Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

එළිදරව් 7:3හි සඳහන් මුද්‍රා කිරීම කුමක්ද?

එළිදරව් 7:1-3හි සඳහන් වන්නේ මෙසේයි. “දේවදූතයන් සතරදෙනෙකු පොළොවේ කොන් සතරෙහි සිටගෙන සිටිනවා මම දුටිමි. පොළොවටවත් මුහුදටවත් කිසිම ගසකටවත් සුළං නොවදින පිණිස, ඔවුහු පොළොවේ සතරදිග සුළං තදින් අල්ලාගෙන සිටියහ. එවිට තවත් දේවදූතයෙකු මම දුටිමි. ඔහු, ජීවමාන දෙවිගේ මුද්‍රාවක් ඇතිව, නැඟෙනහිරෙන් නැඟී එනවා දුටිමි. ඔහු, පොළොවටත් මුහුදටත් අනතුරු කිරීමට බලය දෙන ලද දේවදූතයන් සතරදෙනාට මහත් හඬකින් කතා කොට: ‘අපේ දෙවිගේ දාසයන්ගේ නළල්වල අප මුද්‍රා තබන තුරු, පොළොවටවත් මුහුදටවත් ගස්වලටවත් අනතුරු නොකරන්න’ යයි කීවේය.”

“සතරදිග සුළං” මුදා හැරීමත් සමඟම ‘මහත් පීඩාව’ ආරම්භ වේ. (එළිදරව් 7:14) එයින් අසත්‍ය උගන්වන සියලුම ආගම් සහ මේ දුෂ්ට සමාජය විනාශ වෙනවා. එහි සඳහන් “අපගේ දෙවිගේ දාසයන්” නම් පොළොව මත සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්. (1 පේතෘස් 2:9, 16) මහත් පීඩාව ආරම්භ වන විට අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව මුද්‍රා කොට අවසන් වී තිබෙන බව මේ අනාවැකිය පෙන්වයි. කොහොමනමුත් බයිබලයේ පළමු මුද්‍රා කිරීම සහ අවසන් මුද්‍රා කිරීම කියා දෙකක් සඳහන් වෙනවා. ඒවායින් අදහස් කරන්නේ කුමක්ද?

මුලින්ම අපි “මුද්‍රා” කිරීම යන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද කියා බලමු. අතීතයේදී මුද්‍රාවක් නැතහොත් සීල් එකක් භාවිත කළේ යම් ලියවිල්ලක් හෝ වෙනත් යමක් සහතික කිරීමට හෝ එහි අයිතිය තහවුරු කිරීමටයි. එසේ කිරීමෙන් එහි අයිතිය සහ අධිකාරිය මුද්‍රාව හිමි පුද්ගලයා සතු වුණා.—1 රාජාවලිය 21:8; යෝබ් 14:17.

පාවුල් මුද්‍රාව සමාන කළේ දෙවිගේ බලයටයි. ඒ බව ඔහු පැවසූ මෙම වචනවලින් පැහැදිලි වෙනවා. “ඔබ සහ අප ක්‍රිස්තුස්ට අයත් බව සහතික කරන්නෙත් අපව අභිෂේක කර තිබෙන්නෙත් දෙවිය. ඔහු අප පිට සිය මුද්‍රාවද තබා, අපට අපේ සිත් තුළ, අත්තිකාරමක් වශයෙන් ආත්මය [එනම්, තම බලය] දී තිබේ.” (2 කොරින්ති 1:21, 22) ඒ අනුව යෙහෝවා දෙවි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව තම බලය තුළින් මුද්‍රා කිරීමෙන් පෙන්වන්නේ ඔවුන් තමා සතු බවයි.

නමුත් අභිෂේක ලත් අයව අවස්ථා දෙකකදී මුද්‍රා කරනවා. පළමු මුද්‍රාව තබන්නේ කෙනෙක්ව අභිෂේක ලත් සාමාජිකයෙක් හැටියට තෝරාගන්නා විටයි. අවසාන මුද්‍රාව තබන්නේ එම තෝරාගත් සාමාජිකයා පරීක්ෂා යටතේ දෙවිට සම්පූර්ණයෙන්ම විශ්වාසවන්තව සිටි බව ඔප්පු කළායින් පසුවයි. එවිට ඔවුන්ව “අපේ දෙවිගේ දාසයන්” ලෙස සලකා ඔවුන්ගේ “නළල්වල” මුද්‍රාව තබනවා. එළිදරව් 7වන පරිච්ඡේදයේ සඳහන් මුද්‍රාව වන්නේ එයයි. එනම් කෙනෙකුව ස්වර්ගික ජීවිතයට සුදුසුයි කියා තහවුරු කරන අවසාන මුද්‍රාවටයි.—එළිදරව් 7:3.

පළමු මුද්‍රාව සම්බන්ධයෙන් පාවුල් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ලිව්වේ මෙසේයි. “ඔබේ ගැලවීමේ ශුභාරංචිය වන සත්‍යයේ වචනය ඇසූ පසු ඔබත් ඔහු කෙරෙහි බලාපොරොත්තු තැබුවහුය. ඔබ අදහාගත් පසු, පොරොන්දු කරන ලද ශුද්ධාත්මයෙන් [එනම් දෙවිගේ බලයෙන්] ඔබව මුද්‍රා කරනු ලැබුවේය.” (එෆීස 1:13, 14) බයිබල් වාර්තාවේ පෙන්වන ලෙස, පළමු සියවසේ ක්‍රිස්තියානීන් ශුභාරංචිය අසා යේසුස්ව අදහාගන්න පටන්ගත් පසු දෙවි, ඔවුන්ව තම බලයෙන් මුද්‍රා කළා. (ක්‍රියා 8:15-17; 10:44) එම පළමු මුද්‍රා කිරීමෙන් ඔවුන්ට දෙවිගේ අනුමැතිය ලැබුණත් අවසන් මුද්‍රාව ලැබුණු බව ඉන් අදහස් කළේ නැහැ. ඒ ඇයි?

එයට හේතුව නම් අභිෂේක ලත් සාමාජිකයෙක් පළමු මුද්‍රාව ලැබූ දින පටන් යම් කාලයක් එනම්, දිගටම විශ්වාසවන්තව සිටිය යුතුයි. ඔවුන්ට දෙවෙනි මුද්‍රාව ලැබෙන්නේ එවිටයි. ඔවුන්ගේ මරණය ගැන පාවුල් කියන්නේ මෙහෙමයි. ‘නිදහස ලැබීමේ දවසක් සඳහා ඔබව මුද්‍රා කර ඇත.’ (එෆීස 4:30) එහි ‘නිදහස ලැබීමේ දවස’ කීමෙන් අදහස් කරන්නේ ඔවුන්ගේ මරණයයි. (රෝම 8:23; ෆිලිප්පි 1:23; 2 පේතෘස් 1:10) පාවුල් තම ජීවිතයේ අවසන් දවස්වල පැවසුවේ මෙසේයි. “මම දිවීම අවසන් කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මෙතැන් පටන්, ධර්මිෂ්ඨකම නමැති ඔටුන්න මා සඳහා තබා තිබේ.” (2 තිමෝති 4:6-8) යේසුස් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට පැවසුවේද මෙහෙමයි. “මරණය දක්වාම විශ්වාසවන්තව සිටින්න. එවිට මම ඔබට ජීවනය නමැති ඔටුන්න දෙන්නෙමි.”—එළිදරව් 2:10; 17:14.

පළමුවෙනි මුද්‍රා කිරීමේ සිට අවසන් මුද්‍රා කිරීම දක්වා යම් කාලයක් ගත වන බව “ඔටුන්න” යන වචනය සලකා බැලීමෙන් අපිට තේරුම්ගන්න පුළුවන්. අතීතයේදී ධාවකයෙකුට ඔටුන්න හිමි වුණේ ඔහු තරඟය ආරම්භ කළ අවස්ථාවේදී නොවෙයි. නමුත් තරඟයේ අවසානය දක්වා දිව්වොත් පමණයි. ඒ හා සමානව, අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ද තම පළමු මුද්‍රාව ලැබීමේ සිට ජීවිතයේ අවසානය දක්වා විශ්වාසවන්තව සිටිය යුතුයි. දෙවෙනි මුද්‍රාව ලැබී ස්වර්ගයේ අමරණීය ජීවිතය නමැති ඔටුන්න ඔවුන්ට හිමි වන්නේ එවිට පමණයි.—මතෙව් 10:22; යාකොබ් 1:12.

එසේනම් පළමු මුද්‍රාව ලබා දැන් පොළොව මත ඉතිරි වී සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් තම අවසන් මුද්‍රාව ලබන්නේ කවදාද? ඔවුන් තම “නළල්වල” එම අවසන් මුද්‍රාව ලබන්නේ මහත් පීඩාවේ ආරම්භයට පෙරයි. ඉන් අදහස් කරන්නේ මහත් පීඩාව නමැති පොළොවේ සතරදිග සුළං මුදා හරිද්දී අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ටිකදෙනෙක් පොළොව මත ඉතිරි වී සිටින බවයි. නමුත් ඔවුන් සියලුදෙනාව මුද්‍රා කර අවසන්. ඉන් අනතුරුව ඔවුන් මිය ගොස් තම ස්වර්ගික ත්‍යාගය ලබාගන්නවා නියතයි.