Skip to content

පටුනට යන්න

දරුවෙක් නොමඟ ගිය විට නොසැලී සිටිය හැකි අයුරු

දරුවෙක් නොමඟ ගිය විට නොසැලී සිටිය හැකි අයුරු

දරුවෙක් නොමඟ ගිය විට නොසැලී සිටිය හැකි අයුරු

එක් මවකගේ ලොකුම ආශාව වුණේ තම පුතා යෙහෝවා දෙවිට ප්‍රේම කරමින් සත්‍යයේ මාර්ගයේ සැමදා ගමන් කරනවා දැකීමයි. මේ සඳහා ඇය මහත් වෑයමක් දැරුවා. කෙසේවෙතත් ඒ පුතා වයස අවුරුදු 17ක් පමණ වන විට මවට පිටුපාමින් නිවස අතහැර දමා ගියා. “මගේ ජීවිතයේ මම අද්දැක්ක ලොකුම වේදනාව එයයි. මම පුතා ගැන තබා තිබුණු බලාපොරොත්තු කඩා වැටුණා. මම සෑහෙන්න කලකිරිලයි හිටියේ” කියා ඒ මව පැවසුවා.

ඔබ යෙහෝවා දෙවිට නමස්කාර කරන දෙමාපියෙක් නම් ඔබේ ආශාවත් ඔබේ දූ පුතුන් දෙවිට ප්‍රේම කරමින් සැමදා ඔහුට සේවය කරනවා දකින්න නොවේද! ඔබ ඒ සඳහා මහත් වෑයමක් දරා තිබෙනවා ඇති. කෙසේවෙතත් කලක් ගිය පසු ඔබේ දරුවන්ගෙන් එක්කෙනෙක් හෝ ඊට වැඩිදෙනෙක් දෙවිව අතහැර දමා තිබෙන්න පුළුවන්. මේ නිසා ඇතිවන බලාපොරොත්තු සුන් වූ තත්වයට සාර්ථකව මුහුණ දෙන්න ඔබට හැක්කේ කෙසේද? මෙවැනි තත්වයක් මැද පවා නොසැලී යෙහෝවා දෙවිට කරන සේවය දිගටම කරගෙන යන්න ඔබට උපකාරවත් වන්නේ මොනවාද?

දෙවිගේ පුත්‍රයන් කැරලිගැසූ විට

දරුවෙකු නොමඟ ගිය විට දෙමාපියෙකුට දැනෙන වේදනාව සියයට සීයක්ම යෙහෝවා දෙවිට තේරුම්ගන්න පුළුවන්. මෙය දැන සිටීමෙන් එවැනි දෙමාපියන්ට ලැබෙන්නේ මහත් සැනසිල්ලක්. යෙහෝවා දෙවි ගැන යෙසායා 49:15හි මෙසේ සඳහන් වී තිබෙනවා. “ස්ත්‍රියකට ඇගේම කුසේ උපන් පුත්‍රයා කෙරෙහි කරුණා නැති වන තරම් ඇගේ කිරිබොන දරුවා මතක නැතිවන්ට පුළුවන්ද? එසේය, මොවුන්ට මතක නැතිවන්ට පුළුවන. නමුත් මම ඔබ මතක නැති නොකරන්නෙමි.” දරුවන් ගැන පියවරුන්ට හා මව්වරුන්ට තිබෙන හැඟීම් යෙහෝවා දෙවිටත් තිබෙනවා. ඔහු තමන්ගේ පුතුන් ලෙස සලකන සියලුම දේවදූතයන් ඔහුට ප්‍රශංසා කරමින් සේවය කරනවා දුටු විට ඔහුට ඇති වූ හැඟීම ගැන සිතා බලන්න. ඔහු “සුළි සුළඟේ සිට” යෝබ්ට උත්තර දුන් අවස්ථාවේදී, දේවදූතයන්ගෙන් සමන්විත එක්සත් ස්වර්ගික පවුල සමඟ ගත කළ ප්‍රීතිමත් කාලය සිහිපත් කරමින් මෙසේ පැවසුවා. ‘මා විසින් පොළොවේ අත්තිවාරම් තැබූ කල්හිද පහන් තාරකාවන් එකතුව ගීතිකා කී කල්හිද දෙවිගේ සියලු පුත්‍රයන් ප්‍රීති නාද පැවැත්වූ කල්හිද ඔබ කොතැන සිටියෙහිද?’—යෝබ් 38:1, 4, 6, 7.

නමුත් කාලයක් ගිය පසු එක් දේවදූතයෙක් දෙවිට විරුද්ධව කැරලි ගැසුවා. සාතන් බවට පත් වූයේ ඒ දේවදූතයායි. සාතන් යන නමේ අර්ථය “විරුද්ධකාරයා” යන්නයි. තමන් මැවූ මුල් මිනිස් යුවළ වන ආදම් සහ ඒවද ඒ කැරැල්ලට හවුල් වූ ආකාරය යෙහෝවා දෙවි දුටුවා. (උත්පත්ති 3:1-6; එළිදරව් 12:9) පසුකලෙක තවත් දේවදූතයන් පිරිසක් “තමන්ගේ නියම වාසස්ථානය අත්හැර” දෙවිට විරුද්ධ වුණා.—යූද් 6.

තමන් පරිපූර්ණ ලෙස මැවූ පුතුන් තමන්ට විරුද්ධව කැරලිගැසූ විට යෙහෝවා දෙවිට ඇති වූ හැඟීම් ගැන බයිබලයේ අපට පවසා නැහැ. කෙසේවෙතත් බයිබලයේ පැහැදිලිවම මෙසේ පවසා තිබෙනවා. “මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ හෘදයෙහි සියලු කල්පනා නිරන්තරයෙන් නපුර පමණක් බවද යෙහෝවා දුටුවේය. යෙහෝවා පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවුණේය. තමන් හෘදයෙන් ශෝක වූවේය.” (උත්පත්ති 6:5, 6) ඔහු තෝරාගත් සෙනඟ වූ ඊශ්‍රායෙල්වරුද ඔහුට විරුද්ධව කැරලි ගැසූ විට ඔහු ‘දුක්’ වුණා.—ගීතාවලිය 78:40.

මේ අනුව තම දරුවන් සත්‍යය අත් හැර නොමඟ ගිය විට ක්‍රිස්තියානි දෙමාපියන්ට ඇති වන වේදනාව යෙහෝවා දෙවි තේරුම්ගන්න බව නිසැකයි. එවැනි දෙමාපියන්ට ප්‍රයෝජනවත් උපදෙස් හා දිරිගැන්වීම් ඔහු සිය වචනය මාර්ගයෙන් ලබා දී තිබෙනවා. ඔවුන්ගේ දුක් කරදර තමන්ට පිට තබන්න කියාත්, නිහතමානි වන්න කියාත්, දිගටම සාතන්ට විරුද්ධව සිටින්න කියාත් දෙවි දෙමාපියන්ට උපදෙස් දී තිබෙනනවා. මේ උපදෙස් පිළිපැදීම, නොමඟ ගිය දරුවෙක් සිටින දෙමාපියන්ට නොසැලී සිටීමට උපකාරවත් වන ආකාරය දැන් අපි සලකා බලමු.

ඔබේ කරදර යෙහෝවා දෙවි මත තබන්න

තමන්ගේ දරුවන් නොමඟ යනවා දකින විට ඇති වන වේදනාව තරම් තවත් වේදනාවක් දෙමාපියන්ට නැති බව යෙහෝවා දෙවි දන්නවා. මේ වේදනාවද ඇතුළු ඕනෑම වේදනාවක් දරාගැනීම සඳහා උපකාරවත් වන දෙයක් ගැන පේතෘස් මෙසේ සඳහන් කළා. “[යෙහෝවා දෙවි] ඔබ ගැන සලකන නිසා, ඔබේ සියලු කරදර ඔහු පිට තබන්න.” (1 පේතෘස් 5:7) මහත් දිරිගැන්වීමක් සපයන මේ ඇරයුම විශේෂයෙන්ම නොමඟ ගිය දරුවෙක් සිටින පියෙකුට හෝ මවකට වැදගත් වන්නේ ඇයි?

කුඩා කාලයේදී දරුවා කෙරෙහි විශේෂ අවධානයක් දෙමින් දරුවාව අනතුරුවලින් ආරක්ෂා කරගැනීමට ඔබ හැකි සෑම දෙයක්ම කළා. ඔබ ආදරයෙන් දුන් අවවාද දරුවා පිළිගන්න ඇති. එහෙත් දරුවා ටිකෙන් ටික උස් මහත් වෙද්දී පෙරට වඩා වැඩි නිදහසක් දරුවාට දෙන්න ඇති. කෙසේවෙතත් දරුවාගේ ආරක්ෂාව ගැන ඔබ දක්වන සැලකිල්ල පෙරටත් වඩා වැඩි වෙන්න ඇති.

පසුකලෙක ඔබේ දරුවා නොමඟ ගොස් සත්‍ය නමස්කාරයෙන්ද ඉවත් වී විවිධ හානි අද්දකින විට ඔබත් යම් ප්‍රමාණයකින් එයට වගකිව යුතුයි කියා ඔබට හැඟෙන්න පුළුවන්. මුලින් සඳහන් කළ මවට එසේ හැඟුණා. “මගේ අතින්ද අඩුපාඩු සිදු වුණා කියන හැඟීම මගේ සිතට සෑහෙන්න වධ දුන්නා. මට වැරදුණේ කොතැනද කියා මම නිතර සිතන්න පටන්ගත්තා” කියා ඇය පවසනවා. ‘ඔබේ සියලු කරදර මා පිට තබන්න’ කියා යෙහෝවා දෙවි ඔබට ආරාධනා කරන්නේ විශේෂයෙන්ම එවැනි අවස්ථාවලදීයි. ඔබේ කරදර ඔහු පිට තබනවා නම් නිසැකවම ඔහු ඔබට උපකාර කරනවා. “ඔබේ බර යෙහෝවා පිට තබන්න. ඔහු ඔබ උසුලන්නේය. ඔහු කිසිකලකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන්නේය” කියා ගීතිකාකරු පැවසුවා. (ගීතාවලිය 55:22) මෙම බයිබල් වගන්තිවලින් මහත් සැනසිල්ලක් ලැබූ ඒ මව මෙසේ පවසනවා. “මගේ හිතේ තියෙන හැම දෙයක්ම මම යෙහෝවා දෙවිට කිව්වා. ඒකෙන් මට ලොකු සහනයක් ලැබුණා.”

දරුවන්ව ඇති දැඩි කිරීමේදී ඔබ අතින් අඩුපාඩු වෙන්න ඇති. එහෙත් ඔබ ඒවා ගැනම සිත සිතා සිටින්නේ ඇයි? ඔබ අතින් වූ අඩුපාඩු ගැන යෙහෝවා දෙවි දිගින් දිගටම සිතන්නේ නැහැ. ඒ බව ගීතිකාකරු පැවසූ මේ වදන්වලින් පැහැදිලි වෙනවා. “යෙහෝවා, ඔබ අයුතුකම් ගණනට ගන්නේ නම් යෙහෝවා, සිටින්ට පුළුවන් කාටද?” (ගීතාවලිය 130:3) දරුවා ගැන ඔබට තිබෙන වගකීම් හා යුතුකම් ඔබ හරියට ඉටු කර තිබුණත් ඔහු නොමඟ ගොස් තියෙන්න පුළුවන්. මේ නිසා ඔබට ඇති වන දුක හා වේදනාව යෙහෝවා දෙවි සමඟ බෙදාගන්න. එය දරාගැනීමට අවශ්‍ය ශක්තිය ඔහු ඔබට ලබා දෙයි. එහෙත් නොසැලී යෙහෝවා දෙවිට කරන සේවය දිගටම කරගෙන යෑමටත් සාතන්ගේ ගොදුරක් නොවී සිටීමටත් ඔබ තවත් යමක් කළ යුතුයි. ඒ කුමක්ද කියා දැන් අපි බලමු.

නිහතමානී වන්න

“දෙවි සුදුසු කාලයේදී ඔබව උසස් කරන පිණිස, ඔහුගේ බලවත් හස්තයට යටත් වී නිහතමානී වන්න” කියා පේතෘස් පැවසුවා. (1 පේතෘස් 5:6) දරුවෙක් නොමඟ ගිය ඔබ නිහතමානී වීම වැදගත් වන්නේ ඇයි? දරුවාගේ නොමඟ යෑම ගැන ඔබට දුකක් වේදනාවක් විතරක් නෙමෙයි, ලැජ්ජාවක්ද දැනෙන්න පුළුවන්. දරුවාගේ නොමඟ යෑම නිසා හෝ විශේෂයෙන් දරුවාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කර තිබීම නිසා හෝ ඔබේ පවුලේ හොඳ නමට මහත් කැළලක් ඇති වීම ගැන ඔබට කනස්සලක් ඇති වෙන්න පුළුවන්. ඔබේ පවුලට නින්දාවක් කැළලක් ඇති වූවා කියන හැඟීම නිසා සමහරවිට ඔබ ක්‍රිස්තියානි රැස්වීම්වලට නොයා ඉන්න තීරණය කරන්න පුළුවන්.

ඔබ එවැනි තත්වයක සිටින දෙමාපියෙක් නම්, මෙවැනි අවස්ථාවකදී ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කිරීම කොතරම් වැදගත්ද! මන්ද හිතෝපදේශ 18:1හි මෙසේ අනතුරු අඟවා තිබෙනවා. “තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව සොයමින් සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙයි.” ඇත්තයි, ඔබට ලොකු දුකක් දැනෙනවා ඇති. ඒ වුණත් අත්නෑර රැස්වීම්වලට යෑමෙන් ඔබට වටිනා මඟ පෙන්වීම් මෙන්ම දිරිගැන්වීම්ද ලබන්න පුළුවන්. නැවතත් කලින් සඳහන් කළ මවට සවන් දෙමු. ඇය මෙසේ පවසනවා. “මුලදී, මට කිසිම කෙනෙක් එක්ක කතා කරන්නවත් හිතුණේ නැහැ. ඒ වුණත් දෙවිගේ නමස්කාරයේ කටයුතුවල දිගටම හවුල් වෙන එකේ තියෙන වැදගත්කම ගැන මම නිතර හිතුවා. මම රැස්වීම්වලට යන්නේ නැතුව ගෙදර හිටියා නම් මට වෙන්නේ ප්‍රශ්න ගැනම හිත හිතා ඉන්නයි. දෙවි සමඟ තිබෙන මගේ සම්බන්ධතාව ශක්තිමත් කරන කාරණා ගැන වැඩියෙන් සිතන්න රැස්වීම් මට උදව් වුණා. මම අනිත් සහෝදර සහෝදරියන්ගෙන් වෙන් වෙලා හිටියේ නැති එක ගැන මම සතුටු වෙනවා. ඔවුන්ගේ ප්‍රේමණීය උපකාරය මට නොඅඩුව ලැබුණා.”—හෙබ්‍රෙව් 10:24, 25.

ඒ වගේම මෙයත් මතක තබාගන්න. පවුලේ එක් එක්කෙනා ක්‍රිස්තියානියෙකු සතු වගකීම නමැති ‘බර ඉසිලිය’ යුතුයි. (ගලාති 6:5) දරුවන්ට ආදරය කිරීම වගේම ඔවුන්ව හික්මවීමත් යෙහෝවා දෙවි දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔහු දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ දෙමාපියන්ට කීකරු වීමයි. “යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද” තම දරුවන්ව ඇති දැඩි කරන්න දෙමාපියන් ඔවුන්ට කළ හැකි උපරිමය කරනවා නම් යෙහෝවා දෙවි සමඟ හොඳ නමක් ඇති කරගන්න ඔවුන්ට පුළුවන්. (එෆීස 6:1-4) දරුවෙක් දෙමාපියන් ප්‍රේමණීය ලෙස දෙන හික්මවීමට පිටුපාමින් නොමඟ යනවා නම් කැළලක් ඇති වෙන්නේ ඒ දරුවාගේ නමටයි. “ළමයෙකුගේ ක්‍රියාවලින් ඔහුගේ චරිතය හෙළි වේ, එයින් ඔහුගේ අවංකකමද පිරිසිදුකමද දැනගත හැකිය” කියා හිතෝපදේශ 20:11හි පවසා තිබෙනවා [නව අනුවාදය]. සාතන් යෙහෝවා දෙවිට විරුද්ධව කැරැලි ගැසුවත්, ඒ කැරැල්ලේ නියම තත්වය දැන සිටින අය එය දෙවිගේ නාමයට වූ අගෞරවයක් කියා සිතන්නේ නැහැ.

සාතන්ට එරෙහිව සිටින්න

අප හමුවේ තිබෙන අනතුරක් ගැන පේතෘස් මෙසේ පැවසුවා. “සිහිකල්පනාව ඇතිව සිටින්න. සෝදිසියෙන් සිටින්න. ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන්, කවරෙකුව හෝ ගිල දමන්න සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.” (1 පේතෘස් 5:8) සාතන් ක්‍රියා කරන්නේ සිංහයෙක් වගෙයි. පුරාණ ඊශ්‍රායෙල් දේශයේ සිටි සිංහයන් බැටළුවන් වැනි හීලෑ සතුන්ව අල්ලාගන්න මාන බැලුවා. බැටළු පැටියෙක් රැළෙන් පිටට ගියා නම් ඒ පැටියා පහසුවෙන්ම සිංහයෙකුගේ ගොදුරක් වෙන්න ඉඩ තිබුණා. බැටළු මව තම පැටියාව බේරාගැනීම සඳහා ජීවිතය පවා පරදුවට තබමින් පැටියා සොයා ගියා. හොඳින් වැඩුණු බැටළුවෙකුට පවා සිංහයෙකුගෙන් බේරෙන්න බැහැ. මේ නිසා බැටළු රැළට ආරක්ෂාව සැපයීම සඳහා නිර්භීත එඬේරුන් අවශ්‍ය වුණා.—1 සාමුවෙල් 17:34, 35.

යෙහෝවා දෙවි බැටළුවන් වැනි ඔහුගේ සේවකයන්ව “ගොරවන සිංහයෙකු” මෙන් ක්‍රියා කරන සාතන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා එඬේරුන් වැනි වැඩිමහල්ලන්ව පත් කර තිබෙනවා. ඔවුන් “ප්‍රධාන එඬේරා” වන යේසුස්ගේ මඟ පෙන්වීම්වලට යටත් වෙමින් සභාවේ අයව සාතන්ගෙන් ආරක්ෂා කරගැනීමට මහත් වෑයමක් දරනවා. (1 පේතෘස් 5:4) සභාවල සේවය කරන වැඩිමහල්ලන්ට පේතෘස් මෙසේ පැවසුවා. “ඔබට භාර දෙන ලද දෙවිගේ රැළ රැකබලා ගන්න. කිසිවෙකුගේ බල කිරීම නිසා නොව කැමැත්තෙන්ද, වංක ලෙස ලාභ ලැබීමට ඇති ආශාව නිසා නොව උනන්දුවෙන්ද” එසේ කරන්න. (1 පේතෘස් 5:1, 2) නොමඟ ගිය දරුවෙකුට වැරදි මාර්ගවලින් ඉවත් වී යළිත් සත්‍යයේ මාර්ගයේ ගමන් කිරීම සඳහා දෙමාපියන් හැටියට ඔබගෙන් ලැබෙන සහයෝගයද ඇතිව උපකාර කරන්න වැඩිමහල්ලන්ට හැකියි.

වැඩිමහල්ලන් ඔබේ දරුවාට උපදෙස් දෙන විට දරුවාගේ පැත්ත ගෙන කතා කරන්න ඇතැම්විට ඔබ පෙලඹෙන්න පුළුවන්. ඔබ එසේ කළොත් එය ඔබ අතින් විය හැකි බරපතළ වරදක්. පේතෘස් පැවසුවේ වැඩිමහල්ලන්ට නොව සාතන්ට ‘විරුද්ධව සිටින්න’ කියායි.—1 පේතෘස් 5:9.

දැඩි හික්මවීමක් ලැබෙන විට

බව්තීස්ම වී සිටින ඔබේ දරුවෙක් බරපතළ වරදක් කර, පසුතැවිලි නොවන්නේ නම් දැඩි හික්මවීමක් හැටියට ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ හැකියි. ඉන්පසු ඔබට ඒ දරුවා සමඟ සම්බන්ධතා පැවැත්විය හැක්කේ කොතෙක් දුරටද කියා තීරණය වන්නේ ඔහුගේ වයස හා වෙනත් තත්වයන් මතයි.

එසේ සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ දරුවා ඔබේ නිවසේ ජීවත් වන බාලවයස්කාර දරුවෙක් නම් සුපුරුදු පරිදි ඔහුගේ ශාරීරික අවශ්‍යතා සපුරාලීමට ඔබට හැකියි. එමෙන්ම ඔහුට අවවාද, උපදෙස් හා හික්මවීම් අවශ්‍ය අවස්ථාවලදී ලබා දීමේ වගකීමද ඔබ සතුයි. (හිතෝපදේශ 1:8-18; 6:20-22; 29:17) ඔබට ඒ දරුවාත් සමඟ සාමාන්‍ය පරිදි බයිබල් පාඩමක් පැවැත්විය හැකියි.එහිදී බයිබලය හා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සපයා තිබෙන ප්‍රකාශන ඔහුත් සමඟ සාකච්ඡා කිරීමට ඔබට පුළුවන්. (මතෙව් 24:45) ඒ විතරක් නොවෙයි, ඒ දරුවාව ක්‍රිස්තියානි රැස්වීම්වලට රැගෙන ගොස් ඔබ ළඟ වාඩි කරවා ගන්නත් ඔබට පුළුවන්. මේ සෑම දෙයක්ම කරන්නේ ශුද්ධ ලියවිල්ල මගින් ඔහුට දෙනු ලබන උපදෙස් ඔහු හොඳින් සිතට ගනියි කියන බලාපොරොත්තුව ඇතිවයි.

එහෙත් සභා සාමාජිකත්වයෙන් කපා හැර තිබෙන දරුවා බාලවයස්කාර දරුවෙක් නොවේ නම්, ඔහු ජීවත් වන්නේ නිවසින් පිට නම් තත්වය ඊට වඩා වෙනස්. “සහෝදරයෙකුයයි කියන ලද කෙනෙකු වේශ්‍යාකම් කරන්නෙකු හෝ ගිජුකමක් ඇත්තෙකු හෝ රූප වඳින්නෙකු හෝ නිග්‍රහ කරන්නෙකු හෝ බේබද්දෙකු හෝ අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නෙකු හෝ වේ නම්, ඔහු සමඟ ඇසුරු කිරීම නතර කරන්න. එමෙන්ම එවැනි මිනිසෙකු සමඟ කෑමවත් නොකන්න” කියා පාවුල් කොරින්තියේ විසූ ක්‍රිස්තියානීන්ට පැවසුවා. (1 කොරින්ති 5:11) පවුලට සම්බන්ධ ඇතැම් කාරණාවලට සභා සාමාජිකත්වයෙන් කපා හැර තිබෙන වැඩිහිටි දරුවාවද සම්බන්ධ කරගත යුතු නම්, යම් ප්‍රමාණයට එසේ කළ හැකියි. එසේවුවත් අනවශ්‍ය ලෙස එවැනි දරුවෙකු සමඟ ඇසුරු නොකිරීමට දෙමාපියන් වෑයම් කළ යුතුයි.

සභාවේ වැඩිමහල්ලන් වැරදි කර තිබෙන දරුවෙකුට බයිබලය පදනම් කර ගනිමින් හික්මවීමක් ලබා දෙන විට දෙමාපියන් එය විවේචනය කිරීම හෝ එය සැහැල්ලුවට ගැනීම නැණවත් දෙයක් වන්නේ නැහැ. වැරදි කර තිබෙන තම දරුවාගේ පැත්ත ගතහොත් ඔහුව සාතන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් වෙයිද?. ඇත්තෙන්ම එවැනි දෙයක් කිරීමෙන් දෙවි සමඟ තිබෙන ඔබේ මිත්‍රත්වය පවා පලුදු විය හැකියි. එහෙත් ඔබ වැඩිමහල්ලන්ට සහයෝගය දෙනවා නම් ඔබට දිගටම “ඇදහිල්ලේ ස්ථිරව” සිටිය හැකියි. ඇත්තෙන්ම ඔබේ දරුවාට දිය හැකි හොඳම උපකාරය වන්නේ එසේ වැඩිමහල්ලන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීමයි.—1 පේතෘස් 5:9.

දෙවි ඔබව අත් හරින්නේ නැහැ

දරුවෙකු නොමඟ යෑමේ වේදනාව ඔබ වගේම තවත් දෙමාපියන්ද අද්දකිනවා. අපි මුහුණ දෙන පීඩාව කුමක් වුණත් යෙහෝවා දෙවි අපිව අත් හරින්නේ නැති බව නම් ස්ථිරයි.—ගීතාවලිය 68:19.

නිතරම දෙවිට යාච්ඤා කරන්න. නිතිපතා සභා රැස්වීම්වලට පැමිණ සෙසු සහෝදර සහෝදරියන්ව ඇසුර කරන්න. ඔබේ දරුවා ගැන වැඩිමහල්ලන් ගත් තීරණයට සහයෝගය දෙන්න. මෙසේ කිරීමෙන් නොසැලී දිගටම යෙහෝවා දෙවිට සේවය කරන්න ඔබට හැකි වෙනවා නිසැකයි. ඔබේ යහපත් ආදර්ශය දකින නොමඟ ගිය දරුවා, හැරී නැවත තමන් වෙත එන්න කියා යෙහෝවා දෙවි කර තිබෙන ප්‍රේමණීය ඇරයුමට හොඳ ප්‍රතිචාරයක් දක්වාවි.—මලාකි 3:6, 7.

[18වන පිටුවේ පින්තූර]

යාච්ඤාවෙන් හා ක්‍රිස්තියානි සභාවෙන් ඔබට ශක්තිය ලබාගත හැකියි