Skip to content

පටුනට යන්න

සාර්ථක වෙන්න ඔබටත් පුළුවන්

සාර්ථක වෙන්න ඔබටත් පුළුවන්

සාර්ථක වෙන්න ඔබටත් පුළුවන්

තම දරුවන්ට මහත් ආදරය ඇති දෙමාපියන්ගේ බලාපොරොත්තුව වන්නේ ඔවුන් තම ජීවිත සාර්ථක කරගන්නවා දැකීමයි. ඒ හා සමානව අපගේ ස්වර්ගික පියා වන යෙහෝවා දෙවි කැමති වන්නෙත් අප සාර්ථක වෙනවා දකින්නයි. ඔහු අපට දක්වන ඒ සැලකිල්ල නිසා අපගේ ජීවිත සාර්ථක කරගැනීමටත් ඒ සම්බන්ධයෙන් පරෙස්සම් විය යුතු පැති ගැනත් උපදෙස් හා මඟ පෙන්වීම් දෙනවා. ඇත්තෙන්ම අපගේ ස්වර්ගික පියාණන්ගේ උපදෙස්වලට අවනත වන කෙනෙක් ගැන බයිබලය කියන්නේ “ඔහු කරන සියල්ල සඵල [සාර්ථක, නව ලොව පරිවර්තනය, NW] වන්නේය” කියායි.—ගීතාවලිය 1:3.

එසේ සාර්ථක වීමට මඟ පෙන්වා තිබියදීත් අද සිටින බොහෝදෙනාගේ ජීවිත කිසිම තේරුමක් නැති, තෘප්තියක් නැති මෙන්ම අසාර්ථක තත්වයක තිබෙන්නේ ඇයි? ඊට හේතුව කුමක්ද කියාත් සැබෑ සාර්ථකත්වය ලබන්න අපිට පුළුවන් කෙසේද කියාත් බයිබලයේ ගීතාවලිය නමැති පොතේ සඳහන් වෙනවා.

“දුෂ්ටයන්ගේ මන්ත්‍රණය”

“දුෂ්ටයන්ගේ මන්ත්‍රණය” අනුව ගමන් කිරීමේ ඇති භයානකකම ගැන ගීතිකාකරු අපිට අනතුරු අඟවනවා. (ගීතාවලිය 1:1) ප්‍රධාන “දුෂ්ටයා” වන්නේ සාතන් නමැති යක්ෂයායි. (මතෙව් 6:13) “මේ ලෝකයේ පාලකයා” ඔහු බවත් “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත් බවත්” බයිබලය පැහැදිලිවම පවසනවා. (යොහන් 16:11; 1 යොහන් 5:19) ඒ නිසා අද ලෝකය තුළ සාතන්ගේ ආකල්ප දසත පැතිරී තිබීම ගැන අප පුදුම වෙන්නේ නැහැ.

එම දුෂ්ටයන් ලබා දෙන උපදෙස් මොනවාද? දෙවිව අගෞරවයට පත් කරන, නැතහොත් ඔහුව නොසලකාහරින ආකාරයේ ඒවායි. ඒ තුළින් ඔවුන් දෙවිට නින්දා කරනවා. (ගීතාවලිය 10:13) අද තිබෙන සමාජය දිරි දෙන්නේ “මාංසයේ ආශාවත්, ඇස්වල ආශාවත්,” පසු පස යෑමට හා “තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීම” වැනි දේවලටයි. (1 යොහන් 2:16) ජනමාධ්‍යයන් තුළින් දිගට හරහට අපිට නොකියා කියන්නේ, පුළුවන් තරම් දේවල් එක්රැස් කරගෙන “ජීවිතය උපරිමයෙන් විඳින්න” කියායි. ලොව පුරා තිබෙන ආයතන වෙළඳ දැන්වීම් සඳහා පමණක් වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 500ක් වැය කරනවා. එවැනි දැන්වීම් පළ කිරීමෙන් ඔවුන් කරන්නේ අන් අයට තම නිෂ්පාදන අවශ්‍ය වුණත් නැතත් ඒවා ගැනීමට නොදැනෙන්න වගේ ඔවුන්ට බල කිරීමයි. එහිදී තමන්ගේ නිෂ්පාදන මිල දී ගැනීමට මිනිසුන්ව පොලඹවනවාට වඩා වැඩි යමක් ඔවුන් කර තිබෙනවා. එනම් ඇත්තටම සාර්ථක පුද්ගලයෙක් කියන්නේ කවුද යන්න පිළිබඳව විකෘති අදහසක් පතළ කර තිබීමයි.

මේ ගැන සිතා බලන්න. මීට අවුරුදු ගණනාවකට පෙර යම් දේවල් ලබාගැනීමට සමහරුන් සිහින මැව්වා. නමුත් දැන් ඔවුන් ඒවා හිමිකර ගෙන තිබෙනවා. එහෙත් තව තවත් දේවල් ලබාගැනීමේ ඔවුන්ගේ එම ආශාව නම් තවමත් සන්සිඳී නැහැ. ඊට හේතුව ඔවුන් හිතන්නේ ජීවිතය සාර්ථක වීමට නම් තමන් වැඩි වැඩියෙන් එවැනි දේවල් ලබාගත යුතු බවයි. එය අමූලික බොරුවක්. ඊට හේතුව එම ආකල්පය “පැමිණෙන්නේ පියාගෙන් නොව, ලෝකයෙන්” නිසයි.—1 යොහන් 2:16.

නමුත් සැබෑ සාර්ථකත්වය ලබන්න නම් අවශ්‍ය වන්නේ කුමක්ද කියා නිවැරදිවම දන්නේ අපගේ මැවුම්කරුයි. ඔහුගේ උපදෙස් ‘දුෂ්ටයන්ගේ මන්ත්‍රණයට’ වඩා හාත්පසින්ම වෙනස්. එමනිසා කෙනෙකුට සාර්ථක වීම සඳහා මේ ලෝකයේ මාර්ගවල ගමන් කරන අතරම දෙවිගේ මාර්ගයේද ගමන් කළ නොහැකියි. එය හරියට එකවර පාරවල් දෙකක ගමන් කරන්න උත්සාහ කරනවා වගෙයි. එය කොහෙත්ම කළ නොහැක්කක්. “මේ සමාජ ක්‍රමයට අනුව හැඩගැසීමෙන් වැළකී” සිටින්න කියා බයිබලය දෙන අනතුරු ඇඟවීම ගැන අප පුදුම විය යුතු නැහැ.—රෝම 12:2.

ලෝකයේ අච්චුවට හසු වෙන්න එපා

සාතන්ගේ ලෝකය උත්සාහ කරන්නේ අපගේ යහපත ගැන මහත් උනන්දුවෙන් සිටින බව මවා පෑමටයි. නමුත් පරෙස්සම් වන්න! වරක් සාතන් ඒවව රැවටුවේ ඔහුගේම ආශාවන් මුදුන් පමුණුවා ගැනීමටයි. ඉන්පසු ආදම්වත් පාපයට ඇද දමන්න සාතන් ඒවව අතකොළුවක් ලෙස යොදාගත්තා. එදා මෙන් අදත් සාතන් තම දුෂ්ට උපදෙස් පතුරුවා හරින්න යොදාගන්නේ මිනිසුන්වයි.

කලින් ලිපියේ සඳහන් කළ ඩේවිඩ්ගේ අද්දැකීමෙන් ඒ බව හොඳින් පැහැදිලි වෙනවා. ඔහු කළ රැකියාව වෙනුවෙන් වැඩිපුර පැය ගණනක් වැඩ කරන්නත් නිතරම ව්‍යාපාරික කටයුතු සඳහා පිට යන්නත් ඔහුට සිදු වුණා. ඒ ගැන ඔහු මෙහෙම කියනවා. “මම සඳුදා උදෙන්ම ගියාම ආයේ එන්නේ බ්‍රහස්පතින්දා හවසයි.” නමුත් ඩේවිඩ්ගේ කිට්ටු මිතුරන්, නෑයන්, එකට වැඩ කරන අය ඔහුට කව්වේ සාර්ථක වෙන්න නම් කැප කිරීම් නොකර බැහැ කියලයි. ඒ වගේම ‘ඔයාට මහන්සි වෙලා වැඩ කරන්න තියෙන්නේ දේවල් ටිකක් හරියනකං විතරයිනේ’ කියා පැවසු ඔවුන් තවදුරටත් කිව්වේ “ඔයාගේ ගෙදර අය ගැන හිතලා ඔය රස්සාව කරගෙන යන්න” කියලයි. ඒ ගැන ඩේවිඩ් කියන්නේ මෙහෙමයි. “මගේ යාළුවෝ මට කිව්වේ හොඳට වැඩ කෙරුවොත් ගොඩාක් සල්ලි හම්බ කරගෙන මගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් කියලයි. ඒකෙන් මගේ පවුලේ අයත් එක්ක ඉන්න කාලය ටිකක් මදි වුණත්, සල්ලි තියෙන නිසා ඒ අය වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලත් ඒ අය මට කිව්වා.” එවැනි ඩේවිඩ්ලා දහස් ගණනක් අද දිනත් වෙහෙස මහන්සි නොබලා වැඩ කරන්නේ, ඒ තුළින් තම පවුලේ අයට අවශ්‍ය සියල්ල ලබා දෙන්න පුළුවන් කියා සිතන නිසයි. සාර්ථකත්වය කියන්නේ එයද? පවුලේ සාමාජිකයන්ට ඇත්තටම අවශ්‍ය කුමක්ද?

එය ඩේවිඩ් වටහාගත්තේ නිවසින් පිට ගොස් සිටි අවස්ථාවකදීයි. ඔහු මෙහෙම කිව්වා. “දවසක් මගේ දුව ඇන්ජලිකා එක්ක දුරකථනයෙන් කතා කරද්දී එයා මගෙන් මෙහෙම ඇහුවා. ‘අනේ ඇයි තාත්තේ, තාත්තා අපිත් එක්ක වැඩිය ගෙදර ඉන්නේ නැත්තේ?’ ඒක මගේ හිතට තදින් වැදුණා.” තම දුවගේ ඒ වචන නිසා රැකියාවෙන් සමුගැනීමට සිටි ඩේවිඩ් එය ඉක්මන් කළා. ඉන්පසු ඔහු තම පවුල සමඟ වැඩි කාලයක් ගත කරන්න තීරණය කළා. ඔවුන්ට ඇත්තටම අවශ්‍යව තිබුණෙත් එයයි.

දෙවිගේ උපදෙස් පිළිපදින්න

සෑම තැනකම දකින්න ලැබෙන නොමඟ යවන උපදෙස්වලින් අපි ආරක්ෂා වෙන්නේ කොහොමද? ගීතිකාකරු පැවසූ ලෙස සාර්ථක පුද්ගලයෙකුගේ “ප්‍රීතිය යෙහෝවාගේ ව්‍යවස්ථාව කෙරෙහිය. ඔහු රෑ දාවල් ඔහුගේ ව්‍යවස්ථාව මෙනෙහි කරයි.”—ගීතාවලිය 1:2.

යෝෂුවාව ඊශ්‍රායෙල් ජාතියේ නායකයා ලෙස පත් කළ යෙහෝවා දෙවි ඔහුට කිව්වේ “[දේවවචනය] ගැන රෑ දාවල් මෙනෙහි කරන්න” කියලයි. දේවවචනය කියවීම සහ මෙනෙහි කිරීම ඉතා වැදගත්. නමුත් “එහි ලියා තිබෙන සියල්ල කිරීමත්” වැදගත් වුණා. බයිබලය කියවූ පමණින් ඔබ ඉබේම සාර්ථක වෙන්නේ නැහැ. ඔබ කියවන දේ අදාළ කරගත යුතුයි. යෝෂුවාට දෙවි කිව්වේ “එවිට ඔබේ මාර්ගය සඵල [සාර්ථක, NW] වන්නේය. ඔබට ශුභසිද්ධ වන්නේය” කියායි.—යෝෂුවා 1:8.

තම පියාගේ ඔඩොක්කුවේ ඉඳගෙන තමා ආසම කතන්දර පොත කියවන දරුවෙකුගේ චිත්‍රයක් ගැන සිතේ මවාගන්න. මීට පෙර ඔවුන් ඒ පොත කොච්චර වාර ගණනක් කියවා තිබුණත් එය නැවත කියවන සෑම වාරයක්ම ඔවුන්ට ඉතාමත් වටිනවා. ඒ හා සමානව දෙවිට ප්‍රේම කරන කෙනෙක් දිනපතා බයිබලය කියවීම සලකන්නේ, තම ස්වර්ගික පියා සමඟ ගත කරන ප්‍රීතිමත් අවස්ථාවක් හැටියටයි. දෙවිගේ එවැනි උපදෙස් සහ මඟ පෙන්වීම් පිළිපදින කෙනෙක් “දිය ඇළවල් ළඟ හිඳුවූ නියම කලට ඵල දෙන්නාවූ නොමැලවෙන කොළ ඇත්තාවූ ගසක් හා සමාන වන්නේය. ඔහු කරන සියල්ල සඵල වන්නේය.”—ගීතාවලිය 1:3.

ගීතිකාකරු සඳහන් කළ එම ගස අහම්බෙන් පැළ වුණ එකක් නෙවෙයි. නමුත් එය සැලකිලිමත් පුද්ගලයෙක් විසින් හොඳින් සිතා බලා දිය ඇළ ළඟ සිටවූවක්. ඒ වගේ අපගේ ස්වර්ගික පියාද බයිබලයේ ඇති උපදෙස් මගින් අපගේ සිතුවිලි නිවැරදි කරනවා. ඒ නිසා දෙවිගේ මඟ පෙන්වීමට එකඟ වූ පල හෙවත් ගතිගුණ අපි වර්ධනය කරගන්නවා.

නමුත් ‘දුෂ්ටයෝ එසේ නොවෙයි.’ සමහරවිට යම් කලකට ඔවුන් සාර්ථකයි වගේ පෙනෙන්න තිබුණත් ඔවුන්ගේ අවසානය භයානකයි. “විනිශ්චයේදී දුෂ්ටයන්ට අනුමැතිය ලැබෙන්නේ නැත. . . . නමුත් දුෂ්ටයන්ගේ මාර්ගය විනාශ වන්නේය.”—ගීතාවලිය 1:4-6, NW.

එමනිසා ඔබගේ ජීවිතයේ අරමුණු සහ සාරධර්ම හැඩගස්වන්න ලෝකයේ වැරදි අදහස්වලට ඉඩදෙන්න එපා. ලෝකයේ මිම්මෙන් සාර්ථක වීමට ඔබට හැකියාවන් සහ අවස්ථාවන් තිබිය හැකියි. නමුත් ඔබ ඔබගේ හැකියාවන් යොදාගන්නා ආකාරයත් අන් අය ඔබගේ හැකියාවන් පාවිච්චි කිරීමට උත්සාහ කරන ආකාරය ගැනත් පරෙස්සම් වෙන්න. කෙනෙක් සැප සම්පත් අත් කරගැනීමට ඒවා යොදාගන්නවා නම් අවසානයේදී එය කෙනෙකු ‘මැලවුණු’ නැතහොත් කලකිරුණු තත්වයකට පත් කළ හැකියි. අනෙක් අතට යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කෙනෙක් සැබෑ සාර්ථකත්වය සහ සන්තෝෂය අද්දකිනවා නියතයි!

ඔබට සාර්ථක විය හැකි අයුරු

දෙවිගේ උපදෙස් පිළිපදින කෙනෙක් කරන සෑම දෙයක්ම සාර්ථක වන්නේ කොහොමද? කෙනෙක් දෙවි බලාපොරොත්තු වන දෙයට එකඟව කටයුතු කරද්දී ඔහු සාර්ථකයි. එය මේ සමාජයේ මිම්මට අනුව ලබන සාර්ථකත්වය නම් නොවෙයි. නමුත් දෙවි බලාපොරොත්තු වන දේ කිරීමෙන් ලබන සාර්ථකත්වයයි. අපගේ ජීවිතවලට බයිබල් ප්‍රමිති අදාළ කරගැනීමෙන් සාර්ථක විය හැකි අයුරු ගැන දැන් අපි සලකා බලමු.

පවුල තුළ: බයිබලයේ ස්වාමිපුරුෂයන්ට උපදෙස් දී තිබෙන්නේ “තම භාර්යාවන්ට තමුන්ගේ ශරීරවලට මෙන් ප්‍රේම කළ යුතුය” කියායි. එමෙන්ම “තම ස්වාමිපුරුෂයා කෙරෙහි ගැඹුරු ගෞරවයක් ඇතිව සිටිය යුතුය” කියා භාර්යාවට පවසා තිබෙනවා. (එෆීස 5:28, 33) දෙමාපියන්ට උනන්දු කරන්නේ ඔවුන්ගේ දරුවන් සමඟ සිනාසෙන්න, කතාබහ කරන්න සහ ඉගැන්වීම සඳහා කාලය ගත කරන්න කියායි. (ද්විතීය කතාව 6:6, 7; දේශනාකාරයා 3:4) ‘ඔබේ දරුවන්ව තරහ නොගස්වන්න’ කියා බයිබලයේ දෙමාපියන්ට උපදෙස් දී තිබෙනවා. දෙමාපියන් එය පිළිපදිනවා නම් “දෙමාපියන්ට කීකරු වන්න” සහ තම “පියාට සහ මවට ගෞරව කරන්න” යන උපදෙසට කීකරු වන්න දරුවන්ටත් පහසුයි. (එෆීස 6:1-4) දෙවිගෙන්ම ලැබුණු එම උපදෙස් අනුගමනය කිරීම සාර්ථක පවුල් ජීවිතයකට මඟ පෙන්වයි.

මිතුරන් ඇති කරගැනීම: අපි සැමටම මිතුරන් අවශ්‍යයි. ආදරය කිරීම සහ ආදරය ලැබීම මිනිසුන් හැටියට අපට අවශ්‍ය දෙයක්. ඒ නිසා යේසුස් තම අනුගාමිකයන්ට කිව්වේ “එකිනෙකාට ප්‍රේම කරන්න” කියායි. (යොහන් 13:34, 35) එවැනි ප්‍රේමණීය මිතුරන් අතර අපට විශ්වාසය තැබිය හැකි අපගේ ඇතුළාන්ත හැඟීම් පවා බෙදාගත හැකි අය සිටිනවා. (හිතෝපදේශ 18:24) බයිබල් ප්‍රමිති පිළිපදිමින් ‘දෙවිට ළං වෙද්දී’ දෙවි ආබ්‍රහම්ව සැලකූ ලෙසම අපවත් “යෙහෝවාගේ මිත්‍රයා” හැටියට සලකයි. එය මොන තරම් වරප්‍රසාදයක්ද!—යාකොබ් 2:23; 4:8.

ජීවිතයට සැබෑ අරමුණක්: ජීවිතය කිසිම අරමුණක් නැතිව ගත කරන අයට වඩා, සැබෑ සාර්ථක පුද්ගලයන් අරමුණක් ඇති ජීවිතයක් ගත කරනවා. ඔවුන් තම බලාපොරොත්තු තබා තිබෙන්නේ පහව යෑමට නියමිත මේ දුෂ්ට සමාජය මත නොවෙයි. ජීවිතයට ඇති සැබෑ අරමුණ මුල් කරගෙන තීරණ ගන්න නිසා ඔවුන් ඉන් මහත් තෘප්තියක් ලබනවා. කෙනෙකුගේ ජීවිතයට සැබෑ අර්ථයක් ලැබෙන්නේ කුමක් කිරීමෙන්ද? “සැබෑ දෙවි කෙරෙහි ගරුබියක් ඇතිව සිට ඔහුගේ ආඥා පිළිපදින්න. මිනිසාගේ යුතුකම එයයි.”—දේශනාකාරයා 12:13, NW.

කදිම බලාපොරොත්තුවක්: දෙවිව අපගේ මිත්‍රයා කරගැනීමෙන් අපේ අනාගතයට කදිම බලාපොරොත්තුවක් ලැබෙනවා. ඒ ගැන පාවුල් ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ “අස්ථිර ධනය කෙරෙහි නොව . . . දෙවි කෙරෙහි ඔවුන්ගේ බලාපොරොත්තු තබන” ලෙසයි. එසේ කිරීමෙන් “සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමට හැකි වන ලෙස අනාගතය සඳහා හොඳ අත්තිවාරමක් දමාගෙන, එය වස්තුවක් මෙන් සුරක්ෂිතව රැකගැනීමට ඔවුන්ට හැකි වනු ඇත.” (1 තිමෝති 6:17-19) ඉතා ළඟදී දේවරාජ්‍යය මගින් මේ පොළොව පාරාදීසයක් බවට පත් කරද්දී ඒ සැබෑ ජීවිතය භුක්ති විඳීමට අවස්ථාව උදා වෙයි.—ලූක් 23:43.

ඔබ බයිබලයේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමේදී ප්‍රශ්න ගැටලුවලට මුහුණ නොදෙන බව ඉන් අදහස් කරන්නේ නැහැ. නමුත් දුෂ්ට මිනිසුන් ඇති කරන මහත් හිත් වේදනා සහ කලකිරීම් බොහොමයක් මඟ හරින්න ඔබට පුළුවන්. කලින් සඳහන් කළ ඩේවිඩ් මෙන් තවත් බොහෝදෙනෙක් බයිබලයේ තිබෙන උපදෙස් පිළිපැදීමේ ඇති වටිනාකම තේරුම්ගෙන තිබෙනවා. ඔහු තමන්ට සුදුසු රැකියාවක් පසුව සොයාගත්තා. ඔහු මෙහෙම කියනවා. “දැන් මට මගේ බිරිඳයි දරුවනුයි එක්ක ඉස්සරට වඩා හොඳ බැඳීමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සභාවේ වැඩිමහල්ලෙක් හැටියට යෙහෝවා දෙවිට සේවය කරමින් සිටිනවා. මේ දේවල් නිසා මම ඉන්නේ හරිම සන්තෝෂයෙන්.” ඒ අනුව කෙනෙක් දෙවිගේ උපදෙස්වලට කීකරු වන විට “ඔහු කරන සියල්ල සඵල වන්නේය” කියා ගීතිකාකරු පැවසීම පුදුමයක් නොවෙයි.

[6වන පිටුවේ වගුව]

සාර්ථක වීමට පියවර පහක්

1 මේ ලෝකයේ ආකල්පවලට හසු වෙන්න එපා.

ගීතාවලිය 1:1; රෝම 12:2

2 ශුද්ධ බයිබලය දිනපතා කියවා ඒ ගැන මෙනෙහි කරන්න.

ගීතාවලිය 1:2, 3

3 ඔබේ ජීවිතයට බයිබලයේ ඇති උපදෙස් අදාළ කරගන්න.

යෝෂුවා 1:7-9

4 දෙවිව ඔබේ මිතුරා කරගන්න.

යාකොබ් 2:23; 4:8

5 සැබෑ දෙවිට ගරුබිය දක්වමින්, ඔහුගේ ආඥා පිළිපදින්න.

දේශනාකාරයා 12:13

[7වන පිටුවේ පින්තූර]

සාර්ථක වීමට අවශ්‍ය පියවර ඔබ ගනිමින් සිටිනවාද?