Skip to content

පටුනට යන්න

යෙසායා පොතෙන් විශේෂාංග—පළමුවන කොටස

යෙසායා පොතෙන් විශේෂාංග—පළමුවන කොටස

යෙහෝවාගේ වචනය ජීවමානයි

යෙසායා පොතෙන් විශේෂාංග—පළමුවන කොටස

“මම කවරෙකු යවම්ද? අප උදෙසා යන්නේ කවුද?” යෙහෝවා දෙවි කළ එම ආරාධනයට ආමොස්ගේ පුත් යෙසායා කිව්වේ “මෙන්න මම මෙහිය. මා යැව්ව මැනව!” කියායි. (යෙසායා 1:1; 6:8, පැරණි අනුවාදය) අනාගතවක්තෘවරයෙක් හැටියට ඔහු තම පැවරුම ලැබුවේ එවිටයි. යෙසායා අනාගතවක්තෘවරයෙක් ලෙස කළ ක්‍රියාවන් ගැන බයිබලයේ ඔහුගේ නමින් හඳුන්වන පොතේ සඳහන් වෙනවා.

අනාගතවක්තෘවරයා විසින්ම ලියූ මෙම පොතේ සඳහන් වෙන්නේ ක්‍රි.පූ. 778 සිට ක්‍රි.පූ. 732 අතර අවුරුදු 46ක කාලයක් පුරා සිදු වූ දේවලුයි. මෙම පොතේ යූදා, ඊශ්‍රායෙල්, සහ අවට සිටි ජාතීන්ට එරෙහිව දෙවි ප්‍රකාශ කළ විනිශ්චයන් සඳහන් වී තිබෙනවා. එසේ වුණත් එහි මූලික පණිවුඩය වූයේ ‘යෙහෝවා දෙන ගැලවීමයි.’ (යෙසායා 25:9) යෙසායා යන නමේ අර්ථයත් “යෙහෝවා දෙන ගැලවීමයි.” මෙම ලිපිය තුළ යෙසායා 1:1–35:10 දක්වා තිබෙන විශේෂාංග සාකච්ඡා කරයි.

‘ඉතිරි අය හැරී එන්නෝය’

(යෙසායා 1:1–12:6)

යෙසායා පොතේ පළමු පරිච්ඡේද පහ තුළ සඳහන් වචන පවසද්දී ඔහුව අනාගතවක්තෘවරයෙක් හැටියට පත් කර තිබුණාද නැද්ද කියා බයිබලයේ සඳහන් වන්නේ නැහැ. (යෙසායා 6:6-9) නමුත් එකක් පැහැදිලියි. එනම් ඒ කාලයේ යූදා සහ යෙරුසලමේ ජනයා සිටියේ “පතුල සිට හිස දක්වාම” රෝගාතුරවයි. ඉන් අදහස් කළේ ඔවුන්ගේ ඇදහිල්ල ඉතාමත්ම දුර්වලව තිබූ බවයි. (යෙසායා 1:6) ඒ කාලයේ රූප වන්දනාව නොතිබුණ තැනක් නැහැ. අධිපතීන් දූෂිත ක්‍රියාවල යෙදෙමින් හිටියා. ස්ත්‍රීන් හැසිරුණේ ඉතාමත් උඩඟු ලෙසයි. ජනයා තමන්ට කළ නමස්කාරය ගැන යෙහෝවා දෙවි කොහෙත්ම සතුටු වුණේ නැහැ. එමනිසා දැනුම නැති තේරුම් ගන්න අකමැති සෙනඟක් වෙතට නැවත නැවතත් ගොස් කතා කිරීමට යෙසායාට පැවරුමක් ලැබුණා.

ඊශ්‍රායෙල්වරුන්ගෙන් සහ සිරියානුවන්ගේ සමන්විත හමුදාව යූදා රාජ්‍යයට තර්ජනයක් එල්ල කළා. එහිදී යෙහෝවා දෙවි යෙසායාව සහ ඔහුගේ දරුවන්ව “ලකුණු හා ආශ්චර්යයන් හැටියට” යොදාගෙන ඔවුන්ට සහතික කළේ, ඊශ්‍රායෙල්-සිරියානු මිත්‍ර හමුදාව යූදාට විරුද්ධව ජය ගන්නේ නැති බවයි. (යෙසායා 8:18) කල් පවතින සාමයක් ගෙන දිය හැක්කේ “සමාදානයේ කුමාරයාට” පමණයි. (යෙසායා 9:6, 7) යෙහෝවා දෙවි “[තම] උදහසේ ඉපල” හැටියට අෂූරියයන්ව යොදාගත්තද, ඔවුන්වද දෙවි විනිශ්චය කරනවා. යුදෙව්වන් වහල්භාවයට ගියත් කලකට පසුව “ඉතිරි අය . . . හැරී එන්නෝය.” (යෙසායා 10:5, 21, 22) ‘යෙස්සේගේ කඳින් නික්මෙන අංකුරය’ වන යේසුස් ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ යුක්තිය ඉටු වේවි.—යෙසායා 11:1.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:8, 9—සියොන්හි දුව “මිදිවත්තක මඩුවක් මෙන්ද කැකිරි වත්තක පැළක් මෙන්ද අත්හරිනු” ලැබුවේ කෙසේද? මින් අදහස් කරන්නේ අෂූරියයන් යෙරුසලෙම ආක්‍රමණය කිරීමට පැමිණෙන විට ඔවුන් යෙරුසලෙම දකින්නේ හරියට මිදි වත්තක මඩුවක් මෙන් සහ කැකිරි වත්තක ඉක්මනින්ම කඩා දමන්න පුළුවන් පැළක් වගෙයි. ඒ කියන්නේ ඔවුන් එය දුටුවේ කිසිම හව්හරණක් නැති නුවරක් විදිහටයි. නමුත් යෙහෝවා දෙවි ඇගේ පිහිටට පැමිණෙන අතර ඇයට සොදොම සහ ගොමෝරාව මෙන් විනාශ වී යන්න ඉඩ දෙන්නේ නැහැ.

1:18 [පැරණි අනුවාදය]—“ඉතින් එන්න, අපි කාරණා කථා කරගනිමු” යන වචනවලින් අදහස් වෙන්නේ කුමක්ද? මෙය දෙපාර්ශ්වයම නම්‍යශීලී වී යම් එකඟතාවකට පැමිණීම සඳහා කරන ආරාධනයක් නොවෙයි. ඒ වෙනුවට ඉන් අදහස් කරන්නේ ධර්මිෂ්ඨ විනිශ්චකරු වන යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ ජීවිත වෙනස් කරගැනීමට සහ පවිත්‍ර කරගැනීමට ඔවුන්ට දෙන අවස්ථාව ගැනයි.

6:8අ [පැ.අ.]—මෙහි “මම” සහ “අප” යන සර්වනාම යොදාගෙන තිබෙන්නේ ඇයි? “මම” කියන සර්වනාමය යොදා තිබෙන්නේ යෙහෝවා දෙවි සඳහායි. බහුවචන සර්වනාමය වන “අප” යන්නෙන් අදහස් වෙන්නේ යෙහෝවා දෙවි සමඟ තවත් පුද්ගලයෙක් සිටින බවයි. ඒ වෙන කිසිවෙකු නොව දෙවිගේ ‘ඒකජාතක පුත්‍රයායි.’—යොහන් 1:14; 3:16.

6:11—“යෙහෝවා, කොපමණ කලකටද?” කියා යෙසායා ඇසූ විට ඔහු ඉන් අදහස් කළේ කුමක්ද? යෙසායා අසමින් සිටියේ එම පණිවිඩය ඇහුම්කන් නොදෙන මිනිසුන්ට තව කොපමණ කාලයක් පුරා දේශනා කරන්න අවශ්‍යද කියලා නෙවෙයි. නමුත් ඔහුට දැනගන්න අවශ්‍ය වුණේ දෙවිගෙන් ඈත් වූ සෙනඟ තව කොපමණ කාලයක් දෙවිගේ නාමයට අගෞරවය ගෙනෙයිද කියලයි.

7:3, 4යෙහෝවා දෙවි දුෂ්ට රජෙක් වූ ආහාස්ව ගලවාගත්තේ ඇයි? යුදාහි රජ වූ ආහාස්ව රජකමින් පහකොට ඒ වෙනුවට දාවිත්ගේ පෙළපතේ උරුමක්කරුවෙක් නොවන තාබයේල්ගේ පුත්‍රයාව රූකඩ පාලකයෙක් ලෙස පත් කිරීමට සිරියාවේ සහ ඊශ්‍රායෙලයේ රජවරුන් එක්ව කුමන්ත්‍රණය කළා. එම දුෂ්ට උපාය මගින් දෙවි දාවිත් සමඟ කළ රාජ්‍ය ගිවිසුමට බාධා කිරීමට ඔවුන් උත්සාහ කළා. ඒ නිසා යෙහෝවා දෙවි ආහාස්ට ගැලවීම ලබාදුන්නේ “සමාදානයේ කුමාරයා” පැමිණෙන පෙළපත ආරක්ෂා කිරීමටයි.—යෙසායා 9:6.

7:8—අවුරුදු 65ක් ඇතුළත එෆ්‍රායිම් “කැබලි කරනු” ලැබුවේ කෙසේද? ඊශ්‍රායෙල් දස ගෝත්‍ර රාජ්‍යයෙන් ජනයාව පිටුවහල් කිරීමත් එහි විදේශිකයන්ව පදිංචි කිරීමත් ආරම්භ වුණේ “ඊශ්‍රායෙල්හි පෙකා රජුගේ දවස්වලදී” එනම් යෙසායා එම අනාවැකිය ප්‍රකාශ කර කෙටි කලකට පසුවයි. (2 රාජාවලිය 15:29) එම ක්‍රියාවලිය අෂූර්හි සෙනකෙරිබ්ගේ රජකම හිමි පුත් ඒසර්හද්දොන් රජගේ කාලය දක්වා කෙරීගෙන ගියා. (2 රාජාවලිය 17:6; එස්රා 4:1, 2; යෙසායා 37:37, 38) මේ අනුව යෙසායා 7:8හි සඳහන් ආකාරයට අෂූරීයයන් විසින් සමාරිය වැසියන්ව ඉන් පිටුවහල් කිරීම සහ විදේශීන්ව සමාරියේ පදිංචි කරවීම අවුරුදු 65ක් පුරා කරගෙන ගියා.

11:1,10—යේසුස් ක්‍රිස්තුස් ‘යෙස්සේගේ කඳින් නික්මෙන අංකුරයක්’ වන අතරම ‘යෙස්සේගේ මුලද’ වන්නේ කෙසේද? (රෝම 15:12) යේසුස් පැවත ආවේ යෙස්සේගේ පුත්‍ර දාවිත්ගෙනුයි. (මතෙව් 1:1-6; ලූක් 3:23-32) ඒ අනුව යේසුස් ‘යෙස්සේගේ කඳින් නික්මෙන අංකුරය’ බවට පත් වුණා. යේසුස්ට ලැබෙන බලය සහ අධිකාරිය නිසා කීකරු මිනිසුන්ට පොළොව මත සදාකාල ජීවනය ලබාදීමෙන් යේසුස් ඔවුන්ගේ “සදාකාල පියාණෝ” බවට පත් වෙනවා. මෙයට ඔහුගේ මුතුන්මිත්තනුත් ඇතුළත්. (යෙසායා 9:6) ඒ අනුව යෙස්සේ ඇතුළු ඔහුගේ මුතුන් මිත්තන්ට යේසුස් ජීවනදායක ‘මුලක්ද’ වෙනවා.

අපට ගත හැකි පාඩම්:

1:3. අපගේ මැවුම්කරු බලාපොරොත්තු වෙන ආකාරයට ජීවත් වීමට අකමැති කෙනෙක් ගොනෙකුට හෝ බුරුවෙකුට වඩා අන්තයි. අනෙක් අතට යෙහෝවා දෙවි අප වෙනුවෙන් කර ඇති සෑම දෙයක් ගැනම අපි අගයක් ඇති කර ගන්නවා නම් අඥාන ලෙස ක්‍රියා කිරීමටවත් දෙවිව අතහැරීමටවත් පෙලඹෙන්නේ නැහැ.

1:11-13. පුහු ආටෝපයෙන් යුත් බොරු ආගමික උත්සව සහ ඒකාකාරී යාච්ඤාවලට යෙහෝවා දෙවි ඉතාමත් අප්‍රියයි. එමනිසා අපගේ ක්‍රියාවන් සහ යාච්ඤාවන් හරි ආකල්පයක් ඇතිව කළ යුතුයි.

1:25-27; 2:2; 4:2, 3. පසුතැවිලි වූ යුදෙව්වන් නැවත යෙරුසලෙමට පැමිණ සැබෑ නමස්කාරය යළි පිහිටුවීමත් සමඟ ඔවුන් සිටි වහල්භාවයෙන් සහ එහි දුක්ඛිත තත්වයෙන් නිදහස් වීමට නියමිතව තිබුණා. පසුතැවිලි වන පව්කාරයන්ට යෙහෝවා දෙවි දයාව දක්වයි.

2:2-4. දේවරාජ්‍යය ගැන දේශනා කිරීම සහ මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යයේ අප උද්‍යෝගයෙන් හවුල්වීමෙන් බොහෝ ජාතීන්ට අයත් මිනිසුන්ට සාමයේ මාර්ග ඉගෙනගැනීමට සහ එකිනෙකා අතර සාමයෙන් ජීවත් වීමට අපි උදව් කරමු.

4:4. යෙහෝවා දෙවි සියලු ආකාරයේ අශික්ෂිත දේවල් සහ අපරාධ සදහටම නැති කරදැමීමට පියවර ගනියි.

5:11-13. කෙනෙක් විනෝදය සඳහා තෝරාගන්නා දේවලදී සමබර නොවන්නේ නම් ඉන් අදහස් කරන්නේ තමා ලබා ඇති දැනුමට එකඟව ක්‍රියා කිරීම ඔහු ප්‍රතික්ෂේප කර ඇති බවයි.—රෝම 13:13.

5:21-23. [නව ලොව පරිවර්තනය] ක්‍රිස්තියානි අවේක්ෂකයන් “තමන් ඥානවන්තයන්” කියා සිතීමෙන් වැළකිය යුතුයි. ඒ වගේම ඔවුන් “වයින් බීම” සම්බන්ධයෙන් සිහිකල්පනාවෙන් කටයුතු කිරීම ඉතා වැදගත්. ඔවුන් පැති ගැනීමෙන්ද වැළකිය යුතුයි.

11:3අ. යේසුස්ගේ ආදර්ශයෙන් සහ ඉගැන්වූ දේවලින් පෙනෙන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමෙන් සන්තෝෂයක් ලැබිය හැකි බවයි.

‘යෙහෝවා දෙවි යාකොබ්ට අනුකම්පා කරයි’

(යෙසායා 13:1–35:10)

යෙසායා 13 සිට 23 දක්වා පරිච්ඡේදවල තිබෙන්නේ ජාතීන්ට විරුද්ධව යෙහෝවා දෙවි ප්‍රකාශ කරන විනිශ්චයන්. නමුත් සියලුම ඊශ්‍රායෙල් ගෝත්‍ර නැවතත් තම මව්බිමට ගෙන ඒමෙන් ‘යෙහෝවා දෙවි යාකොබ්ට අනුකම්පාව’ දක්වයි. (යෙසායා 14:1) මෙහි 24 සිට 27 දක්වා පරිච්ඡේදවල යූදා දේශය පාළු වන ආකාරය දැනුම් දෙන අතර එය නැවත ජනාකීර්ණ වන ආකාරය පිළිබඳ දෙවිගේ පොරොන්දුවත් සඳහන් කර තිබෙනවා. යෙහෝවා දෙවි තම උදහස පළ කරන්නේ “එෆ්‍රායිම්හි [ඊශ්‍රායෙල්හි] බේබද්දන්” සිරියාව සමඟ මිත්‍රකමක් ඇති කර ගත් නිසා හා යූදාහි “පූජකයාද අනාගතවක්තෘද” අෂූරිය සමඟ මිත්‍රකමක් ඇති කර ගැනීම නිසයි. (යෙසායා 28:1, 7) ආරක්ෂාව පතා “ඊජිප්තුවට ගමන් කරන” නිසා ‘අරියේල්ට [එනම්, යෙරුසලෙමට]’ දුක් වෙන්න සිදු වන බවත් ප්‍රකාශ කරනවා. (යෙසායා 29:1; 30:1, 2) ඒ වුණත් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන පුද්ගලයන්ට ගැලවීම දෙන බව කලින්ම පවසා තිබෙනවා.

“සිංහපැටියාද උන්ගේ ගොදුර ගැන ගොරවනවා” වගේ යෙහෝවා දෙවි ‘සියොන් කන්ද’ ආරක්ෂා කරයි. (යෙසායා 31:4) ඒ වගේම විශේෂ පොරොන්දුවකුත් දී තිබෙනවා. “බලව, ධර්මිෂ්ඨකමින් රජෙක් රජකම් කරන්නේය.” (යෙසායා 32:1) අෂූරියයන් යුදෙව්වන්ව භයගන්වා තිබූ නිසා එහි “සමාදානයේ තානාපතියෝ” පවා බොහෝසෙයින් ඇඬුවත් තම ජනයාව සුවකර “සෙනඟගේ අයුතුකම ඔවුන්ට ක්ෂමා කරනු ලබන්නේය” කියා යෙහෝවා දෙවි පොරොන්දු වෙනවා. (යෙසායා 33:7, 22-24) “යෙහෝවා සැම ජාතීන්ට විරුද්ධව ක්‍රෝධයෙන්ද ඔවුන්ගේ මුළු සේනාවට විරුද්ධව කෝපයෙන්ද යුක්තව සිටින්නේය.” (යෙසායා 34:2) යූදා දේශය සැමදා පාළුවට තිබෙන්නේ නැහැ. “වනයද වියළී දේශයද සතුටු වන්නෝය. කාන්තාරය ප්‍රීතිමත්ව සෙව්වන්දි මෙන් මල් හටගන්වන්නේය.”—යෙසායා 35:1.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

13:17—මේදියයන් රිදීවත් රන්වත් නොසලකා හැරියේ ඇයි? යුද්ධයෙන් පසු ලබාගත් කොල්ලයට වඩා මේදියයන්ට සහ පර්සියානුවන්ට වැදගත් වූයේ යුද්ධයෙන් ලබන විජයග්‍රහණයයි. එය සයිරස්, බැබිලෝනිය සමඟ කළ සටනින් ඔප්පු වුණා. එම අවස්ථාවේදී නෙබුකද්නෙශර් ඊට කලින් යෙහෝවා දෙවිගේ මාලිගාවෙන් කොල්ලකා ගෙනෙවිත් තිබූ රන් සහ රිදී භාණ්ඩ සයිරස් නැවත හැරී එන වහලුන්ට ලබාදුන්නා.

14:1, 2—‘යම් සෙනඟක් යෙහෝවා දෙවිගේ ජනයාව දාසකමට ගත්තේද නැවත දෙවිගේ සෙනඟ ඔවුන්ව දාසකමට ගත්තෙත්’ ‘තමුන්ට පීඩා කරන්නවුන් කෙරෙහි ආණ්ඩු කළෙත්’ කෙසේද? බැබිලෝනියේදී මේදියවරුන් සහ පර්සියානුවන් යටතේ දානියෙල් උසස් තනතුරක් දැරුවා. එස්තර් පර්සියාවේ රැජින බවට පත් වුණා. ඒ වගේම මොර්දෙකයි පර්සියානු අධිරාජ්‍යය යටතේ මහ ඇමති ධුරය හෙබෙව්වා. ඉන් පැහැදිලි වන්නේ ඉහත අනාවැකිය ඉටු වූ බවයි.

20:2-5—යෙසායා අවුරුදු තුනක් පුරා වස්ත්‍රවත් වහන්වත් නැතිව ඇවිද්දාද? එසේ කිව නොහැකියි. පෙනෙන විදිහට යෙසායා තම පිටත වස්ත්‍රය පමණක් ගලවා සැහැල්ලු ඇඳුමෙන් ඇවිදින්න ඇති.—1 සාමුවෙල් 19:24.

21:1—“මුහුදු වනය” කියා හැඳින්වූයේ කොයි ප්‍රදේශයද? බැබිලෝනිය මුහුදක් ළඟ නොතිබුණත් එය, මුහුදු වනය කියා හඳුන්වා තිබෙනවා. යුෆ්‍රටීස් සහ ටයිග්‍රීස් යන ගංගාවල ජලය වාර්ෂිකව පිටාර ගලනවා. ඒ නිසා අවට ප්‍රදේශය ජලයෙන් යට වුණු වගුරු බිමක් සහිත ‘මුහුදක්’ බවට පත් වුණා.

24:13-16—යුදෙව්වන් “ඔලීව ගසක් සොලවන්නාක් මෙන් මිදිපල නෙලා නිමවූ කල ඉතිරි මිදිපල අවුලන්නාක් මෙන්ද වර්ගයන් අතරේ” සිටින අය මෙන් වන්නේ කෙසේද? සාමාන්‍යයෙන් අස්වැන්න නෙළීමෙන් පසුවත් සමහර පල ගස්වල හෝ වැල්වල ඉතුරු වන්නාක් මෙන් යෙරුසලමේ සහ යූදා නගරවල විනාශයෙන් පසු ඉතිරි වන්නේ ස්වල්පදෙනෙක් පමණයි. මෙලෙස බේරෙන අයව “නැඟෙනහිරින් පිහිටි දේශවලට [බැබිලෝනියට]” හෝ “[මධ්‍යධරණි] මුහුදේ දිවයින්වලට” පිටුවහල් කළත් ඔවුන් යෙහෝවා දෙවිව මහිමයට පත් කරයි.

24:21—“ඉහළ ස්ථානවල සිටින සේනාව” සහ “පොළොවේ සිටින රජවරුන්” කවුද? “ඉහළ ස්ථානවල සිටින සේනාව” හොඳින්ම අදාළ වන්නේ භූත සමූහයන්ටයි. එසේනම් “පොළොවේ සිටින රජවරුන්” වන්නේ භූතයන්ගේ දැඩි බලපෑම් යටතේ පොළොව පාලනය කරන අයයි.—1 යොහන් 5:19.

25:7—“සැම වර්ගයන් පිට පැතිරී තිබෙන වැස්මත් සැම ජාතීන් පිට අතුළ තිරයත්” යනු කුමක්ද? ඒ යෙදුම් භාවිත කරන්නේ මිනිස්වර්ගයාගේ පරම සතුරන් වන පාපය සහ මරණය විස්තර කිරීමටයි.

අපට ගත හැකි පාඩම්

13:20-22; 14:22, 23; 21:1-9. බැබිලෝනිය ගැන යෙහෝවා දෙවි කලින් කියූ අනාවැකි ඉටු වුවා සේම දෙවිගේ අනාවැකි සැමවිටම හරියටම ඉටු වෙයි.

17:7, 8. ඊශ්‍රායෙලයේ සිටි වැඩිදෙනෙක් යෙහෝවා දෙවිට ඇහුම්කන් දුන්නේ නැතත් සමහර අය දෙවිට කීකරු වුණා. අද දිනත් ක්‍රිස්තියානීන්යයි කියාගන්නා පල්ලිවල සිටින සමහර අය ශුභාරංචියට සවන් දෙයි.

28:1-6. ඊශ්‍රායෙල්වරුන්ව අෂූරියයවරුන් යටත් කරගත්තත් දෙවි කෙරෙහි විශ්වාසය තබන අයව ඔහු බේරාගනියි. යෙහෝවා දෙවි විනිශ්චය ඉටු කරද්දී කිසි දිනක ධර්මිෂ්ඨයන්ව බලාපොරොත්තුවක් නැති තත්වයකට පත් කරන්නේ නැහැ.

28:23-29. යෙහෝවා දෙවි අවංක අයව නිවැරදි කරන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවන් සහ තත්වයන් හොඳින් තේරුම් අරගෙනයි.

30:15. [NW] යෙහෝවා දෙවි දෙන ගැලවීම ලැබීමට නම් අපි ඇදහිල්ල ඇතුව ‘සන්සුන්ව සිටිය’ යුතුයි. ඉන් අදහස් කරන්නේ මනුෂ්‍ය ක්‍රමවලින් ගැලවීම සෙවීමෙන් වැළකී සිටීමයි. “කලබල නොවී” සිටීමෙන් නැතහොත් භය නොවීමෙන් අපි පෙන්වන්නේ අපිව ආරක්ෂා කිරීමට යෙහෝවා දෙවිට තිබෙන බලය කෙරෙහි අපිට සැකයක් නැති බවයි.

30:20, 21. දෙවිව ‘දකින්නත්’ අපට ගැලවීම ලබා දෙන ඔහුගේ හඬ ‘අසන්නත්’ අපට පුළුවන් වන්නේ යෙහෝවා දෙවිගේ වචනය වන බයිබලයෙන් සහ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” තුළින් දෙන මඟ පෙන්වීම්වලට කීකරු වීමෙනුයි.—මතෙව් 24:45.

යෙසායාගේ අනාවැකි දේවවචනය කෙරෙහි ඇති අපගේ නිසැකකම ශක්තිමත් කරයි

දැනටමත් ඉටු වී ඇති අනාවැකි දෙස බලද්දී ‘යෙහෝවාගේ මුඛයෙන් පිටවන වචනය ඔහු වෙතට නැවත හිස්ව හැරී යන්නේ නැහැ’ කියන කාරණය ගැන අපගේ නිසැකකම ශක්තිමත් කරයි. (යෙසායා 55:11) ඒ නිසා යෙසායා පොතේ දී ඇති දෙවිගේ පණිවිඩයට අපි කොතරම් ස්තුතිවන්ත විය යුතුද!

යෙසායා 9:7 සහ 11:1-5,10 වැනි පදවල යේසුස් ගැන සඳහන් අනාවැකි සම්බන්ධයෙන් අපට කුමක් පැවසිය හැකිද? ඒවා මගින් ගැලවීම සඳහා යෙහෝවා දෙවි ගන්නා පියවර කෙරෙහි අපගේ ඇදහිල්ල අනිවාර්යයෙන්ම ශක්තිමත් වෙනවා. ඒ වගේම මේ පොතේ අපගේ කාලයේ ඉටු වෙමින් තිබෙන අනාවැකි සහ ඉදිරියේදී ඉටුවීමට නියමිත අනාවැකි ගැනත් සඳහන් වෙනවා. (යෙසායා 2:2-4; 11:6-9; 25:6-8; 32:1, 2) එමෙන්ම “දෙවිගේ වචනය ජීවමාන” බවටත් යෙසායා පොත සාක්ෂි සපයනවා.—හෙබ්‍රෙව් 4:12.

[8වන පිටුවේ පින්තූරය]

යෙසායා සහ ඔහුගේ දරුවන්ව “ඊශ්‍රායෙල්හි ලකුණු හා ආශ්චර්යයන්” හැටියට යොදාගත්තා

[8, 9වන පිටුවේ පින්තූරය]

යෙරුසලම “මිදිවත්තක මඩුවක්” මෙන් වීමට නියමිත වුණා

[10වන පිටුවේ පින්තූරය]

විවිධ ජාතීන්ට අයත් මනුෂ්‍යයන්ට ‘තමන්ගේ කඩුවලින් හීවැල් තළාගන්න’ හැකි වී තිබෙන්නේ කෙසේද?