Skip to content

පටුනට යන්න

ගිලියද් පැවරුම් ලැබූවන්ට අමතක නොවන මඟ පෙන්වීම්

ගිලියද් පැවරුම් ලැබූවන්ට අමතක නොවන මඟ පෙන්වීම්

ගිලියද් පැවරුම් ලැබූවන්ට අමතක නොවන මඟ පෙන්වීම්

වර්ෂ 2006 සැප්තැම්බර් නවවන දින 121වන ගිලියද් මුරටැඹ බයිබල් පාසැල පැවැත්වුණේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ පැටසන් නුවරේ පිහිටි වොච්ටවර් අධ්‍යාපන මධ්‍යස්ථානයේදීයි. එය ඉතාමත් දිරිගන්වනසුලු වැඩසටහනක් වුණා.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ජෙෆ්රි ජැක්සන් පැමිණ සිටි ගිලියද් ශිෂ්‍යයන් 56දෙනාව සහ විවිධ රටවල්වලින් පැමිණ සිටි 6,366දෙනාවම පිළිගනිමින් වැඩසටහන ආරම්භ කළා. ඔහු ගීතාවලිය 86:11හි සඳහන් දේ සලකා බැලුවා. එහි කියන්නේ “යෙහෝවා, ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි; ඔබගේ නාමයට භය වන පිණිස මාගේ සිත එකඟ කළ මැනව” කියායි. එම පදයේ සඳහන් පැති තුනක් ගැන සහෝදර ජැක්සන් අවධාරණය කළේ මෙසේයි. “එහි පළමුවන වාක්‍යයෙන් දෙවිගෙන් ඉගෙනගැනීමත්, දෙවෙනි වාක්‍යයෙන් ඉගෙනගන්නා දේ අදාළ කරගැනීමත්, තුන්වන වාක්‍යයෙන් ඉගෙනගන්නා දේ කිරීමට තිබෙන පෙලඹීමත් පැහැදිලි කර තිබෙනවා. එම කාරණා තුන වෙනත් රටක පැවරුමක් ලබන්න යන ඔබ සියල්ලන්ට විශේෂයෙන්ම වැදගත්.” ඉන්පසු එම කරුණු තුනම අවධාරණය කරමින් ඉදිරිපත් කිරීමට නියමිත කතා සහ නිරූපණ ඔහු හඳුන්වා දුන්නා.

සිතට කාවදින මඟ පෙන්වීම්

සහෝදර විලියම් මාලෙන්ෆන්ට් ලෝක මූලස්ථානයේ සේවය කරන සාමාජිකයෙක්. ඔහුගේ කතාවේ තේමාව වුණේ “කදිම ජීවිතයකට මඟ” යන්නයි. ඔහුගේ කතාවේදී මාර්තාගේ සහෝදරිය වූ මරියාගේ කදිම ආදර්ශය ගැන සඳහන් කළා. යේසුස් දිනක් ඔවුන්ගේ නිවසට පැමිණි අවස්ථාවේ මරියා මුල් තැන දුන්නේ යේසුස්ගේ දෙපා ළඟ හිඳිමින් ඔහුට හොඳින් ඇහුම්කන් දීමටයි. එවිට යේසුස් මාර්තාට කිව්වේ “මරියා යහපත් කොටස තෝරාගත්තාය. එය ඇගෙන් පැහැරගනු නොලැබේ” කියායි. (ලූක් 10:38-42) ඉන්පසු කථිකයා මෙහෙම කිව්වා. “ඒ ගැන ටිකක් කල්පනා කරලා බලන්න. ඇය යේසුස්ගේ දෙපා ළඟ හිඳගෙන ඇහුම්කන් දුන් ඒ වටිනා සත්‍යයන් ඇයට කවදාවත් අමතක වෙන එකක් නැහැ. ඒ සියල්ලටම හේතු වුණේ ඇය ගත් නිවැරදි තීරණයයි.” යෙහෝවා දෙවිට සේවය කිරීමට ඔවුන් ගෙන ඇති නිවැරදි තීරණ ගැන එහි සිටි සියලුම ශිෂ්‍යයන්ව ඔහු අගය කරමින් මෙසේ පැවසුවා. “ඔබ ගෙන තිබෙන තීරණය කදිම ජීවිතයකට මඟ විවෘත කර තිබෙනවා.”

පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ඇන්තනී මොරිස්ගේ කතාව පදනම් වුණේ රෝම 13:14හි ඇති “ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පැළඳගන්න” යන වදන් මතයි. එය කළ හැක්කේ කෙසේද? යේසුස්ගේ ආදර්ශය සහ ආකල්ප අනුගමනය කිරීමෙනුයි. “ඔහු මිනිසුන් කෙරෙහි අවංක උනන්දුවක් දැක්වූවා. ඒ බව මිනිසුන්ට හොඳින් දැනුණු නිසා යේසුස් සමඟ කටයුතු කිරීමේදී ඔවුන්ට කිසිම අපහසුතාවක් දැනුණේ නැහැ.” ඊට පසුව කථිකයා එෆීස 3:18 සඳහන් දේ ගෙනහැර දක්වමින් සත්‍යයේ “පළලත් දිගත් උසත් ගැඹුරත් සම්පූර්ණයෙන් වටහාගැනීමට” ගිලියද් පාසැල මගින් ඔවුන් ලබා තිබෙන මහත් දැනුම් සම්භාරය ගැන සලකා බැලුවා. කථිකයා ඔවුන්ට 19වන පදයත් මතක්කර දුන්නා. එහි කියන්නේ මෙසේයි. “දැනුම අබිබවා යන ක්‍රිස්තුස්ගේ ප්‍රේමය දැන ගැනීමට හැකි වන්නේය.” ඉන්පසු සහෝදර මොරිස් ශිෂ්‍යයන්ට උනන්දු කළේ “ඔබ බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කරද්දී යේසුස්ගේ එම ප්‍රේමණීය කරුණාව අනුකරණය කළ හැකි ආකාරය ගැන සිතා ‘ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පැළඳගන්න’” කියායි.

ගිලියද් උපදේශකයන්ගේ අවසන් මඟ පෙන්වීම්

හිතෝපදේශ 4:7 මත පදනම් ඊළඟ කතාව ඉදිරිපත් කළේ සහෝදර වොලස් ලිව්රන්ස්. ඔහු පැවසුවේ දිව්‍ය ප්‍රඥාව ලබාගැනීම අත්‍යවශ්‍ය දෙයක් වගේම ‘තේරුම ලබාගැනීමත්’ අප කළ යුතු දෙයක් බවයි. යම් විෂයක් සම්බන්ධයෙන් ඇති විවිධ තොරතුරු එකිනෙකට සම්බන්ධ වන ආකාරය තේරුම්ගෙන එහි සම්පූර්ණ අර්ථය වටහාගැනීම ඊට අයත් වෙනවා. තේරුම ලබාගැනීමෙන් ප්‍රීතිය අත් කර ගත හැකියි. උදාහරණයකට නෙහෙමියාගේ කාලයේ සිටි ලෙවීවරුන් ‘සෙනඟට ව්‍යවස්ථාව තෝරා දුන්නා’ පමණක් නෙවෙයි ‘එහි අර්ථයත් තෝරා දුන්නා.’ පසුව “තමන්ට ප්‍රකාශ කරන ලද වචන තේරුම් ගත් නිසා [ඔවුන්] . . . බොහෝ සේ ප්‍රීති” වුණා. (නෙහෙමියා 8:7, 8, 12) සහෝදර ලිව්රන්ස් තම කතාව අවසන් කළේ මෙහෙමයි. “දෙවිගේ බලයෙන් ලියැවුණු ඔහුගේ වචනය තේරුම්ගැනීමෙන් ලැබෙන අමතර ප්‍රයෝජනයක් නම් ප්‍රීතිය ලැබීමයි.”

“ඇත්තටම ඔබේ සතුරා කවුද?” ඒ ගිලියද් පාසැලේ තවත් උපදේශකයෙක් වන සහෝදර මාක් නූමැයාර්ගේ කතාවේ මාතෘකාවයි. සමහර යුද්ධවලදී යම් සැලකිය යුතු සෙබළුන් සංඛ්‍යාවක් මිය යන්නේ තමාගේම පැත්තේ ඉන්න සෙබළුන් අතින් වැරදීමකින් වෙඩි පහර කෑමෙනුයි. “ක්‍රිස්තියානීන් හැටියට අපි කරන යුද්ධය ගැන කුමක් කියන්න පුළුවන්ද?” කියා ඔහු ඇසුවා. “අපිත්, අපගේ සතුරා කවුද කියා වටහාගැනීමට අසමත් වුණොත් අපගේම කණ්ඩායමේ සිටින අයට හානියක් සිදු කළ හැකියි.” අප තුළ ඊර්ෂ්‍යාව තිබෙනවා නම් එවැන්නක් සිදු විය හැකියි. එදා සාවුල් රජගේ නියම සතුරන්ව සිටියේ පිලිස්තිවරුන්. නමුත් ඊර්ෂ්‍යාව නිසා සාවුල්ට තම සතුරා සහ සෙසු නමස්කාරකයා වූ දාවිත් අතර වෙනස නොපෙනුණා. (1 සාමුවෙල් 18:7-9; 23:27, 28) කථිකයා පසුව ශිෂ්‍යයන්ගෙන් මෙහෙම ඇසුවා. “ඔබට වඩා හොඳින් දේවල් කරන සහෝදරයෙක් සමඟ වැඩ කරන්න සිදු වුණොත් ඔබ කරන්නේ කුමක්ද? ඔබ ඔහුව විවේචනය කරමින් ඔබේම මිත්‍රයාට තුවාල කරනවාද? නැතිනම් අන් අයට විවිධ පැතිවලින් මට වඩා හොඳින් දේවල් කරන්න පුළුවන් කියා පිළිගන්නවාද? අපි අන් අය කරන වැරදිවලට වැඩි අවධානයක් දෙන්න ගියොත් අපගේ නියම සතුරා හඳුනාගන්න අපිට නොහැකි වෙයි. අපේ ඇත්ත සතුරා වන සාතන්ට එරෙහිව සටන් කරන්න.”

වටිනා සම්මුඛ සාකච්ඡා සහ අද්දැකීම්

“ශුභාරංචිය ප්‍රකාශ කරන්නෙකුගේ වැඩේ කරන්න.” ඊළඟ කතාවේ තේමාව වුණේ එයයි. ගිලියද් උපදේශක සහෝදර ලෝරන්ස් බොවන් එම කතාව ඉදිරිපත් කළ අතර ඊට අද්දැකීම් සහ සම්මුඛ සාකච්ඡා ඇතුළත් වුණා. ඉන්පසු ඔහු 2 තිමෝති 4:5හි සඳහන් “ශුභාරංචිය ප්‍රකාශ කරන්නෙකුගේ වැඩේ” විස්තර කළා. තවදුරටත් ඔහු කිව්වේ “වෙනත් රටක සේවය කරන්න යන ඔබට එම වචන ඉතා හොඳින් ගැළපෙනවා කියායි. ඔබ දැනටමත් ඔබට හමු වන සියල්ලන්ට සාක්ෂි දැරීමේ වැඩය හොඳින් කර තිබෙනවා.” ඒ අතර ඉතාමත් දිරිගන්වනසුලු අද්දැකීම්ද ඉදිරිපත් කරනු ලැබුවා.

වැඩසටහනේ ඊළඟ කොටස් දෙක මෙහෙයවනු ලැබුවේ බෙතෙල් සාමාජිකයන් දෙදෙනෙක් වන මයිකල් බර්නට් සහ ස්කොට් ෂොෆ්නර් විසිනුයි. ඒ දෙදෙනා ඕස්ට්‍රේලියාව, බාබඩෝස්, කොරියාව සහ උගන්ඩාව යන රටවලින් පැමිණ සිටි ශාඛා කාර්යාල කමිටු සාමාජිකයන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කළා. වෙනත් රටක සේවය කරන එවැනි සහෝදර සහෝදරියන්ව බලාගැනීමටත් ඔවුන්ට අවශ්‍ය නවාතැන් සහ වෛද්‍යමය පහසුකම් සැපයීමටත් කොතරම් වෙහෙසක් දරනවාද යන්න ගැනත් ඔවුන් දැක්වූ අදහස්වලින් පැහැදිලි වුණා. එමෙන්ම ඔවුන් කිව්වේ වෙනත් රටක දේවසේවය කරන එවැනි අය එරටේ තත්වයන්ට අනුව සකස් වීමට කැමැත්තෙන් සිටිනවා කියායි.

දිරිගන්වන කදිම අවසානයක්

වැඩසටහනේ මූලික කතාව වූයේ “දෙවිට ගරුබිය ඇතිව ඔහුව මහිමයට පත් කරන්න” යන්නයි. එය ඉදිරිපත් කළේ බොහෝ කාලයක් පුරා පාලක මණ්ඩලයේ සේවය කරන සහෝදර ජෝන් ඊ. බාර් විසිනුයි. ඔහු එළිදරව් 14:6, 7හි සඳහන් මේ දේ ගැන සාකච්ඡා කළා. “මම තවත් දේවදූතයෙකු දුටිමි. අහස මැද පියාසර කරමින් සිටි ඔහුට, පොළොවේ වාසය කරන අයටත්, සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත් ප්‍රීතිමත් පණිවුඩයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා සදාකාල ශුභාරංචියක් තිබිණ. ඔහු මහත් හඬකින් මෙසේ කියන්නේය: ‘දෙවිට [ගරුබිය] ඇතිව සිටින්න. ඔහුව මහිමයට පත් කරන්න. මන්ද, ඔහුගේ විනිශ්චයේ පැය පැමිණ තිබේ.’”

ඒ දේවදූතයා සම්බන්ධයෙන් කරුණු තුනක් සිතට ගන්න කියා ඔහු ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටියා. පළමු එක නම් දේවදූතයාට ශුභාරංචිය ප්‍රකාශ කරන්න සිදු වුණා. ඊට යේසුස් දැන් දේවරාජ්‍යයේ රජු ලෙස පූර්ණ බලතල ඇතුව පාලනය කරමින් සිටිනවා යන්න ඇතුළත් වුණා. “යේසුස්ව රජ බවට පත් කළේ 1914දී බව අපිට කිසිම සැකයක් නැහැ. එමනිසා ඒ ප්‍රීතිමත් පණිවිඩය ලොව පුරාම ප්‍රකාශ කළ යුතුයි” කියා කථිකයා පැවසුවා. දෙවෙනි එක නම් දේවදූතයා පැවසූ “දෙවිට [ගරුබිය] ඇතිව සිටින්න” යන්නයි. ඒ ගැන ඔහු පැවසුවේ මෙහෙමයි. දේවසේවකයන් හැටියට ඔබ අන් අය තුළ දේවගරුබියක් ඇති කළ යුතුයි. එවිට ඔවුන් දෙවිව අසතුටු කරන දේවල්වලින් වලකියි. තුන්වෙනි එක නම් දේවදූතයා අණ කළ “ඔහුව මහිමයට පත් කරන්න” යන්නයි. කථිකයා මෙසේ පැවසුවා. “අපි සේවය කරන්නේ අපිටම මහිමය ලබාගන්න නොවෙයි. නමුත් දෙවිට මහිමය ගෙන දීමටයි. එය කවදාවත් අමතක කරන්න එපා.” ඉන්පසු “විනිශ්චයේ පැය” ගැන සාකච්ඡා කරමින් සහෝදර බාර් පැවසුවේ මෙහෙමයි. “අවසාන විනිශ්චය ප්‍රකාශ කිරීමට තව ඇත්තේ ඉතාමත් කෙටි කාලයක් පමණයි. විනාශය පැමිණීමට පෙර මෙම පණිවිඩය ඇසීමට නියමිත තව බොහෝදෙනෙක් සිටිනවා.”

එම වදන්වලින් ලැබූ දිරිගැන්වීමත් සමඟ පැවරුම් ලැබූ ශිෂ්‍යයන් 56දෙනාවම පොළොවේ ඈත මායිම්වලට යවනු ලැබුවා. එදින පැවරුම් ලැබූ ශිෂ්‍යයන් පමණක් නොව එහි රැස්ව සිටි අනෙකුත් සියල්ලනුත් ඉදිරිපත් කළ ඉතාමත් වටිනාකමකින් යුත් මඟ පෙන්වීම් නිසා ඉමහත්සේ සන්තෝෂ වුණා.

[17වන පිටුවේ කොටුව]

සහභාගි වූවන්ගේ විස්තර

නියෝජනය කළ රටවල් සංඛ්‍යාව: 6

පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 25

ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව: 56

වයසේ සාමාන්‍යය: 35.1

සත්‍යය තුළ සිටින වසර ගණනේ සාමාන්‍යය: 18.3

පූර්ණ කාලීන සේවයේ යෙදී සිටින වසර ගණනේ සාමාන්‍යය: 13.9

[18වන පිටුවේ පින්තූරය]

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් පුහුණුව ලත් 121වන පංතිය

පහත ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තු ගත කර තිබෙනවා.

(1) ෆොක්ස්, වයි.; කනිකි, ඩී.; විල්කින්සන්, එස්.; කාවාමෝටෝ, එස්.; කෝන්සෝලාන්ඩී, ජී.; මායන්, සී.; (2) සැන්ටියාගෝ, එන්.; ක්ලැන්සි, ආර්.; ෆිෂර්, එම්.; ඩී අබෲ, එල්.; ඩේවිස්, ඊ.; (3) හ්වාං, ජේ.; හොෆ්මන්, ඩී.; රිජ්වේ, එල්.; ඉබ්‍රාහිම්, ජේ.; ඩාබල්ෂ්ටයින්, ඒ.; බාකාබක්, එම්.; (4) පේටර්ස්, එම්.; ජෝන්ස්, සී.; ෆෝර්ඩ්, එස්.; පාරා, එස්.; රොත්රොක්, ඩී.; ටැට්ලෝ, එම්.; පෙරෙස්, ඊ.; (5)  ඩී අබෲ, එෆ්.; කාවාමෝටෝ, එස්.; අයිව්ස්, එස්.; බර්ඩෝ, ජේ.; හ්වාං, ජේ.; විල්කින්සන්, ඩී.; (6) ෆොක්ස්, ඒ.; බාකාබක්, ජේ.; සිකෞස්කි, පී.; ෆෝර්යේ, සී.; මායන්, එස්.; කෝන්සෝලාන්ඩී, ඊ.; රිජ්වේ, ඩබ්.; (7) පාරා, බී.; පෙරෙස්, බී.; ටැට්ලෝ, පී.; සැන්ටියාගෝ, එම්.; ඉබ්‍රාහිම්, වයි.; කනිකි, සී.; (8) බර්ඩෝ, සී.; සිකෞස්කි, බී.; අයිව්ස්, කේ.; ෆෝර්ඩ්, ඒ.; රොත්රොක්, ජේ.; හොෆ්මන්, ඩී.; ඩේවිස්, එම්.; (9) පේටර්ස්, සී.; ඩාබල්ෂ්ටයින්, සී.; ජෝන්ස්, කේ.; ක්ලැන්සි, එස්.; ෆිෂර්, ජේ.; ෆෝර්යේ, එස්.