Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

කානා නුවරෙහි පැවති විවාහ මංගල්‍යයේදී යේසුස් තම මවට කතා කළේ අගෞරවණීය හෝ අකරුණාවන්ත ආකාරයකින්ද?—යොහන් 2:4.

යේසුස් බව්තීස්ම වී ටික කලකට පසුව, ඔහුටත් ඔහුගේ ගෝලයන්ටත් කානා නුවර පැවති විවාහ මංගල්‍යය උත්සවයකට ආරාධනයක් ලැබුණා. යේසුස්ගේ මව වූ මරියාත් එහි පැමිණ සිටියා. මේ අතරතුර උත්සවයට ගෙනා වයින් ඉවර වුණා. එවිට මරියා යේසුස්ට පැවසුවේ “ඔවුන්ට වයින් නැත” කියායි. ඊට යේසුස් පිළිතුරු දුන්නේ “ස්ත්‍රිය, ඔබ හා මා අතර මොන ගනුදෙනුවක්ද? මාගේ පැය තවම පැමිණ නැත” කියායි.—යොහන් 2:1-4.

අද දින කවුරුන් හෝ තම මවට “ස්ත්‍රිය” කියා පැවසුවොත් නැතිනම් “ඔබ හා මා අතර මොන ගනුදෙනුවක්ද?” කියා පැවසුවොත් තත්වය කුමක්ද? එය මවට කළ අගෞරවයක් නැතිනම් නින්දාවක් ලෙස සලකනවාට සැකයක් නැහැ. නමුත් එදා එහි පැවති සංස්කෘතිය සහ එම අවස්ථාවේදී ඔහු භාවිත කළ එම වචනවල සැබෑ තේරුම ගැන සොයා බලන්නේ නැතිව යේසුස්ට එවැනි චෝදනාවක් එල්ල කිරීම සාධාරණ දෙයක් නොවෙයි. එදා ඔවුන් යම් අදහසක් ප්‍රකාශ කිරීම සඳහා තෝරාගත් වචනවල නියම තේරුම කුමක්ද කියා වටහාගැනීම වැදගත්.

එක් ප්‍රසිද්ධ ශබ්දකෝෂයක, “ස්ත්‍රිය” යන ග්‍රීක වචනය භාවිත කළ ආකාරය ගැන පවසන්නේ මෙසේයි. “සාමාන්‍යයෙන් එය භාවිත කරන්නේ ඇයට බැණවදින්න නොවේ. නමුත් ඇයට ආදරය හෝ ගෞරවය දැක්වීමටයි.” (Vine’s Expository Dictionary of Old and New Testament Words) එයට එකඟ වන බයිබල් පරිවර්තනයක සඳහන් වෙන්නේ “මෙය කිසිම ආදරයක් ගෞරවයක් නැති සැර පරුෂ ප්‍රකාශයක් නොවෙයි. යේසුස් සාමාන්‍යයෙන් එදිනෙදා ව්‍යවහාරයේදී කාන්තාවන්ව ගෞරවයෙන් ඇමතුවේ එලෙසය” කියායි. (The Anchor Bible) තවත් ශබ්දකෝෂයක් ඒ ගැන පැවසුවේ මෙසේයි. “එම වචනයෙන් කිසිම අගෞරව ගෙන දෙන හෝ පහත්කොට සලකන බවක් අදහස් නොකරයි.” (The New International Dictionary of New Testament Theology) ගර්හාර්ට් කිට්ල්ගේ ශබ්දකෝෂයේ මෙසේද සඳහන් වුණා. “එම වචනයෙන් කෙනෙකුට අඩු ගෞරවයක් දෙන බවක් හෝ පහත් කොට සලකන බවක් කොහෙත්ම අදහස් කරන්නේ නැහැ.” (Theological Dictionary of the New Testament) එවැනි හේතු නිසා ඒ අවස්ථාවේදී තම මවට “ස්ත්‍රිය” කියා ඇමතීමෙන් යේසුස් ඇයට අකරුණාවන්තව හෝ දැඩි ආකාරයට සැලකුවා කියා අපි කොහෙත්ම නොසිතිය යුතුයි.—මතෙව් 15:28; ලූක් 13:12; යොහන් 4:21; 19:26; 20:13, 15.

නමුත් දැන් අපි බලමු “ඔබ හා මා අතර මොන ගනුදෙනුවක්ද?” කියා යේසුස් පැවසූ දෙයින් අදහස් වුණේ කුමක්ද කියා. පෙනෙන විදිහට මෙම යෙදුම යුදෙව්වන් අතරේ පොදුවේ භාවිත කෙරුණා. හෙබ්‍රෙව් ලියවිල්ලේ එය පරිවර්තනය කර තිබෙන්නේ “ඔබගෙන් මට කම මොකද?” යනුවෙනුයි. එය බයිබලයේ කිහිප විටක්ම අපිට දකින්න ලැබෙනවා. උදාහරණයකට 2 සාමුවෙල් 16:10 වාර්තාව බලන්න. අබිෂයි ෂිමෙයිව මරන්න යද්දී දාවිත් අබිෂයිට කිව්වේ “ශෙරුයාගේ පුත්‍රයනි, ඔබගෙන් මට කම මොකද? ඔහු ශාප කරන බැවින්ද දාවිත්ට ශාප කරන්නැයි යෙහෝවා කී” බව කියමින් අබිෂයිව වැළැක්වූවා. ඒ වගේම 1 රාජාවලිය 17:18හි සඳහන් වෙන්නේ ශාරෙපත්හි වැන්දඹුව එලියාට පැවසූ මේ වචනයි. “දෙවිගේ මනුෂ්‍යය, ඔබගෙන් මට කම මොකද? මාගේ පාපය සිහි කරවන්ටත් මාගේ පුත්‍රයා මරන්ටත් මා ළඟට ආවෙහිය.”

එසේනම් “ඔබ හා මා අතර මොන ගනුදෙනුවක්ද” (ග්‍රීක බසින්) හෝ “ඔබගෙන් මට කම මොකද” (හෙබ්‍රෙව් බසින්) යන යෙදුම අප තේරුම්ගන්නේ කෙසේද? සිංහල භාෂාවෙන් මෙම ප්‍රකාශයේ යම් සැරපරුෂ බවක් දිස් වුණත් යුදෙව් ජාතිකයන් එහෙම පැවසුවේ කෙනෙකුව නින්දාවට ලක් කරන්න හෝ පහත් කොට සලකන්න නෙවෙයි. ඔවුන් එම යෙදුම භාවිත කළේ තමන් යම් දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැයි කියා ප්‍රකාශ කිරීමට හෝ වෙනත් කෙනෙක් පැවසූ යම් දෙයකට තමන් එකඟ නැහැයි කියා ප්‍රකාශ කිරීමටයි. එසේනම් “ඔබ හා මා අතර මොන ගනුදෙනුවක්ද” කියා යේසුස් මරියාට පැවසූ දේ ගැන අපි සලකා බලමු.

“ඔවුන්ට වයින් නැත” කියා මරියා යේසුස්ට කී විට ඇය නොකියා කිව්වේ ඒ සඳහා කුමක් හෝ කරන්න කියායි. එවිට යේසුස් එම පොදු යෙදුම භාවිත කරමින් අවධාරණය කළේ තමාට ඊට වඩා වෙනස් අරමුණක් ඇති බවයි. ඔහු පැවසූ මේ වචනවලින් අපිට ඒ කාරණය තේරුම්ගන්න පුළුවන්. ඔහු කිව්වේ “මාගේ පැය තවම පැමිණ නැත” කියායි.

යේසුස් ක්‍රි.ව. 29දී බව්තීස්ම වීමත් සමඟ ඔහුගේ සම්පූර්ණ අවධානය යොමු වී තිබුණේ යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීම කෙරෙහියි. පොරොන්දු කළ ගැලවුම්කරු හැටියට මරණය දක්වා දෙවිට පක්ෂපාතව සිටීම, නැවත නැඟිටීම සහ දෙවිගේ දකුණු පැත්තේ සිටීම ඊට ඇතුළත් වුණා. ඒ ගැන යේසුස්ම කිව්වේ “මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොව, සේවය කිරීමටත් බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය මිදීමේ මිලයක් ලෙස දීමටත්” කියායි. (මතෙව් 20:28) තවදුරටත් ඔහු තම මරණය ගැන පැවසුවේ මෙසේයි. “පැය පැමිණ තිබේ.” (යොහන් 12:1, 23; 13:1) තම මරණයට පෙර රාත්‍රියේදීද යේසුස් යාච්ඤා කළේ “පියාණෙනි, පැය පැමිණ තිබේ. ඔබේ පුත්‍රයා ඔබව මහිමයට පමුණුවන පිණිස, ඔබේ පුත්‍රයාව මහිමයට පමුණුවන්න” කියායි. (යොහන් 17:1) පසුව ගෙත්සෙමන උයනේදී යේසුස්ව අල්ලා ගැනීමට සමූහයක් පැමිණි විට නිදාගෙන සිටි ගෝලයන්ව අවදි කරමින් යේසුස් මෙසේ කිව්වා. “පැය පැමිණ තිබේ! මෙන්න! මනුෂ්‍ය පුත්‍රයාව පව්කාරයන්ගේ අත්වලට පාවා දෙනු ලබන්නේය.”—මාක් 14:41.

යේසුස් තම දේවසේවය ආරම්භ කළේ කානා නුවර විවාහ මංගල්‍ය පැවති කාලයේදීමයි. නමුත් ඔහුගේ “පැය” තවම පැමිණ තිබුණේ නැහැ. ඔහුගේ මූලික අවධානය යොමු වී තිබුණේ යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීමටයි. ඊට හරස් කැපීමට කිසිවෙකුටවත් බැහැ. මේ ගැන ඔහු මරියාට කෙළින් කිව්වත් ඇයව ලජ්ජාවට පත් වන ලෙස හෝ හිත රිදෙන ආකාරයට යේසුස් එය කිව්වේ නැහැ. ඔහු අදහස් කළ දේ මරියාට හොඳින් තේරුණ නිසා ඇය අපහසුතාවට පත් වුණෙත් නැහැ. ඒ නිසා මංගල්‍යයේ සේවකයන්ට ඇය මෙහෙම කිව්වා. “ඔහු ඔබට කියන දේ කරන්න.” ඒ වුණත් තම සාධාරණකම පෙන්වමින් මවගේ ඉල්ලීම අහක නොදමා යේසුස්ගේ පළමු ප්‍රාතිහාර්යය වන වතුර ඉස්තරම් වයින් බවට පත් කළා. මෙහිදී ඔහු තම ස්වර්ගික පියාණන්ගේ කැමැත්ත කරමින් තම මවගේ ඉල්ලීමද ඉටු කළා.—යොහන් 2:5-11.

[31වන පිටුවේ පින්තූරය]

යේසුස් කරුණාවන්ත පුද්ගලයෙක් වුණත් තම මවට කෙළින් කතා කළා