Skip to content

පටුනට යන්න

ඔබගේ ප්‍රේමය තවත් පුළුල් කරගන්න

ඔබගේ ප්‍රේමය තවත් පුළුල් කරගන්න

ඔබගේ ප්‍රේමය තවත් පුළුල් කරගන්න

කුණාටුවකට හසු වූ නැවක් ගසාගෙන යෑමෙන් ආරක්ෂා වීමට නැංගුරුම ඉතා වැදගත්. නමුත් නැවත් නැංගුරුමත් සම්බන්ධ කරන දම්වැල ඊටත් වඩා වැදගත්. නැව ගසාගෙන නොයෑමට නම් දම්වැලේ ඇති සෑම තනි පුරුකක්ම ඉතාමත් ශක්තිමත්ව තිබිය යුතුයි.

ක්‍රිස්තියානි සභාවත් ඒ දම්වැලට සමානයි. ශක්තිමත් සහ උද්‍යෝගිමත් සභාවක් ඇති වීමට නම් දම්වැලේ පුරුක් හා සමානව එකිනෙකා අතර ශක්තිමත් මෙන්ම කිට්ටු බැඳීමක් තිබිය යුතුයි. එම ශක්තිමත් බැඳීම ඇති වන්නේ කෙසේද? ප්‍රේමයෙනුයි. ඒ නිසා යේසුස් පැවසූ මේ වචන ගැන අපි සැලකිලිමත් විය යුතුයි. “මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.” ඇත්තෙන්ම එවැනි ප්‍රේමයක් සැබෑ ක්‍රිස්තියානීන් තුළ තිබෙනවා. එය නිකම්ම ඇයි හොඳයි කියන දැන හැඳුනුම්කමකට වාඩා වැඩි යමක්.—යොහන් 13:34, 35.

ඔවුන්ව අගය කොට සලකන්න

අපගේ බොහෝ සභාවල විවිධ වයස් මට්ටම්වලට, ජාතීන්වලට, භාෂාවලට සහ සංස්කෘතීන්වලට පමණක් නොව විවිධ පසුබිම්වලට අයත් සහෝදර සහෝදරියන් සිටිනවා. මේ සෑම කෙනෙකුටම තිබෙන කැමති අකමැති දේවල් විවිධයි. ඔවුන් ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්න ගැටලුත් එකිනෙකාට වෙනස්. එයට අසනීප තත්වයන් හා ආර්ථික ප්‍රශ්නත් ඇතුළත් විය හැකියි. ඔවුන් මුහුණ දෙන එවැනි තත්වයන් ක්‍රිස්තියානි එකමුතුකමට තර්ජනයක් වෙන්න පුළුවන්. එවැනි අභියෝග හමුවේ පවා අපගේ ප්‍රේමය පුළුල් කරගෙන එකිනෙකා කෙරෙහි කිට්ටු බැඳීමක් ඇති කරගත හැක්කේ කොහොමද? සභාවේ සිටින සියලුම සාමාජිකන්ව වටිනා අය ලෙස සැලකීමෙන් ඒ ප්‍රේමය තවත් වැඩි කරගත හැකියි.

අපි කෙනෙකුව අගය කොට සලකන්නේ කොහොමද? ඔවුන්ගේ අවශ්‍යතා ගැන සංවේදී වීමෙන් සහ සැලකිල්ල දැක්වීමෙනුයි. අපි කිසි විටකත් ඔවුන්ව සුළු කරන්නේ නැති අතර ඔවුන් අපි සමඟ සැබෑ නමස්කාරයේ හවුල් වීම අප සලකන්නේ ඉතා වටිනා දෙයක් ලෙසයි. එම හේතු නිසා ඔවුන්ට වඩ වඩා ප්‍රේම කිරීමට අපි පෙලඹෙනවා. පාවුල් කොරින්තිවරුන්ට ලියූ දේ සලකා බැලීමෙන් එකිනෙකාට ඇති අපගේ ප්‍රේමය තවත් පුළුල් කරගත හැක්කේ කෙසේද කියා අපි බලමු.

තමන් තුළම “හිර වී” සිටි කොරින්තිවරුන්

පාවුල් ඔවුන්ට තම ප්‍රථම ලිපිය ලිව්වේ ක්‍රි.ව. 55දීයි. ඉන් වසරකට පමණ පසු ඔවුන්ට තවත් ලියුමක් ලිව්වා. එහි සඳහන් ලෙස සමහර කොරින්තිවරුන් එකිනෙකාව අගය කොට සැලකීමේ යම් අඩුවක් තිබුණා. ඒ නිසා පාවුල් ඔවුන්ට පැවසුවේ මෙසේයි. “අපේ මුඛය ඔබ වෙනුවෙන් ඇරී තිබේ. අපේ සිත විශාල වී තිබේ. අප තුළ ඔබට ඉඩක් නොතිබෙනවා නොව, ගැඹුරු සෙනෙහස දැක්වීමේදී ඔබ ඔබ තුළම හිර වී ඇත.” (2 කොරින්ති 6:11, 12) ‘ඔවුන් ඔවුන් තුළම හිර වී ඇත’ කියා පැවසීමෙන් පාවුල් අදහස් කළේ කුමක්ද?

එනම් ඔවුන් අන් අයට ප්‍රේමය පෙන්වූයේ යම් ප්‍රමාණයකට පමණයි. ඒ ගැන එක් බයිබල් විශාරදයෙක් පවසන්නේ ‘පාවුල්ට ප්‍රේමය පෙන්වීමට කොරින්තිවරුන්ට යම් බාධා තිබුණා. ඒවාට හේතු වුණේ කිසිම පදනමක් නැති සැකයනුයි. ඔවුන් සිතුවේ තමන්ට පාවුල්ගෙන් යම් අසාධාරණයක් සිදු වී තිබෙනවා කියායි.’

නමුත් පාවුල් ඔවුන්ට පැවසූ දේ බලන්න. “දරුවන්ට කියන්නාක් මෙන් මා ඔබට කියන්නේ, ඔබත් ඔබේ සිත් විශාල කරගන්න කියාය.” (2 කොරින්ති 6:13) පාවුල් කොරින්තිවරුන්ට පැවසුවේ සෙසු ඇදහිලිවන්තයන්ට ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් පුළුල් වෙන්න කියායි. සෙසු නමස්කාරකයන් ගැන හෘදයේ යම් අවිශ්වාසයක් හෝ සැකයක් තබාගෙන එසේ කළ නොහැකියි. එය කළ හැක්කේ හරි ආකල්පයක් ඇතිව මුළු හදවතින්ම ප්‍රේම කිරීමෙන් පමණයි.

අපගේ ප්‍රේමය පුළුල් කරගැනීම

ප්‍රේමය පෙන්වන ආකාරය දැන සිටීම පමණක් මදි. එය පුළුල් කිරීම සඳහා මහත් උත්සාහයක් දැරිය යුතුයි. අද දින දෙවිගේ සැබෑ නමස්කාරකයන් අතරේ තම ප්‍රේමය පුළුල් කිරීමට වෙහෙස දරන අයව දැකීම අපට මහත් ප්‍රීතියක්. නමුත් අද දින ලෝකයේ බොහෝදෙනෙක් අන් අයට දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලක්. එමෙන්ම තවත් අය සිතා බැලීමකින් තොරව දේවල් කරනවා විය හැකියි. වැඩි පිරිසක් අන්‍යයන්ට ගෞරව නොකරන අතර උපහාස කිරීමටද නැඹුරුවාවක් දක්වයි. ක්‍රිස්තියානීන් හැටියට අපගේ ප්‍රේමය පුළුල් කිරීමට නම් එවැනි අයට වෙනස්ව අපි කටයුතු කළ යුතුයි. එමෙන්ම දෙවිගේ ප්‍රමිතිවලට පටහැනිවූ ඔවුන්ගේ ආකල්ප අප තුළ ඇතිවීමට කිසිදාක ඉඩ නොදෙමු. කොරින්තිවරුන් මෙන් අපගේ ප්‍රේමයත් සැකයන් නිසා සීමා වෙනවා නම් එය මොන තරම් කනගාටුවට හේතුවක්ද! අපගේ සහෝදරයන්ගේ යහපත් ගුණාංග අගය කරනවා වෙනුවට ඔවුන්ගේ අඩු පාඩුකම් ගැන සිතුවොත්, එසේ නැති නම් ඔවුන්ගේ සංස්කෘතිය නිසා හෝ පසුබිම නිසා අපගේ ප්‍රේමය සීමා වෙනවා නම් අපටත් එසේම සිදු විය හැකියි.

නමුත් ඊට වෙනස්ව ප්‍රේමය පුළුල් කරගැනීමට වෙර දරන දෙවිගේ සේවකයෙක් සෙසු ඇදහිලිවන්තයන්ව උසස් කොට සලකනවා. ඔහු අන්‍යන්ට ගෞරව කරන අතර ඔවුන්ගේ අවශ්‍යතා කෙරෙහි සැලකිලිමත් වෙනවා. අනිත් තැනැත්තාට චෝදනා කිරීමට සාධාරණ හේතුවක් තිබුණත් ඔහු නිතරම උත්සාහ කරන්නේ එය අමතක කර දමා අමනාපය සිතෙන් ඉවත් කිරීමටයි. එමෙන්ම අන් තැනැත්තා ගැන යම් සැකයක් ඇති වුණත් ඔහු වැරදිකරුවෙක් කියා සිතීමට ඉක්මන් වන්නේ නැහැ. යේසුස් සඳහන් කළ ආකාරයේ ප්‍රේමයක් පෙන්වීමට එවැනි කරුණාවන්ත හදවතක් ඇති කෙනෙකුට හැකියි. ඔහු කිව්වේ “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත” කියායි.—යොහන් 13:35.

අලුත් මිතුරන් ඇති කරගන්න

සැබෑ ප්‍රේමය තිබෙනවා නම් දැනටමත් අපට සිටින මිතුරන්ට අමතරව සභාවේ සිටින තවත් අයව අපගේ මිතුරන් කරගැනීමට හැකි වෙනවා. සමහර සහෝදර සහෝදරියන් ලජ්ජාශීලී නිසා හෝ වෙනත් හේතූන් නිසා මිත්‍රත්වයන් ඇති කරගැනීමට පසුබට වෙනවා. ඔවුන් සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට යෑමේදී ‘සැබෑ නමස්කාරයහැරෙන්න අනිකුත් දේවලදී අපි එකිනෙකාට හුඟක් වෙනස්’ කියා ඔබට සිතෙන්න පුළුවන්. නමුත් මිත්‍රත්වයන් ගැන බයිබලයේ වාර්තා කර ඇති දෙය සලකා බැලීමෙන් එම සිතුවිල්ල සත්‍යයක් නොවන බව තහවුරු වෙනවා.

උදාහරණයකට රූත් සහ නයොමි ගැන සලකා බලන්න. ඔවුන්ගේ වයස, ජාතිය, භාෂාව පමණක් නොවෙයි හැදුණු වැඩුණු පසුබිමත් එකිනෙකට බොහෝ වෙනස්. එසේ වුණත් එය ඔවුන්ගේ කිට්ටු මිත්‍රත්වයට බාධාවක් වුණේ නැහැ. තවත් උදාහරණයක් බලන්න. යොනාතාන් හැදී වැඩුණේ රජ පවුලක කිරුළ හිමි කුමාරයෙක් ලෙසයි. හැබැයි දාවිත් එඬේරෙක්. ඔහු යොනාතාන්ට වඩා වයසින් හුඟක් බාලයි. නමුත් එය බයිබලයේ සඳහන් වී ඇති කිට්ටුම මිත්‍රත්වයන් අතරින් එකක්. ඒ මිත්‍රත්වයන් දෙක තුළදීම ඔවුන් ඉමහත් ප්‍රීතියක් භුක්ති වින්දා වගේම එකිනෙකාගේ ඇදහිල්ලද එමගින් ශක්තිමත් වුණා.—රූත් 1:16; 4:15; 1 සාමුවෙල් 18:3; 2 සාමුවෙල් 1:26.

අද දිනත් එකිනෙකට වෙනස් වයස් මට්ටම්වල සිටින හෝ ජීවිතයේ විවිධ තත්වයන්වල සිටින සැබෑ ක්‍රිස්තියානීන් අතර කිට්ටු මිත්‍රත්වයන් තිබෙනවා. තම යෞවන දරුවන් දෙදෙනාව තනිවම රැකබලා ගන්නා රෙජීනා කියන මව ගැන සිතන්න. * ඇය කොතරම් කාර්යබහුලද කිව්වොත් අන් අය සමඟ ඇසුරු කරන්න ඇයට තිබුණේ ඉතාමත්ම කෙටි කාලයක්. හාරාල්ට් සහ යූටා කියන්නේ දරුවන් නොමැති විවාහක යුවළක්. දැන් ඔවුන් විශ්‍රාමිකයන්. පෙනෙන ආකාරයට ඒ පවුල් දෙකේම තත්වයන් එකිනෙකට වෙනස්. නමුත් ප්‍රේමයෙන් පුළුල් වන්න කියන බයිබලයේ දී ඇති ප්‍රතිපත්තිය ඒ විශ්‍රාමික යුවළ ක්‍රියාත්මක කළා. ප්‍රතිඵලයක් හැටියට රෙජීනා සහ ඇගේ දරුවන් දෙදෙනාත් සමඟ දේවසේවයේ සහ විනෝදය ගෙන දෙන දේවල්වල හවුල් වෙන්න ඔවුන්ට හැකි වුණා.

අපිටත් හැකිද ප්‍රේමයෙන් පුළුල් වී සභාවේ අලුත් මිතුරන් ඇති කරගන්න? වයසින් අපිට වඩා වෙනස් නැතිනම් වෙනත් ජාතියක හෝ පසුබිමක සිටින කෙනෙකු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න අපිටත් බැරිද?

අන් අය ගැන උනන්දු වෙන්න

කාරුණික හදවතක් තිබෙනවා නම් අපි අන් අයගේ අවශ්‍යතා ගැන උනන්දු වෙනවා. ඔවුන්ට තිබිය හැකි අවශ්‍යතා මොනවාද? ඔබගේ සභාවේ සිටින අය ගැන ටිකක් හිතන්න. යෞවන අයට නිසි මඟ පෙන්වීම් අවශ්‍යයි. මහලු අයට අවශ්‍ය වන්නේ බොහෝවිට ඔවුන් වටිනා අය කියා දැනෙන්න සැලැස්වීමයි. පූර්ණකාලීන දේවසේවකයන් කරන සේවය අගය කළ යුතු අතර ඔවුන්ට අපගේ සහයෝගයද දිය හැකියි. සිත් වේදනාවෙන් සිටින සෙසු නමස්කාරකයෙකුට ඇහුම්කන් දීම සමහරවිට ඔවුන්ට අවශ්‍ය දේ විය හැකියි. අපි හැමදෙනාටම අන් අයගේ සැලකිල්ල අවශ්‍යයි. එමනිසා හැකි උපරිමයෙන් අන් අයට උපකාර කිරීමට උනන්දු වෙමු.

ප්‍රේමයෙන් පුළුල්වීමේදී අවශ්‍ය වන තවත් දෙයක් තිබෙනවා. ඒ සභාවේ සිටින විශේෂ උපකාර අවශ්‍යය අයගේ තත්වයන් තේරුම්ගෙන ක්‍රියා කිරීමයි. කාලයක් පුරා අසනීපයෙන් සිටින හෝ වෙනත් පීඩාකාරී තත්වයකින් පසුවන කෙනෙකුව ඔබේ මතකයට නැඟෙනවාද? ප්‍රේමයෙන් පුළුල් වී කාරුණාවන්ත හදවතක් ඇති කරගැනීමෙන් අන් අයගේ අවශ්‍යතා තේරුම්ගෙන උපකාර ලබා දීමට අපිට හැකි වෙයි.

නුදුරු අනාගතය සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් අනාවැකි ඉටු වන විට, ක්‍රිස්තියානි සභාව තුළ දකින්න තිබෙන එම ශක්තිමත් බැඳීම සමාජ තත්වයන් දක්ෂතාවන් සහ අත් කරගෙන තිබෙන දෙවල්වලට වඩා බොහෝසෙයින් අනර්ඝ දෙයක් වේවි. (1 පේතෘස් 4:7, 8) එකිනෙකා කෙරෙහි ඇති අපගේ ප්‍රේමය පුළුල් කිරීමෙන් සභාව තුළ තිබෙන එම කිට්ටු බැඳීම තව තවත් ශක්තිමත් කිරීමට අපි හැමෝටම දායක විය හැකියි. යේසුස් පැවසූ මේ වචනවලට එකඟව අපි කටයුතු කරද්දී යෙහෝවා දෙවි අපට ආශිර්වාද කරන බවට නිසැක වෙන්න පුළුවන්. “මාගේ ආඥාව මෙයයි. එනම්, මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම, ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.”—යොහන් 15:12.

[පාදසටහන]

^ 17 ඡේ. සමහර නම් සැබෑ ඒවා නොවේ.

[10වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අපගේ සෙසු සහෝදර සහෝදරියන්ව අගය කරනවා කියන්නේ අපි ඔවුන්ව වටිනා අය හැටියට සලකා ගෞරවය කරමින්, ඔවුන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙනවා කියන එකයි