Skip to content

පටුනට යන්න

සාර්ථකත්වය ඔබ එය මනින්නේ කුමකින්ද?

සාර්ථකත්වය ඔබ එය මනින්නේ කුමකින්ද?

සාර්ථකත්වය ඔබ එය මනින්නේ කුමකින්ද?

ජෙසී ලිවර්මෝ. සමහරුන් මොහුව සැලකුවේ ඉතා ධනවත් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හිණි පෙත්තටම නැඟ ගිය කෙනෙක් ලෙසයි. ඔහු ඉතාමත් දක්ෂ ලෙස ව්‍යාපාර කටයුතු කිරීම නිසා හොඳ නමක්ද දිනා සිටියා. එපමණක්ද නොවෙයි, කල් යද්දී ඔහු මහත් ධන ස්කන්ධයකුත් එක්රැස් කරගත්තා. ඔහු ඇඳ පැළඳ සිටියේ ඉතාමත් මිල අධික ඇඳුම් පැළදුම් වූ අතර ජීවත් වුණෙත් කාමර 29ක් තිබූ මාලිගාවක් බඳු නිවසකයි. ගමන් බිමන් ගියෙත් රියැදුරෙකු සහිත සුඛෝපබෝගී කලු පැහැති රෝල්ස් රොයිස් වර්ගයේ මෝටර් රථයකයි.

ඩේවිඩ්. * ඔහුත් උසස් ආයතනයක දෙවෙනියා සහ ප්‍රධාන කළමනාකරු හැටියට සේවය කරමින් සිටියා. වැඩි කල් නොගොස් ඔහුට එහි තවත් උසස් වීමක් ලැබීමට නියමිතව තිබුණා. එයින් ලැබෙන ධනය, බලය සහ කීර්තිය වෙත ඔහුගේ සිත ඇදී ගියේ ඔහුටත් නොදැනුවත්වමයි. නමුත් ඩේවිඩ්ම තීරණය කළා එම රැකියාවෙන් අස්වෙන්න. ඒ ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “මේ වගේ හොඳ රස්සාවක් නම් ආයෙ කවදාවත් මට හම්බ වෙන්නේ නැහැයි කියලා මම දන්නවා.” ඩේවිඩ් ගත්තේ වැරදි තීරණයක් කියලා ඔබ හිතනවාද?

බොහෝදෙනෙක් හිතන්නේ ජීවිතය සාර්ථක වීමට නම් ධනය, ජනප්‍රියත්වය සහ සමාජයේ උසස් තත්වයක් අත් කරගැනීම අවශ්‍යයි කියායි. නමුත් එවැනි තත්වයක් දැනටමත් අත් කරගෙන ඇති අයත් ඔවුන්ගේ ජීවිතවල යම් හිස් බවක් හෝ අඩුවක් අද්දකිනවා විය හැකියි. කලින් සඳහන් කළ ලිවර්මෝ මහතාගේ අද්දැකීමත් එයයි. ඔහු කොතරම් ධනවත් වුණත් සිටියේ හරිම දුකෙන්. ඔහුගේ විවාහයන් අසාර්ථක වුණා පමණක් නෙවෙයි, තම පුතුන් සමඟවත් එතරම් හොඳ සම්බන්ධයක් ඔහුට තිබුණේ නැහැ. එවැනි තත්වයක් නිසා ඔහු හිටියේ හොඳටම කලකිරිලයි. ඒ විතරක් නෙවෙයි ඔහුගේ ධනයෙන් සෑහෙන ප්‍රමාණයකුත් ඔහුට අහිමි වුණා. ඒ දේවල් ගැන තැවෙමින් සිටි ඔහු දිනක් තරු පහේ හෝටලයකට ගොස් මත්පැන් වීදුරුවක් තොල ගාමින් ඒ ගැන කල්පනා කරමින් සිටියා. පසුව තම සටහන් පොත එළියට ගත් ඔහු තම බිරිඳට අවසන් වචන කිහිපය ලියා තැබුවා. ඉන්පසු මත්පැන් වීදුරුව අවසන් කළ ඔහු හෝටලයේ තිබූ අඩ අඳුරු කාමරයකට ගොස් සියදිවි නසා ගත්තා!

ඔහුගේ ජීවිතය විනාශ කර ගැනීමට එකම හේතුව ධනවත්කම නොවුවත් එම අද්දැකීමෙන් පෙන්වන්නේ මෙම බයිබල් පදයේ ඇති සත්‍යතාවයි. “පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය . . . බොහෝ වේදනාවලින් තමන්ටම ඇනගත්තෝය.”—1 තිමෝති 6:9, 10.

මිල මුදල්, බලතල සහ තාන්න මාන්න තිබූ පමණින් අපි සාර්ථක ජීවිතයක් ගත කරනවා කියා කිව හැකිද? ඔබ සාර්ථක පුද්ගලයෙක් කියා ඔබට හිතෙනවාද? ඔබට එසේ සිතන්නේ ඇයි? එය තීරණය කරන්නේ කුමන මිම්මකින්ද? සාර්ථකත්වය පිළිබඳව ඔබ දරන මතයට බලපාන්නේ මොනවාද? මිලියන ගණන් දෙනාට තම ජීවිත සාර්ථක කරගන්න දායක වූ විශ්වාසවන්ත උපදෙස් ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු. ඒ වගේම ඔබටත් සාර්ථක විය හැකි අන්දම ගැනත් බලමු.

[පාදසටහන]

^ 3 ඡේ. සැබෑ නම් නොවෙයි.