Skip to content

පටුනට යන්න

අවංකකමේ වටිනාකම

අවංකකමේ වටිනාකම

අවංකකමේ වටිනාකම

වංකකම! මෙය අද ඊයේ ඇති වූවක් නොවේ. එය ආරම්භ වූයේ මුල් මනුෂ්‍ය යුවළ ජීවත් වූ ඒදන් කියන උයනේදීයි. කොහොමවුණත් තවමත් විවිධ සංස්කෘතීන්ට අයත් ජාතීන්ගෙන් වැඩි පිරිසක් කෙනෙකුගේ අවංකකම ඉතා උසස් කොට සලකන අතර වංකකම සහ බොරුව හෙළා දකිනවා. ඇත්තෙන්ම කෙනෙකුව විශ්වාසවන්ත පුද්ගලයෙක් කියා හැඳින්වීම ඔහුට මහත් ගෞරවයක්. නමුත් ‘අද සමාජයේ ජීවත් වෙන්න නම් අවංක වෙලා බැහැ’ කියන මතය වැඩි වෙමින් පවතිනවා. මේ ගැන ඔබ හිතන්නේ කුමක්ද? අවංකව ජීවත් වීමෙන් ප්‍රයෝජනයක් තිබෙනවාද? ඔබ වංකකම සහ අවංකකම තීරණය කරන්නේ කොහොමද?

යෙහෝවා දෙවිව සතුටු කිරීමට නම් අපේ කතාවෙන් සහ හැසිරීමෙන් අවංක බව පෙන්විය යුතුයි. “ඔබ එකිනෙකා තම තමාගේ අසල්වාසියා සමඟ සත්‍යය කතා කරන්න” කියා පාවුල් පැවසුවා. (එෆීස 4:25) ඔහු තවදුරටත් කිව්වේ “සියල්ලේදී අවංක ලෙස හැසිරෙන්න අප කැමති” විය යුතු බවයි. (හෙබ්‍රෙව් 13:18) අප එසේ කළ යුත්තේ අන් අයගේ ප්‍රශංසාව ලැබීමේ චේතනාවෙන් නොවේ. නමුත් යෙහෝවා දෙවිට ඇති ගෞරවය සහ ඔහුව සතුටු කිරීමට අපිට ඇති ආශාව නිසයි.

ඔබ ගැන සත්‍යය වසං කරන්න එපා

බොහෝ රටවල මිනිසුන් තමන් ඇත්තටම කවුද කියන එක සඟවන්නේ යම් වාසි ප්‍රයෝජන ලබාගැනීම සඳහායි. උදාහරණයකට සමහරු යම් රැකියාවක් ලබාගැනීමට හෝ වෙනත් රටකට නීති විරෝධී ලෙස ඇතුල්වීමට අවශ්‍ය ව්‍යාජ හැඳුනුම් පත්, බොරු සහතික සහ ලියවිලි සකස් කරගන්නවා. එමෙන්ම දෙමාපියන් තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා වංචනික ලෙස ඔවුන්ගේ උප්පැන්න සහතික පවා වෙනස් කර තිබෙනවා.

පුද්ගලයෙක් තමන් ඇත්තටම කවුද කියා සඟවනවා නම් ඔහු රැවටිලිකාරයෙක්. එමෙන්ම ඔහුට දෙවිව සතුටු කිරීමටද බැහැ. යෙහෝවා “සැබෑකමෙහි දෙවි” වන නිසා ඔහු සමඟ මිත්‍රත්වයක් ඇති අයගෙන්ද දෙවි සැබෑකම බලාපොරොත්තු වෙනවා. (ගීතාවලිය 31:5) එමනිසා යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමේදී අපට “බොරුකාර මිනිසුන්” සහ “රැවටිලිකාරයන්” මෙන් විය නොහැකියි.—ගීතාවලිය 26:4.

යම් හික්මවීමක් ලැබෙයි කියා තිබෙන බිය නිසා සමහරු ඇත්ත කියන්න පසු බසිනවා. මෙය ක්‍රිස්තියානි සභාවේ වුණත් සිදු විය හැකියි. එක් සභාවක තරුණයෙක් තමන් කළ යම් යම් වැරදි වැඩිමහල්ලන්ට හෙළි කළා. නමුත් ඔහු සොරකම් කළ බවට සාක්ෂි තිබුණත් ඔහු එය පිළිගත්තේ නැහැ. පසුව ඔහු සොරකම්වල නිරත වූ බව හෙළි වුණාම ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළා. ටිකක් හිතන්න, මේ තරුණයා අවංක ලෙස ඔහුගේ සියලු වැරදි කලින්ම හෙළි කළා නම් යෙහෝවා දෙවි සමඟ ඔහුට තිබූ වටිනා මිත්‍රත්වය නැවත ලබාගන්න හැකියාව තිබුණා. ඔහුට කරන්න තිබුණු ප්‍රඥාවන්තම දේ එය නොවේද? බයිබලය කියන්නේ “යෙහෝවාගෙන් පැමිණෙන හික්මවීම සුළු කොට නොසලකන්න. ඔහු ඔබව නිවැරදි කරන විට, ක්ලාන්ත නොවන්න. මන්ද, යෙහෝවා තමන් ප්‍රේම කරන අයව හික්මවන්නේය” කියායි.—හෙබ්‍රෙව් 12:5, 6.

සභාවේ සේවා වරප්‍රසාද අත්කර ගන්නට උත්සාහ කරමින් සිටින සහෝදරයෙක් තමන් අතින් සිදු වූ වැරැද්දක් හෝ පෞද්ගලික ප්‍රශ්නයක් වසං කරමින් සිටිනවා විය හැකියි. සමහරවිට ඔහු පුරෝගාමි සේවය, බෙතෙල් සේවය හෝ වෙනත් විශේෂ සේවා වරප්‍රසාද සඳහා අදාළ අයදුම් පත් පුරවද්දී සෞඛ්‍යය සහ සදාචාරය සම්බන්ධයෙන් අසා ඇති ප්‍රශ්නවලට නිවැරදි තොරතුරු ඉදිරිපත් නොකරනවා වෙන්න පුළුවන්. ඇත්ත හෙළි කළොත් තමාව ඒ සඳහා තෝරා නොගනීවි කියා සිතීම ඊට හේතුව විය හැකියි. ‘මම ඉතින් බොරුවක් කිව්වේ නැහැනේ’ කියා ඔහු තර්ක කරන්නත් පුළුවන්. හැබැයි ඔහු තමන් ගැන සම්පූර්ණ තොරතුරු හෙළි කළා කියා කිව හැකිද? හිතෝපදේශ 3:32හි ඇති අදහස සැලකිල්ලට ගන්න. “වංක තැනැත්තා යෙහෝවාට පිළිකුලක්ය. නමුත් ඔහු සමීප වන්නේ ප්‍රතිපත්තිගරුක තැනැත්තන්ටය.”—නව ලොව පරිවර්තනය, NW.

පුද්ගලයෙක් ප්‍රථමයෙන්ම තමාටම අවංක විය යුතුයි. බොහෝ විට අපි පිළිගන්නේ අපිට හරියයි කියා පෙනෙන දේ මිස ඇත්තටම හරි දේ නොවෙයි. අනික් අතට අපේ වැරදි තව කෙනෙක් මතට පටවා ඇඟ බේරාගන්න එක හරිම ලෙහෙසියි. උදාහරණයකට තමන් කළ වරද අනුන් මත පැටවීමෙන් තමන් හරියයි පෙන්වීමට සාවුල් රජ උත්සාහ කළා. මේ නිසා අවසානයේදී යෙහෝවා දෙවි ඔහුව රජකමෙනුත් පහ කළා. (1 සාමුවෙල් 15:20-23) නමුත් ඊට හාත්පසින්ම වෙනස්ව දාවිත් යෙහෝවා දෙවිට යාච්ඤා කළේ මෙසේයි. “මාගේ පාපය ඔබට ප්‍රකාශ කළෙමි. මාගේ අයුතුකම නොසැඟවීමි. මාගේ වරද යෙහෝවාට කියා දෙන්නෙමියි කීමි. ඔබ මාගේ පාපයේ අයුතුකම මට කමා කළේය.”—ගීතාවලිය 32:5.

අවංක වීමේ ප්‍රයෝජන

ඔබ වංක කෙනෙක්ද? අවංක කෙනෙක්ද? අන් අය ඔබ ගැන දරන ආකල්පයට එය බලපායි. එක් වතාවක් හෝ කෙනෙකුගේ විශ්වාසය බිඳී යන සේ යමක් අප අතින් සිදු වුණොත් නැවතත් ඔහුගේ විශ්වාසය දිනාගැනීම ලෙහෙසි දෙයක් නොවෙයි. නමුත් අනෙක් අතට ඔබ සත්‍යවාදී නම්, අවංක නම්, විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙක් හැටියට කදිම නමක් දිනාගන්න ඔබට හැකි වේවි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් උත්සාහ දරන්නේ එවැනි අනර්ඝ නාමයක් ඇති කරගැනීමටයි. ඊට උදාහරණ සමහරක් අපි දැන් බලමු.

එක් සමාගමක සිටි සේවකයන් පිරිසක් වංචා කිරීම නිසා එහි උසස් නිලධාරියෙක් ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට පොලිසියේ උපකාරය පැතුවා. අත්අඩංගුවට ගෙන තිබුණු අය අතර යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්ද සිටි බව මේ සමාගමේ නිලධාරියා දැනගත් වහාම ඔහු පොලිසියට ගියා. ඒ යෙහෝවාගේ සාක්ෂිකරුවාව නිදහස් කරගැනීමටයි. එවැනි දෙයක් කරන්න ඔහු පෙලඹුණේ ඇයි? හේතුව ඒ නිලධාරියා දැනගෙන හිටියා ඔහු අවංක, කාටවත් කරදරයක් නැති පුද්ගලයෙක් කියලා. ඒ නිසා ඔහුට රැකියාව අහිමි වුණේ නැහැ. නමුත් අනිත් සේවකයන්ව නම් ඉවත් කළා. එමෙන්ම මොහුගේ කදිම හැසිරීම නිසා යෙහෝවා දෙවිට ගෞරවය ලැබුණු ආකාරය දුටු සෙසු සාක්ෂිකාර මිත්‍රයන්ද ඒ ගැන හුඟාක් සතුටු වුණා.

අවංකකම සඟවන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. ඒ ගැන මේ අද්දැකීමෙන්ද ඔප්පු වෙනවා. එක් අප්‍රිකානු ගමක තිබූ අගලක් හරහා තැනූ කුඩා පාලමක ලෑලි සොරු ගලවාගෙන ගොස් තිබුණු නිසා එය අලුත්වැඩියා කළ යුතු වුණා. මේ සඳහා ගම්වාසීන් එකතුව ඊට මුදල් එකතු කළත් ප්‍රශ්නය වුණේ ඒ මුදල් විශ්වාසවන්තව භාරදෙන්න පුළුවන් කාටද කියන එකයි. අවසානයේදී ගමේ හැමදෙනාම ඒ සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්ව පත් කරන්න තීරණය කළා.

අප්‍රිකාවේ තවත් රටක දේශපාලන සහ වාර්ගික ගැටුම් ආරම්භ වුණා. එහි ජාත්‍යන්තර සමාගමක ගණකාධිකාරවරයෙක් ලෙස සේවය කරමින් සිටි සාක්ෂිකාර සහෝදරයෙකුගේ ජීවිතය තිබුණේ අනතුරුදායක තත්වයකයි. මේ නිසා එම සමාගම තීරණය කළේ රටේ තත්වය හොඳ අතට හැරෙන තෙක් ඔහුව වෙනත් රටක රැකියාවක් සඳහා පිටත් කර හැරීමටයි. එහිදී ඔහුට රැකියාවක් ලබා දී ඔහුගේ වියහියදම් දැරුවේත් ඒ සමාගම විසින්මයි. ඊට හේතුව කුමක්ද? මීට පෙර වතාවක සමාගමේ යම් පිරිසක් සිදු කළ වංචාවකට සම්බන්ධ වීම මොහු ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ වගේම ඔහු අවංකකම සම්බන්ධයෙන් හොඳ නමක් දිනා ඇති බවත් එහි නිලධාරීන් හොඳින් දැන සිටියා. නමුත් ඔහු කලින් යම් වංචනික ක්‍රියාවකට හවුල් වී තිබුණා නම් ඒ සමාගම ඔහු වෙනුවෙන් එවැනි පියවරක් ගනීවිද?

හිතෝපදේශ 20:7හි අපට කියවන්න තිබෙන්නේ මෙහෙමයි. “ඇද නැතිකමින් හැසිරෙන්නා ධර්මිෂ්ඨයෙක්ය.” අවංක පුද්ගලයෙක් තුළ කිසි ඇදයක් හෝ අධර්මිෂ්ඨකමක් දකින්න නැහැ. ඔහු විශ්වාසවන්තයි. ඒ නිසා ඔහු අන් අයව රවටන්නේ නැහැ. අපිත් ආස අන් අයත් අප සමඟ අවංකකමින් කටයුතු කරනවාට නොවෙයිද? අවංකකම සැබෑ නමස්කාරකයන්ට නැතිවම බැරි ගුණාංගයක්. ඉන් අපි පෙන්වන්නේ දෙවිටත් අසල්වැසියාටත් අපි ප්‍රේම කරන බවයි. එමෙන්ම අවංක වීමෙන් අපි යේසුස් දුන් මෙම ආඥාවට කීකරු වන බව පෙන්වමු. “අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය.”—මතෙව් 7:12; 22:36-39.

සියල්ලේදීම අවංක වීම ප්‍රයෝජන ගෙන දෙයි. අවංක වීම නිසා අපිට දෙවි ඉදිරියේ ලැබෙන නිදොස් හෘදය සාක්ෂිය ගැන කල්පනා කරද්දී ඒ සඳහා අපි දරන ඕනෑම උත්සාහයක් ඉතාමත් වටිනවා. අවංක වීමෙන් දීර්ඝ කාලීන ප්‍රයෝජන ලබන්න පුළුවන්. ඒ අතර ප්‍රධානතම දෙය වන්නේ යෙහෝවා දෙවි සමඟ අප ඇති කරගන්නා මිත්‍රත්වයයි. නීති විරෝධී ලෙස දේවල් කිරීමෙන් හෝ අන් අය ඉදිරියේ හොඳ නමක් දිනාගන්න වංක ලෙස කටයුතු කිරීමෙන් ඒ මිත්‍රත්වය නිකරුණේ පලුදු කරගන්නේ ඇයි? අවංක වීම නිසා මොනම තත්වයකට මුහුණ දෙන්න සිදු වුණත් ගීතිකාකරුගේ මෙම වචන කෙරෙහි අපි විශ්වාසය තබමු. “යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්නාවූද උඩඟුකාරයන්වත් බොරුවලට හැරෙන්නන්වත් නොසලකන්නාවූද තැනැත්තේ ආශීර්වාද ලද්දේය.”—ගීතාවලිය 40:4.

[18වන පිටුවේ පින්තූර]

සැබෑ ක්‍රිස්තියානීන් වංචනික ලියකියවිලි මිල දී ගන්නෙවත් පාවිච්චි කරන්නෙවත් නැහැ