Skip to content

පටුනට යන්න

ක්‍රිස්තු-විරෝධියා එළිදරව් වෙයි

ක්‍රිස්තු-විරෝධියා එළිදරව් වෙයි

ක්‍රිස්තු-විරෝධියා එළිදරව් වෙයි

ඔබ ජීවත් වන ප්‍රදේශයේ මාරාන්තික වසංගතයක් වේගයෙන් පැතිර යමින් තිබෙනවා නම් ඉන් ආරක්ෂා වීමට ඔබ කරන්නේ කුමක්ද? එයට මුහුණ දෙන්න හැකි ලෙස අපගේ ශරීර සෞඛ්‍යය පවත්වගන්න උත්සාහ කරන අතරම එම රෝගය වැලඳී ඇති අයගෙනුත් අපි ඈත් වෙලා ඉන්නවා. ඒ හා සමානව අපි ආරක්ෂා විය යුතු තවත් පැත්තක් තියෙනවා. එය නම් අපේ ක්‍රිස්තියානි ඇදහිල්ල දුර්වල කරන වසංගතයක් බඳු ක්‍රිස්තු-විරෝධියායි. ඔහු “දැනටමත් ලෝකයේ” සිටින බව බයිබලය අපට පැහැදිලිව පෙන්වයි. (1 යොහන් 4:3) ඉතින් ඔහුගේ බලපෑමට හසු නොවී සිටින්න අපිටත් අවශ්‍ය නම් ඔහු කවුද කියා හඳුනාගෙන ඔහුගෙන් ඉවත්ව සිටීමද වැදගත්. මේ සම්බන්ධයෙන් බයිබලයේ තොරතුරු හෙළි කර තිබීම ගැන අපට සන්තෝෂ විය හැකියි.

පුළුල් අර්ථයකින් ගත් කල ක්‍රිස්තු-විරෝධියාට, තමා යේසුස් කියා කියන සියලුදෙනාත් යේසුස්ව නියෝජනය කරනවායයි කියා බොරුවට කියා සිටින අයත් ඇතුළත් වෙනවා. යේසුස්ම මෙහෙම කිව්වා. “මට පක්ෂව නොසිටින්නා මට විරුද්ධය [නැතහොත් ක්‍රිස්තු-විරෝධීයි]. මා සමඟ රැස් නොකරන්නා විසුරුවාහරියි.”—ලූක් 11:23.

යොහන් ක්‍රිස්තු-විරෝධියා ගැන ලිව්වේ යේසුස්ගේ මරණයෙන් සහ ස්වර්ගයට නැඟීමෙන් වසර 60කටත් වඩා වැඩි කාලයක් ගතවීමෙන් පසුවයි. මේ ක්‍රිස්තු-විරෝධියාව හඳුනාගන්නේ කෙසේද? විශේෂයෙන්ම යේසුස්ගේ විශ්වාසවන්ත අනුගාමිකයන්ට බලපෑම් කරන ආකාරයෙන් ඔහුව හඳුනාගත හැකියි.—මතෙව් 25:40, 45.

ක්‍රිස්තු-විරෝධියා ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට විරුද්ධයි

තම ගෝලයන්ට මේ ලෝකයේ සියල්ලන්ම පාහේ වෛර කරන බව යේසුස් කලින්ම අනතුරු ඇඟෙව්වා. ඒ ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “මිනිස්සු ඔබව පීඩා විඳින්න පාවා දී මරණයට පත් කරති. තවද, මාගේ නාමය නිසා සියලු ජාතීන් ඔබට වෛර කරනවා ඇත. බොහෝ බොරු අනාගතවක්තෘවරු නැඟිට බොහෝදෙනෙකුව නොමඟ යවන්නෝය.”—මතෙව් 24:9, 11.

“[යේසුස්ගේ] නාමය නිසා” ඔහුගේ ගෝලයන්ට පීඩා කරන අය ක්‍රිස්තු-විරෝධීන් බව ඉතා පැහැදිලියි. මෙයට “බොරු අනාගතවක්තෘවරු” එනම් වරක් ක්‍රිස්තියානීන්ව සිටි අයත් ඇතුළත් වෙනවා. (2 යොහන් 7) “ක්‍රිස්තු-විරෝධීහු බොහෝදෙනෙක්” සිටින බව සඳහන් කරන යොහන් තවදුරටත් මෙහෙමත් පවසනවා. “ඔවුහු අප අතරෙන් පිටත්ව ගියහ. ඔවුන් අපට අයිතිව සිටියේ නැත. ඔවුන් අපට අයිතිව සිටියා නම්, ඔවුන් අප සමඟ සිටිනවා ඇත.”—1 යොහන් 2:18, 19.

ඒ අනුව ක්‍රිස්තු-විරෝධියා කියන්නේ එක් පුද්ගලයෙකු නොවේ. ඊට පුද්ගලයන් හුඟදෙනෙක් ඇතුළත් වන බව යේසුස්ගේ සහ යොහන්ගේ වාර්තාවල පෙනෙන්න තිබෙනවා. බොරු අනාගතවක්තෘවරුන් වන ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ මිනිසුන්ව බොරු ඉගැන්වීම්වලින් රැවටීමයි. මේ සඳහා ඔවුන් භාවිත කරන ඇතැම් ක්‍රම මොනවාද?

බොරු ඉගැන්වීම් පැතිරවීම

බයිබල් ලේඛක පාවුල් තමා සමඟ දෙවිට සේවය කළ තිමෝතිට අවවාද කළේ ඇදහිල්ල අත්හැර ගිය හිමනේයස් සහ ෆිලේටස් වැනි අයගේ වචන “මාංසය කා දමන රෝගයක්” වගේ නිසා, ඔවුන්ගේ ඉගැන්වීම්වලින් පරෙස්සම් වන්න කියායි. තවදුරටත් ඔහු මෙහෙමත් කිව්වා. “මොවුහු, නැවත නැඟිටීම දැනටමත් සිදු වී තිබෙන බව කියමින්, සත්‍යය අත්හැර ගොස්, සමහරුන්ගේ ඇදහිල්ල අවුල් කරති.” (2 තිමෝති 2:16-18) පෙනෙන විදිහට හිමනේයස් සහ ෆිලේටස් උගන්වමින් සිටියේ මිය ගිය කෙනෙකු නැවත නැඟිටින්නේ නැති බවයි. ඒ වෙනුවට එය යම් ආකාරයකින් දැනටමත් සිදු වී ඇති බව ඔවුන් පැවසුවා. එනම් නැවත නැඟිටීම කියා ඔවුන් ඉගැන්නුවේ බයිබල් සත්‍යය ඉගෙනගැනීමෙන් පුද්ගලයෙකුගේ ජීවිතය තුළ සිදු වන වෙනස්කම් ගැනයි. එහි යම් සත්‍යයක් තිබෙන බව පාවුල්ද පැහැදිලි කළා. ඊට හේතුව, පුද්ගලයෙක් යේසුස්ගේ සැබෑ ගෝලයෙක් වන විට ඔහු දෙවි ඉදිරියෙහි අලුත් ජීවිතයක් ලබනවා හා සමානයි. (එෆීස 2:1-5) නමුත් හිමනේයස් සහ ෆිලේටස් ඉගැන්වූ දෙයින් ඔවුන් පෙන්වූයේ දේවරාජ්‍යය යටතේදී මළවුන්ව නැවත නැඟිටුවන බවට යේසුස් දුන් පොරොන්දුව තමන් ප්‍රතික්ෂේප කළ බවයි.—යොහන් 5:28, 29.

පසුව නැවත නැඟිටුවීම සම්බන්ධයෙන් මේ දෙදෙනාගේ ඉගැන්වීම ඥානවාදීන් නමැති කණ්ඩායම විසින් තවත් ඉදිරියට ගෙන ගියා. යම් ගුප්ත ක්‍රමවලින් දැනුම (ග්‍රීක බසින් නෝසිස්) ලබාගන්න පුළුවන් බව ඥානවාදීන් විශ්වාස කළා. ඥානවාදීන්ගේ ඉගැන්වීම්වලට පදනම වුණේ සැබෑ ක්‍රිස්තියානි ඉගැන්වීම්වලින් ඉවත්ව ගිය අයගේ අදහස්, ග්‍රීක දර්ශනවාදය සහ පෙරදිග රටවල ගුප්ත ඉගැන්වීම් යනාදියයි. ඔවුන් ඉගැන්වූයේ සියලුම භෞතික දේවල් දූෂිතයි කියායි. මෙම පදනම නිසා ඔවුන් විශ්වාස කළේ යේසුස් ක්‍රිස්තුස් මේ පොළොවට සැබෑ මනුෂ්‍යයෙක් ලෙස නොපැමිණි බවයි. ඒ වෙනුවට ඔවුන් පැවසුවේ ඔහු මිනිස් වෙස් ගෙන පැමිණි බවයි. කලින් සඳහන් කළ ලෙස යොහන් පැවසුවේ එවැනි අයගෙන් පරෙස්සම් වන්න කියායි.—1 යොහන් 4:2, 3; 2 යොහන් 7.

ශතවර්ෂ ගණනාවකට පසු මතු වූ තවත් බොරු ඉගැන්වීමක් වන්නේ ශුද්ධ වූ ත්‍රිත්වය නම් මූලධර්මයයි. ඉන් උගන්වන්නේ සර්වබලධාරී දෙවි කියන්නෙත් දේවපුත්‍රයා කියන්නෙත් එකම තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්ට බවයි. ආචාර්ය ඇල්වන් ලැම්සන් තම පොතේ ත්‍රිත්ව මූලධර්මය ගැන මෙසේ සඳහන් කරනවා. “මෙහි මූලාරම්භය යුදෙව් ආගමට සහ ක්‍රිස්තියානි ශුද්ධ ලියවිලිවලට කොහෙත්ම සම්බන්ධයක් නැහැ. නමුත් එය ක්‍රිස්තියානි ධර්මයට ඇතුල් කර ව්‍යාප්ත කළේ ප්ලේටෝට ගැති පියවරුන් විසින්මයි.” (ඒ පොත The Church of the First Three Centuries) ඇත්තටම “ප්ලේටෝට ගැති මේ පියවරුන්” කවුද? ඔවුන් නම් ප්ලේටෝ නමැති ග්‍රීක දර්ශනවාදියාගේ ඉගැන්වීම් තරයේ පිළිගත් පල්ලිවල පූජකයනුයි.

එම ත්‍රිත්වය නමැති ඉගැන්වීම ක්‍රිස්තු-විරෝධියාගේ අතිදක්ෂ උපායක් වුණා. මේ තුළින් ඔවුන් දෙවියන්ව අභිරහසක් බවට පත් කළා පමණක් නොව දෙවිට තම පුත්‍රයා සමඟ තිබෙන කිට්ටු බැඳීමද බොඳ කළා. (යොහන් 14:28; 15:10; කොලොස්සි 1:15) මේ ගැන ටිකක් සිතන්න. බයිබලයේ මිනිසුන්ට උනන්දු කරන්නේ “දෙවිට ළං වන්න” කියායි. නමුත් දෙවි අභිරහසක් නම් කෙනෙකු ඔහුට ළං වෙන්නේ කොහොමද?—යාකොබ් 4:8.

බයිබලයේ ඇති ඉතාමත් පැහැදිලි ඉගැන්වීම් අවුල් කිරීමට බොහෝ බයිබල් පරිවර්තකයන්ද දායක වී තිබෙනවා. ශුද්ධ ලියවිල්ලේ මුල් පිටපත්වල යෙහෝවා යන දෙවිගේ ශුද්ධ වූ නාමය 7,000 වතාවක් පමණ සඳහන් වී තිබුණත් ඔවුන් එය තම පරිවර්තනවලින් ඉවත් කොට තිබෙන්නේ කිසිම ඉවක් බවක් නැතිවයි! ඔවුන් සර්වබලධාරී දෙවියන්ව අභිරහසක් කියා හඳුන්වා තිබෙනවා පමණක් නොව ඔහුව හඳුනාගැනීමට තිබෙන නමද ඉවත් කොට තිබෙනවා. මේ අනුව සර්වබලධාරී දෙවියන්ව නිර්නාමික අභිරහසක් ලෙස හැඳින්වීමෙන් ඔවුන් අපගේ මැවුම්කරුට සහ ඔහුගේ වචනය වන බයිබලයටත් කර තිබෙන්නේ මොන තරම් බරපතළ නින්දාවක්ද! (එළිදරව් 22:18, 19) තවදුරටත් දෙවිගේ ශුද්ධ නාමය වෙනුවට ස්වාමීන් සහ දෙවියන් යන පදවි නාම භාවිත කිරීමෙන් ඔවුන් පෙන්වන්නේ යේසුස් දුන් ආදර්ශ යාච්ඤාවට තමන් පටහැනිව කටයුතු කරන බවයි. එහි සඳහන් වෙන්නේ “ඔබගේ නාමයට ගෞරව [නැතහොත් නාමය විශුද්ධ] වේවා” කියායි.—මතෙව් 6:9, නව අනුවාදය.

ක්‍රිස්තු-විරෝධීන් දේවරාජ්‍යය පිළිගන්නේ නැහැ

ක්‍රිස්තු-විරෝධීන් විශේෂයෙන්ම අප ජීවත් වන මේ “අන්තිම දවස්වලදී” ඉතාමත් කඩිසරව කටයුතු කරන්න පටන්ගෙන තිබෙනවා. (2 තිමෝති 3:1) මෙම රවටන්නන්ගේ එක් ප්‍රධාන ඉලක්කයක් වී තිබෙන්නේ කුමක්ද? එනම් යේසුස් ක්‍රිස්තුස් ස්වර්ගයේ සිට දේවරාජ්‍යය මගින් මේ පොළොවම ඉතා ඉක්මනින් පාලනය කරන්න යනවා කියන සත්‍යය මිනිසුන්ගෙන් සැඟවීමයි.—දානියෙල් 7:13, 14; එළිදරව් 11:15.

උදාහරණයකට සමහර ආගමික නායකයන් උගන්වා තිබෙන්නේ දේවරාජ්‍යය කියන්නේ කෙනෙකුගේ සිතේ තිබෙන යමක් පමණයි කියායි. නමුත් ඔවුන්ගේ එම ඉගැන්වීම බයිබලයට පටහැනියි. (දානියෙල් 2:44) තවත් අය කියන්නේ යේසුස් මේ පොළොව පාලනය කරන්නේ මනුෂ්‍ය ආණ්ඩු තුළින් කියායි. නමුත් යේසුස් ක්‍රිස්තුස් කිව්වේ ඊට වඩා වෙනස් දෙයක්. එනම් “මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් නොවේ” කියායි. (යොහන් 18:36) ඒ වගේම මේ “ලෝකයේ පාලකයා” සහ “මේ සමාජ ක්‍රමයේ දෙවි” වන්නේ සාතන් මිස යේසුස් ක්‍රිස්තුස් නෙවෙයි. (යොහන් 14:30; 2 කොරින්ති 4:4) ඒ නිසා ක්‍රිස්තුස් ඉතාමත් ඉක්මනින්ම සියලුම මනුෂ්‍ය ආණ්ඩු නැති කර පොළොවේ එකම පාලකයා බවට පත් වෙයි. (ගීතාවලිය 2:2, 6-9; එළිදරව් 19:11-21) එය ඉටු වෙන්න කියා මිනිසුන් ස්වාමීන්ගේ යාච්ඤාවේදී අයැදින්නේ මෙහෙමයි. “ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ඉටු වේවා . . . පොළොවෙහිද එසේම වේවා.”—මතෙව් 6:10, න.අ.

බොහෝ ආගමික නායකයන් දේශපාලනය සමඟ අත්වැල් බැඳගෙන සිටින නිසා පැමිණෙන්න නියමිත දේවරාජ්‍යය මගින් කරන පාලනය ගැන සත්‍යය උගන්වන අයට විරුද්ධ වෙනවා පමණක් නෙවෙයි ඔවුන්ට හිරිහැරද කර තිබෙනවා. බයිබලයේ එළිදරව් පොතේ “මහා බැබිලෝනිය” කියා හඳුන්වන එක්තරා වේශ්‍යා ස්ත්‍රියක් ගැන සඳහන් වෙනවා. මේ ස්ත්‍රියගෙන් නියෝජනය වන්නේ අසත්‍යය උගන්වන සියලුම ආගම්. උනන්දුවට කරුණක් වන්නේ ඇය “ශුද්ධ තැනැත්තන්ගේ ලෙයින්ද, යේසුස්ගේ සාක්ෂිකරුවන්ගේ ලෙයින්ද වෙරි වී” සිටීමයි. (එළිදරව් 17:4-6) තමාට වාසි ලබාගැනීමේ අරමුණින් ඇය ලෝකයේ “රජවරු” හෙවත් දේශපාලඥයන්ට තම සහයෝගය දී තිබෙනවා. එය බයිබලයේ විස්තර කර තිබෙන ලෙස ඇය ඔවුන් සමඟ වේශ්‍යාකම් කළා හා සමානයි. ඒ අනුව මේ වේශ්‍යාව හෙවත් අසත්‍යය උගන්වන සියලුම ආගම් දේවරාජ්‍යය ප්‍රතික්ෂේප කිරීමෙන් ක්‍රිස්තු-විරෝධියාගේ අරමුණ ඉටු කර තිබෙනවා.—එළිදරව් 18:2, 3; යාකොබ් 4:4.

ක්‍රිස්තු-විරෝධීන් ප්‍රතිපත්ති බාල කර උගන්වයි

තමන් ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ බොහෝදෙනෙක් බයිබලය ගැන බොරු උගන්වා තිබෙනවාට අමතරව, ජීවත් වන ආකාරය සම්බන්ධයෙන් දෙවි දී තිබෙන ප්‍රමිතිද නොසලකා හැර තිබෙනවා. ඒ වෙනුවට සදාචාරය සම්බන්ධයෙන් ලෝකයේ බහුතරයක් දරන මතය ඔවුන් ඉතා ඉහළින් පිළිගෙන තිබෙනවා. මෙවන් දෙයක් ගැන බයිබලය කලින්ම අනතුරු අඟවා තිබුණේ මෙහෙමයි. “ඔවුන් [තමන් දෙවිට සේවය කරනවායයි පවසන අය] සුවදායී ඉගැන්වීම පිළි නොගන්නා කාල පරිච්ඡේදයක් පැමිණෙන්නේය. ඔවුහු ඔවුන්ගේම ආශාවලට අනුව, තමුන් කැමති දේවල් අසාගන්නා පිණිස තමන්ටම ගුරුවරුන් රැස් කරගන්නෝය.” (2 තිමෝති 4:3) මෙම බොරු ආගමික ගුරුවරුන් ගැන බයිබලයේ මෙසේද පවසනවා. “එවැනි මිනිස්සු බොරු ප්‍රේරිතයෝය. වංචනික වැඩකරුවෝය. ඔවුහු ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයන් මෙන් පෙනී සිටින්නෝය . . . නමුත් ඔවුන්ගේ අවසානය ඔවුන්ගේ ක්‍රියා අනුව සිදු වේ.”—2 කොරින්ති 11:13-15.

මේ අය දෙවිගේ උසස් සදාචාර ප්‍රමිති ප්‍රසිද්ධියේම කඩකර ‘නින්දිත හැසිරීමේද’ යෙදී තිබෙනවා. (2 පේතෘස් 2:1-3, 12-14) සමලිංගික ඇසුර, විවාහයෙන් පිටත ලිංගික සම්බන්ධකම් වැනි දේවල් ක්‍රිස්තියානීන් ද්වේෂ කළ යුතුයි. නමුත් ආගමික නායකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන් වැඩිදෙනෙක් ඒවායේ හවුල් වන බව හෝ ඒවාට ඉඩහරින බවවත් අපි දකින්නේ නැද්ද? ලෝකයේ බහුතරයක් අනුමත කරන එවැනි දේවලට වෙනස්ව මතු දැක්වෙන බයිබල් පදවල පවසන දේ සලකා බලන්න: ලෙවී කතාව 18:22; රෝම 1:26, 27; 1 කොරින්ති 6:9, 10; හෙබ්‍රෙව් 13:4 සහ යූද් 7.

‘ආනුභාව ලත් ප්‍රකාශයන් පරීක්ෂා කර බලන්න’

කලින් සලකා බැලූ ආකාරයට අපි යොහන්ගේ උපදෙස් අවතක්සේරු නොකරමු. ඒ නිසා අපට තිබෙන ආගමික විශ්වාසයන් සැහැල්ලුවට ගැනීමෙන් වළකිමු. ඔහු අනතුරු ඇඟවූයේ “ආනුභාව ලත් සෑම ප්‍රකාශයක්ම විශ්වාස නොකර ඒ ආනුභාව ලත් ප්‍රකාශයන් පැමිණෙන්නේ දෙවිගෙන්දැයි පරීක්ෂා කර බලන්න. මන්ද, බොරු අනාගතවක්තෘවරු බොහෝදෙනෙක් ලෝකයට පැමිණ සිටිති” කියායි.—1 යොහන් 4:1.

පළමු ශතවර්ෂයේ බෙරීයය කියන නගරයේ සිටි “උදාර ගතිගුණ” තිබූ සෙනඟගේ ආදර්ශය ගැන අපි සලකා බලමු. ඔවුන් “මහත් උනන්දුවකින් වචනය පිළිගෙන, මේ දේවල් [එනම් පාවුල් සහ සීලස් පැවසූ දේවල්] සැබෑදැයි බලන පිණිස දිනපතා ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කළෝය.” (ක්‍රියා 17:10, 11) බෙරීයයවරුන්ට දෙවි ගැන ඉගෙනගන්න මහත් ආශාවක් තිබුණත් ඔවුන් ගෝලයන්ගෙන් ඇසූ දේවල් සත්‍යයද කියා ශුද්ධ ලියවිල්ලෙන්ම පරීක්ෂා කර, ඒවා තමන්ටම ඔප්පු කරගත්තා.

ඒ හා සමානව අද දිනත් සැබෑ ක්‍රිස්තියානීන් මේ ලෝකයේ ජනප්‍රිය මත නිසා හෝ පිරිහෙමින් පවතින ආකල්ප නිසා බලපෑමට ලක්වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් බයිබලයේ ඇති සත්‍යයන්වලට තදින් ඇලී සිටිනවා. පාවුල් ඒ ගැන ලිව්වේ මෙහෙමයි. “ඔබ උදෙසා නොකඩවා කරන මාගේ යාච්ඤාව මෙයයි. නිවැරදි දැනුම හා පූර්ණ වැටහීමත් සමඟම ඔබේ ප්‍රේමය තව තවත් වැඩි” කරන්න.—ෆිලිප්පි 1:9.

ඔබ තවමත් එසේ කර නැත්නම් බයිබලය ඇත්තටම උගන්වන දේ ගැන “නිවැරදි දැනුම හා පූර්ණ වැටහීම” ලබාගැනීම ඔබේ අරමුණ කරගන්න. බෙරීයයවරුන්ව අනුකරණය කරන අය ක්‍රිස්තු-විරෝධීන්ගේ “වංචනික වචනවලින්” රැවටෙන්නේ නැහැ. (2 පේතෘස් 2:3) ඒ වෙනුවට ඔවුන් යේසුස් ක්‍රිස්තුස් සහ ඔහුගේ සැබෑ අනුගාමිකයන් පිළිබඳ සත්‍යය දන්නා නිසා බොරුවෙන් නිදහස්ව සිටියි.—යොහන් 8:32, 36.

[4වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ක්‍රිස්තු-විරෝධියා ගැන බයිබලයේ පවසන දේ

“කුඩා දරුවෙනි, මේ අන්තිම පැය වේ. [ක්‍රිස්තුස්ගේ විශ්වාසවන්ත ගෝලයන්ගේ අවසානයත් සමඟම] ක්‍රිස්තු-විරෝධියා පැමිණෙන බව ඔබ ඇසූ ලෙසම දැනටමත් ක්‍රිස්තු-විරෝධීහු බොහෝදෙනෙක් පැමිණ සිටිති. මේ කරුණින්, මෙය අන්තිම පැය බව අපි දනිමු.”1 යොහන් 2:18.

“යේසුස් යනු ක්‍රිස්තුස් බව නොපිළිගන්නා තැනැත්තා මිස බොරුකාරයා වන්නේ වෙන කවුද? පියාණන්ව හා පුත්‍රයාව නොපිළිගන්නාවූ තැනැත්තා ක්‍රිස්තු-විරෝධියාය.”1 යොහන් 2:22.

“නමුත් යේසුස්ව නොපිළිගන්නාවූ ආනුභාව ලත් සියලු ප්‍රකාශයන් දෙවිගෙන් නොවේ. ඒවා නම්, පැමිණෙන බව ඔබ ඇසූ, දැනටමත් ලෝකයේ තිබෙන ක්‍රිස්තු-විරෝධියාගේ ආනුභාව ලත් ප්‍රකාශයන් වේ.”1 යොහන් 4:3.

“යේසුස් ක්‍රිස්තුස් මාංසික ලෙස පැමිණි බව නොපිළිගන්නා රවටන්නෝ බොහෝදෙනෙක් ලෝකයෙහි සිටිති. රවටන්නා සහ ක්‍රිස්තු-විරෝධියා වන්නේ මොවුහුය.”2 යොහන් 7.

[5වන පිටුවේ කොටුව⁄පින්තූර]

රැවටිලිකාරයාගේ වෙස් මුහුණු

“ක්‍රිස්තු-විරෝධියා” යන වචන, යේසුස් ක්‍රිස්තුස් ගැන බයිබලයේ සඳහන් සත්‍යය තොරතුරු පිළිනොගන්න, ඔහුගේ රාජ්‍යයට විරුද්ධ වන සහ ඔහුගේ විශ්වාසවන්ත අනුගාමිකයන්ට හිරිහැර කරන සියල්ලන්ට එක සේ අදාළ වෙනවා. තමන් ක්‍රිස්තුස්ව නියෝජනය කරනවා කියා බොරු කියන හෝ යේසුස්ට පමණක් ගෙන දිය හැකි සැබෑ සාමය සහ සුරක්ෂිතභාවය තමන්ට ලබා දිය හැකි බවට බොරු පොරොන්දු දෙන තනි පුද්ගලයන්, සංවිධාන සහ ජාතීන් එයට ඇතුළත්.

[හිමිකම් විස්තර]

Augustine: ©SuperStock/​age fotostock

[7වන පිටුවේ පින්තූරය]

බෙරීයයන් මෙන් අපිත් ‘දිනපතා ශුද්ධ ලියවිල්ල පරීක්ෂා කළ යුතුයි’