Skip to content

පටුනට යන්න

ක්‍රිස්තු-විරෝධියාව නිවැරදිව හඳුනාගන්න අවශ්‍ය ඇයි?

ක්‍රිස්තු-විරෝධියාව නිවැරදිව හඳුනාගන්න අවශ්‍ය ඇයි?

ක්‍රිස්තු-විරෝධියාව නිවැරදිව හඳුනාගන්න අවශ්‍ය ඇයි?

බයිබලයේ ලේඛකයෙක් බොහෝ කලකට පෙර මෙහෙම පැවසුවා. ‘ක්‍රිස්තු-විරෝධියා පැමිණෙන බව ඔබ අසා තිබේ.’ (1 යොහන් 2:18) ඒවා කොතරම් කුතුහලය දනවන වචනද! සියවස් ගණනාවක් පුරා මිනිසුන් එම වචනවල නියම තේරුම දැනගැනීමට මහත් උනන්දුවෙන් බලා ඉඳ තිබෙනවා. ක්‍රිස්තු-විරෝධියා කියන්නේ කාටද? ඔහු පැමිණෙන්නේ කවදාද? ඔහු පැමිණ කරන්න යන්නේ කුමක්ද?

බොහෝ කාලයක් පුරා ක්‍රිස්තු-විරෝධියා කියා හුඟදෙනෙකුට චෝදනා කර තිබෙනවා. අතීතයේදී “ක්‍රිස්තු-විරෝධියා” කියා හඳුන්වපු අය අතර යුදෙව්වන්, කතෝලික පාප් ධුරයේ සිටි අය සහ රෝමානු අධිරාජ්‍යයන් සිටිනවා. උදාහරණයකට දෙවන ෆ්‍රෙඩ්රික් අධිරාජ්‍යයා (1194-1250) පල්ලිය වෙනුවෙන් සටන් කිරීම ප්‍රතික්ෂේප කළ විට ඒ කාලයේ සිටි නවවන ග්‍රෙගරි පාප් ඔහුව ක්‍රිස්තු-විරෝධියා ලෙස හඳුන්වා කතෝලික සභාවෙන්ද නෙරපා දැමුවා. ඉන්පසු නැවත වරක් ග්‍රෙගරිගේ අනුප්‍රාප්තිකයා වූ හතරවන ඉනසන්ට්ද ෆ්‍රෙඩ්රික්ව නෙරපා දැම්මා. එවිට ෆ්‍රෙඩ්රික් ඒ චෝදනාව ඉනසන්ට එල්ල කරමින් කිව්වේ ක්‍රිස්තු-විරෝධියා වන්නේ තමා නොව ඉනසන්ට් කියායි.

බයිබලයේ “ක්‍රිස්තු-විරෝධියා” කියන නම භාවිත කරන එකම ලේඛකයා යේසුස්ගේ ගෝලයෙකු වූ යොහන් පමණයි. ඔහුගේ නමින් ලියූ ලිපි දෙකක පස් වතාවක් ක්‍රිස්තු විරෝධියා කියන නම, ඒක වචනයෙන් හා බහු වචනයෙන් සඳහන් කර තිබෙනවා. එම නම සඳහන් බයිබල් පද ඊළඟ පිටුවේ ඇති කොටුවේ සඳහන් වෙයි. ඔහුගේ වචනවලින් පෙනෙන්නේ ක්‍රිස්තු-විරෝධියා කියන්නේ බොරුකාරයෙක් සහ රවටන්නෙක් බවයි. එමෙන්ම ඔහුගේ අධිෂ්ඨානය වන්නේ කෙනෙකුට යේසුස් ක්‍රිස්තුස් සහ දෙවි සමඟ තිබෙන බැඳීම විනාශ කර දැමීමයි. එමනිසා යොහන් සෙසු ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟවූයේ මෙහෙමයි. “ප්‍රේමණීය තැනැත්තෙනි, ආනුභාව ලත් සෑම ප්‍රකාශයක්ම විශ්වාස නොකර, ඒ ආනුභාව ලත් ප්‍රකාශයන් පැමිණෙන්නේ දෙවිගෙන්දැයි පරීක්ෂා කර බලන්න. මන්ද, බොරු අනාගතවක්තෘවරු බොහෝදෙනෙක් ලෝකයට පැමිණ සිටිති.”—1 යොහන් 4:1.

යේසුස් ක්‍රිස්තුස් පවා රවටන්නන් සහ බොරු අනාගතවක්තෘවරු ගැන අනතුරු ඇඟෙව්වා. ඔහු කිව්වේ “[ඔවුන්] බැටළු වෙස් ගෙන ඔබ වෙතට පැමිණියත් ඔවුහු ඇතුළතින් කෑදර වෘකයෝය. ඔවුන්ගේ පලවලින් [නැත්නම් ක්‍රියාවලින්] ඔබ ඔවුන්ව ඇඳිනගන්නහුය.” (මතෙව් 7:15, 16) මෙහිදී යේසුස් පැවසුවේ කලින් යොහන් සඳහන් කළ ක්‍රිස්තු විරෝධියා ගැනමද? මේ මිනීමරු රවටන්නාව හඳුනාගන්න පුළුවන් කොහොමද? අපි බලමු.