා. ඔයාටත් මේ අද්දැකීම ලබන්න පුළුවන්.”

එවැන්ජලිස්තවරුන්, එඬේරුන් සහ ගුරුවරුන්

මේ වන විට දේවසේවා පුහුණු පාසැලට සහභාගි වූ සිසුන් රටවල් 117ක සේවය කරනවා. මේ රටවලට අත්ලන්තික්, කැරිබියන් හා පැසිෆික් සාගරවල පිහිටි දූපත් මෙන්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාල පිහිටා තිබෙන රටවල්ද ඇතුළත් වෙනවා. මේ පාසැලට සහභාගි වූ අය හොඳ පුහුණුවක් ලබා තිබෙන බව ඔවුන් එවැන්ජලිස්තවරුන්, එඬේරුන් සහ ගුරුවරුන් හැටියට කරන සේවයෙන් පෙනී යනවා කියා ශාඛා කාර්යාලවලින් ලැබෙන වාර්තාවල සඳහන් වෙනවා. ඔවුන් ලබා තිබෙන පුහුණු නිසා දේවසේවයේදී බයිබලය දක්ෂ ලෙස පාවිච්චි කරන්න ඔවුන්ට හැකි වී තිබෙනවා. (2 තිමෝති 2:15) ගෙවැසියන් අසන ප්‍රශ්නවලට උත්තර දෙන විට ඔවුන් නිතරම රීසනි (Reasoning From the Scriptures) * පොත යොදාගන්නවා. ඒ වගේම ඔවුන් මේ පොත පාවිච්චි කරන ආකාරය ගැන අනිත් ප්‍රචාරකයන්වත් පුහුණු කරනවා. මේ අයගේ උද්‍යෝගය නිසා සභාවේ අනිත් අයත් පෙලඹී සභාවල හොඳ සේවයක් කරනවා.

සභාවල සිටින දෙවිගේ බැටළුවන් වැනි සේවකයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරමින් ‘දෙවිගේ රැළ රැක බලාගැනීමේ’ වරප්‍රසාදය වැඩිමහල්ලන්ට ලැබී තිබෙනවා. (1 පේතෘස් 5:2, 3) මේ ගැන වැඩිමහල්ලෙක් මෙසේ පැවසුවා. “දෙවිගේ රැළ රැක බලාගැනීමේ වගකීම උසුලන්න අපට උපකාර කිරීම සඳහා හොඳ පුහුණුවක් ලබා තියෙන සහෝදරයෙන්ව අපේ සභාවට එවීම ගැන අපි ශාඛා කාර්යාලයට හුඟාක් ස්තුතිවන්ත වෙනවා.” පෙරදිග රටක ශාඛා කාර්යාලයක් මෙසේ වාර්තා කළා. “මේ පාසැලට සහභාගි වෙලා තියෙන අය හරිම කරුණාවන්තයි. ඔවුන් හුඟාක් වෙහෙස මහන්සි වෙලා සේවය කරනවා. සභාවේ අයගේ ගෞරවය ඔවුන් දිනාගෙන තියෙනවා. ඔවුන්ගේ නිහතමානිකම, මිත්‍රශීලිත්වය හා උද්‍යෝගය කවුරුත් හුඟාක් අගය කරනවා. ඔවුන් විවිධ කැප කිරීම් කරලා අවශ්‍යතාව වැඩි සභාවලට ගොස් සේවය කරන්න ඉදිරිපත් වෙනවා.” (ෆිලිප්පි 2:4) එවැනි අය සෙසු ඇදහිලිවන්තයන්ව ශක්තිමත් කරනවා. ඇත්තෙන්ම ඔවුන්ට අපේ ප්‍රශංසාව හිමි විය යුතුයි.—1 කොරින්ති 16:18.

අන් අය ඉදිරියේ කතා කිරීමේ හැකියාව දියුණු කරගන්න ආකාරය ගැනත් ඔවුන් මේ පාසැලේදී ඉගෙනගන්නවා. ඔවුන්ට ලැබෙන එම යෝජනා හා උපදෙස් අදාළ කරගෙන ඔවුන් කතා ඉදිරිපත් කරන නිසා චාරිකා එක්රැස්වීම්වල හා දිස්ත්‍රික් සමුළුවල කතා ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට පවරා තිබෙනවා. පාසැලට සහභාගි වී තිබෙන අය දක්ෂ ලෙස කතා ඉදිරිපත් කරන බවත් තොරතුරු අදාළ වන ආකාරය හොඳින් පහදා දෙන බවත් චාරිකා අවේක්ෂකයෙක් පැවසුවා.—1 තිමෝති 4:13.

එක් අප්‍රිකානු රටක දේවසේවා පුහුණු පාසැල පිහිටුවා එයින් ඉගෙනගත් අයව විවිධ සභාවලට යැවූ පසු රැස්වීම්වල උගන්වන ආකාරය හුඟාක් දියුණු වී තිබෙනවා. මේ පාසැලෙන් පුහුණුව ලැබූ වැඩිමහල්ලන් එවැන්ජලිස්තවරුන්, එඬේරුන් හා ගුරුවරුන් හැටියට හොඳ සේවයක් කරමින් සභාවල සිටින අයගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට දායක වෙනවා.—එෆීස 4:8, 11, 12.

සභාවේ අධීක්ෂණ කටයුතුවල දියුණුවක්

බොහෝ සභාවල වැඩිමහල්ලන්ගේ හා සභා සේවකයන්ගේ වැඩි අවශ්‍යතාවක් තිබෙනවා. මේ පාසැලට සහභාගි වූ ඇතැම් අයව කිසිම වැඩිමහල්ලෙක් නැති සමහර සභාවල සේවය කිරීමට යවා තිබෙනවා. මෙසේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය කිරීමට ඔවුන්ට පවරා තිබෙනවා.

මේ පාසැලට සහභාගි වූ අය ගැන ශාඛා කාර්යාල ගණනාවකින් ලැබෙන වාර්තාවල මෙසේ සඳහන් වෙනවා. මේ අය “සභාවේ වැඩකටයුතු හොඳින් සංවිධානය කරන ආකාරය ගැන දන්නවා.” ඔවුන් “තමන්ගේ වගකීම් බැරෑරුම්ව සලකනවා.” ඔවුන් “යෙහෝවා දෙවිගේ සංවිධානය තුළ ක්‍රියාත්මක වන සැලැස්ම අගය කරන්නත් එයට ගරු කරන්නත් අනිත් අයට උපකාර කරනවා.” ඒ වගේම ඔවුන් “සේවය කරන සභාවල සිටින අයගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට බොහෝ දේ කරනවා.” ඔවුන් මෙලෙස ක්‍රියා කිරීමට හේතුව ඔවුන් තමන්ගේම බුද්ධියෙහි නොපිහිටා දේවවචනයේ සඳහන් මඟ පෙන්වීම් අනුගමනය කිරීමයි. (හිතෝපදේශ 3:5-7) මොවුන් ඇත්තෙන්ම සභාවලට ලොකු ආශීර්වාදයක්!

දුෂ්කර ප්‍රදේශවල සේවය කිරීම

මේ පාසැලට සහභාගි වූ සමහරුන්ව විශේෂ පුරෝගාමීන් ලෙස පත් කර දුෂ්කර ප්‍රදේශවල සේවය කිරීමට යවා තිබෙනවා. එම ප්‍රදේශවල තිබූ කණ්ඩායම් සභාවන් ලෙස වර්ධනය වීමට ඔවුන් උපකාර කර තිබෙනවා. ග්වාටමාලාවේ එවැනි ප්‍රදේශයක වැඩිමහල්ලෙක් එලෙස පුරෝගාමීන්ව තම ප්‍රදේශයට එවීම ගැන අගය පළ කරමින් මෙසේ පැවසුවා. “මම අවුරුදු 20ක් තිස්සේ කල්පනා කරමින් හිටියේ මේ විශාල ප්‍රදේශයේ සෑම තැනකම ශුභාරංචිය දේශනා කරන්නේ කොහොමද කියලා. මම මේ ගැන හුඟාක් යාච්ඤා කළා. දේවසේවා පුහුණු පාසැලට සහභාගි වූ අයගේ පැමිණීම නිසා දැන් අපේ ප්‍රදේශය ගැන හොඳ සැලකිල්ලක් යොමු වී තිබීම ගැන මම සතුටු වෙනවා. ඔවුන් කතා ඉදිරිපත් කරන එක වගේම සභාවේ වැඩකටයුතු හොඳින් කරන ආකාරය ගැනත් හොඳ පුහුණුවක් ලබා තියෙනවා.”

ගමන් කිරීමට හුඟාක් අමාරු කඳුකර ප්‍රදේශවල පිහිටි කුඩා ගම්මානවලට ගොස් හොඳින් දේශනා සේවය කරන ආකාරය ගැනත් මේ පාසැලට සහභාගි වූ අය ඉගෙනගෙන තිබෙනවා. දුෂ්කර ප්‍රදේශවලට ගොස් වැඩි කලක් යන්න කලින් කුඩා කණ්ඩායම් පිහිටුවන්න ඔවුන්ට හැකි වී තිබෙනවා. බොහෝවිට ප්‍රචාරකයන්ට එවැනි දෙයක් කරන්න හැකි වී නැහැ. මේ පාසැලෙන් පුහුණුව ලැබූ අයට තමන්ගේ බලප්‍රදේශයේ හොඳ සේවයක් කරන්න පුළුවන් කියා සිතූ නයිගර්වල සිටින වැඩිමහල්ලෙක් ඔවුන්ගේ උපකාරය ඉල්ලා සිටියා. විශේෂ පුරෝගාමීන්ට හා චාරිකා අවේක්ෂකයන්ට වඩා, තනිකඩව සිටින මොවුන්ට දුෂ්කර ප්‍රදේශවල සේවය කිරීමට පහසුයි. පාවුල් මෙන් ඔවුන්ද ‘ගංඟාවල උවදුරුවලටද, මංකොල්ල කන්නන්ගේ උවදුරුවලටද, පාළුකරයේ උවදුරුවලටද’ මුහුණ දෙනවා. ඒ විතරක් නොවෙයි, ඔවුන් සේවය කරන සභා ගැන බරක්ද ඔවුන්ට තිබෙනවා.—2 කොරින්ති 11:26-28.

යෞවනයන්ද ප්‍රයෝජන ලබයි

තමන්ගේ මැවුම්කරුව සිහි කරන්න කියා බයිබලය යෞවනයන්ව දිරිගන්වනවා. (දේශනාකාරයා 12:2) දේවසේවා පුහුණු පාසැලට සහභාගි වී තිබෙන අය සභාවල සිටින යෞවනයන්ට කදිම ආදර්ශයක්. අමෙරිකා එක්සත් ජනපදයේ එක් සභාවකට එම පාසැලෙන් පුහුණුව ලැබූ දෙදෙනෙක් පැමිණීමෙන් පසුව ඒ සභාවේ ප්‍රචාරකයන් සේවයේ හවුල් වන කාලය දෙගුණයකින් වැඩි වුණා. ඒ වගේම කලින් දෙදෙනෙක්ව සිටි ස්ථාවර පුරෝගාමීන්ගේ ගණන 11 දක්වා වැඩි වුණා. තවත් අයත් පුරෝගාමීන් හැටියට සේවය කිරීමට ඉදිරිපත් වුණා. මේ පාසැලෙන් පුහුණුව ලබා තිබෙන අය සේවය කරන බොහෝ සභාවල එවැනි වර්ධනයක් දැකිය හැකියි.

මේ පාසැලට සහභාගි වීමේ තිබෙන වටිනාකම පෙන්වා දෙමින් ඔවුන් යෞවනයන්ව දිරිමත් කරනවා. මේ නිසා තවමත් සභා සේවකයන් හැටියට සේවය නොකරන අය එම ඉලක්කය අත් කරගැනීමට පෙලඹී තිබෙනවා. මේ පාසැලට සහභාගි වූ අය “ඉදිරියේදී මොනවාද කරන්නේ කියා කල්පනා කරන තරුණයන්ට හොඳ ආදර්ශයක්” කියා නෙදර්ලන්තයේ ශාඛා කාර්යාලය වාර්තා කරනවා.

විදේශීය භාෂාවක් කතා කරන සභාවල සේවය කිරීම

බොහෝ රටවල සිටින සාක්ෂිකරුවන් ජනයාට ඔවුන්ගේ මව් භාෂාවෙන් ශුභාරංචිය දේශනා කිරීම සඳහා මහත් වෑයමක් දරනවා. දේවසේවා පුහුණු පාසැලට සහභාගි වූ හුඟදෙනෙක් වෙනත් භාෂා ඉගෙනගෙන ඒ භාෂා කතා කරන ජනයා සිටින ප්‍රදේශවල සේවය කරනවා. විවිධ හේතු නිසා වෙනත් රටවලින් පැමිණි අය බොහෝදෙනෙක් සමහර රටවල සිටිනවා. ඔවුන්ට ඔවුන්ගේ මව් භාෂාවෙන් සාක්ෂි දැරීමට ඒ රටවල සිටින සාක්ෂිකරුවන් වෑයම් කරනවා. උදාහරණයක් හැටියට බෙල්ජියමේ ඇල්බේනියන්, පර්සියන් හා රුසියානු භාෂාවලින් සාක්ෂි දැරිය හැකි ප්‍රචාරකයන්ගේ අවශ්‍යතාවක් තිබෙනවා.

බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉතාලිය, මෙක්සිකෝව, අමෙරිකා එක්සත් ජනපදය හා වෙනත් රටවල තිබෙන විදේශීය භාෂා කතා කරන සභාවන් දේවසේවා පුහුණු පාසැලට සහභාගි වූ සංචාරක අවේක්ෂකයන්ගේ වැඩිමහල්ලන්ගේ හා සභා සේවකයන්ගේ සේවයෙන් දැනටමත් මහත් ප්‍රයෝජන ලබා තිබෙනවා. කොරියාවේ ශාඛා කාර්යාලය මෙසේ වාර්තා කරනවා. “මේ පාසැලෙන් පුහුණුව ලබා තිබෙන 200කට වැඩි පිරිසක් විදේශීය භාෂා කතා කරන සභාවලට හා කණ්ඩායම්වලට මහත් සේ උපකාර සපයමින් සිටිනවා.”

ඔවුන් සේවය කරන තවත් ආකාර

මේ පාසැලට සහභාගි වූ අය විදේශීය භාෂා කතා කරන සභාවල හා කණ්ඩායම්වල සේවය කරනවාට අමතරව වැඩිමහල්ලන්, සභා සේවකයන් හා සංචාරක අවේක්ෂකයන් ලෙසද සේවය කරනවා. සමහරුන් වෙනත් රටවල සේවය කිරීමට පැවරුම් ලබා තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී ශාඛා කාර්යාලයක සේවා අංශයේ තිබෙන අවශ්‍යාතවන් සපුරාලීම සඳහා ඔවුන්ව පාවිච්චි කර තිබෙනවා. ඉදි කිරීමේ වැඩ ගැන දන්න මේ පාසැලෙන් පුහුණුව ලැබූ සමහරුන් රාජ්‍ය ශාලා ඉදි කිරීමේ වැඩවලට හවුල් වෙනවා.

ලොව පුරා සභාවන් හා චාරිකා ගණන වර්ධනය වීම නිසා ඒවායේ සේවය කිරීමට සංචාරක අවේක්ෂකයන්ගේ අවශ්‍යයතාවක් නිතරම පවතිනවා. මේ අවශ්‍යතාව සපුරාලීම සඳහා දේවසේවා පුහුණු පාසැලට සහභාගි වූ අයව තෝරාගෙන ඔවුන්ට සංචාරක සේවය හා සම්බන්ධ වැඩ ගැන සති දහයක පුහුණුවක් දී චාරිකා අවේක්ෂකයන් ලෙස සේවය කිරීමට පත් කරනවා. මේ පාසැලට සහභාගි වූ අයගෙන් 1,300දෙනෙක් දැනට රටවල් 97ක සංචාරක අවේක්ෂකයන් ලෙස සේවය කරනවා. එක් අප්‍රිකානු රටක සේවය කරන සංචාරක අවේක්ෂකයන්ගෙන් සියයට 55ක්ම මේ පාසැලෙන් පුහුණුව ලැබූ අයයි. තවත් අප්‍රිකානු රටක මේ අයගේ ගණන සියයට 70ක් වෙනවා.

ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, යුරෝපයේ, අසියාවේ හා අමෙරිකා එක්සත් ජනපදයේ මේ පාසැලට සහභාගි වූ සියගණනක්ව වෙනත් රටවල සේවය කිරීමට යවා තිබෙනවා. මේ ආකාරයට මේ පාසැලෙන් මුළු ලෝකයටම විශිෂ්ට සේවයක් සපයනවා කියා කිව හැකියි.

යෙහෝවා දෙවි ඔහුගේ පුත් යේසුස් මාර්ගයෙන් එවැන්ජලිස්තවරුන්ද එඬේරුන්ද ගුරුවරුන්ද පත් කර තිබෙනවා. මොවුන් මේ අන්තිම දවස්වලදී මේ ලෝකයේ සිදු කරනු ලබන දෙවිගේ රාජ්‍ය හා සම්බන්ධ වැඩවල වර්ධනයට මහත් සේ දායක වෙනවා. දෙවිගේ සෙනඟ අතර දැනටත් වඩා මහත් වර්ධනයක් අනාගතයේදී සිදු වෙයි කියා බලාපොරොත්තු විය හැකියි. මේ නිසා මහත් වගකීම් ඉසිලීම සඳහා කැපවූ පුරුෂයන්ගේ අවශ්‍යතාවක් වෙන කවරදාටත් වඩා මේ කාලයේ තිබෙනවා. (යෙසායා 60:22; 1 තිමෝති 3: 1, 13) දේවසේවා පුහුණු පාසැලට ගොස් සිටින වැඩිමහල්ලන් හා සභා සේවකයන් එම පුහුණුවෙන් බොහෝ ප්‍රයෝජන ලබා තිබෙනවා. ඔවුන් අවශ්‍යතාව ඇති ප්‍රදේශවලට හා රටවලට ගොස් සේවය කරන නිසා ලොව පුරා සිටින දෙවිගේ සෙනඟද ඔවුන්ගේ පුහුණුවෙන් බොහෝ ප්‍රයෝජන ලබනවා. මේ නිසා මේ පාසැලෙන් සපයන්නේ මොනතරම් විශිෂ්ට සේවයක්ද!

[පාදසටහන]

^ 11 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[10වන පිටුවේ පින්තූර]

දේවසේවා පුහුණු පාසැල ලොව පුරා වර්ධනයට දායක වී තිබෙනවා

[13වන පිටුවේ පින්තූර]

දේවසේවා පුහුණු පාසැලට ගොස් අන් අයට සේවය කිරීම ඔබෙත් ඉලක්කයද?