Skip to content

පටුනට යන්න

සුන්දර හයිටි දිවයින පුරා ශුභාරංචිය පැතිරේ

සුන්දර හයිටි දිවයින පුරා ශුභාරංචිය පැතිරේ

සුන්දර හයිටි දිවයින පුරා ශුභාරංචිය පැතිරේ

හයිටි නම් මේ සුන්දර රට පිහිටා තිබෙන්නේ හිස්පැන්යෝලා නම් බටහිර ඉන්දීය කොදෙව් දූපතේ බටහිර දෙසිනුයි. මෙම දූපතේ නැඟෙනහිර දෙසින් ඩොමිනික් ජනරජය පිහිටා තිබෙනවා. කොදෙව් දුපත් අතරින් උසම කඳු පිහිටා තිබෙන්නේ මේ දූපතේයි. මෙහි සමහර කඳු මීටර් 2,400කට වඩා උසයි. සීත කාලයේදී කඳු ප්‍රදේශවල තිබෙන කුඩා පොකුණු තුනී අයිස් තට්ටුවකින් වැසී යනවා.

හයිටිවල දකුණු දෙසින් පිහිටා තිබෙන කඳු සහ නිම්න කාගෙත් සිත් ගන්නේ ඒවා සශ්‍රීක ගස්වැල්වලින් වැසී තිබෙන නිසයි. ඒත් සමහර ප්‍රදේශවල පිහිටා තිබෙන කඳුකරයේ කැලෑ එළි කිරීම නිසා ඒවා මුඩු බිම් බවට පත් වී තිබෙනවා. නමුත් හයිටි රටේ උතුරට ගියත් දකුණට ගියත් ඔබට සෑම තැනකම මනස්කාන්ත දර්ශන දැක ගත හැකියි. කඳුකරයේ පිහිටි මාර්ග ඔස්සේ යද්දී ඒ දෙපස නෙත ගැටෙන අලංකාර දර්ශන මෙතෙක් යැයි කියා නිම කරන්න බැහැ. බැලූ බැලූ හැම තැනම දක්නට ඇත්තේ මුහුදේ සහ ගොඩබිමේ මනබඳින දර්ශනයි. විවිධ වර්ණවලින් සැරසී සිටින අලංකාර මල් දසත විහිදී පරිසරය තවත් ප්‍රියකරු තැනක් කරනවා.

මෙම සුන්දර රටේ වාසය කරන මිලියන 8.3ක පමණ ජනයා අප්‍රිකානු සම්භවයකින් පැවතෙන්නන්. ඔවුන් එතරම් වත් පොහොසත්කම් තිබෙන අය නොවුණත් ඉතා කරුණාවන්ත මෙන්ම ආගන්තුක සත්කාරයට ලැදී සෙනඟක්. යෙහෝවාගේ සාක්ෂිකරුවන් අවුරුදු 60ක පමණ කාලයක සිට ඒ දුපතේ වැසියන්ට ශුභාරංචිය දේශනා කරන අතර ඔවුන් සාක්ෂිකරුවන්ව ආදරයෙන් පිළිගෙන තිබෙනවා.—මතෙව් 24:14.

ඈත පිහිටි නගරවල දේශනා කිරීම

වෙනත් රටක සිට එම රටට සේවය කිරීම සඳහා පැමිණි සහෝදරියකගේ අද්දැකීම සලකා බලමු.

“අපි පදිංචි වෙලා හිටියේ හයිටි දුපතේ අගනුවර වන පොර්ටෝ ඕ ප්‍රින්ස් ඉඳන් කිලෝ මීටර් 30ක් ඈතින් පිහිටි කැබරේ කියන නගරයේයි. වර්ෂ 2003 මාර්තු මාසේ එක දවසක් අපි පදිංචි වෙලා හිටපු තැන ඉඳන් පැය භාගයක් පමණ දුරින් පිහිටි කුඩා නගරයක් වන කසාල් නගරයට සේවය සඳහා ගියා. සාක්ෂිකරුවන් සේවය සඳහා ඒ නගරයට අන්තිමට ගිහිල්ලා තිබුණේ 1999දීයි. ඉතිං අපි උදේ 7ට ගමන යන්න ආරම්භ කරද්දී අපිට දැනුණේ ලොකු සතුටක්. අපි ඒ ගමන ගියේ වෑන් රථ දෙකකින්. අපේ සභාවේ හැමෝම වාගේ ඒ කියන්නේ 22දෙනෙක් ඒ ගමනට ආවා. දුෂ්කර පාරවල් ඔස්සේ කඳු බෑවුම් දිගේ යනකොට අපි හැමෝම කතා කරමින් ප්‍රීතියෙන් කාලේ ගෙව්වා. අපේ ගමන නිමා වුණේ විශාල ගස් ඇති ප්‍රදේශයකිනුයි. ඒ ප්‍රදේශය මැදින් ගඟක් ගලා යනවා. කසාල් නගරය පිහිටා තිබුණේ ඒ ගඟ ආශ්‍රිතවයි.

“මේ නගරයේ ඉතිහාසය පෝලන්ත හමුදා භටයන් මේ රටට පැමිණි 1800තරම් ඈත අතීතය දක්වා දිව යනවා. මේ හමුදා භටයන් පැමිණියේ ඒ කාලයේදී හයිටි රටේ සිටි වහලුන්ට නිදහස ලබා දීම සඳහායි. නමුත් කාලයත් සමඟ මේ භටයන් හයිටි ස්ත්‍රීන් සමඟ විවාහ වී එහි පදිංචි වුණා. හයිටිවල විවිධ සමේ පාටින් යුත් මිනිසුන්ව දැක ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසයි. සමහර අය සුදුයි. තවත් සමහර අය තලෙළුයි. සමේ පාට විතරක් නෙවෙයි ඇස්වල පාටත් වෙනස්. සමහර අයට දුඹුරු ඇස් තිබුණු අතර තවත් සමහර අයගේ ඇස් කොළ පාටයි.

“අපි සේවයේ යන කොට අපි ගිය මුල්ම ගෙදර හිටිය තැනැත්තා එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. අපි ඒ ගෙදරින් පිට වෙලා එනකොට අපි දැක්කා අපිව හමුවෙන්න කෙනෙක් එනවා. දෙවි සහ යේසුස් කියන්නේ දෙදෙනෙක් කියලා අපි විශ්වාස කරනවාද කියලා ඔහු ඇහුවා. අපි ඔහුට ඔහුගේ බයිබලය ගේන්න කියලා ඒකෙන් කරුණු පහදලා දුන්නා. ඔහු මේ සාකච්ඡාවෙන් පස්සේ යේසුස් කියන්නේ දෙවිගේ පුත්‍රයා බවත් යෙහෝවා කියන්නේ “එකම සැබෑ දෙවි” බවත් පිළිගත්තා. (යොහන් 17:3) බොහෝදෙනෙක් ඔවුන්ගේ නිවෙස්වලට අපිව ආදරයෙන් පිළිගෙන කතා බහ කළා. ‘අපිට බයිබලයේ තියෙන දේවල් කියලා දෙන්න ආයේ කවදාද එන්නේ කියලා සමහර අය ඇහුවා.’

“අපි හොඳට හෙවන තියෙන තැනකට දවල් කෑම කන්න ආවා. සහෝදරියන් දෙන්නෙක් අපිට ලොකු මාළු හැළියක් උයලා තිබුණා. ඒක මතක් වෙනකොටත් කටට කෙළ උනනවා. අපි එතන ටිකක් නතර වෙලා කෑම කමින් කතා බහේ යෙදුණා. ඒ විතරක් නෙවෙයි එතනින් යන එන අයට දේශනාත් කළා. ඊට පස්සේ අපි ගඟින් එගොඩ වෙලා නගරයේ අනිත් පැත්තට ගියා. එහිදී තමන්ගේ පුංචි නිවෙස් අසල තියෙන ගස් යට වාඩි වෙලා ඉන්න අයව හමු වුණා. මේ අයත් මිත්‍රශීලීයි. දරුවන් කෑ කෝ ගසමින් දුව පැන සෙල්ලම් කරන හැටිත් ගැහැණු ගඟ අයිනේ රෙදි පිළි සෝදන හැටිත් ආච්චිලා කෝපි කොටන හැටිත් දැකලා අපි ලොකු ආස්වාදයක් ලැබුවා.

“හවස හතර වුණා අපිට දැනුණේවත් නැහැ. අපි හැමෝම නැවත කැබරේ නගරයට එන්න පිටත් වුණා. මමයි මගේ ස්වාමිපුරුෂයායි කසාල් නගරයට ගිය මේ මුල් අවස්ථාවෙන් ලොකු ප්‍රීතියක් ලැබුවා. ඒ රමණීය වට පිටාව විතරක් නෙවෙයි අපිව ආදරයෙන් පිළිගත් ඒ මිනිසුන්වත් අපිට නම් කවදාත් අමතක වෙන්නේ නැහැ.”

හයිටි රටට වෙනත් රටවල්වලින් සේවය කිරීම සඳහා සාක්ෂිකරුවන් මුලින්ම පැමිණියේ 1945දීයි. එදා පටන් එහි රාජ්‍ය ප්‍රචාරකයන්ගේ ගණන වැඩි වී තිබෙනවා. දැන් 14,000ක් පමණ සේවයේ යෙදෙන අතර 22,000කට වඩා වැඩි බයිබල් පාඩම් පවත්වනවා. වර්ෂ 2005 මාර්තු මාසයේ පැවතී යේසුස්ගේ මරණය සිහිකිරීමට 59,372ක් පැමිණ සිටියා. මින් පැහැදිලි වන්නේ සාක්ෂිකරුවන් ඔවුන් බොහෝදෙනෙකුට ඔවුන්ගේ සිත්වලට කාවදින ආකාරයෙන් සත්‍යය කියා දී තිබෙන බවයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සේවය නිසා විවිධාකාරයෙන් ප්‍රයෝජන ලැබූ මිනිසුන් ගැන දැන් සලකා බලමු.

ශුභාරංචිය විචිත්‍රවත් ආකාරයෙන්

හයිටිවල ජනයා වර්ණවත් දේවල්වලට ආසයි. ඒ බව ඔවුන්ගේ නිවෙස් පාට කරලා තියෙන ආකාරයෙන්, ඔවුන් අඳින පළඳින ආකාරයෙන්, ඔවුන්ගේ වතුවල පිරිලා තියෙන විවිධ වර්ණවලින් යුත් මල්වලින් හා ඔවුන්ගේ චිත්‍රවලින් පැහැදිලි වෙනවා. ඔවුන් කැන්වස් රෙදිවල කළ වර්ණවත් චිත්‍ර (L’Art Haitien) පෝර්ට් ඕ ප්‍රින්ස් නගරයේ වීදි පුරා ප්‍රදර්ශනය කර තිබෙනවා. මේවා මිලදී ගන්න ලෝකයේ නන් දෙසින් මිනිසුන් පැමිණෙනවා.

මේ විචිත්‍රවත් විත්‍ර ඇදලා තියෙන්නේ කැන්වස් රෙදිවල විතරක් නෙවෙයි. පෝර්ට් ඕ ප්‍රින්ස් නගරයේ මගීන් ප්‍රවාහන කරන වාහනවලත් (camionettes) නොයෙකුත් පින්තූර ඇදලා තියෙනවා. මේ අතර බයිබලයේ සඳහන් තොරතුරුවලට අනුව අදින ලද දර්ශනීය පින්තූරුත් එම වාහනවල දැකිය හැකියි. ඔබ ඒ මාර්ගයක යනවා නම් ආදම් සහ ඒව ඒදන් උයනේ ඉන්න හුරු පුරුදු චිත්‍රයක් ඇද තිබෙන වාහනයක් හදිස්සියේම ඔබ පසු කර යා හැකියි. දෙවිගේ නාමය සඳහන් බයිබල් පද හෝ යෙහෝවා දෙවි කියා වාහනවල හා ව්‍යපාරික ස්ථානවල ලියා තිබෙනවාත් දැක ගන්න පුළුවන්.

පාසැලේදී ශුභාරංචිය දේශනා කිරීම

හයිටි රටේ යෞවන දරුවන්ට තමන්ගේ පාසැලේ මිතුරන්ට බයිබලය කියා දීමට කදිම ප්‍රස්තා උදා වෙනවා. මෙහි පහත දැක්වෙන්නේ අවුරුදු 17ක් වයසැති සාක්ෂිකාර දැරියකගේ අද්දැකීමක්.

“දවසක් පාසැලේදී පිරිමි ළමයෙක් මගෙන් ඇහුවා වේශ්‍යාකම කියන්නේ මොකක්ද කියලා. මෙයා මගෙන් බොරු ප්‍රශ්නයක් අහලා මාත් එක්ක යාලු වෙන්න එනවා කියල මම හිතපු නිසා මම එයාව ගණන් ගත්තේ නැහැ. ඒත් ඔහු ඒ ප්‍රශ්නයම තවත් පිරිමි ළමයෙක්ගෙන් ඇහුවාම මුළු පන්තියම ඒ ගැන උනන්දුවක් දැක්වුවා. මම ඊළඟ සතියේ ඒ විෂය ගැන කරුණු ටිකක් සොයාගෙන, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සෑම අතින්ම පිරිසිදු ජීවිතයක් ගත කිරීමට උත්සහ කරන්නේ ඇයි කියා පන්තියට පැහැදිලි කළා.

“පන්තියේ ළමයි මගෙන් ගොඩාක් ප්‍රශ්න ඇහුවා. මම ඒවාට බයිබලයෙන් පිළිතුරු දුන්නම ඒ අය ඒවා පිළිගත්තා. අපේ විදුහල්පති මුලින් ප්‍රශ්න අහන්න එතරම් කැමති වුණේ නැති වුණත් පස්සේ ගොඩාක් ප්‍රශ්න ඇහුවා. ඒවගේම ඒ කරුණු අනිත් පන්තිවලටත් ඉදිරිපත් කිරීමට සැලසුම් යෙදුවා. මම යෞවනයන් අසන ප්‍රශ්න ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු  * නමැති පොත ඔවුන්ට පෙන්නුවා. මට ඊළඟ දවසේ ඒ පොත් 45ක් පාසැලේ යාළුවන්ට බෙදා දෙන්න හැකි වුණා. සමහර අය ඉක්මනට ඒ පොත කියවලා ඉවර කර තිබුණා. තවත් සමහර අය ඒ අයගේ ගෙවල් ළඟ ඉන්න සාක්ෂිකරුවන් සමඟ දැන් බයිබලය පාඩම් කරනවා. අපේ ගෙවල් ළඟ ඉන්න පිරිමි ළමයෙක් දැන් සෑම රැස්වීමකටම එනවා.”

හයිටි භාෂාවෙන් ශුභාරංචිය

හයිටි රටේ පරිසරය දැකුම්කලු වාගේම එහි භාෂාවත් සිත් ඇදගන්නා සුළුයි. හයිටි රටේ භාෂාව (Haitian Creole) මිශ්‍ර භාෂාවක්. එය සෑදී තිබෙන්නේ ප්‍රංශ වචන හා බටහිර අප්‍රිකානු ව්‍යාකරණ එකතු වීමෙනුයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ සේවයේදී භාවිත කරන්නේ මේ භාෂාවයි. ඒ වගේම හයිටි රටේ ජනයාට තමන්ගේම භාෂාවෙන් තවත් පොත් පත් බොහෝමයක් ලබා දීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

වර්ෂ 1987දී හයිටි භාෂාවෙන් පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න පොත පරිවර්තනය කරනු ලැබුවා. ඉන් පසු සදාකල් ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොත හා දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාව පරිවර්තනය කර තිබෙනවා. අලුතෙන් බයිබලය ඉගෙන ගන්න අයට දෙවිගේ වචනය පිළිබඳ මූලික දැනුම ලබා ගැනීම සඳහා මේ ප්‍රකාශන මහත් සේ උපකාරවත් වී තිබෙනවා. වර්ෂ 2002 සැප්තැම්බර් 1වෙනිදා සිට මුරටැඹ කලාපයත් හයිටි භාෂාවෙන් නිකුත් වෙනවා. ප්‍රංශ භාෂාවෙන් ලියා තිබෙන පොත් පත් භාවිත කළත් බොහෝ දෙනෙක් තමන්ගේ මව් බසින් පොත් පත් කියවීමට දැඩි කැමත්තක් දක්වනවා.

සිරකඳවුරුවල සිටින අයට ශුභාරංචිය දේශනා කිරීම

මෑතක සිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිර කඳවුරුවල සිටින අයට ශුභාරංචිය දේශනා කිරීමට පටන් ගෙන තිබෙනවා. දුකින් සිටින මේ සිරකරුවන්ට සහනයක් ලබා දෙන පණිවිඩයක් කීමට සාක්ෂිකරුවන්ට ලැබී තිබෙන අවස්ථාව ඔවුන් අගය කරන අතර ඔවුන් එයින් මහත් ප්‍රීතියක් අද්දකිනවා. එක් සහෝදරයෙක් මෙසේ වාර්තා කරනවා.

“අපි එක් සිරකඳවුරකට ගිය අවස්ථාවේදී එහි සිටි සිරකරුවන්ව අපට මුණ ගැස්වීමට ලොකු ශාලාවකට කැඳවාගෙන ආවා. අපි ආවේ ඔවුන්ට බයිබලයේ තියෙන කාරණා තේරුම් ගන්න උදව් කරන්න කියා පැවසූ විට එහි සිටි 50දෙනාම අපිව සතුටින් පිළිගත්තා. අපි හයිටි භාෂාවෙන් කියවීමේ හා ලිවීමේ හැකියාව දියුණු කරගන්න උපකාරවත් වන විවරණිකාව (Apply Yourself to Reading and Writing) හා පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න යන විවර්ණිකාව ලබා දුන් අතර අපිට පාඩම් 26ක් පටන් ගන්න හැකි වුණා. එහි පැමිණි සිටි 10දෙනෙකුට කියවන්න ලියන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒත් අපි වචන තේරුම්ගන්න ඒ පොත උපකාරවත් වෙන්නේ කොහොමද කියලා කියා දුන්නාට පසු ඔවුන් ඒ ගැන ලොකු උනන්දුවක් දැක්වුවා.”

සාක්ෂිකරුවන් නැවතත් මේ සිරකරුවන්ව බැහැදැකීමට ගිය අවස්ථාවේදී කෙනෙක් මෙහෙම කිව්වා. “මම මේ විවරණිකාව කිහිප වතාවක්ම කියෙව්වා. ඒකේ තියෙන පණිවිඩය ගැන මම නිතර කල්පනා කළා. මම ඔයගොල්ලන් එනකම් ආසාවෙන් බලා හිටියා.” අවිආයුධ සොරකම් කිරීම නිසා සිරගත වී සිටී කෙනෙක් පැවසුවේ ඔහුට වෙනස් වෙන්න අවශ්‍යය බවයි. ඒ වගේම ඔහු ඉල්ලා සිටියා ඔහුගේ භාර්යාව සමඟ බයිබලය පාඩම් කරන්නත් කෙනෙක්ව යවන්න කියා. සිරකඳවුරේ සිටි දෙදරු පියෙක්ද ඒ වගේම ඉල්ලීමක් කර තිබුණා. ඔහු පැවසුවේ ඒ තුළින් ඔහුගේ භාර්යාවටත් සත්‍යය හා බොරුව අතර වෙනස හඳුනාගන්න පුළුවන් වෙයි කියා. රෙපරමාදු ආගමේ පූජකයෙක් තම පල්ලියේ කළ ලොකු මුදල් වංචාවක් නිසා සිරගත වී සිටියා. ඔහුට සත්‍යය ලැබුණු බවත් දඬුවම් කාලය අවසන් වූ පසු ඔහුගේ පල්ලියේ සාමාජිකයන්ට යෙහෝවාගේ සාක්ෂිකරුවන් වීමට උපකාර කරන බවත් ඔහු පැවසුවා.

එක් සිරකරුවෙක් ඔහුට ඕනෑ කරන්නේ විවරණිකාවක් නැති නිසා ඔහුගේ සිර කුටියේ සිටි අනිත් තැනැත්තාගෙන් එම විවරණිකාව ඉල්ලා ගෙන එය සම්පූර්ණයෙන්ම පිටත් කර ගත් අතර එහි තොරතුරු කට පාඩම් කර ගත්තා. සිරකඳවුරේ සිටි එක් කාන්තාවක් සත්‍යය දැන ගත් පසු තවත් සිර කුටි 9යක සිටින අය සමඟ ඒ තොරතුරු බෙදා ගත්තා. ඒ විතරක් නෙවෙයි ඇය ඔවුන් සමඟ බයිබල් පාඩම් පැවැත්තුවා. ඒ විවරණිකාව පාඩම් කිරීමෙන් පසු දැනුම පොතෙන් පාඩම් කිරීමට පටන් ගත් එක් සිරකරුවෙක් අන් අය සමඟ සත්‍යය බෙදා ගත්තා. වැඩි කල් නොගොස් ඔහු හතර දෙනෙක් සමඟ බයිබල් පාඩම් පටන් ගත්තා.

මර්කෝනි  *එක් කාලයක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කර තිබුණා. ඔහුගේ නෑදෑයන් අතර යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිටියා. ඔහුගේ නෑදෑයන් ඔහුට ගෙනත් දුන් සමහර පොත් පත් සිරකඳවුරේ සිටි අනිත් අයට කියවන්න ඔහු දිරිගැන්වුවා. “මම ඒ අයට සඟරා දෙන නිසා ඔවුන් මට කිව්වේ යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් කියලායි. මම කිව්වා මම සාක්ෂිකාරයෙක් නෙවෙයි කියලා. මොකද මම දන්නවා සාක්ෂිකරුවෙක් කියන්නේ මොන වගේ කෙනෙකුටද කියලා. ඒත් මම තීරණය කළා බයිබල් පාඩම හොඳින් හිතට අරගෙන කරන්නත් බව්තීස්ම වෙන්නත්. මම යෞවන කාලයේදී මගේ අයියලාගේ මාර්ගයේ ගිහින් තිබුණා නම් මට අද මෙතන ඉන්න වෙන්නේ නැහැ.”

මර්කෝනිගෙන් සඟරා පොත් පත් ලබා ගෙන තිබූ එක් සිරකරුවෙක් ඔහුව බැහැදැකීමට පැමිණි සාක්ෂිකරුවෙකුට මෙසේ පැවසුවා. “ඔයා ගිය සතියේ සඳුදා එනකොට මම ගොඩාක් කලකිරිලයි හිටියේ. මම ජීවිතය පවා නැති කරන්න තීරණය කරලා තිබුණේ. ඒත් සඟරා කියෙව්වට පස්සේ මගේ පව්වලට සමාව දෙන්න කියලා මම දෙවියන්ට යාච්ඤා කළා. මට හරි මාර්ගය කියා දෙන්න කෙනෙක් එවන්න කියාත් මම යාච්ඤා කළා. පහුවෙනිදා ඔයා ඇවිල්ලා සිරකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න ඉදිරිපත් වුණාම මම කොච්චර සතුටු වුණාද කියාල ඔයා දන්නේ නැහැ. යෙහෝවා දෙවිට සේවය කරන්නේ කොහොමද කියලා ඔයා මට උගන්වනවා නම් මම ඒක ගොඩාක් අගය කරනවා.”

පිබිදෙව්! මගින් ශුභාරංචිය පැතිරේ

වර්ෂ 2000 නොවැම්බර් 8වෙනිදා ඉංග්‍රීසි පිබිදෙව්! කලාපයේ හෙද සේවය ගැන ලිපි පළවුණා. එක් කාන්තාවක් මේ සඟරා 2,000ක් ලබා ගෙන පෝර්ට් ඕ ප්‍රින්ස්හි හෙද සේවයේ යෙදෙන අයට පැවැත් වු සම්මන්ත්‍රණයකදී බෙදා දුන්නා. වර්ෂ 2002 ජූලි 8වෙනිදා පිබිදෙව්! කලාපයේ පොලිස් සේවය ගැන ලිපි පළවුණා. මෙම සඟරා පෝර්ට් ඕ ප්‍රින්ස්හි එම සේවය කරන සෑම කෙනෙකුට බෙදා දුන්නා. ඔවුන් එම ලිපි බොහෝ සේ අගය කළ අතර දැන් පවා සමහර සාක්ෂිකරුවන්ගෙන් එම සඟරාවේ පිටපත් ඉල්ලනවා.

මෑතකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරිනියක් ඒඩ්ස් රෝගය ගැන ජනයාව දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කළා. එම නිලධාරිනිව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ආරාධනා කළ අතර එම රෝගය සම්බන්ධයෙන් පිබිදෙව්! කලාපවල පළ වී තිබෙන ලිපි ඇයට පෙන්නුවා. එම රෝගය වළක්වා ගැනීමට ගත හැකි පියවර මෙන්ම එම රෝගයෙන් බැට කා සිටින අයට එම තත්වයට මුහුණ දිය හැකි ආකාර ගැන බයිබලයේ දී තිබෙන උපදෙස්ද ඇතුළු එම ලිපි ඇගේ සිත් ගත්තා. එවැනි විෂයක් ගැන තොරතුරු සපයා තිබෙන හොඳම සඟරාව පිබිදෙව්! කියා ඇය පැවසුවා.

ලෝකය පුරා රටවල් 234ක කරනවා හා සමානව හයිටි රටේ ද යෙහෝවාගේ සාක්ෂිකරුවන් විවිධ ක්‍රම භාවිත කරමින් රාජ්‍යයේ ශුභාරංචිය පතුරුවා හරිනවා. අනාගතය ගැන පැහැදිලි බලාපොරොත්තුවක් සපයන මේ ශුභාරංචිය බොහෝදෙනෙක් පිළිගන්නවා. වර්තමානයේ අද්දකින ප්‍රශ්න ගැටලු ගැන සිතමින් දුක් වෙනවා වෙනුවට පාරාදීස පොළොවක සතුටින් ජීවත් වීමේ ස්ථිර බලාපොරොත්තු ගැන සිතා සතුටු වීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. ඒ කාලයේදී පාරාදීස පොළොවේ ජීවත් වන සියලුදෙනාම නමස්කාර කරන්නේ එකම සැබෑ දෙවි වන යෙහෝවා දෙවිට පමණයි.—එළිදරව් 21:4.

[පාදසටහන්වල]

^ 19 ඡේ. මේ ලිපියේ සඳහන් වන පොත් පත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශ කළ ඒවායි.

^ 28 ඡේ. සැබෑ නම නෙවෙයි.

[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Background: ©Adalberto Rios Szalay/photodisc/age fotostock