Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි ‘යුක්තිය ඉටු වීමට සලස්වයි’

යෙහෝවා දෙවි ‘යුක්තිය ඉටු වීමට සලස්වයි’

යෙහෝවා දෙවි ‘යුක්තිය ඉටු වීමට සලස්වයි’

“දෙවි, දිවා රෑ ඔහුට හඬ නඟන තමා තෝරාගත් අය වෙනුවෙන් නිසැකවම යුක්තිය ඉටුවීමට සලස්වන්නේ නැද්ද?”—ලූක් 18:7.

1. ඔබට දිරිගැන්වීමක් ලබන්න පුළුවන් කාගේ ආදර්ශයෙන්ද? ඊට හේතුව කුමක්ද?

අවුරුදු ගණනාවක් පුරා දෙවිට විශ්වාසවන්තව සේවය කරන සහෝදර සහෝදරියන්ගේ ඇසුරෙන් ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලබන්නේ අපමණ සතුටක්. ඔබේ සභාවෙත් සිටින එවැනි අයව ඔබ දන්නවාද? අවුරුදු ගණනාවකට පෙර බව්තීස්ම වී සිටින රැස්වීම් ලෙහෙසියෙන් අතපසු නොකරන වයසක සහෝදරියක්ව ඔබට මතක් වෙනවා ඇති. දශක ගණනාවක් පුරා අත් නෑර සතිපතා දේවසේවයේ හවුල් වන වයසක සහෝදරයෙකුව ඔබේ මතකයට නැඟෙනවා ඇති. දෙවි ගෙනෙන විනාශය මේ වන විට පැමිණ තිබෙයි කියා ඒ විශ්වාසවන්ත සහෝදර සහෝදරියන් ඒ කාලයේ සිතන්න ඇති. නමුත් මේ දුෂ්ට සමාජයේ විනාශය තවමත් නොපැමිණියා කියා යෙහෝවා දෙවිගේ පොරොන්දු කෙරෙහි තිබෙන ඔවුන්ගේ විශ්වාස අඩු වී නැහැ. එමෙන්ම “අවසානය දක්වා විඳදරාගන්න” ඔවුන් ගෙන තිබෙන අධිෂ්ඨානයද දුර්වල වී නැහැ. (මතෙව් 24:13) යෙහෝවා දෙවි කෙරෙහි එවැනි ශක්තිමත් ඇදහිල්ලක් තිබෙන විශ්වාසවන්ත සේවකයන් මුළු සභාවටම දිරිගැන්වීමක්.—ගීතාවලිය 147:11.

2. අපව දුකට පත් කරන්නේ කුමක්ද?

2 සමහරවිට අපි මීට වඩා හාත්පසින් වෙනස් අයවද දකිනවා. කාලයක් පුරා දෙවිට සේවය කළ ඇතැම් අය යම් කලකදී යෙහෝවා කෙරෙහි තිබෙන ඔවුන්ගේ ඇදහිල්ල දුර්වල කරගෙන, සභාව සමඟ ඇසුරු කිරීම නවතා දමා තිබෙනවා. අප සමඟ කලක් ඇසුරු කළ අය දෙවිව අත් හැරීම දුකට හේතුවක් වුණත් අපේ අවංක ආශාව වන්නේ එවැනි ‘මංමුළා වූ බැටළුවන්’ සෑම දෙනාටම නැවත රැළට පැමිණීමට උපකාර කිරීමයි. (ගීතාවලිය 119:176; රෝම 15:1) එවැනි එකිනෙකට වෙනස් තත්වයක් තිබීම නිසා මෙවැනි ප්‍රශ්න මතු වෙනවා. සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් ඇදහිලිවන්තව සිටින්නත් තවත් අය ඇදහිල්ල දුර්වල කරගන්නත් හේතුව කුමක්ද? “යෙහෝවාගේ මහත් දවස” ආසන්න බව වූ අපේ විශ්වාසය දුර්වල නොවී තබාගැනීම සඳහා අපට කුමක් කළ හැකිද? (ශෙපනියා 1:14) මේ ප්‍රශ්නවලට පිළිතුරු ලූක්ගේ ශුභාරංචියේ සඳහන් උපමාවක් ඇසුරෙන් සලකා බලමු.

“මනුෂ්‍ය පුත්‍රයා එන විට” ජීවත්ව සිටින අයට අනතුරු ඇඟවීමක්

3. වැන්දඹුවගේ සහ විනිශ්චයකරුගේ උපමාවේ සඳහන් දෙයින් විශේෂයෙන්ම ප්‍රයෝජන ගත හැක්කේ කාටද?

3 වැන්දඹුවක් හා විනිශ්චයකරුවෙක් ගැන යේසුස් පැවසූ උපමාවක් ලූක් 18වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. මෙය අපි කලින් ලිපියේ සාකච්ඡා කළ රාත්‍රියේ ආහාර සොයා ගිය මිනිසාගේ උපමාවට සමානයි. (ලූක් 11:5-13) වැන්දඹුව හා විනිශ්චයකරුගේ උපමාවේ අවට පාඨ සලකා බැලීමේදී පෙනී යන්නේ මේ උපමාව විශේෂයෙන්ම අදාළ වන්නේ දේවරාජ්‍යයේ රජු ලෙස “මනුෂ්‍ය පුත්‍රයා එන විට” ජීවත්ව සිටින අයටයි. මේ කාලය පටන් ගත්තේ 1914දීයි.—ලූක් 18:8. *

4. යේසුස් ලූක් 18වන පරිච්ඡේදයේ සඳහන් උපමාව පැවසීමට කලින් සාකච්ඡා කළේ කුමක් ගැනද?

4 යේසුස් මේ දේවරාජ්‍යයේ රජු ලෙස පැමිණ සිටින කාලපරිච්ඡේදය හඳුනාගැනීමට උපකාරවත් වන සාක්ෂි මොන තරම් දකින්න තිබෙනවාද කියනවා නම්, එය හරියට “ආකාශයේ එක් දිසාවකින් නික්මෙන විදුලිය ආකාශයේ අනික් දිසාව දක්වා බැබළෙන්නාක්මෙන්” කියා ඔහු පැවසුවා. (ලූක් 17:24; 21:10, 29-33) සාක්ෂි එතරම් බහුලව තිබුණත් ‘අන්තිම කාලයේ’ ජීවත් වන බොහෝදෙනෙක් එය ගණන් ගන්නේ නැහැ. (දානියෙල් 12:4) මෙයට හේතුව යෙහෝවා දෙවි දුන් අනතුරු ඇඟවීම් ගණන් නොගත් නෝවාගේ සහ ලොත්ගේ කාලයේ සිටි මිනිසුන් මෙන් ඔවුනුත් ක්‍රියා කරන නිසයි. ඒ කාලයේ සිටි මිනිසුන් ‘විනාශය පැමිණෙන දවස දක්වා’ “කමින්, බොමින්, මිල දී ගනිමින් විකුණමින්, වවමින් ගොඩනඟමින්” සිටියා. (ලූක් 17:26-29) ඔවුන් එදිනෙදා වැඩකටයුතුවල කොතරම් ඇලී ගැලී සිටියාද කියනවා නම් දෙවි බලාපොරොත්තු වන දේ කරන්න කිසිම උනන්දුවක් දැක්වූයේ නැහැ. ඔවුන් විනාශ වුණේ ඒ නිසයි. (මතෙව් 24:39) ඒ හා සමානව මේ කාලයේ සිටින මිනිසුන්ද ඔවුන්ගේ එදිනෙදා වැඩකටයුතුවල කොතරම් ඇලී ගැලී සිටිනවාද කියනවා නම් මේ දුෂ්ට සමාජයේ විනාශය ආසන්න බවට තිබෙන සාක්ෂි ගණනකටවත් ගන්නේ නැහැ.—ලූක් 17:30.

5. (අ) යේසුස් අනතුරු ඇඟවීමක් දුන්නේ කාටද? එසේ කළේ ඇයි? (ආ) සමහරුන්ගේ ඇදහිල්ල දුර්වල වී තිබීමට හේතුව කුමක්ද?

5 සාතන්ගේ ලෝකය ඉදිරිපත් කරන දේවල් නිසා තමන්ගේ අනුගාමිකයන් පවා නොමඟ යා හැකි බවත් ඔවුන් ‘අත්හැරිය දේවල් ආපසු ගැනීමට’ යා හැකි බවත් යේසුස්ගේ මනසේ තිබුණා. (ලූක් 17:22, 31) ඇත්තෙන්ම එවැනි දෙයක් සමහරුන්ට සිදු වී තිබෙනවා. මේ අය යෙහෝවා දෙවි මේ දුෂ්ට සමාජය විනාශ කරන දවස පැමිණෙන තෙක් මහත් ආශාවෙන් බලා සිටියා. නමුත් ඔවුන් සිතාගෙන සිටි කාලයේදී විනාශය සිදු නොවූ නිසා ඔවුන් අධෛර්යය වි සිටිනවා. යෙහෝවා දෙවිගේ විනිශ්චය දවස ළඟ බවට තිබූ ඔවුන්ගේ විශ්වාසය අඩු වී තිබෙනවා. මේ නිසා ඔවුන් කරමින් සිටි සේවය ටිකෙන් ටික අඩු කරමින් එදිනෙදා වැඩකටයුතුවලට මුල් තැනක් දීම නිසා ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීමට කළ යුතු දේවල නිරත වීම අඩපණ වී තිබෙනවා. (ලූක් 8:11, 13, 14) කාලයත් සමඟ ඔවුන් ‘අත්හැරිය දේවල් ආපසුගැනීමට’ හැරී යෑම මොන තරම් කනගාටුදායක දෙයක්ද!

‘නිතරම යාච්ඤා කළ’ යුත්තේ ඇයි?

6-8. (අ) වැන්දඹුවගේ හා විනිශ්චයකාරයාගේ උපමාව විස්තර කරන්න. (ආ) යේසුස් එය අදාළ කළේ කෙසේද?

6 යෙහෝවා දෙවි ඔහුගේ පොරොන්දු ඉටු කරන බවට අප තුළ තිබෙන නිසැකකම නොසැලී තබාගැනීම සඳහා අපිට කුමක් කළ හැකිද? (හෙබ්‍රෙව් 3:14) සාතන්ගේ දුෂ්ට ලෝකයට ආපසු යෑම ගැන අනතුරු ඇඟවීමෙන් පසු යේසුස් ඒ ප්‍රශ්නය ගැන කතා කළා.

7 යේසුස් පැවසූ උපමාව ලූක් මෙසේ වාර්තා කරනවා. “නිතරම යාච්ඤා කිරීමෙත් උත්සාහය අත් නොහැරීමෙත් ඇති අවශ්‍යතාව ගැන ඔහු ඔවුන්ට උපමාවක් කීවේය. ‘එක්තරා නුවරක, දෙවිටවත් භය නැති, මිනිසුන්ටද කිසි ගෞරවයක් නොදැක්වූ විනිශ්චයකරුවෙක් සිටියේය. නමුත් ඒ නුවරේ සිටි වැන්දඹුවක් ඔහු වෙතට නිතර ගොස්, ‘මට විරුද්ධව නඩු කියන තැනැත්තා මට කළ දේට යුක්තිය ඉටු කරන්න’ යයි දිගින් දිගටම පැවසුවාය. ඔහු කලක් ඊට අකමැතිව සිටියේය. නමුත් පසුව ඔහු තමාටම මෙසේ කියාගත්තේය: ‘මා දෙවිට භය නැතත් මිනිසුන්ට ගෞරව නොකළත්, මේ වැන්දඹුව මට නිතරම කරදර කරන නිසා, ඇය නිතර ඇවිත් මට බොහෝ වධ නොදෙන පිණිස මම ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නෙමි.’”

8 මේ කතාව පැවසීමෙන් පසු යේසුස් එය මෙසේ අදාළ කළා. “ඒ විනිශ්චයකරු අධර්මිෂ්ඨ වුවත්, ඔහු පැවසූ දේ සැලකිල්ලට ගන්න! එසේනම් දෙවි, දිවා රෑ ඔහුට හඬ නඟන තමා තෝරාගත් අය වෙනුවෙන් නිසැකවම යුක්තිය ඉටුවීමට සලස්වන්නේ නැද්ද? දෙවි ඔවුන් ගැන බොහෝ සෙයින් ඉවසන්නේය. ඔහු ඔවුන්ට ඉක්මනින්ම යුක්තිය ඉටු කර දෙන්නේයයි මම ඔබට කියමි. එසේ වුවත් මනුෂ්‍ය පුත්‍රයා එන විට, පොළොවෙහි ඔහුට ඇදහිල්ල සම්බ වේද?”—ලූක් 18:1-8.

‘මට යුක්තිය ඉටු කර දෙන්න’

9. යේසුස් වැන්දඹුවගේ හා විනිශ්චයකරුගේ උපමාවෙන් පෙන්වා දුන්නේ කුමක්ද?

9 මේ උපමාවේ චරිත දෙකෙන් හා යේසුස් පැවසූ දෙයින් මෙහි මූලික අර්ථය පැහැදිලි කරගත හැකියි. ‘මට යුක්තිය ඉටු කර දෙන්න කියා’ වැන්දඹුව අයැද සිටියා. විනිශ්චයකරු පැවසුවේ ‘මම ඇයට යුක්තිය ඉටු කරන්නෙමි’ කියායි. යේසුස් මෙසේ ඇසුවා. ‘දෙවි යුක්තිය ඉටුවීමට සලස්වන්නේ නැද්ද?’ ඉන්පසු ඔහු යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන ආකාරය ගැන මෙසේ පැවසුවා. ‘ඔහු ඉක්මනින්ම යුක්තිය ඉටු කර දෙයි.’ (ලූක් 18:3, 5, 7, 8) දෙවි විශේෂයෙන්ම ‘යුක්තිය ඉටු කර දෙන්නේ’ කවදාද?

10. (අ) දෙවි පළමුවන සියවසේදී ‘යුක්තිය ඉටු කළේ’ කවදාද? (ආ) වර්තමානයේ සිටින ඔහුගේ සෙනඟට යුක්තිය ඉටු වෙන්නේ කවදාද? කෙසේද?

10 පළමුවන සියවසේදී ‘යුක්තිය ඉටු කරන’ කාලය (‘පළිගැනීමේ දවස්,’ පැරණි අනුවාදය) පැමිණියේ යෙරුසලම හා එහි දේවමාලිගාව විනාශ කළ ක්‍රි.ව. 70දීයි. (ලූක් 21:22) දෙවි වර්තමානයේ සිටින ඔහුගේ සේවකයන්ට යුක්තිය ඉටු කරන්නේ ඔහුගේ ‘මහත් දවසේදීයි.’ (ශෙපනියා 1:14; මතෙව් 24:21) යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟට ‘පීඩා කරන අයට’ ඒ කාලයේදී ‘පීඩා ගෙනෙයි.’ එමෙන්ම යේසුස් “දෙවිව නොදන්නා අයගෙන්ද අපේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු නොවන අයගෙන්ද පළිගන්නේය.”—2 තෙසලෝනික 1:6-8; රෝම 12:19.

11. යුක්තිය “ඉක්මනින්ම” ඉටු කරන්නේ කෙසේද?

11 යෙහෝවා දෙවි “ඉක්මනින්ම” යුක්තිය ඉටු වීමට සලස්වන බව යේසුස් සහතික කළා. මෙය අපි තේරුම්ගන්නේ කෙසේද? යෙහෝවා දෙවි ‘ඉවසුවත්’ නියමිත කාලය පැමිණි විට යුක්තිය ඉටු කිරීමට ප්‍රමාද නොවන බව බයිබලයේ පවසා තිබෙනවා. (ලූක් 18:7, 8; 2 පේතෘස් 3:9, 10) දෙවි නෝවාගේ කාලයේදී ජලගැල්මෙන්ද ලොත්ගේ දවස්වලදී ගින්නෙන්ද දුෂ්ටයන්ව විනාශ කරන්න ප්‍රමාද වුණේ නැහැ. “මනුෂ්‍ය පුත්‍රයා ප්‍රකාශ වීමට නියමිත ඒ දවසේදීද ඒ ආකාරයෙන්ම සිදු වන්නේය” කියා යේසුස් පැවසුවා. (ලූක් 17:27-30) නැවතත් දුෂ්ටයන් පිට ‘ක්ෂණිකව විනාශයක්’ පැමිණෙනවා ස්ථිරයි. (1 තෙසලෝනික 5:2, 3) සාතන්ගේ දුෂ්ට ලෝකය විනාශ කිරීමට කාලය පැමිණි විට යෙහෝවා දෙවි එය දවසකින්වත් ප්‍රමාද නොකරන බව අපිට නිසැකයි.

‘ඔහු යුක්තිය ඉටු කර දෙයි’

12, 13. (අ) වැන්දඹුව සහ විනිශ්චයකරු ගැන යේසුස් පැවසූ උපමාවෙන් ගත හැකි පාඩම කුමක්ද? (ආ) යෙහෝවා දෙවි අපේ යාච්ඤාවලට සවන් දී යුක්තිය ඉටු වීමට සලස්වන බවට අපිට නිසැක විය හැක්කේ ඇයි?

12 වැන්දඹුව හා විනිශ්චයකරුගේ උපමාවෙන් අපිට තවත් වැදගත් සත්‍යයන් පෙන්වා දෙනවා. උපමාව අදාළ වන ආකාරය පහදා දෙමින් යේසුස් මෙසේ පැවසුවා. “ඒ විනිශ්චයකරු අධර්මිෂ්ඨ වුවත්, ඔහු පැවසූ දේ සැලකිල්ලට ගන්න! එසේනම් දෙවි, . . . තමා තෝරාගත් අය වෙනුවෙන් නිසැකවම යුක්තිය ඉටුවීමට සලස්වන්නේ නැද්ද?” යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ට සලකන්නේ විනිශ්චයකරු මෙන් නොවේ කියාත් දෙවි විනිශ්චයකරුට වඩා කොතරම් උතුම්ද කියාත් ඔහු මේ උපමාවෙන් පෙන්වා දුන්නා. දැන් අපි ඒ ගැන සලකා බලමු.

13 යේසුස් උපමාවේ සඳහන් කළ විනිශ්චයකරු “අධර්මිෂ්ඨ” වුණත් ‘දෙවිගේ විනිශ්චයන් ධර්මිෂ්ඨයි.’ (ගීතාවලිය 7:11; 33:5) විනිශ්චයකරු වැන්දඹුව කෙරෙහි සැලකිල්ලක් දැක්වූයේ නැති වුණත් යෙහෝවා දෙවි අපි එක් එක්කෙනා ගැන සැලකිලිමත් වෙනවා. (2 ලේකම් 6:29, 30) විනිශ්චයකරු වැන්දඹුවට උපකාර කරන්න කැමති වුණේ නැහැ. ඒත් යෙහෝවා දෙවි ඔහුට සේවය කරන අය ඔහුගෙන් උපකාර ඉල්ලන විට ඔවුන්ට උපකාර කරන්න ආශාවෙන් බලා සිටිනවා. (යෙසායා 30:18, 19) අපිට මෙම සැසඳීමෙන් ගත හැකි පාඩම කුමක්ද? අධර්මිෂ්ඨ විනිශ්චයකරුවා වැන්දඹුවගේ ඉල්ලීමට සවන් දී ඇයට යුක්තිය ඉටු කර දුන්නා නම් ඊටත් වඩා කොපමණ වැඩියෙන් යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන් කරන යාච්ඤාවලට සවන් දී ඔවුන්ට යුක්තිය ඉටු නොකරයිද!—හිතෝපදේශ 15:29.

14. ‘යෙහෝවා දෙවිගේ මහත් දවස’ ළඟ බවට තිබෙන අපේ විශ්වාසය දුර්වල වීමට ඉඩ නොදිය යුත්තේ ඇයි?

14 මේ අනුව ‘යෙහෝවා දෙවිගේ මහත් දවස’ ළඟ බවට තිබෙන තමන්ගේ විශ්වාසය දුර්වල කරගන්න අය කරන්නේ බරපතළ වරදක්. ඔවුන් කරන්නේ දෙවිට ඔහුගේ පොරොන්දු ඉටු කරන්න පුළුවන්ද කියා ප්‍රශ්න කිරීම හා සමාන දෙයක්. නමුත් එසේ කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. (යෝබ් 9:12) අපි කළ යුතු නැණවත්ම දෙය වන්නේ ‘මම දිගටම ඇදහිල්ලවන්තව සිටියිද’ කියා අපෙන්ම අසා ගැනීමයි. යේසුස් මේ උපමාවෙන් කාවද්දන්නේ ඒ කාරණයයි. ඒ බව ඔහු උපමාව අවසානයේදී නැඟූ ප්‍රශ්නයෙන් පැහැදිලි වෙනවා.

“පොළොවෙහි ඔහුට ඇදහිල්ල සම්බ වේද?”

15. (අ) යේසුස් නැඟූ ප්‍රශ්නය කුමක්ද? එසේ කළේ ඇයි? (ආ) අපි හොඳින් සිතා බැලිය යුතු ප්‍රශ්නය කුමක්ද?

15 යේසුස් උපමාව අවසන් කළේ මෙම ප්‍රශ්නය ඇසීමෙනුයි. “මනුෂ්‍ය පුත්‍රයා එන විට, පොළොවෙහි ඔහුට ඇදහිල්ල සම්බ වේද?” (ලූක් 18:8) මෙහිදී යේසුස් “ඇදහිල්ල” කීමෙන් අදහස් කළේ සාමාන්‍ය ඇදහිල්ලක් ගැන නොව, වැන්දඹුවට ඇගේ ඉල්ලීම ඉටු වෙයි කියා තිබූ ස්ථිර විශ්වාසය හා සමාන විශේෂ ඇදහිල්ලක් ගැනයි. යේසුස් තමන් නැඟූ ප්‍රශ්නයට උත්තර දුන්නේ නැහැ. ඔහු ඒ ප්‍රශ්නය ඇසුවේ ගෝලයන්ට ඔවුන්ගේ ඇදහිල්ල ගැන ගැඹුරින් සිතා බලන්නයි. ඔවුන් අත් හැරිය දේවලට නැවත හැරී යන තරමට ඔවුන්ගේ ඇදහිල්ල ටිකෙන් ටික දුර්වල වෙමින් තිබුණාද? එසේත් නැත්නම් වැන්දඹුව පෙන්වූ ස්ථිර විශ්වාසයක් හා සමාන ඇදහිල්ලක් ඔවුන්ටත් තිබුණාද? අපිත් මේ ප්‍රශ්නය හොඳින් සිතට ගත යුතුයි. ‘මනුෂ්‍ය පුත්‍රයාට මා තුළ දකින්න තිබෙන්නේ මොන වගේ ඇදහිල්ලක්ද?’

16. වැන්දඹුවට තිබුණේ මොන වගේ විශ්වාසයක්ද?

16 යෙහෝවා දෙවි යුක්තිය ඉටු කර දෙන අය අතර අපත් සිටින්න නම් වැන්දඹුව මෙන් අපිත් ක්‍රියා කළ යුතුයි. ඇයට තිබූ ස්ථිර විශ්වාසය පෙන්වමින් ‘මට යුක්තිය ඉටු කර දෙන්න කියා’ ඇය විනිශ්චයකරුගෙන් අත් නෑර ඉල්ලා සිටියා. ඇය අධර්මිෂ්ඨ මිනිසෙකුගෙන් නොකඩවා ඉල්ලමින් යුක්තිය ඉටු කරගත්තා නම්, යෙහෝවා දෙවි අපට යුක්තිය ඉටු කරදෙන බවට අපිට කොතරම් නිසැක විය හැකිද! අපි සිතුවාට වඩා වැඩි කාලයක් ගත වී තිබුණත් දෙවි අනිවාර්යයෙන්ම යුක්තිය ඉටු කරනවා. යෙහෝවා දෙවිට ‘දිවා රෑ හඬ නඟමින්’ අත් නෑර යාච්ඤා කිරීමෙන් ඔහුගේ පොරොන්දු කෙරෙහි තිබෙන අපේ දැඩි විශ්වාසය පෙන්වමු. (ලූක් 18:7) යුක්තිය ඉල්ලා යෙහෝවා දෙවිට යාච්ඤා කිරීම යමෙක් නතර කරනවා නම්, එයින් පෙනී යන්නේ දෙවි තමන්ගේ සේවකයන් වෙනුවෙන් නියමිත කාලයේදී ක්‍රියා කරන බවට වූ ඔහුගේ විශ්වාසය දුර්වල වී තිබෙන බවයි.

17. නොකඩවා යාච්ඤා කරමින් අපේ විශ්වාසය ශක්තිමත්ව තබාගැනීමට අපට තිබෙන හේතු මොනවාද?

17 වැන්දඹුවගේ තත්වය ගැන සලකා බැලීමෙන් පෙනී යන්නේ නොකඩාව යාච්ඤා කිරීම සඳහා අපට හොඳ හේතු තිබෙන බවයි. ඇගේ තත්වය සහ අපේ තත්වය අතර තිබෙන වෙනස්කම් කිහිපයක් සලකා බලමු. විනිශ්චයකරුගෙන් දිගටම ඉල්ලන්න කියා කිසිවෙක් ඇයව දිරිගැන්වූයේ නැහැ. ඒත් “නොකඩවා යාච්ඤා කරන්න” කියා අපට දේවවචනයෙන් බොහෝ දිරිගැන්වීම් ලැබෙනවා. (රෝම 12:12) වැන්දඹුවට ඇගේ ඉල්ලීම් ලැබෙයි කියා කිසිම සහතිකයක් තිබුණේ නැහැ. ඒ වුණත් යුක්තිය ඉටු කර දෙන බවට යෙහෝවා දෙවි අපිට සහතික වී තිබෙනවා. තමා යුක්තිය ඉටු කරන දවස ගැන ඔහු අනාගතවක්තෘ හබක්කුක් මාර්ගයෙන් මෙසේ පැවසුවා. “ඒක ප්‍රමාද වෙතත් ඒ ගැන බලා සිටින්න. මක්නිසාද ඒක සැබවින් ප්‍රමාද නොවී එන්නේය.” (හබක්කුක් 2:3; ගීතාවලිය 97:10) වැන්දඹුවට ඇගේ ඉල්ලීම ලබාගැනීම සඳහා ඇයට උපකාර කරන්න කිසිවෙක් සිටියේ නැහැ. ඒත් අපට උපකාර කරන්න බලවත් පුද්ගලයෙක් වන යේසුස් සිටිනවා. “දෙවිගේ දකුණු පැත්තේ සිට අප වෙනුවෙන් අයැදින්නෙත් ක්‍රිස්තුස් යේසුස්ය.” (රෝම 8:34; හෙබ්‍රෙව් 7:25) වැන්දඹුව එවැනි දුෂ්කර තත්වයන් මැද පවා තමන්ට යුක්තිය ඉටු වෙයි යන විශ්වාසය ඇතිව විනිශ්චයකරුගෙන් දිගටම අයැද සිටියා නම් යෙහෝවා දෙවිගේ විනිශ්චය දවස ස්ථිරවම පැමිණෙන බවට වූ අපේ විශ්වාසය අප මොන තරම් ශක්තිමත්ව තබාගත යුතුද!

18. අපේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගන්නත් යුක්තිය ඉටු වෙනවා දකින්නත් යාච්ඤාව උපකාරවත් වන්නේ කෙසේද?

18 යාච්ඤාව සහ ඇදහිල්ල අතර සමීප සම්බන්ධයක් තිබෙන බව වැන්දඹුවගේ උපමාවෙන් අපට ඉගෙනගත හැකියි. අපි නොකඩවා යාච්ඤා කරනවා නම් අපේ ඇදහිල්ල දුර්වල වීමට හේතු වන බලපෑම්වලට එරෙහි වීමට අපිට හැකියි. ඒත් අන් අයට පෙනෙන්න කරන යාච්ඤාවලින් ඇදහිල්ල ශක්තිමත් වෙන්නේ නැහැ. (මතෙව් 6:7, 8) අපිට සැමවිටම දෙවිගේ උපකාරය අවශ්‍යයි යන හැඟීමෙන් යාච්ඤා කරනවා නම් අපිට දෙවිට ළං විය හැකි අතර අපේ ඇදහිල්ලද එමගින් ශක්තිමත් වෙයි. ගැලවීම සඳහා ඇදහිල්ල අත්‍යවශ්‍යයි. ‘නිතරම යාච්ඤා කරන්න, උත්සාහය අත් නොහරින්න’ කියා යේසුස් ඔහුගේ ගෝලයන්ව දිරිගැන්වූයේ ඒ නිසයි. (ලූක් 18:1; 2 තෙසලෝනික 3:13) අපි යාච්ඤා කළත් නැතත් ‘යෙහෝවා දෙවිගේ දවස’ පැමිණෙනවාමයි. ඒත් අපිට යුක්තිය ඉටු වීම හා දෙවිගේ මහත් දවසේ යුද්ධයෙන් බේරී ජීවත් වීම රඳා පවතින්නේ අපේ ඇදහිල්ල හා අප නොකඩවා යාච්ඤා කිරීම මතයි.

19. යෙහෝවා දෙවි ‘යුක්තිය ඉටු වීමට සලස්වන’ බවට වූ අපේ ස්ථිර විශ්වාසය අපි පෙන්වන්නේ කෙසේද?

19 “මනුෂ්‍ය පුත්‍රයා එන විට, පොළොවෙහි ඔහුට ඇදහිල්ල සම්බ වේද?” කියා යේසුස් ඇසුවා ඔබට මතක ඇති. ඒ ප්‍රශ්නයට ඔව් කියා එකහෙළාම පැවසිය හැකියි. ඊට හේතුව වර්තමානයේ ලොව පුරා සිටින යෙහෝවා දෙවිට සේවය කරන මිලියන ගණනක් දිගටම ඇදහිලිවන්තව සිටීමෙන් එම වැන්දඹුවට තිබුණා හා සමාන ඇදහිල්ලක් ඔවුන්ටත් තිබෙන බව ඔප්පු කර තිබෙන නිසයි. ඔවුන් යාච්ඤාවේ නියැලීමෙන්, ඉවසිලිවන්තව බලා සිටීමෙන් ඒ බව පෙනී යනවා. අපි සාතන්ගේ ලෝකයේ අයුක්තියට හා අසාධාරණකම්වලට ලක් වුණත්, යෙහෝවා දෙවි ‘තමන් තෝරාගත් අය වෙනුවෙන් යුක්තිය ඉටු වීමට සලස්වයි’ යන විශ්වාසය අපි කවදාවත් අත් හරින්නේ නැහැ.

[පාදසටහන]

^ 3 ඡේ. අවට පාඨ සලකා බැලීමෙන් මේ උපමාව කොතරම් වැදගත්ද කියාත් යේසුස් කතා කළ කාලපරිච්ඡේදය කුමක්ද කියාත් තේරුම් ගැනීමට ලූක් 17:22-33 දක්වා කියවන්න. ලූක් 18:8හි සඳහන් ප්‍රශ්නයෙන් අදහස් කරන්නේ කුමක්ද කියා තේරුම්ගැනීමට ලූක් 17:22, 24, 30 යන වගන්තිවල සඳහන් “මනුෂ්‍ය පුත්‍රයා” නමැති යෙදුම අපට උපකාරවත් වෙනවා.

ඔබට මතකද?

• සමහර අයගේ ඇදහිල්ල දුර්වල වී තිබෙන්නේ ඇයි?

• යෙහෝවා දෙවිගේ විනිශ්චය දවස අනිවාර්යයෙන්ම පැමිණෙන බව අපට විශ්වාස කළ හැක්කේ ඇයි?

• නොකඩවා යාච්ඤා කිරීමට අපට තිබෙන හේතු මොනවාද?

• අපේ ඇදහිල්ල දුර්වල නොවී තබාගැනීමට නොකඩවා යාච්ඤා කිරීම උපකාරවත් වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

වැන්දඹුව හා විනිශ්චයකරුගේ උපමාවෙන් පෙන්වා දෙන්නේ කුමක්ද?

[29වන පිටුවේ පින්තූර]

යෙහෝවා දෙවි ‘යුක්තිය ඉටු වීමට සලස්වන’ බවට මිලියන ගණනක් විශ්වාස කරනවා