Skip to content

පටුනට යන්න

ජීවිතය අගයමින් මිනිසුන්ට ප්‍රේම කළ මිනිසෙක්

ජීවිතය අගයමින් මිනිසුන්ට ප්‍රේම කළ මිනිසෙක්

ජීවිතය අගයමින් මිනිසුන්ට ප්‍රේම කළ මිනිසෙක්

ඔහු නමින් ඩැනියෙල් සිඩ්ලික්. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ඔහු බොහෝ කාලයක් සේවය කළ අතර නිව් යෝක් නුවරේ බෘක්ලින්වල පිහිටා ඇති බෙතෙල් ගෘහයේද වසර 60කට නොඅඩු කාලයක් සේවය කළා. අවසානයේදී වයස අවුරුදු 87ක් වූ ඔහු ජීවිතයෙන් සමුගත්තේ 2006 අප්‍රියෙල් 18වන අඟහරුවාදායි.

වර්ෂ 1946දී බෙතෙල් පවුලට එක් වූ විට ඔහුගේ මිතුරන් ආදරේට ඔහුට කිව්වේ සහෝදර ඩෑන් කියලයි. බෙතෙල් සේවය පටන්ගැනීමට පෙර ඔහු කැලිෆෝනියාවේ සිටි විශේෂ පුරෝගාමියෙක්. ඒ විතරක් නෙවෙයි දෙවන ලෝක මහා යුද්ධය ඇවිළුණු කාලයේ යුද්ධයට හවුල් වීම ප්‍රතික්ෂේප කළ නිසා සිරගෙයි ඉන්නත් ඔහුට සිදු වුණා. ඔහුගේ ජීවිත කතාව 1985 ජූනි 1 වොච්ටවර් කලාපයේ “අහෝ දෙවි, ඔබගේ මිත්‍රයෙක් වීම කොයි තරම් අගනේද!” යන මාතෘකාවෙන් යුත් ලිපියේ සඳහන් වී තිබෙනවා.

සහෝදර සිඩ්ලික් නිහතමානී සහ මිත්‍රශීලී කෙනෙක් ලෙස කොයි කා අතරත් හොඳ නමක් දිනාගෙන සිටියා. බෙතෙල් ගෘහයේ දිනපද සාකච්ඡාව මෙහෙයවද්දී, බොහෝ විට ඔහුගේ මුවින් පිට වූ මුල්ම වචන කිහිපය වුණේ මේවායි. “අද දවසේත් යෙහෝවා දෙවිට සේවය කරන්න අපිට ජීවිතය ලැබී තිබෙන එක කොයි තරම් හොඳ දෙයක්ද!” මෙයින් ඔහුට දෙවිගේ සේවය වෙනුවෙන් තිබූ කදිම ආකල්පය සහ ජීවිතයට ඔහු දැක්වූ අගය මනාව පැහැදිලි වුණා. දක්ෂ කථිකයෙක් හැටියට කතා ඉදිරිපත් කරන විටද ඔහු උත්සාහ කළේ එම ආකල්පය අන්‍යයන් තුළත් ඇති කිරීමටයි. ඒ කතා අතරට “යෙහෝවාව තම දෙවි කොට ගන්නා ජනයා සන්තෝෂවත්ය,” “යෙහෝවා දෙවිගේ ප්‍රීතිය ප්‍රකාශ කිරීම,” “දෙවිගේ බලය ඔබ තුළ දිගටම දල්වා තබන්න” සහ “ප්‍රීතිමත් කාලයක් ඉදිරියේදී” වැනි කතා ඇතුළත් වෙනවා.

තම දිවියේ අලුත් පිටුවක් පෙරළමින් එංගලන්තයේ මරීනා හඩ්සන් සමඟ ඔහු 1970දී විවාහ වුණා. ඔහු තම ආදරණීය බිරිඳව සැලකුවේ “දෙවිගෙන් ලැබුණු තෑග්ගක් “ හැටියටයි. ඔවුන් දෙදෙනාම එක්ව අවුරුදු 35කට වැඩි කාලයක් පුරා යෙහෝවා දෙවිට සේවය කළා.

ඔහු බෙතෙල් ගෘහයේ සේවය කළ කාලයේදී මුද්‍රණ අංශය, ලේඛන කමිටුව සහ ගුවන් විදුලි සේවා අංශය යන විවිධ පැවරුම්වල සේවය කළා. ඉන්පසුව 1974 නොවැම්බර් මාසයේ ඔහුව පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස පත් කළා. එහිදී ඔහු කාර්ය මණ්ඩල කමිටුවේ සහ ලේඛන කමිටුවේද සේවය කළා.

කාර්ය මණ්ඩල කමිටුවේ සේවය කළ අවුරුදු 30 පුරාම ඔහුගේ ජීවිතයේ කැපීපෙනෙන දෙයක් තිබුණා. ඒ මිනිසුන් කෙරෙහි ඔහුට තිබූ අවංක ප්‍රේමයයි. දෙවිට සේවය කිරීම කොයි තරම් ගෞරවණීය මෙන්ම උතුම් වරප්‍රසාදයක්ද කියා අන් අයට නිතර කියු ඔහු, තම තියුණු කට හඬින් බොහෝදෙනෙකුව දිරිගැන්නුවා. තවත් ඔහු නිතරම පැවසූ දෙයක් තමයි සැප සම්පත්වලින් නම් ජීවිතයේ සැබෑ සතුට ලැබෙන්නේ නැහැයි කියන එක. නමුත් යෙහෝවා දෙවිට ළංවීමෙන් සහ ජීවිතය අගය කිරීමෙන් එය ලබාගත හැකි බව ඔහු කිව්වා.

සහෝදර සිඩ්ලික්ව බෙතෙල් පවුලට අහිමි වීම ඔවුන්ට ලොකු පාඩුවක්. නමුත් ජීවිතය අගය කරමින් සහ අන්‍යයන්ට ප්‍රේම කරමින් ඔහු තැබූ කදිම ආදර්ශය ඔවුන්ට තවමත් ජීවමානයි. එළිදරව් 14:13හි සඳහන් අය අතරට සහෝදර සිඩ්ලික්ද ඇතුළත් වී ඇති බව අපගේ විශ්වාසයයි. “ස්වාමීන් තුළ මැරෙන මළවුන් සන්තෝෂවත්ය. ආත්මය මෙසේ කියන්නේය: එසේය, ඔවුහු තමුන්ගේ වෙහෙසීම්වලින් විවේක ගනිත්වා! මන්ද ඔවුන් කළ දේ ඔවුන් සමඟ යන්නේය.”