යේසුස්ගේ උපත ලොවට සාමය උදා කරන අයුරු
යේසුස්ගේ උපත ලොවට සාමය උදා කරන අයුරු
යේසුස්ගේ උපත ලොවට ‘සාමය’ උදා කරන බවට එදා දේවදූතයන් එඬේරුන්ට පැවසූ අනාවැකිය, යේසුස්ගේ උපත ගැන ශුද්ධ බයිබලයේ සඳහන් එකම අනාවැකිය නොවෙයි. ඊට පෙර දේවදූතයන් ඒ ගැන තවත් අනාවැකි මරියාට හා යෝසෙප්ට පවසා තිබුණා. මේ අනාවැකි සලකා බැලීමෙන් යේසුස්ගේ උපතේ වැදගත්කම හා එමගින් ලොවට සාමය උදා වන අයුරු අපට හොඳින් තේරුම්ගත හැකියි.
යේසුස්ගේ උපත ගැන ගාබ්‍රියෙල් දේවදූතයා මරියාට මුලින්ම පවසන විට ඇය ගැබ් ගෙනවත් තිබුණේ නැහැ. ගාබ්‍රියෙල් මරියාව හමු වී මෙසේ පැවසුවා. “බොහෝ සෙයින් ප්‍රසාදය ලද තැනැත්තිය, ඔබට සුබ දවසක් වේවා! යෙහෝවා ඔබ සමඟය.” මෙය ඇසූ මරියා කැලඹී බියට පත් වුණා. දේවදූතයා එලෙස ඇයට ආමන්ත්‍රණය කළේ ඇයි?
එය පැහැදිලි කරමින් ගාබ්‍රියෙල් දේවදූතයා මෙසේ පැවසුවා. “බලන්න! ඔබ පිළිසිඳගෙන පුතෙකු බිහි කරන්නෙහිය. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතුය. ඔහු ශ්‍රේෂ්ඨ වන්නේය. ඔහුට මහෝත්තමයාණන්ගේ පුත්‍රයායයි කියනු ලබන්නේය. යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙන්නේය. ඔහු යාකොබ්ගේ වංශය කෙරෙහි සදහටම රජකම් කරන්නේය. ඔහුගේ රාජ්‍යය අවසන් නොවන්නේය.” තවමත් කන්‍යාවක්ව සිටින තමන්ට දරුවෙක් ලැබෙන්නේ කෙසේද කියා ඇය පුදුමයෙන් ඇසුවා. එය සිදු වන්නේ දෙවිගේ බලයෙන් බව පැවසූ ගාබ්‍රියෙල් දේවදුතයා මේ දරුවා වෙනත් දරුවන්ට වඩා වෙනස් බවත් සඳහන් කළා.—ලූක් 1:28-35.
පුරෝකථනය කළ රජෙක්
මේ වදන්වලට අනුව තමන් බිහි කිරීමට යන දරුවා අනාවැකිවල පවසා තිබෙන දරුවා බව මරියා තේරුම් ගන්න ඇති. මෙයට හේතුව තම පුත්‍රයාට “ඔහුගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය” දෙවි ලබා දෙන බව ගාබ්‍රියෙල් පැවසූ නිසයි. මරියා ඇතුළු ශුද්ධ ලියවිලි ගැන හොඳ අවබෝධයක් තිබූ ඕනෑම යුදෙව්වෙකුට මේ වදන් ඇසෙද්දී මේ කතා කරන්නේ දාවිත්ට දෙවි දුන් පොරොන්දුව ගැන බව තේරුම්ගන්නවා නිසැකයි.
යෙහෝවා දෙවි දාවිත්ට අනාගතවක්තෘ නාතාන් මාර්ගයෙන් මෙම පොරොන්දුව දුන්නා. “ඔබේ වංශයද රාජ්‍යයද ඔබ ඉදිරිපිට සදාකල්ම ස්ථිරව පවතින්නේය. ඔබේ සිංහාසනයද සදාකල් පිහිටුවනු ලබන්නේය.” (2 සාමුවෙල් 7:4, 16) මීට අමතරව දාවිත් ගැන දෙවි මෙසේද පවසා තිබුණා. මම “ඔහුගේ වංශය සදාකල්ද සිංහාසනය ස්වර්ගයෙහි දවස් මෙන්ද පවතින්ට සලස්වන්නෙමි. . . . ඔහුගේ වංශය සදාකල්ද ඔහුගේ සිංහාසනය මා ඉදිරියෙහි සූර්යයා මෙන්ද පවතින්නේය.” (ගීතාවලිය 89:20, 29, 35, 36) දාවිත්ගේ පෙළපතින් පැමිණෙන අනාගතයේදී රජ වන මෙම තැනැත්තාව බිහි කිරීමට එම පෙළපතින්ම පැමිණි යෝසෙප් හා මරියා යන දෙදෙනාව තෝරාගෙන තිබෙන්නේ හොඳ හේතු ඇතිව බව පැහැදිලියි.
මෙම අනාගත රජ ගැන හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ සඳහන් වන්නේ ඒ අනාවැකි විතරක් නොවෙයි. යෙසයා පොතෙත් මෙසේ සඳහන් වෙනවා. “අපට ළදරුවෙක් උපන්නේය. අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. ආණ්ඩුව ඔහුගේ කර පිට තිබෙන්නේය. ඔහුව උතුම් උපදේශකයාණෝ කියාද, බලවත් දෙවි කියාද, සදාකාල පියාණෝ කියාද සමාදානයේ කුමාරයා කියාද හඳුන්වයි. මෙතැන් පටන් සදහටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් ස්ථිරව පිහිටුවනු පිණිස ඔහු යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද රජකම් කරයි. ඔහුගේ ආණ්ඩුව පොළොව පුරා පැතිරෙයි. සමාදානය සදහටම පවතියි. ස්වර්ගීය සේනාවල අධිපති වන යෙහෝවා දෙවිට තිබෙන දැඩි උනන්දුව නිසා ඔහු මෙය ඉටු කරන්නේය.” (යෙසායා 9:6, 7 නව ලොව පරිවර්තනය) මේ අනාවැකිය ගැනත් මරියා දැන සිටින්න ඇති.
ඉහත අනාවැකියෙන් පෙනී යන ආකාරයට මරියා බිහි කරන දරුවා දාවිත් රජුගේ සිංහාසනය උරුම කරගන්නවා. මින් අදහස් කරන්නේ දෙවි ස්වර්ගයේ පිහිටුවන රාජ්‍යයේ සදාකාලික රජු
යේසුස් බවයි. මේ අනුව බලද්දී ගාබ්‍රියෙල් මරියාට පැවසූ ලෙස යේසුස්ගේ උපත ආශ්චර්යවත් උපතකට වඩා වැඩියමක් බව පැහැදිලියි. එනිසා ගාබ්‍රියෙල් පැවසූ අනාවැකි අපගේ ජීවිතයටත් බොහෝසෙයින් බලපානවා.මරියා ගැබ්ගෙන සිටින බව ඇය සමඟ විවාහ ගිවිස ගෙන සිටි යෝසෙප් දැනගත් විට ඇයව අත් හැරීමට ඔහු තීරණය කළා. තමන් කෙදිනකවත් ඇය සමඟ කායික සබඳතාවක් පවත්වා නැති නිසා ලැබෙන්න සිටින දරුවා තමන්ගේ නොවෙයි කියා ඔහු දැන සිටියා. මරියා තමන් ගැබ්ගත් ආකාරය ගැන කළ පැහැදිලි කිරීම පිළිගන්න යෝසෙප්ට කොතරම් අමාරු වෙන්න ඇද්ද කියා අපිට තේරුම්ගන්න පුළුවන්. ඉන්පසු සිදු වූ දෙය ගැන බයිබලයේ මෙසේ වාර්තා කරනවා. “යෙහෝවාගේ දූතයා සිහිනයකින් ඔහුට පෙනී මෙසේ කීවේය: දාවිත්ගේ පුත් යෝසෙප්, ඔබේ බිරිඳ වන මරියාව නිවසට කැන්දාගෙන යන්න භය නොවන්න. මන්ද ඇය තුළ දරුවා පිළිසිඳගෙන තිබෙන්නේ ශුද්ධාත්මය මාර්ගයෙනි. ඈ පුතෙකු බිහි කරන්නීය. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතුය. මන්ද ඔහු තම ජනයාව ඔවුන්ගේ පාපවලින් ගලවාගන්නේය,”—මතෙව් 1:20, 21.
මරියා බිහි කරන දරුවා “තම ජනයාව ඔවුන්ගේ පාපවලින් ගලවාගන්නේ” කෙසේද කියා යෝසෙප් කොතෙක් දුරට තේරුම්ගත්තාද කියා බයිබලයේ පවසා නැහැ. කෙසේවෙතත් මරියා කිසි වරදක් කර නොතිබූ බව දේවදූතයා පැවසූ දේ නිසා යෝසෙප් තේරුම්ගත්තා. එනිසා ඔහු මරියාව තම භාර්යාව හැටියට පිළිගෙන ඇයව ඔහුගේ නිවසට කැන්දාගෙන ගියා.
යේසුස් ‘ජනයාව ඔවුන්ගේ පාපවලින් ගලවා ගන්නවා’ කියා දේවදූතයා පැවසූ දෙය බයිබලයේ වෙනත් තැන්වල තිබෙන කරුණු සලකා බැලීමෙන් අපිට තේරුම්ගන්න පුළුවන්. මිනිස් ඉතිහාසයේ ආරම්භයේදීම යෙහෝවා දෙවිට අකීකරු වූ දේවදූතයෙක් දෙවිගේ පාලනය අසාධාරණ බවත් පීඩාවලට මුහුණ දෙන්න සිදු වුණොත් කිසිම මිනිසෙක් දෙවිට විශ්වාසවන්තව සිටින්නේ නැති බවත් පවසමින් ඔහුට චෝදනා කළා. (උත්පත්ති 3:2-5; යෝබ් 1:6-12) සාතන්ගේ ඒ චෝදනාවට පිළිතුරු දෙන්න ආදම් අසමත් වූ නිසා සියලුම මිනිසුන්ට පාපය හා මරණය උරුම වුණා. (රෝම 5:12; 6:23) මිනිසුන්ව එයින් මුදවාගැනීම සඳහා ආදම් නැති කරගත් ජීවිතය හා සමාන, පාපයෙන් තොර පරිපූර්ණ ජීවිතයක් පූජා කිරීම අවශ්‍ය වුණා. යේසුස් ඉපදුණේ කිසිම මිනිසෙකුට දාව නොවන නිසා ඔහුට තිබුණේ එවැනි පරිපුර්ණ ජීවිතයක්. යේසුස් මිනිසාව පාපයෙන් හා මරණයෙන් මුදාවාගෙන සදාකාල ජීවිතය ලබා දීම සඳහා තමන්ගේ පරිපූර්ණ ජීවිතය කැමැත්තෙන්ම පූජා කළා.—1 තිමෝති 2:3-6; තීතස් 3:6, 7; 1 යොහන් 2:25.
යේසුස් මේ පොළොවේ සේවය කළ කාලයේදී ඔහු සෑම ආකාරයකම ලෙඩ රෝග සුව කළා. ඒ විතරක් නෙවෙයි, මිය ගිය අයව පවා නැවත නැඟිට්ටෙව්වා. (මතෙව් 4:23; යොහන් 11:1-44) ඔහු එවැනි දේවල් කළේ පාපයෙන් තොර ජීවිතය මොන වගේ එකක්ද කියාත් තමන් අනාගතයේදී මෙවැනි දේවල් විශාල වශයෙන් කරනවා කියාත් මිනිසුන්ට පෙන්වා දීම සඳහායි. ඉදිරියේදී ඔහු මිය ගොස් සිටින අයව නැවත නැඟිටුවන බව ඔහුම පැවසූ මේ වචනවලින් පෙනී යනවා. “සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට ඔහුගේ [මාගේ] හඬ ඇසෙන පැය පැමිණෙන්නේය.”—යොහන් 5:28, 29.
මේ පොරොන්දුව ගැන සිතන විට යේසුස්ගේ උපත, විශේෂයෙන්ම ඔහුගේ ජීවිත පූජාව අපිට අනාගතයේදී කොතරම් වැදගත්ද කියා පැහැදිලියි. දෙවි තම පුත්‍රයාව ලෝකයට එව්වේ “ඔහු මාර්ගයෙන් ලෝකය ගලවන පිණිසය” කියා යොහන් 3:17හි සඳහන් වෙනවා. මේ වදන් ඇසෙන විට අපිට සිහිපත් වන්නේ යේසුස් ඉපදුණු රාත්රියේදී දේවදූතයන් බැටළුවන් බලාගනිමින් සිටි එඬේරුන්ට පැවසූ වචනයි.
“මහත් ප්‍රීතියක් පිළිබඳ ශුභාරංචියක්”
“ස්වාමීන් වන ක්‍රිස්තු” කියා හඳුන්වන ‘ගැලවුම්කරුවෙකුගේ’ උපත ගැන දේවදූතයන් දැනුම් දුන් අවස්ථාව මුළු මහත් මිනිස්වර්ගයාටම ‘මහත් ප්‍රීතියක් උපදවන ශුභාරංචියක්’ වුණා. (ලූක් 2:10, 11) දෙවිගේ සෙනඟ කාලයක් තිස්සේ බලා සිටියේ අනාගතවක්තෘවරයා හා ආණ්ඩුකාරයා වන මේ ගැලවුම්කරු පැමිණෙන තුරුයි. (ද්විතීය කතාව 18:18; මීකා 5:2) යේසුස් මේ පොළොවට පැමිණ ගත කළ ජීවිතයෙන් හා ඔහුගේ ජීවිත පූජාවෙන් යෙහෝවා දෙවි පාලනය කරන ආකාරය ගැන සාතන් කර තිබෙන චෝදනාවට පිළිතුරක් ලැබුණා. “ඉතා උස් තැන්හි දෙවිට මහිමය . . . වේවා!” කියා දේවදූතයන් ප්‍රීතියෙන් ගායනා කළේ ඒ නිසයි.—ලූක් 2:14.
බයිබලයේ යේසුස්ව “අන්තිම ආදම්” කියා හඳුන්වා තිබෙනවා. (1 කොරින්ති 15:45) මෙසේ කර තිබෙන්නේ යේසුස් පරිපූර්ණව සිටි ආදම්ට සමාන මිනිසෙක් වූ නිසයි. නමුත් ආදම් මෙන් නොව ඕනෑම දරුණු පීඩාවකදී පවා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටින්න මිනිසුන්ට හැකි බව යේසුස් පෙන්නුවා. මෙසේ සාතන් බොරුකාරයෙක් බව යේසුස් ඔප්පු කළා. මේ ගැන දේවදූතයන් බොහෝ සේ ප්‍රීති වුණා.
කෙසේවෙතත් යේසුස් ඉපදුණු රාත්රියේදී දේවදූතයන් පැවසූ දෙය ඇත්තටම සැබෑවක් වෙයිද? ඔව්, එය අනිවාර්යෙන්ම ඉටු වෙනවාමයි. මේ පොළොව යළිත් පාරාදීසයක් බවට පත් කිරීමට වූ දෙවිගේ අරමුණ ඉටු කිරීම සඳහා මිහිපිට සාමය තිබිය යුතුයි. ලොව පුරාම සාමය පවතින ඒ කාලයේදී සියලුම ජනයා එකිනෙකාට ප්‍රේමය පෙන්වමින් දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා දැකිය හැකියි. දෙවිගේ මේ අරමුණ ඉටු වීමට නම් ඔහුගේ පාලනයට විරුද්ධ වන සෑම කෙනෙකුවම මේ පොළොවෙන් ඉවත් කර දැමිය යුතුයි. මෙය සාතන්ගේ පැත්ත ගෙන සිටින අයට නම් ශුභාරංචියක් නොවෙයි.—ගීතාවලිය 37:11; හිතෝපදේශ 2:21, 22.
දේවදූතයන් එඬේරුන්ට පැවසුවේ ‘සාමය’ භුක්ති විඳින්නේ ‘දේවප්‍රසාදය ලත් මිනිසුන්’ පමණක් බවයි. යෙහෝවා දෙවි කෙරෙහි අවංක ඇදහිල්ලක් තිබෙන එවැනි අය යේසුස්ගේ අඩි පාරේ ගමන් කරනවා. මේ අය අවුරුද්දේ දවස් කිහිපයකට පමණක් නොව මුළු අවුරුද්ද පුරාම ත්‍යාගශීලීව අන් අයට දයානුකම්පාව පෙන්වන්නේ ඔවුන් යේසුස්ගේ අඩි පාරේ යන නිසයි.
අවුරුද්ද පුරාම යේසුස්ගේ අඩි පාරේ යමින්
යේසුස් දේශනා කළ ශුභාරංචිය දහස් ගණනක් පිළිගෙන, ඊට එකඟව තමන්ගේ ජීවිත හැඩගස්වා ගැනීමෙන් පෙනී යන්නේ එය කොතරම් බලවත්ද කියායි. කාලයක් තමන් ගැන පමණක් සිතූ බොහෝදෙනෙක් දැන් උත්සාහ කරන්නේ යේසුස් වගේ සිතමින් ක්‍රියා කරන්නයි. කලින් තමන්ට දේවල් රැස් කරගන්න කාලය වැය කළ අය යෙහෝවා දෙවිට සේවය කිරීමේ වටිනාකම තේරුම්ගෙන තිබෙනවා. මේ අය බයිබලය ගැන ඉගෙන ගෙන තිබෙන දේවල් හා තමන් සතු දේවල් අන් අය සමඟ බෙදා ගන්නේ මහත් සතුටින්. මොවුන් යම් විශේෂ කාලයකට පමණක් ත්‍යාගශීලී නොවී අවුරුද්ද පුරාම
එසේ කරනවා. සැබෑ ක්‍රිස්තියානියෙකුගෙන් බලාපොරොත්තු විය යුත්තේ එවැනි දෙයක් නොවෙයිද!සියලුම අවංක අය දේවදූතයන් සාමය ගැන දුන් පණිවිඩය ගැන සිතන්නත් ඊට එකඟව ක්‍රියා කරන්නත් පියවර ගන්නවා නම් මේ ලෝකය මීට වඩා ලස්සන තැනක් වේවි.
දෙවිගේ ප්‍රසාදය ලත් සියලුදෙනාටම සැබෑ සාමය සදහටම භුක්ති විඳින්න හැකි වන බව යේසුස්ගේ උපත හා සම්බන්ධ සියලුම අනාවැකිවලින් තහවුරු වෙනවා. ඔබෙත් ආශාව එවැනි සාමයක් භුක්ති විඳින්න නොවෙයිද? යේසුස්ගේ උපත දැන්වූ දේවදූතයන් ලොවට සාමය උදා වන බවට පැවසූ ඒ ශ්‍රේෂ්ඨ අනාවැකිය අනිවාර්යයෙන්ම ඉටු වෙනවාමයි. නත්තල් සමයේ වචනවලට පමණක් සීමා වන සාමය යථාර්ථයක් වන කාලය වැඩි ඈතක නැහැ.
[7වන පිටුවේ පින්තූර]
සැබෑ ක්‍රිස්තියානියෙක් අවුරුද්ද පුරාම ත්‍යාගශීලීකම පෙන්වයි