Skip to content

පටුනට යන්න

මේ හැම දේම නත්තල් කාලෙට විතරද?

මේ හැම දේම නත්තල් කාලෙට විතරද?

මේ හැම දේම නත්තල් කාලෙට විතරද?

“ඉතා උස් තැන්හි දෙවිට මහිමයද මිහිපිට දේවප්‍රසාදය ලත් මිනිසුන්ට සමාදානයද වේවා!”—ලූක් 2:14.

රාත්‍රියේ තම බැටළුවන්ව බලා ගනිමින් සිටි එඬේරුන්ට යේසුස්ගේ උපත ගැන දැනුම් දෙමින් දේවදූතයා පැවසූ ඉහත වචන කිතුණුවන්ට හොඳට හුරුපුරුදුයි. යේසුස් ඉපදුණා යයි ඔවුන් සිතන දිනය නත්තල ලෙස සමරන කාලයේදී සාමයෙන් සතුටින් කල් ගෙවීමට ඔවුන් වෙනදාට වඩා මහත් වෑයමක් දරනවා.

මේ නිසා ඒ සමය ක්‍රිස්තියානීන් පමණක් නොව සෑම කෙනෙක්ම අගය කරනවා. නිවාඩු සමයක් වන මේ කාලයේදී පවුලේ අය හා හිත මිතුරන් සමඟ සතුටින් කාලය ගත කිරීමට හා විනෝද වීමට සෑම දෙනෙක්ම බලා සිටින්නේ මහත් ආශාවෙන්. මේ අතර සිටින ආගම දහමට ළැදි බොහෝදෙනෙක් නත්තල් සමය සලකන්නේ යේසුස්ට ගරු බුහුමන් දැක්විය යුතු කාලයක් ලෙසයි.

නමුත් කනගාටුවට කරුණක් වන්නේ මේ සතුට හා සාමය පවතින්නේ කෙටි කාලයකට පමණක් වීමයි. ඔවුන් නැවතත් තම සුපුරුදු ජීවිත රටාවට යොමු වෙන්නේ සියල්ල අමතක කර දමමිනුයි. මේ ගැන කැනඩාවේ බැංකුවක් මගින් බෙදා හැරිය පත්‍රිකාවක මෙසේ සඳහන් වී තිබුණා. “බොහෝ ක්‍රිස්තියානීන් සතුට හා සාමය ගැන උනන්දු වෙන්නේ සෑම අවුරුද්දකම සති කිහිපයකට පමණයි. නව වසර සැමරීමෙන් පසුව ඔවුන් තමන් අවට සිටින්නන් ගැන තුට්ටුවකටවත් මායිම් නොකර තම සුපුරුදු ජීවිත රටාවට නැවතත් යොමු වෙනවා. මේ නිසා පවතින ගැටලුව නම් නත්තල් සමයේ තිබෙන සතුට හා සාමය අවුරුද්ද පුරාම දක්නට නොලැබීමයි.”

නත්තල ගැන ඉහත සඳහන් අදහස්වලට ඔබ එකඟ වීමට හෝ නොවීමට පුළුවන්. නමුත් ඒ අදහස් මගින් පැන නඟින මේ ප්‍රශ්න ගැන සලකා බැලීම ඔබට ප්‍රයෝජනවත් වේවි. සති කිහිපයකට පමණක් පවතින සාමය හා සතුට සැමදා උදා කරගන්න මිනිසුන්ට හැකිද? යේසුස් ඉපදුණු රාත්‍රියේදී දේවදූතයන් පැතූ දෙය සැබෑවක් වෙයිද? එසේත් නැත්නම් එය මිරිඟුවක් පමණක්ද?