Skip to content

පටුනට යන්න

ඔබට ප්‍රේම කරන දෙවිට ඔබත් ප්‍රේම කරන්න

ඔබට ප්‍රේම කරන දෙවිට ඔබත් ප්‍රේම කරන්න

ඔබට ප්‍රේම කරන දෙවිට ඔබත් ප්‍රේම කරන්න

“ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ප්‍රේම කරන්න.”—මතෙව් 22:37.

1, 2. උතුම් ආඥාව ගැන ප්‍රශ්නයක් පැන නැඟීමට හේතුව කුමක්ද?

පෙනෙන විදිහට යේසුස්ගේ කාලයේ සිටි පරිසිවරු අතර සැර විවාදයකට ලක් වූ ප්‍රශ්නයක් තිබුණා. එනම් ආඥා 600කට වඩා වැඩි ප්‍රමාණයක් ඇතුළත් මෝසෙස්ට දුන් නීතියේ උතුම්ම ආඥාව කුමක්ද යන්නයි. පූජා සම්බන්ධව දී තිබූ නීතිය තුළින් පව්වලට සමාව ලබන්න හැකි වුණා වගේම දෙවිට ස්තුති කිරීමටත් හැකි වුණා. ඒ නිසා උතුම් නීතිය එයද? නැතිනම් යෙහෝවා දෙවි ආබ්‍රහම් සමඟ ගිවිසුමක් කරද්දී ලකුණක් හැටියට චර්මච්ඡේදනය කිරීම අවශ්‍ය වූ නිසා උතුම් නීතිය වුණේ ඒකද?—උත්පත්ති 17:9-13.

2 අනෙක් අතට වඩාත් මධ්‍යස්ථ ප්‍රතිපත්තියකට ඇලී සිටි අයගේ අදහස වූයේ දෙවි දුන් සෑම නීතියක්ම වැදගත් කියලයි. සමහර නීති අනෙක් ඒවා තරම් වැදගත් නැතැයි පෙනෙන්නට තිබුණත් ඒවා එසේ වර්ග කිරීම සුදුසු නැති බව ඔවුන් කිව්වා. මේ අවස්ථාවේදී පරිසිවරුන් ඒ මතගැටුම යේසුස්ට යොමු කළේ ඔහුව වරදට පත් කිරීමේ යටි අරමුණ ඇතිවයි. ඒ නිසා ඔවුන් යේසුස්ගෙන් මෙහෙම ඇසුවා. “ගුරුතුමෙනි, නීතියේ උතුම්ම ආඥාව කොයි එකද?”—මතෙව් 22:34-36.

3. යේසුස් පැවසූ ආකාරයට උතුම්ම ආඥාව කුමක්ද?

3 මේ ප්‍රශ්නයට යේසුස් දුන් පිළිතුර අද දින සිටින අප සෑම කෙනෙකුටම ඉතාමත් වැදගත්. සැබෑ නමස්කාරයට අත්‍යවශ්‍යම කාරණයක් ඔහු දුන් පිළිතුරෙන් කැටි කොට දැක්වූවා. ඒ සම්බන්ධයෙන් ද්විතීය කතාව 6:5 උපුටා දක්වමින් යේසුස් මෙසේ කිව්වා. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ප්‍රේම කරන්න.’ මෙය උතුම්ම සහ පළමුවන ආඥාවය.” පරිසිවරු එක අඥාවක් ගැන විතරක් ඇසුවත් යේසුස් ලෙවී කතාව 19:18 උපුටා දක්වමින් ඔවුන්ට තවත් එකක් ගැන කිව්වා. “දෙවැන්නද ඒ හා සමානය. එනම්, ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’” සැබෑ නමස්කාරය රඳා පවතින්නේ මේ ආඥා දෙක මත බව යේසුස් පැහැදිලි කළා. පරිසිවරුන්ට අවශ්‍ය වූයේ යේසුස් විසින් නීතියේ ඇති සමහර ආඥා එතරම් වැදගත් නැහැ කියා ප්‍රකාශ කරනවා දකින්නයි. එය වළක්වමින් යේසුස් කීවේ “මේ ආඥා දෙක මත මුළු නීතියද අනාගතවාක්‍යයද රඳා පවතී” කියායි. (මතෙව් 22:37-40) මෙම ලිපිය තුළ අප සලකා බලන්න යන්නේ මේ ආඥා දෙකෙන් උතුම්ම ආඥාව ගැනයි. අපි දෙවිට ප්‍රේම කළ යුත්තේ ඇයි? දෙවිට අපි ප්‍රේම කරන බව පෙන්වන්නේ කෙසේද? එවැනි ප්‍රේමයක් අපි වැඩි වර්ධනය කරගන්නේ කෙසේද? එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීම ඉතා වැදගත්. ඊට හේතුව, යෙහෝවා දෙවිව ප්‍රසන්න කිරීමට නම් අපි අපේ මුළු හදවතින්, ජීවිතයෙන් සහ මනසින් දෙවිට ප්‍රේම කළ යුතු නිසයි.

ප්‍රේමයේ ඇති වැදගත්කම

4, 5. (අ) යේසුස් දුන් පිළිතුර ගැන පරිසිවරයා පුදුම වුණේ නැත්තේ ඇයි? (ආ) පූජා සහ යාගවලට වඩා දෙවිට වටින්නේ කුමක්ද?

4 පෙනෙන විදිහට යේසුස්ගෙන් එම ප්‍රශ්නය ඇසූ පරිසිවරයා ඔහුට ලැබුණු පිළිතුර ගැන පුදුම වුණේවත් කලබල වුණේවත් නැහැ. වැඩිදෙනෙක් දෙවිට ප්‍රේම නොකළත් එය සැබෑ නමස්කාරය තුළ අත්‍යවශ්‍ය අංගයක් බව ඔහුත් දැනගෙන හිටියා. සාමාන්‍යයෙන් ද්විතීය කතාව පොතෙන් හා ගණන් කතාව පොතෙන් උපුටාගත් කොටස් සිනගෝගවලදී යාච්ඤාවක් ලෙස ශබ්දනඟා කීම ඔවුන්ගේ චාරිත්‍රයක්ව පැවතුණා. ඔවුන් එම යාච්ඤාවට ද්විතීය කතාව 6:4-9න් උපුටාගත් කොටසක්ද ඇතුළත් කළා. යේසුස් ඔවුන්ට උපුටා දැක්වූවේද එම කොටසමයි. මාක්ගේ වාර්තාවට අනුව මේ පරිසිවරයා යේසුස්ට කිව්වේ “ගුරුතුමෙනි, ‘ඔහු එක් කෙනෙක්මය, ඔහු හැර තව කිසිවෙක් නැත’ යයි ඔබ මැනවින් කීවේය. එය සත්‍යයට එකඟය. තවද, ඔහුට මුළු හදවතින්ද, මුළු බුද්ධියෙන්ද මුළු ශක්තියෙන්ද ප්‍රේම කිරීම සහ තමන්ට මෙන් තම අසල්වැසියාට ප්‍රේම කිරීම යන මේ දේ, මුළුමනින්ම දවන ලද පූජා සියල්ලට සහ යාගවලට වඩා වටින්නේය.”—මාක් 12:32, 33.

5 නීතියට අනුව දවන පූජා සහ යාග ඔප්පු කළ යුතු වුණා. නමුත් දෙවිට වැදගත් වන්නේ තම සේවකයන් ඔහුට ප්‍රේම කිරීමයි. වැරදි චේතනාවක් ඇතුව බැටළුවන් දහස් ගණනක් ඔප්පු කිරීමට වඩා දෙවි කෙරෙහි ප්‍රේමයක් ඇතිව එක ගේ කුරුල්ලෙක් ඔප්පු කළත් එය දෙවි ඉදිරියේ ඉතා වටිනවා. (මීකා 6:6-8) දේවමාලිගාවේදී යේසුස්ගේ අවධානයට ලක් වූ වැන්දඹු ස්ත්‍රියව මතකයට නගන්න. ඇය මුදල් බඳුනට දැමූ ඒ කුඩා කාසි දෙකෙන් අඩුම තරමේ එක ගේ කුරුල්ලෙක්වත් මිල දී ගන්න බැහැ. ඒ වුණත් ඇය කළ පරිත්‍යාගයෙන් පෙන්වූයේ යෙහෝවා දෙවි කෙරෙහි ඇය තුළ තිබූ ප්‍රේමයයි. ධනවතුන් තමන්ගේ වැඩිපුර දෙයින් දුන් විශාල සම්මාදමට වඩා දෙවි එය හුඟාක් අගය කළා. (මාක් 12:41-44) අපගේ තත්වය කුමක් වුණත් අපි සියල්ලන්ටම යෙහෝවා දෙවිට දිය හැකි වටිනා යමක් අප සතුව තිබෙනවා. ඒ දෙවි කෙරෙහි ඇති අපගේ ප්‍රේමයයි. එය දැන සිටීමම අපට මොන තරම් දිරිගැන්වීමක්ද!

6. ප්‍රේමයේ ඇති වැදගත්කම ගැන පාවුල් ලිව්වේ කුමක්ද?

6 සැබෑ නමස්කාරය තුළ ප්‍රේමයට ඇති වැදගත්කම ගැන අවධාරණය කරමින් පාවුල් මෙහෙම ලිව්වා. “මා මිනිසුන්ගේද දේවදූතයන්ගේද භාෂා කතා කළත්, මට ප්‍රේමය නැත්නම් මම ශබ්ද පිට වන පිත්තල තහඩුවක් හෝ හඬ නඟන අත්තළක් වී සිටිමි. මට අනාවැකි කීමේ දීමනාව තිබුණත්, පරිශුද්ධ රහස් සියල්ල දැනගෙන සිටියත්, සියලු දැනුම තිබුණත්, කඳු ඉවත් කිරීමට තරම් පූර්ණ ඇදහිල්ලක් ඇතිව සිටියත්, මට ප්‍රේමය නැත්නම් මම කිසි වැදගැම්මකට නැති පුද්ගලයෙක් වෙමි. මා ආඩම්බර වන පිණිස මා සතු සියල්ල අනුන්ව පෝෂණය කිරීම සඳහා දුන්නත්, මාගේ ශරීරයම දුන්නත්, මට ප්‍රේමය නැත්නම් මට කිසි ප්‍රයෝජනයක් නැත.” (1 කොරින්ති 13:1-3) අප දෙවිට කරන නමස්කාරය ඔහු විසින් පිළිගැනීමට නම් අපට ප්‍රේමය තිබීම ඉතාමත් වැදගත්. නමුත් අපි යෙහෝවා දෙවිට අපේ ප්‍රේමය පෙන්වන්නේ කොහොමද?

යෙහෝවා දෙවිට අපගේ ප්‍රේමය පෙන්වන අයුරු

7, 8. යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමට අපට හැක්කේ කෙසේද?

7 ප්‍රේමය කියද්දී බොහෝ අය හිතන්නේ දෙදෙනෙක් අතර ඇති වන ආදරය ගැනයි. මෙය හැඟීම් මත ඇති වන අතර පාලනය කිරීමට අසීරු දෙයක් කියාද සමහරු සිතනවා. නමුත් සැබෑ ප්‍රේමය කියන්නේ අපිට නිකම්ම දැනෙන දෙයක් නොවෙයි. එය ක්‍රියාවෙන් පෙන්විය හැකි ගුණාංගයක් මිස හැඟීම් මත ඇති වන ක්ෂණික ආවේගයක් නොවෙයි. බයිබලය තුළ ප්‍රේමය හඳුන්වා තිබෙන්නේ “වඩා උතුම් මාර්ගයක්” හැටියට සහ අප විසින් “ලුහුබඳින්න” අවශ්‍ය යමක් හැටියයි. (1 කොරින්ති 12:31; 14:1) එමනිසා ක්‍රිස්තියානීන්ට දිරිගන්වා තිබෙන්නේ “වචනයෙන්වත් කතාවෙන්වත් නොව, ක්‍රියාවෙනුත් සත්‍යතාවෙනුත්” ප්‍රේම කරන්න කියායි.—1 යොහන් 3:18.

8 දෙවිව සතුටු කරන දේවල් කිරීමටත් දෙවි අපගේ පාලකයා ලෙස පිළිගැනීම සහ එම පාලනයට පක්ෂ වීමටත් අපව පොලඹවන්නේ දෙවි කෙරෙහි ඇති අපගේ ප්‍රේමයයි. එය අප පෙන්වන්නේ අපගේ වචනයෙන් සහ ක්‍රියාවෙනුයි. එමෙන්ම ඒ ප්‍රේමය මේ ලෝකයට ප්‍රේම කිරීමෙන් අපව වළක්වනවා. (1 යොහන් 2:15, 16) දෙවිට ප්‍රේම කරන අය නපුරු දේවලට වෛර කරනවා. (ගීතාවලිය 97:10) දෙවිට ප්‍රේම කිරීමට සම්බන්ධ තවත් දෙයක් නම් අපගේ අසල්වැසියාට ප්‍රේම කිරීමයි. එය අපි ඊළඟ ලිපියේදී සාකච්ඡා කරමු. දෙවිට ප්‍රේම කිරීමේදී අවශ්‍ය තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි කීකරුකම. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “දෙවිට ප්‍රේම කිරීම යනු, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බරක් නොවේ.”—1 යොහන් 5:3.

9. දෙවිට ඇති තම ප්‍රේමය යේසුස් පෙන්නුවේ කෙසේද?

9 දෙවිට ප්‍රේම කරන ආකාරය ගැන යේසුස් පරිපූර්ණ ආදර්ශයක් තැබුවා. තම ස්වර්ගික ජීවිතය අත්හැර පොළොවේ මිනිසෙකු ලෙස ජීවත් වීමට ඔහුව පෙලඹුවේ දෙවිට ඇති ඔහුගේ ප්‍රේමයයි. යේසුස් කළ දේවලින් සහ ඉගැන්වූ දේවලින් තම පියාට මහිමය ගෙන දුන්නා. එමෙන්ම “මරණය දක්වාම යටහත් වී කීකරු” වුණෙත් තම පියාට ඇති ප්‍රේමය නිසයි. (ෆිලිප්පි 2:8) එවැනි කීකරුකමක් නිසා, විශ්වාසවන්ත මිනිසුන්ට දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ තත්වයකට පැමිණීමට අවස්ථාව ලැබුණා. ඒ ගැන පාවුල් ලිව්වේ මෙසේයි. “ඒ මිනිසාගේ අකීකරුකම නිසා බොහෝදෙනෙකු පව්කාරයන් වූවා සේම, ඒ එක් තැනැත්තාගේ කීකරුකම නිසා බොහෝදෙනෙක් ධර්මිෂ්ඨ කරනු ලබන්නෝය.”—රෝම 5:19.

10. දෙවිට ප්‍රේම කිරීමේදී කීකරුකම අවශ්‍ය වන්නේ ඇයි?

10 යේසුස් මෙන් දෙවිට ඇති අපගේ ප්‍රේමය පෙන්වන්නේ ඔහුට කීකරු වීමෙනුයි. යේසුස්ගේ කිට්ටු ගෝලයෙක් වූ යොහන් මෙසේ කිව්වා. “ප්‍රේමය නම් මේය.” කුමක්ද? එනම් “අප ඔහුගේ ආඥාවලට අනුව ජීවත් වීමය.” (2 යොහන් 6) දෙවිට ප්‍රේම කරන අය නිතරම ඔහුගේ මඟ පෙන්වීම පතනවා. තමන්ට තනිවම සාර්ථක විය නොහැකි බව දන්නා ඔවුන් දෙවි ලබා දෙන ප්‍රඥාව කෙරෙහි විශ්වාසය තබන අතර ඔහුගේ ප්‍රේමණීය මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා. (යෙරෙමියා 10:23) ඔවුන් පුරාණයේ සිටි උදාර ගතිගුණ තිබූ බෙරීයය නුවර වැසියන් වගෙයි. බෙරීයයන් “මහත් උනන්දුවකින්” දෙවිගේ පණිවිඩය පිළිගත් අතර දෙවි බලාපොරොත්තු වන දේ කිරීමට දැක්වූයේ මහත් ආශාවක්. (ක්‍රියා 17:11) ඔවුන් දෙවිගේ වචනය හොඳින් පරීක්ෂා කළේ දෙවි බලාපොරොත්තු වන දේ සම්පූර්ණයෙන්ම තේරුම්ගැනීමටයි. ඒ තුළින් දෙවිට වඩ වඩා කීකරු වීමෙන් ඔහුට ප්‍රේම කිරීමට ඔවුන්ට හැකි වුණා.

11. අපගේ මුළු හදවතින්, මනසින්, ජීවිතයෙන් සහ ශක්තියෙන් දෙවිට ප්‍රේම කරනවා කියන්නේ කුමක්ද?

11 යේසුස් පැවසූ ආකාරයට අප දෙවිට ප්‍රේම කරන විට අපේ මුළු හදවත, මනස, ජීවිතය හා ශක්තිය යන සියල්ල සම්බන්ධ විය යුතුයි. (මාක් 12:30) දෙවිට මුළු හදවතින් ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ අපේ එකම ආශාව වන්නේ දෙවිව සතුටු කිරීම බවයි. ඊට අපගේ හැඟීම් හා සිතුවිලිද සම්බන්ධයි. දෙවිට අපේ මුළු මනසින් ප්‍රේම කරනවා කියද්දී ඉන් පැහැදිලි වන්නේ දෙවි සඳහා අපට ඇති භක්තිය කිසිම පදනමක් නැති අන්ධ එකක් නොවන බවයි. අප දෙවි, ඔහුගේ ගුණාංග, ප්‍රමිති හා අරමුණු ගැන දැනුවත් වී සිටින නිසා අපට ඔහු ගැන හොඳ පැහැදීමක් තිබෙනවා. අප ඔහුට ප්‍රේම කරන්නේ එනිසයි. අප දෙවිට අපේ මුළු ජීවිතයෙන් ප්‍රේම කරන්නේ කෙසේද? අප එසේ කරන්නේ අපට පණ තිබෙන තාක්කල් අපේ උපරිමයෙන්ම ඔහුට ප්‍රශංසා කරමින් සේවය කරමිනුයි. අපේ මුළු ශක්තියෙන් දෙවිට සේවය කරනවා කීමෙන් අදහස් වන්නේ අප වෙහෙස මහන්සිය නොබලා ඔහුට සේවය කරන බවයි.

දෙවිට ප්‍රේම කිරීමට අපිට තිබෙන හේතු

12. දෙවිට ප්‍රේම කිරීම ඔහු අපෙන් බලාපොරොත්තු වන්නේ ඇයි?

12 ප්‍රේමය යන ගුණාංගයේ ආරම්භකයා දෙවි වන අතර එය හොඳින්ම පෙන්වන්නේ ඔහුයි. යොහන් ලිව්වේ “දෙවි ප්‍රේමය” කියායි. (1 යොහන් 4:8) එමනිසා අපිත් දෙවිගේ ගුණාංග පිළිබිඹු කිරීම ඔහු බලාපොරොත්තු වෙනවා. දෙවිට ප්‍රේම කිරීමට එය එක් හේතුවක්. මිනිසුන්ව නිර්මාණය කර තිබෙන්නේ දෙවිගේ ගතිගුණ සහිතවයි. එයට, ප්‍රේම කිරීමේ හැකියාව ඇතුළත්. යෙහෝවා දෙවි පාලනය කරන්නේ ප්‍රේමය මුල් කරගෙනයි. දෙවි කැමති වන්නේ තමන්ගේ ධර්මිෂ්ඨ පාලනයට කීකරු වී එයට ඇලුම් කරන අය තම යටත්වැසියන් වෙනවා දකින්නයි. මුළු මැවිල්ලේම සාමය සහ සමඟිය උදෙසා ප්‍රේමය අත්‍යවශ්‍යයි.

13. (අ) “දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න” කියා ඊශ්‍රායෙල්වරුන්ගෙන් ඉල්ලා සිටියේ ඇයි? (ආ) යෙහෝවා දෙවිට ප්‍රේම කරන්න කියා අපෙන් බලාපොරොත්තු වීම සාධාරණ වන්නේ ඇයි?

13 යෙහෝවා දෙවි අපි වෙනුවෙන් කර ඇති දේවල් ගැන කල්පනා කර ඒවා අගය කරනවා නම් ඔහුට ප්‍රේම කිරීමට එය අපිව පොලඹවයි. දෙවිට ප්‍රේම කිරීමට එය තවත් හේතුවක්. යේසුස් යුදෙව්වන්ට කිව්වේ “දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න” කියායි. එහිදී යේසුස් ඔහුගෙන් ඉල්ලුවේ තමන් නන්නාඳුන දෙවි කෙනෙකුට ප්‍රේම කරන්න කියා නොවෙයි. නමුත් ඒ වෙනුවට ඔවුන්ව ඊජිප්තුවේ වහල්භාවයෙන් ගලවාගෙන පොරොන්දු දේශයට ගෙනැවිත් ආරක්ෂා කළ, පෝෂණය කළ, ආදරයෙන් රැකබලා ගෙන, ප්‍රේමයෙන් යුතුව හික්මවීම් දුන් ඔවුන්ගේ දෙවි යෙහෝවාට ප්‍රේම කරන්න කියායි. එනම් ඔවුන්ට බොහෝසෙයින් ප්‍රේම කර රැකබලා ගත් දෙවිට ප්‍රේම කරන්න කියායි. ඒ හා සමානව අද දින සිටින අප ගැන කුමක් කිව හැකිද? අපිට සදාකාල ජීවනය ලබාගැනීම සඳහා තමාගේ එකම පුත්‍රයාව දුන්නේ අපගේ දෙවි යෙහෝවායි. අපි දෙවිට මුලින් ප්‍රේම කළා නොවෙයි. නමුත් “පළමුකොට ඔහු අපිට ප්‍රේම කළා.” (1 යොහන් 4:19) එමනිසා අපගෙන් බලාපොරොත්තු වන්නෙත් එම ප්‍රේමණීය දෙවිට ප්‍රේම කිරීමයි. එය කොතරම් සාධාරණ දෙයක්ද!

14. ප්‍රේමණීය දෙමාපියන් මෙන් යෙහෝවා දෙවි අපට ප්‍රේම කරන්නේ කෙසේද?

14 යෙහෝවා දෙවි මිනිසාට දක්වන ප්‍රේමය හරියට ප්‍රේමණීය දෙමාපියන් තම දරුවන්ට දක්වන සැලකිල්ල හා සමානයි. දෙමාපියන් අතින් වැරදි සිදු වුණත් තම දරුවන්ව ලොකු මහත් කිරීමට වෙහෙස නොබලා වැඩ කරනවා. ඒ සඳහා ඔවුන් විවිධාකාර පරිත්‍යාගයන් කරන්නේ ඉතාමත් කැමැත්තෙන්. දෙමාපියන් ඔවුන්ට උපදෙස්, දිරිගැන්වීම්, මඟ පෙන්වීම සහ හික්මවීම දෙන්නේ තම දරුවන් සාර්ථක වෙනවා දකින්න වගේම සන්තෝෂයෙන් කල් ගෙවනවා දැකීමට ඔවුන් ආස නිසයි. ඒ වෙනුවෙන් දෙමාපියන් තම දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? තමන්ට ආදරයෙන් සැලකීම සහ දරුවන්ගේම යහපත වෙනුවෙන් කර ඇති දේවල් අමතක නොකිරීමයි. අපගේ ස්වර්ගික පියා ඊටත් වඩා බොහෝ දේ අප වෙනුවෙන් කර තිබෙනවා. ඒවාට අපගේ අගය දැක්වීම දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. එය සාධාරණ දෙයක් නොවේද?

දෙවි කෙරෙහි ප්‍රේමය වැඩි වර්ධනය කරගැනීම

15. දෙවි කෙරෙහි ප්‍රේමයක් වර්ධනය කරගැනීම සඳහා පළමු පියවර කුමක්ද?

15 කෙනෙකුට ප්‍රේම කරන්න නම් අපි ඒ තැනැත්තා ගැන පළමුකොට දැනගන්න අවශ්‍යයි. එසේ නැතිව ඒ පුද්ගලයා කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් ඇති කරගැනීම හරිම අසීරු දෙයක්. දෙවි සම්බන්ධයෙනුත් එය සත්‍යයක්. අපි කවදාවත් දෙවිව දැකලාවත් කතා කරලාවත් නැහැ. (යොහන් 1:18) ඒ වුණත් ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න කියා දෙවි අපිට ආරාධනා කරනවා. (යාකොබ් 4:8) ඒක කරන්නේ කොහොමද? ඒ සඳහා යෙහෝවා දෙවි අපිට ඔහුගේ වචනය වන බයිබලය ලබා දී තිබෙන්නේ ඔහු ගැන දැනගැනීමටයි. යෙහෝවා දෙවි තම සංවිධානය මගින් බයිබලය කියවන්න කියා අපට දිරිගන්වන්නේ ඒ නිසයි. ඒ තුළින් ඔහු ගැනත්, ඔහුගේ ගුණාංග, පෞද්ගලිකත්වය මෙන්ම අතීතයේදී මිනිසුන් සමඟ කටයුතු කර ඇති ආකාරය ගැනත් අපි ඉගෙනගන්නවා. මෙසේ අපි ඔහු ගැන ඉගෙනගන්න දේවල් මෙනෙහි කරද්දී ඔහු ගැන වඩා හොඳින් දැනගැනීමට සහ වැඩි වැඩියෙන් ප්‍රේම කිරීමට පෙලඹෙනවා.—රෝම 15:4.

16. යේසුස්ගේ දේවසේවය ගැන කල්පනා කිරීමෙන් දෙවි කෙරෙහි ඇති අපගේ ප්‍රේමය වැඩි වන්නේ කොහොමද?

16 යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රේමයක් වර්ධනය කරගැනීමට ප්‍රධාන ක්‍රමයක් වන්නේ යේසුස්ගේ ජීවිතය සහ දේවසේවය ගැන කල්පනා කිරීමයි. ඔහු තම පියාගේ ගති ගුණ සියල්ල කොතරම් හොඳින් විදහා පෙන්නුවාද කියනවා නම් යේසුස්ට මෙසේ කීමට පවා හැකි වුණා. “මාව දැක ඇති තැනැත්තා පියාණන්වද දැක තිබේ.” (යොහන් 14:9) යේසුස් කළ කී දේවල් ගැන මෙනෙහි කිරීම වැදගත්. උදාහරණයකට යේසුස් එක් වැන්දඹුවකගේ මිය ගොස් සිටි එකම පුතාව නැවත ජීවත් කෙරෙව්වා. ඔහු මොන තරම් අනුකම්පාසහගත පුද්ගලයෙක්ද! (ලූක් 7:11-15) දෙවිගේ පුත්‍රයා සහ පොළොව මත සිටි ශ්‍රේෂ්ඨතම මිනිසා තම ගෝලයන්ගේ පාද සේදුවා. මොන තරම් යටහත් පහත්කමක්ද! (යොහන් 13:3-5) මිනිසුන් අතරින් ඉතා උතුම්ම සහ ප්‍රඥාවන්තම තැනැත්තා වුණත් සියලුදෙනාම එනම් කුඩා දරුවන් පවා ඔහු ළඟට යෑමට අදිමදි කළේ නැහැ. ඔහු මොන තරම් මෘදු ගුණැති පුද්ගලයෙක්ද! (මාක් 10:13, 14) අපි මෙම වාර්තාවන් ගැන ගැඹුරින් මෙනෙහි කරනවා නම් පේතෘස් ක්‍රිස්තියානීන්ට පැවසූ මෙම වචන අප සම්බන්ධයෙන්ද සැබෑවක් විය හැකියි. “ඔබ [යේසුස්ව] නොදුටුවත්, ඔහුට ප්‍රේම කරන්නහුය.” (1 පේතෘස් 1:8) මේ අනුව යේසුස් කෙරෙහි අපගේ ප්‍රේමය වැඩි වර්ධනය වෙනවා නම් යෙහෝවා දෙවි කෙරෙහි ඇති අපගේ ප්‍රේමයත් වැඩි වෙනවා.

17, 18. යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමට අපිව පොලඹවන්නේ ඔහු සපයා ඇති කුමන දේවල් ගැන කල්පනා කිරීමද?

17 දෙවි කෙරෙහි අපගේ ප්‍රේමය වර්ධනය කරගැනීමට තවත් ක්‍රමයක් වන්නේ අපගේ ජීවිතය සතුටින් භුක්ති විඳීම සඳහා ඔහු සපයා ඇති දේවල් ගැන සිතා බැලීමයි. මැවිල්ලේ අසිරිය, රස නහර පිනා යන විවිධාකාරයේ ආහාර පාන, යහළු යෙහෙළියන්ගේ ඇසුරෙන් ලබන ප්‍රීතිය සහ තෘප්තිය ගෙන දෙන තවත් කොතෙකුත් දේවල් නම් අපිට තිබෙනවාද! (ක්‍රියා 14:17) අපි දෙවිගේ අසීමිත යහපත්කම සහ ත්‍යාගශීලීකම ගැන ඉගෙනගන්න තරමටම ඔහු කෙරෙහි ඇති අපගේ අගයද වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි යෙහෝවා දෙවි පෞද්ගලිකවම ඔබ වෙනුවෙන් කර ඇති දේවල් ගැනත් සිතා බලන්න. ඔහු ඔබගේ ප්‍රේමය ලබන්න වටිනවා කියා ඔබට සිතෙන්නේ නැද්ද?

18 යෙහෝවා දෙවි දී ඇති මහත් තෑගි අතරින් එකක් වන්නේ “යාච්ඤා අසන්නා” ලෙස දවසේ ඕනෑම වෙලාවක ඔහුට කතා කිරීමට අපට දී ඇති වරප්‍රසාදයයි. (ගීතාවලිය 65:2) දෙවි තම පුත්‍රයාට මිනිසුන්ව පාලනය කිරීමට සහ විනිශ්චය කිරීමට පවරා තිබෙනවා. නමුත් යාච්ඤාවලට ඇහුම්කන් දීම කිසිවෙකුට එනම් තම පුත්‍රයාටවත් භාර දී නැහැ. අපගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්නේ දෙවි පමණයි. ඔහු අප කෙරෙහි පෞද්ගලිකවම දක්වන ප්‍රේමණීය සැලකිල්ල නිසා අපි තව තවත් ඔහුට සමීප වෙයි.

19. අපව යෙහෝවා දෙවිට ළං කරන්නේ ඔහුගේ කුමන පොරොන්දුද?

19 ඒ විතරක් නෙවෙයි මිනිසාගේ අනාගතය වෙනුවෙන් යෙහෝවා දෙවි තබා ඇති මහඟු දේවල් ගැන කල්පනා කිරීමෙන්ද අපි ඔහුට තවත් ළං වෙයි. ලෙඩ රෝග, දුක් වේදනා සහ මරණය තුරන් කිරීමට පොරොන්දු කර තිබෙනවා. (එළිදරව් 21:3, 4) මිනිසුන් පරිපූර්ණත්වයට පැමිණියායින් පසු කිසිවෙක් කිසිදාක මානසික පීඩනයෙන්, අධෛර්යයට පත්වීමෙන් හෝ දුකින් පෙළෙන්නේ නැහැ. කුසගින්න, දුප්පත්කම සහ යුද්ධ කොහෙත්ම නැහැ. (ගීතාවලිය 46:9; 72:16) මුළු පොළොවම පාරාදීසයක් වෙනවා. (ලූක් 23:43) යෙහෝවා දෙවි ඒ සියල්ල කරන්නේ කළ යුතු නිසා නෙවෙයි, නමුත් අපට තිබෙන ප්‍රේමය නිසයි.

20. යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමේ ඇති ප්‍රයෝජන ගැන මෝසෙස් කීවේ කුමක්ද?

20 අපගේ දෙවි යෙහෝවාට ප්‍රේම කිරීමටත් එය වඩ වඩා වැඩි කරගන්නත් අපට ඕනෑ තරම් හේතු තිබෙනවා. යෙහෝවා දෙවි කෙරෙහි ඇති ඔබගේ ප්‍රේමය වැඩි කරගැනීමට වෑයම් කරන අතර දෙවිගේ මඟ පෙන්වීම පිළිගැනීමට ඔබ කැමතිද? තීරණය ඔබ සතුයි. යෙහෝවා දෙවිට දිගටම ප්‍රේම කිරීමේ ඇති වටිනාකම වටහාගත් මෝසෙස් පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ කිව්වා. “ඔබද ඔබේ වංශයද ජීවත්ව ඔබේ දෙවි වූ යෙහෝවාට ප්‍රේම කර දෙවිගේ හඬට කීකරුව දෙවිට ඇලුම්ව යෙහෝවා ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන්ට දිවුළ දේශයෙහි වාසය කරන පිණිස ජීවිතය තෝරාගන්න. මක්නිසාද දෙවි ඔබේ ජීවිතයද දීර්ඝායුසද වන්නේය.”—ද්විතීය කතාව 30:19, 20.

ඔබට මතකද?

• අපි යෙහෝවා දෙවිට ප්‍රේම කිරීම වැදගත් ඇයි?

• දෙවිට අපගේ ප්‍රේමය අපි පෙන්වන්නේ කොහොමද?

• යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමට අපට තිබෙන හේතු මොනවාද?

• දෙවිට ඇති අපගේ ප්‍රේමය අපි වැඩි වර්ධනය කරගන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[20වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවි අගය කරන වටිනා යමක් අපි සියල්ලන් ළඟම තිබෙනවා. ඒ දෙවි කෙරෙහි ඇති අපගේ ප්‍රේමයයි

[23වන පිටුවේ පින්තූර]

“මාව දැක ඇති තැනැත්තා පියාණන්වද දැක තිබේ.”—යොහන් 14:9