Skip to content

පටුනට යන්න

“පළමුවන නැවත නැඟිටීම” දැන් සිදු වෙයි!

“පළමුවන නැවත නැඟිටීම” දැන් සිදු වෙයි!

“පළමුවන නැවත නැඟිටීම” දැන් සිදු වෙයි!

“ක්‍රිස්තුස් සමඟ එක්සත්ව මැරී සිටින අය පළමුවෙන් නැඟිටින්නෝය.”—1 තෙසලෝනික 4:16.

1, 2. (අ) මිය ගිය අය සඳහා ඇති බලාපොරොත්තුව කුමක්ද? (ආ) ඔබට එය විශ්වාස කිරීමට ඇති පදනම කුමක්ද? (පාදසටහන බලන්න)

“ජීවත් වන්නෝ තමන් නසින බව දනිති” කියා බයිබලයේ සඳහන් වෙනවා. මේ දක්වා ජීවත් වූ සියලුම මිනිසුන්ද එය හොඳින් අද්දැක තිබෙන දෙයක්. එසේ වුණත් බොහෝදෙනා මෙසේ ප්‍රශ්න කරනවා. මරණින් පසු සිදු වන්නේ කුමක්ද? මිය ගිය අය සිටින්නේ කුමන තත්වයකද? එම ප්‍රශ්නවලට බයිබලය සරලව පිළිතුරු දෙන්නේ මෙසේයි. “මළාහු කිසිවක් නොදනිති.”—දේශනාකාරයා 9:5.

2 එසේනම් මිය ගිය අයට කිසිම බලාපොරොත්තුවක් නැද්ද? තිබෙනවා. මනුෂ්‍යයන් සම්බන්ධයෙන් යෙහෝවා දෙවිගේ මුල් අරමුණ ඉටුවීමට නම් බලාපොරොත්තුවක් තිබිය යුතුයි. දෙවිට විශ්වාසවන්ත ඇදහිලිවන්තයන් බොහෝදෙනෙක් සියවස් ගණනාවක් පුරා සිට තිබෙනවා. ඔවුන් වංශයෙන් පැමිණෙන තැනැත්තා පිළිබඳවත් එම තැනැත්තා සාතන්ව සහ ඔහුගේ ක්‍රියා විනාශ කරන්න යන ආකාරය පිළිබඳවත් දෙවි දුන් පොරොන්දු කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. (උත්පත්ති 3:15) නමුත් ඔවුන්ගෙන් වැඩිදෙනෙක් දැන් ජීවතුන් අතර නැහැ. එසේනම් දෙවි දුන් ඒ පොරොන්දුව සහ අනෙකුත් පොරොන්දු ඉටු වන ආකාරය ඔවුන් දකින්නේ කෙසේද? ඒ සඳහා ඔවුන්ව මළවුන්ගෙන් නැවත නැඟිටුවිය යුතුයි. (හෙබ්‍රෙව් 11:13) එය කළ හැකි දෙයක්ද? ඇත්තෙන්ම ඔව්. ඒ ගැන පාවුල් පැවසුවේ “ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක් තිබෙන්න යන” බවයි. (ක්‍රියා 24:15) එක් අවස්ථාවකදී යුතිකස් නම් තරුණයෙක් ගොඩනැගිල්ලක තුන්වන මහලේ සිට ජනේලයකින් පහළට වැටුණා. ඔහුව “ඔසවාගත් විට, ඔහු මැරී සිටියා.” නමුත් පාවුල් යුතිකස්ව නැවත නැඟිටෙව්වා. බයිබලයේ වාර්තා වී ඇති නැවත නැඟිටුවීම් නවයෙන් අවසාන එක එයයි.—ක්‍රියා 20:7-12. *

3. යොහන් 5:28, 29හි වාර්තා වී ඇති යේසුස්ගේ වචන ඔබට පෞද්ගලිකව සැනසීමක් ගෙන දී ඇත්තේ කෙසේද?

3 පාවුල් කියූ ඒ දේ මත විශ්වාසය තැබීමට එම නැවත නැඟිටුවීම් නවය අපට හොඳ හේතු සපයනවා. එනිසා යේසුස් පැවසූ මේ වචන කෙරෙහිද අපිට විශ්වාසය තැබිය හැකියි. “සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට ඔහුගේ [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණ . . . පිටතට එන්නෝය.” (යොහන් 5:28, 29) ඒවා මොන තරම් සන්තෝෂය ගෙන දෙන වචනද! එමෙන්ම වියෝ දුකින් පෙළෙන අසංඛ්‍යාතදෙනාට ඉන් මොන තරම් සහනයක් ලැබෙනවාද!

4, 5. බයිබලයේ සඳහන් කරන එකිනෙකට වෙනස් නැවත නැඟිටුවීම් මොනවාද? මෙම ලිපියේ සාකච්ඡා කරන්නේ ඉන් කුමන එක ගැනද?

4 එසේ නැවත නැඟිටුවනු ලබන අය ජීවත් වන්නේ දේවරාජ්‍යය යටතේ පාලනය වන සාමකාමී පොළොවකයි. (ගීතාවලිය 37:10, 11, 29; යෙසායා 11:6-9; 35:5, 6; 65:21-23) ඊට පෙර නැවත නැඟිටුවනු ලබන තවත් කණ්ඩායමක් සිටිනවා. ඒ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්. නමුත් මේ සියල්ල සිදුවීමට නම් ප්‍රථමයෙන්ම යේසුස් ක්‍රිස්තුස්ව නැවත නැඟිටුවිය යුතු වුණා. ඒ තම මිනිස් ජීවිතය පූජා කර ඇති බව දැක්වීමට ස්වර්ගයට ගොස් දෙවි ඉදිරියේ පෙනී සිටීමටයි. මිය ගිය යේසුස්ව ක්‍රි.ව. 33දී නැවත නැඟිටෙව්වා.

5 “දෙවිගේ ඊශ්‍රායෙල්ට” අයත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව “සැමවිටම ස්වාමීන් සමඟ” සිටීම සඳහා නැවත නැඟිටුවනු ලබනවා. (ගලාති 6:16; 1 තෙසලෝනික 4:17) එය හඳුන්වන්නේ “කලින් සිදු වෙන . . . නැවත නැඟිටීම” නැතහොත් “පළමුවන නැවත නැඟිටීම” ලෙසයි. (ෆිලිප්පි 3:10, 11; එළිදරව් 20:6) එය සම්පූර්ණයෙන් සිදු වූ පසු තවත් දෙයක් සිදුවීමට නියමිතයි. එය නම් පොළොව මත සදාකල් ජීවිතය සඳහා ගණන් කළ නොහැකි මහත් සංඛ්‍යාවකගේ නැවත නැඟිටීමයි. අපගේ බලාපොරොත්තුව ස්වර්ගයේ හෝ පොළොවේ ජීවත් වීම විය හැකියි. ඒ කුමක් වුණත් එම “පළමුවන නැවත නැඟිටීම” ගැන සොයා බැලීමට අපි උනන්දු විය යුතුයි. එය කුමානාකාරයේ නැවත නැඟිටීමක්ද? එය සිදු වන්නේ කවදාද?

“කුමනාකාරයේ ශරීරයක් ඇතිවද?”

6, 7. (අ) අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ස්වර්ගයට යෑමට පෙර සිදු විය යුත්තේ කුමක්ද? (ආ) ඔවුන්ව නැවත නැඟිටුවනු ලබන්නේ කුමනාකාරයේ ශරීරයක් ඇතිවද?

6 පාවුල් කොරින්තිවරුන්ට ලියූ තම මුල් ලිපියේ එම පළමු නැවත නැඟිටුවීම ගැන මෙසේ ඇසුවා. “මළවුන්ව නැඟිටුවනු ලබන්නේ කෙසේද? ඔවුන් පැමිණෙන්නේ කුමනාකාරයේ ශරීරයක් ඇතිවද?” ඔහුම ඊට පිළිතුරු දුන්නේ මෙසේයි. “ඔබ වපුරන දේ ජීවත් වන්නේ පළමුවෙන් එය මිය ගියොත් පමණි. . . . නමුත් දෙවි තමන් කැමති පරිදි, එයට ශරීරයක්ද . . . දෙන්නේය. . . . නමුත් ස්වර්ගීය ශරීරවලට අයත් තේජස එක් ආකාරයකි. භූමික ශරීරවලට අයත් තේජස තවත් ආකාරයකි.”—1 කොරින්ති 15:35-40.

7 දෙවිගේ බලයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ස්වර්ගයට යෑමට පෙර මිය යා යුතු බව පාවුල් සඳහන් කරනවා. පසුව ඔවුන්ගේ මළ ශරීර දූවිල්ලට හැරී යනවා. (උත්පත්ති 3:19) නමුත් දෙවිගේ නියමිත කාලයේදී ඔවුන්ව නැවත නැඟිටුවනු ලබන්නේ ස්වර්ගික ජීවිතයට සුදුසු ශරීරයක් ඇතුවයි. (1 යොහන් 3:2) එහිදී යෙහෝවා දෙවි ඔවුන්ට අමරණීයභාවය ත්‍යාග කරනවා. පාවුල් ඒ ගැන කියන්නේ “මැරෙනසුලු වූ මෙය, අමරණීයභාවය පැළඳගත යුතුය” කියායි. පළමු නැවත නැඟිටුවීම ලබන අය ‘පැළඳගන්නා’ එම අමරණීයභාවය යෙහෝවා දෙවි ඔවුන්ට දෙන අගනා ත්‍යාගයක්.—1 කොරින්ති 15:50, 53; උත්පත්ති 2:7; 2 කොරින්ති 5:1, 2, 8.

8. මෙම 1,44,000දෙනාට විවිධ ආගම් අදහන්නන් අයත් නොවන බව අප දන්නේ කෙසේද?

8 එම පළමුවන නැවත නැඟිටුවීම ලබන්නේ 1,44,000දෙනා පමණයි. යෙහෝවා දෙවි ඔවුන්ව තෝරාගැනීම ආරම්භ කළේ යේසුස්ව නැවත නැඟිටුවා ටික දවසකට පසුවයි. එනම් ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ සිටයි. “[යේසුස්ගේ] නාමයද ඔහුගේ පියාණන්ගේ නාමයද ඔවුන්ගේ නළල් මත ලියා තිබුණේය.” (එළිදරව් 14:1, 3) මේ අනුව මෙම සාමාජිකයන්ට අයත් වන්නේ විවිධ ආගම් අදහන අය නොවෙයි. ඔවුන් සියලුදෙනාම ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයන්. ඔවුන් යෙහෝවා දෙවිගේ නාමය දැරීම සලකන්නේ ඉතාමත් ගෞරවණීය දෙයක් හැටියටයි. නැවත නැඟිටුවන ඔවුන්ට ස්වර්ගයෙහි කිරීමට විශේෂිත පැවරුමක් ලැබෙනවා. අනාගතයේදී දෙවිට එතරම් කිට්ටුවෙන් සේවය කරන්න ලැබීම ගැන ඔවුන් ප්‍රීතියෙන් ඉපිළ යනවා.

දැන් සිදු වෙනවාද?

9. පළමු නැවත නැඟිටුවීම සිදු වන්නේ කවදාද කියා තේරුම් ගැනීමට එළිදරව් 12:7 සහ 17:14 සඳහන් දේ උපකාරවත් වන්නේ කෙසේද?

9 පළමුවන නැවත නැඟිටුවීම සිදු වන්නේ කවදාද? එය දැන් සිදු වෙමින් පවතිනවා කියා කියන්න ප්‍රබල සාක්ෂි තිබෙනවා. එය තේරුම්ගැනීමට එළිදරව් පොතේ 12වන සහ 17වන පරිච්ඡේද සලකා බලන්න. මුලින්ම 12වන පරිච්ඡේදයේ පවසන්නේ ස්වර්ගයෙහි නව රජු වන යේසුස් තම දූතයන් සමඟ සාතන්ට සහ ඔහුගේ භූතයන්ට විරුද්ධව කළ සටන ගැනයි. (එළිදරව් 12:7-9) එය සිදු වූයේ වර්ෂ 1914දී බව අපි දන්නවා. * මෙහිදී කැපීපෙනෙන දෙයක් වන්නේ යේසුස් සමඟ එම යුද්ධයට කිසිම අභිෂේක ලත් ක්‍රිස්තියානියෙක් හවුල් වූ බව එහි සඳහන් නොවීමයි. දැන් එළිදරව් 17වන පරිච්ඡේදයේ සඳහන් දේ සලකා බලන්න. එහි සඳහන් ලෙස “මහ බැබිලෝනිය” විනාශ වූ පසු බැටළු පැටවා ජාතීන්ව පරාජය කරනවා. එහි තවදුරටත් පවසන්නේ “ඔහු සමඟ සිටින කැඳවාගත්තාවූ, තෝරාගත්තාවූ, විශ්වාසවන්ත වූ අයත් ඔවුන්ව පරාජය කරනු ඇත” කියායි. (එළිදරව් 17:5, 14) එම “කැඳවාගත්තාවූ, තෝරාගත්තාවූ, විශ්වාසවන්ත වූ” අය යේසුස් සමඟ සාතන්ගේ දුෂ්ට සමාජය සම්පූර්ණයෙන් විනාශ කිරීමේ කාර්යයට හවුල් වීමට නම් ඔවුන්ව ඊට පෙර නැවත නැඟිටුවිය යුතුයි. ඉන් පැහැදිලි වන්නේ මේ දුෂ්ට සමාජයේ අවසානයට කලින් මිය යන අභිෂේක ලත් ක්‍රිස්තියානීන් නැවත නැඟිටුවනු ලබන්නේ 1914ත් මේ දුෂ්ට සමාජයේ අවසානයත් අතර කාලයේදී බවයි.

10, 11. (අ) වැඩිමහල්ලන් 24දෙනාගෙන් නියෝජනය වන්නේ කාවද? ඔවුන්ගෙන් කෙනෙක් යොහන්ට හෙළි කළේ කුමක්ද? (ආ) ඉන් අපිට නිගමනය කරන්න පුළුවන් කුමක්ද?

10 පළමු නැවත නැඟිටීම ආරම්භ වූයේ කවදාද කියා වඩාත් පැහැදිලිව කිව හැකිද? ඒ සඳහා පැහැදිලි ඉඟියක් එළිදරව් 7:9-15හි සඳහන් වෙනවා. එහි සඳහන් ලෙස “කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක්” ගැන යොහන්ට පවසන්නේ වැඩිමහල්ලන් 24දෙනාගෙන් කෙනෙක්. මේ වැඩිමහල්ලන් 24දෙනාගෙන් නියෝජනය කළේ ස්වර්ගයට ගොස් තම තනතුරුවල සිටින 1,44,000දෙනාවයි. * (ලූක් 22:28-30; එළිදරව් 4:4) යොහන්ට ස්වර්ගික බලාපොරොත්තුවක් තිබුණත් ඒ දර්ශනය දුටු කාලයේ ඔහු සිටියේ පොළොවෙයි. එනිසා ඔහුගෙන් පොළොව මත ඉතිරිව සිටි අභිෂේක ලත් අයව නියෝජනය කළා විය යුතුයි.

11 යොහන් ඒ දර්ශනය දුටු කාලයේදී අභිෂේක ලත් කිසිවෙක් ස්වර්ගයට ගොස් සිටියේ නැහැ. එය ඉටුවීමට නියමිතව තිබුණේ යේසුස් පැමිණ සිටින කාලය තුළයි. ඒ අනුව වැඩිමහල්ලන් 24දෙනාගෙන් කෙනෙක් මහත් සමූහය ගැන යොහන්ට කළ එළිදරව්වෙන් අපට කුමන නිගමනයකට පැමිණිය හැකිද? පෙනෙන ආකාරයට එම සිද්ධියෙන් අපට වැටහෙන්නේ දැනටමත් ස්වර්ගයට ගොස් සිටින අභිෂේක ලත් අය, පොළොව මත සිටින විශ්වාසවන්ත නුවණ ඇති දාසයා සමඟ වැදගත් සත්‍යයන් බෙදාගන්නා බව. එසේ පවසන්න පුළුවන් කොහොමද? මහත් සමූහයක් සිටින බව ප්‍රථමයෙන්ම දාසයා හඳුනාගත්තේ 1935දීයි. යොහන් දුටු දර්ශනයට අනුව එම සත්‍යය දාසයාට හෙළි කිරීමට නම් අභිෂේක ලත් අයගෙන් කොටසක් 1935 වන විට ස්වර්ගයට ගොස් සිටිය යුතුයි. ඉන් පැහැදිලි වන්නේ පළමු නැවත නැඟිටුවීම 1914 සහ 1935 අතර කාලයේ පටන්ගෙන ඇති බවයි. ඒ ගැන වඩාත් පැහැදිලි සාක්ෂි තිබෙනවාද?

12. පළමු නැවත නැඟිටුවීම 1918 වසන්තයේදී ආරම්භ වුණා කියා නිගමනය කළ හැක්කේ ඇයි? විස්තර කරන්න.

12 එය වටහාගැනීමට බයිබලයේ සඳහන් සමාන්තර සිද්ධීන් සලකා බලමු. උදාහරණයකට යේසුස් ක්‍රි.ව. 29දී බව්තීස්ම වූ අවස්ථාවේ ඔහුව දේවරාජ්‍යයේ රජු ලෙස අභිෂේක කළා. ඉන් වසර තුනහමාරකට පසුව, එනම් ක්‍රි.ව. 33 වසන්තයේදී ඔහු මිය ගිය අතර දවස් කිහිපයකට පසුව නැවත නැඟිටුවනු ලැබුවා. ඒ හා සමානව යේසුස් 1914දී රජ බවට පත් වී අවුරුදු තුනහමාරකට පසුව එනම්, 1918 වසන්තයේදී මරණයේ සැතපී සිටි අභිෂේක ලත් සාමාජිකයන්ව ස්වර්ගයට නැවත නැඟිටුවනු ලැබුවා විය නොහැකිද? එසේ විය හැකියි. ඒ ගැන බයිබලයේ නිශ්චිතවම සඳහන් නොකළත් පළමු නැවත නැඟිටුවීම ආරම්භ වුණේ යේසුස් පැමිණ සිටින කාලයේ ආරම්භයත් සමඟමයි යන බයිබලයේ සඳහන් දෙයට එය පටහැනිද නැහැ.

13. පළමු නැවත නැඟිටුවීම ආරම්භ වුණේ ක්‍රිස්තුස් පැමිණ සිටින මුල් කාලයේදී බව 1 තෙසලෝනික 4:15-17හි සඳහන් දෙයින් පැහැදිලි වන්නේ කෙසේද?

13 පාවුල් පැවසූ දේ සලකා බලන්න. “ස්වාමීන්ගේ පැමිණ සිටීම දක්වා [ස්වාමීන්ගේ පැමිණ සිටීමේ අවසානය දක්වා නොව] ජීවත්ව සිටින අපි, මරණයේ සැතපී සිටින අයට කලින් කිසිසේත් ඉස්සර නොවන්නෙමු. මන්ද ස්වාමීන්ම අණ දීමේ ශබ්දයක්ද, අග්‍රදේවදූතයෙකුගේ හඬද, දෙවිගේ හොරණෑවද ඇතිව ස්වර්ගයෙන් බැස එන්නේය. ක්‍රිස්තුස් සමඟ එක්සත්ව මැරී සිටින අය පළමුවෙන් නැඟිටින්නෝය. ඉන්පසුව, ජීවත්ව ඉතිරිව සිටින අපි ස්වාමීන්ව අහසේදී හමු වන පිණිස, ඔවුන් සමඟ වලාකුළුවලින් ඔසවාගනු ලබන්නෙමු. මෙසේ අපි සැමවිටම ස්වාමීන් සමඟ සිටින්නෙමු.” (1 තෙසලෝනික 4:15-17) ඔහුගේ එම වචනවලට අනුව ප්‍රථමයෙන්ම නැවත නැඟිටුවනු ලැබුවේ යේසුස් 1914දී රජ වීමට පෙර මිය ගිය අභිෂේක ලත් ක්‍රිස්තියානීන්වයි. පොළොව මත දැනටමත් ඉතිරිව සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව නැවත නැඟිටුවනු ලබන්නේ ඉන් පසුවයි. ඒ අනුව පළමු නැවත නැඟිටුවීම ඇරඹුණේ ස්වාමීන්ගේ “පැමිණ සිටීමේ” මුල් කාලයේදී වන අතර එය එතැන් සිට ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය පුරාවටම සිදු වෙනවා. (1 කොරින්ති 15:23) මින් පැහැදිලි වන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සියලුදෙනාවම එක වර නැවත නැඟිටුවනවා වෙනුවට එය කාලයක් පුරා සිදු කරන බවයි.

“ඔවුන් එකිනෙකාට සුදු සළුවක්ද දෙන ලදි”

14. (අ) එළිදරව් හයවන පරිච්ඡේදයේ සඳහන් දර්ශනය ඉටු වන්නේ කුමන කාලයේද? (ආ) එළිදරව් 6:9හි විස්තර කරන්නේ කුමක් ගැනද?

14 එළිදරව් හයවන පරිච්ඡේදයේ සඳහන් දර්ශනයෙහි යේසුස් සිටින්නේ සුදු පැහැති අශ්වයෙක් මත හිඳ ජයග්‍රහණය කරා ඇදෙමින් සිටින රජෙකු ලෙසයි. (එළිදරව් 6:2) ඒ කාලයේ පොළොවේ ජාතීන් මහා පරිමාණයෙන් යුද්ධවල හවුල් වී සිටිනවා. (එළිදරව් 6:4) සාගත දසත පැතිර තිබෙනවා. (එළිදරව් 6:5, 6) මාරාන්තික වසංගත මිනිසුන්ව බිලිගන්නවා. (එළිදරව් 6:8) ඒ දර්ශනයේ සඳහන් සියලුම සිද්ධීන් සත්‍යයක් බව තහවුරු වී තිබෙන්නේ 1914 සිටයි. නමුත් ඒ දර්ශනයේ තිබෙන තවත් දෙයක් අපගේ අවධානයට ලක් වෙනවා. එනම් පූජාසනයක්. “දෙවිගේ වචනය නිසාද තමන්ට තිබුණු සාක්ෂි දැරීමේ කාර්යය නිසාද මරනු ලැබූවන්ගේ රුධිරය [එම] පූජාසනය යට තිබෙනවා.” (එළිදරව් 6:9) ‘මාංසයෙහි ප්‍රාණය තිබෙන්නේ රුධිරයෙයි.’ ඒ අනුව පූජාසනය යට තිබෙන රුධිරයෙන් නියෝජනය වන්නේ නිර්භීතව සහ උද්‍යෝගයෙන් සාක්ෂි දැරූ නිසා මරනු ලැබූ යේසුස්ගේ විශ්වාසවන්ත අභිෂේක ලත් සාමාජිකයන්වයි.—ලෙවී කතාව 17:11.

15, 16. පළමුවන නැවත නැඟිටුවීම ගැන අප එළිදරව් 6:10, 11න් තේරුම්ගන්නේ කුමක්ද?

15 පුරාණයේ මරනු ලැබූ ආබෙල්ගේ රුධිරය මෙන් මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ රුධිරයද යුක්තිය ඉල්ලා හඬ නඟනවා කියා පැවසිය හැකියි. (උත්පත්ති 4:10) “ඔවුහු මහත් ශබ්දයකින් හඬ නඟා, ‘ශුද්ධ වූද සැබෑ වූද පරමාධිපති ස්වාමිනි, පොළොවෙහි වාසය කරන්නන්ව විනිශ්චය කිරීමෙන් සහ අපේ ලේ ගැන ඔවුන්ගෙන් පළිගැනීමෙන් ඔබ වැළකී සිටින්නේ තව කොපමණ කලකටද?’” කියා අසනවා. ඊට ලැබෙන ප්‍රතිචාරය කුමක්ද? එහි තවදුරටත් කියන්නේ මෙසේයි. “ඔවුන් එකිනෙකාට සුදු සළුවක්ද දෙන ලදි. තවද, ඔවුන් මෙන් මරනු ලැබීමට සිටි ඔවුන්ගේ සෙසු දාසයන්ගේ හා සහෝදරයන්ගේ ගණනත් සම්පූර්ණ වන තුරු තව ටික කලක් නවතින්නයයි ඔවුන්ට කියන ලදි.”—එළිදරව් 6:10, 11.

16 එහි සඳහන් සුදු සළු දෙනු ලැබුවේ පූජාසනය යට තිබූ රුධිරයට නොව ඉන් නියෝජනය වූ පුද්ගලයන්ටයි. මේ වන විට ඔවුන් යේසුස්ගේ නාමය නිසා තම ජීවිතය පූජා කොට ස්වර්ගයට ගොස් සිටිනවා. ඒ බව අපි දන්නේ කොහොමද? එළිදරව් පොතේ මුල් පරිච්ඡේදවල මෙසේ සඳහන් වෙනවා. “ජයගන්නාට මෙසේ සුදු පිටත වස්ත්‍ර පළඳවනු ලබන්නේය. මම ඔහුගේ නම ජීවන පොතෙන් කිසිසේත්ම මකා නොහරින්නෙමි.” එමෙන්ම ඔවුන් ස්වර්ගයේ “සුදු පිටත වස්ත්‍ර ඇඳ, තම හිස් මත රන් ඔටුනු පැළඳ වාඩි වී සිටි” බවත් සැලකිල්ලට ගන්න. (එළිදරව් 3:5; 4:4) ඉන් අදහස් කරන්නේ 1,44,000දෙනාට අයත් මිය ගොස් සිටින ක්‍රිස්තියානීන්ව ස්වර්ගයට නැවත නැඟිටුවා ඔවුන්ව සංකේතාත්මක සුදු සළුවලින් පැළදෙව්වා යන්නයි. එය සිදු වූයේ යුද්ධ, සාගත, හා වසංගත පොළොවට පහර දීම ආරම්භ වුණාට පසුවයි.

17. සුදු සළු ලබන අය ‘නැවතිය’ යුත්තේ කුමන අර්ථයෙන්ද?

17 දැනටමත් ස්වර්ගයට ගොස් සිටින අය ටික කලක් ‘නැවතිය’ යුතුයි. එනම් දෙවිගේ පළිගැනීමේ දවස එන තෙක් ඔවුන් ඉවසිලිවන්තව බලා සිටිය යුතුයි. එයට හේතුව වන්නේ තවමත් පොළොව මත සිටින ඔවුන්ගේ “සෙසු දාසයන්” පීඩා හමුවේ තම විශ්වාසවන්තකම ඔප්පු කළ යුතු නිසයි. අවසානයේදී දිව්‍ය විනිශ්චය ක්‍රියාත්මක වීමත් සමඟ ඔවුන්ගේ ‘නැවතීමේ’ කාලය එනම් බලා සිටි කාලය අවසන් වෙයි. (එළිදරව් 7:3) එදාට නැවත නැඟිටුවා ස්වර්ගයට ගොස් සිටින අභිෂේක ලත් අය යේසුස් සමඟ එක් වී දුෂ්ටයන්ගෙන් පළිගන්නවා. ඒ දුෂ්ටයන් අතර නිරපරාදේ සැබෑ ක්‍රිස්තියානීන්ව ඝාතනය කළ අයත් සිටිනවා.—2 තෙසලෝනික 1:7-10.

අපට ඇති ප්‍රයෝජනය

18, 19. (අ) පළමු නැවත නැඟිටුවීම දැන් සිදු වෙමින් තිබෙනවා කියා ඔබ පවසන්නේ ඇයි? (ආ) පළමු නැවත නැඟිටීම ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?

18 පළමු නැවත නැඟිටුවීම හරියටම සිදු වන දිනය බයිබලයේ සඳහන් නොවුවත් ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය පුරා එය සිදු වෙමින් තිබෙන බව බයිබලයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒ අනුව පළමුව නැවත නැඟිටුවනු ලබන්නේ ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීමට කලින් මිය ගිය අභිෂේක ලත් ක්‍රිස්තියානීන්වයි. ඉතිරි අභිෂේක ලත් අය ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය පුරා නැවත නැඟිටුවනු ලබනවා. ඔවුන් තම විශ්වාසවන්තභාවය රැක මිය යන විට “ඇසිපිය හෙළන සැණින්” ඔවුන්ව ස්වර්ගයට නැවත නැඟිටුවනවා. (1 කොරින්ති 15:52) ඒ අනුව බලද්දී මේ දුෂ්ට සමාජයේ විනාශයට පෙර සියලුම අභිෂේක ලත් සාමාජිකයන් ස්වර්ගයට ගොස් සිටීවිද? එයට පිළිතුර අපි නොදන්නවා වුණත් අපිට එක් දෙයක් පැහැදිලියි. එනම් යෙහෝවා දෙවිගේ නියමිත කාලයේදී 1,44,000දෙනාට අයත් සියලුම සාමාජිකයන් ස්වර්ගික සියොන් කන්දේ සිටින්න යන බවයි.

19 අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් වැඩි පිරිසක් දැනටමත් ක්‍රිස්තුස් සමඟ එක්සත් වී සිටින බව අපිට ඉතා පැහැදිලියි. පොළොව මත ඉතිරිව සිටින්නේ ඉතාමත් සුළු සංඛ්‍යාවක් පමණයි. දෙවිගේ විනිශ්චය කිරීමේ දවස ඉතාමත් ශීඝ්‍රයෙන් පැමිණෙමින් තිබෙන බවට එය මොන තරම් සාක්ෂියක්ද! ඉතාමත් ඉක්මනින්ම සාතන්ගේ දුෂ්ට සමාජය සම්පූර්ණයෙන් අවසන් වෙයි. සාතන්වත් අගාධයට දමනු ලබනවා. ඉන්පසුව පොළොව මත ජීවත් වීම සඳහා මිනිසුන්ව නැවත නැඟිටුවීම ආරම්භ වෙනවා. ඊට පදනම වන්නේ යේසුස්ගේ ජීවිත පූජාවයි. පසුව ඔවුන් සියලුදෙනාම ආදම් අහිමි කරගත් ඒ පරිපූර්ණත්වය නැවත අත් කරගන්නවා. උත්පත්ති 3:15හි සඳහන් යෙහෝවා දෙවි පැවසූ අනාවැකිය පුදුම දනවන ලෙස ඉටු වෙමින් තිබෙනවා. ඒ සියලු දේවල ඉටුවීම දකිමින් මේ කාලය තුළ ජීවත් වීමට ලැබීම මොන තරම් දෙයක්ද!

[පාදසටහන්වල]

^ 9 ඡේ. ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය ආරම්භ වුණේ 1914 සිට කියා පැවසීමට බයිබලයේ සපයන පදනම දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත, බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 215-18 දක්වා පිටු බලන්න.

^ 10 ඡේ. වැඩිමහල්ලන් 24දෙනාගෙන් නියෝජනය කරන්නේ ස්වර්ගයට ගොස් සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් කියා පැවසීමට හේතු දැනගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි! යන පොතේ 77වන පිටුව බලන්න.

ඔබට විස්තර කළ හැකිද?

“පළමුවන නැවත නැඟිටීම” සිදු වූ කාලය තේරුම්ගැනීමට පහත සඳහන් බයිබල් පද උපකාරවත් වන්නේ කෙසේද?

එළිදරව් 12:7; 17:14

එළිදරව් 7:13, 14

1 කොරින්ති 15:23; 1 තෙසලෝනික 4:15-17

එළිදරව් 6:2, 9-11

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූර]

පොළොව මත ජීවත් වීම සඳහා මිනිසුන්ව නැවත නැඟිටුවීම ආරම්භ වීමට කලින් සිදු වන්නේ කුමන නැවත නැඟිටීමද?

[29වන පිටුවේ පින්තූරය]

මරණයේ සැතපී සිටි අයට සුදු සළුවක් ලබා දී ඇත්තේ කෙසේද?