Skip to content

පටුනට යන්න

අප්‍රිකානු බයිබලය පසු කළ සන්ධිස්ථාන

අප්‍රිකානු බයිබලය පසු කළ සන්ධිස්ථාන

අප්‍රිකානු බයිබලය පසු කළ සන්ධිස්ථාන

යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ බයිබලයට ඇලුම් කළ පාඨකයන් අප්‍රිකා මහද්වීපයේ වැසියන්ට ඔවුන්ගේම බසින් බයිබලය කියවීමට අවස්ථාව උදා කර දිය යුතු බව තේරුම් ගත්තේ මීට බොහෝ කලකට පෙරයි. මේ උතුම් අරමුණ ඉටු කරගැනීම සඳහා බොහෝදෙනෙක් අප්‍රිකානු භාෂාව ඉගෙනගැනීම සඳහා අප්‍රිකාවට ගියා. ඔවුන්ගෙන් සමහරදෙනෙක් කලින් ලිඛිත ස්වරූපයක් නොතිබූ අප්‍රිකානු භාෂාවලට ලිඛිත ස්වරූපයක් මෙන්ම ශබ්ද කෝෂ පවා හඳුන්වා දුන්නා. ඉන් අනතුරුව ඔවුන් විවිධ අප්‍රිකානු භාෂාවලට බයිබලය පරිවර්තනය කිරීමට පටන්ගත්තා. ඇත්තෙන්ම එය ලෙහෙසි කාර්යයක් වූයේ නැහැ. “සරල වූ මූලික ක්‍රිස්තියානි සංකල්ප පවා පරිවර්තනය කිරීමේදී නිවැරදි වචන සොයාගැනීම සඳහා පරිවර්තකයන් වසර කිහිපයක් පර්යේෂණ කළ බව සිතිය හැකියි” කියා එක් පොතක සඳහන් වෙනවා.—The Cambridge History of the Bible.

ලිඛිත භාෂාවක් පළමුවතාවට හඳුන්වා දීමෙන් පසු සම්පූර්ණ බයිබලයම පරිවර්තනය කරනු ලැබූ මුල්ම අප්‍රිකානු භාෂාව වන්නේ ට්ස්වානා භාෂාවයි. මෙය සිදු වූයේ 1857දීයි. * ට්ස්වානා බස කතා කළ ජනයාට එය ලබාගත හැකි වූයේ කාණ්ඩ වශයෙනුයි. කාලයත් සමඟ අප්‍රිකානු රටවල ජනයා කතා කරන වෙනත් භාෂාවලින්ද බයිබලය ලබාගැනීමට හැකි වුණා. මුල් කාලයේ අප්‍රිකානු භාෂාවලට පරිවර්තනය කරනු ලැබූ මුල්ම බයිබල්වල යෙහෝවා යන දෙවිගේ නාමය හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි හෙවත් “පරණ ගිවිසුම” කියා හඳුන්වන කොටසේද ග්‍රීක ශුද්ධ ලියවිලි හෙවත් “නව ගිවිසුම” කියා හඳුන්වන කොටසේද සඳහන් වුණා. කෙසේවෙතත් සංශෝධිත හා නව අප්‍රිකානු බයිබල් පරිවර්තනවල බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවිගේ නාමය සඳහන් නොවන්නේ ඒවා සම්පාදනය කළ අය එම ශුද්ධ නාමයට ගරු නොකළ නිසයි. ඔවුන් පැරණි යුදෙව්වන්ගේ මිථ්‍යා සම්ප්‍රදායක් අනුගමනය කරමින් යෙහෝවා යන නම වෙනුවට “දෙවියන්වහන්සේ” හෝ “ස්වාමීන්වහන්සේ” යන පදවි නම් භාවිත කළා. මේ නිසා මුල්ම පරිවර්තනවල දෙවිගේ නාමය තිබූ තැන්වල නැවතත් දෙවිගේ නාමය සඳහන් කළ බයිබල් පරිවර්තනයක් තිබීමේ අවශ්‍යතාව අප්‍රිකාවේ දෙවිට ප්‍රේමයක් දැක් වූ අයට මතු වුණා.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය 1980 ගණන්වල සිට අප්‍රිකානු රටවල භාවිත කරන ප්‍රධාන භාෂාවලට ශුද්ධ ලියවිලිවල නව ලොව පරිවර්තනය ලබා දීමට මහත් වෑයමක් දරා තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට අප්‍රිකානු රටවල වෙසෙන බයිබලයට ඇලුම් කරන සියදහස් ගණනකට ඔවුන්ගේ මව් බසින් නව ලොව පරිවර්තනය කියවීමේ අවස්ථාව උදා වී තිබෙනවා. මේ වන විට නව ලොව පරිවර්තනය සම්පූර්ණ වශයෙන් හෝ කොටසක් වශයෙන් අප්‍රිකානු භාෂා 17කින් ලබාගත හැකියි.

එම අප්‍රිකානු භාෂා කතා කරන පාඨකයන් යෙහෝවා යන දෙවිගේ අතිශ්‍රේෂ්ඨ නාමය සඳහන් බයිබල් පරිවර්තනයක් ලැබීම ගැන හුඟාක් සතුටු වෙනවා. එම පරිවර්තනවල දෙවිගේ නාමය සඳහන් වී ඇති එක් තැනක් සලකා බලමු. යේසුස් නාසරෙත්හි සිනගෝගයේදී උගන්වමින් සිටි අවස්ථාවේදී, සිය පියාගේ නම සඳහන් යෙසායාගේ ලියවිල්ලේ එක් කොටසක් කියවා ඔහුට ලැබී තිබෙන පැවරුම ගැන කතා කළා. එහි දෙවිගේ නාමය සඳහන් වී තිබුණා. (යෙසායා 61:1, 2) යේසුස් යෙසායාගේ ලියවිල්ලෙන් උපුටා දැක්වූ ඒ කොටස නව ලොව පරිවර්තනයේ ලූක්ගේ ශුභාරංචියේ සඳහන් වන්නේ මෙසේයි. “යෙහෝවාගේ ආත්මය මා කෙරෙහි ඇත. මන්ද ඔහු මා අභිෂේක කර තිබෙන්නේ දිලිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන පිණිසය. ඔහු මාව එවා තිබෙන්නේ වහලුන්ට නිදහස හා අන්ධයන්ට නැවත පෙනීම ලැබෙන බව දේශනා කිරීමටත්, තැළී පීඩිතව සිටින්නන්ව නිදහස් කර යැවීමට හා යෙහෝවාගේ පිළිගැනීමේ අවුරුද්ද ගැන දේශනා කිරීමටත්ය.”—ලූක් 4:18, 19.

අප්‍රිකානු බසින් බයිබල් මුද්‍රණය කිරීමේදී තවත් සන්ධිස්ථානයක් 2005 අගෝස්තු මාසයේදී පසු කළා. ඒ මාසයේදී අප්‍රිකානු භාෂාවලින් නව ලොව පරිවර්තනයේ පිටපත් 76,000කට වැඩි ගණනක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දකුණු අප්‍රිකානු ශාඛා කාර්යාලයේදී මුද්‍රණය කරනු ලැබුවා. ෂෝනා භාෂාවෙන් මුද්‍රණය කළ බයිබල් 30,000ද ඊට ඇතුළත් වෙනවා. එම පරිවර්තනය මුදා හැරියේ සිම්බාබ්වේ පැවැත් වූ “දෙවිට කීකරු සේවකයෝ” නමැති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවේදීයි.

අප්‍රිකානු භාෂාවලින් නව බයිබල් මුද්‍රණය කරනවා දැක බලාගැනීමට ඒ මාසයේදී දකුණු අප්‍රිකාවේ ශාඛා කාර්යාලයට පැමිණි බොහෝදෙනෙකු තුළ ඇති වූයේ ඉමහත් ප්‍රීතියක්. “ෂෝනා භාෂාවත් තවත් අප්‍රිකානු භාෂාවලිනුත් නව ලොව පරිවර්නතය මුද්‍රණය කිරීමේ කටයුතුවලට හවුල් වෙන්න ලැබුණු වරප්‍රසාදය ගැන මම හුඟාක් සතුටු වෙනවා” කියා පොත් බඳින අංශයේ සේවය කරන බෙතෙල් පවුලේ සාමාජිකයෙක් පැවසුවා. මුළු දකුණු අප්‍රිකානු බෙතෙල් පවුල තුළ ඇති වන්නේද ඔහුට ඇති වූ හැඟීමමයි.

අප්‍රිකානු රටවල වාසය කරන ජනයාට දැන් පෙරට වඩා ඉක්මනින් හා අඩු මුදලකට අලුත් බයිබල් ලබාගන්න පුළුවන්. ඊට හේතුව කලින් ඔවුන්ට ලැබුණේ වෙනත් රටවල මුද්‍රණය කර ගෙන්වා ගත් බයිබල්. වඩාත්ම වැදගත් දෙය වන්නේ බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවිගේ ශුද්ධ වූ නාමය සඳහන් නිවැරදි පරිවර්තනයක් අප්‍රිකානු වැසියන්ට පහසුවෙන් ලබාගැනීමට හැකි වීමයි.

[පාදසටහන]

^ 3 ඡේ. වර්ෂ 1835දී බයිබලය මැඩගස්කරයේ මැලගැසි භාෂාවටද 1840දී ඉතියෝපියාවේ අම්හාරික් භාෂාවටද පරිවර්තනය කරනු ලැබුවා. බයිබලය පරිවර්තනය කිරීමට බොහෝ කලකට පෙර ඒ භාෂා ලිඛිත ස්වරූපයකින් තිබුණා.

[12වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1840දී මුද්‍රණය කළ දෙවිගේ නාමය සඳහන් ට්ස්වානා බයිබලයක්

[හිමිකම් විස්තර]

Harold Strange Library of African Studies

[13වන පිටුවේ පින්තූරය]

දකුණු අප්‍රිකානු ශාඛා කාර්යාලයේදී අලුත් බයිබල් මුද්‍රණය කරන ආකාරය නරඹන ස්වාසිලන්තයෙන් පැමිණි පිරිසක්