ඔහු ඇයටත් ඇය ඔහුටත්
ඔහු ඇයටත් ඇය ඔහුටත්
පුරුෂයා සහ ස්ත්‍රිය එකට වාසය කිරීමට දක්වන ආශාව මිනිස් ඉතිහාසයේ මුල සිටම දැකිය හැකියි. මෙම සහජ ආශාව ඇති කළේ යෙහෝවා දෙවියි. මුල්ම පුරුෂයා වූ ආදම් දිගටම තනියම සිටීම හොඳ නැතැයි සිතූ දෙවි ඔහුට “සුදුසු උපකාර කරන කෙනෙකු” සාදා දෙන්න තීරණය කළා.
යෙහෝවා දෙවි ආදම්ට තද නින්දක් ඇති වන්න සලස්වා ඔහුගේ ශරීරයෙන් ඉල ඇටයක් ගෙන ‘එහි මාංසය පිරෙව්වේය. එයින් ස්ත්‍රියක සාදා ඇයව මනුෂ්‍යයා වෙතට පැමිණෙව්වේය.’ දෙවි එසේ නිර්මාණය කළ නෙත් සිත් ඇඳ බැඳ ගන්නා කාන්තාව දැක ආදම් කොතරම් ප්‍රීති වුණාද කියා ඔහු පැවසූ මේ වචනවලින් පැහැදිලියි. “මෑ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය.” ස්ත්‍රියකට තිබිය යුතු සියලුම ගුණාංගවලින් පිරිපුන් ඒව හැම අතින්ම ආදරය ලබන්නත් පරිපූර්ණ පුරුෂයෙක් වූ ආදම් ගෞරවය ලබන්නත් වටින පුද්ගලයන් වුණා. ඔවුන්ව නිර්මාණය කළේ ඔවුන් එකිනෙකා වෙනුවෙන්මයි. “මනුෂ්‍යයා තමාගේ පියාද මවුද අත්හැර තමන් භාර්යාවට ඇලුම් වන්නේය. ඔවුහුද එක මාංසයක් වන්නෝය” කියා බයිබලයේ පවසා තිබෙන්නේ ඒ නිසයි.—උත්පත්ති 2:18-24.
නමුත් අද අපි දකින්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. පවුල් බිඳ වැටිලා. ආත්මාර්ථකාමී හැඟීම් හා ගැටීම් නිසා සැමියා හා බිරිඳ අතර තිබිය යුතු බැඳීම අද නැහැ. ගැහැණු හා පිරිමි අතර ඇති වී තිබෙන තරඟකාරිත්වයත් මීට ප්‍රධාන හේතුවක්. යෙහෝවා දෙවි පිරිමියෙකුගෙන් හා ගැහැණියකගෙන් බලාපොරොත්තු වන්නේ මෙවැනි දෙයක් නෙවෙයි. පුරුෂයාව නිර්මාණය කර තිබෙන්නේ මේ පොළොවේ විශාල කාර්යය භාරයක් ඉටු කිරීම සඳහායි. ගැහැණිය නිර්මාණය කළේ පුරුෂයා ළඟින්ම සිට ඔහුට සහය වීමටයි. දෙවිගේ අරමුණ වුණේ ඔවුන් දෙදෙනා එකමුතුව එකට දේවල් කිරීමයි. මිනිස් ඉතිහාසයේ මුල සිටම දෙවිට කීකරු පුරුෂයන් හා ස්ත්‍රීන් දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු කාර්යයන් ඉටු කිරීමට මහත් වෑයමක් දැරූ අතර ඒ තුළින් පවුල තුළ මහත් ප්‍රීතියක් හා තෘප්තියක් ඔවුන් අද්දැක්කා. දෙවි පුරුෂයාගෙන් හා ස්ත්‍රීයගෙන් බලාපොරොත්තු වන කාර්යයන් මොනවාද? අපට ඒවා ඉටු කළ හැක්කේ කෙසේද?
[3වන පිටුවේ පින්තූරය]
දෙවි පුරුෂයාව හා භාර්යාව නිර්මාණය කළේ ඔවුන්ටම හිමි ගෞරවනීය තැනක් ඇතුවයි