Skip to content

පටුනට යන්න

“සම්පූර්ණයෙන් ප්‍රීති වෙන්න”

“සම්පූර්ණයෙන් ප්‍රීති වෙන්න”

“සම්පූර්ණයෙන් ප්‍රීති වෙන්න”

“ඔබේ දෙවි වූ යෙහෝවාට . . . මංගල්‍යයක් පවත්වා සම්පූර්ණයෙන් ප්‍රීති වෙන්න”—ද්විතීය කතාව 16:15.

1. (අ) සාතන් කළ චෝදනා මොනවාද? (ආ) ආදම් සහ ඒව දෙවිට විරුද්ධ වූ විට යෙහෝවා දෙවි කළේ කුමක්ද?

සාතන්, ආදම් සහ ඒවව දෙවිට විරුද්ධව කැරලිගැසීමට සැලැස්වූ අවස්ථාවේදී ඔහු අපි හැමෝටම බලපාන ප්‍රශ්න දෙකක් මතු කළා. පළමුව ඔහු චෝදනා කළේ යෙහෝවා දෙවි බොරු කියන බව සහ ඔහු පාලනය කරන ආකාරය හොඳ නැති බවයි. ඔහු කළ දෙවන චෝදනාව යෝබ්ගේ කාලයේදී වඩා පැහැදිලිව දැකගත හැකි වුණා. එය නම් මිනිසුන් යෙහෝවා දෙවිට සේවය කරන්නේ යම් වාසි ප්‍රයෝජන ලැබෙන තෙක් පමණක් බවයි. (උත්පත්ති 3:1-6; යෝබ් 1:9, 10; 2:4, 5) සාතන්ගේ චෝදනාවලට යෙහෝවා දෙවි පිළිතුරු දුන්නේ වංශයක් සහ ඉන් පැමිණෙන තැනැත්තෙක් ගැන අනාවැකියක් වහාම පළ කිරීමෙනුයි. ඔහු එය කළේ ඔවුන් කැරලි ගැසූ දවසේදීමයි. සාතන් එම තැනැත්තාගේ විලුඹ පොඩි කළත් අවසානයේදී ඔහු සාතන්ගේ හිස පොඩි කරන බවද දෙවි පැවසුවා.—උත්පත්ති 3:15.

2. උත්පත්ති 3:15හි සඳහන් අනාවැකිය ඉටු වන ආකාරය ගැන යෙහෝවා දෙවි තොරතුරු හෙළි කළේ කෙසේද?

2 තමන් පැවසූ දේ අනිවාර්යයෙන්ම ඉටු කරන බව පෙන්නුම් කිරීමට දෙවි ඒ පිළිබඳව තවත් තොරතුරු ක්‍රමානුකූලව හෙළි කළා. ඔහු මුලින්ම පැවසුවේ මේ පොරොන්දු කළ තැනැත්තා ආබ්‍රහම්ගේ පෙළපතෙන් පැමිණෙන බවයි. (උත්පත්ති 22:15-18) පසුව යාකොබ්ටත් ඒ පොරොන්දුව ලැබුණා. ඉන්පසුව දෙවි යාකොබ්ගේ පුතුන් 12දෙනාගෙන් ක්‍රි.පූ. 1513දී ඊශ්‍රායෙල් ජාතිය බිහි කළා. මේ ජාතියට දෙවි නීති මාලාවක් ලබා දුන්නා. එයට වාර්ෂිකව පැවැත්විය යුතු මංගල්‍යයන්ද ඇතුළත් වුණා. ඒවා පැවැත්වීමෙන් මුළු ජාතිය අද්දුටුවේ මහත් ප්‍රීතියක්. ඒවායේ වැදගත්කම ගැන සඳහන් කරමින් පාවුල් පැවසුවේ ඒවා “පැමිණෙන්න තිබෙන දේවල්වල ඡායාවක්” එනම් සංකේතයක් බවයි. (කොලොස්සි 2:16, 17; හෙබ්‍රෙව් 10:1) දෙවි පොරොන්දු වූ තැනැත්තා මාර්ගයෙන් තම අරමුණු ඉටු කරන ආකාරය ගැන ඒ මංගල්‍යයන්වලින් පැහැදිලි වුණා. එමනිසා ඒවා සලකා බැලීමෙන් දෙවි තම පොරොන්දු නිසැකවම ඉටු කරන බවට වූ අපගේ විශ්වාසය ශක්තිමත් කරගත හැකියි.

ඔහු පෙනී සිටියි

3. පොරොන්දු වූ වංශයෙන් පැමිණෙන තැනැත්තා වූයේ කවුද? ඔහුගේ විලුඹ පොඩි කළේ කෙසේද?

3 වංශයෙන් පැමිණෙන එම තැනැත්තා යේසුස් ක්‍රිස්තුස් බව අවුරුදු 4,000කට පමණ පසුව හෙළි වුණා. (ගලාති 3:16) ඔහු පොළොව මත සිටියදී මරණය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් සාතන් නැඟූ චෝදනා බොරු බව ඔහු ඔප්පු කළා. යේසුස් පව් රහිත පුද්ගලයෙක් වූ නිසා ඔහුගේ ජීවිත පූජාව ඉමහත් වටිනාකමකින් යුක්තයි. ඒ තුළින් ආදම්ගෙන් පැවත එන ධර්මිෂ්ඨයන්ට පාපයෙන් සහ මරණයෙන් නිදහස ලැබිය හැකියි. මේ ආකාරයට වධ කණුවක් මත ඔහු අද්දුටු මරණයෙන් පොරොන්දු වූ වංශයෙන් එන තැනැත්තාගේ ‘විලුඹ පොඩි කිරීම’ නමැති අනාවැකිය ඉටු වුණා.—හෙබ්‍රෙව් 9:11-14.

4. යේසුස්ගේ ජීවිත පූජාව සංකේතවත් වුණේ කුමකින්ද?

4 යේසුස් මිය ගියේ ක්‍රි.ව. 33 නීසාන් මස 14වන දිනයි. * ඊශ්‍රායෙල්වරුන් වාර්ෂිකව පාස්කු මංගල්‍යය පැවැත්වූයේත් එදිනමයි. සෑම නිවසකම පවුලක් හැටියට එකතු වූ ඔවුන් එදින කිසිම කැළලක් නැති බැටළු පැටියෙකුව පිළියෙල කොට අනුභව කළා. එයින් ඔවුන්ට සිහිගැන්නුවේ ක්‍රි.පූ. 1513 නීසාන් මස 14වන දා රාත්‍රීයේදී සිදු වූ දෙයයි. එනම් ඔවුන් ඊජිප්තුවේ සිටියදී තම කුලුඳුල් දරුවන්ව බේරා ගැනීම සඳහා බැටළු පැටියෙකුගේ රුධිරයෙන් ඉටු වූ වැදගත් කාර්යයයි. (නික්මයාම 12:1-14) එම බැටළු පැටවාගෙන් සංකේතවත් වුණේ යේසුස්වයි. ඒ නිසා පාවුල් මෙසේ සඳහන් කළා. “අපේ පාස්කු යාගය වන ක්‍රිස්තුස්ව පූජා කරන ලදි.” (1 කොරින්ති 5:7) පාස්කු දින බැටළු පැටවාගේ රුධිරයට සමානව යේසුස්ගේ රුධිරයෙන්ද බොහෝදෙනාට ගැලවීම අත්වෙනවා.—යොහන් 3:16, 36.

“මරණයේ සැතපී සිටින අයගෙන් පළමු පල”

5, 6. (අ) යේසුස්ව නැවත නැඟිටුවනු ලැබුවේ කවදාද? එය සංකේතවත් කළ මංගල්‍යය කුමක්ද? (ආ) යේසුස්ගේ නැවත නැඟිටීම මගින් උත්පත්ති 3:15 ඉටු වූයේ කෙසේද?

5 යේසුස් තම මිනිස් ජීවිතය පූජා කර ඇති බව දැක්වීමට ස්වර්ගයට ගොස් දෙවි ඉදිරියේ පෙනී සිටීමට අවශ්‍ය වුණා. දෙවි ඔහුව දින තුනකට පසුව නැවත නැඟිටෙව්වේ එසේ කිරීම සඳහායි. (හෙබ්‍රෙව් 9:24) එයත් ඊශ්‍රායෙල්වරුන් පැවැත්වූ තවත් මංගල්‍යයකින් සංකේතවත් වුණා. ඒ නීසාන් මස 15වන දින පටන්ගත් මුහුන් නුමුසු රොටි මංගල්‍යයයි. ඉන්පසු උදා වූ නීසාන් 16වන දා ඔවුන් තම බාර්ලි අස්වැන්නේ ප්‍රථම ඵල පූජකයා වෙත ගෙන ගිය අතර ඔහු එය ඒ මේ අත සොලවා යෙහෝවා දෙවිට ඔප්පු කළා. (ලෙවී කතාව 23:6-14) එමගින් සංකේතවත් වුණේ යේසුස්ගේ නැවත නැඟිටීමයි. යේසුස්ව නැවත නැඟිටුවනු ලැබුවේත් ක්‍රි.ව 33 නීසාන් 16වන දායි. එසේ කිරීමෙන් දෙවිගේ “විශ්වාසවන්ත, සැබෑ සාක්ෂිකරුවාව” සදහටම මරණ නින්දේ පසු කරන්න සාතන් දැරූ ඒ දුෂ්ට උපාය අසාර්ථක වුණා. එදින යේසුස්ව නැවත නැඟිටුවීමෙන් දෙවි ඔහුට අමරණීය ජීවිතයක් ලබා දුන්නා.—එළිදරව් 3:14; 1 පේතෘස් 3:18.

6 ඒ අනුව යේසුස් “මරණයේ සැතපී සිටින අයගෙන් පළමු පල” බවට පත් වුණා. (1 කොරින්ති 15:20) නැවත නැඟිටුවනු ලැබූ වෙනත් අය මෙන් නොව යේසුස් යළිත් මිය ගියේ නැහැ. ඒ වෙනුවට ඔහු ස්වර්ගයට ගොස් තමාට රජකම හිමි වන තුරු දෙවිගේ දකුණු පැත්තේ ඉඳගෙන සිටියා. (ගීතාවලිය 110:1; ක්‍රියා 2:32, 33; හෙබ්‍රෙව් 10:12, 13) නමුත් දැන් යේසුස් රජ හැටියට කටයුතු කරන නිසා තම පරම සතුරා වන සාතන්ගේ හිස පොඩි කර දමා ඔහුගේ වංශය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට ඔහු සුදුසු තත්වයක සිටිනවා.—එළිදරව් 11:15, 18; 20:1-3, 10.

ඔහුට තවත් අය එකතු වෙයි

7. සති මංගල්‍යය යනු කුමක්ද?

7 “යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම” සඳහා යෙහෝවා දෙවි යොදාගන්නේ වංශයෙන් පැමිණෙන තැනැත්තා වන යේසුස්වයි. (1 යොහන් 3:8) දෙවි ආබ්‍රහම්ගේ වංශය “අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළේ වැලි මෙන්ද” වැඩි කරනවා කියා පැවසුවා. (උත්පත්ති 22:17) ඉන් පැහැදිලි වන්නේ යේසුස්ට අමතරව තවත් අය එම වංශයෙන් බිහිවීමට නියමිත බවයි. එම පොරොන්දුව සති මංගල්‍යය මගින් සංකේතවත් වුණා. එය පැවැත්වූයේ නීසාන් 16වන දායින් දින 50කට පසුවයි. ඒ මංගල්‍යය ගැන මෝසෙස්ගේ නීතියේ සඳහන් වූයේ මෙසේයි. “හත්වෙනි සබතෙන් පසුවදා දක්වා පනස් දවසක් ගණන් කරගෙන යෙහෝවාට අලුත් ආහාර පූජාවක් පූජා කරන්න. ඒඵාවකින් දහයෙන් දෙකොටසකින් සෑදූ තේව රොටි දෙකක් ඔබේ වාසස්ථානවලින් ගෙනෙන්න; යෙහෝවාට නාඹුල් පල වන පිණිස සිහින් පිටියෙන් සෑදූ ඒවා මුහුන් ඇතුව පිසිනු ලබන්නේය.” *ලෙවී කතාව 23:16, 17, 20.

8. ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී සිදු වූ වැදගත් සිදුවීම කුමක්ද?

8 යේසුස්ගේ කාලයේදී එම සති මංගල්‍යය හැඳින්වූයේ පෙන්තකොස්ත දවස කියායි. (එය ග්‍රීක භාෂාවෙන් “පනස්වෙනි” යන අර්ථය දෙයි.) ස්වර්ගයේ සිට වඩා උතුම් උත්තම පූජකයා ලෙස තම ගෝලයන් 120දෙනාට යේසුස් දෙවිගේ බලය ලබා දුන්නෙත් ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදීමයි. එදා එම ගෝලයන් දෙවිගේ අභිෂේක ලත් පුත්‍රයන් බවට සහ යේසුස්ගේ සහෝදරයන් බවටද පත් වුණා. (රෝම 8:15-17) ඔවුන් නව ජාතියක් එනම් “දෙවිගේ ඊශ්‍රායෙල්” බවට පත් වුණේ ඒ තුළිනුයි. (ගලාති 6:16) ඉතාමත් කුඩා ප්‍රමාණයක සිටි මේ ජාතිය අවසානයේදී ගණනින් 1,44,000ක් දක්වා වර්ධනය වෙනවා.—එළිදරව් 7:1-4.

9, 10. පෙන්තකොස්ත දවසේදී අභිෂේක ලත් සාමාජිකයන්ව සංකේතවත් වුණේ කෙසේද?

9 සෑම පෙන්තකොස්ත දවසකදීම පූජකයා විශේෂ දෙයක් කළා. එනම් ඔහු මුහුන් මිශ්‍ර රොටි දෙකක් රැගෙන ඒවා ඉහළට ඔසවා යෙහෝවා දෙවි ඉදිරියේ ඔප්පු කිරීමයි. එම රොටි දෙකෙන් සංකේතවත් කළේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්වයි. එහි මුහුන් තිබීමෙන් පෙන්වන්නේ පොළොව මත සිටින අභිෂේක ලත් සාමාජිකයන් තවමත් ආදම්ගෙන් උරුම වූ පාපය ඇතිව සිටින බවයි. එසේ වුණත් යේසුස්ගේ ජීවිත පූජාව නිසා දෙවිට ළං වීමට ඔවුන්ට පුළුවන්. (රෝම 5:1, 2) ඒ සඳහා රොටි දෙකක් භාවිත කළේ ඇයි? ඇතැම්විට යුදෙව්වන් සහ පසුව යුදෙව් නොවන ජාතීන් යන කණ්ඩායම් දෙකෙන්ම පැමිණෙන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව ඉන් අදහස් කරනවා විය හැකියි.—ගලාති 3:26-29; එෆීස 2:13-18.

10 එම රොටි දෙක සාදා තිබුණේ තිරිඟු අස්වැන්නෙන් ලබා ගත් පළමු පලවලිනුයි. ඒ හා සමානව අභිෂේක ලත් අයවත් බයිබලයේ හඳුන්වා තිබෙන්නේ දෙවිගේ “මැවිලි අතරින් පළමු පල” ලෙසයි. (යාකොබ් 1:18) එයට හේතුව යේසුස් වැගිරූ අනර්ඝ රුධිරයෙන් තම පව්වලට ප්‍රථමයෙන්ම සමාව ලබන්නේ මේ සාමාජිකයන් නිසයි. එයින් අමරණීය ජීවිතයක් ලබන ඔවුන් ස්වර්ගයේ ක්‍රිස්තුස් සමඟ රජවරුන් ලෙස පාලනය කිරීමට සුදුසුකම් ලබනවා. (1 කොරින්ති 15:53; ෆිලිප්පි 3:20, 21; එළිදරව් 20:6) ඔවුන් ඉතාමත් ඉක්මනින් “යකඩ දණ්ඩකින් [ජාතීන්ව] පාලනය” කරන අතර ‘සාතන්ව ඔවුන්ගේ පාද යට දමා පොඩි කරන’ ආකාරයත් ඔවුන් දකිනවා. (එළිදරව් 2:26, 27; රෝම 16:20) යොහන් ඔවුන් ගැන පැවසුවේ මෙසේයි. “බැටළු පැටවා කොතැනකට ගියත් නොකඩවා ඔහු පසුපස යන්නෝ මොවුහුය. මිනිසුන් අතරින්, දෙවි සහ බැටළු පැටවා සඳහා පළමු පල වශයෙන් මොවුන්ව මිල දී ගන්නා ලදි.”—එළිදරව් 14:4.

නිදහස් වීමේ දවස

11, 12. (අ) සමඟි වීමේ දවසේදී සිදු වූයේ කුමක්ද? (ආ) ගොනෙකුව සහ එළුවන්ව පූජා කිරීමෙන් ඊශ්‍රායෙල්වරුන්ට ලැබුණු ප්‍රයෝජන මොනවාද?

11 එතනිම් හෝ තිෂ්රි නමැති මාසයේ * දහවන දින ඊශ්‍රායෙල්වරු තවත් මංගල්‍යයක් පැවැත්තුවා. ඒ සමඟි වීමේ දවසයි. එයින් සංකේතවත් කළේ යේසුස්ගේ ජීවිත පූජාවේ ප්‍රයෝජන අදාළ වන ආකාරයයි. එදින මුළු ජාතියම එකට රැස් වුණේ තම පව් වෙනුවෙන් පූජා ඔප්පු කර සමඟිකමක් කිරීම සඳහායි.—ලෙවී කතාව 16:29, 30.

12 එම සමඟිවීමේ දවසේදී උත්තම පූජකයා ගොන් නාම්බෙකුව මරා උගේ ලේ අතිශුද්ධ ස්ථානයේ තිබූ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි හත් වරක් ඉසිනු ලැබුවා. එම රුධිරය යෙහෝවා දෙවි ඉදිරියේ කළ පුජාවක් හා සමාන වුණා. ඔහු එය කළේ තමාගේත් තම ‘ගෙයි වැසියන්ගේත්’ සෙසු පූජකයන්ගේ සහ සියලුම ලෙවීවරුන්ගේ පාප වෙනුවෙනුයි. පසුව උත්තම පූජකයා එළුවන් දෙදෙනෙක් ගෙන එකෙකුව “සෙනඟ උදෙසා” පූජාවක් හැටියට ඔප්පු කර උගේ රුධිරයත් ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ ඉසිනු ලැබුවා. ඉන්පසු දෙවන එළුවා රැගෙන ඌ මත තමාගේ අත තබා ඊශ්‍රායෙල් පුත්‍රයන් සිදු කර ඇති සියලුම පාප ප්‍රකාශ කළා. අවසානයේදී ඌව පාළුකරයට මුදා හැරියා. එයින් ඊශ්‍රායෙල්වරුන්ගේ පාප පහ කළ බව සංකේතවත් වුණා.—ලෙවී කතාව 16:3-16, 21, 22.

13. යේසුස් මගින් ඉටුවීමට නියමිත වූ දේවල් සමඟි වීමේ දවසේදී කළ පූජාවලින් සංකේතවත් වූයේ කෙසේද?

13 සමඟි වීමේ දවසේ සිදු කළ පූජාවලින් සංකේතවත් වුණේ වඩා උතුම් උත්තම පූජකයා වන යේසුස්ගේ ජීවිත පූජාවයි. උත්තම පූජකයා ඇතුළු පිරිස වෙනුවෙන් ගොන් නාම්බෙකුව ඔප්පු කිරීමෙන් සංකේතවත් වුණේ යේසුස්ගේ ජීවිත පූජාව මුලින්ම 1,44,000දෙනාට අදාළ වන ආකාරයයි. එහි ප්‍රතිඵලයක් හැටියට ඔවුන්ට දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ හා පවිත්‍ර තත්වයක සිටින්න හැකි වෙනවා. (1 පේතෘස් 2:5; 1 කොරින්ති 6:11) එමෙන්ම ස්වර්ගයේ අමරණීය ජීවනය නමැති අපේක්ෂාවද ඔවුන්ට හිමි වෙනවා. එදා පූජා කළ එළුවාගෙන් සංකේතවත් වුණේ යේසුස් මුළු මිනිස් වර්ගයා වෙනුවෙන්ම තම ජීවිතය පූජා කිරීමයි. ඒ නිසා යේසුස්ගේ පූජාව මත ඇදහිල්ල තබන අයට ආදම් සහ ඒවට අහිමි වූ පොළොව මත සදාකාල් ජීවත්වීමේ ප්‍රස්තාව හිමි වෙනවා. (ගීතාවලිය 37:10, 11) පාළුකරයට මුදාහැරිය එළුවාගෙන් සංකේතවත් වුණේ යේසුස් තමා වැගිරෙවූ රුධිරය මගින් මුළු මිනිස් වර්ගයාගේම පාප පහ කරන ආකාරයයි.—යෙසායා 53:4, 5.

දෙවි ඉදිරියේ ප්‍රීති වෙමින්

14, 15. කූඩාරම් මංගල්‍යයයේදී සිදු වුණේ කුමක්ද? එයින් ඊශ්‍රායෙල්වරුන්ට සිහිගැන්නුවේ කුමක්ද?

14 සමඟි කිරීමේ දවසට පසුව ඊශ්‍රායෙල්වරු පැවැත්වූ ප්‍රීතිමත්ම මංගල්‍යය උදා වුණා. ඒ කූඩාරම් මංගල්‍යයයි. (ලෙවී කතාව 23:34-43) එය පවත්වනු ලැබුවේ එතනිම් නම් මාසයේ 15-21 දක්වා දිනවලයි. එමෙන්ම එය මහත් සභා රැස්වීමක් සමඟ 22වන දා අවසන් වුණා. ඔවුන්ගේ අස්වැන්න එක්රැස් කිරීම අවසන් බව එම මංගල්‍යයෙන් අදහස් කළ අතර යෙහෝවා දෙවිගේ ත්‍යාගශීලීකමට තම අගය පළ කරන්නත් ඔවුන්ට ඉන් අවස්ථාවක් ලැබුණා. එම මංගල්‍යය පවත්වන්නන්ට දෙවි ආඥා කළේ මෙසේයි. “ඔබේ දෙවි වූ යෙහෝවා ඔබේ මුළු සමෘද්ධියෙහිද ඔබේ මුළු හස්ත කර්මාන්තයෙහිද ඔබට ආශීර්වාද කරන නිසා . . . සම්පූර්ණයෙන් ප්‍රීති වෙන්න.” (ද්විතීය කතාව 16:15) එය ඊශ්‍රායෙල්වරුන්ට මොන තරම් ප්‍රීතිමත් කාලයක් වන්න ඇද්ද!

15 එම මංගල්‍යය පැවැත්වූ දින හත පුරාම ඔවුන් වාසය කළේ පැලකට සමාන කූඩාරම්වලයි. ඔවුන් පාළු දේශයේ සිටි විට කූඩාරම්වල ජීවත් වූ ආකාරය ඉන් ඔවුන්ට සිහිගැන්නුවා. එම කාලයේ යෙහෝවා දෙවි ඔවුන්ව පියෙකු මෙන් ආරක්ෂා කර රැක බලා ගත් ආකාරය ගැනත් ඔවුන් සිහිපත් කළා. (ද්විතීය කතාව 8:15, 16) මේ දින හත පුරාම දුප්පත් පොහොසත් යන දෙපිරිසම වාසය කළේ එක හා සමාන කූඩාරම්වලයි. ඒ මගින් ඊශ්‍රායෙල්හි සිටි සියලුමදෙනා අතර ඒ මංගල්‍ය සමයේදී කිසිම උස් පහත් භේදයක් තිබුණේ නැහැ.—නෙහෙමියා 8:14-16.

16. කූඩාරම් මංගල්‍යයෙන් සංකේතවත් කළේ කුමක්ද?

16 කූඩාරම් මංගල්‍යය යනු අස්වැන්න නෙළීම හා සම්බන්ධ මංගල්‍යයක්. එහිදී ඔවුන් ඉතාමත් ප්‍රීතියෙන් එම අස්වැන්න එක්රැස් කළා. ඉන් සංකේතවත් කළේ යේසුස් කෙරෙහි ඇදහිල්ල තබන අයව එක්රැස් කිරීමේ ප්‍රීතිමත් අවස්ථාවටයි. එය ඇරඹුණේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී තම ගෝලයන් 120දෙනාට දෙවිගේ බලය ලබා දීමත් සමඟයි. ඒ අවස්ථාවේදී ඔවුන් “ශුද්ධ වූ පූජක පංතියක්” බවට පත් වුණා. එදා ඊශ්‍රායෙල්වරුන් තාවකාලිකව දින හතක් කූඩාරම්වල වාසය කළා හා සමානව මේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ද මේ දුෂ්ට සමාජයේ ජීවත් වන්නේ “තාවකාලික පදිංචිකරුවන්” ලෙසයි. ඊට හේතුව ඔවුන්ට තිබෙන්නේ ස්වර්ගික ජීවිතයක් නිසයි. (1 පේතෘස් 2:5, 11) මේ අභිෂේක ලත් සාමාජිකයන්ව එක්රැස් කිරීමේ කාර්යය අවසන් වන්නේ 1,44,000දෙනාට අයත් ඉතිරි සාමාජිකයන් සියලු දෙනාවම මේ “අන්තිම දවස්වලදී” එක්රැස් කිරීමෙන් පසුවයි.—2 තිමෝති 3:1.

17, 18. (අ) අභිෂේක ලත් අයට අමතරව යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලබන්නේ වෙන කවුරුන්ද? (ආ) එදා පැවති කූඩාරම් මංගල්‍යයෙන් සංකේතවත් වූ දේවලින් අද දින ප්‍රයෝජන ලබන්නේ කවුද? එහි සම්පූර්ණ ඉටුවීම සිදු වන්නේ කවදාද?

17 එම මංගල්‍යය තුළදී සිදු වූ තවත් විශේෂ දෙයක් වූයේ ගොනුන් 70දෙනෙකුව පූජා කිරීමයි. (ගණන් කතාව 29:12-34) අංක 70න් නියෝජනය වුණේ ජලගැල්මෙන් පසු නෝවාගෙන් පැවත එන පවුල් 70යි. * අද දින පොළොවේ ජීවත් වන සියලුම මිනිසුන් පැවත එන්නේ එම පවුල්වලිනුයි. (උත්පත්ති 10:1-29) එම ගොනුන් 70 පූජා කිරීමෙන් අදහස් වන්නේ ඇදහිල්ල තබන සියලුම මිනිසුන් යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලබන බවයි. ඒ අනුව අද දින ඇදහිලිවන්තයන්ව එක්රැස් කිරීමේ කාර්යය මුළු පොළොව පුරාම ව්‍යාප්ත වී තිබෙනවා. ඔවුන්ට පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඉන් ලැබෙනවා.

18 අපගේ කාලයේ සිදු වන එම එක්රැස් කිරීම යොහන් දර්ශනයකින් දුටුවා. මුලින්ම 1,44,000දෙනාගේ අවසන් සාමාජිකයන්ව මුද්‍රා කිරීම ගැන කියන හඬක් ඔහුට ඇසුණා. ඉන් පසුව ‘තම අත්වල තාල පත්‍ර’ ඇතිව සිටින “කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක්” යෙහෝවා දෙවි සහ යේසුස් ඉදිරියෙහි සිටගෙන සිටිනවා ඔහු දුටුවා. ඔවුන් “මහත් පීඩාවෙන් බේරී” පාරාදීස පොළොවේ උරුමය ලබන අයයි. මොවුන්ද මේ දුෂ්ට සමාජයේ ජීවත් වන තාවකාලික වැසියන්. ඔවුන් ආශාවෙන් බලා සිටින්නේ “බැටළු පැටවා එඬේරෙකු මෙන් . . . ඔවුන්ව ජීවන වතුර ඇති උල්පත්වලට මඟ” පෙන්වන සහ ‘දෙවි ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන’ ඒ කාලය උදා වන තුරුයි. (එළිදරව් 7:1-10, 14-17) කූඩාරම් මංගල්‍යයෙන් සංකේතවත් කළ සියල්ල සම්පූර්ණයෙන්ම ඉටු වන්නේ දහස් අවුරුදු පාලනය අවසානයේදීයි. ඒ නැවත නැඟිටුවනු ලබන විශ්වාසවන්ත අය ඇතුළු සියලුදෙනාටම සදාකාල ජීවනය ලැබීමෙන් පසුවයි.—එළිදරව් 20:5.

19. ඊශ්‍රායෙල්වරුන් පැවැත්වූ මංගල්‍යයන් ගැන සලකා බැලීමෙන් අපි ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

19 ඊශ්‍රායෙල්වරුන් පැවැත්වූ මංගල්‍යයන්වලින් සංකේතවත් වූ දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බැලීමෙන් අපිටත් හැකියි “සම්පූර්ණයෙන් ප්‍රීති වෙන්න.” එදා ඒදන් උයනේදී පැවසූ අනාවැකිය ඉටු වන ආකාරය සම්බන්ධයෙන් යෙහෝවා දෙවි සැපයූ තොරතුරු සහ ඒවා ක්‍රමානුකූලව ඉටු වන ආකාරය දැකීමෙන් අප පුදුමයෙන් පුදුමයට පත් වෙනවා. දෙවි පොරොන්දු වූ තැනැත්තා වන යේසුස් ඒ නියමිත වංශයෙන් පැමිණි බවත් ඔහුගේ විලුඹ පොඩි කළ බවත් අපි දන්නවා. දැන් ඔහු සිටින්නේ ස්වර්ගයේ රජ හැටියට පාලනය කරමිනුයි. එමෙන්ම 1,44,000ට අයත් සාමාජිකයන්ගෙන් බහුතරයක් මරණය දක්වා තමන්ගේ විශ්වාසවන්තකම රැකගෙන තිබෙනවා. ඒදන් උයනේදී දෙවි පැවසූ අනාවැකියේ ඉටුවීමට තවත් ඉතිරිව ඇත්තේ කුමක්ද? ඒ සඳහා තව කොපමණ කල් ගත වෙයිද? ඊළඟ ලිපියේ අපි සලකා බලන්නේ ඒ ගැනයි.

[පාදසටහන්වල]

^ 4 ඡේ. නීසාන් යන මාසය සාමාන්‍යයෙන් වැටෙන්නේ මාර්තු/අප්‍රියෙල් මාසවලයි.

^ 7 ඡේ. පූජකයා විසින් මුහුන් මිශ්‍ර රොටි දෙක තම දෑත් මත තබා ඉහළට ඔසවා ඒ මේ අත සෙලෙව්වා. එයින් අදහස් වුණේ යෙහෝවා දෙවිට පූජාවක් ඔප්පු කළ බවයි.—යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන Insight on the Scriptures, Volume 2, 528වන පිටුව බලන්න.

^ 11 ඡේ. එතනිම් හෝ තිෂ්රි යන මාසය සාමාන්‍යයෙන් වැටෙන්නේ සැප්තැම්බර්/ඔක්තෝබර් යන මාසවලයි.

^ 17 ඡේ. අංක 70 සෑදී තිබෙන්නේ හත දහයෙන් ගුණ කිරීමෙනුයි. (7 x 10 = 70) අංක හතෙන් ස්වර්ගයෙහි තිබෙන දේවල් සම්බන්ධයෙන් කිසිම අඩුවක් නැති, පූර්ණකමක් හා අංක දහයෙන් පොළොවේ තිබෙන හෝ සිදු වන දේ සම්බන්ධයෙන් කිසිම අඩුවක් නැති, පූර්ණකමක් අදහස් වෙනවා.

ඔබට විස්තර කළ හැකිද?

• පාස්කු බැටළුවාගෙන් සංකේතවත් කළේ කුමක්ද?

• පෙන්තකොස්ත හෙවත් සති මංගල්‍යය මගින් සංකේතවත් කළ එක්රැස් කිරීමේ කාර්යය කුමක්ද?

• යේසුස්ගේ ජීවිත පූජාව අදාළ වන ආකාරය සංකේතවත් කළේ සමඟි වීමේ දවසේ සිදු වූ කුමන දේවලින්ද?

• කූඩාරම් මංගල්‍යය මගින් ක්‍රිස්තියානීන්ව එක්රැස් කිරීම සංකේතවත් කළේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[22, 23යන පිටුවල වගුව]

(මුද්‍රිත පිටපත බලන්න)

පාස්කු මංගල්‍යය

නීසාන් 14

සිදුවීම:

පාස්කු බැටළුවා මැරීම

සංකේතවත් කළ දෙය:

යේසුස්ගේ ජීවිත පූජාව

මුහුන් නොදැමූ රොටි මංගල්‍යය (නීසාන් 15-21 දක්වා)

නීසාන් 15

සිදුවීම:

සබත

නීසාන් 16

සිදුවීම:

බාර්ලි පූජාව

සංකේතවත් කළ දෙය:

යේසුස්ව නැවත නැඟිටුවීම

දින 50

සති මංගල්‍යය (“පෙන්තකොස්ත” දවස)

සිවාන් 6

සිදුවීම:

රොටි දෙකක් පූජා කිරීම

සංකේතවත් කළ දෙය:

යේසුස් අභිෂේක ලත් සහෝදරයන්ව යෙහෝවා දෙවිට ඉදිරිපත් කළා

සමඟි කිරීමේ දවස

තිෂ්රි 10

සිදුවීම:

ගොන් නාම්බෙකුව සහ එළුවන් දෙදෙනෙකුව ඔප්පු කිරීම

සංකේතවත් කළ දෙය:

මුළු මිනිස් වර්ගයා වෙනුවෙන් තම වටිනා රුධිරය ඔප්පු කළා

කූඩාරම් මංගල්‍යය (එක්රැස් කිරීමේ මංගල්‍යය)

තිෂ්රි 15-21

සිදුවීම:

ඊශ්‍රායෙල්වරුන් ප්‍රීතියෙන් කූඩාරම්වල වාසය කිරීම, අස්වැන්න නෙළීම, ගොනුන් 70ක් පූජා කිරීම

සංකේතවත් කළ දෙය:

අභිෂේක ලත් අයව සහ “මහත් සමූහයේ” අයව එක්රැස් කිරීම

[21වන පිටුවේ පින්තූර]

පාස්කු බැටළුවාගේ රුධිරයට සමානව යේසුස් වැගිරෙවූ රුධිරයෙන් බොහෝදෙනෙකුට ගැලවීම ලබා දුන්නා

[22වන පිටුවේ පින්තූර]

නීසාන් 16වනදා බාර්ලි අස්වැන්නේ පළමු පල ඔප්පු කිරීමෙන් සංකේතවත් වුණේ යේසුස්ගේ නැවත නැඟිටීමයි

[23වන පිටුවේ පින්තූර]

පෙන්තකොස්ත හෙවත් සති මංගල්‍යයේදී ඔප්පු කළ රොටි දෙක මගින් සංකේතවත් කළේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්වයි

[24වන පිටුවේ පින්තූර]

කූඩාරම් මංගල්‍යය මගින් සංකේතවත් කළේ අභිෂේක ලත් සාමාජිකයන්ව සහ සියලු ජාතීන්ගෙන් පැමිණෙන “මහත් සමූහයේ” සාමාජිකයන්ව එක්රැස් කිරීමයි