Skip to content

පටුනට යන්න

‘යෙහෝවා දෙවිගේ මහත් දවස ළඟයි’

‘යෙහෝවා දෙවිගේ මහත් දවස ළඟයි’

‘යෙහෝවා දෙවිගේ මහත් දවස ළඟයි’

‘යෙහෝවා දෙවිගේ මහත් දවස ළං වී ඇත. ඒ දවස අත ළඟටම පැමිණ තිබේ.’—ශෙපනියා 1:14, නව ලොව පරිවර්තනය, NW.

1, 2. (අ) ක්‍රිස්තියානීන් බලා සිටින විශේෂ දවස කුමක්ද? (ආ) අපි සලකා බැලිය යුතු ප්‍රශ්න මොනවාද? එසේ කිරීම වැදගත් වන්නේ ඇයි?

තමන් විවාහ වන දිනය පැමිණෙන තෙක් දින ගණිමින් සිටින තරුණියක් ගැන සිතන්න. දස මසක් කුසේ දරා සිටින තම දරුවා බිහි කරන දවස පැමිණෙන තෙක් බලා සිටින මවක් ගැන සිතන්න. එහෙමත් නැත්නම් තම දූ දරුවන්ගේ මුහුණු දකින දවස පැමිණෙන තෙක් ආශාවෙන් බලා සිටින වෙනත් රටක රැකියාවක් කරන පියෙක් ගැන සිතන්න. මොවුන්ගේ ජීවිතයේ එම වැදගත්ම දවස පැමිණෙන තෙක් ඇඟිලි ගැණ ගැණ ඔවුන් බලා සිටින්නේ මොන තරම් ආශාවකින්ද! ඔවුන් බලා සිටි ඒ දවස පැමිණෙද්දී ඔවුන් ඊට සූදානම් වී සිටියොත් ඔවුන්ට දැනෙන්නේ මහත් සතුටක්.

2 ඒ හා සමානව සැබෑ ක්‍රිස්තියානීන්ද විශේෂ දවසක් පැමිණෙන තෙක් මහත් ආශාවෙන් බලා සිටිනවා. ඒ දවස වන්නේ ‘යෙහෝවා දෙවිගේ මහත් දවසයි.’ (යෙසායා 13:9; යෝවෙල් 2:1; 2 පේතෘස් 3:12) ඉදිරියේදී පැමිණීමට නියමිත මේ “දවස” කුමක්ද? එය මුළු මනුෂ්‍යවර්ගයාටම බලපාන්නේ කෙසේද? අපි ඒ දවස සඳහා සූදානම්ව සිටින බව පෙන්වන්නේ කෙසේද? මේ ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීම වැදගත් බව බයිබලයේ සඳහන් මේ වචනවලින් පෙනී යනවා. ‘යෙහෝවා දෙවිගේ මහත් දවස ළං වී ඇත. ඒ දවස අත ළඟටම පැමිණ තිබේ.’—ශෙපනියා 1:14, NW.

‘යෙහෝවා දෙවිගේ මහත් දවස’

3. ‘යෙහෝවා දෙවිගේ මහත් දවස’ කියන්නේ කුමක්ද?

3 ‘යෙහෝවා දෙවිගේ මහත් දවස’ කියන්නේ කුමක්ද? මෙම ප්‍රකාශය බයිබලයේ තැන් කිහිපයකම සඳහන් වෙනවා. එම දවසින් අදහස් වන්නේ යෙහෝවා දෙවි ඔහුගේ සතුරන්ව විනාශ කර ඔහුගේ නාමය ගෞරවයට පත් කරන විශේෂ කාලයකටයි. එවැනි ‘දවස්’ යුදයේ හා යෙරුසලමේ වාසය කළ දෙවිව අත් හැරිය ජනයාද බැබිලෝනිවරුන්ද ඊජිප්තුවරුන්ද අද්දැක්කා. (යෙසායා 2:1, 10-12; 13:1-6; යෙරෙමියා 46:7-10) එහෙත් අවසන් වතාවට ‘යෙහෝවා දෙවිගේ මහත් දවස’ පැමිණෙන්නේ අනාගතයේදීයි. ඒ ‘දවසේදී’ දෙවි ඔහුගේ නාමයට නින්දා කර තිබෙන අයට එරෙහිව විනිශ්චය ක්‍රියාත්මක කරනවා. එම විනිශ්චය ආරම්භ වන්නේ ලොව පුරා අධිරාජ්‍යයක් හා සමානව පැතිර පවතින සැබෑ දෙවි ගැන සත්‍යය උගන්වන්නේ නැති සියලුම ආගම් විනාශ කිරීමෙනුයි. එම දවස අවසන් වන්නේ වත්මන් දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම සඳහා දෙවි ගෙනෙන යුද්ධයෙන් පසුවයි.—එළිදරව් 16:14, 16; 17:5, 15-17; 19:11-21.

4. වේගයෙන් ළඟා වෙන යෙහෝවා දෙවිගේ මහත් දවස ගැන බොහෝදෙනෙකුට බියක් දැනෙන්නේ ඇයි?

4 වේගයෙන් ළඟා වෙන මේ දවස ගැන බොහෝදෙනෙකුට දැනෙන්නේ බියක්. ඊට හේතුව යෙහෝවා දෙවි අනාගතවක්තෘ ශෙපනියා මාර්ගයෙන් මෙසේ පවසා තිබෙන නිසයි. “ඒ දවස වනාහි උදහස් දවසක්ය, දුක්ඛිතවූ විපත්ති දවසක්ය, නාස්තිවීමේ හා සුනත්වීමේ දවසක්ය, අන්ධකාරවූ කළුවරවූ දවසක්ය, වලාපටලද ඝනාන්ධකාරයද ඇති දවසක්ය.” ඇත්තෙන්ම එය භයානක දවසක්. එහි තවදුරටත් මෙසේ පවසා තිබෙනවා. ‘මනුෂ්‍යයන් යෙහෝවාට විරුද්ධව පව් කළ බැවින් . . . ඔහු ඔවුන් පිට විපත්ති පමුණුවයි.”—ශෙපනියා 1:15, 17.

5. සමහරුන් යෙහෝවා දෙවිගේ දවස පැමිණීම ආශාවෙන් බලා සිටින්නේ ඇයි?

5 බොහෝදෙනෙකුට යෙහෝවා දෙවිගේ දවස භයංකර දවසක් වුණත් තවත් පිරිසක් එම දවස පැමිණෙන තුරු බලා සිටින්නේ මහත් ආශාවෙන්. මීට හේතුව ඒ කාලයේදී ධර්මිෂ්ඨයන්ට ගැලවීම ලැබෙන අතර යෙහෝවා දෙවිගේ නාමයට ඇති වී තිබෙන නින්දාව ඉවත් වී එය මහිමයට පත්වන නිසයි. (යෝවෙල් 3:16, 17; ශෙපනියා 3:12-17) මෙය භයංකර දවසක්ද නැත්නම් ආශාවෙන් බලා සිටිය හැකි දවසක්ද කියා තීරණය වන්නේ ජනයා දැන් ජීවත් වන ආකාරය මතයි. වේගයෙන් ළඟා වෙන ඒ දවස ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔබ එයට සූදානම්ද? එය ආසන්න වී තිබෙන බව දැන් ඔබ ජීවත් වන ආකාරයෙන් පෙනෙන්න තිබෙනවාද?

“සමච්චල් කරන්නෝ”

6. බොහෝදෙනෙක් ‘යෙහෝවා දෙවිගේ දවස’ සලකන්නේ කෙසේද? ඒ ගැන සැබෑ ක්‍රිස්තියානීන් පුදුම නොවන්නේ මන්ද?

6 ‘යෙහෝවා දෙවිගේ දවස’ වේගයෙන් ළඟා වෙමින් තිබුණත් බොහෝදෙනෙක් එය ගණන් ගන්නේ නැහැ. ඔවුන් මේ දවස ගැන අනතුරු අඟවන අයට සමච්චල් කරනවා. එහෙත් පේතෘස් එවැනි අය ගැන කළ මෙම අනතුරු ඇඟවීම සැබෑ ක්‍රිස්තියානීන් දන්න නිසා ඔවුන් ඒ ගැන පුදුම වන්නේ නැහැ. “මේ දේ ඔබ පළමුකොට දැනගත යුතුය. අන්තිම දවස්වලදී, සමච්චල් කරන්නෝ සමච්චල් කරමින් පැමිණෙන්නෝය. ඔවුහු තමුන්ගේම ආශාවන් අනුව හැසිරෙමින්, ‘පොරොන්දු වූ ඔහුගේ පැමිණ සිටීමට කුමක් වීද? මන්ද අපේ මුතුන්මිත්තන් මැරුණායින් පසුවත්, සියලු දේ මැවීමේ පටන්ගැන්මේ සිට නොවෙනස්ව තවමත් එලෙසම තිබෙන්නේයයි’ කියන්නෝය.”—2 පේතෘස් 3:3, 4.

7. යෙහෝවා දෙවිගේ දවස ළඟයි යන හැඟීමෙන් යුතුව ක්‍රියා කරන්න අපට උපකාරවත් වන්නේ කුමක්ද?

7 සමච්චල් කරන්නන් පවසන දේවලින් අධෛර්යයට පත් නොවී යෙහෝවා දෙවිගේ දවස ළඟයි යන හැඟීමෙන් යුතුව ක්‍රියා කරන්න අපට උපකාරවත් වන්නේ කුමක්ද? මේ ගැන පේතෘස් පැවසූ මේ වචන සැලකිල්ලට ගන්න. මම “ඔබට සිහිගන්වා ඔබේ පැහැදිලිව සිතීමේ හැකියාව පුබුදුවාලමි. එසේ කරන්නේ, ශුද්ධ වූ අනාගතවක්තෘවරුන් විසින් කලින් කියන ලද දේවල්ද, ඔබේ ප්‍රේරිතයන් මාර්ගයෙන් දෙන ලද ගැලවුම්කරු වන ස්වාමීන්ගේ ආඥාවද ඔබට මතක් වන පිණිසය.” (2 පේතෘස් 3:1, 2) අනාගතවක්තෘවරුන් දී තිබෙන අනතුරු ඇඟවීම් හොඳින් සිතට ගැනීමෙන් ‘අපේ සිතීමේ හැකියාව පුබුදුවාලන්න’ හැකියි. මෙවැනි සිහිගැන්වීම් අපි බොහෝවිට අසා තිබුණත් වෙන කවරදාටත් වඩා ඒ අනතුරු ඇඟවීම් මේ කාලයේදී සිතට ගැනීම අත්‍යවශ්‍යයි.—යෙසායා 34:1-4; ලූක් 21:34-36.

8. සමහරුන් බයිබලයේ දෙන සිහිගැන්වීම් ගණන් නොගන්නේ ඇයි?

8 බයිබලයේ දෙන එම සිහිගැන්වීම් සමහරුන් ගණන් නොගන්නේ ඇයි? මේ ගැන පේතෘස් තවදුරටත් මෙසේද පැවසුවා. “ඔවුහු ඕනෑකමින්ම මේ කාරණාව අමතක කරති. එනම්, පුරාණයේ සිට පැවත ආ අහසක් හා දෙවිගේ වචනය මාර්ගයෙන් වතුරෙන් ඉහළට මතු වූද, වතුර මධ්‍යයෙහි වූද ගන වූ පොළොවක් තිබුණු බවත්, එමගින් එකල තිබුණු ලෝකය ජලගැල්මට යට වී විනාශ වූ බවත් ඔවුහු අමතක කරති.” (2 පේතෘස් 3:5, 6) මෙයින් පෙනී යන ආකාරයට යෙහෝවා දෙවිගේ දවස පැමිණෙනවාට කැමති නැති අයත් සිටිනවා. ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට කිසිවකින් බාධාවක් ඇති වෙනවාට ඔවුන් කැමති නැහැ. ඔවුන් සිතන්නේ තමන් ගත කරන ආත්මාර්ථකාමී ජීවිතය ගැන දෙවිට ගණන් දෙන්න අවශ්‍ය නැහැ කියායි. පේතෘස් සඳහන් කළ ආකාරයට ඔවුන් ජීවත් වෙන්නේ ‘තමුන්ගේම ආශාවන් අනුව හැසිරෙමිනුයි.’

9. නෝවාගේ සහ ලොත්ගේ කාලයේ සිටි මිනිසුන්ට තිබුණේ මොන වගේ ආකල්පයක්ද?

9 යෙහෝවා දෙවි අතීතයේදී මිනිසුන්ගේ කටයුතුවලට මැදිහත් වූවා යන කාරණය එම සමච්චල් කරන්නන් “ඕනෑකමින්ම” නොසලකා හරිනවා. අතීතයේ එවැනි සිදුවීම් ‘නෝවාගේ දවස්වලදී’ මෙන්ම ‘ලොත්ගේ දවස්වලදීත්’ සිදු වූ බව යේසුස් වගේම පේතෘස්ද සඳහන් කළා. (ලූක් 17:26-30; 2 පේතෘස් 2:5-9) ජලගැල්මට කලින් මිනිසුන් නෝවා දුන් අනතුරු ඇඟවීම ගණන් ගත්තේ නැහැ. ඒ වගේම සොදොම් සහ ගොමෝරා නගර විනාශ වීමට කලින් ඒ ගැන අනතුරු ඇඟවූ ලොත්ව ඔහුගේ බෑනාවරුන්ට පෙනුණේ ‘විහිළු කාරයෙක්’ වගෙයි.—උත්පත්ති 19:14.

10. තමන් දෙන අනතුරු ඇඟවීම් ගණන් නොගන්න අයට සිදු වන දේ ගැන යෙහෝවා දෙවි පවසන්නේ කුමක්ද?

10 මේ කාලයේ සිටින මිනිසුන්ද එදා සිටි මිනිසුන් වගේමයි. යෙහෝවා දෙවි දෙන අනතුරු ඇඟවීම් ගණන් නොගන්න එවැනි අය ගැන ඔහු පවසා තිබෙන මේ වචන සැලකිල්ලට ගන්න. “යෙහෝවා ‘යහපතවත් නපුරවත් නොකරන්නේයයි’ සිතින් කියමින් තමන්ගේ මණ්ඩි පිට නිශ්චලව සිටින්නාවූ මනුෂ්‍යයන්ට දඬුවම් කරන්නෙමි. ඔවුන්ගේ සම්පත් කොල්ලයක්ද ඔවුන්ගේ ගෙවල් පාළුවක්ද වන්නේය. එසේය, ඔවුහු ගෙවල් ගොඩනඟන නමුත් එහි නොවසන්නෝය. මිදිවතු වවන නමුත් එහි මිදි යුෂ නොබොන්නෝය.” (ශෙපනියා 1:12, 13) ඔවුන් සැපසම්පත් ලබා ගැනීම සඳහා වෙහෙස මහන්සි වී එදිනෙදා වැඩවල නිරත වුණත් ඒවායින් ඔවුන්ට කල්පවතින ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඊට හේතුව හදිසියේම පැමිණෙන යෙහෝවා දෙවිගේ දවසින් ඔවුන්ව ආරක්ෂා කරන්න ඔවුන් රැස්කර ගත් සැපසම්පත්වලට නොහැකි නිසයි.—ශෙපනියා 1:18.

“ඒ ගැන බලා සිටින්න”

11. අපි මතක තබාගත යුතු උපදෙස කුමක්ද?

11 දෙවිව නොසලකන නපුරු මිනිසුන් වගේ නොවී අපි අනාගතවක්තෘ හබක්කුක් දුන් මේ උපදේශය මතක තබාගත යුතුයි. “මක්නිසාද දර්ශනයේ නියම කාලය එන්ට තව කල් තිබේ. එය අවසාන වන්ට ඉක්මන් වන්නේය. බොරු නොවන්නේය. ඒක ප්‍රමාද වෙතත් ඒ ගැන බලා සිටින්න. මක්නිසාද ඒක සැබවින් ප්‍රමාද නොවී එන්නේය.” (හබක්කුක් 2:3) ඒ දවස ප්‍රමාදයි කියා අපිට හැඟෙන්න පුළුවන්. ඒත් යෙහෝවා දෙවි ප්‍රමාද වන්නේ නැති බව අපි අමතක නොකළ යුතුයි. ඔහුගේ දවස මිනිසුන් නොසිතන පැයකදී, ඔහුගේ නියමිත කාලයේදී පැමිණෙනවාමයි.—මාක් 13:33; 2 පේතෘස් 3:9, 10.

12. යේසුස් අනතුරු ඇඟෙව්වේ කවුරුන් ගැනද? මොවුන්ට වඩා වෙනස්ව විශ්වාසවන්ත දාසයා ක්‍රියා කරන්නේ කෙසේද?

12 යෙහෝවා දෙවිගේ දවස දිගටම බලා සිටීමේ වැදගත්කම යේසුස් පෙන්වා දුන් අවස්ථාවේදී, තමන්ගේ අනුගාමිකයන් අතර පවා ඒ දවස ළඟයි කියන හැඟීමෙන් කටයුතු නොකරන සමහරුන් සිටියි කියා ඔහු පැවසුවා. මෙවැනි අය ගැන ඔහු කල්තියා මෙසේ අනතුරු ඇඟෙව්වා. “යම් විටක ඒ දුෂ්ට දාසයා, ‘මාගේ ස්වාමියා ප්‍රමාද වන්නේය’ යි සිතින් කියාගෙන, තමන් සමඟ සිටින සෙසු දාසයන්ට තළන්න පටන්ගෙන, බේබද්දන් සමඟ කමින් බොමින් සිටියොත්, ඒ දාසයාගේ ස්වාමියා ඔහු බලාපොරොත්තු නොවන දවසක, ඔහු නොදන්නා පැයකදී ඇවිත්, ඔහුට ඉතා තදින් දඬුවම් . . . කරන්නේය.” (මතෙව් 24:48-51) මීට වෙනස්ව “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ඒ දවස ළඟයි කියන හැඟීමෙන් දිගටම දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා. දිගටම සෝදිසියෙන් සිටිමින් ඒ දවසට සූදානමින් සිටින නිසා යේසුස් පොළොවේ “තමන් සන්තක සියල්ල කෙරෙහි” ඒ දාසයාව පත් කර තිබෙනවා.—මතෙව් 24:42-47.

හදිසිතාවෙන් ක්‍රියා කළ යුත්තේ ඇයි?

13. හදිසිතාවෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව යේසුස් පෙන්වා දුන්නේ කෙසේද?

13 පළමුවන සියවසේ විසූ ක්‍රිස්තියානීන් හදිසිතාවෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වුණා. “සේනාවන් කඳවුරු බැඳ යෙරුසලම වටලා සිටිනවා” ඔවුන් දුටු විට එම නගරයෙන් ප්‍රමාද නොවී ඉක්මනින් පලා යෑමට පියවර ගත යුතු වුණා. (ලූක් 21:20, 21) රෝම හමුදාව යෙරුසලම වැටලූවේ ක්‍රි.ව. 66දීයි. ඒ කාලයේදී ක්‍රිස්තියානීන් මොන තරම් හදිසිතාවකින් ක්‍රියා කළ යුතු වුණාද කියා යේසුස් පැවසූ මෙම වචනවලින් පැහැදිලියි. “වහල් තලයේ සිටින්නා තම ගෙයි තිබෙන දේ ගන්න පහතට නොබසින්න. කෙතෙහි සිටින්නා තමාගේ පිට වස්ත්‍රය ගන්න ගෙට හැරී නොඑන්න.” (මතෙව් 24:17, 18) නමුත් ඉතිහාසයේ සඳහන් වෙන ආකාරයට යෙරුසලම විනාශ කළේ ක්‍රි.ව. 66දී නොව ඉන් අවුරුදු හතරකට පසුවයි. එසේනම් ක්‍රිස්තියානීන්ට යෙරුසලමෙන් පලා යෑමට තව අවුරුදු හතරක් තිබියදී ඔවුන් යේසුස් දුන් උපදේශයට අනුව එතරම් හදිසියකින් ක්‍රි.ව. 66දීම ක්‍රියා කළ යුතු වුණේ ඇයි?

14, 15. මුල් ක්‍රිස්තියානීන් යෙරුසලම හමුදාවක් විසින් වටලාගෙන සිටිනවා දකින විට හදිසිතාවෙන් ක්‍රියා කළ යුතු වුණේ ඇයි?

14 රෝම හමුදාව ක්‍රි.ව. 70වන තෙක් යෙරුසලම විනාශ නොකළත් ඒ අවුරුදු හතර පුරා එහි පැවතියේ නොසන්සුන් වතාවරණයක්. ඒ කාලය පුරා ප්‍රචණ්ඩ ක්‍රියා හා ලේ වැඟිරවීම් බහුලව එහි දැකිය හැකි වුණා. ඉතිහාසඥයෙක් පැවසූ ආකාරයට ඒ අවුරුදු හතර පුරා යෙරුසලමේ පැවතියේ “තැතිගන්වන කුරිරුකම්වලින් මෙන්ම ලේවලින් නැහැවුණු සිවිල් යුද්ධයක්.” නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා යෙරුසලමේ තරුණයන්ව හමුදාවට බඳවාගෙන ඔවුන්ට අවි පුහුණුවක් ලබා දුන්නා. යෙරුසලමේ හමුදාවට උදව් නොකළ අයව සැලකුවේ රාජද්‍රෝහීන් ලෙසයි. ක්‍රිස්තියානීන් නගරයෙන් පිට වී යෑම ප්‍රමාද කරමින් එහි රැදී සිටියා නම් ඔවුන්ටත් මේ අනතුරුදායක තත්වයට මුහුණ දීමට සිදු වෙන්න තිබුණා.—මතෙව් 26:52; මාක් 12:17.

15 යෙරුසලමේ සිටින අය පමණක් නොව ‘යුදයේ සිටින අයද’ පලා යා යුතුයි කියා යේසුස් පැවසූ බව සැලකිල්ලට ගන්න. යුදෙව්වන් එසේ කළ යුතු වුණේ රෝම හමුදාව යෙරුසලම වටලෑම මාස කිහිපයකට අත් හැර දමා ගියත් නැවතත් පැමිණ, ඔවුන්ගේ යුධ මෙහෙයුම පටන්ගත් නිසයි. ඔවුන් ක්‍රි.ව. 67දී මුලින්ම ගලීලයද ඊළඟ වසරේදී ක්‍රම ක්‍රමයෙන් යුදයද අත්පත් කරගත්තා. මෙහි ප්‍රතිඵලයක් හැටියට මුළු දේශය පුරාම පැවතියේ මහත් වියවුල් සහගත තත්වයක්. එමෙන්ම ඒ කාලයේදී යෙරුසලමෙන් පිට වී යෑම කිසිම යුදෙව්වෙකුට පහසු කාර්යයක් වුණේ නැහැ. නගරයේ දොරටුවලට මුරකාවල් දමා තිබූ අතර, ඉන් පලා යෑමට තැත් කළ අයව සැලකුවේ රෝම හමුදාවේ පැත්ත ගත් අය ලෙසයි.

16. තමන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා මුල් සියවසේ ක්‍රිස්තියානීන් ක්‍රියා කළ යුතු වූයේ කෙසේද?

16 ඉහත සඳහන් කළ කාරණා සලකා බලන විට යෙරුසලමෙන් පිට වීමට ඉක්මනින් පියවරගැනීමේ අවශ්‍යතාව යේසුස් අවධාරණය කළේ ඇයි කියා අපිට තේරුම්ගන්න පුළුවන්. එදා සිටි ක්‍රිස්තියානීන්ට සැප සම්පත් අත් කරගැනීම කෙරෙහි තමන්ගේ සිත යොමු නොකර යම් දේවල් පරිත්‍යාග කරන්න අවශ්‍ය වුණා. ඇත්තෙන්ම යේසුස් දුන් අනතුරු ඇඟවීමට කීකරු වූ මේ අයට ‘තමන් සන්තක සියල්ලෙන් සමුගත’ යුතු වුණා. (ලූක් 14:33) එසේ කීකරු වී ඉක්මනින්ම යොර්දාන් ගඟෙන් එගොඩට පලා ගිය අය පමණයි ගැලවුණේ.

අපිත් හදිසිතාවෙන් ක්‍රියා කරමු

17. අපි හදිසිතාවෙන් ක්‍රියා කිරීමට අදිටන් කරගත යුත්තේ ඇයි?

17 අපි ජීවත් වෙන්නේ අන්තිම කාලයේ කෙළවරේ බව බයිබල් අනාවැකිවල ඉටු වීමෙන් පැහැදිලිව පෙනී යනවා. වෙන කවරදාටත් වඩා අපි හදිසිතාවෙන් ක්‍රියා කිරීමට අදිටන් කරගත යුත්තේ මේ කාලයේදීයි. මෙය උදාහරණයකින් පැහැදිලි කරගනිමු. යුද්ධ නැති කාලයකදී හමුදා සෙබළෙකු තම රාජකාරිය ගැන අමතක කර දමා කිසි සූදානමක් නැතිව ඉන්න පුළුවන්. එසේ ඔහු සුදානමින් නොසිටින අවස්ථාවකදී හදිසියේම යුද්ධයක් ඇති වුණොත් කුමක් වෙයිද? ඔහුට සාර්ථකව සටනට මුහුණ දීමට නොහැකි වෙනවා. සමහරවිට ඔහුගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන්. මෙවැනි දෙයක් අපටත් විය හැකියි. අපිත් දෙවිගේ දවස ළඟයි කියන හැඟීමෙන් කටයුතු නොකළොත් සාතන්ගේ ප්‍රහාරවලට අපත් නොසිතූ ලෙස ගොදුරු වෙන්න ඉඩ තිබෙනවා. එමෙන්ම යෙහෝවා දෙවිගේ දවස අපි නොදැනුවත්වම පැමිණිය හැකියි. (ලූක් 21:36; 1 තෙසලෝනික 5:4) එමනිසා “යෙහෝවා අනුව නොගොස් පසුබට” වී සිටින ඕනෑම කෙනෙකුට නැවතත් ඉක්මනින් ඔහුව සෙවීමට කාලය දැනුයි.—ශෙපනියා 1:3-6; 2 තෙසලෝනික 1:8, 9.

18, 19. ‘යෙහෝවා දෙවිගේ දවස පැමිණීම මනසේ ප්‍රමුඛව තබාගන්න’ අපට උපකාරවත් වන්නේ කුමක්ද?

18 “යෙහෝවාගේ දවස පැමිණීම” මනසේ ප්‍රමුඛව තබාගන්න කියා පේතෘස් අපට උපදෙස් දුන්නේ ඇයි කියා අපට දැන් පැහැදිලියි. අපිට එය පිළිපැදිය හැක්කේ කෙසේද? එක් ආකාරයක් නම් “ශුද්ධ වූ හැසිරීමෙහි නිරත වෙමින්ද දේවභක්තික ක්‍රියා කරමින්ද” සිටීමෙනුයි. (2 පේතෘස් 3:11,12) අපි එවැනි ක්‍රියාවල කඩිසරව නියැලෙනවා නම් “යෙහෝවාගේ දවස” උනන්දුවෙන් බලා සිටින්න අපටත් හැකියි. සාමාන්‍යයෙන් අපි කඩිසරව යම් දේවල් කරන විට අපිට දැනෙන්නේ කාලය වේගයෙන් ගෙවී යනවා වගෙයි. මේ හා සමානව අපි දෙවිගේ සේවයේ ක්‍රියාශීලීව හවුල් වන විට දෙවිගේ දවස පැමිණෙන්න තව බොහෝ කල් තිබෙනවා කියා අපට හැඟෙන්නේ නැහැ.—1 කොරින්ති 15:58.

19 දේවවචනයේ සඳහන් දේවල් මෙනෙහි කරන විට හා එහි තිබෙන සිහිගැන්වීම් අපි ගැඹුරින් කල්පනා කරන විට ‘යෙහෝවා දෙවිගේ දවස පැමිණිම මනසේ ප්‍රමුඛව තබාගැනීම’ පහසුයි. මෙහිදී ‘මනසේ ප්‍රමුඛව තබාගැනීම’ යන ප්‍රකාශය එක් බයිබල් පරිවර්තනයක යොදා තිබෙන්නේ “නිරතුරුවම අපේක්ෂාවෙන් සිටින්න” කියායි. (2 පේතෘස් 2:12, The New Testament, by William Barclay) එම සිහිගැන්වීම්වලින් යෙහෝවා දෙවිගේ දවස ගැන ලියා තිබෙන බොහෝ අනාවැකි ගැන පමණක් නොව, ‘යෙහෝවා දෙවි ගැන බලා සිටින’ අයට අනාගතයේදී ලැබෙන ආශීර්වාද ගැනත් අපිට දැනගන්න පුළුවන්.—ශෙපනියා 3:8.

20. අපි හොඳින් සිතට ගත යුතු උපදෙස කුමක්ද?

20 අනාගතවක්තෘ ශෙපනියා මාර්ගයෙන් අපට දී තිබෙන මෙම උපදෙස හොඳින් සිතට ගැනීමට කාලය දැනුයි. “යෙහෝවාගේ රෞද්‍ර උදහස ඔබ පිටට පැමිණෙන්ටත් යෙහෝවාගේ උදහසේ දවස ඔබ පිටට පැමිණෙන්ටත් පළමුවෙන් ඔබ රැස් වන්න. යෙහෝවාගේ විනිශ්චය ඉෂ්ට කළාවූ පොළොවේ මොළොක් ගුණ ඇති සියල්ලෙනි, ඔහුව සොයන්න. ධර්මිෂ්ඨකම සොයන්න. මොළොක්කම සොයන්න. යෙහෝවාගේ උදහසේ දවසේදී ඔබ සමහරවිට සඟවනු ලබන්ට පුළුවන.”—ශෙපනියා 2:2, 3.

21. වසර 2007 පුරා දෙවිගේ සෙනඟ ගන්න අධිෂ්ඨානය කුමක්ද?

21 මේ අනුව, ‘යෙහෝවා දෙවිගේ මහත් දවස ළඟයි’ යන පාඨය 2007 වාර්ෂික පදය ලෙස තෝරාගැනීම මොන තරම් යෝග්‍යද! ‘ඒ දවස අත ළඟටම පැමිණ තිබෙන’ බව දෙවිගේ සෙනඟ හොඳින් තේරුම්ගෙන තිබෙනවා. (ශෙපනියා 1:14, NW) ‘එය ප්‍රමාද වන්නේ නැහැ.’ (හබක්කුක් 2:3) මේ අනාවැකි ඉටු වන කාලය අත ළඟ බව තේරුම්ගෙන සිටින නිසා ඒ දවස පැමිණීම බලා සිටින අතරේදී සැම විටම සෝදිසියෙන් සිටිමු.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• ‘යෙහෝවා දෙවිගේ මහත් දවස’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

• අද බොහෝදෙනෙක් හදිසිතාවෙන් ක්‍රියා නොකරන්නේ මන්ද?

• පළමුවෙනි ශත වර්ෂයේ ක්‍රිස්තියානීන් හදිසිතාවෙන් යුතුව ක්‍රියා කළ යුතු වුණේ ඇයි?

• අපි හදිසිතාවෙන් ක්‍රියා කිරීමට අදිටන් කරගෙන තිබෙන බව පෙන්විය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

වසර 2007 වාර්ෂික පදය වන්නේ මෙයයි. ‘යෙහෝවා දෙවිගේ මහත් දවස ළඟයි.’—ශෙපනියා 1:14.

[16, 17වන පිටුවේ පින්තූර]

නෝවාගේ දවස්වලදී මෙන් අද දිනත් සමච්චල් කරන්නන් දෙවිගේ දවසට හසු වන්නේ නොදැනුවත්මයි

[18වන පිටුවේ පින්තූර]

“සේනාවන් කඳවුරු බැඳ යෙරුසලම වටලා සිටිනවා” දුටු විට ක්‍රිස්තියානීන් හදිසිතාවෙන් ක්‍රියා කිරීම අවශ්‍ය වුණා